Skip to content

පටුනට යන්න

‘ළැදි ප්‍රේමය නමැති නීතිය රකිමින් වචන හසුරුවන්න’

‘ළැදි ප්‍රේමය නමැති නීතිය රකිමින් වචන හසුරුවන්න’

‘ළැදි ප්‍රේමය නමැති නීතිය රකිමින් වචන හසුරුවන්න’

“ඇය ඥානවන්තව කතා කරන්නීය. ළැදි ප්‍රේමය නමැති නීතිය රකිමින් ඇය වචන හසුරුවන්නීය.”—හිතෝපදේශ 31:26.

1, 2. (අ) දෙවිගේ සේවකයන් වර්ධනය කරගත යුතු ගුණාංගය කුමක්ද? (ආ) මෙම ලිපියේ සලකා බලන ප්‍රශ්න මොනවාද?

ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදෙස් අතර යහපත් භාර්යාවක් සතු ගුණාංග ගැන මෙසේ සඳහන් කළා. “ඇය ඥානවන්තව කතා කරන්නීය. ළැදි ප්‍රේමය නමැති නීතිය රකිමින් ඇය වචන හසුරුවන්නීය.” (හිතෝ. 31:1, 10, 26) ඥානවන්ත භාර්යාවක් පමණක් නොව යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමට කැමති සියලුදෙනාම ප්‍රේමණීයව වචන හැසිරවිය යුතුයි.—හිතෝපදේශ 19:22 කියවන්න. *

2 ළැදි ප්‍රේමය පෙන්වනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ළැදි ප්‍රේමය පෙන්වන්නේ කාටද? කතා බහ කරන විට එය පෙන්වීමට උපකාරවත් වන්නේ කුමක්ද? පවුලේ සාමාජිකයන් හා සහෝදර සහෝදරියන් සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට එය දායක වෙන්නේ කොහොමද?

ළැදි ප්‍රේමය

3, 4. (අ) ළැදි ප්‍රේමය ඇති පුද්ගලයෙක්ව විස්තර කළ හැක්කේ කොහොමද? (ආ) ළැදි ප්‍රේමය පෙන්වන කෙනෙක් හා කාරුණික කෙනෙක් අතර ඇති වෙනස කුමක්ද?

3 ළැදි ප්‍රේමය පෙන්වන කෙනෙක් අන් අය කෙරෙහි සැබෑ උනන්දුවක් දක්වනවා. එය ඔහු කතාබහ කරන ආකාරයෙන් හා ක්‍රියා කරන ආකාරයෙන් දැකගත හැකියි. එවැනි ප්‍රේමයක් පෙන්වන කෙනෙක් එය පෙන්වන තැනැන්තා සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන සිටිනවා. එවැනි කෙනෙක් තව කෙනෙකුට උපකාරය හා සැලකිල්ල අවශ්‍ය වන තාක්කල් එය ඉතා විශ්වාසවන්තව ලබා දෙනවා.

4 ළැදි ප්‍රේමය පෙන්වන කෙනෙක් හා කාරුණික කෙනෙක් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. අප හඳුනන්නේ නැති අයට පවා අපට කරුණාව පෙන්වන්න පුළුවන්. උදාහරණයකට පාවුල් හා ඔහු සමඟ ගමන් ගත් 275දෙනාගේ නැව මුහුදුබත් වූ අවස්ථාවේදී කවදාවත් ඔවුන්ව දැක නොතිබූ මෝල්ටා දූපතේ වැසියන් ඔවුන්ට කරුණාව පෙන්නුවා. (ක්‍රියා 27:37–28:2) නමුත් ඊට වෙනස්ව කෙනෙක් තව කෙනෙකුට ළැදි ප්‍රේමය පෙන්වන්නේ ඔහු සමඟ ඒ වන විටත් කිට්ටු බැඳීමක් ඇති කරගෙන තිබෙනවා නම් පමණයි. කේනිවරුන් ඊශ්‍රායෙල්වරුන්ට දැක්වූයේ ඒ ආකාරයේ ප්‍රේමයක් බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “ඊජිප්තුවෙන් පිටත්ව එන විට ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ළැදි ප්‍රේමයකින් සැලකුවා.”—1 සාමු. 15:6.

ගැඹුරින් කල්පනා කිරීම හා යාච්ඤාව ඉතා වැදගත්

5. අපගේ දිව පාලනය කරගැනීමට අප කුමක් කළ යුතුද?

5 අප සියලුදෙනාටම අවශ්‍ය වන්නේ ළැදි ප්‍රේමය පෙන්වන අය වීමටයි. අප කතා කරන ආකාරයෙන් එය දැකගත හැකි විය යුතුයි. නමුත් එය පහසු දෙයක් නෙවෙයි. අපගේ දිව පාලනය කරගැනීම ගැන යාකොබ් මෙවැනි දෙයක් පැවසුවා. “දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.” (යාකො. 3:8) එසේනම් අපගේ දිව පාලනය කරගන්නේ කොහොමද? ඊට පිළිතුරු යේසුස් ආගමික නායකයන්ට පැවසූ මේ දෙයින් දැනගත හැකියි. “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.” (මතෙ. 12:34) ඉන් පැහැදිලි වන්නේ හදපත්ලෙන්ම අප කෙනෙකුට ළැදි ප්‍රේමයක් දක්වනවා නම් එය අපගේ කතාබහෙන් දැකගත හැකි බවයි. එසේ කිරීමට ගැඹුරින් කල්පනා කිරීම හා යාච්ඤාව අපට උපකාරවත් වෙනවා. ඒ කොහොමද කියා අපි දැන් සලකා බලමු.

6. දෙවි ළැදි ප්‍රේමය පෙන්වා ඇති ආකාරය ගැන ගැඹුරින් කල්පනා කළ යුත්තේ ඇයි?

6 යෙහෝවා දෙවි “ළැදි ප්‍රේමයක්” පෙන්වන බව බයිබලයේ පවසනවා. (නික්. 34:6) “යෙහෝවා දෙවියනි, ඔබේ ළැදි ප්‍රේමයෙන් පොළොව පිරී ඇත” කියා ගීතිකාකරුද ගායනා කළා. (ගීතා. 119:64) තමාට නමස්කාර කරන අයට දෙවි ළැදි ප්‍රේමය පෙන්වා ඇති අවස්ථා බොහෝමයක් බයිබලයේ සඳහන් වී තිබෙනවා. දෙවි මිනිසුන් සමඟ කටයුතු කර තිබෙන ආකාරය ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් අප තුළත් ළැදි ප්‍රේමයක් ඇති කරගැනීමට පෙලඹීමක් ඇති වෙනවා.—ගීතාවලිය 77:12 කියවන්න.

7, 8. (අ) යෙහෝවා දෙවි ලොත්ට සහ ඔහුගේ පවුලේ අයට ළැදි ප්‍රේමය පෙන්නුවේ කොහොමද? (ආ) දෙවිගේ ළැදි ප්‍රේමය අද්දුටු දාවිත්ට හැඟුණේ කොහොමද?

7 යෙහෝවා දෙවි සොදොම් නගරය විනාශ කිරීමට පෙර ආබ්‍රහම්ගේ ඥාති පුත්‍රයෙක් වූ ලොත් සහ ඔහුගේ පවුලේ අයව ගලවාගත් ආකාරය ගැන සිතා බලන්න. එම නගරය විනාශ කිරීමට කාලය පැමිණි විට ලොත්ව හමු වීමට පැමිණි දේවදූතයන් ඔහුට පවුලේ අය සමඟ හැකි ඉක්මනින් එතැනින් පිටත් වෙන්න කියා පැවසුවා. නමුත් ඔහු ‘එතැනින් පිට වී යන්න ප්‍රමාද වූ විට යෙහෝවා දෙවි ඔහුට අනුකම්පා කළ නිසා ඒ [දේවදූතයන්] දෙදෙනා ලොත්වත් ඔහුගේ භාර්යාවත් දූවරුන්වත් අතින් අල්ලාගෙන නුවරින් පිටතට දුවගෙන’ ගියා. යෙහෝවා දෙවි ඔවුන්ව ගලවාගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගය ගැන කල්පනා කරන විට දෙවි ඔවුන්ට මොන තරම් ළැදි ප්‍රේමය පෙන්නුවාද කියා ඔබට වැටහේවි. එවිට දෙවි කෙරෙහි තිබෙන ඔබගේ ප්‍රේමය වැඩි වෙනවාට සැකයක් නැහැ.—උත්. 19:16, 19.

8 දාවිත්ට යෙහෝවා දෙවි ගැන හැඟුණේ කොහොමද? ඔහු බැත්ෂෙබා සමඟ අනාචාරයේ යෙදුණු පසු දෙවි ඔහුට සමාව දීම ගැන ඔහු මොන තරම් ස්තුතිවන්ත වුණාද කියා ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. ‘[යෙහෝවා දෙවි ] සියලු වැරදිවලට සමාව දෙන්නේය. සියලු දුක් වේදනාවලට සහනයක් දෙන්නේය. ඔහු කෙරෙහි ගරුබියක් දක්වන අයට ඔහු පෙන්වන ළැදි ප්‍රේමය අතිමහත්ය. එය අහසත් පොළොවත් අතර තිබෙන පරතරය තරම් මහත්ය.’ (ගීතා. 103:3, 11) බයිබලයේ සඳහන් ඉහත සිද්ධීන් මෙන්ම වෙනත් සිද්ධීන් ගැන කල්පනා කිරීමෙන් දෙවි ළැදි ප්‍රේමය පෙන්වා ඇති ආකාරය ගැන අපට ඔහු කෙරෙහි මොන තරම් අගයක් ඇති වෙනවාද! ඒ නිසා ඔහුට ප්‍රශංසා කිරීමටත් ස්තුතිවන්ත වීමටත් අප පෙලඹෙන්නේ නැද්ද! අප දෙවිගේ ගුණාංග වැඩි වැඩියෙන් අගය කරන විට ඔහුව වඩාත් හොඳින් අනුකරණය කිරීමට අප පෙලඹෙනවා නිසැකයි.—එෆී. 5:1.

9. එදිනෙදා ජීවිතයේදී ළැදි ප්‍රේමය පෙන්වීමට අපට තිබෙන ප්‍රබල හේතුව කුමක්ද?

9 බයිබලයේ සඳහන් වාර්තාවලින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ළැදි ප්‍රේමය පෙන්වන්නේ ඔහු සමඟ කිට්ටු බැඳීමක් තිබෙන අයට පමණක් බවයි. ඉන් අදහස් කරන්නේ දෙවි සමඟ කිට්ටු බැඳීමක් නැති අයට ඔහු කරුණාවන්තව නොසලකන බවද? කිසිසේත්ම නැහැ. ලූක් 6:35හි පවසන්නේ මෙසේයි. ‘දෙවි කෙළෙහි ගුණ නොදක්වන අයටත් දුෂ්ටයන්ටත් කාරුණිකව සලකනවා.’ ඒ වගේම ‘ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරන අතර ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙනවා.’ (මතෙ. 5:45) යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුගේ කැමැත්ත කිරීමට පෙර අප අද්දැක්කේ දෙවි පොදුවේ සෑමදෙනාටම පෙන්වන ප්‍රේමයයි. නමුත් ඔහුගේ නමස්කාරකයන් වූ පසු ඔහු අපට ළැදි ප්‍රේමය පෙන්නුවා. (යෙසායා 54:10 කියවන්න.) ඒ සඳහා අප දෙවිට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! අප කතාබහ කරන ආකාරයෙන් හා ක්‍රියා කරන ආකාරයෙන් අන් අයට ළැදි ප්‍රේමය පෙන්වීමට එය මොන තරම් ප්‍රබල හේතුවක්ද!

10. ළැදි ප්‍රේමය පෙන්වීමට යාච්ඤාව අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

10 ළැදි ප්‍රේමය වර්ධනය කරගැනීමට නම් යාච්ඤාව අත්‍යවශ්‍යයි. ඊට හේතුව ප්‍රේමය දෙවිගේ බලයේ උපකාරයෙන් වර්ධනය කරගත යුතු ගුණාංගයක් වීමයි. (ගලා. 5:22) දෙවිගේ බලය ලබාගත හැකි හොඳම මාර්ගය වන්නේ එය ඉල්ලා යාච්ඤා කිරීමයි. (ලූක් 11:13) ඒ නිසා අප දිගටම දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීමත් දෙවි ලබාදෙන මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කිරීමත් අවශ්‍යයි. අප සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වන්නේ අන් අය කෙරෙහි ළැදි ප්‍රේමයක් ඇති කරගැනීම සඳහා බයිබලයේ සිද්ධීන් ගැඹුරින් කල්පනා කිරීම හා යාච්ඤාව අත්‍යවශ්‍ය බවයි.

ස්වාමිපුරුෂයා හා භාර්යාව කතාබහ කරන විට

11. (අ) ස්වාමිපුරුෂයා භාර්යාවට ළැදි ප්‍රේමය පෙන්වීම යෙහෝවා දෙවි බලාපොරොත්තු වන බව අප දන්නේ කොහොමද? (ආ) භාර්යාව සමඟ කතාබහ කරන විට ඇයට ළැදි ප්‍රේමය පෙන්වන්න ස්වාමිපුරුෂයාට පුළුවන් කොහොමද?

11 පාවුල් ස්වාමිපුරුෂයන්ට මෙසේ උනන්දු කරනවා. “ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.” (එෆී. 5:25) යෙහෝවා දෙවි ආදම් සහ ඒවට පැවසූ දේ පාවුල් පසුව ස්වාමිපුරුෂයන්ට මතක් කර දෙමින් මෙසේ පවසනවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (එෆී. 5:31) යෙහෝවා දෙවි ස්වාමිපුරුෂයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ භාර්යාවට ළැදි ප්‍රේමය පෙන්වමින් ඇයට විශ්වාසවන්තව සිටීමයි. තම භාර්යාවට ළැදි ප්‍රේමයක් පෙන්වන ස්වාමිපුරුෂයෙක් ඇගේ වැරදි අන් අය සමඟ පවසන්නේවත් ඇයව සුළු කරන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔහු ඇයට ප්‍රශංසා කරනවා. (හිතෝ. 31:28) පවුල් ජීවිතයේ යම් ප්‍රශ්න ගැටලු ඇති වුණත් ළැදි ප්‍රේමය පෙන්වන ස්වාමිපුරුෂයෙක් ඇයව නින්දාවට පත් වන ආකාරයෙන් කතා කරන්නේ නැහැ.

12. කතාබහ කරන විට ළැදි ප්‍රේමය පෙන්වීමට භාර්යාවට පුළුවන් කොහොමද?

12 භාර්යාවද ස්වාමිපුරුෂයා සමඟ කතාබහ කරන විට ළැදි ප්‍රේමය පෙන්විය යුතුයි. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අය කතාබහ කරන ආකාරය ඇය අනුකරණය නොකළ යුතුයි. ඒ වෙනුවට “තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක්” පෙන්වන ඇය අන් අය ඉදිරියේ ඔහුව ප්‍රශංසාවට ලක් කරනවා. එමගින් අන් අයට ඔහු ගැන ඇති ගෞරවය තවත් වැඩි වෙනවා. (එෆී. 5:33) ඇය දරුවන් ඉදිරියේ ස්වාමිපුරුෂයාගේ අදහස්වලට විරුද්ධ වන්නේ නැහැ. ඇය එසේ කරන්නේ දරුවන්ට පියා කෙරෙහි තිබෙන ගෞරවය අඩු වෙනවා දැකීමට ඇය අකමැති නිසයි. ඇය ස්වාමිපුරුෂයාගේ අදහස්වලට එකඟ වන්නේ නැත්නම් ඒවා ඔහු සමඟ පෞද්ගලිකව කතාබහ කරනවා. එසේ කිරීමෙන් “ප්‍රඥාවන්ත ස්ත්‍රියක් ඇගේ පවුල ගොඩනඟා ගන්නීය” යන බයිබලයේ සඳහන් උපදෙසට අනුව ඇය ක්‍රියා කරන බව පැවසිය හැකියි. (හිතෝ. 14:1) ඇගේ එම උත්සාහය නිසා නිවසේ ප්‍රීතිය හා සාමය සැමදා පවතිනවා.

13. ළැදි ප්‍රේමය පෙන්විය යුත්තේ විශේෂයෙන් කොහේදීද? ඒ කොහොමද?

13 ස්වාමිපුරුෂයා හා භාර්යාව නිවසේ කතාබහ කරන විටදී පවා එකිනෙකාට ගෞරවනීයව කතා කළ යුතුයි. එසේ කිරීමට නම් අප ඉවත් කරගත යුතු මෙන්ම වර්ධනය කරගත යුතු ගුණාංග ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි. ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න. ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.’ (කොලො. 3:8, 12-14) දෙමාපියන් නිවසේදී ප්‍රේමණීයව හා කාරුණිකව කතාබහ කරන විට දරුවන් ඉන් ඉමහත් ප්‍රබෝධයක් ලබන අතර ඔවුන්ද දෙමාපියන් කතාබහ කරන ආකාරය අනුකරණය කිරීමට පෙලඹෙනවා.

14. පවුලේ අයට අවශ්‍ය සැනසීම ලබා දීමට පවුලේ මූලිකයන්ට පුළුවන් කොහොමද?

14 දාවිත් යෙහෝවා දෙවිගෙන් මෙසේ අයැද සිටියා. “අනේ, ඔබේ ළැදි ප්‍රේමයෙන් මාව සනසන්න.” (ගීතා. 119:76) දෙවි ඔහුගේ සෙනඟට සැනසීම ලබා දෙන ප්‍රධාන ආකාරය වන්නේ ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමයි. (ගීතා. 119:105) පවුලේ මූලිකත්වය ගෙන ක්‍රියා කරන අයට යෙහෝවා දෙවිගේ ආදර්ශය අනුකරණය කිරීමට පුළුවන් කොහොමද? පවුලේ අයට අවශ්‍ය විටදී මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දීමට ඔවුන්ටද හැකියි. ඒ සඳහා පවුලේ නමස්කාරය හොඳ අවස්ථාවක්.—හිතෝ. 24:4.

සෙසු නමස්කාරකයන් සමඟ කතාබහ කරන විට

15. වැඩිමහල්ලන්ට හා අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ට අන් අයව ආරක්ෂා කිරීමේදී යෙහෝවා දෙවිව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

15 “ළැදි ප්‍රේමයෙන් පිරුණු සැබෑ දෙවි ඔබයි. එබැවින් නිරතුරුවම මාව ආරක්ෂා කරන්න” කියා දාවිත් රජ යාච්ඤා කළා. (ගීතා. 40:11) ක්‍රිස්තියානි සභාවේ සිටින වැඩිමහල්ලන්ට හා අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ට සෙසු සහෝදර සහෝදරියන්ව ආරක්ෂා කිරීමේදී යෙහෝවා දෙවිව අනුකරණය කරන්න පුළුවන් කොහොමද? ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දීමේදී දෙවිගේ වචනයට ඔවුන්ගේ අවධානය යොමු කිරීමෙන් එය කළ හැකියි.—හිතෝ. 17:17.

16, 17. අපගේ කතාබහෙන් අපට ළැදි ප්‍රේමය තිබෙන බව පෙන්වන්න පුළුවන් විවිධ අවස්ථා මොනවාද?

16 අපගේ සෙසු නමස්කාරකයෙක් බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට පටහැනි යමක් කරන බව අප දැනගත් විට අප කුමක් කළ යුතුද? ඔහු කෙරෙහි අපට ළැදි ප්‍රේමයක් තිබෙනවා නම් අප ඔහුව නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ කරනවා. (ගීතා. 141:5) නමුත් යම් කෙනෙක් බරපතළ වරදක් කර තිබෙනවා නම් ‘සභාවෙහි සිටින වැඩිමහල්ලන්ට’ ඒ ගැන පවසන්න කියා ඔහුව උනන්දු කළ යුතුයි. අප එසේ කරන්නේ ඔහු කෙරෙහි තිබෙන ළැදි ප්‍රේමය නිසයි. එවිට වැඩිමහල්ලන් “යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින් ඔහු වෙනුවෙන් යාච්ඤා” කරයි. (යාකො. 5:14) ඔහු ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දුන්නේ නැහැයි කියා සිතන්න. නමුත් අපට ඔහු කෙරෙහි ළැදි ප්‍රේමය තිබෙන නිසා එය වැඩිමහල්ලන්ට දැනුම් දෙනවා. ළැදි ප්‍රේමය පෙන්විය හැකි තවත් අවස්ථාවක් අපි දැන් බලමු. අපගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් අධෛර්යයට පත් වෙන්න හෝ තනිකමක් දැනෙන්න හෝ කිසි වටිනාකමක් නැති කෙනෙක් යන හැඟීම ඇති වෙන්න හෝ පුළුවන්. එවැනි තත්වයක සිටින අයට උපකාර කළ හැකි හොඳම ක්‍රමය නම් ඔවුන්ට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කිරීමයි. එසේ කරනවා නම් “කලකිරී සිටින අයව සනසවන්න” යන බයිබලයේ සඳහන් උපදෙසට එකඟව ක්‍රියා කරන බව පැවසිය හැකියි.—1 තෙස. 5:14.

17 යෙහෝවා දෙවිට විරුද්ධ වන අය අපගේ සහෝදරයෙක් ගැන කටකතාවක් පතුරනවා නම් අපට කුමක් කළ හැකිද? අපි අපේ සහෝදරයාව සැක නොකරමු. ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසා එය ප්‍රතික්ෂේප කරමු. නැත්නම් එවැනි දෙයක් පැවසීමට පදනමක් තිබෙනවාද කියාත් ඔහු සෑම තොරතුරක්ම දන්නවාද කියාත් එම පුද්ගලයාගෙන් අසන්න. අපගේ සහෝදරයන්ට ළැදි ප්‍රේමය පෙන්විය හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන්ට හානි කිරීමේ අරමුණින් යම් අය ඔවුන් ගැන විස්තර අසන විට කිසිවක් නොපවසා සිටීමයි.—හිතෝ. 18:24.

ළැදි ප්‍රේමය පෙන්වන්නාට ජීවනය ලැබෙයි

18, 19. අප සෙසු ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කරන විට දිගටම ළැදි ප්‍රේමය පෙන්විය යුත්තේ ඇයි?

18 අප සෑම අවස්ථාවකදීම සෙසු නමස්කාරකයන්ට ළැදි ප්‍රේමය පෙන්විය යුතුයි. අසීරු අවස්ථාවලදී පවා එසේ කිරීම යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. “නිමේෂයකින් නැති වී යන පිනි” මෙන් ඊශ්‍රායෙල්වරුන් දැක්වූ ළැදි ප්‍රේමය නැති වූ විට දෙවි දුක් වුණා. (හොෂෙ. 6:4, 6) අනෙක් අතට අප ළැදි ප්‍රේමය දිගටම පෙන්වනවා නම් යෙහෝවා දෙවි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා.

19 දෙවි එවැනි අයට දෙන ආශීර්වාද ගැන හිතෝපදේශ 21:21හි මෙසේ පවසනවා. “ධර්මිෂ්ඨකමටත් කරුණාවටත් ප්‍රිය කරන තැනැත්තාට ජීවනයද යුක්තියද ගෞරවයද ලැබෙයි.” ඔහුට ලැබෙන්නේ තාවකාලික ජීවිතයක් නොව සදාකාලික ජීවිතයක්. “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” යෙහෝවා දෙවි ඔහුට උපකාර කරනවා. (1 තිමෝ. 6:12, 19) එසේනම් අපි සියලුදෙනාම “එකිනෙකා සමඟ ළැදි ප්‍රේමයෙන් කටයුතු” කරමු.—සෙක. 7:9.

[පාදසටහන]

^ 1 ඡේ. මෙම ලිපියේ සඳහන් කර ඇති බයිබල් පදවල ඇති “ප්‍රේමය,” “ඉමහත් ප්‍රේමය,” “අතිමහත් ප්‍රේමය” හා “කරුණාව” යන වචන වෙනුවට භාවිත කර ඇත්තේ එම බයිබල් පදවල පාද සටහනේ ඇති “ළැදි ප්‍රේමය” යන වචනයයි. කියවන්න කියා සඳහන් කර ඇති බයිබල් පද කියවන විටද පාද සටහනේ ඇති “ළැදි ප්‍රේමය” යන්න යොදා කියවන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ළැදි ප්‍රේමය පෙන්වන කෙනෙක්ව ඔබ විස්තර කරන්නේ කොහොමද?

• කතාබහ කරන විට ළැදි ප්‍රේමය පෙන්වීමට උපකාරවත් වන්නේ මොනවාද?

• භාර්යාව හා ස්වාමිපුරුෂයා කතාබහ කරන ආකාරයෙන් ළැදි ප්‍රේමය පෙන්වන්නේ කොහොමද?

• සෙසු නමස්කාරකයන්ට ළැදි ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි පෙන්වූ ළැදි ප්‍රේමයට දාවිත් බොහෝ සේ ස්තුතිවන්ත වුණා

[24වන පිටුවේ පින්තූරය]

පවුලේ නමස්කාරය නොකඩවා කිරීමට ඔබ සැලසුම් කර තිබෙනවාද?