Skip to content

පටුනට යන්න

‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’

‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’

‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙවැනි අනතුරු ඇඟවීමක් කළා. “යක්ෂයා ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට” ලක් වෙනවා. නමුත් ඊට කලින් ඔහු මෙසේද පැවසුවා. “ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.” අද දින සැබෑ ක්‍රිස්තියානීන්ව සිරගත කිරීමෙන් ශුභාරංචිය ව්‍යාප්ත කිරීම නතර කිරීමට සාතන් උත්සාහ කරනවා. ඒ නිසා ඔහු සමහර ආණ්ඩු යොදාගෙන සාක්ෂිකරුවන්ට පීඩා එල්ල කළ හැකියි. (එළි. 2:10; 12:17) සාතන් යොදාගන්න උපක්‍රම හඳුනාගන්නත් ඒවාට ‘බිය නොවී’ සිටීමටත් අපට උපකාරවත් වන්නේ කුමක්ද?

අප අතරින් බොහෝදෙනෙක් කුමන හේතුවක් නිසා හෝ බියට පත් වී ඇති. නමුත් දෙවිගේ උපකාරය ඇතුව බිය නොවී සිටීමට අපට හැකි බව බයිබලයේ පවසනවා. ඒ සඳහා දෙවි අපට උපකාර කරන එක් ආකාරයක් වන්නේ සාතන් හා ඔහුගේ නියෝජිතයන් යොදාගන්න විවිධ උපක්‍රම ගැන අවබෝධයක් අපට ලබා දීමයි. (2 කොරි. 2:11) ඒ ගැන බයිබලයේ සඳහන් උදාහරණයක් අපි සලකා බලමු. ඒ වගේම “යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව” සිටි වර්තමාන ආදර්ශ කිහිපයක්ද අපි බලමු.—එෆී. 6:11-13.

දෙවිට ගරුබිය දැක්වූ රජෙක්

ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදී ඇසිරියාවේ රජකම් කළ දුෂ්ට රජු වන සෙනකෙරිබ් ජාතීන් කිහිපයක් සමඟ යුද්ධ කර ජය ගත්තා. ඉන් උද්ධාමයට පත් වූ ඔහු දෙවිගේ සෙනඟට හා යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට සැරසුණා. ඒ වන විට යෙරුසලම පාලනය කළේ දෙවිට ගරුබිය දැක්වූ හෙසකියා රජුයි. (2 රාජා. 18:1-3, 13) මේ පොළොවෙන් සැබෑ නමස්කාරය අතුගා දැමීමට වූ තම අරමුණ සෙනකෙරිබ් ලවා ඉටු කරගැනීමට සාතන් මේ අවස්ථාවේදී ක්‍රියා කරමින් සිටි බවට කිසිම සැකයක් නැහැ.—උත්. 3:15.

යුදෙව්වන්ට යටත් වීමට බල කිරීම සඳහා සෙනකෙරිබ් විශාල පිරිසක්ව යෙරුසලමට යැව්වා. එම පිරිස අතර සෙනකෙරිබ් රජුගේ කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා වූ රබ්ෂාකේද සිටියා. * (2 රාජා. 18:17) ඔහුගේ අභිප්‍රාය වුණේ යුදෙව්වන්ව අධෛර්යයට පත් කර, සටන් නොකරම ඔවුන්ව යටත් කරගැනීමයි. යුදෙව්වන්ව බියගැන්වීමට රබ්ෂාකේ භාවිත කළ සමහර උපක්‍රම මොනවාද?

තනි වී සිටියත් දිගටම විශ්වාසවන්තව

රබ්ෂාකේව හමු වීමට පැමිණි හෙසකියා රජුගේ නියෝජිතයන්ට ඔහු මෙසේ පැවසුවා. ‘ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවෝ හෙසකියාට එවූ මේ පණිවිඩය ගොස් ඔහුට කියන්න. “ඔබ දැන් කවුරුන් මතද විශ්වාසය තබාගෙන ඉන්නේ?” තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුවෙන්ද ඔබ පිහිට පතන්නේ? තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් වෙන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි.’ (2 රාජා. 18:19, 21) රබ්ෂාකේ කළේ බොරු චෝදනාවක්. හෙසකියා රජ ඊජිප්තුවෙන් උපකාර ඉල්ලා තිබුණේ නැහැ. නමුත් එසේ පැවසීමෙන් රබ්ෂාකේට අවශ්‍ය වුණේ යුදෙව්වන්ට උපකාර කිරීමට කිසි කෙනෙක් නොමැති බවත් ඔවුන් තනි වී ඇති බවත් ඔවුන්ට ඒත්තුගැන්වීමටයි.

