Skip to content

පටුනට යන්න

කියවීමට හා අධ්‍යයනය කිරීමට ඔබේ දරුවා තුළ ආශාවක් ඇති කරන්න

කියවීමට හා අධ්‍යයනය කිරීමට ඔබේ දරුවා තුළ ආශාවක් ඇති කරන්න

කියවීමට හා අධ්‍යයනය කිරීමට ඔබේ දරුවා තුළ ආශාවක් ඇති කරන්න

ඔබගේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට ඔබට කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ ඔවුන්ට කියවීමට හා අධ්‍යයනය කිරීමට ඉගැන්වීමයි. සමහර අය කුඩා කාලයේදී දෙමාපියන් ඔවුන්ට ඇසෙන්න යම් දේවල් කියවූ ආකාරය තාමත් මතක් කරන්නේ ඉමහත් සතුටිනුයි. ඇත්තෙන්ම කියවීමෙන් බොහෝ ප්‍රයෝජන මෙන්ම ප්‍රීතියක් ලැබෙනවා. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එක් පියෙක් ඒ ගැන පැවසුවේ මෙසේයි. “අපි කියවීම හා අධ්‍යයනය කිරීම වැදගත්ම දේවල් හැටියට සලකනවා.”

හොඳින් අධ්‍යයනය කිරීමට ඉගෙනගැනීමෙන් ඔබේ දරුවාට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකියි. (ගීතා. 1:1-3, 6) ඉදිරියේදී පැමිණෙන විනාශයෙන් ගැලවීමට කියවීමේ හැකියාව සුදුසුකමක් නොවුණත් කියවීමට හැකි නම් මහත් ආශීර්වාද නෙළාගත හැකි බව බයිබලයේ පවසනවා. උදාහරණයකට, එළිදරව් 1:3හි පවසන දේ බලන්න. ‘මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන, ඊට සවන් දෙන, අයට ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.’ එමෙන්ම අධ්‍යයනය කිරීමේදී මනස එක දෙයක් කෙරෙහි යොමු කර තබාගැනීම ඉතා වැදගත්. ඒ බව පාවුල් තිමෝතිට ලියූ මේ දෙයින්ද පැහැදිලි වෙනවා. “ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න.” ඊට හේතුව ඔහුම මෙසේ විස්තර කළා. “එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”—1 තිමෝ. 4:15.

කියවීමට හා අධ්‍යයනය කිරීමට දැන සිටීමෙන් පමණක් කෙනෙකුට ප්‍රයෝජන ලබන්න බැහැ. මන්ද එම හැකියාව තිබෙන බොහෝදෙනා එය භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ කාලය කිසි වටිනාකමක් නැති දේවලට වැය කරනවා. එසේනම් තම දරුවන්ට කියවීමේ හා අධ්‍යයනය කිරීමේ ආශාවක් ඇති කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.

ප්‍රේමය හා ආදර්ශය

ඔබ දරුවන්ට උගන්වන විට එය ප්‍රේමණීයව කරනවා නම් ඔවුන් එයින් මහත් ආස්වාදයක් ලබනවා. ඕවාන් හා ක්ලොඩියා යන යුවළ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ගැන මෙසේ පවසනවා. “පාඩම් කියලා දෙන වේලාව එනකල් ඒ අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. මොකද ඒක එයාලට විශේෂ අවස්ථාවක්. අපේ දරුවෝ දෙන්නා ඒ අවස්ථාවට සහභාගි වුණේ හරිම සතුටින්.” කුඩා කාලයේ සිටම ඔබ දරුවන් සමඟ පවුලේ පාඩම ඉතා සුහදව කර තිබෙනවා නම් ඔවුන් යොවුන් වියේදීත් එම පවුල් පාඩමෙන් ප්‍රයෝජන මෙන්ම මහත් ප්‍රීතියක්ද ලබයි. කලින් සඳහන් කළ යුවළගේ දරුවන් දැන් පුරෝගාමීන් ලෙස සේවය කරනවා. කුඩා කාලයේදී ඔවුන් තුළ ඇති කළ කියවීමේ හා අධ්‍යයනය කිරීමේ පුරුද්ද නිසා දැන් ඔවුන් ප්‍රයෝජන මෙන්ම සතුටක් ලබනවා.

