Skip to content

පටුනට යන්න

‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න’

‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න’

‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න’

යේසුස් එක් අවස්ථාවක ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ඔබ මට කියන්නේ, ‘ගුරුතුමනි’ සහ ‘ස්වාමීනි’ කියායි. මම ඔබේ ගුරුතුමා හා ස්වාමීන් වන නිසා ඔබ එහෙම කියන එකත් හරියි.” (යොහ. 13:13) පසුව ස්වර්ගයට යෑමට ටික වේලාවකට පෙර යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’ (මතෙ. 28:19, 20) අප අන් අයට දේවවචනය උගන්වන ගුරුවරුන් වීමේ වැදගත්කම ගැන පාවුල්ද කතා කළා. ඔහු වැඩිමහල්ලෙක් වූ තිමෝතිට මෙසේ ලිව්වා. ‘ප්‍රසිද්ධියේ කියවීම ගැනද උපදෙස් මඟ පෙන්වීම් ලබා දීම ගැනද ඔබ උගන්වන ආකාරය ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න. ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.’—1 තිමෝ. 4:13-15.

එදා මෙන් අදත් ක්‍රිස්තියානීන්ට රැස්වීම්වලදී හා දේවසේවයේදී අන් අයට ඉගැන්වීමට සිදු වෙනවා. ඒ නිසා අප උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්නේ කෙසේද යන්න ගැන සලකා බලමු.

ශ්‍රේෂ්ඨතම ගුරුවරයාව අනුකරණය කරන්න

යේසුස් ඉගැන්වූ ආකාරය ගැන බොහෝදෙනා පුදුමයට පත් වුණා. එක් අවස්ථාවක නාසරෙත් නුවර සිටි මනුෂ්‍යයන් දැක්වූ ප්‍රතිචාරය ගැන ලූක් වාර්තා කළේ මෙසේයි. “ඒ සියලුදෙනාම ඔහු ගැන ප්‍රශංසාත්මක ලෙස කතා කරමින් ඔහු පැවසූ සිත්ගන්නා දේවල් ගැන පුදුම” වුණා. (ලූක් 4:22) යේසුස්ගේ අනුගාමිකයන්ද ඔහු ඉගැන්වූ ආකාරය අනුකරණය කළා. පාවුල්ද ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවේ “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන ආකාරයටම ඔබත් මාව අනුකරණය කරන්න” කියායි. (1 කොරි. 11:1) පාවුල් යේසුස්ව අනුකරණය කළ නිසා ඔහුට ඉතා බලපෑමෙන් යුක්තව ‘ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් උගන්වන්න’ හැකි වුණා.—ක්‍රියා 20:20.

“වෙළඳපොළෙහි” ඉගැන්වීම

ප්‍රසිද්ධ ස්ථානවල සිටි ජනයාට දෙවි ගැන ඉගැන්වීමට පාවුල්ට තිබූ විශේෂ හැකියාව ගැන ක්‍රියා 17වන පරිච්ඡේදයේ සඳහන් වී තිබෙනවා. අපි දැන් ඒ ගැන සලකා බලමු. පාවුල් ග්‍රීසියේ ඇතන්ස් නුවරේ සිටි කාලයේදී එහි පාර දෙපස හා ප්‍රසිද්ධ ස්ථානවල රූප තිබෙනවා දැකගන්න ලැබුණු විට ඔහුට ඒ ගැන පිළිකුලක් ඇති වුණා. නමුත් ඔහු ඒ ගැන කලබල නොවී ‘සිනගෝගයේදී හා දිනපතාම වෙළඳපොළෙහි ගැවසුණු අයට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා’ දෙන්න පටන්ගත්තා. (ක්‍රියා 17:16, 17) පාවුල් අපට මොන තරම් හොඳ ආදර්ශයක්ද! අපත් විවිධ පසුබිම්වල සිටින ජනයාව හමු වීමට උත්සාහ කළ යුතු අතර ඔවුන්ව විනිශ්චය නොකර ඔවුන්ට ගෞරවාන්විතව කතා කළ යුතුයි. එවිට ඔවුන් සවන් දීමට වැඩි කැමැත්තක් දැක්විය හැකි අතර අසත්‍යය උගන්වන ආගම්වල ග්‍රහණයෙන් නිදහස් වීමටද ඔවුන්ට හැකියි.—ක්‍රියා 10:34, 35; එළි. 18:4.

පාවුල් ශුභාරංචිය ප්‍රකාශ කරද්දී බොහෝදෙනා ඔහුට ඇහුම්කන් දෙන්න කැමති වුණේ නැහැ. ඔවුන් අතර සිටි විවිධ දාර්ශනිකයන්ට පාවුල් පැවසූ දේවල් පිළිගන්න නොහැකි වූ විට ඔවුන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා. පාවුල් ඒවාට හොඳින් ඇහුම්කන් දුන්නා. සමහරු ඔහු නිකම්ම ‘දොඩවනවා’ කියා පැවසුවා. තවත් අය ඔහු “වෙනත් දෙවිවරුන් ගැන කතා කරනවා” කියා පැවසුවා.—ක්‍රියා 17:18.

ඔවුන්ගේ ඒ විවේචන නිසා පාවුල් අධෛර්යයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ විශ්වාසයන් ගැන පහදා දීමට අවස්ථාව ලැබුණු විට ඔහු ඉතා තර්කාණුකූලව හා දක්ෂ ලෙස කරුණු පහදා දුන්නා. (ක්‍රියා 17:19-22; 1 පේතෘස් 3:15) ඔහු තොරතුරු ඉදිරිපත් කළ ආකාරය ගැන දැන් අපි සලකා බලමු. ඒ තුළින් අපට අපගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගත හැකියි.

අසන්නා උනන්දු වන දේ ගැන සැලකිලිමත් වන්න

පාවුල්ට ඇහුම්කන් දුන් අයට ඔහු මෙසේ පැවසුවා. “ඇතන්ස්හි පුරුෂයෙනි, දෙවි දේවතාවන් ගැන අන් අයට වඩා ඔබ තුළ මහත් භක්තියක් ඇති බව මට පැහැදිලියි. එය ඔබ කරන හැම ක්‍රියාවකින්ම මම දුටුවා. ඔබ මහත් භක්තියෙන් සලකන දේවල් දිහා හොඳින් බලමින් යද්දී මම එක පූජාසනයක් දැක්කා. එහි සඳහන් කර තිබුණේ, ‘නාඳුනන දෙවි කෙනෙකුටය’ කියායි. මම දැන් ඔබට කියා දෙන්නේ ඔබ මෙතෙක් නොදැන සිටියත් මහත් භක්තියකින් සැලකූ ඒ දෙවි ගැනයි.”—ක්‍රියා 17:22, 23.

පාවුල් ඔහු අවට ඇති දේවල් හොඳින් නිරීක්ෂණය කළා. ඒ නිසා අසන්නන් වැඩියෙන් සැලකිලිමත් වන දේවල් ගැන ඔහුට අවබෝධ කරගැනීමට හැකි වුණා. අපත් නිවෙස්වලට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරන විට අවට ඇති දේවල් හොඳින් නිරීක්ෂණය කරමු. උදාහරණයකට, තැන් තැන්වල සෙල්ලම් බඩු තිබෙනවා නම් හෝ දොරේ යම් සලකුණු තිබෙනවා නම් අපට නිවසේ සිටින අය ගැන යම් අවබෝධයක් ලබාගත හැකියි. එවිට අප කතා කළ යුත්තේ කුමක් ගැනද හා එය පැවසිය යුත්තේ කෙසේද කියාත් තේරුම්ගැනීමට හැකි වෙනවා.—කොලොස්සි 4:6.

පාවුල් අන් අයව විනිශ්චය කළේ නැහැ. ඇතන්ස් නුවර වැසියන් තුළ තිබූ “මහත් භක්තිය” නිවැරදි දැණුම මත පදනම්ව නොතිබූ බව පාවුල් තේරුම්ගත්තා. ඒ නිසා සැබෑ දෙවිට නමස්කාර කළ හැකි නිවැරදි ක්‍රමය ඔහු ඔවුන්ට පෙන්වා දුන්නා. (1 කොරින්ති 14:8) එසේනම් අපත් දේවරාජ්‍යය ගැන කතා කරන විට පැහැදිලිව හා ස්ථිරත්වයකින් යුතුව කතා කිරීම කොතරම් වැදගත්ද!

