Skip to content

පටුනට යන්න

සාදර ඇරයුමයි!

සාදර ඇරයුමයි!

සාදර ඇරයුමයි!

ඇරයුම් කරන්නේ කුමක් සඳහාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක් නැරඹීම සඳහායි. එය බෙතෙල් ගෘහය කියාද හඳුන්වනවා. ලොව පුරා එවැනි ස්ථාන 118ක් තිබෙනවා. බෙතෙල් ගෘහය නැරඹීමට පැමිණෙන අමුත්තන් බොහෝවිට එහි සිදු වන දේවල් ගැන ඔවුන්ගේ අගය පළ කර තිබෙනවා.

මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් වෙහෙසී වැඩ කළත් ඔවුන් සන්තෝෂයෙන් ඔවුන්ගේ කාර්යයන්වල නියැලෙන ආකාරය දුටු බයිබලය පාඩම් කරන එක් යෞවනයෙක් මෙසේ ඇසුවා. “මෙහෙ වැඩ කරන්න මම මොනවාද කරන්න ඕනේ?” ඊට ඔහුට මෙවැනි පිළිතුරක් ලැබුණා. “ඔයා මුලින්ම බව්තීස්ම වෙන්න. ඊට පස්සේ පුරෝගාමියෙක් වෙන්න පුළුවන් නම් හොඳයි.” ඔහු ඒ දේ කළා. වසර දෙකකට පසුව බෙතෙල් ගෘහයේ සේවය කිරීමට ඔහුට ආරාධනා කළා. ඔහු වසර 20ක පමණ කාලයක් පුරා එහි සේවය කරමින් සිටිනවා.

බෙතෙල්

“බෙතෙල්” යන හෙබ්‍රෙව් වචනයේ අර්ථය “දෙවිගේ ගෘහය” යන්නයි. (උත්. 28:19 පාද සටහන) සමහර බෙතෙල් ගෘහවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 1,00,000කට අධික සභාවන් සඳහා අවශ්‍ය බයිබල් හා ඒ ආශ්‍රිත ප්‍රකාශන මුද්‍රණය කරනවා. විවිධ සංස්කෘතීන්ට අයත් පුරුෂයන් හා ස්ත්‍රීන් 20,000කට ආසන්න පිරිසක් ඔවුන්ගේම කැමැත්තෙන් යෙහෝවා දෙවිට හා සෙසු සහෝදර සහෝදරියන්ට සේවය කරනවා. එහි වැඩිහිටියන් මෙන්ම තරුණයන්ද සේවය කරනවා. බෙතෙල් පවුලේ සාමාජිකයන් සවස්වරුවල හා සතියන්තවල බෙතෙල් ගෘහය අවට ඇති සභාවල රැස්වීම්වලට යන අතර දේවසේවයේ හවුල් වෙනවා. ඒ වගේම ඔවුන් විවේක කාලය බයිබලය අධ්‍යයනය කිරීමට, විනෝද වීමට හා පෞද්ගලික වැඩකටයුතු සඳහා යොදාගන්නවා.

බෙතෙල් පවුලේ සාමාජිකයන්ට මාසිකව සුළු දීමනාවක් ලැබෙනවා. ඔවුන්ට රසවත් මෙන්ම පෝෂ්‍යදායි ආහාර ලැබෙන අතර ඔවුන් පිරිසිදු සුව පහසු කාමරවල ජීවත් වෙනවා. නමුත් බෙතෙල් නිවෙස් සාදා තිබෙන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට නොවෙයි. බෙතෙල් නිවස නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ සිත්ගන්නේ එහි ඇති පිළිවෙළ හා පිරිසිදුකම පමණක් නොව එහි සේවය කරන අයගේ කරුණාවන්තකම මෙන්ම සහයෝගයෙන් වැඩ කරන ආකාරයද ඔවුන්ගේ සිත්ගෙන තිබෙනවා. එහි සිටින සියලුදෙනාම කාර්යබහුල වුණත් ඔවුන් ඉතා මිත්‍රශීලී අයයි. බෙතෙල් සාමාජිකයන් කුමන පවුල් පසුබිමකින් පැමිණියත් කරන කාර්යය කුමක් වුණත් ඔවුන් උසස් හෝ පහත් අය වන්නේ නැහැ. ඔවුන් පිරිසිදු කිරීමේ කාර්යය කළත් වත්තේ වැඩ කළත් මුළුතැන් ගෙයි වැඩ කළත් මුද්‍රණාලයේ හෝ කාර්යාලයේ වැඩ කළත් හැම වැඩක්ම එක හා සමානව වැදගත්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න හා බයිබල් පාඩම් පවත්වන්න උපකාර කිරීම සඳහා බෙතෙල් සාමාජිකයන් කණ්ඩායමක් සේ එකමුතු වී වැඩ කරනවා.—කොලො. 3:23.

