Skip to content

පටුනට යන්න

දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළා

දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළා

දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළා

“දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය. ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය. දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය.”—රෝම 3:25.

1, 2. (අ) මිනිසුන් සිටින තත්වය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? (ආ) මෙම ලිපියේ සලකා බලන ප්‍රශ්න මොනවාද?

අපගේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒව ඒදන් උයනේදී දෙවිට විරුද්ධව ක්‍රියා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අප සෑමදෙනාටම අත්විඳීමට සිදු වූ දේ බයිබලයේ මෙසේ විස්තර කරනවා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.” (රෝම 5:12) අප හරි දේ කිරීමට කොතරම් වෑයම් කළත් අප අතින් වැරදි සිදු වන නිසා අපට දෙවිගෙන් සමාව අවශ්‍යයි. පාවුල් තමන් ගැනම මෙසේ පැවසුවා. “මා යහපත කරන්න කැමති වුණත් මා අතින් සිදු වන්නේ මා කරන්න අකමැති නපුරු දේමයි. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!”—රෝම 7:19, 24.

2 අපි දැන් මෙම ලිපියෙන් මේ ප්‍රශ්න තුනට පිළිතුරු සොයා බලමු. යේසුස් ක්‍රිස්තුස් කිසිම පාපයක් උරුම කර නොගෙන මෙළොවට බිහි වුණේ කොහොමද? ඔහු බව්තීස්ම වුණේ ඇයි? දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළේ කොහොමද? ඔහුගේ මරණයෙන් ඉටු වුණේ කුමක්ද?

දෙවිගේ ධර්මිෂ්ඨ පාලනයට අභියෝගයක්

3. සාතන් ඒවව රැවටුවේ කොහොමද?

3 ආදම් සහ ඒව දෙවිගේ පාලනයට යටත් වීම ප්‍රතික්ෂේප කර, ‘යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාගේ’ පාලනයට යටත් වුණා. (එළි. 12:9) එය සිදු වූ ආකාරය සලකා බලමු. දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ එකක්ද කියා සැකයක් ඇති කිරීමට සාතන් ඒවගෙන් මෙසේ ඇසුවා. “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?” එක ගසකින් පමණක් පලතුරු කන්න එපා කියා දෙවි පැවසූ බවත් එයින් කෑවොත් ඔවුන් මිය යන බවත් ඇය සාතන්ට පැවසුවා. එවිට දෙවි බොරු කියන බවට චෝදනා කරමින් සාතන් මෙසේ පැවසුවා. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.” ඒ වගේම දෙවි ඔවුන්ගෙන් යම් යහපත් දෙයක් වළක්වා ඇති බවද ඒවට ඒත්තුගැන්වීමට සාතන් උත්සාහ කළා. ඒ ගසෙන් කෑවොත් ඇයටම හොඳ නරක තීරණය කර දෙවිට සමාන විය හැකි බව සාතන් ඒවට පැවසුවා.—උත්. 3:1-5.

4. සාතන්ගේ පාලනයට යටත් වීමට මිනිසුන්ට සිදු වුණේ ඇයි?

4 සාතන් උත්සාහ කළේ දෙවිගේ පාලනයට යටත් නොවීමෙන් ඔවුන්ට වැඩි සතුටක් භුක්ති විඳිය හැකි බව ඒත්තුගැන්වීමටයි. දෙවිගේ පාලනයට යටත් වෙනවා වෙනුවට ආදම් ඔහුගේ භාර්යාව සමඟ එකතු වී දෙවි තහනම් කර තිබූ ගසෙන් පලතුරු කෑමෙන් දෙවිට අකීකරු වුණා. එසේ කිරීමෙන් ඔහුට දෙවි සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වය නැති වූ අතර ඔහුගෙන් පැවත එන අප සියලුදෙනාටම පාපය හා මරණය උරුම කර දුන්නා. ඒ වගේම ‘මේ සමාජයේ දෙවියාගේ’ පාලනය යටතට ඔහු මිනිසුන්ව ඇද දැමුවා.—2 කොරි. 4:4; රෝම 7:14.

