Skip to content

පටුනට යන්න

වෙලාවට වැඩ කිරීම වැදගත් ඇයි?

වෙලාවට වැඩ කිරීම වැදගත් ඇයි?

වෙලාවට වැඩ කිරීම වැදගත් ඇයි?

ගමනාගමනය, වාහන තදබදය හා කාර්යබහුලකම නිසා සෑමවිටම වෙලාවට වැඩ කිරීම පහසු නැහැ. නමුත් එය ඉතා වැදගත් දෙයක්. උදාහරණයකට රැකියාවට වෙලාවට පැමිණෙන කෙනෙක් කඩිසර හා විශ්වාසය තැබිය හැකි කෙනෙක් ලෙස අන් අය සලකනවා. අනෙක් අතට වෙලාවට රැකියාවට නොපැමිණෙන කෙනෙක් නිසා අන් අයගේ වැඩට බාධා ඇති විය හැකි අතර එම ආයතනයේ නිපදවන භාණ්ඩ හා සේවාවන්ගේ ගුණාත්මකභාවයටද එය බලපෑමක් ඇති කරනවා. ශිෂ්‍යයෙක් නිතරම ප්‍රමාද වෙනවා නම් ඔහුගේ ඉගෙනීමේ කටයුතු අතපසු විය හැකි අතර එය ඔහුගේ අධ්‍යාපනයට ලොකු බාධාවක් විය හැකියි. වෛද්‍යවරයෙක් මුණගැසීමට ප්‍රමාද වී පැමිණීම කෙනෙකුට ලැබෙන ප්‍රතිකාරයට බලපාන්න පුළුවන්.

නමුත් සමහර ප්‍රදේශවල වෙලාවට වැඩ කිරීම එතරම් වැදගත් දෙයක් ලෙස සලකන්නේ නැහැ. එවැනි පරිසරයක හැදී වැඩුණු කෙනෙකුට ප්‍රමාද වීම පුරුද්දකට යා හැකියි. අප තුළ එම පුරුද්ද තිබෙනවා නම් වෙලාවට වැඩ කිරීමේ ආශාවක් වර්ධනය කරගත යුතුයි. එහි වැදගත්කම අවබෝධ කරගත් විට එසේ කිරීමට අප පෙලඹෙනවා. වෙලාවට වැඩ කිරීමට තිබෙන හේතු මොනවාද? ඒ සඳහා ඇති වන බාධා ජය ගැනීමට පුළුවන් කොහොමද? ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි මෙම ප්‍රශ්න ගැන සලකා බලමු.

ප්‍රමාද නොවන අපගේ දෙවි යෙහෝවා

අපගේ දෙවි යෙහෝවාව අනුකරණය කිරීමට අපට තිබෙන ආශාව වෙලාවට වැඩ කිරීමට අපව පොලඹවනවා. (එෆී. 5:1) වෙලාවට වැඩ කිරීම සම්බන්ධයෙන් ඔහු හොඳ ආදර්ශයක්. ඔහු කිසි දිනක ප්‍රමාද වන්නේ නැහැ. තම අරමුණ ඉටු කිරීම සඳහා දෙවි ඔහුගේ කාලසටහනට අනුවම වැඩ කරනවා. දෙවි ජලගැල්මක් මගින් දුෂ්ට මිනිසුන්ව විනාශ කිරීමට තීරණය කළ විට ඔහු නෝවාට මෙසේ පැවසුවා. “ඔබ හොඳ ලීවලින් නැවක් සාදන්න.” ජලගැල්ම ගෙන ඒමට කාලය පැමිණි විට නෝවාට නැවට ඇතුල් වන ලෙස පැවසූ යෙහෝවා දෙවි මෙසේද සඳහන් කළා. “මම තව දවස් හතකින් පොළොව මතට වර්ෂාවක් ඇද හැළෙන්න සලස්වන්නෙමි. නොකඩවා දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද වර්ෂාව ඇද හැළෙන්නේය. මෙසේ, මම සෑදූ සියලුම ජීවීන්ව පොළොවෙන් නැති කරන්නෙමි.” හරියටම ‘දවස් හතකට පසු මහා වැසි පොළොවට ඇද හැළෙන්න පටන්ගත්තා.’ (උත්. 6:14; 7:4, 10) නෝවා හා ඔහුගේ පවුලේ අය නියමිත වෙලාවට නැවට ඇතුල් වී සිටියේ නැත්නම් සිදු වන දේ ඔබට සිතාගත හැකිද? යෙහෝවා දෙවි මෙන් ඔවුන්ද වෙලාවට වැඩ කළ යුතු වුණා.