බෙතෙල් සාමාජිකයන්ට ඒ ගැන සිතෙන දේ

බෙතෙල්හි සේවය කරන අය ගැන අපි දැන් ටිකකට සලකා බලමු. ඔවුන් එහි සේවය කිරීමට පෙලඹුණේ ඇයි? බෙතෙල් සේවකයෙක් වන මාර්යෝගේ අද්දැකීම සලකා බලන්න. ඔහු ජර්මනියේ ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන ආයතනයක රැකියාවක් කරමින් සිටියා. ඉන් ඔහුට විශාල වැටුපක් ලැබුණු අතර තවත් දියුණු වීමටද අවස්ථාව තිබුණා. මාර්යෝ බව්තීස්ම වී ටික කාලයකට පසු සතියක් බෙතෙල්හි සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඔහුට මුද්‍රණ අංශයේ වැඩ කිරීමට පැවරුමක් ලැබුණා. එහිදී මාර්යෝට ඔහුගේ රැකියා ස්ථානයේ සේවකයන් හා බෙතෙල් සාමාජිකයන් අතර පැහැදිලි වෙනසක් දැකගන්න ලැබුණා. ඒ නිසා ඔහු පූර්ණකාලීනව බෙතෙල් ගෘහයේ සේවය කිරීමට අයැදුම් කළා. මාර්යෝ ගත් තීරණය ඔහුගේ නෑදෑයන්ට හා මිත්‍රයන්ට අදහාගත නොහැකි වුණා. නමුත් දැන් ඔහු සන්තෝෂයෙන් ජර්මනියේ බෙතෙල් ගෘහයේ සේවය කරනවා.

බෙතෙල් සේවයට පැමිණෙන බොහෝදෙනාට විශේෂ අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය දක්ෂතා නැහැ. වසර 15ක් පුරා මෙක්සිකෝවේ බෙතෙල් නිවසේ සේවය කරන ඒබල්ටද එහි පැමිණෙන විට විශේෂ දක්ෂතා තිබුණේ නැහැ. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මම බෙතෙල් සේවයට ආවට පස්සේ ගොඩක් දේවල් ඉගෙනගත්තා. සංකීර්ණ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවන්නත් මම ඉගෙනගත්තා. මට දැන් තියෙන දැනුම නිසා වැඩි පඩියක් ලැබෙන රැකියාවක් හොයාගන්න පුළුවන්. නමුත් මම දැන් භුක්ති විඳින සාමය, තෘප්තිය එවැනි තැනක වැඩ කරද්දී ලැබෙන්නේ නැහැ. බොහෝ ආයතනවල තියෙන තරඟකාරීබව හා විවිධ ප්‍රශ්න මම මෙහෙදී අද්දකින්නේ නැහැ. බෙතෙල් එකේ සේවය කරන්න ආවට පස්සේ දෙවිගේ සේවකයෙක් ලෙසත් වෘත්තීමය ලෙසත් මට ලබන්න පුළුවන් උපරිම අධ්‍යාපනය මම ලබාගෙන තියෙනවා කියලා මට දැන් හිතෙනවා. මම හොඳම විශ්වවිද්‍යාලයට ගියත් මට මේ වගේ දැනුමක් නම් ලබාගන්න බැහැ.”

බෙතෙල් ගෘහය නැරඹීමට පැමිණීමෙන් ලැබෙන ප්‍රයෝජන

බෙතෙල් නිවස නැරඹීමට පැමිණීමෙන් කෙනෙකුට දෙවි සමඟ ඇති මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගත හැකියි. මෙක්සිකෝවේ සිටින ඕමාර්ත් එවැනි අද්දැකීමක් ලැබුවා. ඔහුගේ මව ඔහුට බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගැන්නුවත් අවුරුදු 17දී ඔහු රැස්වීම් හා දේවසේවයේ යෑම නතර කළා. ඉන්පසු ඔහු විවිධ නරක පුරුදුවලට ඇබ්බැහි වූ අතර වැඩියෙන් මුදල් සොයන්නත් පෙලඹුණා. ඔහු එක්තරා සන්නිවේදන ආයතනයක රැකියාව කරන කාලයේදී මෙක්සිකෝවේ බෙතෙල් ගෘහයට ඔහුගේ ආයතනයේ සේවය අවශ්‍ය වූ අතර ඒ සඳහා පැමිණි පිරිස අතර ඔහුත් සිටියා. ඉන්පසු සිදු වූ දේ ගැන ඕමාර් මෙසේ පවසනවා. “අපේ වැඩේ ඉවර වුණාට පස්සේ ඔවුන් අපිව බෙතෙල් ගෘහය නරඹන්න එක්කගෙන ගියා. ඔවුන්ගේ කරුණාවන්තකමයි ඔවුන් මට සැලකූ ආකාරයයි නිසා යෙහෝවා දෙවිගෙන් ඈත් වෙලා මම ගත කරන ජීවිතය ගැන කල්පනා කරන්න පෙලඹුණා. ඒ එක්කම වගේ මම රැස්වීම්වලට යන්නත් බයිබලය ඉගෙනගන්නත් පටන්ගත්තා. බෙතෙල් ගෘහය බලන්න ගිහිල්ලා මාස හයකට පස්සේ මම බව්තීස්ම වුණා. ජීවිතේ ඒ වගේ වෙනස්කම් කරගන්න මාව පෙලඹවීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.”

ජපානයේ ජීවත් වන මසාහිකෝගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔහු ඔවුන් යටතේ හැදී වැඩුණත් ක්‍රිස්තියානියෙක් ලෙස ජීවත් වීම අමාරු දෙයක් බව පසුව ඔහුට සිතුණා. ඔහු පාසැලේ අමතර ක්‍රියාකාරකම්වල වැඩියෙන් හවුල් වන්න පටන්ගත් අතර රැස්වීම් හා දේවසේවයේ යෑම නතර කළා. එක් දවසක් සිදු වූ දෙයක් මසාහිකෝ මෙසේ විස්තර කරනවා. “මගේ පවුලේ අය හා සභාවේ මිතුරන් කිහිපදෙනෙක් බෙතෙල් එක බලන්න යන්න තීරණය කළා. මගේ පවුලේ අයගේ බල කිරීම නිසා මමත් ගියා. නමුත් බෙතෙල් එක නරඹන කොට මට කවදාවත් නොදැනුණ ප්‍රබෝධයක් දැනුණා. අපිත් එක්ක ගිය සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන කොට මට දැනුණ ප්‍රීතිය හා තෘප්තිය මගේ යාළුවන් එක්ක ඉද්දී මට දැනුණේ නැහැ. ඒ නිසා නැවතත් යෙහෝවා දෙවිට සේවය කරන්න ඕනේ කියලා මට හිතුණා. පස්සේ මම ආයෙත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.” මසාහිකෝ දැන් පූර්ණකාලීන දේවසේවකයෙක් ලෙස සේවය කරනවා.

ප්‍රංශයේ ජීවත් වූ සහෝදරියක් රැකියාවක් සඳහා මොස්කව් නුවරට පැමිණියා. එහිදී ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ නිසා දෙවි සමඟ තිබූ ඇගේ මිත්‍රත්වය දුර්වල වුණා. ඇය වැරදි දේවල් කරන්න පටන්ගත් අතර පසුව සාක්ෂිකරුවෙක් නොවන පුද්ගලයෙක් සමඟ විවාහ වුණා. පසුව ප්‍රංශයේ සිටි ක්‍රිස්තියානි සහෝදරියක් ඇයව බලන්න පැමිණි අතර දෙදෙනාම රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග්වල තියෙන බෙතෙල් නිවස නැරඹීමට ගියා. ඉන්පසු සිදු වූ දේ ගැන ඇය මෙසේ පැවසුවා. “බෙතෙල් එකේ ඉන්න අය අපව උණුසුම් ලෙස පිළිගත්තා. ඒක මට ලොකු බලපෑමක් වුණා. දෙවිගේ බලය එහෙ තියෙනවා කියලා මට හිතුණා. මොකද එතන හිටිය සියලුදෙනාම හරිම සාමකාමී අයයි. දෙවිගේ සංවිධානයෙන් මම ඉවත් වුණ එක මම කරගත්ත ලොකු මෝඩකමක් කියලා මට හිතුණා. ඉන් පස්සේ මම දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරලා මගේ දරුවන්ට බයිබලය ගැන උගන්වන්න පටන්ගත්තා.” බෙතෙල් ගෘහය නැරඹීමට එන අයට බොහෝ ආශීර්වාද ලැබෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස ක්‍රියාශීලීව නොසිටි ඉහත සහෝදරියට නැවත ක්‍රියාශීලී විමට ලැබුණු දිරිගැන්වීම ඉන් එකක්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන කෙනෙකුට බෙතෙල් ගෘහය නැරඹීමෙන් ප්‍රයෝජනයක් ලැබෙනවාද? ඒ ගැන මේ උදාහරණය බලන්න. දේශපාලනයට බොහෝ සේ සම්බන්ධ වී කටයුතු කළ කෙනෙක් වූ ඇල්බටෝ 1988දී බ්‍රසීලයේ බෙතෙල් ගෘහය නැරඹීමට ගියා. එහි පිරිසිදුකම හා පිළිවෙළ මෙන්ම එහි සිදු වන සියලු වැඩකටයුතු රහසිගතව සිදු නොකිරීම ඔහුගේ සිත්ගත්තා. ඊට ටික කලකට පෙර ඔහු තම භාර්යාවගේ සහෝදරයා පූජකයෙක් ලෙස සේවය කරන සෙමනේරියක් නැරඹීමට ගොස් තිබුණා. තමන් නැරඹීමට ගිය එම ස්ථාන දෙක ගැන ඔහු මෙසේ පවසනවා. “සෙමනේරියේ සෑම දෙයක්ම සිදු වුණේ රහසිගතවයි.” ඔහු බෙතෙල් ගෘහය නැරඹීමට ගොස් වැඩි කාලයක් ගත වෙන්න පෙර බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා. ඒ වගේම ඔහු දේශපාලනයෙන් ඉවත් වුණා. ඔහු දැන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා.

ඔබටත් ආරාධනා!

තම රටේ ඇති බෙතෙල් ගෘහය නැරඹීමට යන්න බොහෝදෙනෙක් විශේෂ වෑයමක් දරා තිබෙනවා. උදාහරණයකට පාවුලෝ හා අවුසන්‍යා කිලෝමීටර් 3,000ක පමණ දුර තිබෙන බෙතෙල් ගෘහය නැරඹීමට යන්න වසර හතරක් පුරා මුදල් ඉතුරු කළා. බස් රථයෙන් එහි යෑම සඳහා දින දෙකක් ගත වෙනවා. ඔවුන් ඒ ගැන මෙසේ පවසනවා.“අපි දරපු වෑයම හුඟක් වටිනවා. යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන දැන් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපිත් එක්ක බයිබලය පාඩම් කරන අයට අපි බෙතෙල් ගෘහය ගැන විස්තර කරන කොට ‘ඔයාලා ඒක දැකලා තියෙනවාද?’ කියලා ඒ අය අපෙන් අහනවා. දැන් අපිට ඔව් කියලා කියන්න පුළුවන්.”

ඔබගේ රටේ හෝ අසල්වාසී රටක බෙතෙල් ගෘහයක් හෝ ශාඛා කාර්යාලයක් තිබෙනවාද? එසේනම් එය නැරඹීමට යන්න කියා අපි ඔබට දිරිගන්වන්න කැමතියි. ඔබට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබෙන බවත් දෙවිට දිගටම සේවය කිරීමට දිරිගැන්වීමක් ලැබෙන බවත් ස්ථිරයි.

[18වන පිටුවේ පින්තූරය]

මාර්යෝ

[18වන පිටුවේ පින්තූරය]

ඒබල්

[18වන පිටුවේ පින්තූරය]

ජර්මනිය

[18වන පිටුවේ පින්තූරය]

ජපානය

[18වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලය