Skip to content

පටුනට යන්න

ඉක්වදෝරයේ වර්ධනය දකින්න මට අවස්ථාව ලැබුණා

ඉක්වදෝරයේ වර්ධනය දකින්න මට අවස්ථාව ලැබුණා

ඉක්වදෝරයේ වර්ධනය දකින්න මට අවස්ථාව ලැබුණා

හාර්ලි හැරිස්

මෙය සිදු වුණේ 1950 සැප්තැම්බර් දෙවෙනිදා එක්සත් ජනපදයේ මිසූරිවල කෙනට්හිදියි. අපි චාරිකා එක්රැස්වීමේ වැඩසටහනට සවන් දෙමින් සිටිද්දී මැර කණ්ඩායමක් අපිව වැටලුවා. අපිව ඔවුන්ගෙන් බේරගන්න එහි නගරාධිපති ආරක්ෂක භටයින්ව රැගෙන ආවා. අපි එතැනින් පිටත් වෙලා යනකල් ඒ භටයින් තුවක්කු අතැතිව පාර දෙපැත්තේ හිටියා. අපිට වුණු ලැජ්ජාව දරාගෙන වාහනවල නැඟලා අපි එක්රැස්වීමේ ඉතුරු කොටස සඳහා මිසූරිවල කේප් ග්‍රැඩූවලට ගියා. මම බව්තීස්ම වුණේ ඒ එක්රැස්වීමේදියි. මට එතකොට අවුරුදු 14යි. ඒ වගේ වාතාවරණයක් තියෙද්දීත් මම යෙහෝවා දෙවිට සේවය කරන්න පෙලඹුණේ ඇයි කියලා දැන් ඔයාලට කියන්නම්.

වර්ෂ 1930 මුල් භාගයේදී මගේ ආච්චිටයි සීයටයි ඔවුන්ගේ දරුවෝ අටදෙනාටයි සහෝදර රදෆර්ඩ්ගේ පටිගත කරන ලද කතාවලට සවන් දීමට අවස්ථාවක් ලැබුණා. සවන් දුන් දේ සත්‍යයක් බව ඔවුන් පිළිගත්තා. මගේ දෙමාපියන් වන බා හැරිස් හා මිල්ඩ්‍රඩ් හැරිස් 1935 වොෂිංටන්හි පැවැති සමුළුවේදී බව්තීස්ම වුණා. “මහත් සමූහයක්” ගැන මුල් වරට පැහැදිලි කළේ ඒ සමුළුවේදියි. ඒ කණ්ඩායමට තමන්ද අයිති බව දැනගන්න ලැබුණ එක ගැන මගේ දෙමාපියන් සතුටු වුණා.—එළි. 7:9, 14.

මම ඉපදුණේ ඊළඟ අවුරුද්දෙයි. ඉන් අවුරුද්දකට විතර පස්සේ මගේ දෙමාපියන් සාක්ෂිකරුවන් කවුරුවත් නැති ප්‍රදේශයක් වන මිසිසිපිවලට පදිංචි වීමට ගියා. ඒ නිසා කිසිම සංචාරක සේවකයෙක් එහෙට ආවේ නැහැ. මගේ දෙමාපියන් ශාඛා කාර්යාලයත් එක්ක ලිපි හුවමාරු කරගත්තා. ඒ වගේම එක්රැස්වීම්වලට ගියා. අපිට සහෝදරයන්ව මුණගැහුණේ ඒ වගේ අවස්ථාවලදී විතරයි.

පීඩා දරාගැනීම

දෙවන ලෝක මහ යුද්ධය පැවති කාලයේදී ඊට සහයෝගය නොදැක්වීම නිසා සාක්ෂිකරුවන්ට බොහෝ පීඩාවලට මුහුණ දීමට සිදු වුණා. ඒ නිසා අපි පදිංචිය සඳහා කඳුකර ප්‍රදේශයක් වන ආකන්සාස්වලට ගියා. දවසක් තාත්තයි මමයි වීදි සේවය කරමින් සිටියා. එකපාරටම එක් කෙනෙක් ඇවිත් තාත්තගේ අතේ තිබුණු සඟරා උදුරගෙන එතැනම ගිනි තිබ්බා. අපි යුද්ධෙට යන්නේ නැති බයගුල්ලෝ කියලා අපිට බැන්නා. මේ සිද්ධිය වෙන කොට මට අවුරුදු පහයි. මම බය වෙලා අඬන්න පටන්ගත්තා. තාත්තා කිසිම දෙයක් කිව්වේ නැහැ. ඊට පස්සේ ඒ පුද්ගලයා එතැනින් යන්න ගියා.

සමහර අය අපිට සහය දැක්වුවා. එක දවසක් මැර පිරිසක් අපේ කාර් එක වට කරපු වෙලාවේ නීතිඥවරයෙක් එතැනින් ගියා. ඔහු නතර වෙලා “මොකක්ද ප්‍රශ්නේ” කියලා ඇහුවා. එක් කෙනෙක් මෙහෙම කිව්වා. “මේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ. මෙයාලා රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැති කට්ටියක්.” එතකොට නීතිඥවරයා මෙහෙම කිව්වා. “මම පළමු ලෝක මහ යුද්ධයේදී සටන් කළා. මම මේ යුද්ධෙදීත් සටන් කරනවා. මේ අයගෙන් කාටවත් කරදරයක් නැහැ. එයාලට යන්න දෙන්න.” සෙනඟ හෙමින් සීරුවේ එතැනින් ගියා. අපට ඒ වගේ කරුණාව පෙන්වපු අයට අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා.—ක්‍රියා 27:3.

සමුළුවලින් ලැබූ දිරිගැන්වීම

වර්ෂ 1941දී මිසූරිවල සාන්ත ලූවිස්හි පැවති සමුළුව අපිට හුඟක් ප්‍රයෝජනවත් වුණා. එක වාර්තාවකට අනුව ඒ සමුළුවට 1,15,000කට වඩා වැඩි සෙනඟක් ආවා. ඒ සමුළුවේදී 3,903දෙනෙක් බව්තීස්ම වුණා. සහෝදර රදෆර්ඩ් “රජුගේ දරුවෝ” නමැති තේමාව යටතේ දුන්න කතාව මට තාම මතකයි. ඔහු කතා කළේ දරුවන් වන අපිටයි. අපි හැමෝටම දරුවෝ නමැති ලස්සන නිල් පාට පොත තෑග්ගක් හැටියට ලැබුණා. මම පාසැල් යන්න පටන්ගත්ත මුල් කාලයේදී සිදු වුණු දේකට හොඳින් මුහුණ දෙන්න මට ඒ සමුළුව ශක්තියක් වුණා. මගේ ඥාති සහෝදරියන් හා මම කොඩියට ආචාර කළේ නැති නිසා අපිව පාසැලෙන් අස් කළා. ඒ අයගේ හිත උණු වෙලා අපිව ආයෙත් පාසැලට ඇතුල් කරගනීද කියලා බලන්න අපි හැම දවසකම පාසැලට ගියා. ඒ හැම දවසකම අපි ආයෙත් හැරිලා ආවා. දෙවිගේ රාජ්‍යයට අපි පක්ෂපාතයි කියලා ඔප්පු කරන්න ඒ නිසා අපිට පුළුවන් වුණා.

නමුත් වැඩි කල් යන්න කලින් කොඩියට ආචාර කිරීම අත්‍යවශ්‍ය නොවන බව එක්සත් ජනපදයේ උසාවියෙන් නියෝගයක් නිකුත් කළා. ඒ නිසා අපිට නැවතත් පාසැල් යන්න පුළුවන් වුණා. ගුරුවරයා ඉතා කාරුණිකව අපිට අතපසු වුණු පාඩම් කියලා දුන්නා. ඒ වගේම පාසැලේ අනික් ශිෂ්‍යයනුත් අපිට හොඳින් සැලකුවා.

