Skip to content

පටුනට යන්න

සමාජයේ බලපෑමට හසු වෙන්න එපා

සමාජයේ බලපෑමට හසු වෙන්න එපා

සමාජයේ බලපෑමට හසු වෙන්න එපා

සුදුසු හා නුසුදුසු දේ ගැනත් ගෞරවනීය හා අගෞරවනීය දේ ගැනත් මිනිසුන් තුළ ඇති ආකල්ප ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ වගේම කාලයත් සමඟද ඒවා වෙනස් වෙනවා. ඒ නිසා බයිබලයේ සඳහන් සිද්ධීන් කියවන විට අපට දැන් ඒ ගැන තිබෙන ආකල්පවලට අනුව නොව බයිබලය ලියූ කාලයේ සමාජයේ පැවති ආකල්පවලට අනුව ඒ සිද්ධීන් ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්.

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ ගෞරවය හා ලැජ්ජාව යන වචන දෙක නිතර නිතර සඳහන් වී තිබෙනවා. එදා සිටි ජනයා ගෞරවය ගෙන දෙන හා ලැජ්ජාවට පත් කරන දේවල් ලෙස සැලකුවේ මොනවාද කියා සොයා බැලීම වැදගත්.

ජනයා උසස්කොට සැලකූ දේවල්

ග්‍රීකවරුන්, රෝමවරුන් හා යුදෙව්වන් සමාජයෙන් ලැබෙන ගෞරවය ඉතා ඉහළින් සැලකුවා. ඒ ගැන එක් විශාරදයෙක් මෙසේ පවසනවා. “ඔවුන් ජීවිතේ වැදගත් තීරණ ගත්තේ සමාජයෙන් ගෞරවය, පිළිගැනීම හා අනුමැතිය ලබාගැනීමේ අරමුණ ඇතුවයි. ඒ වගේම ඔවුන් සමහර අවස්ථාවලදී ඒ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන්න පෙලඹුණා.” ජනයාගෙන් ගෞරවය ලැබීම ඔවුන් වැදගත් දෙයක් ලෙස සැලකූ නිසා අන් අයගේ යෝජනා පිළිගැනීමට ඉක්මන් වුණා.

එදා සමාජයේ සෑම දෙයක්ම තීරණය වුණේ නිලය, තත්වය හා ගෞරවය මතයි. එය සමාජය විසින් උසස් කියා සැලකූ පුද්ගලයන් අතරත් දාසයන් අතරත් දකින්න ලැබුණා. ඒ නිසා කෙනෙකුට ගෞරවය ලබාගැනීමට නම් ඔහු උසස්කොට සලකන දේවල් කිරීම පමණක් නොව සමාජය විසින් උසස්කොට සලකන දේවල් කිරීමත් අවශ්‍ය වුණා. එමෙන්ම කෙනෙකුට ගෞරවය ලැබෙන්නේ ඔහු සතු ධනය, ඔහු දරන තනතුර හෝ තත්වය අනුවයි. ඊට අමතරව යහපත් ක්‍රියා කිරීමෙන්ද කෙනෙකුට ගෞරවය ලබාගත හැකියි. අනෙක් අතට කෙනෙක් අගෞරවනීය දෙයක් කළොත් මුළු සමාජයම ඔහුට සමච්චල් කරනවා. නැත්නම් ඔහුව කොන් කරනවා. බොහෝදෙනා එලෙස ක්‍රියා කරන්නේ ඔවුන්ට එසේ හැඟෙන නිසාවත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය කියන නිසාවත් නොව සමාජය විසින් එසේ කරන නිසයි.

උත්සවයක ඇති ‘ප්‍රධානතම ආසනයේ’ හෝ ‘පහත්ම ආසනයේ’ ඉඳගැනීම ගැන යේසුස් කතා කළා. එදා සමාජයේ ප්‍රධානතම ආසනය දීමෙන් කෙනෙකුව ගෞරවයට පත් කිරීමටත් පහත්ම ආසනය දීමෙන් කෙනෙකුව ලැජ්ජාවට පත් කිරීමටත් හැකි වුණා. (ලූක් 14:8-10) ඉතා උඩඟු මෙන්ම තරඟකාරී යුදෙව් ආගමික නායකයන් යේසුස් දේවරාජ්‍යය ගැන කතා කිරීම සැලකුවේ ඔවුන්ගේ ගෞරවයට හා අධිකාරියට තර්ජනයක් ලෙසයි. ඔවුන් ජනයා ඉදිරියේ යේසුස්ගේ වැරදි පෙන්වා ජනයාගේ ප්‍රසාදය දිනාගැනීමට කොතරම් උත්සාහ කළත් ඔවුන්ට සාර්ථක වීමට හැකි වුණේ නැහැ. (ලූක් 13:11-17) එදා සමාජයේ උස් පහත් භේදයක් තිබුණු නිසා යේසුස්ගේ ගෝලයන්ද තමන් අතරින් “උතුම්ම තැනැත්තා” කවුද කියා කිහිප වතාවක්ම වාද කළා.—ලූක් 9:46; 22:24.

කෙනෙකුව අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ වරදකරු කිරීම ඔහුට කරන අපහාසයක් ලෙස පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන්, ග්‍රීකවරුන් හා රෝමවරුන් සැලකුවා. කෙනෙකුව සිරගත කිරීම හෝ දඬුකඳේ ගැසීම ඔහුට කරන මහත් අවමානයක් ලෙසත් ඔවුන් සැලකුවා. ඔහු වරදක් කර තිබුණත් නැතත් ඔහුගේ පවුලේ අය, මිත්‍රයන් හා සමාජය ඔහුව පහත්කොට සලකනවා. එවැනි කෙනෙකුට සමාජයෙන් ලැබෙන ගෞරවය අහිමි වන අතර අන් අය සමඟ ඔහුට තිබෙන මිත්‍රත්වයට එමගින් හානි සිදු වෙනවා. ඉහත සඳහන් සියලු දඬුවම්වලට වඩා කස පහර දීම හෝ කෙනෙකුව නිරුවත් කිරීම ඔහුට කරන මහත් අවමානයක් ලෙස ඔවුන් සැලකුවා.

කෙනෙකුට කරන ලොකුම අපහාසය ලෙස ඔවුන් සැලකුවේ වධකණුවක එල්ලා මරා දැමීමයි. විශාරදයෙක් වන මාටින් හෙන්ජල් ඒ ගැන මෙසේ පවසනවා. “එලෙස දඬුවම් කළේ වහල් සේවකයන්ටයි. එය කෙනෙකුට කරන දරුණුතම වධ දීම ලෙසත් මහත් ලැජ්ජාවක් ලෙසත් සැලකුවා.” එවැනි පුද්ගලයෙකුව තවදුරටත් පවුලේ කෙනෙකු ලෙස නොසලකන්න කියා සමාජය විසින් පවුලේ අයටත් හිතමිතුරන්ටත් බලපෑම් කළා. යේසුස් මිය ගියේත් ඉහත ආකාරයට නිසා ඔහුගේ අනුගාමිකයන් වන සියලුදෙනාටම අපහාසවලට මුහුණ දීමට සිදු වුණා. වධකණුවක එල්ලා මරා දැමූ පුද්ගලයෙකුගේ අනුගාමිකයෙක් වීම මෝඩකමක් ලෙස බොහෝදෙනා සැලකුවා. පාවුල් මෙසේ පැවසුවේ ඒ නිසයි. “අප දේශනා කරන්නේ වධකණුවක ඇණ ගසා මරනු ලැබූ ක්‍රිස්තුස් ගැනයි. යුදෙව්වරු ඒ ගැන කෝප වී එය පිළි නොගනිති. වෙනත් ජාතීන් එය සලකන්නේ මෝඩකමක් ලෙසය.” (1 කොරින්ති 1:23) එම තත්වයට මුහුණ දීමට ක්‍රිස්තියානීන් කළේ කුමක්ද?

ක්‍රිස්තියානීන් උසස්කොට සැලකූ දේවල්

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් නීතිගරුක පුරවැසියන් ලෙස ජීවත් වීමට වෑයම් කළ නිසා නීතිය කඩ කරන්නන් ලෙස ඔවුන්ට අපහාසවලට මුහුණ දීමට සිදු වුණේ නැහැ. “ඔබ අතරින් කිසිවෙකුට දුක් විඳීමට සිදු වේ නම් ඒ ඔහු මිනී මරුවෙකු, සොරෙකු, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන කෙනෙකු වන නිසා නොවිය යුතුයි” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (1 පේතෘස් 4:15) නමුත් ඔවුන් තම අනුගාමිකයන් වීම නිසා පීඩා විඳින බව යේසුස් පැවසුවා. (යොහන් 15:20) ‘කෙනෙකු ක්‍රිස්තියානියෙකු වන නිසා දුක් විඳියි නම් ලැජ්ජාවට පත් වන්න ඔහුට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහුට දිගටම දෙවිට ගෞරවය ගෙන දිය හැකි’ බව පේතෘස් පැවසුවා. (1 පේතෘස් 4:16) තමන් යේසුස්ගේ අනුගාමිකයෙක් වීම නිසා එදා සිටි ක්‍රිස්තියානීන්ව සමාජය ප්‍රතික්ෂේප කළත් ඔවුන් ඒ ගැන ලැජ්ජා වුණේ නැහැ.

එදා සිටි මිනිසුන් උසස්කොට සැලකූ දේවල් ක්‍රිස්තියානීන් ලෙස තමන් ගත කළ ජීවිතයට බලපෑමක් වීමට යේසුස්ගේ අනුගාමිකයන් ඉඩ දුන්නේ නැහැ. පළමු ශතවර්ෂයේ සිටි ජනයා වධකණුවක එල්ලන ලද පුද්ගලයෙකුව ගැලවුම්කරු ලෙස පිළිගැනීම සැලකුවේ මෝඩකමක් ලෙසයි. ඒ ආකාරයටම සිතන්න කියා ක්‍රිස්තියානීන්ටත් දැඩි පෙලඹවීම් කරන්න ඇති. කෙසේවෙතත් විඳින්න සිදු වන අපහාස ගැන නොසලකා ඔවුන් යේසුස් ගැලවුම්කරු බව විශ්වාස කළා. නමුත් තමන්ව පිළි නොගන්න අය ගැන යේසුස් මෙසේ පැවසුවා. “දෙවිට ද්‍රෝහි වන මේ පව්කාර පරම්පරාව අතරේ සිටින යමෙක් මගේ ගෝලයෙක් වෙන්නත් මා පවසන දේවල් පිළිගන්නත් ලැජ්ජා වුණොත් මනුෂ්‍ය පුත්‍රයා තම පියාණන්ගේ තේජසින් වැජඹෙමින්, ශුද්ධ දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඒ තැනැත්තාව පිළිගන්න මනුෂ්‍ය පුත්‍රයාත් කැමති වන්නේ නැහැ.”—මාක් 8:38.

සැබෑ ක්‍රිස්තියානියෙක් ලෙස ගත කරන ජීවිතයෙන් කිසිම පළක් නැහැ කියා ඔබේ පාසැලේ මිත්‍රයන්, අසල්වාසීන් පවසන්න පුළුවන්. ඒ වගේම ඔවුන් අපව වංක, නරක මෙන්ම ශුද්ධ ලියවිල්ලේ වැරදි බව සෘජුව පවසා නැති දේවල් කිරීමට පෙලඹවිය හැකියි. ඒ විතරක් නොවෙයි අප හරි දේ කරන නිසා අපව ලැජ්ජාවට පත් කිරීමට ඔවුන් උත්සාහ කළ හැකියි. එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණොත් අපට කුමක් කළ හැකිද?

ලැජ්ජාව නොතකා කටයුතු කළ අය

යේසුස් දෙවිට විශ්වාසවන්තව සිටි නිසා ඉතා කෲර මරණයක් අද්දැකීමට ඔහුට සිදු වුණා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය” කියායි. (හෙබ්‍රෙව් 12:2) ඔහුගේ විරුද්ධවාදීන් ඔහුට කම්මුල් පහර ගැසුවා. ඔහුගේ මුහුණට කෙළගැසුවා. ඔහු ඇඳ සිටි අඳුම් ඉරා දැමුවා. ඔහුට පහර දුන්නා. ඔවුන් ඔහුට වෛර කළ අතර වධකණුවක එල්ලා මරා දැමුවා. (මාක් 14:65; 15:29-32) නමුත් අන් අය ඉදිරියේ යේසුස්ව ලැජ්ජාවට පත් කිරීමට ඔවුන් ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. මන්ද ඔහු ඔහුගේ විශ්වාසවන්තකම අත්හැරියේ නැහැ. ඔහු මිනිසුන්ගේ ගෞරවය දිනාගැනීම ගැන කල්පනා කළේ නැහැ. ඒ වෙනුවට තමාට දෙවිගෙන් ගෞරවය ලැබෙන බව ඔහු දැන සිටියා. ඔහු වහලෙකු ලෙස මිය ගියත් යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිටුවා විශ්වයේ දෙවෙනි උසස්ම තැන ලබා දුන්නා. එය ඔහුට මොන තරම් ගෞරවයක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. යේසුස් “බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට තරම් ඔහු දෙවිට කීකරු වූයේය. දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය. දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය. එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය. එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.”—ෆිලිප්පි 2:8-11.

දෙවිට අපහාස කරන කෙනෙක් ලෙස වධකණුවක මිය යෑමට සිදු වීම තම පියාගේ නමට අගෞරවයක් කියා යේසුස් සිතුවා. “මේ කුසලානය මගෙන් ඉවත් කරන්න” එනම්, තමන්ට එලෙස මිය යෑමට ඉඩ නොතබන්න කියා ඔහු දෙවිට යාච්ඤා කළේ ඒ නිසයි. (මාක් 14:36) නමුත් ඔහු දෙවිගේ කැමැත්තට යටත් වී සියලු පීඩා දරාගත්තා. ඔහුට අත්විඳීමට සිදු වූ ලැජ්ජාව ගැන ඔහු එතරම් තැකුවේ නැහැ. කෙසේවෙතත් යේසුස් මුහුණ දුන් දේවල් අගෞවරනීයයි කියා එදා සිටි ජනයා සිතුවත් යේසුස් එසේ සිතුවේ නැහැ.

යේසුස්ගේ අනුගාමිකයන්ටත් බොහෝ අපහාසවලට මුහුණ දීමට සිදු වුණා. ඔවුන්ට පහරදී ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ නිසා එදා සිටි බොහෝදෙනෙක් ඔවුන්ව කොන් කළත් ඔවුන් අධෛර්යය වුණේ නැහැ. (මතෙව් 10:17; ක්‍රියා 5:40; 2 කොරින්ති 11:23-25) ‘වධකණුව රැගෙන දිගටම එනම්, දිනපතාම යේසුස් අනුව යා යුතු බව’ ඔවුන් තේරුම්ගෙන සිටියා.—ලූක් 9:23, 26.

අද දින ජනයා මෝඩ, දුර්වල හා කිසිම වටිනාකමක් නැහැයි කියා සිතන දේවල් දෙවි සලකන්නේ ප්‍රඥාවන්ත, බලවත් හා ගෞරවනීය දේවල් ලෙසයි. (1 කොරින්ති 1:25-28) ඒ නිසා පොදුවේ ජනයා දරන සෑම ආකල්පයක්ම ඒ අයුරින්ම පිළිගැනීම මෝඩ දෙයක් නොවේද?

සමාජයේ පිළිගැනීම ලබාගැනීමට කැමති අය සමාජය ඔවුන් ගැන සිතන ආකාරය ගැන කල්පනා කරනවා. අනෙක් අතට යේසුස් සහ පළමු ශතවර්ෂයේ සිටි ඔහුගේ අනුගාමිකයන් මෙන් අප යෙහෝවා දෙවිව අපගේ මිත්‍රයා කරගැනීමට ආශාවෙන් සිටිනවා. ඒ නිසා ඔහු ගෞරවයෙන් සලකන දේවල් අපත් ගෞරවයෙන් සලකන අතර ඔහු ලැජ්ජාවක් කියා සලකන දේවල් අපත් ඒ ආකාරයටම සලකමු.

[4වන පිටුවේ පින්තූරය]

සමාජය ලැජ්ජාවක් කියා සිතූ දේ යේසුස් එලෙස සැලකුවේ නැහැ