දෙමාපියන්ගේ ආදර්ශයත් මේ සඳහා ඉතා වැදගත්. තම දෙමාපියන් කියවීම හා අධ්‍යයනය කිරීම පුරුද්දක් කරගෙන තිබෙන බව දරුවන් දකින විට ඔවුන්ටත් එය ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. නමුත් එය අමාරු දෙයක් නම් ඔබට කළ හැක්කේ කුමක්ද? ඔබේ ජීවිතයේ මූලික දේ කරගෙන තිබෙන්නේ කුමක්ද සහ කියවීම ගැන ඔබගේ ආකල්පය කුමක්ද කියා සෝදිසි කර බැලීම වැදගත්. (රෝම 2:21) ඔබ දිනපතා කරන දේවල් අතර කියවීමට කාලයක් වෙන් කර තිබෙනවා නම් එය ඔබේ දරුවන්ටත් විශාල බලපෑමක් ඇති කළ හැකියි. ඔබ බයිබලය කියවීම, රැස්වීම්වලට සූදානම් වීම හා පවුලේ පාඩම ගැන දක්වන උනන්දුව ඔබේ දරුවන් දකින විට ඔබ එවැනි ක්‍රියාකාරකම් මොන තරම් වැදගත්කොට සලකනවාද කියා දරුවන්ට අවබෝධ වෙනවා.

ඉන් පැහැදිලි වන්නේ අධ්‍යයනය කිරීමට ඔබට ඇති ආශාව හා ඔබ තබන ආදර්ශය දරුවන් තුළ කියවීමේ ආශාවක් ඇති කිරීමට බොහෝදුරට බලපාන බවයි. ඔබේ දරුවන්ව ඒ සඳහා දිරිගැන්වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

ආශාවක් ඇති කරන්න

ඔබේ දරුවන් තුළ කියවීමට ආශාවක් ඇති කිරීමට කළ හැකි වැදගත් දේවල් මොනවාද? කුඩා කාලයේ සිටම දරුවන් අතට පොත් ලබා දෙන්න. කුඩා කාලයේදී දෙමාපියන් තමන් තුළ කියවීමේ ආශාවක් ඇති කළ ආකාරය ගැන සිහිපත් කරමින් එක් වැඩිමහල්ලෙක් මෙවැනි යෝජනාවක් කරනවා. “පොතක් අල්ලන ආකාරය හා පාවිච්චි කරන ආකාරය හුරු වෙන්න දරුවන්ට ඉඩහරින්න. එවිට දරුවන් පොත්වලට හුරු වන නිසා ඔවුන්ට ඒවා කියවන්න ආශාවක් ඇති වෙනවා.” සමහර දරුවන් කියවන්න ඉගෙනගැනීමට පෙර සිටම උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු හා මගේ බයිබල් කතන්දර පොත වැනි පොත් තමන් ලඟ තබාගන්න ආශාවක් දක්වනවා. දරුවන් සමඟ ඔබ එවැනි පොත් කියවනවා නම් ඔවුන්ට භාෂාව ඉගෙනගන්න පමණක් නොව දෙවිගේ බලයෙන් එළිදරව් කර ඇති දේවල් අවබෝධ කරගැනීමටද හැකි වෙනවා.—1 කොරි. 2:13.

ශබ්ද නඟා කියවන්න. සෑම දිනකම ඔබේ දරුවන් සමඟ කියවීමට වේලාවක් වෙන් කරන්න. එසේ කිරීමෙන් ඔබේ දරුවාට නිවැරදිව වචන උච්චාරණය කිරීමට පමණක් නොව කියවීමේ පුරුද්ද ඇති කරගැනීමටද හැකියි. ඒ වගේම ඔබ කියවන විට උද්‍යෝගයෙන් කියවන්න. එවිට දරුවනුත් එසේ කිරීමට පෙලඹෙනවා. සමහරවිට ඔබේ දරුවන් එකම කතන්දරය නැවත නැවත කියවන්න කියා ඔබෙන් ඉල්ලා සිටිනවා නම් එසේ කරන්න. පසු කාලයකදී ඔවුන්ට අලුත් දෙයක් කියවීමට උනන්දුවක් ඇති විය හැකියි. නමුත් දරුවන්ට කියවීම නිරස වන ආකාරයට හැම වෙලාවෙම එය කරන්න එපා. මෙහිදී අසන්නාට ‘තේරුම්ගත හැකි තරම අවබෝධ කරගත්’ යේසුස්ව ආදර්ශයට ගන්න ඔබට පුළුවන්. (මාක් 4:33) ඔබ දරුවන්ට කියවීමට බල කරන්නේ නැත්නම් ඔවුන් ඉතා ආශාවෙන් එවැනි අවස්ථාවකට හවුල් විය හැකියි. දරුවන් තුළ කියවීමට ආශාවක් ඇති කිරීමේ ඉලක්කය අත් කරගැනීමට ඉන් ඔබට හැකි වෙයි.

දරුවන්ටත් අදහස් දක්වන්න දිරිගන්වන්න. කියවන දේ ගැන සාකච්ඡා කරන්න. කාලයත් සමඟම දරුවන්ට විවිධ වචන හඳුනාගැනීමට, උච්චාරණය කිරීමට හා ඒවායේ තේරුම දැනගැනීමට හැකි වෙනවා. එය දකින ඔබ ලොකු සතුටක් ලබන බව ස්ථිරයි. කියවන දේ ගැන සාකච්ඡා කරන විට ඔවුන්ට තවදුරටත් දියුණු වීමට අවස්ථාව ලැබෙනවා. දරුවන්ට හොඳින් කියවන්න උපකාර කළ හැකි ආකාර ගැන කරුණු ඇතුළත් පොතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. ‘කියවූ දේ සාකච්ඡා කිරීම, වචන හඳුනාගන්නත් ඒවා තේරුම්ගන්නත් දරුවන්ට උපකාරවත් වෙනවා. දරුවන්ට ඉතා ඉක්මනින් ඉගෙනගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් සමඟ ප්‍රයෝජනවත් දේවල් ගැන කතා කිරීම සුදුසුයි.’

ඔබට ඇසෙන්න කියවන්න කියා දරුවන්ට පවසන්න. ඔවුන්ට ප්‍රශ්න ඇසීමට දිරිගන්වන්න. මුලින්ම ඔබ යම් ප්‍රශ්න ඔවුන්ගෙන් අසා ඔබම ඊට පිළිතුරු දෙන්න. එවිට යමක් කියවීමෙන් මොන තරම් දේවල් ඉගෙනගත හැකිද හා ඔවුන් කියවන වචනවල මොන තරම් වැදගත් අදහසක් තිබෙනවාද කියා දරුවන් ඉගෙනගන්නවා. සෑම පොතකටම වඩා වැදගත් පොත වන බයිබලය කියවන විට මේ ක්‍රමයෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි.—හෙබ්‍රෙ. 4:12.

කියවීමට ඉගෙනගන්න නම් කාලය හා පුහුණු වීම වැදගත් බව මතක තබාගන්න. * ඒ නිසා ඔබේ දරුවන් ඒ සඳහා ගන්නා වෑයම්වලට ඔවුන්ට ප්‍රශංසා කිරීම වැදගත්. එවිට ඔවුන් එය ඉතා ආශාවෙන් කිරීමට උනන්දු වෙනවා.

ප්‍රයෝජන මෙන්ම සතුටක් ලැබිය හැකියි

දරුවන් කියවන දේ හොඳින් අවබෝධ කරගැනීමට නම් ඔවුන්ට අධ්‍යයනය කරන ආකාරය ඉගැන්විය යුතුයි. එවිට ඔවුන් තොරතුරු එකිනෙකට සම්බන්ධ වන ආකාරයත් ඉගෙනගන්නවා. ඒ තුළින් සැලසුම් කිරීමේ, මතක තබාගැනීමේ හා ලබාගත් තොරතුරු භාවිත කිරීමේ හැකියාව දියුණු කිරීමට ඔවුන්ට හැකියි. දරුවෙක් අධ්‍යයනය කරන ආකාරය හා එහි ඇති වටිනාකම ඉගෙනගන්නා විට ඔහුට එය ප්‍රයෝජනවත් මෙන්ම සතුටක් ලැබෙන දෙයක් වෙනවා.—දේශ. 10:10.