වර්ෂ 1942 ඔහියෝ ක්ලිව්ලන්ඩ්හි තිබුණු සමුළුව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සහෝදර නේදන් එච්. නෝර් “සාමය දිගටම පවතීද?” යන මාතෘකාව යටතේ කතාවක් ඉදිරිපත් කළා. එළිදරව් 17වන පරිච්ඡේදය විස්තර කරමින් දෙවන ලෝක මහ යුද්ධයෙන් පසුව යම් ආකාරයක සාමකාමී කාලයක් අද්දකින්න පුළුවන් කියලා ඔහු කිව්වා. ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ දැඩි අවශ්‍යතාවක් තියෙනවා කියලා හැමෝම තේරුම්ගත්තා. ඒකට උපකාරයක් හැටියට 1943දී ගිලියද් පාසැල ආරම්භ වුණා. ඒ පාසැලට මට සහභාගි වෙන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. සමුළුවේ කිව්ව විදිහට දෙවන ලෝක මහ යුද්ධයෙන් පස්සේ යම් සාමකාමී තත්වයක් පැවතුණා. ඒ වගේම පීඩාත් අඩු වුණා. නමුත් 1950දී කොරියානු යුද්ධය ආරම්භ වෙනවාත් එක්කම ආයෙත් අපේ සේවයට බාධා ඇති වුණා. මම මේ ලිපියේ මුලදී සඳහන් කළේ ඒ කාලයේදී සිදු වූ දෙයක්.

වර්ධනයට සහය වෙමින්

මම 1954දී පාසැල් අධ්‍යාපනය අවසන් කළා. ඊට මාසයකට විතර පස්සේ මම පුරෝගාමී සේවය ආරම්භ කළා. මම මිසූරිවල කෙනට් සභාවේ සේවය කරමින් සිටිද්දී 1955 මාර්තු මාසයේදී මට බෙතෙල් එකේ සේවය සඳහා ආරාධනාවක් ලැබුණා. මම දේවසේවය කළ ප්‍රදේශයට නිව් යෝක් නගරයේ පිහිටි විශාල මංසන්ධියක් අයත් වුණා. පිටිසර ගමකින් පැමිණි මට එය මොන තරම් ලොකු වෙනසක්ද! මිනිසුන් කඩියෝ වගේ එහා මෙහා යන මේ මංසන්ධියේ කෙනෙකුගේ අවධානය ලබාගන්න එක ඒ තරම් පහසු නැහැ. නමුත් සඟරාවේ ලිපියක් පෙන්නලා “ඔබ මේ ප්‍රශ්නය ගැන මොනවද හිතන්නේ” වගේ ප්‍රශ්නයක් අහලා සඟරාවක් දෙන්න මට පුළුවන් වුණා.

බෙතෙල් එකේ මම වැඩියෙන්ම ආස කළේ සහෝදර නෝර් පවත්වන උදෑසන නමස්කාර වැඩසටහනටයි. ඔහු බයිබලයේ පද හොඳින් තේරුම් කරලා දෙනවා. ඒ වගේම ඒවා ජීවිතයට අදාළ වෙන ආකාරයත් පෙන්නලා දෙනවා. ඔහු යෞවන අපිට කතා කළේ තාත්තා කෙනෙක් විදිහටයි. විශේෂයෙන්ම සහෝදරියන්ට සලකන්න ඕන කොහොමද කියලා ඔහු අපිට නිතර නිතර උපදෙස් දුන්නා.

මම 1960දී විවාහ වෙන්න තීරණය කළා. ඒ නිසා දවස් 30කින් බෙතෙල් සේවයෙන් සමුගන්න බව දන්වලා මම ලිපියක් භාර දුන්නා. නමුත් මට ඒකට පිළිතුරක් ලැබුණේ නැහැ. මම ටිකක් ලැජ්ජාශීලී කෙනෙක් වුණත් හිතට ධෛර්යය අරගෙන දුරකථන ඇමතුමක් දීලා ඒ ගැන ඇහුවා. මගේ ඇමතුමට පිළිතුරු දුන්න සහෝදර රොබට් වොලන් මාව මුණගැහෙන්න මම වැඩ කරන ස්ථානයට ආවා. විශේෂ පුරෝගාමි සේවය හා චාරිකා සේවය ගැන මම හිතන්නේ මොනවද කියලා එයා මගෙන් ඇහුවා. “මට තාම අවුරුදු 24යි. මට ඒ සම්බන්ධයෙන් කිසිම අද්දැකීමක් නැහැ” කියලා මම කිව්වා.

සංචාරක සේවය

එදා රෑ මම කාමරයට එද්දී ලියුමක් තියෙනවා දැක්කා. ඒකේ විශේෂ පුරෝගාමි සේවය සහ සංචාරක සේවය කිරීම සඳහා අයදුම් පත් දෙකක් තිබුණා. මට ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා. මිසූරිවල නිරිතදිග ප්‍රදේශයේත් කැන්සාස්වල නැගෙනහිර ප්‍රදේශයේත් සංචාරක සේවකයෙක් ලෙස සේවය කරන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! මගේ අලුත් පැවරුමට යන්න කලින් මම සංචාරක සේවකයන්ගේ රැස්වීමකට සහභාගි වුණා. සහෝදර නෝර් දීපු අවසාන කතාවේ එයා මෙහෙම කිව්වා. “ඔයාලා සංචාරක සේවකයන් හා දිස්ත්‍රික් සේවකයන් වුණා කියලා සභාවේ ඉන්න සහෝදරයන්ට වඩා ඔයාලට දැනුම තියෙනවා කියලා හිතන්න එපා. ඔයාලට වඩා අද්දැකීම් තියෙන අය සභාවල ඉන්නවා. නමුත් විවිධ හේතුන් නිසා එයාලට ඔයාල කරන සේවය කරන්න බැහැ. ඒ නිසා ඒ අයගෙන් ඉගෙනගන්න බලන්න.”

සහෝදර නෝර් කියපු කතාව ඇත්ත. සහෝදර ෆ්‍රෙඩ් මාලහාන් සහ එයාගේ භාර්යාව වගේම එයාගේ සහෝදරයා චාලි හොඳ ආදර්ශවත් අය. ඒ අය බයිබලය ඉගෙනගන්න පටන් අරන් තියෙන්නේ 1900 ගණන්වල මුල් කාලයේදියි. ඒ කියන්නේ මම ඉපදෙන්නත් කලින්. ජෝන් රිස්ටන් තවත් සහෝදරයෙක්. ඔහු දශක ගණනාවක් පුරා පුරෝගාමි සේවය කරලා තියෙනවා. ඒ සහෝදරයන්ට සංවිධානය ගැන ගැඹුරු ගෞරවයක් තිබුණා. මම තරුණ කෙනෙක් වුණත් එයාලගේ සංචාරක සේවකයා විදිහට එයාලා මට ගෞරව කළා.

වර්ෂ 1962දී මම ක්ලොරිස් නොකි සමඟ විවාහ වුණා. එයා පුරෝගාමියෙක්. මම ඇයත් සමඟ දිගටම සංචාරක සේවයේ යෙදුණා. අපි සහෝදර සහෝදරියන්ගේ නිවෙස්වලට යද්දී එයාලව හොඳින් දැන හඳුනා ගත්තා. තරුණ තරුණියන්ට පූර්ණකාලීන සේවය කරන්න අපි දිරිගැන්නුවා. ජා කොසින්ස්කෙ සහ ජොඈන් ක්‍රිස්මන් එවැනි දිරිගැන්වීම්වලින් හුඟක් ප්‍රයෝජන ලැබූ දෙදෙනෙක්. පූර්ණකාලීන සේවයේ තියෙන සතුට ගැන අපි එයාලත් එක්ක කතා කරපු නිසා ඒ සඳහා එයාලත් ඉලක්කයක් තියාගත්තා. ජොඈන් විශේෂ පුරෝගාමී සේවය පටන්ගත්තා. ජා, බෙතෙල් නිවාසයේ සේවය කළා. පස්සේ ඒ දෙන්නා විවාහ වුණා. දැන් එයාලා අවුරුදු 30ක් පුරා සංචාරක සේවයේ හවුල් වෙනවා.

මිෂනාරි සේවය

වෙනත් රටකට ගිහින් සේවය කරන්න කැමතිද කියලා 1966දී සහෝදර නෝර් අපෙන් ඇහුවා. “අපි දැන් කරන සේවයෙන් සතුටක් ලබනවා. ඒත් වෙනත් තැනක සේවය කරන්න අවශ්‍ය නම් අපි ඒකටත් කැමතියි” කියලා අපි කිව්වා. සතියකට විතර පස්සේ ගිලියද් පාසැලට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනාවක් ලැබුණා. ඒ පාසැලට සහභාගි වන කාලයේ ආයෙත් බෙතෙල් එකේ ඉන්න ලැබීම කොයි තරම් සතුටක්ද! අපිට ප්‍රේම කරන ගෞරව කරන හුඟක් දෙනෙක් එහෙ හිටියා. ඒ වගේම පාසැලට පැමිණි යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන බෙහෝදෙනෙක්ව හඳුනගන්නත් අපිට පුළුවන් වුණා.

මටයි ක්ලොරිස්ටයි, ඩෙනිස් සහ එඩ්වින් ක්‍රිස්ට්ටයි, ඇනා රොඩ්රිගස් සහ ඩල්යා සාන්චස්ටයි දකුණු ඇමරිකාවේ ඉක්වදෝරයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ක්‍රිස්ට් යුවළ ඉක්වදෝරයේ අගනුවර වන ක්විටෝවල සේවය කළා. අපි, ඇනා සහ ඩල්යා එක්ක ඉක්වදෝරයේ තුන්වන විශාලතම නගරය වන ක්වෙන්කාවල සේවය කළා. අපට පැවරුණු ප්‍රදේශයට ප්‍රාන්ත දෙකක් අයත් වෙනවා. ක්වෙන්කාවල මුල්ම සභාව පටන්ගත්තේ අපේ කාමරේයි. ඒ වෙද්දී හිටියේ අටදෙනෙක් විතරයි. මේ විශාල ප්‍රදේශයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කළා.

ක්වෙන්කාවල පල්ලි හුඟක් තියෙනවා. නිවාඩු දවස්වල තියෙන ආගමික උත්සව නිසා නගරය මිනිසුන්ගෙන් පිරෙනවා. නමුත් ඒ මිනිසුන්ට බයිබලය ගැන හුඟක් ප්‍රශ්න තියෙනවා. උදාහරණයකට පාපැදි ශූරයෙක් වන මාරියො පොලො මගෙන් මේ ප්‍රශ්නය ඇහුවහම මම පුදුම වුණා. “එළිදරව් පොතේ සඳහන් වෙලා තියෙන ගණිකාව කියන්නේ කාටද?”

තවත් දවසක මාරියො දුකෙන් අපේ ගෙදර ආවා. මොකක්ද හේතුව කියලා බලද්දී එයාට වෙනත් ආගමක පූජකයෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ලියපු පොත් වගයක් දීලා තියෙනවා. මම මාරියොට කිව්වා මේ තොරතුරු වැරදියි කියලා ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න කියලා. පහුවදා එයා මටයි ඒ පූජකයාටයි එයාගේ ගෙදරට එන්න කියලා කිව්වා. ඒ සාකච්ඡාව පටන්ගත්තාම මම කිව්වා අපි ත්‍රිත්වය ගැන කතා කරමු කියලා. පූජකයා යොහන් 1:1 කියෙව්වා. මාරියො ඒ පදයෙන් අදහස් කරන දේ පැහැදිලි කළා. අනික් බයිබල් පද විස්තර කළෙත් එයාමයි. පස්සේ පූජකයාට ත්‍රිත්වය ඔප්පු කරගන්න බැරුව එයා පිට වෙලා ගියා. මේ සිද්ධියෙන් පස්සේ මාරියොටයි එයාගේ භාර්යාවටයි අපේ ඉගැන්වීම් ගැන ගොඩක් පැහැදුණා. ඔවුන්ට බයිබලයේ සඳහන් ඉගැන්වීම් සත්‍යය බව දක්ෂ විදිහට ඔප්පු කිරීමේ හැකියාව තිබුණා. අපි හිටිය නගරයේ පමණක් සභාවන් 33ක් දක්වා වර්ධනය වුණා. ඒ අනුව අපේ මුල්ම පැවරුමට අයත් වූ විශාල ප්‍රදේශයේ මුළු සභා ගණන 63ක් දක්වා වැඩි වුණා. ඇත්තෙන්ම එය මොන තරම් විශාල වර්ධනයක්ද!

ශාඛා කාර්යාල පහසුකම් වැඩි කිරීම

වර්ෂ 1970දී ගුයාකිල්වල තියෙන ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට සහ අල් ස්ෂූලොට පැවරුමක් ලැබුණා. අපි දෙන්නා ශාඛා කාර්යාලයේ වැඩකටයුතු බලා කියා ගත්තා. ජො සෙකරක් විටින් විට ඇවිල්ලා රට පුරා තියෙන සභා 46ට යවන්න අවශ්‍ය පොත් පත් සූදානම් කළා. මම බෙතෙල් එකේ සේවය කරන අතරතුර ක්ලොරිස් දිගටම පුරෝගාමියෙක් ලෙස සේවය කරමින් 55දෙනෙකුට පමණ බව්තීස්මය දක්වා දියුණු වීමට උපකාර කළා. බොහෝ එක්රැස්වීම්වලදී ඇය සමඟ බයිබලය පාඩම් කළ කිහිපදෙනෙක් බව්තීස්ම වෙනවා.

ක්ලොරිස් එක්ක බයිබලය පාඩම් කළ එක් කාන්තාවක් වන ලූක්‍රේස්යාගේ ස්වාමිපුරුෂයා ඇය බයිබලය පාඩම් කරනවාට කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් ඇය දිගටම පාඩම් කරලා බව්තීස්ම වෙලා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. ඇය ඇගේ දරුවන්ටත් යෙහෝවා දෙවි ගැන ඉගැන්නුවා. දැන් ඇගේ පුතුන් දෙදෙනා වැඩිමහල්ලන් හැටියට සේවය කරනවා. එක් කෙනෙක් විශේෂ පුරෝගාමියෙක්. ඇගේ දුවත් පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. ඇගේ මිනිබිරිය සහ මිනිබිරියගේ ස්වාමිපුරුෂයාත් විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කරනවා. බොහෝදෙනෙකුට දෙවි ගැන ඉගෙනගන්න ඔවුන් උපකාර කරලා තියෙනවා.

වර්ෂ 1980 වෙද්දී ඉක්වදෝරයේ ප්‍රචාරකයන් 5,000ක් හිටියා. ඔවුන් සියලුදෙනාවම බලාගන්න අපගේ ශාඛා කාර්යාලය තව විශාල කිරීමට සිදු වුණා. එක් සහෝදරයෙක් ගුයාකිල්වලට ටිකක් ඈතින් අක්කර 80ක ඉඩමක් ඒ සඳහා ලබා දුන්නා. වර්ෂ 1984දී අපි ඒ ඉඩමේ අලුත් ශාඛා කාර්යාලයක් හා එක්රැස්වීම් ශාලාවක් ගොඩනැඟීම ආරම්භ කළා. ඒ වගේම 1987 වෙද්දී අපිට ඒක කැප කරන්නත් හැකි වුණා.

උපකාරය සඳහා බොහෝදෙනෙක් කැමති වුණා

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව තිබෙන නිසා විවිධ රටවලින් පුරෝගාමීන් හා ප්‍රචාරකයන් ඉක්වදෝරයට ආවා. කැනඩාවෙන් පැමිණි විශ්‍රාම ගිය සහෝදරයෙක් වන ඇන්ඩි කිඩ් ඉක්වදෝරයට පැමිණි විට සිදු වූ දෙයක් මට තාමත් මතකයි. ඔහු ආවේ 1985දියි. එතකොට එයාට අවුරුදු 70ක් විතර ඇති. එයා 2008 වන තුරුම ඒ කියන්නේ මිය යන තුරුම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. මට එයාව මුණගැහෙන කොට එයා ගිය කුඩා සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන්න හිටියේ එයා විතරයි. ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න එයාට අමාරු වුණත් එයා ප්‍රසිද්ධ කථාවත් මුරටැඹ පාඩමත් කළා. දිව්‍යාණ්ඩු සේවා පාසැල මෙහෙයවූයෙත් සේවා රැස්වීමේ කොටස් කළෙත් එයයි. නමුත් දැන් ඒ ප්‍රදේශයේ ප්‍රචාරකයන් 200ක් හා බොහෝ වැඩිමහල්ලන් සිටින සභා 2ක් තියෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණි අනස්ටො ඩයස් මාස අටක් ඉක්වදෝරයේ සේවය කළාට පස්සේ මෙහෙම දෙයක් කිව්වා. “මගේ ළමයි මේ රටේ භාෂාව ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම එයාලා හොඳ ගුරුවරුන් වෙලා තියෙනවා. මේ දුෂ්ට සමාජයේ අත් කරගන්න බැහැයි කියලා හිතපු ඉලක්කයක් පියෙක් ලෙස මම අත් කරගෙන තියෙනවා. ඒ, පවුලේ අයත් එක්ක පූර්ණකාලීනව සේවය කරන එකයි. මම දැන් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. අපි බයිබල් පාඩම් 25ක් විතර පවත්වනවා. ඒ නිසා අපේ පවුලේ එකමුතුකම දැන් වැඩි වෙලා තියෙනවා. වෙන කවරදාකටත් වඩා අපි යෙහෝවා දෙවිට ළං වෙලා කියලා අපිට දැනෙනවා.” අපි ඒ සහෝදර සහෝදරියන්ව හුඟක් අගය කරනවා.

වර්ෂ 1994දී ශාඛා කාර්යාලයේ පහසුකම් දෙගුණ කළා. වර්ෂ 2005 වන විට ප්‍රචාරකයන් 50,000 සීමාව පහු කළා. ඒ නිසා ශාඛා කාර්යාලය තවත් පුළුල් කිරීමට අවශ්‍ය වුණා. ඊට එක්රැස්වීම් ශාලාව පුළුල් කිරීම, නේවාසික ගොඩනැඟිල්ලක් හා පරිවර්තන කාර්යාල අලුතෙන් ඉදි කිරීම ඇතුළත්. ඒ සියලු ගොඩනැඟිලි 2009 ඔක්තෝබර් 31වෙනිදා යෙහෝවා දෙවිට කැප කළා.

වර්ෂ 1942දී මාව පාසැලෙන් අයින් කරන කොට ඇමරිකා එක්සත් ජනපදයේ හිටියේ සාක්ෂිකරුවන් 60,000යි. දැන් මිලියනයකටත් වඩා ඉන්නවා. වර්ෂ 1966දී අපි ඉක්වදෝරයට එන කොට මෙහෙ සාක්ෂිකරුවන් හිටියේ 1,400ක් පමණයි. දැන් 68,000කට වඩා වැඩි දෙනෙක් ඉන්නවා. වර්ෂ 2009 යේසුස්ගේ මරණය සිහි කිරීමට 2,32,000ක් පැමිණි නිසාත් බයිබල් පාඩම් 1,20,000ක් පමණ තියෙන නිසාත් තව බොහෝදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි කවුරුත් හිතන්නේ නැති විදිහට යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා. හිතාගන්න බැරි තරම් වර්ධනයක් වෙන ස්ථානයක සහ එවැනි කාලයක ජීවත් වෙන්න ලැබුණ එක මොන තරම් සතුටට කාරණයක්ද! *

[පාදසටහන]

^ 34 ඡේ. මේ ලිපිය සූදානම් කරමින් සිටින අතරතුර යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ සහෝදර හාර්ලි හැරිස් මිය ගියා.

[5වන පිටුවේ පින්තූර]

එළිමහනේ එක්රැස්වීම් පැවැත්වූ ස්ථානය (1981) එම ස්ථානයේම ඉදි කරන ලද එක්රැස්වීම් ශාලාව (2009)