Skip to content

පටුනට යන්න

දෙවිගේ ආශීර්වාද පතන්න

දෙවිගේ ආශීර්වාද පතන්න

දෙවිගේ ආශීර්වාද පතන්න

‘දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරනවා.’—හෙබ්‍රෙ. 11:6.

1, 2. (අ) බොහෝදෙනෙක් දෙවිගේ ආශීර්වාද බලාපොරොත්තු වන්නේ කොහොමද? (ආ) අපට දෙවිගේ ආශීර්වාද අත්‍යවශ්‍ය ඇයි?

කෙනෙක් නිවසින් පිට වී යන විට ‘දෙවි පිහිටයි’ කියා පවසමින් ආශීර්වාද කිරීමට බොහෝදෙනෙක් පුරුදු වී සිටිනවා. බොහෝ ආගමික නායකයන් ජනයාට, සතුන්ට හා වෙනත් වස්තූන්වලට ආශීර්වාද කරනවා. තවත් අය ආශීර්වාද ලබාගැනීමට බොහෝ දුර ගෙවාගෙන වන්දනා ගමන් යනවා. දේශපාලඥයන් ඔවුන්ගේ රටේ ජනයාට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කරනවා. ඒ ආකාරයට ආශීර්වාද ලබාගැනීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔවුන් ඉල්ලන ආශීර්වාද ඔවුන්ට ලැබෙනවාද? ඇත්තටම දෙවිගේ ආශීර්වාද ලැබෙන්නේ කාටද? ඊට හේතුව කුමක්ද?

2 සෑම ජාතියකටම අයත් පවිත්‍ර, සාමකාමී සෙනඟක් මේ සමාජයේ අවසාන කාලයේදී සිටින බවත් ඔවුන් පීඩා හා විරුද්ධවාදිකම් මධ්‍යයයේ පවා ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කරන බවත් දෙවි කලින්ම පවසා තිබුණා. (යෙසා. 2:2-4; මතෙ. 24:14; එළි. 7:9, 14) දෙවිගේ සෙනඟට අයත් වී එම වගකීම දැරීම අපගේම උත්සාහයෙන් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා දෙවිගේ ආශීර්වාද අපට අත්‍යවශ්‍යයි. (ගීතා. 127:1) අප දෙවිගේ ආශීර්වාද ලබාගන්නේ කොහොමද?

කීකරු වන අයට ලැබෙන ආශීර්වාද

3. ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරු වුණා නම් ඔවුන්ට භුක්ති විඳීමට හැකි වන්නේ කුමක්ද?

3 හිතෝපදේශ 10:6, 7 කියවන්න. ඊශ්‍රායෙල්වරුන්ට සමෘද්ධිය හා ආරක්ෂාව ලබා දීමෙන් ඔවුන්ට ආශීර්වාද කරන්නේ ඔවුන් තමාට කීකරු වෙනවා නම් පමණයි කියා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ට පැවසුවා. (ද්වි. 28:1, 2 පාද සටහන) ඔවුන්ට මොන තරම් ආශීර්වාද ලැබෙනවාද කියනවා නම් ‘ඔවුන් පසුපස ලුහුබැඳ එන’ තරම් ආශීර්වාද ඔවුන්ට භුක්ති විඳීමට හැකියි.

4. මුළු සිතින් කීකරු වීම කියන්නේ කුමක්ද?

4 ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරු විය යුතු වුණේ කුමන ආකල්පයක් ඇතුවද? දෙවි ලබා දුන් නීතියේ සඳහන් වූ ආකාරයට ඔවුන් “සතුටු සිතින්” දෙවිට කීකරු විය යුතු වුණා. (ද්විතීය කතාව 28:45-47 කියවන්න.) කීකරු වීමට අවශ්‍ය නිසා කීකරු වීම දෙවි බලාපොරොත්තු වන්නේ නැහැ. එවැනි කීකරුකමක් සතුන් හා භූතයන් පවා පෙන්වනවා. (මාක් 1:27; යාකො. 3:3) නමුත් අප දෙවිට කීකරු වන්නේ මුළු හදවතින්ම ඔහුට ප්‍රේම කරන නිසයි. ඒ වගේම එය අපට ප්‍රීතියක්. මන්ද “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත්” දෙවිගේ ආඥා අපට බරක් නොවන බවත් අප විශ්වාස කරනවා.—හෙබ්‍රෙ. 11:6; 1 යොහ. 5:3.

5. ද්විතීය කතාව 15:7, 8හි ඇති ආඥාවට කීකරු වීමට දෙවි දී ඇති පොරොන්දුව උපකාරවත් වන්නේ කොහොමද?

5 දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවෙන් සොයන අයට ඔහු ආශීර්වාද කරන බවට අපට තිබෙන නිසැකකම, ද්විතීය කතාව 15:7, 8හි (කියවන්න.) සඳහන් ආඥාව පිළිපැදීමට අපව පොලඹවනවා. කෙනෙක් එම ආඥාව පිළිපදින්නේ අකමැත්තෙන් කියා සිතන්න. ඉන් උපකාරයක් ලැබෙන පුද්ගලයාට යම් සහනයක් ලැබුණත් ඔවුන් අතර තිබෙන බැඳීම ශක්තිමත් වෙයිද? තම සෙනඟට අවශ්‍ය දේවල් ලබා දීමට යෙහෝවා දෙවිට හැකි බව ඔහු විශ්වාස කරනවා කියා පැවසිය හැකිද? දෙවිගේ ත්‍යාගශීලීවන්තකම ඔහු අනුකරණය කරනවා කියා පවසන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. සැබවින්ම ත්‍යාගශීලීවන්ත තැනැත්තා සොයා බලා ඔහු කරන සෑම දෙයකදීම ඔහුට ආශීර්වාද කරන බවට යෙහෝවා දෙවි පොරොන්දු වුණා. (ද්වි. 15:10) ඒ පොරොන්දුව ගැන අපට ඇති විශ්වාසය අපව ක්‍රියාවට පොලඹවන අතර එමගින් මහත් ආශීර්වාද භුක්ති විඳීමටද හැකියි.—හිතෝ. 28:20.

6. හෙබ්‍රෙව් 11:6හි ලබා දෙන සහතිකය කුමක්ද?

6 දෙවිගෙන් ආශීර්වාද ලබාගැනීමට නම් හෙබ්‍රෙව් 11:6හි පවසන ආකාරයට දෙවි අපට ආශීර්වාද කරන බවට වූ නිසැකකම මෙන්ම ඔහුව “මහත් උනන්දුවකින්” සෙවීමත් අවශ්‍යයි. මුල් භාෂාවට අනුව “මහත් උනන්දුවකින්” යන අදහසට මුළු අවධානයම යොමු කිරීමත් දැඩි වෑයමක් දැරීමත් අයත් වෙනවා. අප මහත් උනන්දුවකින් දෙවිව සොයනවා නම් ඔහු අපට ආශීර්වාද කරන බවට ස්ථිර විය හැකියි. ඊට හේතුව එම පොරොන්දුව දී තිබෙන්නේ ‘බොරු නොකියන දෙවියි’. (තීත. 1:2) වසර දහස් ගණනක් පුරා ඔප්පු වී ඇති දෙයක් වන්නේ දෙවි ලබා දී ඇති පොරොන්දු ඔහු ඉටු කර ඇති බවයි. (යෙසා. 55:11) ඒ ගැන ස්ථිර විශ්වාසයක් තිබෙනවා නම් දෙවිගේ ආශීර්වාද භුක්ති විඳීමට අපට හැකියි.

7. ආබ්‍රහම්ගෙන් පැවතෙන තැනැත්තා මාර්ගයෙන් ආශීර්වාද ලබාගැනීම සඳහා අප කුමක් කළ යුතුද?

7 ආශීර්වාද ලබාගැනීමට අප කළ යුතු තවත් දෙයක් සලකා බලමු. දෙවි ආබ්‍රහම්ගෙන් ‘පැවතෙන තැනැත්තෙක්’ ගැන පැවසුවා. ඒ තැනැත්තා වුණේ යේසුස් ක්‍රිස්තුස්. ඔහු සමඟ හවුල් උරුමක්කාරයන් ලෙස අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කටයුතු කරනවා. දෙවි ඔවුන්ව ‘අන්ධකාරයෙන් ඉවතට ගෙන ඔහුගේ බැබළෙන ආලෝකයට කැඳවා’ තිබෙනවා. ඒ වගේම ඔවුන්ට දෙවිගේ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම සඳහා” කාර්යයක් පවරා තිබෙනවා. (ගලා. 3:7-9, 14, 16, 26-29; 1 පේතෘ. 2:9) දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් යේසුස් තමා සන්තක සියල්ල කෙරෙහි පත් කර ඇති අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අප කීකරු විය යුතුයි. ඔවුන්ගෙන් සැදුම්ලත් ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ’ උපකාරය නොමැතිව බයිබලයේ සඳහන් දේවල් නිවැරදිව තේරුම්ගැනීමටත් එය ජීවිතයට අදාළ වන ආකාරය තේරුම්ගැනීමටත් අපට හැකි වන්නේ නැහැ. (මතෙ. 24:45-47) දාසයාගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් අපට දෙවිගේ ආශීර්වාද ලැබෙන බව නිසැකයි.

දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්න

8, 9. දෙවිගේ පොරොන්දුවට එකඟව යාකොබ් ක්‍රියා කළේ කොහොමද?

8 දෙවිගෙන් ආශීර්වාද ලබාගැනීම සඳහා දැඩි වෑයමක් දැරිය යුතු බව යාකොබ්ද දැන සිටියා. ආබ්‍රහම් මාර්ගයෙන් විශාල ජාතියක් ඇති කරන බවට දෙවි දී තිබූ පොරොන්දුව ඉටු වන ආකාරය යාකොබ් දැන නොසිටියත් අනිවාර්යයෙන්ම එය ඉටු වන බවට ඔහුට විශ්වාසයක් තිබුණා. යාකොබ් තමන්ට භාර්යාවක් සොයාගැනීමට ක්‍රිස්තු පූර්ව 1781දී හාරාන්වලට ගියා. ඔහුට අවශ්‍ය වුණේ දෙවිට නමස්කාර කරන හා හොඳ මවක් වීමට හැකි සහකාරියක් සොයාගැනීමයි.

9 හාරාන්වලදී යාකොබ්ට රාඛෙල්ව මුණගැසුණා. ඇයව ලබාගැනීම සඳහා වසර 7ක් ලාබන් යටතේ වැඩ කිරීමට ඔහු එකඟ වුණා. එය නිකම්ම ආදර කතාවක් පමණක් නොවෙයි. සියලු බලැති යෙහෝවා දෙවි තම සීයාටත් පසුව පියාටත් ලබා දුන් පොරොන්දුව යාකොබ්ගේ මතකයේ තිබුණා. (උත්. 18:18; 22:17, 18; 26:3-5, 24, 25) ඔහුගේ පියා වූ ඊසාක් ඔහුට මෙසේ පවසා තිබුණා. “සියලු බලැති දෙවි ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වෙන්න සලස්වයි. ඔබෙන් ජාතීන් සමූහයක් බිහි වෙයි. දෙවි ආබ්‍රහම්ට දුන් ආශීර්වාදය ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත් ලබා දෙයි. එවිට දෙවි ආබ්‍රහම්ට දුන් දේශය එනම්, ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මේ දේශය ඔබට උරුම වෙයි.” (උත්. 28:3, 4) භාර්යාවක් තෝරාගැනීමේදී යාකොබ් ගත් ඥානවන්ත තීරණයෙන් පැහැදිලි වන්නේ ඔහුට යෙහෝවා දෙවිගේ පොරොන්දු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබූ බවයි.

10. යාකොබ්ට ආශීර්වාද කිරීමට දෙවි කැමති වුණේ ඇයි?

10 තම පවුලේ අය වෙනුවෙන් ධන සම්පත් රැස් කිරීමට යාකොබ් ඔහුගේ ජීවිතය කැප කළේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ මනසේ තිබුණේ ඔහුගෙන් පැවතෙන්නන් ගැන දෙවි ලබා දුන් පොරොන්දුවයි. ඔහු ජීවිතයේ මුල් තැන දුන්නේ දෙවිගේ කැමැත්ත කිරීමටයි. කුමන බාධාවක් පැමිණියත් දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට තමන්ට හැකි උපරිමය කිරීමට ඔහු අදිටන් කරගෙන සිටියා. මහලු වයසේදීත් ඔහුගේ අධිෂ්ඨානය වෙනස් වුණේ නැහැ. ඒ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා.උත්පත්ති 32:24-29 කියවන්න.

11. දෙවිගේ අරමුණ ගැන අපට පූර්ණ අවබෝධයක් නැතත් අප වෑයම් කළ යුත්තේ කුමක් කිරීමටද?

11 යාකොබ්ට මෙන් අපටත් දෙවිගේ අරමුණ ඉටු වන ආකාරය ගැන පූර්ණ අවබෝධයක් නැහැ. නමුත් දේවවචනය අධ්‍යයනය කිරීමෙන් ‘යෙහෝවා දෙවිගේ දවසේදී’ සිදු වන දේ ගැන යම් අවබෝධයක් අපට ලැබී තිබෙනවා. (2 පේතෘ. 3:10, 17) උදාහරණයකට ඒ දවස පැමිණෙන්නේ කවදාද කියා අප නොදැන සිටියත් එය ඉක්මනින්ම පැමිණෙන බව අප දන්නවා. බයිබලයේ සඳහන් වන ආකාරයට ඉතුරු වී තිබෙන කෙටි කාලය තුළදී අන් අයට ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දැරීමෙන් අපව මෙන්ම අන් අයවත් ගලවාගත හැකි බව අප විශ්වාස කරනවා.—1 තිමෝ. 4:16.

12. අපට කුමක් ගැන විශ්වාසය තැබිය හැකිද?

12 මේ දුෂ්ට සමාජයේ විනාශය කුමන මොහොතක හෝ සිදු විය හැකියි. එම විනාශය ගෙන ඒම සඳහා පොළොවේ සිටින සෑම පුද්ගලයෙකුටම අප ශුභාරංචිය ප්‍රකාශ කරන තුරු බලා සිටීමට යෙහෝවා දෙවිට අවශ්‍ය නැහැ. (මතෙ. 10:23) කෙසේවෙතත් වැඩිදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි ආකාර ගැන විවිධ මඟ පෙන්වීම් අපට ලැබෙනවා. ඒවා අනුගමනය කරමින්, අප සතු සෑම දෙයක්ම වැය කරමින් හා හැකි උපරිමයෙන් අප එම සේවයේ හවුල් වෙනවා. නමුත් ශුභාරංචිය ප්‍රකාශ කරන විට ජනයා ඊට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියා අපට කලින්ම තීරණය කරන්න බැහැ. (දේශනාකාරයා 11:5, 6 කියවන්න.) කොහොමවුණත් යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරයි යන විශ්වාසය ඇතුව අපි සෑමදෙනාටම ශුභාරංචිය ප්‍රකාශ කරමු. (1 කොරි. 3:6, 7) ඒ සඳහා අප ගන්නා වෑයම දෙවි දකින බවත් ඔහුගේ බලයේ උපකාරයෙන් අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන බවත් අපට විශ්වාසයි.—ගීතා. 32:8.

දෙවිගේ බලය ඉල්ලන්න

13, 14. දෙවිගේ සෙනඟට ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට දෙවිගේ බලයේ උපකාරය ලැබී තිබෙන්නේ කොහොමද?

13 අපට ලැබී තිබෙන පැවරුමක් ඉටු කිරීමට හෝ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සුදුසුකම් නැහැයි කියා සිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක යෙහෝවා දෙවිගේ බලය ඉල්ලන්න අපට හැකියි. එවිට අප සතු හැකියාවන් වර්ධනය කරගන්න දෙවිගේ බලයේ උපකාරය ලැබෙනවා. (ලූක් 11:13 කියවන්න.) කෙනෙකු සතු අද්දැකීම් හා ඔහු මුහුණ දී තිබෙන තත්වයන් කුමක් වුණත් යම් කාර්යයක් කිරීමට කෙනෙකුව දක්ෂ පුද්ගලයෙක් කරන්න දෙවිගේ බලයට හැකියි. උදාහරණයකට ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදී පැමිණෙන විට, යුධ කිරීමට කිසිම දක්ෂතාවක් නොමැති එඬේරුන් හා වහලුන් ලෙස සිටි ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ සතුරන් සමඟ සටන් කර ජය ගැනීමට දෙවිගේ බලයේ උපකාරය ලැබුණා. (නික්. 17:8-13) එමෙන්ම ශුද්ධ කූඩාරම ගොඩනැඟීම සඳහා ගෘහ නිර්මාණය පිළිබඳ දක්ෂතා දියුණු කරගැනීමට බෙසලෙල් සහ ඔහොලියාබ්ට දෙවිගේ බලයේ උපකාරය ලැබුණා.—නික්. 31:2-6; 35:30-35.

14 වර්තමානයේදීද දෙවිගේ සේවකයන්ට ඔහුගේ බලයේ උපකාරය ලැබෙනවා. උදාහරණයකට යෙහෝවා දෙවිගේ සෙනඟට අවශ්‍ය පොත් පත් ඔවුන් විසින්ම මුද්‍රණය කිරීමට පටන්ගත් අවස්ථාවේදී දෙවිගේ බලයේ උපකාරය ලැබුණා. ඒ ගැන 1927දී මුද්‍රණ අංශය භාරව කටයුතු කළ ආර්. ජේ. මාටින් මෙසේ පවසනවා. “ස්වාමීන් නියම වෙලාවට අපට මුද්‍රණ යන්ත්‍රයක් ලබා දුන්නා. නමුත් එය ක්‍රියාකරවන ආකාරය ගැන කිසිදෙයක් අපි දැනගෙන හිටියේ නැහැ. කැපවීමෙන් සේවය කරන අයට ඔවුන්ගේ දක්ෂතා දියුණු කරගැනීමට අවශ්‍ය උපකාර ලබා දෙන්න ස්වාමීන්ට පුළුවන්. ඒ මුද්‍රණ යන්ත්‍රය ලැබිලා සති කිහිපයකට පස්සේ ඒකෙන් වැඩ පටන්ගන්න අපිට පුළුවන් වුණා. ඒක තාමත් වැඩ කරනවා. ඒ යන්ත්‍රය හදපු අය පවා දන්නේ නැතුව ඇති මේකෙන් මෙච්චර වැඩ ගන්න පුළුවන් කියලා.” යෙහෝවා දෙවි මේ දක්වා දිගටම ඔහුගේ සේවකයන්ට ආශීර්වාද කරමින් සිටිනවා.

15. වැරදි දෙයක් කිරීමට පෙලඹීමක් ඇති වන විට ඊට විරුද්ධ වීමට රෝම 8:11හි සඳහන් දෙය අපට ශක්තියක් වන්නේ කොහොමද?

15 දෙවිගේ සියලුම සේවකයන්ට ඔහුගේ බලයේ උපකාරය විවිධ ආකාරවලින් ලැබෙනවා. එමගින් ඔවුන් මුහුණ දෙන බාධක ජය ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. උදාහරණයකට, වැරදි දෙයක් කිරීමට පෙලඹීමක් ඇති වන විට අපට කුමක් කළ හැකිද? පාවුල් රෝම 7:21, 25; 8:11හි පැවසූ දෙයින් අපට ශක්තියක් ලබාගත හැකියි. පාවුල් එය ලිව්වේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට වුණත් අපටත් ඉන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. “යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තාගේ බලය,” පව්කාර ආශාවන් සමඟ සටන් කර ජය ගැනීමට අපටත් උපකාර කරනවා. වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කිරීමෙන් හා දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ජීවත් වීමෙන් අපට සදාකාල ජීවනයද ලබාගත හැකියි.

16. දෙවිගේ බලය ලබාගැනීමට අප කුමක් කළ යුතුද?

16 කිසිම වෑයමක් දරන්නේ නැතුව අපට දෙවිගේ බලය ලබා දෙන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්න පුළුවන්ද? බැහැ. ඒ සඳහා දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරනවාට අමතරව අප ඔහුගේ බලයේ උපකාරයෙන් ලියැවුණු බයිබලය අධ්‍යයනය කිරීමත් අවශ්‍යයි. (හිතෝ. 2:1-6) එමෙන්ම නිතිපතා රැස්වීම්වලට යෑමෙනුත් අපට දෙවිගේ බලය ලබාගත හැකියි. ඉන් අප පෙන්වන්නේ “දෙවි තම බලයෙන් සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ” කරන බවයි. (එළි. 3:6) ඒ වගේම අප ඉගෙනගන්නා දේවල් ක්‍රියාත්මක කිරීමත් වැදගත්. හිතෝපදේශ 1:23හි මෙසේ පවසනවා. “මාගේ අවවාදය සිතට ගන්න. එවිට මම ඔබට ප්‍රඥාව නොඅඩුව ලබා දෙන්නෙමි.” ඇත්තෙන්ම “පාලකයාණන් ලෙස [දෙවිව] පිළිගෙන ඔහුට කීකරු වන සියලුදෙනාට” ඔහු තම බලය ලබා දෙනවා.—ක්‍රියා 5:32.

17. අප ගන්නා වෑයම්වලට යෙහෝවා දෙවි ආශීර්වාද කරන ආකාරය නිදර්ශනය කරන්න.

17 දෙවිගේ ආශීර්වාද ලබාගන්න දැඩි වෑයමක් දරන්න සිදු වුණත් එය ලැබෙන්නේ අපගේ වෑයමේ ප්‍රතිඵලයක් ලෙස පමණක් නොවෙයි. එය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. දෙවි අපගේ ශරීරය නිර්මාණය කර තිබෙන්නේ ආහාර ගැනීමෙන් සතුටක් භුක්ති විඳීමට හා ඊට අවශ්‍ය පෝෂණය ලබාගත හැකි ආකාරයෙනුයි. අපට අවශ්‍ය ආහාර ලබා දෙන්නේද දෙවියි. අප ගන්නා ආහාරවල පෝෂ්‍ය පදාර්ථ අඩංගු වී ඇත්තේ කොහොමද කියාත් එමගින් අපට ශක්තිය ලැබෙන්නේ කොහොමද කියාත් සම්පූර්ණ අවබෝධයක් අපට නැහැ. නමුත් ඒ සියල්ල යෙහෝවා දෙවි දන්නවා. ඒ කෙසේවෙතත් ආහාර ගැනීම යහපත් ශරීර සෞඛ්‍යයට හේතු වන බව අප දන්නා නිසා අප ආහාර ගන්නවා. ඒ හා සමානව සදාකාල ජීවනය නමැති ආශීර්වාදය ලබාගැනීම සඳහා අප කළ යුතු දේවල් ගැන අපව දැනුවත් කරන්නේ යෙහෝවා දෙවියි. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උපකාරය ලබා දෙන්නේද දෙවියි. ඒ අනුව බලන විට අපට සදාකාල ජීවිතය ලබා දීම සඳහා අප වෙනුවෙන් බොහෝ දේවල් කර තිබෙන්නේ යෙහෝවා දෙවි බව පැහැදිලියි. අප එම ආශීර්වාද භුක්ති විඳීමට නම් දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කළ යුතුයි.—හග්. 2:18, 19.

18. ඔබගේ අධිෂ්ඨානය කුමක්ද? ඒ ඇයි?

18 ඔබට ලැබෙන සෑම පැවරුමක්ම උපරිමයෙන් කිරීමට වෑයම් කරන්න. ඒ සඳහා යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලන්න. (මාක් 11:23, 24) ඔබ එසේ කරනවා නම් ‘සොයමින් සිටින සියල්ලන්ට ලැබෙන’ බව මතක තබාගන්න. (මතෙ. 7:8) ඒ අනුව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට “ජීවනයේ ඔටුන්න” ලැබෙනවා. (යාකො. 1:12) ඒ වගේම ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් ආශීර්වාද බලාපොරොත්තුවෙන් සිටින ක්‍රිස්තුස්ගේ “වෙනත් බැටළුවන්” තමන්ට මෙසේ කියනවා ඇසීමෙන් මහත් ප්‍රීතියක් ලබනවා. “මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න.” (යොහ. 10:16; මතෙ. 25:34) ඔව්. ‘දෙවිගෙන් ආශීර්වාද ලබන අය පොළොව උරුම කරගෙන, එහි සදාකල් ජීවත් වෙනවා.’—ගීතා. 37:22, 29.

ඔබට පැහැදිලි කළ හැකිද?

• සැබෑ කීකරුකමට ඇතුළත් වන්නේ කුමක්ද?

• දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට කුමක් කළ යුතුද?

• අපට දෙවිගේ බලය ලබාගන්න පුළුවන් කොහොමද? එය අපට උපකාර කරන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට යාකොබ් දේවදූතයෙක් සමඟ පොරබැදුවා

ඔබත් ඒ හා සමාන උත්සාහයක් දරනවාද?

[10වන පිටුවේ පින්තූරය]

බෙසලෙල් සහ ඔහොලියාබ්ට යෙහෝවා දෙවිගේ බලයේ උපකාරය ලැබුණා