සියල්ලන්ට එක හා සමානව සලකන්න

ඇතන්ස් නුවර වැසියන්ට පාවුල් මෙවැනි දෙයක්ද පැවසුවා. “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ. ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ. මන්ද සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.”—ක්‍රියා 17:24, 25.

යෙහෝවා දෙවි “ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන්” බව පාවුල් සඳහන් කළා. ඒ තුළින් දෙවි ජීවිතයේ උල්පත බව ඉතා ඥානවන්තව ඔවුන්ට පැහැදිලි කර දීමට පාවුල්ට හැකි වුණා. ජීවිතයේ උල්පත යෙහෝවා දෙවි බව ශුභාරංචිය ගැන උනන්දුවක් දක්වන විවිධ සංස්කෘතීන්ට හා ආගම්වලට අයත් ජනයාට කියා දීමට ලැබීම මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද!—ගීතාවලිය 36:9.

යෙහෝවා දෙවි ගැන පාවුල් ඔවුන්ට තවදුරටත් මෙසේ පැවසුවා. ‘ඔහු එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා. මිනිසුන් වාසය කළ යුතු දේශ සීමා ගැනත් ඔවුන් එසේ වාසය කළ යුත්තේ කුමන කාල වකවානුවලද යන්න ගැනත් තීරණය කරන්නේ ඔහුයි. දෙවි එසේ කරන්නේ සියල්ලන්ම දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීම සඳහායි. ඇත්තෙන්ම ඔවුන් ඒ සඳහා මහත් උත්සාහයක් දැරුවොත් ඔහුට ළං වෙන්නත් ඔවුන්ට හැකි වෙයි. එයට හේතුව ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවන නිසයි.’—ක්‍රියා 17:26, 27.

අප උගන්වන ආකාරයෙන් දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන දෙවි කෙනෙකු බව ඔවුන්ට වටහාගත හැකි විය යුතුයි. දෙවි ‘සියල්ලන්ටම තමා වෙත හැරී තමාගේ මඟ පෙන්වීම්’ ලබාගැනීමට ආරාධනා කරන්නේ ඒ නිසයි. ඒ වගේම නිර්මාණකරුවෙක් ගැන විශ්වාස කරන කෙනෙකුට ඔහු වෙතට ළං වීමටත් ඒ තුළින් සදාකාල ආශීර්වාද ලබාගැනීමට උපකාර කිරීමටත් අපට හැකියි. (යාකොබ් 4:8) නමුත් දෙවි කෙනෙක්ව පිළි නොගන්න පුද්ගලයෙකුට උපකාර කිරීමට අපට පුළුවන් කොහොමද? අපි පාවුල්ගේ ආදර්ශය සලකා බලමු.

ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. ‘අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි. ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන් ඒ ගැන පවසා තිබෙන්නේ “අපි ඔහුගේ දරුවෝ” වන බවයි. “අප දෙවිගේ දරුවන් නම් රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.”’—ක්‍රියා 17:28, 29.

ඇතන්ස් නුවර සිටි අය දන්නා සහ ඔවුන් පිළිගත් කවිකාරයන් කියූ දෙයක් සඳහන් කිරීමෙන් පාවුල් බලාපොරොත්තු වුණේ ඔවුන්ගේ අවධානය ලබාගැනීමටයි. ඒ හා සමානව අපගේ අසන්නන්ගේ අවධානය ලබාගැනීමට අපට මෙන්ම ඔවුන්ට හුරු පුරුදු දෙයක් ගැන සඳහන් කරමින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට හැකියි. උදාහරණයකට පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියූ මේ දේ ගැන අපට ගේහිමියා සමඟ කතා කළ හැකියි. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) ඒ සරල උදාහරණය ගැන ගේහිමියා සමඟ සාකච්ඡා කිරීමෙන් අප පවසන දේ කොතරම් සත්‍යයද කියා ඔහුට අවබෝධ කර දීමට හැකියි. පාවුල් යොදාගත් තවත් දක්ෂ ඉගැන්වීමේ ක්‍රමයක් වන්නේ අසන්නාව ක්‍රියාවට පෙලඹවීමට උපකාර කිරීමයි. අපි දැන් ඒ ගැන සලකා බලමු.