ජලගැල්මෙන් වසර 450කට පමණ පසු දෙවි ආබ්‍රහම්ට පොරොන්දුවක් දුන්නා. එනම් ඔහුට දාව පුත්‍රයෙකු ලැබෙන බව හා එම පුත්‍රයාගේ පරම්පරාවෙන් පොරොන්දු කළ තැනැත්තා පැමිණෙන බවයි. (උත්. 17:15-17) ඒ අනුව ඔහුගේ පුතා ඊසාක් “ලබන අවුරුද්දේ මේ කාලය වන විටදී” උපත ලබන බවත් දෙවි පැවසුවා. එය එසේම සිදු වුණාද? “දෙවි ආබ්‍රහම්ට කියා තිබූ ලෙසම සාරා ගැබ්ගෙන නියමිත කාලයේදී පුත්‍රයෙකු බිහි කළාය. ඒ වන විට ආබ්‍රහම් මහලුව සිටියේය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—උත්. 17:21; 21:2.

දෙවි වෙලාවට වැඩ කරන බව පෙන්වන උදාහරණ රාශියක් බයිබලයේ තිබෙනවා. (යෙරෙ. 25:11-13; දානි. 4:20-25; 9:25) දෙවි ඉදිරියේදී දුෂ්ට මිනිසුන්ව විනාශ කරන දවස පැමිණෙන තෙක් බලා සිටින ලෙස බයිබලයේ පවසනවා. මන්ද අප එය ‘ප්‍රමාදයි’ කියා සිතුවත් එය “ප්‍රමාද නොවන්නේය” කියා බයිබලයේ සහතික කර තිබෙනවා.—හබ. 2:3.

නමස්කාර කටයුතුවලදී වෙලාවට වැඩ කිරීම අත්‍යවශ්‍යයි

යෙහෝවා දෙවි නියම කර ඇති “උත්සව දිනයන්” සඳහා සියලුම ඊශ්‍රායෙල්වරු පැමිණිය යුතු වූ අතර ඔවුන් නියමිත වෙලාවට එහි සිටිය යුතු වුණා. (ලෙවී. 23:2, 4) පූජා ඔප්පු කළ යුතු වෙලාවන් ගැනත් දෙවි ඔවුන්ට පවසා තිබුණා. (නික්. 29:38, 39; ලෙවී. 23:37, 38) දෙවිට කරන නමස්කාර කටයුතුවලදී ප්‍රමාද නොවීම දෙවි අපගෙන්ද බලාපොරොත්තු වන බව ඉන් අඟවන්නේ නැද්ද?

පාවුල් කොරින්තිවරුන්ට රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ගැන ලියන විට ඔහු ඔවුන්ට මෙසේ උනන්දු කළා. “සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතුයි.” (1 කොරි. 14:40) ඉන් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි රැස්වීම් නියමිත වෙලාවට ආරම්භ කළ යුතු බවයි. වෙලාවට වැඩ කිරීම ගැන දෙවි දරන ආකල්පය වෙනස් වී නැහැ. (මලා. 3:6) රැස්වීම්වලට වෙලාවට පැමිණීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද?