සැබෑ නමස්කාරයට විරුද්ධ වන අය වර්තමානයේද දෙවිගේ සෙනඟ තුළ බියක් ඇති කිරීම සඳහා ඔවුන්ව තනි කිරීමට උත්සාහ කරනවා. දෙවිට දැක්වූ විශ්වාසවන්තකම නිසා වසර ගණනාවක් සිරගත වී සිටි සහෝදරියකගේ අද්දැකීම සලකා බලන්න. තමන් තනි වී සිටියත් තමාට කිසිම බියක් නොදැනීමට හේතුව පසුව ඇය මෙසේ විස්තර කළා. “යෙහෝවා දෙවිට තවත් කිට්ටු වෙන්න මට යාච්ඤාව විශාල උපකාරයක් වුණා. යෙසායා 66:2 බයිබල් පදය මතක් කරගැනීම මට ශක්තියක් වගේම සහනයක් වුණා. ඒකේ තියෙන්නේ ‘බිඳුණු සිත් ඇති යටහත්පහත් අය’ දෙස යෙහෝවා දෙවි බලාගෙන ඉන්නවා කියලයි.” වසර ගණනාවක් තනි සිරකුටියක සිරගත වී සිටි එක් සහෝදරයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “මාව සිරකුටියක දාලා තිබුණත් යෙහෝවා දෙවියි මායි අතර තියෙන මිත්‍රත්වයට ඒක කිසිම බාධාවක් වුණේ නැහැ.” ඒ සහෝදරයා හා සහෝදරිය තනි වී සිටියත් ඔවුන්ට විඳදරාගැනීමට හැකි වුණේ ඔවුන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබූ නිසයි. එය ඔවුන්ට ශක්තියක් හා ධෛර්යයක් වුණා. (ගීතා. 9:9, 10) දෙවිගේ සේවකයන්ව ඔවුන්ගේ පවුලේ අයගෙන්, මිත්‍රයන්ගෙන් හා සෙසු ක්‍රිස්තියානීන්ගෙන් වෙන් කරන්න දෙවිගේ සතුරන්ට හැකි වුණත් ඔවුන්ව දෙවිගෙන් ඈත් කරන්න ඔවුන්ට හැකි වන්නේ නැහැ.—රෝම 8:35-39.

ඒ නිසා යෙහෝවා දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගැනීමට අපට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීම මොන තරම් වැදගත්ද! (යාකො. 4:8) අප විටින් විට මේ ප්‍රශ්න ගැන සිතා බැලිය යුතුයි. ‘යෙහෝවා දෙවි මට සැබෑ කෙනෙක්ද? දිනපතාම මම ගන්න ලොකු කුඩා සෑම තීරණයකදීම දෙවිගේ වචනයේ ඇති ප්‍රතිපත්ති මම සලකා බලනවාද?’ (ලූක් 16:10)දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න අප අවශ්‍ය පියවර ගන්නවා නම් බිය වීමට කිසිම හේතුවක් නැහැ. යුදෙව්වන් වෙනුවෙන් දෙවිට කන්නලව් කරමින් යෙරෙමියා මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවියනි, ගැඹුරු වළේ සිටියදී ඔබේ නාමය කියා මම ඔබට හඬගැසුවෙමි. ඔබ මාගේ කන්නලව්වට ඇහුම්කන් දෙන බව ස්ථිරය. මා ඔබට කන්නලව් කළ විට ඔබ මා ළඟින්ම සිට, “භය නොවන්න” කියා මට කීවෙහිය.’—විලා. 3:55-57.

දෙවි ගැන සැක ඇති කිරීමට ගත් උත්සාහය

යුදෙව්වන් තුළ දෙවි ගැන සැකයක් ඇති කරවීමට රබ්ෂාකේ කපටි ලෙස විවිධ දේවල් පැවසුවා. ‘දෙවියන්ගේ ශුද්ධස්ථාන හා පූජාසන නෙවෙයිද හෙසකියා කඩා දැමුවේ? ඒ දේශයට විරුද්ධව යුද්ධ කර එය විනාශ කරන්න කියා මට කිව්වේ යෙහෝවා දෙවිමයි’ කියා ඔහු යුදෙව්වන්ට පැවසුවා. (2 රාජා. 18:22, 25) දෙවි ඔහුගේ සෙනඟව අත්හැර දමා ඇති නිසා ඔවුන් වෙනුවෙන් දෙවි සටන් නොකරන බව රබ්ෂාකේ පැවසුවා. නමුත් එය බොරුවක්. මන්ද යෙහෝවා දෙවිගේ අනුමැතිය හෙසකියා රජුට තිබුණා. එමෙන්ම සැබෑ නමස්කාරය නැවත පිහිටුවීමට යුදෙව්වන් පැමිණීම ගැන දෙවි සතුටු වුණා.—2 රාජා. 18:3-7.

අපට පීඩා කරන අය කපටි ලෙස සමහර සත්‍යය තොරතුරු බොරු තොරතුරු සමඟ එකතු කර අපට පවසන්න පුළුවන්. ඔවුන් ඉන් බලාපොරොත්තු වන්නේ අප තුළ සැක ඇති කිරීමටයි. උදාහරණයකට, තමන්ගේ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ වග කිව යුතු සහෝදරයෙක් දෙවිට සේවය කිරීම නතර කර ඇති නිසා සිරගත වී සිටින අපගේ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ විශ්වාසවන්තකම දිගටම තබාගැනීමේ තේරුමක් නැති බව සමහරු ඔවුන්ට පවසා තිබෙනවා. නමුත් ප්‍රඥාවන්තව සිතන සැබෑ ක්‍රිස්තියානීන් තුළ සැක ඇති කිරීමට එවන් අයට හැකි වී නැහැ.

දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී අපගේ සහෝදරියක් ක්‍රියා කළ ආකාරය සලකා බලමු. ඇය සිරගෙදර සිටින විට සභාවේ වග කිව යුතු සහෝදරයෙක් ඔහුගේ විශ්වාසවන්තකම අත්හැර දමන බවට සඳහන් කරමින් අත්සන් කරන ලද ලියවිල්ලක් නිලධාරියෙක් ඇයට පෙන්නුවා. ඇය මේ සහෝදරයාව විශ්වාස කරනවාද කියා ඔහු ඇගෙන් ඇසුවා. “ඔහු අනික් අය වගේ පාපය උරුම කරගෙන ඉන්න පුද්ගලයෙක් විතරයි” කියා සහෝදරිය පිළිතුරු දුන්නා. ඔහු බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන තාක්කල් දෙවි ඔහුව ඒ කාර්යයට යොදාගත් බවත් ඇය එම නිලධාරියාට පැවසුවා. “දැන් ඔහු බයිබල් ප්‍රතිපත්ති නොසලකා හැරලා තියෙන නිසා තවදුරටත් ඔහු මගේ සහෝදරයෙක් නෙමෙයි” කියාද ඇය පැවසුවා. එම සහෝදරිය බයිබලයේ සඳහන් මෙම උපදෙස අදාළ කරගෙන තිබෙන බව පැහැදිලියි. “වංශවත් අය කෙරෙහිවත් ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න.”—ගීතා. 146:3.

දෙවිගේ වචනය ගැන අවබෝධය තිබෙනවා නම් එහි සඳහන් උපදෙස් අදාළ කරගන්නවා නම් අපව නොමඟ යැවීමට පවසන දේවලට නොරැවටී දිගටම විඳදරාගැනීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගත හැකියි. (එෆී. 4:13, 14; හෙබ්‍රෙ. 6:19) ඒ වගේම පීඩා පැමිණෙන විට මනසේ සාමය තබාගෙන පැහැදිලිව සිතන්න නම් අප දිනපතා බයිබලය කියවීමට හා පෞද්ගලික අධ්‍යයනයට මුල් තැන දිය යුතුයි. (හෙබ්‍රෙ. 4:12) ඒ නිසා දේවවචනය ගැන අප සතු අවබෝධය වැඩි කරගෙන අපගේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට දැන් සිටම කටයුතු කරමු. වසර ගණනාවක් හුදෙකලා සිරකුටියක සිටි එක් සහෝදරයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවිගේ වචනයෙන් ලැබෙන හැම මඟ පෙන්වීමකටම හොඳ අවධානයක් දෙන්න කියලා හැමදෙනාවම දිරිගන්වන්න කැමතියි. මොකද ඒවා කොයි වෙලාවේ අපට ප්‍රයෝජනවත් වෙයිද කියලා අපි දන්නේ නැහැ.” අප දෙවිගේ වචනය හා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දී ඇති ප්‍රකාශන ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළ යුතුයි. එවිට පීඩා සහිත කාලවල් පැමිණෙන විට අප ඉගෙනගත් තොරතුරු අපගේ ‘මතකයට නඟාගන්න’ දෙවි ඔහුගේ බලය තුළින් අපට උපකාර කරනවා.—යොහ. 14:26.

බියෙන් ආරක්ෂාවක්

යුදෙව්වන්ව බියගැන්වීමට රබ්ෂාකේ මෙවැනි අභියෝගයක් කළා. ‘මගේ ස්වාමීන් වන ඇසිරියාවේ රජු ඔබට දැන් අශ්වයන් දෙදහසක් දුන්නොත් අඩුම තරමින් ඒ අශ්වයන් ගණනට අසරුවන් සොයාගන්නවත් ඔබට පුළුවන් වෙයිද? මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙකුටවත් පහර දෙන්න පුළුවන්ද?’ (2 රාජා. 18:23, 24) ඇත්තයි, හෙසකියාට හා ඔහුගේ සෙනඟට ඔවුන්ගේ ශක්තියෙන් පමණක් බලවත් ඇසිරියානු හමුදාවට විරුද්ධව යුද්ධ කර ජය ගැනීමට හැකියාවක් නැහැ.

අද දිනත් දෙවිගේ සෙනඟට පීඩා කරන අයට ආණ්ඩුවේ සහයෝගය ලැබෙන විට ඔවුන්ට විශාල බලයක් ලැබෙනවා. දෙවන ලෝක යුද්ධය පැවති කාලයේදී නාට්සිවරුන්ටත් එවැනි බලයක් ලැබුණා. ඔවුන් දෙවිගේ සෙනඟව බියගැන්වීමට වෑයම් කළා. වසර ගණනාවක් සිරගත වී සිටි එක් සහෝදරයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “එක නිලධාරියෙක් මගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයාගේ මල්ලිට වෙඩි තියන විදිහ ඔයා දැන් දැක්කා නේද? ඔයාට දැන් මොකද හිතෙන්නේ?’ මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මම වෙනස් වෙන්නේ නැහැ කියලා උත්තර දුන්නාම එයා කිව්වා, ‘එහෙනම් ඊළඟට වෙඩි තියන්නේ ඔයාටයි.’” සහෝදරයා දිගටම ස්ථිරව සිටි නිසා එම නිලධාරියා ඔහුගේ උත්සාහය අත්හැරියා. එම සහෝදරයාට ඒ අවස්ථාවේදී බියක් නොදැනීමට හේතුව ගැන ඔහු මෙසේ පැවසුවා. “මම යෙහෝවා දෙවිගේ නාමය ගැන විශ්වාස කළා.”—හිතෝ. 18:10.

දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය විනාශ කිරීමට සාතන් ගන්න ඕනෑම උත්සාහයක් නිෂ්ඵල කිරීමට දෙවි කෙරෙහි ඇති ස්ථිර විශ්වාසය නිසා අපට හැකි වෙනවා. (එෆී. 6:16) ඒ නිසා අපගේ විශ්වාසය වැඩි කරන්න කියා අප දෙවිගෙන් ඉල්ලමු. (ලූක් 17:5) ඒ වගේම අපගේ විශ්වාසය වැඩි කිරීමට දාසයා ලබා දී ඇති සැපයුම්වලින්ද අප ප්‍රයෝජන ගත යුතුයි. අපට පීඩාවකට මුහුණ දීමට සිදු වන විට එසකියෙල්ට දෙවි ලබා දුන් සහතිකයෙන් ශක්තියක් ලබන්න පුළුවන්. දෙවි ඔහුට මෙසේ පැවසුවා. “දරුණු සිත් ඇති ඒ මුරණ්ඩු සෙනඟට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය මම ඔබට දෙන්නෙමි. මම ඔබේ නළල ගිනිගලකටත් වඩා ශක්තිමත් වූ දියමන්තියක් මෙන් වීමට සලස්වන්නෙමි.” (එස. 3:8, 9) අවශ්‍ය අවස්ථාවලදී එසකියෙල් මෙන් අපවත් දියමන්තියක් මෙන් ශක්තිමත් කරන්න දෙවිට හැකියි.

වරදට පොලඹවන විට

දෙවිගේ සෙනඟව කිසිම ආකාරයකින් අසු කරගන්න නොහැකි වන විට විරුද්ධකාරයන් බොහෝ විට භාවිත කරන උපක්‍රමය වන්නේ වදරට පෙලඹවීමයි. රබ්ෂාකේද ඒ උපක්‍රමය යොදාගත්තා. ඔහු මෙසේ පැවසුවා. “ඇසිරියාවේ රජුට ඇහුම්කන් දෙන්න. ඔහු පැවසුවේ මෙයයි. ‘දැන් මා ඉදිරියට ඇවිත් මට යටත් වෙන්න. මම ඔබේ දේශය හා සමාන හොඳ දේශයකට ඔබව ගෙන යන්නම්. ධාන්‍යයෙන් සහ අලුත් වයින්වලින්ද රොටි සහ මිදිවතුවලින්ද ඔලීව ගස් සහ මීපැණිවලින්ද පිරුණු දේශයක ඔබට සුවසේ ජීවත් වෙන්න පුළුවන්.’” (2 රාජා. 18:31, 32) පවුරුවලින් කොටු වී සිටි යුදෙව්වන්ට අලුත් ධාන්‍යවලින් සෑදූ රොටි කෑමට හා අලුත් වයින් බීමට හැකි බව පැවසූ විට ඔවුන්ගේ කටට කෙළ උනන්න ඇති.