අප සිටින කාලය ගැන අවධානය යොමු කරන්න

පාවුල් ඇතන්ස් නුවර වැසියන්ට මෙවැනි දෙයක්ද පැවසුවා. “මිනිසා මෙතෙක් නොදැනුවත්කමින් කළ දේ අමතක කර දමන්න දෙවි කැමතියි. ඒ නිසා දැන් ඔහු මුළු මිනිස් වර්ගයාටම කියන්නේ, පසුතැවිලි වන්න කියායි. එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි. ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි.”—ක්‍රියා 17:30, 31.

දෙවි තාවකාලිකව දුෂ්ටකම පැවතීමට ඉඩ දිමෙන් අප කුමනාකාර පුද්ගලයන්ද කියා ඔප්පු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අද අප ජීවත් වන්නේ මේ සමාජයේ අවසාන දවස්වල බවත් ඉන් අනතුරුව ඉක්මණින් පැමිණෙන දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ගැනත් ජනයාට ඒත්තුගන්වන ආකාරයෙන් ඉගැන්විය යුතුයි.—2 තිමෝති 3:1-5.

විවිධ ප්‍රතිචාර

අපට ලැබෙන ප්‍රතිචාර විවිධ බව පාවුල්ට ලැබුණු මේ ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. “නැවත නැඟිටීම ගැන පාවුල් කතා කරනවා ඔවුන්ට ඇසුණු විට සමහරු ඔහුට සමච්චල් කළෝය. නමුත් තවත් සමහරු, ‘ඔබ පැවසූ මේ දේවල් ගැන තවත් විස්තර වෙනත් වේලාවක අහන්න අපි කැමතියි’ කියා පැවසුවෝය. පසුව පාවුල් එම ස්ථානයෙන් පිටත්ව ගියේය. සමහරු ඔහු සමඟ එකතු වී, යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වූහ.”—ක්‍රියා 17:32-34.

අප උගන්වන දේ සමහරුන්ට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් වුණත් තවත් අයට ඒ සඳහා යම් කාලයක් ගත විය හැකියි. නමුත් අප බයිබලයේ ඇති සත්‍යයන් ඉතාමත් පැහැදිලිව හා සරලව උගන්වද්දී එක් පුද්ගලයෙකු හෝ යෙහෝවා දෙවි ගැන නිවැරදි දැනුම ලබාගැනීමට කැමති වුණොත් එය අපට මොන තරම් සතුටක්ද! යෙහෝවා දෙවි තම පුත්‍රයා ගැන ඉගෙනගැනීම සඳහා ජනයා තුළ ආශාවක් ඇති කිරීමට අපව යොදාගැනීම ගැන අප කොතරම් සතුටු විය යුතුද!—යොහන් 6:44.

අපට ඉගෙනගත හැකි දේ

පාවුල් ශුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය ගැන කල්පනා කර බැලීමෙන් අපටත් ඔහුව අනුකරණය කළ හැකි ආකාර මොනවාද කියා ඉගෙනගත හැකියි. අප සභාවේ ප්‍රසිද්ධ කතා ඉදිරිපත් කරන විට ඉතා පැහැදිලිව හා ඥානවන්තව අපගේ ඉගැන්වීම කළ යුතුයි. එවිට බයිබලය ගැන නොදන්න කෙනෙකුට වුණත් එහි ඇති දේ තේරුම්ගැනීමට හැකි වෙයි. ඒ වගේම රැස්වීමට පැමිණ සිටින නවකයෙකුගේ විශ්වාසයන් විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. අප රැස්වීම්වලදීත් දේවසේවයේදීත් අන් අයව ක්‍රියාවට පොලඹවන ආකාරයෙන් හා ඥානවන්තව කතා කරනවා නම් පාවුල් පැවසූ ලෙස අප ‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන’ බව අපට පවසන්න පුළුවන්.

[30වන පිටුවේ පින්තූරය]

පාවුල් ඉතා පැහැදිලි, සරල හා ඥානවන්ත ලෙස ඉගැන්නුවා

[31වන පිටුවේ පින්තූරය]

ජනයා ගැන සැලකිලිමත් වීමෙන් අපට පාවුල්ව අනුකරණය කළ හැකියි