Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ දවසේදී සිදු වන්නේ කුමක්ද?

යෙහෝවා දෙවිගේ දවසේදී සිදු වන්නේ කුමක්ද?

යෙහෝවා දෙවිගේ දවසේදී සිදු වන්නේ කුමක්ද?

‘යෙහෝවා දෙවිගේ දවස සොරෙකු මෙන් පැමිණෙන්නේය. පොළොවද එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.’—2 පේතෘ. 3:10.

1, 2. (අ) දැන් පවතින දුෂ්ට ලෝකය නැති වෙන්නේ කොහොමද? (ආ) අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

මේ දුෂ්ට ලෝකය රඳා පවතින්නේ, දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිව මිනිසාට තමාවම සාර්ථක ලෙස පාලනය කළ හැකියි යන බොරුව මතයි. (ගීතා. 2:2, 3) බොරුවක් මත පදනම් වූ දෙයක් සැමදාම පවතින්න පුළුවන්ද? බැහැ. සාතන්ගේ ලෝකය එය විසින්ම විනාශ වන තුරු බලා සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි නියමිත කාලයේදී හා ඔහුට අවශ්‍ය ආකාරයට එය විනාශ කරයි. ඒ තුළින් ඔහුගේ යුක්තිය හා ප්‍රේමය පැහැදිලිව දැකගත හැකියි.—ගීතා. 92:7; හිතෝ. 2:21, 22.

2 යෙහෝවා දෙවිගේ දවස ගැන පේතෘස් මෙවැනි දෙයක් පැවසුවා. එය “සොරෙකු මෙන් පැමිණෙන්නේය. ඒ දවසේදී අහස මහත් ශබ්දයකින් නැති වී යයි. අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි. පොළොවද එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.” (2 පේතෘ. 3:10) පේතෘස් සඳහන් කරන “අහස” සහ “පොළොව” කුමක්ද? එහි ඇති “දේවල්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “පොළොවද එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී” යනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමෙන් ඉතා ඉක්මනින්ම පැමිණීමට නියමිත දෙවිගේ දවසට සුදානම්ව සිටීමට අපට හැකියි.

නැති වීමට නියමිත අහස සහ පොළොව

3. දෙවන පේතෘස් 3:10හි සඳහන් “අහස” කුමක්ද? එය නැති වී යන්නේ කොහොමද?

3 බයිබලයේ “අහස” යන වචනය පාලන ක්‍රම හැඳින්වීමටද භාවිත කර තිබෙනවා. (යෙසා. 14:13, 14; එළි. 21:1, 2) එසේනම් ‘නැති වී යන අහසෙන්’ අදහස් කරන්නේ මේ දුෂ්ට ලෝකය පාලනය කරන මිනිස් ආණ්ඩුයි. ඒවා “මහත් ශබ්දයකින්” නැති වී යනවා කියද්දී ඉන් අදහස් කරන්නේ ක්ෂණිකව සිදු වන විනාශයක් ගැනයි.

4. “පොළොව” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය විනාශ වෙන්නේ කොහොමද?

4 පේතෘස් සඳහන් කරන ‘පොළොවෙන්’ නියෝජනය වන්නේ දෙවිගේ මඟ පෙන්වීම් පිළි නොගන්නා මිනිස් සමාජයයි. එවැනි සමාජයක් නෝවාගේ දවස්වලදීත් දකින්න තිබුණා. දෙවි ජලගැල්මක් මාර්ගයෙන් ඒ කාලයේ සිටි දුෂ්ටයන්ව විනාශ කළා. ඉදිරියේදී සිදු වන විනාශය ගැන පේතෘස් මෙවැනි දෙයක් පවසනවා. “එම අණ පරිදිම දැන් පවතින අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය. එනම් විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.” (2 පේතෘ. 3:7) නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්මෙන් දෙවිට කිසි ගෞරවයක් නොදැක්වූ සියලුම මිනිසුන් එකවිටම විනාශ වුණත් ඉදිරියේදී පැමිණෙන විනාශය සිදු වන්නේ අදියරයෙන් අදියරයි. ඒ ‘මහත් පීඩාව’අතරතුර කාලයේදීයි. (එළි. 7:14) මහත් පීඩාවේ මුල් අදියරයේදී දෙවි දේශපාලනය යොදාගෙන “මහ බැබිලෝනිය” හෙවත් දෙවි ගැන අසත්‍ය උගන්වන සියලුම ආගම් විනාශ කරනවා. (එළි. 17:5, 16; 18:8) මහත් පීඩාවේ අවසාන අදියරයේදී එනම්, හර්–මගෙදොන් යුද්ධයේදී දෙවි සාතන්ගේ ලෝකයේ ඇති සියලු දේ විනාශ කරනවා.—එළි. 16:14, 16; 19:19-21.