අධ්‍යයනය කරනවා යන්නෙන් අදහස් කරන දේ කාවද්දන්න. පවුලේ නමස්කාරයට වෙන් කළ සැන්දෑව, දිනපදය සාකච්ඡා කිරීම හා එවැනි තවත් දේවල් දරුවන්ට ඉගෙනගැනීමේ දක්ෂතා දියුණු කිරීමට මහඟු අවස්ථාවන්. එවැනි අවස්ථාවලදී යම් විෂයක් ගැන අධ්‍යයනය කරන නිසා අවධානය යොමු කර තබාගැනීමට දරුවන්ව හුරු කිරීමට එය කදිම ප්‍රස්තාවක්. එය හොඳ අධ්‍යයන පුරුද්දක්. ඔබේ පුතා කියවූ කොටස හා සම්බන්ධ ඔහු දන්නා තවත් කරුණු ගැන පවසන්න ඔහුව දිරිගන්වන්න ඔබට පුළුවන්. යම් දෙයක් තවත් දෙයක් සමඟ සසඳා බලන්න ඒ තුළින් ඔහුට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ දියණියට ඇය කියවූ කොටසේ සාරංශයක් ඇගේ වචනවලින් ඉදිරිපත් කිරීමට දිරිගන්වන්න. එමගින් කියවන කොටසේ අර්ථය වටහාගන්නත් එය මතක තබාගන්නත් ඇයට හැකි වෙනවා. මතක තබාගැනීමට උපකාරයක් වන තවත් දෙයක් වන්නේ කියවූ කොටසේ ප්‍රධාන අදහස් මොනවාද කියා නැවත කීමයි. රැස්වීමේදී හෝ අධ්‍යයනය කරන විට කෙටි සටහන් ගන්නා ආකාරය කියා දෙන්න. මෙවැනි අධ්‍යයන පුරුදු කාරණා හොඳින් වටහාගැනීමට උපකාරවත් වෙයි. එවැනි සරල ක්‍රම නිසා ඔබටත් ඔබේ දරුවන්ටත් ඉගෙනගැනීම රසවත් දෙයක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

අධ්‍යයනය කිරීමට සුදුසු වටපිටාවක් සකසන්න. අධ්‍යයනය කිරීම සඳහා හොඳ වාතාශ්‍රයක් හා ආලෝකය ලැබෙන නිස්කලංක තැනක් මෙන්ම ඉඳගැනීමට පහසු ආසනයක් තිබීම වැදගත්. එවිට අවධානය හොඳින් රඳවා තබාගැනීමට හැකියි. අධ්‍යයනය කිරීම ගැන දෙමාපියන්ට ඇති ආකල්පය දරුවන්ට බොහෝ සේ බලපානවා. ඒ ගැන එක් මවක් මෙසේ පැවසුවා. “කියවීමට හා අධ්‍යයනය කිරීමට වෙන් කළ කාලය ඒ වෙනුවෙන්ම යෙදවීම අවශ්‍යයි. එවිට දරුවන්ද නිසි වෙලාවට දේවල් කිරීමට පුරුදු වෙනවා.” බොහෝ දෙමාපියන් අධ්‍යයනය කරන වෙලාවට වෙනත් වැඩකටයුතු සියල්ල නතර කරනවා. දරුවන්ට හොඳ අධ්‍යයන පුරුදු ඇති කිරීමට එය බෙහෙවින් බලපාන බව එක් විද්වතෙක්ද පැවසුවා.

අධ්‍යයනය කිරීමේ වැදගත්කම කාවද්දන්න. දරුවන් අධ්‍යයනය කර ඉගෙනගත් දේවල් එදිනෙදා ජීවිතයට අදාළ වන ආකාරය ඔවුන්ට තේරුම්ගන්න උපකාර කරන්න. එවිට තමන් ඉගෙනගත් දේවල් මොන තරම් වැදගත්ද කියා ඔවුන්ට අවබෝධ වෙනවා. ඒ ගැන එක් තරුණයෙක් මෙසේ පැවසුවා. “මම අධ්‍යයනය කරන දේ මට වැදගත් නැහැ කියලා හිතුණොත් ඒ ගැන අධ්‍යයනය කරන්න මට පෙලඹීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා නම් ආශාවක් ඇති වෙනවා.” අධ්‍යයනය කිරීමෙන් වැදගත් දෙයක් ඉටු වන බව දරුවන් අවබෝධ කරගත් විට ආශාවෙන් කියවන්නත් අධ්‍යයනය කරන්නත් ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙනවා.