එක් අවස්ථාවකදී සිරගත වී සිටි මිෂනාරිවරයෙකුගේ අධිෂ්ඨානය දුර්වල කිරීමට නිලධාරීන් එම ක්‍රමය යොදාගත්තා. ඔහු සිටින අපිරිසිදු සිරකුටියෙන් නිදහස් වී මාස හයක පමණ කාලයකට ‘සුවසේ ජීවත් වෙන්න පුළුවන්’ නිවසකට යා හැකි බව ඔවුන් එම සහෝදරයාට පැවසුවා. නමුත් එම සහෝදරයා දෙවිට දිගටම විශ්වාසවන්තව සිටියා. ඒ සඳහා ඔහුට උපකාරවත් වූ දේ ගැන ඔහු මෙසේ පවසනවා. “දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුව මගේ හිතට තදින්ම කාවැදිලා තිබුණා. මට ඒ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ තීරණය වෙනස් කරන්න ඔවුන්ට බැරි වුණා.”

දේවරාජ්‍යය ගැන අපට ඇති බලාපොරොත්තුව කොතරම් ශක්තිමත්ද? ආබ්‍රහම්, පාවුල් සහ යේසුස් වැනි අයට බොහෝ පීඩා විඳදරාගැනීමට හැකි වුණේ ඔවුන්ට දේවරාජ්‍යය ගැන ස්ථීර විශ්වාසයක් තිබූ නිසයි. (ෆිලි. 3:13, 14; හෙබ්‍රෙ. 11:8-10; 12:2) අපත් අපගේ ජීවිතයේ දේවරාජ්‍යයට මුල් තැන දෙනවා නම් හා ඉන් ලැබෙන ආශීර්වාද ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳ දමන්න කරන යෝජනාවලට හසු වන්නේ නැහැ.—2 කොරි. 4:16-18.

යෙහෝවා දෙවි අපව අත්හරින්නේ නැහැ

හෙසකියා රජුව හා යුදෙව්වන්ව බියගන්වන්න රබ්ෂාකේ ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. මන්ද ඔවුන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. (2 රාජා. 19:15, 19; යෙසා. 37:5-7) ඇසිරියානු සෙබළුන් 1,85,000ක් එක රැයකින් විනාශ කිරීමට දේවදූතයෙකුව එවීමෙන් දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන් බව පැහැදිලියි. පසු දින සෙනකෙරිබ් ඔහුගේ ඉතුරු හමුදා භටයින් සමඟ පරාජිතයෙක් ලෙස නැවත නිනිවයට ගියා.—2 රාජා. 19:35, 36.

යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබූ අයව ඔහු කිසිම දිනක අත්හරින්නේ නැහැ. වර්තමානයේ පීඩා මැද දෙවිට විශ්වාසවන්තව සිටි සහෝදර සහෝදරියන්ද එය අද්දැක තිබෙනවා. යෙහෝවා දෙවි අප සමඟ සිටින තාක්කල් අප කිසි දෙයකට බිය විය යුතු නැහැ. මන්ද ඔහු අපට මෙසේ පොරොන්දු වී තිබෙනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.’”—යෙසා. 41:13.

[පාදසටහන]

^ 6 ඡේ. “රබ්ෂාකේ” යනු ඔහුගේ නම නොවෙයි. එය ඇසිරියානු පාලනයේ උසස් තනතුරකි.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“භය නොවන්න” කියා යෙහෝවා දෙවි විසින්ම ලබා දුන් සහතිකය වාර 30කට වඩා වැඩි ගණනක් බයිබලයේ සඳහන් වී තිබෙනවා

[12වන පිටුවේ පින්තූරය]

අද දින සිටින දෙවිගේ සතුරන් යොදන උපක්‍රම රබ්ෂාකේ යෙදූ උපක්‍රම හා සමාන වන්නේ කොහොමද?

[15වන පිටුවේ පින්තූර]

දෙවි සමඟ කිට්ටු බැඳීමක් පවත්වාගැනීම පීඩා යටතේ දෙවිට විශ්වාසවන්ත සිටීමට උපකාරයක්