“අහසෙහි හා පොළොවෙහි ඇති දේවල් දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි”

5. දැඩි රස්නය නිසා උණු වී යන දේවල් මොනවාද?

5 දැඩි රස්නය නිසා උණු වී යන “දේවල්” මොනවාද? මේ දුෂ්ට ලෝකයේ සිටින මිනිසුන්ට ආවේණික ලක්ෂණ, ආකල්ප, ජීවන මාර්ග හා ඔවුන් හඹා යන ඉලක්ක ඊට අයත් වෙනවා. එමෙන්ම ‘දෙවිට අකීකරු සියලුදෙනා තුළින් දිස් වන මේ ලෝකයේ බලපෑමද’ ඊට ඇතුළත්. (1 කොරි. 2:12; එෆීස 2:1-3 කියවන්න.) එම බලපෑම අප හුස්ම ගන්නා “වාතය” මෙන් හාත්පස පැතිරී තිබෙනවා. එය මිනිසුන්ගේ කල්පනා, සැලසුම්, කතාබහ හා ක්‍රියාවලට ප්‍රබල ලෙස බලපා තිබෙනවා. ඊට හසු වූ අය සාතන්ගේ ගතිලක්ෂණ විදහාපෙන්වනවා.

6. මේ ලෝකයේ බලපෑමට හසු වී සිටින අය ක්‍රියා කරන්නේ කොහොමද?

6 දැන හෝ නොදැන මේ ලෝකයේ බලපෑමට හසු වී සිටින අය ක්‍රියා කරන්නේ සාතන් සිතනපතන ආකාරයටයි. ඒ නිසා ඔවුන් දෙවිගේ කැමැත්ත ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔවුන් නිතරම තමන් ගැන පමණක් සිතා කටයුතු කරන අතර ඔවුන් තුළ උඩඟුකමද දකින්න තිබෙනවා. ඒ වගේම ඔවුන් අධිකාරියක් ඇති අයට විරුද්ධව කැරලිගැසීමට පෙලඹෙනවා. එමෙන්ම ‘ඉඳුරන් පිනවීමටත් දකින දකින දේ ලබාගැනීමටත්’ ඔවුන් ආශාවක් දක්වනවා.1 යොහන් 2:15-17 කියවන්න. *

7. අපගේ ‘සිත ආරක්ෂා කරගැනීම’ වැදගත් වන්නේ ඇයි?

7 බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගැනීමෙන් අපගේ ‘සිත ආරක්ෂා කරගැනීම’ මොන තරම් වැදගත්ද! (හිතෝ. 4:23) උදාහරණයකට අපගේ මිත්‍රයන්, අප කියවන දේවල්, විනෝදය වෙනුවෙන් කරන දේවල් තේරීමේදී හා අන්තර්ජාලය භාවිත කිරීමේදී දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව තීරණ ගැනීමෙන් අපගේ සිත ආරක්ෂා කරගත හැකියි. එහි ඇති වැදගත්කම ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.” (කොලො. 2:8) යෙහෝවා දෙවිගේ දවස ළං වන නිසා එම උපදෙස පිළිපැදීමට අප ඉක්මන් විය යුතුයි. මන්ද ඒ දවසේදී සාතන්ගේ පාලනය යටතේ ඇති සියලු “දේවල්” නැති වී යාමට නියමිතයි. ඒ ගැන මලාකි 4:1හිද මෙවැනි දෙයක් සඳහන් කර තිබෙනවා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘සියල්ල දවා දමන ගිනි උදුනක් මෙන් ඒ දවස පැමිණෙන්නේය. ඒ දවසේදී අහංකාරයෙන් ඉදිමී සිටින සියලුදෙනාද දුෂ්ටකම් කරන සියලුදෙනාද පිදුරු මෙන් දැවී යන්නෝය. ඒ දවසේදී ගසක මුල් සමඟ එහි කඳ විනාශ කරන්නාක් මෙන් ඒ සියලුදෙනාම සහමුලින්ම විනාශ වී යන්නෝය.’”