ලැබෙන හොඳම ආශීර්වාදය

දරුවන්ට කියවීමට ඉගැන්වීමෙන් ගණන් කිරීමට නොහැකි තරම් ආශීර්වාද ලැබෙනවා. පාසැලේදී හා රැකියාවේදී සාර්ථකත්වය ලබාගැනීමට හැකි වීම, මිනිසුස් සමඟ හොඳ සම්බන්ධතාවන් ගොඩනඟාගැනීමට හැකි වීම, අප ජීවත් වන සමාජය ගැන අවබෝධ කරගැනීමට හැකි වීම සහ දෙමාපියන් සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගැනීමට හැකි වීම ඉන් ලැබෙන ආශීර්වාද කිහිපයක්.

අධ්‍යයනය කිරීමට ආශාවක් දරුවා තුළ ඇති කිරීමෙන් ලැබෙන වඩාත් වැදගත්ම දේ වන්නේ දෙවිට ගරුබියක් ඇති කෙනෙක් වීමට ඔහුට හැකි වීමයි. දේවවචනයේ “දිගත් පළලත් උසත් ගැඹුරත්” වටහාගැනීමටද ඒ නිසා දරුවාට හැකි වෙනවා. (එෆී. 3:18) ඇත්තෙන්ම ක්‍රිස්තියානී දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ට උගන්වන්න බොහෝ දේ තිබෙනවා. තමන්ගේ දරුවන් යෙහෝවා දෙවිට නමස්කාර කරයි කියා බලාපොරොත්තු වන දෙමාපියන් ඔවුන් වෙනුවෙන් කාලය හා අවධානය යොමු කිරීමට කළ හැකි සියල්ල කරනවා. දරුවන්ට හොඳ අධ්‍යයන පුරුදු ඇති කිරීමෙන් ඔවුන්ට දිගටම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවශ්‍ය උපකාරය දෙමාපියන් ඔවුන්ට ලබා දෙනවා. එසේනම් දරුවන් තුළ කියවීමට හා අධ්‍යයනය කිරීමට ආශාවක් ඇති කිරීමට ඔබ ගන්නා වෑයම්වලට යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න ඔබට හේතු බොහොමයක් තිබෙන බවට කිසිම සැකයක් නැහැ.—හිතෝ. 22:6.

[පාදසටහන]

^ 14 ඡේ. ඉගෙනගැනීමේ දුර්වලතා ඇති අයට කියවීම හා අධ්‍යයනය කිරීම බොහෝ සෙයින් අපහසු විය හැකියි. එවැනි අයට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද කියා 1997 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ 3-10වන පිටුවල සඳහන් කර තිබෙනවා.

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

කියවීමට ආශාවක් ඇති කිරීමට නම් . . .

• පොත් පත් ලබා දෙන්න

• ශබ්ද නඟා කියවන්න

• දරුවන්ට අදහස් දැක්වීමට දිරිගන්වන්න

• කියවූ දේ ගැන සාකච්ඡා කරන්න

• ඔබට ඇසෙන සේ කියවන්න කියා දරුවාට පවසන්න

• ප්‍රශ්න ඇසීමට උනන්දු කරන්න

අධ්‍යයනය සඳහා උනන්දු කිරීමට නම් . . .

• ඔබ හොඳ ආදර්ශයක් වන්න

• මේ සඳහා දරුවන්ව පුහුණු කරන්න:

○ අවධානය දෙන්න

○ සසඳන්න

○ සාරාංශයක් ලෙස ඉදිරිපත් කරන්න.

○ නැවත කියන්න

○ කෙටි සටහන් ගන්න

• අධ්‍යයනය කිරීමට සුදුසු වටපිටාවක් සකසා දීම

• අධ්‍යයනයේ ඇති වැදගත්කම පෙන්වා දීම