5. (අ) ආදම් සහ ඒව සම්බන්ධයෙන් දෙවි පැවසූ දේ ඉටු වුණේ කොහොමද? (ආ) ඔවුන්ගෙන් පැවත එන අයට දෙවි ලබා දුන් බලාපොරොත්තුව කුමක්ද?

5 යෙහෝවා දෙවි පැවසූ ආකාරයටම ආදම් සහ ඒව මිය ගියා. (උත්. 3:16-19) ඉන් අදහස් කළේ දෙවිගේ මුල් අරමුණට බාධා ඇති වූ බවද? නැහැ. ආදම් සහ ඒවට දඬුවම් නියම කළ අවස්ථාවේදී ඔවුන්ගෙන් පැවත එන්නන්ට දෙවි බලාපොරොත්තුවක් දුන්නා. එනම් දෙවි විශේෂ ‘තැනැත්තෙකුව’ ලබා දෙන බවයි. සාතන් ඒ තැනැත්තාගේ විලුඹ පොඩි කළත් ඔහු සාතන්ගේ “හිස පොඩි” කරන බව ඒ අවස්ථාවේදී දෙවි පැවසුවා. (උත්. 3:15) එය සිදු කරන්නේ යේසුස් බව බයිබලයේ මෙසේ සඳහන් කරනවා. “දෙවිගේ පුත්‍රයා පැමිණියේ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.” (1 යොහ. 3:8) දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ක්‍රියා කළ ආකාරයෙන් හා ඔහුගේ මරණයෙන් ඔප්පු වන්නේ කොහොමද කියා අපි දැන් සලකා බලමු.

යේසුස්ගේ බව්තීස්මය

6. යේසුස් පාපය උරුම කරගෙන සිටියේ නැති බව අප දන්නේ කොහොමද?

6 යේසුස් පරිපූර්ණ පුද්ගලයෙකු ලෙස මෙලොව උපත ලැබූ නිසා ඔහු ආදම්ට සමානයි. (රෝම 5:14; 1 කොරි. 15:45) එය සිදු වුණේ කොහොමද? ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට කළ මේ විස්තරයෙන් එය පැහැදිලියි. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.” (ලූක් 1:35) යේසුස්ගේ ළමා කාලයේදී මරියා ඔහු උපත ලැබූ ආකාරය ගැන යම් තොරතුරු ඔහුට කියා දෙන්න ඇති. තමා දෙවිගේ පුත්‍රයා බව ඔහු කුඩා කාලයේ සිටම දැන සිටි බවට කිසිම සැකයක් නැහැ. “මාව හොයන්න මේ තරම් මහන්සි වුණේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?” කියා යේසුස් එක අවස්ථාවකදී මරියා සහ යෝසෙප්ගෙන් ඇසීමෙන් ඒ බව පැහැදිලියි. (ලූක් 2:49) ඒ නිසා දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීම ඔහුගේ ජීවිතයේ වැදගත් දෙයක් වුණා.

7. පරිපූර්ණ පුද්ගලයෙක් ලෙස යේසුස් සතු වූ වටිනා දේවල් මොනවාද?

7 යේසුස් නමස්කාර කටයුතුවලට දැඩි උනන්දුවක් දැක්වුවා. ඔහුට පරිපූර්ණ මනසක් තිබූ නිසා ඔහු සවන් දුන් හා කියවූ හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති අදහස් ඔහුට පහසුවෙන්ම තේරුම්ගැනීමට හා මතකයේ රඳවාගැනීමට හැකි වුණා. (ලූක් 4:16) ඔහු සතු තවත් වටිනා වස්තුවක් වූයේ මිනිසුන් වෙනුවෙන් පූජා කිරීමට තිබූ ඔහුගේ ශරීරයයි. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේ දෙවිට යාච්ඤා කරද්දී ඔහුට ගීතාවලිය 40:6-8හි සඳහන් ඒ සම්බන්ධයෙන් පවසා තිබූ අනාවැකිය මතකයට නැඟෙන්න ඇති.—ලූක් 3:21; හෙබ්‍රෙව් 10: 5-10 කියවන්න. *

8. යේසුස්ව බව්තීස්ම කිරීමට යොහන් අකමැති වුණේ ඇයි?

8 නීතියට අකීකරු වීමෙන් තමන් සිදු කළ පව් ගැන පසුතැවිලි වන යුදෙව්වන්ව පමණක් යොහන් බව්තීස්ම කළ නිසා යේසුස්ව බව්තීස්ම කිරීමට ඔහු කැමති වුණේ නැහැ. ඒ වගේම යේසුස් ධර්මිෂ්ඨ කෙනෙක් බවත් පසුතැවිලි වීමට කිසිම හේතුවක් නොමැති බවත් ඔහුගේ ළඟම නෑයෙක් වූ යොහන් දැන සිටියා. නමුත් තමන්ව බව්තීස්ම කරන්න කියා යේසුස් යොහන්ට පැහැදිලි කරමින් මෙසේ පැවසුවා. “එසේ කිරීම සුදුසුයි. මන්ද ඉටු විය යුතු සෑම ධර්මිෂ්ඨ දෙයක්ම එමගින් ඉටු වෙයි.”—මතෙ. 3:15.

9. යේසුස්ගේ බව්තීස්මයෙන් අදහස් කළේ කුමක්ද?

9 අප බව්තීස්ම වන්නේ දෙවිට වූ අපගේ කැපවීම ප්‍රකාශ කිරීමටයි. නමුත් යේසුස්ගේ බව්තීස්මයෙන් අදහස් කළේ ඊට වඩා වෙනස් දෙයක්. ඊට හේතුව ඔහු උපත ලැබුවේ දෙවිට කැප වූ සෙනඟක් වන ඊශ්‍රායෙල් ජාතියෙනුයි. ඒ නිසා ඔහුගේ බව්තීස්මයෙන් අදහස් කළේ ගැලවුම්කරු විසින් ඉටු කළ යුතු බවට ශුද්ධ ලියවිල්ලේ සඳහන් කාර්යය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීමයි. ආදම් මෙන් පරිපූර්ණ කෙනෙකු වූ යේසුස්ට පරිපූර්ණ ජාතියක් බිහි කිරීමේ හැකියාව තිබුණා. නමුත් ඔහු සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ එය නොවන බව යේසුස් දැන සිටි නිසා ඔහුට කිසිම දවසක එවැනි ආශාවක් ඇති වුණේ නැහැ. යෙහෝවා දෙවි ඔහුව පොළොවට එව්වේ පොරොන්දු වූ තැනැත්තා ලෙස ඔහුගේ කාර්යය කිරීමටයි. ඊට ඔහුගේ ජීවිතය පූජා කිරීම අයත් වුණා.යෙසායා 53:5, 6, 12 කියවන්න.

10. ගැලවුම්කරු ලෙස යේසුස්ට කිරීමට සිදු වූ දේවල් මොනවාද? ඔහුට ඒ ගැන හැඟුණේ කොහොමද?

10 ගැලවුම්කරු ලෙස යේසුස්ට කිරීමට සිදු වූ දේවලට දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම, තමාගේ අනුගාමිකයන් වීමට ජනයාට උපකාර කිරීම සහ එසේ කිරීමට තම අනුගාමිකයන්ව පුහුණු කිරීම ඇතුළත් වුණා. ඒ වගේම දෙවි පාලනය කරන ආකාරය ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීම සඳහා පීඩා විඳදරාගැනීමටත් වධකණුවක මිය යෑමටත් යේසුස්ට සිදු වුණා. ඒ තුළින් දෙවි කෙරෙහි ඇති ඔහුගේ භක්තිය පෙන්වීමට ඔහුට හැකි වුණා. යේසුස්ට යෙහෝවා දෙවි කෙරෙහි ඉමහත් ප්‍රේමයක් තිබුණු නිසා ඔහු දෙවි පැවරූ කාර්යය ඉටු කළෙත් තම ජීවිතය පූජා කළෙත් කැමැත්තෙන්මයි. (යොහ. 14:31) තම ජීවිතය පූජා කිරීම නිසා සියලු මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් ගලවාගත හැකි බව දැන සිටීමත් ඔහුට ප්‍රීතියක් වුණා. එවැනි බැරෑරුම් වගකීම් දැරීමට යේසුස් ඉදිරිපත් වීම යෙහෝවා දෙවි අනුමත කළා.

11. ගැලවුම්කරු ලෙස යේසුස්ව යෙහෝවා දෙවි අනුමත කළ බව අප දන්නේ කොහොමද?

11 ඉහත සඳහන් බැරෑරුම් වගකීම් දැරීමට යෙහෝවා දෙවි යේසුස්ව අනුමත කළ බව සුවිශේෂවල සඳහන් වෙනවා. ඒ ගැන යොහන් සඳහන් කළේ මෙසේයි. ‘දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා. ඒ නිසා මේ තැනැත්තා දෙවිගේ පුත්‍රයා බවට මම සාක්ෂි දෙනවා.’ (යොහ. 1:32-34) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා පැවසුවා.—මතෙ. 3:17; මාක් 1:11; ලූක් 3:22.

මරණය දක්වා විශ්වාසවන්තව

12. යේසුස් බව්තීස්ම වීමෙන් පසු කළේ කුමක්ද?

12 බව්තීස්මයෙන් පසු ගතවූ අවුරුදු තුනහමාරක කාලය තුළ යේසුස් දෙවි ගැනත් ඔහුගේ ධර්මිෂ්ඨ පාලනය ගැනත් ජනයාට ඉගැන්නුවා. ඒ සඳහා ඔහු පොරොන්දු දේශයේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් මහත් වෙහෙසක් දැරුවා. ඔහු කළ සේවය නතර කිරීමට ඔහු කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. (යොහ. 4:6, 34; 18:37) රෝගීන්ව සුව කිරීමෙන්, කුසගින්නේ සිටි අයට ආහාර ලබා දෙමින් හා මළවුන්ව නැවත නැඟිටුවීමෙන් ඔහු පෙන්නුම් කළේ දේවරාජ්‍යය තුළදී මිනිසුන් භුක්ති විඳින ආශීර්වාද ගැනයි.—මතෙ. 11:4, 5.

13. අපගේ යාච්ඤාවලට ඇතුළත් විය යුතු කරුණු ගැන යේසුස් ඉගැන්නුවේ කුමක්ද?

13 යේසුස් කළ ආශ්චර්යය ක්‍රියා හා ඔහුගේ ඉගැන්වීම්වලින් ඔහු තමන්ට ගෞරවය හා ප්‍රශංසාව ලබාගන්නවා වෙනුවට ඉතා යටහත්පහත්ව එය දෙවිට ලබා දුන්නා. (යොහ. 5:19; 11:41-44) යාච්ඤාව තුළින් අපටද දෙවිට ප්‍රශංසා කළ හැකි බව යේසුස් පැවසුවා. ඒ සඳහා යාච්ඤාවට ඇතුළත් කළ යුතු වැදගත් දේවල් ගැන ඔහු ඉගැන්නුවා. එනම්, යෙහෝවා දෙවිගේ “නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරනු ලැබේවා!” කියාත් ඔහුගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” කියාත් යාච්ඤා කළ යුතු බව ඔහු ඉගැන්නුවා. එසේ යාච්ඤා කිරීමෙන් අප ඉල්ලා සිටින්නේ සාතන්ගේ දුෂ්ට පාලනය වෙනුවට දෙවිගේ ධර්මිෂ්ඨ පාලනයයි. (මතෙ. 6:9, 10 පාද සටහන) ඒ වගේම “දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන” දීමෙන් එම යාච්ඤාවට එකඟව ක්‍රියා කරන්න කියාත් ඔහු පැවසුවා.—මතෙ. 6:33.

14. යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ඔහුට මහත් වෑයමක් දැරීමට සිදු වුණේ ඇයි?

14 තම පියාගේ අරමුණ ඉටු වීම හා ගෞරවය රඳා පැවතුණේ යේසුස් අයුක්තිසහගත විනිශ්චයකට හා කෲර මරණයකට මුහුණ දෙන විට ඔහු දෙවිට කොයි තරම් විශ්වාසවන්තව සිටිනවාද යන්න මත බව ඔහු දැන සිටියා. ඒ නිසා ඔහුට එම වගකීම මොන තරම් දැඩිව බලපෑවාද කියා ඔහු මිය යෑමට දින පහකට කලින් කළ මෙම යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. “මගේ සිත දැන් කැලඹිලා. ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින් මාව ගලවන්න කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි.” ඉන්පසු යේසුස් තමන් ගැනම නොසිතා ඔහුගේ මරණයෙන් සිදු වන වඩා වැදගත් දෙය වෙත අවධානය යෙමු කරමින් මෙසේ යාච්ඤා කළා. “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” එවිට යෙහෝවා දෙවි, “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි” කියා පැවසුවා. (යොහ. 12:27, 28) දෙවි කෙරෙහි ඇති විශ්වාසය ඔප්පු කිරීමට කිසිම මිනිසෙක් අත්විඳ නැති ආකාරයේ මරණයකට මුහුණ දීමට යේසුස් කැමති වුණා. යෙහෝවා දෙවි පැවසූ ඉහත වචන නිසා දෙවි ධර්මිෂ්ඨ බවත් පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා දෙවි බවත් තමාට ඔප්පු කළ හැකි බවට ලොකු විශ්වාසයක් යේසුස්ට ඇති වුණා. ඒ වගේම ඔහු එය ඔප්පු කළා.

යේසුස්ගේ මරණයෙන් ඉටු වුණේ කුමක්ද?

15. “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියා යේසුස් පැවසුවේ ඇයි?

15 යේසුස් අවසන් හුස්ම හෙළීමට පෙර මෙසේ පැවසුවා. “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා.” (යොහ. 19:30) යේසුස් සේවය කළ අවුරුදු තුනහමාරක කාලය ඇතුළත දෙවිගේ උපකාරය ඇතුව ඔහුට මොන තරම් දේවල් ඉටු කිරීමට හැකි වුණාද! යේසුස් මිය ගිය අවස්ථාවේදීත් ඉතා පුදුමසහගත දෙයක් එනම්, දරුණු භූමිකම්පාවක් සිදු වුණා. සිදු වූ දේ දුටු හමුදා නිලධාරියා “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා” කියා පැවසුවා. (මතෙ. 27:54) තමා දෙවිගේ පුත්‍රයා කියා යේසුස් පැවසූ විට මිනිසුන් ඔහුට සරදම් කළ ආකාරය සමහරවිට මේ නිලධාරියා දකින්න ඇති. යේසුස් මොන තරම් දුක් පීඩා වින්දත් ඔහු සියල්ල දරාගෙන දෙවිට විශ්වාසවන්තව සිට සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කළා. දෙවිගේ පාලනයට පක්ෂපාත වන අප සියලුදෙනාටත් සාතන් මෙවැනි අභියෝගයක් එල්ල කරනවා. “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ?” (යෝබ් 2:4) යේසුස් අවසානය දක්වා විශ්වාසවන්තව සිටීමෙන් ඔප්පු කළේ තමා මුහුණ දුන් අභියෝගවලට වඩා පහසු අභියෝගයකට මුහුණ දුන් ආදම් සහ ඒවට දෙවිට කීකරු වීමට හැකියාව තිබුණු බවයි. යේසුස් ජීවත් වූ ආකාරයෙන් හා ඔහුගේ මරණයෙන් ඉටු වූ ප්‍රධානතම දේ වන්නේ යෙහෝවා දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව ඔප්පු වීමයි. (හිතෝපදේශ 27:11 කියවන්න.) යේසුස්ගේ මරණය නිසා ඉටු වූ තවත් බෙහෝ දේවල් තිබෙනවා.

16, 17. (අ) දෙවි ඔහුගේ පුරාණ සේවකයන්ව ධර්මිෂ්ඨ අය ලෙස සැලකුවේ කුමන පදනමක් මතද? (ආ) යෙහෝවා දෙවි යේසුස්ට ආශීර්වාද කළේ කොහොමද? යේසුස් දැන් කරන්නේ කුමක්ද?

16 යේසුස් මේ පොළොවට පැමිණීමට පෙර යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටි බොහෝ අය සිටියා. දෙවි ඔවුන්ව ධර්මිෂ්ඨ අය ලෙස සැලකූ අතර ඔවුන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව දී තිබුණා. (යෙසා. 25:8; දානි. 12:13) එවැනි ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවක් ඔවුන්ට ලබා දීමට යෙහෝවා දෙවිට හොඳ පදනමක් තිබුණා. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය. ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය. දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය. අතීතයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින් මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි. මේ වර්තමාන කාලයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වන්නේ යේසුස් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමෙනි.”—රෝම 3:25, 26. *

17 පොළොවට පැමිණීමට පෙර තිබුණාට වඩා උසස් තත්වයක් යේසුස්ට ලබා දීමෙන් යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. දෙවි ඔහුට අමරණීයභාවය ලබා දුන්නා. (හෙබ්‍රෙ. 1:3) දැන් යේසුස් උත්තම පූජකයා හා රජු ලෙස දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීමට ඔහුගේ අනුගාමිකයන්ට උපකාර කරනවා. ඔහුව අනුකරණය කරමින් දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව ඔප්පු කරන සියලුදෙනාට යෙහෝවා දෙවි ආශීර්වාද කරන බව දැන සිටීම අපට මොන තරම් ප්‍රීතියක්ද!ගීතාවලිය 34:3; හෙබ්‍රෙව් 11:6 කියවන්න.

18. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

18 ආබෙල් පටන් දෙවිට විශ්වාසවන්තව සිටි සියලුදෙනා දෙවි සමඟ කිට්ටු බැදීමක් භුක්ති වින්දා. ඔවුන්ට එසේ කිරීමට හැකි වුණේ පොරොන්දු වූ තැනැත්තා පැමිණෙන බවට විශ්වාසයක් තිබුණු නිසයි. තම පුත්‍රයා අවසානය දක්වාම තමාට විශ්වාසවන්තව සිටින බවට දෙවිට නිසැකකමක් තිබුණා. එමෙන්ම තම පුත්‍රයාගේ මරණය නිසා “ලෝකයෙන් පාපය නැති කර” දැමිය හැකි බව යෙහෝවා දෙවි දැන සිටියා. (යොහ. 1:29) අද සිටින අප සියලුදෙනාටමත් යේසුස්ගේ මරණය නිසා බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. (රෝම 3:26) යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඔබට ලැබෙන ආශීර්වාද මොනවාද? අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන සලකා බලමු.

[පාදසටහන්වල]

^ 7 ඡේ. පාවුල් මෙහිදී උපුටා දක්වන්නේ ගීතාවලිය 40:6-8හි ඇති අදහසයි. ග්‍රීක සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ “ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය” යන කොටස ඇතුළත් වුණත් දැනට තිබෙන පැරණි හෙබ්‍රෙව් අත්පිටපත්වල එම කොටස ඇතුළත් වන්නේ නැහැ.

^ 16 ඡේ. මෙම කලාපයේ පිටු 6 සහ 7හි ඇති “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• සාතන් දෙවිගේ පාලනය අභියෝගයට ලක් කළේ කොහොමද?

• යේසුස්ගේ බව්තීස්මයෙන් සංකේතවත් කළේ කුමක්ද?

• යේසුස්ගේ මරණයෙන් ඉටු වුණේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ බව්තීස්මයෙන් සංකේතවත් වුණේ කුමක්ද?