“සෑම දෙයක්ම පිලිස්සී යනු ඇත”

8. “පොළොවද එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී” යනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

8 “පොළොවද එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී” යනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ සාතන් පාලනය කරන මේ ලෝකය දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් විරුද්ධ නිසා එය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. ඒ කාලයේදී සිදු වන දේ ගැන යෙසායාද මෙසේ අනාවැකි පැවසුවා. “මන්ද දේශයේ වැසියන් ඔහුට විරුද්ධව කළ වැරදිවලට නිසි දඬුවම් දීමට යෙහෝවා දෙවි වන මම මාගේ වාසස්ථානයේ සිට පැමිණෙමි. එවිට පොළොව නිරපරාදේ ලේ වැගිරෙවූ අයව තවත් සඟවා තබන්නේ නැත. මරා දැමූ අයගේ ලේ ගැන තවත් නිහඬව නොසිටිනු ඇත.”—යෙසා. 26:21.

9. (අ) අප ප්‍රතික්ෂේප කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි? (ආ) අප වර්ධනය කරගත යුත්තේ කුමක්ද? ඒ ඇයි?

9 මේ ලෝකයේ ආකල්පවලට අනුව හැඩගැසී සිටින්නේ කවුද කියා යෙහෝවා දෙවිගේ දවසේදී පහසුවෙන්ම හඳුනාගත හැකියි. අනාගතයේදී එකිනෙකා ‘තම තමන්ගේ මිත්‍රයාට විරුද්ධව සටන්’ කරන කාලයක් පැමිණෙන බව බයිබලයේ සඳහන් වෙනවා. (සෙක. 14:13) වර්තමානයේ ඉතා ජනප්‍රිය ප්‍රචන්ඩකාරී විනෝදාස්වාදයන්, මිනිසුන්ගේ මනස් දැන් සිටම ඒ සඳහා සූදානම් කරනවා. ඒ නිසා ප්‍රචන්ඩකාරීත්වයට හා උඩඟුකමට දිරිදෙන චිත්‍රපට, පොත්, විඩියෝ ක්‍රිඩා වැනි දේවල් ප්‍රතික්ෂේප කිරීම මොන තරම් වැදගත්ද! (2 සාමු. 22:28; ගීතා 11:5) ඒ වෙනුවට දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග වර්ධනය කරගැනීමට උත්සාහ කරමු. දෙවිගේ මහත් දවසෙන් ගැලවීමට අපට ඒවා උපකාරවත් වෙයි.—ගලා. 5:22, 23.

“අලුත් අහසක් හා අලුත් පොළොවක්”

10, 11. ‘අලුත් අහසෙන්’ හා ‘අලුත් පොළොවෙන්’ නියෝජනය වන්නේ කුමක්ද?

10 දෙවන පේතෘස් 3:13 කියවන්න. වර්ෂ 1914දී “ජාතීන් සඳහා නියමිත වූ කාලය” අවසන් වූ පසු ‘අලුත් අහසෙන්’ නියෝජනය වන දේවරාජ්‍යය පිහිටුවනු ලැබුවා. (ලූක් 21:24) එම ආණ්ඩුවට යේසුස් සහ 1,44,000දෙනා ඇතුළත් වෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දැනටමත් ස්වර්ගයට ගොස් අවසන්. ඔවුන්ව එළිදරව් පොතේ විස්තර කර තිබෙන්නේ මෙසේයි. “ශුද්ධ නුවර වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ මනාලියක් සේ සූදානම් වී දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.” (එළි. 21:1, 2, 22-24) දේවරාජ්‍යය සෑදී තිබෙන්නේ අභිෂේක ලත් අය වන නව යෙරුසලම හා යේසුස්ගෙනුයි. නව යෙරුසලම ‘ස්වර්ගයෙන් බැස එනවා’ කීමෙන් අදහස් කරන්නේ පොළොව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරන බවයි.

11 ‘අලුත් පොළොවෙන්’ නියෝජනය වන්නේ දේවරාජ්‍යයට කැමැත්තෙන්ම යටත් වන මිනිස් සමාජයයි. දෙවිගේ සෙනඟ දැනටමත් පාරාදීසයක් බඳු තත්වයක් භුක්ති විඳිනවා. “ඉදිරියේදී ජනාවාස වන පොළොව” සැබවින්ම පාරාදීසයක් බවට පත් වෙනවා. (හෙබ්‍රෙ. 2:5) එහි ජීවත් වීමට අප කුමක් කළ යුතුද?

දෙවිගේ මහත් දවසට සූදානම් වන්න

12. දෙවිගේ දවස පැමිණෙන විට මිනිසුන් ඒ ගැන පුදුම වන්නේ ඇයි?