වෙලාවට වැඩ කිරීමට ඇති වන බාධා ජය ගැනීම

වෙලාවට වැඩ කිරීම සඳහා කලින්ම සැලසුම් කිරීම ඉතා වැදගත් බව සමහර අය වටහාගෙන තිබෙනවා. (හිතෝ. 21:5) යම් තැනකට නිශ්චිත වෙලාවකට යෑමට ඔබට අවශ්‍යයි කියා සිතන්න. ඒ ස්ථානයට අන්තිම මොහොතේ ළඟා වීමට හැකි වන අයුරින් ගමන ආරම්භ කිරීම ඥානවන්ත දෙයක් කියා ඔබ සිතනවාද? “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ” දෙයක් සිදු වුණත් නියමිත වෙලාවට අපගේ ගමනාන්තයට ළඟා විය හැකි අයුරින් විනාඩි කිහිපයකට කලින් ගමන ආරම්භ කිරීම මොන තරම් ඥානවන්තද! (දේශ. 9:11) වෙලාවට වැඩ කරන යෞවනයෙක් වන හොසේ * ඒ ගැන මෙසේ පවසනවා. “නියමිත වෙලාවට යම් තැනකට යන්න අවශ්‍ය නම් ගමනට ගත වන කාලය ගැන හොඳින් දැන සිටින්න අවශ්‍යයි.”

ක්‍රිස්තියානි රැස්වීම්වලට වෙලාවට යෑම සඳහා සමහර අයට කලින්ම රැකියා ස්ථානයෙන් පිට වීමට සැලසුම් කිරීම අවශ්‍ය විය හැකියි. ඒ සඳහා ඉතියෝපියාවේ සහෝදරයෙක් කළ දේ බලන්න. සතියක් ඇර සතියක් වැඩ මුරය වෙනස් වන නිසා රැස්වීම්වලට සහභාගි වීමට සිදු වන්නේ විනාඩි 45ක් ප්‍රමාද වී බව ඔහුට වැටහුණා. ඒ නිසා රැස්වීම් තිබෙන දවස්වල වෙනත් සේවකයෙකුට ටිකක් කලින් වැඩට එන්න කියා ඔහු පැවසුවා. ඒ සේවකයා වෙනුවෙන් වැඩිපුර පැය හතක් වැඩ කිරීමට මේ සහෝදරයා එකඟ වුණා.

ඔබට කුඩා දරුවන් සිටිනවා නම් වෙලාවට රැස්වීම්වලට පැමිණීම අභියෝගයක් විය හැකියි. සාමාන්‍යයෙන් දරුවන්ව රැස්වීම් සඳහා සූදානම් කිරීමට සිදු වන්නේ මවටයි. නමුත් පවුලේ අනික් සාමාජිකයන්ද ඒ සඳහා උපකාර කළ යුතුයි. මෙක්සිකෝවේ ජීවත් වන එස්පරන්සා නමැති සහෝදරියට වයස අවුරුදු 5ත් 23ත් අතර දරුවන් අටදෙනෙක් සිටිනවා. තමන්ගේ පවුලේ අය වෙලාවට වැඩ කිරීම සඳහා කරන දේවල් ඇය මෙසේ විස්තර කරනවා. “ලොකු දුවලා පොඩි අයව ලෑස්ති කරනවා. ඒ නිසා ගෙදර වැඩ ටික කරලා ඉක්මනින්ම ලෑස්ති වෙන්න මටත් වෙලාව තියෙනවා. පස්සේ අපි සැලසුම් කරලා තියෙන වෙලාවට ගෙදරින් පිට වෙනවා.” ඔවුන් රැස්වීම් සඳහා ගෙදරින් පිට වීමට වෙලාවක් නියම කරගෙන තිබෙනවා. ඒ සඳහා පවුලේ සියලුදෙනාගේ සහයෝගය ලැබෙනවා.

රැස්වීම්වලට වෙලාවට පැමිණීමේ ආශීර්වාද

රැස්වීම්වලට වෙලාවට පැමිණීමෙන් ලැබෙන ආශීර්වාද ගැන කල්පනා කිරීම ඊට වෙලාවට පැමිණීමට අපව පොලඹවනවා. එය පුරුද්දක් කරගෙන සිටින යෞවනියක් වන සැන්ඩ්‍රා මෙවැනි දෙයක් පවසනවා. “සහෝදර සහෝදරියන් එක්ක කතා කරන්න පුළුවන් වන නිසා රැස්වීම්වලට කලින්ම යන්න මම හරි ආසයි. එතකොට එයාලත් එක්ක තියෙන බැඳීමත් තවත් ශක්තිමත් වෙනවා.” අප රැස්වීම්වලට කලින්ම පැමිණෙනවා නම් එහි සිටින සහෝදර සහෝදරියන් විශ්වාසවන්තව කළ සේවය හා ඔවුන් යම් යම් අවස්ථාවලදී විඳදරාගත් ආකාරය ගැන දැනගන්න පුළුවන්. එමගින් අපගේ විශ්වාසය ශක්තිමත් වෙනවා. ඒ වගේම අප රැස්වීම්වලට කලින්ම පැමිණ අන් අය සමඟ කතාබහ කරන විට ‘ප්‍රේමය පෙන්වීමටත් යහපත් ක්‍රියා කිරීමටත් අප ඔවුන්ව පොලඹවනවා.’—හෙබ්‍රෙ. 10:24, 25.

රැස්වීම ආරම්භයේදී ගයන ගීතිකාව හා යාච්ඤාව අපගේ නමස්කාරයේ වැදගත් කොටසක්. (ගීතා. 149:1) අප ගයන ගීතිකාවලින් දෙවිව ප්‍රශංසාවට පත් කරන අතර අප වර්ධනය කරගත යුතු ගුණාංග ගැන එයින් මතක් කර දෙනවා. එය අපට දේවසේවයේ උද්‍යෝගයෙන් සහභාගි වීමට දිරිගැන්වීමක්. ආරම්භක යාච්ඤාවෙන්ද බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. පුරාණ කාලයේදී දේවමාලිගාව දෙවි ‘යාච්ඤා ගෘහය’ ලෙස හැඳින්නුවා. (යෙසා. 56:7) යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමට අද දින අප එකතු වන්නේ රැස්වීම්වලදීයි. එහි කරන ආරම්භක යාච්ඤාවෙන් යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් හා ඔහුගේ බලයේ උපකාරය ඉල්ලීම පමණක් නොව රැස්වීමේදී සලකා බලන තොරතුරු තේරුම්ගන්නත් ඒවා අදාළ කරගන්නත් අපව සූදානම් කරනවා. ඒ නිසා රැස්වීමේ ආරම්භක ගීතිකාව සහ යාච්ඤාවට හවුල් වීමට අප වෙලාවට පැමිණීම ඉතා වැදගත්.

තමන් රැස්වීම්වලට කලින්ම පැමිණීමට හේතුව ගැන 23න් හැවිරිදි හෙලන් මෙසේ පවසනවා. “රැස්වීමේ සලකා බලන හැම දෙයක් වගේම යාච්ඤාවත් ගීතිකාවත් යෙහෝවා දෙවි ලබා දෙන සැපයුම්. ඒ හැම එකකටම සහභාගි වීමෙන් යෙහෝවා දෙවිට මගේ ප්‍රේමය පෙන්වන්න පුළුවන් කියලා මම හිතනවා.” අපටත් තිබිය යුත්තේ එවැනිම ආකල්පයක් නොවේද? ඔව්. අපට එවැනි ආකල්පයක් තිබිය යුතුයි. ඒ නිසා සෑම කාරණයකදීම වෙලාවට වැඩ කිරීමට අපි උත්සාහ කරමු. විශේෂයෙන්ම අපගේ සැබෑ දෙවි යෙහෝවාට කරන නමස්කාරයේදී එය ඉතා වැදගත්.

[පාදසටහන]

^ 12 ඡේ. නම් වෙනස් කර ඇත.

[26වන පිටුවේ පින්තූරය]

කලින්ම සූදානම් වන්න

[26වන පිටුවේ පින්තූරය]

“නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ” දේ සිදු විය හැකියි

[26වන පිටුවේ පින්තූර]

රැස්වීම්වලට කලින්ම පැමිණීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙයි