Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට ගැලවීම ලැබෙන ආකාරය

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට ගැලවීම ලැබෙන ආකාරය

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට ගැලවීම ලැබෙන ආකාරය

“පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි.”—යොහ. 3:36.

1, 2. සයන්ස් වොච්ටවර් සඟරාව ප්‍රකාශයට පත් කිරීමට එක් හේතුවක් කුමක්ද?

වර්ෂ 1879 ඔක්තෝබර් සයන්ස් වොච්ටවර් සඟරාවේ මෙවැනි දෙයක් සඳහන් කර තිබුණා. “ඉතා පරෙස්සමෙන් බයිබලය අධ්‍යයනය කරන කෙනෙක් යේසුස්ගේ ජීවිත පූජාව මොන තරම් වටිනවාද කියා අවබෝධ කරගන්නවා නිසැකයි.” එම ලිපියේ අවසානයේදී මෙවැනි දෙයක් සඳහන් වුණා. “ක්‍රිස්තුස්ගේ මරණය පාපය වෙනුවෙන් දුන් පූජාවක් නොවෙයි කියා අඟවන ඕනෑම අදහසක් අප තරයේ ප්‍රතික්ෂේප කළ යුතුයි.”1 යොහන් 2:1, 2 කියවන්න.

2 වර්ෂ 1879 ජූලි මාසයේ සිට එම සඟරාව ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ එක් කරුණක් වන්නේ බයිබලයේ සඳහන් ප්‍රධාන ඉගැන්වීමක් වන යේසුස්ගේ ජීවිත පූජාව සත්‍යයයක් බව ඔප්පු කිරීමයි. මන්ද 1800 ගණන්වල අගභාගය වන විට ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය තුළ යේසුස්ගේ ජීවිත පූජාව අපගේ පව් වෙනුවෙන් ලබා දුන් දෙයක් යන්න ගැන සැක මතු වෙන්න පටන්ගත්තා. ඒ නිසා එම සඟරාව “නියම වේලාවට” ලැබුණු ආහාර කියා පැවසිය හැකියි. (මතෙ. 24:45) ඒ කාලයේදීම බොහෝදෙනෙක් පරිණාමවාදය පිළිගැනීමට පටන්ගත්තා. මිනිසා පරිපූර්ණව සිටි බව හා පසුව ඔවුන් පව්කාරයන් බවට පත් වූ බව පරිණාමවාදීන් පිළිගන්නේ නැහැ. ඔවුන් උගන්වන්නේ මිනිසා ස්වාභාවිකවම දියුණු තත්වයකට පත් වන නිසා ඒ සඳහා වෙන කිසි උපකාරයක් අවශ්‍ය නැති බවයි. එවැනි මතවලින් ආරක්ෂා වීමට පාවුල් තිමෝතිට පැවසූ මේ වචන කොයි තරම් වටිනවාද! “ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න. නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්‍රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු ‘දැනුමෙන්ද’ අහක් වී සිටින්න. සමහරුන් එවැනි දැනුමක් ප්‍රදර්ශනය කිරීමට ගොස් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇත.”—1 තිමෝ. 6:20, 21.

3. අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 ඔබගේ අධිෂ්ඨානය ‘සත්‍ය මාර්ගයෙන් අහක්ව’ නොයෑම බව ස්ථිරයි. එම අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගැනීමට මෙම ප්‍රශ්න ගැන සලකා බැලීම වැදගත්. මට යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය ඇයි? ඒ සඳහා යෙහෝවා දෙවිට හා යේසුස්ට මොන තරම් පරිත්‍යාගයක් කිරීමට සිදු වුණාද? දෙවිගේ උදහසින් ගැලවීම සඳහා මට ඒ වටිනා සැපයුමෙන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කොහොමද?

දෙවිගේ උදහසින් ගැලවීම ලබමු

4, 5. මේ දුෂ්ට සමාජයට විරුද්ධව දෙවි උදහස් වී ඇති බව අප දන්නේ කොහොමද?

4 බයිබලයේ සඳහන් දේවලින් සහ ඉතිහාසය පුරාම සිදු වූ දේවලින් පැහැදිලි වන්නේ ආදම් දෙවිට අකීකරු වූ දා පටන් දෙවිගේ උදහස මිනිසුන් කෙරෙහි බලපා ඇති බවයි. (යොහ. 3:36) මරණයෙන් මිදීමට කිසිම මිනිසෙකුට නොහැකි වීමෙන්ද එය පැහැදිලි වෙනවා. සාතන්ගේ කෲර පාලනයට මිනිසුන්ව විපත්වලින් ආරක්ෂා කිරීමට කොහෙත්ම හැකි වී නැහැ. ඒ වගේම මිනිසාගේ මූලික අවශ්‍යතා සපුරන්න කිසිම මිනිස් ආණ්ඩුවක් සමත් වී නැහැ. (1 යොහ. 5:19) ඒ නිසා මුළු මිනිස් වර්ගයාම යුද්ධ, අපරාධ හා දිලිඳුකමට මුහුණ දෙනවා. එමගින් පැහැදිලි වන්නේ පවතින දුෂ්ට සමාජයට දෙවිගේ අනුමැතිය ලැබී නැති බවයි.

5 ඒ ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. ‘දෙවිට කිසි භක්තියක් නොදක්වන මිනිසුන්ගේ සියලු ක්‍රියාවලට විරුද්ධව දෙවිගේ උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වී තිබේ.’ (රෝම 1:18-20) පසුතැවිලි නොවී දිගටම දෙවිව අසතුටු කරන ක්‍රියාවල යෙදෙන අයට ඔවුන්ගේ ක්‍රියාවලට සුදුසු පල ඔවුන්ට අනිවාර්යෙන්ම විඳින්න සිදු වෙනවා. දෙවිගේ උදහස සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකයට අයත් මිනිසුන් දැනගන්නේ දෙවිගේ විනිශ්චය පණිවිඩයෙනුයි. එම පණිවිඩය අඩංගු තොරතුරු අපගේ ප්‍රකාශන බොහෝමයක ඇතුළත් වී තිබෙනවා.—එළි. 16:1.

6, 7. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඉදිරිපත් කරන ආරාධනාව කුමක්ද? සාතන්ගේ පාලනය යටතේ සිටින ජනයාට තවමත් විවෘත වී තිබෙන අවස්ථාව කුමක්ද?

6 ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ කෙනෙකුට සාතන්ගේ ලෝකයෙන් ඉවත් වී දෙවිගේ අනුමැතිය ලබාගැනීමට දැන් අවස්ථාව නැති බවද? නැහැ. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට මිනිසුන්ට තවමත් අවස්ථාව තිබෙනවා. “ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් ලෙස” සේවය කරන අභිෂේක ලත් අය “දෙවි සමඟ සමාදාන වන්න” යන ආරාධනාව සියලුදෙනාටම ඉදිරිපත් කිරීමේ කාර්යයෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරනවා.—2 කොරි. 5:20, 21.

7 “ඉදිරියේදී දෙවි තම උදහස වගුරුවන විට අපව ගලවන්නේ” යේසුස් බව පාවුල් පැවසුවා. (1 තෙස. 1:10) නමුත් යෙහෝවා දෙවි තම උදහස ප්‍රකාශ කරන විට පසුතැවිලි නොවී දිගටම වැරදි කරන අයට අත් වන්නේ සදාකාල විනාශයයි. (2 තෙස. 1:6-9) ඉන් ගැලවීම ලබන්නේ කවුද? ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි.” (යොහ. 3:36) යේසුස් කෙරෙහි සහ ඔහුගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අය දෙවි අනාගතයේදී ගෙනෙන විනාශයෙන් ගැලවීම ලබනවා.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉටු වූ දේ

8. (අ) ආදම් සහ ඒවට තිබුණු බලාපොරොත්තුව කුමක්ද? (ආ) දෙවි යුක්තිගරුක කෙනෙක් බව ඔප්පු කර පෙන්නුවේ කොහොමද?

8 දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළේ පරිපූර්ණ අය ලෙසයි. ඔවුන් දෙවිට කීකරු වුණා නම් මේ වන විට ඔවුන්ගේ දරුවන්ගෙන් මේ පොළොව පිරී තිබෙන අතර ඒ දරුවන් සමඟ ඔවුන් දෙදෙනාට පාරාදීස පොළොවේ සතුටින් ජීවත් වීමේ හැකියාව තිබුණා. නමුත් කනගාටුදායක ලෙස ඔවුන් හිතාමතාම දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට පාරාදීසය අහිමි වූ අතර මරණය උරුම වුණා. ඔවුන්ට දරුවන් ලැබුණේ ඔවුන් පව්කාරයන්ව සිටියදීම නිසා ඔවුන්ගේ දරුවන්ටත් එය උරුම වුණා. කෙසේවෙතත් තමන් නොකන්න කියා අණ කළ ගසෙන් කෑවොත් ආදම් සහ ඒව මිය යන බව දෙවි කලින්ම ඔවුන්ට පවසා තිබුණා. ඒ ආකාරයටම ඔවුන් දෙදෙනා වයසට ගොස් මිය ගියා. දෙවි යුක්තිගරුක ලෙස ක්‍රියා කළ බව එමගින් පැහැදිලි වෙනවා.

9, 10. (අ) ආදම්ගෙන් පැවත එන අය මිය යන්නේ ඇයි? (ආ) අපට මරණයෙන් ගැලවීම ලැබිය හැක්කේ කොහොමද?

9 අප ආදම්ගෙන් පැවත එන අය නිසා අප සියලුදෙනාටම පාපය හා මරණය උරුම වී තිබෙනවා. නමුත් පාපය වෙනුවෙන් වන්දියක් ලබා නොදී යෙහෝවා දෙවි මරණය ඉවත් කළා නම් ඔහු යුක්තිගරුක කෙනෙක් කියා පැවසිය නොහැකියි. තමා සිටින තත්වය ගැන පාවුල් මෙසේ පැවසුවා. “නීතිය දෙවිගෙන් ලද දෙයක් බව අපි දනිමු. නමුත් වැරදි දේවලට වහල් වී සිටින මා දුර්වලය. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මගේ මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?”—රෝම 7:14, 24.

10 යෙහෝවා දෙවි අපගේ පව්වලට සමාව දීමටත් අපව මරණයෙන් ගලවාගැනීමටත් මාර්ගයක් සකස් කිරීමෙන් යුක්තිගරුක කෙනෙක් බව ඔප්පු කළා. එසේ කිරීමට හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. ඒ සඳහා දෙවි තම ප්‍රේමණීය පුත්‍රයාව අප වෙනුවෙන් ලබා දුන්නා. ඔහුව පරිපූර්ණ පුද්ගලයෙක් ලෙස මේ පොළොවේ උපත ලැබීමට සැලැස්සුවේ ඒ නිසයි. ආදම් මෙන් නොව යේසුස් ‘කිසි පාපයක් නොකර’ දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. (1 පේතෘ. 2:22) යේසුස්ට පරිපූර්ණ දරුවන් ඇති පියෙක් වීමේ හැකියාව තිබුණා. නමුත් තම ජීවිත පූජාව කෙරෙහි විශ්වාස කරන අයට සදාකාල ජීවනය ලබා දීමට හැකි වන ලෙස ඔහු මිය යෑමට කැමති වුණා. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඇත්තේ එක දෙවි කෙනෙක්ය. එමෙන්ම දෙවි සහ මිනිසුන් අතර සිටින්නේ එක මැදිහත්කරුවෙක්ය. එනම් මිනිසෙකු වූ ක්‍රිස්තුස් යේසුස්ය. සියලුදෙනාව මුදවාගැනීමට දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි.”—1 තිමෝ. 2:5, 6.

11. (අ) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉටු වන දේ නිදර්ශනයකින් පැහැදිලි කරන්න. (ආ) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?

11 යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉටු වන දේ මෙසේ නිදර්ශනය කළ හැකියි. බැංකුවක් අයිති පුද්ගලයෙක් එහි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළා කියා සිතන්න. එම අයිතිකරුව වසර ගණනාවකට සිරගත කරනවා. ඒ නිසා මුදල් තැන්පත් කළ අයට බොහෝ අගහිඟකම්වලට මුහුණ දීමටත් ණය වීමටත් සිදු වෙනවා. ඔවුන්ව ඉන් මුදාගැනීමට හැකි වන්නේ ඉතා ධනවත් මෙන්ම කාරුණික පුද්ගලයෙක් එම බැංකුවේ පරිපාලනය භාරගෙන ඔවුන්ගේ මුදල් ආපසු ලබා දී ඔවුන්ව ණය බරින් නිදහස් කළොත් පමණයි. ඒ හා සමානව ආදම්ගෙන් පැවත එන අප සෑමදෙනාම සිටින්නේ ඉතා අසරණ තත්වයකයි. නමුත් යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් අපව භාරගෙන අපගේ පාපවලට සමාව ලබා දෙනවා. එසේ කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මතයි. ඒ තුළින් අපට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ලැබී තිබෙනවා. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා!” කියා යොහන්ට පැවසීමට හැකි වුණේ ඒ නිසයි. (යොහ. 1:29) යේසුස්ගේ ජීවිත පූජාව නිසා ජීවත්ව සිටින අය ප්‍රයෝජන ලබනවා පමණක් නොව මිය ගිය අයටද නැවත නැඟිටීමක් ලැබෙනවා.

ඒ වෙනුවෙන් කළ පරිත්‍යාග

12, 13. ඊසාක්ව පූජා කිරීමට සූදානම් වූ විට ආබ්‍රහම්ට හැඟුණු දෙයින් අප ඉගෙනගන්නේ කුමක්ද?

12 අපගේ පව් වෙනුවෙන් වන්දියක් ගෙවීමට යෙහෝවා දෙවි හා යේසුස්ට පරිත්‍යාග කිරීමට සිදු වූ දේ මොන තරම්ද කියා අපට සිතාගැනීමට අපහසුයි. නමුත් එය යම් ප්‍රමාණයකට තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් සමහර සිද්ධීන් අපට උපකාර කරනවා. අපි දැන් ආබ්‍රහම් සම්බන්ධ සිද්ධියක් සලකා බලමු. එක් අවස්ථාවකදී දෙවි ඔහුට මෙසේ පැවසුවා. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා වන ඊසාක් සමඟ මොරියා දේශයට යන්න. මා එහිදී ඔබට පෙන්වන කන්දට ගොස් ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න.” මොරියා දේශයට ගමන් කළ ඒ දින තුන තුළදී ආබ්‍රහම්ට කෙසේ හැඟෙන්න ඇද්ද කියා සිතා බලන්න.—උත්. 22:2-4.

13 ආබ්‍රහම් නියමිත ස්ථානයට පැමිණ ඊසාක්ගේ අත් සහ පා ගැටගසා තමා විසින් සෑදූ පූජාසනය මත තබන විට ආබ්‍රහම්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! තම පුත්‍රයාව මරණයට පත් කිරීමට පිහිය අතට ගෙන එය ඉහළට ඔසවද්දී ඔහුගේ හදවත පැළෙන තරම් වේදනාවක් දැනෙන්න ඇති. අනෙක් අතට මුවහත් පිහියක් තමන්ගේ ශරීරය පසාරු කරගෙන යන විට දැනෙන වේදනාවත් අත්විඳීමට සිදු වන මරණය ගැනත් සිතද්දී ඊසාක්ට එය මොන තරම් බලපාන්න ඇද්ද! කොහොමනමුත් යෙහෝවා දෙවි දේවදූතයෙකු මාර්ගයෙන් ආබ්‍රහම්ව වැළැක්වුවා. සාතන්ගේ නියෝජිතයන් විසින් තම පුත්‍රයාව මරා දමන විට යෙහෝවා දෙවිට මොන තරම් වේදනාවක් ඇති වෙන්න ඇද්ද කියා සිතා බලන්න. ඒ අවස්ථාවේදී ඊසාක් ආබ්‍රහම්ට කැමැත්තෙන්ම කීකරු වුණා හා සමානව යේසුස්ද අප වෙනුවෙන් වධ විඳ මිය යෑමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.—හෙබ්‍රෙ. 11:17-19.

14. අපව පාපයෙන් ගලවාගැනීමට යෙහෝවා දෙවි කළ පරිත්‍යාගය අගය කිරීමට හැකි වන්නේ යාකොබ් සම්බන්ධ කුමන සිද්ධිය සලකා බැලීමෙන්ද?