12 දෙවිගේ දවස “සොරෙකු මෙන්” අප නොසිතන වේලාවක පැමිණෙන බව පාවුල් හා පේතෘස් පැවසුවා. (1 තෙසලෝනික 5:1, 2 කියවන්න.) ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින සැබෑ ක්‍රිස්තියානීන් පවා එම දවස පැමිණෙන විට පුදුමයට පත් වෙයි. (මතෙ. 24:44) දෙවිගෙන් ඈත් වූ මිනිසුන් ඒ ගැන පුදුම වෙනවා පමණක් නොව ඔවුන්ට ඊට වඩා වැඩි දෙයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “[දෙවිගෙන් ඈත් වූ සෙනඟ] ‘මෙන්න, “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා”’ කියා පවසමින් සිටින විට ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වන්නා සේ නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. එයින් ඔවුන් කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැත.”—1 තෙස. 5:3.

13. “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” යන බොරුවට හසු නොවී සිටින්න අපට පුළුවන් කොහොමද?

13 ලෝකයට “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා සාතන් පවසන බොරුවට දෙවිගේ සෙනඟ රැවටෙන්නේ නැහැ. ඊට හේතුව ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔබ අන්ධකාරයෙහි සිටින අය නොවේ. එහෙයින් හිරු උදා වීමෙන් අවදානමකට ලක් වන සොරෙකු මෙන් ඔබ ඒ දවසේදී අවදානමකට ලක් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ආලෝකයේ දරුවෝ සහ දිවා කාලයේ පුත්‍රයෝය.” (1 තෙස. 5:4, 5) ඒ නිසා අප සාතන්ගේ අන්ධකාර ලෝකයෙන් ඈත් වී දෙවි ලබා දෙන ආලෝකයේ එනම්, දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙමු. ඒ සම්බන්ධයෙන් පේතෘස් අපට මෙවැනි උපදෙසක් දෙනවා. “ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබට ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබී ඇති නිසා සෝදිසියෙන් සිටින්න. කිසි ප්‍රතිපත්තියකට ගරු නොකරන එවැනි අය [එනම්, ක්‍රිස්තියානි සභාවේ සිටින බොරු ගුරුවරු] කරන වැරදිවලට හසු නොවන්න. ඔබේ ස්ථිර අධිෂ්ඨානය නැති කර නොගැනීමට වගබලා ගන්න.”—2 පේතෘ. 3:17.

14, 15. (අ) දෙවි අපව ගෞරවයට පත් කර තිබෙන්නේ කොහොමද? (ආ) අප බැරෑරුම්ව සැලකිය යුත්තේ කුමන අනතුරු ඇඟවීමද?

14 දෙවි අපට “සෝදිසියෙන් සිටින්න” කියා පවසනවා පමණක් නොව ඉදිරියට සිදු වීමට නියමිත දේවල් ගැන යම් ‘අවබෝධයක් කල්තියාම’ ලබා දෙනවා. එමගින් දෙවි අපව ගෞරවයට පත් කර තිබෙනවා.

15 සෝදිසියෙන් සිටීම සඳහා ලබා දෙන මතක් කිරීම් සමහරුන් සුළුවටගැනීම කනගාටුවට කරුණක්. ‘ඕක කවදා ඉඳලා කියනවාද’ කියා එවැනි අය පවසන්න පුළුවන්. එසේ පැවසීමෙන් ඔවුන් සැක කරන්නේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පමණක් නොව යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් පවසන දේවල් බව ඔවුන් මතක තබාගත යුතුයි. මන්ද “බලාපොරොත්තුවෙන් සිටින්න” කියා පවසා තිබෙන්නේ යෙහෝවා දෙවියි. (හබ. 2:3) යේසුස්ද මෙසේ පැවසුවා. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ.” (මතෙ. 24:42) පේතෘස්ද මෙවැනි දෙයක් සඳහන් කළා. “ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි. එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න.” (2 පේතෘ. 3:11, 12) විශ්වාසවන්ත නුවණ ඇති දාසයා හා පාලක මණ්ඩලය එම අනතුරු ඇඟවීම කිසිම දවසක සැහැල්ලුවට ගන්නේ නැහැ.

16. අප වැළකී සිටිය යුතු ආකල්පය කුමක්ද? ඒ ඇයි?

16 ස්වාමියා ප්‍රමාදයි කියා පවසන්නේ ‘දුෂ්ට දාසයායි.’ (මතෙ. 24:48) ඒ දුෂ්ට දාසයාට, 2 පේතෘස් 3:3, 4හි සඳහන් ‘අවසාන කාලයේදී තම ආශාවන් අනුව හැසිරෙමින්’ දෙවිගේ දවස මනසේ තබාගෙන ඔහුට කීකරු වන අයට ‘සමච්චල් කරන’ අයද ඇතුළත් වෙනවා. ඔවුන් දෙවිට සේවය කරමින් ඔහුගේ රාජ්‍යයට පක්ෂපාත නොවී තමන්ගේම ආශාවන් ඉටු කරගැනීමට වෙහෙසෙනවා. අප කිසිම දිනක එවැනි අනතුරුදායක ආකල්පයක් ඇති කර නොගනිමු. ඒ වෙනුවට ‘ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ගැලවීමට දායක වන බව සැලකිල්ලට’ ගෙන අප දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා දෙවි ගැන ඉගැන්වීමේ කාර්යයෙහි කඩිසරව යෙදෙමු. දෙවි නියමිත කාලයේදී නියමිත දේවල් කරන නිසා අපි කාලය ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වන්න අවශ්‍ය නැහැ.—2 පේතෘ. 3:15; ක්‍රියා 1:6, 7 කියවන්න.

ගැලවීම ලබා දෙන්නේ දෙවියි

17. සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? ඒ ඇයි?

17 ක්‍රිස්තු වර්ෂ 66 රෝම හමුදාව යෙරුසලම වැටලූ අවස්ථාවේදී යේසුස්ගේ අනතුරු ඇඟවීමට අනුව ක්‍රියා කළ සැබෑ ක්‍රිස්තියානීන් ඉක්මනින්ම පලා ගියා. (ලූක් 21:20-23) ඔවුන් එවැනි තීරණයක් ගත්තේ යේසුස් දුන් අනතුරු ඇඟවීම ඔවුන්ගේ මනසේ ප්‍රමුඛව තබාගත් නිසයි. ඔවුන් ගත් තීරණය නිසා අසීරුතාවලට මුහුණ දීමට සිදු වන බව ඔවුන් දැන සිටියා. ඊට හේතුව යේසුස් ඒ ගැන කලින්ම පවසා තිබීමයි. ඒ වගේම යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව අත් නොහරින බවද ඔවුන් දැන සිටියා.—ගීතා 55:22.

18. මහත් පීඩාව සම්බන්ධයෙන් ලූක් 21:25-28හි සඳහන් වචන ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

18 අපට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. කිසි දිනක සිදු නොවූ නමුත් ඉදිරියේදී සිදු වීමට නියමිත මහත් පීඩාවෙන් අපට ගැලවීම ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. මහත් පීඩාව අතරතුර කාලයේදී ඒත් දෙවි ඔහුගේ සතුරන් මතට විනාශය ගෙන ඒමට පෙර සිදු වන දේ ගැන බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. “ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි.” දෙවිගේ සතුරන් ඒ දවසේදී බියෙන් තැතිගත්තත් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට නම් එය බිය උපදවන දවසක් නොව ප්‍රීතිමත් දවසක්. ඊට හේතුව ඔවුන්ගේ ගැලවීම ළං වී ඇති බව ඔවුන් දැන සිටීමයි.ලූක් 21:25-28 කියවන්න.

19. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

19 මේ ලෝකයේ ඇති “දේවල්” හා එහි බලපෑමෙන් ඈත් වී සිටින අයට ලැබෙන්නේ මොන තරම් දීප්තිමත් අනාගතයක්ද! නමුත් අපට සදාකාල ජීවනය ලබාගැනීමට අවශ්‍ය නම් අප නරක දේවලින් වැළකී සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. අප යෙහෝවා දෙවිට ප්‍රසන්න ගුණාංග වර්ධනය කරගත යුතු අතර දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කළ යුතුයි. ඒ ගැන අප ඊළඟ ලිපියෙන් සලකා බලමු.—2 පේතෘ. 3:11.

[පාදසටහන]

^ 6 ඡේ. ඒ ගැන තවත් විස්තර දැනගැනීමට Reasoning From the Scriptures යන පොතේ 389-392 පිටු බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• පහත සඳහන් දේවලින් නියෝජනය වන්නේ මොනවාද?

දැන් පවතින ‘අහස හා පොළොව.’

දැඩි උෂ්ණත්වය නිසා උණු වී යන “දේවල්.”

‘අලුත් අහස සහ අලුත් පොළොව.’

• අප දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූරය]

අපගේ ‘සිත ආරක්ෂා කරගනිමින්’ මේ ලෝකයෙන් වෙන්ව සිටින්න පුළුවන් කොහොමද?

[6වන පිටුවේ පින්තූරය]

‘ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ගැලවීමට දායක වන බවට’ විශ්වාසයක් ඇති බව අප පෙන්වන්නේ කොහොමද?