14 අපි දැන් යාකොබ් සම්බන්ධ සිද්ධියක් සලකා බලමු. යාකොබ් ඔහුගේ පුත්‍රයන් අතරින් වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ටයි. නමුත් යෝසෙප්ගේ සහෝදරයෝ ඔහුට වෛර කළා. ඒ වුණත් ඔහුගේ සහෝදරයන්ගේ සැප දුක් සොයා බැලීමට යාකොබ් යෝසෙප්ට යන්න කියා පැවසූ විට ඔහු ඊට එකඟ වුණා. ඒ අවස්ථාවේදී ඔහුගේ සහෝදරයන් සිටියේ කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි හෙබ්‍රොන්වල බැටළුවන්ව බලාගනිමිනුයි. පසුව සිදු වුණේ කුමක්ද? යෝසෙප්ගේ සහෝදරයෝ පැමිණ ලේ තැවරුණු යෝසෙප්ගේ වස්ත්‍රය යාකොබ්ට පෙන්නුවා. එවිට ඔහුට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! ඒ අවස්ථාවේ යාකොබ් මෙසේ පැවසුවා. “මේ මගේ පුතාගේ දිග වස්ත්‍රයනේ! අනේ මගේ පුතාව නපුරු සතෙක් මරලා දාන්න ඇති!” ඔහු ඒ ගැන මොන තරම් දුක් වුණාද කියනවා නම් ඔහු දින ගණනාවක් වැළපුණා. (උත්. 37:33, 34) යාකොබ් හා සම්බන්ධ එම සිද්ධිය සලකා බැලීමෙන් යෙහෝවා දෙවිට තම ප්‍රේමණීය පුත්‍රයාව වධ හිංසාවට ලක් කර මරණයට පත් කරන විට හැඟුණු ආකාරය යම් දුරකට තේරුම්ගත හැකියි.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන

15, 16. (අ) යේසුස්ගේ ජීවිත පූජාව තමා පිළිගත් බව යෙහෝවා දෙවි පෙන්නුවේ කොහොමද? (ආ) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඔබ ලබා ඇති ප්‍රයෝජන මොනවාද?

15 යෙහෝවා දෙවි යේසුස් ක්‍රිස්තුස්ව ස්වර්ගයේ ජීවත් විය හැකි පුද්ගලයෙක් ලෙස නැවත නැඟිට්ටුවා. (1 පේතෘ. 3:18) ඉන්පසු ඔහු දින 40ක් පුරා තම ගෝලයන් සමඟ සිට දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ විශ්වාසය ශක්තිමත් කළ අතර ඉදිරියේදී කිරීමට තිබූ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ දැවැන්ත කාර්යය සඳහා ඔවුන්ව සූදානම් කළා. පසුව යේසුස් ස්වර්ගයට ගොස් යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටියා. ඉන් පැහැදිලි වුණේ දෙවි විසින් යේසුස්ට පැවරූ කාර්යය ඔහු සම්පූර්ණ කර ඇති බවයි. ඒ නිසා යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාස කරන ඔහුගේ සැබෑ අනුගාමිකයන්ට එම ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබා දීමට දෙවිට හැකි වුණා. යෙහෝවා දෙවි එම ජීවිත පූජාව පිළිගත් බව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ රැස් වී සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට තම බලය ලබා දීමට යේසුස්ට ඉඩ දීමෙන් පැහැදිලි වෙනවා.—ක්‍රියා 2:33.

16 දෙවිගේ උදහසින් ගැලවීම සඳහා තම පව් ගැන පසුතැවිලි වී යේසුස්ගේ නාමය පිළිගෙන බව්තීස්ම වන ලෙස ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන් ඒ මොහොතේ සිට අන් අයට උනන්දු කිරීමට පටන්ගත්තා. (ක්‍රියා 2: 38-40 කියවන්න.) එදා සිට අද දක්වා යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන විවිධ ජාතීන්ට අයත් මිලියන ගණනක් දෙනා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙනවා. (යොහ. 6:44) දැන් අපි තවත් වැදගත් ප්‍රශ්න දෙකක් සලකා බලමු. අපට සදාකාල ජීවනය ගැන බලාපොරොත්තුවක් දෙවි ලබා දුන්නේ අපි යහපත් අය නිසාද? එම බලාපොරොත්තුව අපගෙන් ගිලිහී යා හැකිද?

17. යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වීම ඔබ සලකන්නේ කොහොමද?

17 යේසුස්ගේ ජීවිත පූජාව දෙවි අපට ඔහුගේ මහත් කරුණාව නිසා ලබා දුන් ත්‍යාගයක්. ඒ කෙරෙහි විශ්වාසය තබන මිලියන ගණන් ජනයාට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වී තිබෙන අතර පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවද ලැබී තිබෙනවා. නමුත් එවැනි මිත්‍රත්වයක් ඇති කරගත් පමණින් එය සැමදා පවතියි කියා පැවසිය නොහැකියි. ඒ නිසා එය ආරක්ෂා කරගැනීමට අපි දැඩි වෑයමක් දැරිය යුතුයි. ඒ වගේම ඉදිරියේදී පැමිණෙන දෙවිගේ උදහස් දවසෙන් ගැලවීම ලැබීමට නම් ‘වන්දියක් ලෙස ගෙවන ලද යේසුස්ගේ ජීවිත පූජාව’ කෙරෙහි අප ගැඹුරු අගයක්ද පෙන්විය යුතුයි.—රෝම 3:24; ෆිලිප්පි 2:12 කියවන්න.

ජීවිත පූජාව කෙරෙහි දිගටම විශ්වාසය තබන්න

18. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාස කිරීමට ඇතුළත් වන එක් දෙයක් කුමක්ද?

18 මෙම ලිපියේ තේමා බයිබල් පදය වන යොහන් 3:36හි පෙන්වන ආකාරයට යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමට ඔහුට කීකරු වීමද ඇතුළත්. අප යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා නම් යහපත් හැසිරීම ඇතුළු යේසුස්ගේ සියලුම ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීමට උත්සාහ කරනවා. (මාක් 7:21-23) නමුත් පසුතැවිලි නොවී දිගින් දිගටම වේශ්‍යාකම, අසභ්‍ය විහිළු සහ ‘අපවිත්‍ර ක්‍රියාවලට’ ඇතුළත් වන ලිංගික හැඟීම් අවුස්සන දේවල් නැරඹීම හෝ කියවීම වැනි දේවල නියැලෙන අය “ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට” නියමිතයි.—එෆී. 5:3-6.

19. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි තිබෙන විශ්වාසය අපට පෙන්විය හැකි සමහර ආකාර මොනවාද?

19 ‘දෙවි සඳහා අපට තිබෙන භක්තිය අපේ ක්‍රියාවලින් පිළිබිඹු’ වෙනවා නම් අප යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව පැවසිය හැකියි. (2 පේතෘ. 3:11) දිනපතා උනන්දුවෙන් යාච්ඤා කිරීම, බයිබලය අධ්‍යයනය කිරීම, රැස්වීම්වලට සහභාගි වීම, පවුලේ නමස්කාරයේ හවුල් වීම සහ උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම වැනි දේවල් වෙනුවෙන් අපි වැඩි කාලයක් වෙන් කරමු. ඒ වගේම අපි ‘යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ අප සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරමු. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.’—හෙබ්‍රෙ. 13:15, 16.

20. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාට ඉදිරියේදී ලැබෙන ආශීර්වාද මොනවාද?

20 මේ දුෂ්ට ලෝකයට දෙවි විනාශය ගෙන එන විට අප යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තැබීම ගැනත් එය අගය කිරීම ගැනත් මොන තරම් සතුට වෙයිද! දෙවිගේ උදහසින් අපට ගැලවීම ලබාගැනීමට හැකියාව ලබා දුන් යේසුස්ගේ ජීවිත පූජාව ගැන සදාකාලයටම දෙවිට ස්තුතිවන්ත වන්න අපට හැකියි.යොහන් 3:16; එළිදරව් 7:9, 10, 13, 14 කියවන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• යේසුස්ගේ ජීවිත පූජාව අපට අවශ්‍ය වන්නේ ඇයි?

• අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීම සඳහා දෙවිට මොන තරම් පරිත්‍යාගක් කිරීමට සිදු වුණාද?

• යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

• යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අපට විශ්වාසයක් තිබෙන බව පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට මිනිසුන්ට තවමත් අවස්ථාව තිබෙනවා

[15වන පිටුවේ පින්තූර]

අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීම සඳහා දෙවිට සහ යේසුස්ට පරිත්‍යාග කිරීමට සිදු වූ දේ මොන තරම්ද කියා ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සම්බන්ධ සිදුවීම්වලින් පැහැදිලියි