Skip to content

පටුනට යන්න

බල්ගේරියාවේ දියත් කළ විශේෂ ව්‍යාපෘතිය

බල්ගේරියාවේ දියත් කළ විශේෂ ව්‍යාපෘතිය

බල්ගේරියාවේ දියත් කළ විශේෂ ව්‍යාපෘතිය

“අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.”—මතෙ. 9:37, 38.

යුරෝපයේ ගිනිකොන දෙසට වෙන්න පිහිටි බල්ගේරියාවට යේසුස් පැවසූ ඉහත වචන ඉතා කදිමට ගැළපුණා. මිලියන හතකට වඩා වැඩි ජනගහනයක් සිටින ඒ රටේ සාක්ෂිකරුවන් සිටින්නේ 1,700කට ආසන්න සංඛ්‍යාවක් පමණයි. එතරම් කුඩා සංඛ්‍යාවකට එහි සිටින සෑම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා 2009දී දියත් කළ විශේෂ ව්‍යාපෘතියකට යුරෝපා රටවල සිටින බල්ගේරියානු භාෂාව කතා කළ හැකි සහෝදර සහෝදරියන්ගෙන් උපකාර ලබාගැනීමට පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. එම ව්‍යාපෘතිය ගිම්හාන කාලයේදී සති හතක් පුරා දියත් කිරීමට සහෝදරයන් තීරණය කළා. එහි විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතව තිබුණේ 2009 අගෝස්තු 14 සිට 16 දක්වා සොෆියා නගරයේ පැවති “සෝදිසියෙන් සිටින්න” නමැති දිස්ත්‍රික් සමුළුවත් සමඟයි.

පුදුමාකාර ප්‍රතිචාරයක්

ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය, පෝලන්තය හා ස්පාඤ්ඤය වැනි රටවලින් සහෝදරයන් කොපමණ සංඛ්‍යාවක් එම ඇරයුමට ප්‍රතිචාර දක්වයිද කියා සොෆියාවල ශාඛා කාර්යාලයේ සහෝදරයන් තුළ ලොකු කුතුහලයක් තිබුණා. ඊට හේතුව එම ව්‍යාපෘතියට සහභාගි වන අයට තමන්ගේ වියහියදම් දරාගැනීමටත් තමන්ගේ නිවාඩු කාලය ඒ සඳහා යෙදවීමටත් සිදු වීමයි. නමුත් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ අයදුම්පත් ගණන සතියෙන් සතිය වැඩි වුණා. එය 292ක් දක්වා ඉහළ ගියා. එතරම් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වූ නිසා බල්ගේරියාවේ කාසාන්ලෙක්, සිලිස්ට්‍රා සහ සැන්ඩොන්ස්කි යන නගර තුනක සේවය කිරීම සඳහා ඔවුන්ව යැවීමට ශාඛා කාර්යාලය තීරණය කළා. ඊට අමතරව බල්ගේරියාවේ සිටින පුරෝගාමීන්ට හා ප්‍රචාරකයන්ට ඔවුන් සමඟ එකතු වී වැඩ කිරීමට එහි සංචාරක සේවකයන් දිරිගැන්නුවා. අවසානයේදී මේ ව්‍යාපෘතිය සඳහා 382ක් ඉදිරිපත් වී සිටි අතර ඔවුන් සේවය කළේ කලාතුරකින් වැඩ කරන ප්‍රදේශවලයි.

එම ප්‍රදේශ ආසන්නයේ තිබෙන සභාවල සහෝදරයන් කලින්ම අමුත්තන්ට නවාතැන් ගැනීමට මිල අඩු හෝටල් හා කාමර කුලියට ගත්තා. බල්ගේරියාවේ සහෝදරයන් අමුත්තන්ට උපකාර කිරීමට වෙහෙස මහන්සි වී රෑ දාවල් නොබලා වැඩ කළා. රැස්වීම් පැවැත්වීම සඳහා ස්ථානද ඔවුන් සූදානම් කළා. ඒ රැස්වීම් සියල්ල මෙහෙයවූයේ පිටරටවලින් පැමිණි සහෝදරයනුයි. එක සාක්ෂිකරුවෙක්වත් නැති එම නගරවල ප්‍රචාරකයන් 50ක් පමණ රැස්වීම්වලට සහභාගි වී සිටිනවා දකින විට ඇති වන සතුට කියා නිම කරන්න බැහැ.

උපකාර කිරීම සඳහා පැමිණි සහෝදරයන් මහත් උද්‍යෝගයෙන් සේවය කළා. සාමාන්‍යයෙන් ගිම්හාන කාලයේදී බල්ගේරියාවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 40ක් දක්වා ඉහළ යනවා. නමුත් මේ සහෝදරයන් කාලගුණය බාධාවක් කරගත්තේ නැහැ. ඔවුන්ගෙන් පිරිසක් සිලිස්ට්‍රා නගරයේ සේවය කළා. එය පිහිටා තිබුණේ ඩැනියුබ් ගඟ අසලයි. එහි 50,000කට වඩා වැඩිදෙනෙක් පදිංචි වී සිටි අතර පළමු සති තුන ඇතුළත එහි සම්පූර්ණ සාක්ෂියක් දැරීමට ඔවුන්ට හැකි වුණා. ඉන්පසු එම පිරිස සිලිස්ට්‍රා නගරයේ සිට කිලෝ මීටර් 55ක් ඈතින් පිහිටි ටූට්‍රකන් නගරයේ සේවය කළා. ඔවුන් උදේ 9.30 වන විට සේවය ආරම්භ කළ අතර සවස 7.00 වන තුරු සේවය කළා. ඔවුන්ට වගේම කාසාන්ලෙක් සහ සැන්ඩොන්ස්කි යන නගරවල සේවය කිරීමට ගිය අයටද තිබූ උද්‍යෝගය නිසා ඔවුන්ට පැවරුම ලැබූ නගරයේ පමණක් නොව වෙනත් ගම් හා නගරවලත් සේවය කිරීමට හැකි වුණා.

අත් කරගත් ඉලක්ක

ව්‍යාපෘතිය දියත් කළ සති හත පුරා බොහෝදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකි වුණා. පළමු ශතවර්ෂයේදී යේසුස්ගේ අනුගාමිකයන් මුළු ප්‍රදේශය පුරාම දේශනා කළ විට එහි ජනයා පැවසූ දේ මේ නගරවල සිටි ජනයාටත් පැවසීමට හැකි වූ බවට කිසිම සැකයක් නැහැ. ‘ඔබ උගන්වා ඇති දේවල් මුළු නගරය පුරාම පැතිරිලා.’ (ක්‍රියා 5:28) ඒ ව්‍යාපෘතිය දියත් වූ කාලය ඇතුළත සාක්ෂිකරුවන්ට සඟරා 50,000ක් පමණ බෙදා දීමටත් බයිබල් පාඩම් 482ක් ආරම්භ කිරීමටත් හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 සැප්තැම්බර් පළමුවෙනිදා පටන් සිලිස්ට්‍රාවේ සභාවක් මෙන්ම කාසාන්ලෙක් සහ සැන්ඩොන්ස්කි යන නගරවල කණ්ඩායම් දෙකක්ද ආරම්භ කළා. එම විශේෂ ව්‍යාපෘතිය නිසා පළමු වතාවට දේවරාජ්‍යය ගැන දැනගත් අය දියුණු වෙනවා දැකීමට ලැබීම මොන තරම් ප්‍රීතියක්ද!

ව්‍යාපෘතිය ආරම්භ කළ පළමුවෙනි සතියේ ස්පාඤ්ඤයෙන් පැමිණි විශේෂ පුරෝගාමී සහෝදරියකට ප්‍රවෘත්ති පත්‍ර විකුණන කාන්තාවක් මුණගැසුණා. ඇගේ නම කරීනා. ඇය පණිවිඩයට උනන්දුවක් දැක්වූ අතර රැස්වීමකටද පැමිණියා. ඉන්පසු ඇය බයිබලය පාඩම් කරන්න කැමති වුණා. ඇගේ ස්වාමිපුරුෂයා අදේවවාදියෙක් නිසා ඇයට නිවසේදී බයිබල් පාඩම කිරීමට හැකි වුණේ නැහැ. ඒ නිසා ඇය බයිබල් පාඩම කළේ උද්‍යානයක සිටයි. ඇගේ දියණියන් දෙදෙනාත් පාඩමට සහභාගි වුණා. ඇගේ වැඩිමල් දුව වන ඩැනියෙලා බයිබල් සත්‍යය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වුවා. ඇය සතියක් ඇතුළත බයිබල් ඉගැන්වීම් නමැති පොත කියවා අවසන් කළ අතර රූපවලට නමස්කාර කිරීමද නතර කළා. ඒ වගේම දැනගත් සත්‍යයන් ඇය ඇගේ මිතුරියන්ටත් කියා දුන්නා. ඇය පාඩම් කරන්න පටන්ගෙන සති තුනකට පසු පළමුවෙනි රැස්වීමට පැමිණි අවස්ථාවේදී ඇය සමඟ පාඩම් කරන සහෝදරියට ඇය මෙසේ පැවසුවා. “මට දැනෙන්නේ මමත් දැන් ඔයාලගෙන් කෙනෙක් කියලයි. දේශනා සේවයේ යන්න මම මොනවද කරන්න ඕනේ?” එදා පටන් ඇයත් ඇගේ මවත් සොහොයුරියත් සත්‍යය තුළ දිගටම දියුණු වෙමින් සිටිනවා.

ඉතාලියෙන් පැමිණි බල්ගේරියානු ජාතික සහෝදරයෙක් වන ඕලින් ලැබූ අද්දැකීම සලකා බලන්න. දිනක් ඔහු කාසාන්ලෙක් නගරයේ සේවය නිම කර තම නවාතැනට යන විට උද්‍යානයක බංකුවක් මත වාඩි වී සිටි තරුණයන් දෙදෙනෙකුට සාක්ෂි දැරුවා. ඔහු ඔවුන්ට බයිබල් ඉගැන්වීම් පොතක් ලබා දුන් අතර පසුවදා ඔවුන්ව හමු වීමට පැමිණෙන බව පැවසුවා. ඕලින් නැවත ඔවුන්ව හමු වීමට ගිය අතර එම තරුණයන් දෙදෙනාගෙන් එක අයෙක් වන සෙවිටෝමිර් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. දවස් නවයක් ඇතුළත ඕලින් ඔහු සමඟ අට වතාවක් පාඩම් කර තිබුණා. සෙවිටෝමිර්, ඕලින්ට මෙසේ පැවසුවා. “ඔයාව මුණගැහෙන්න දවස් දෙකකට කලින් මම දෙවිව දැනගන්න උපකාර ඉල්ලලා ඔහුට යාච්ඤා කළා. ඒ වගේම දෙවි මට ඒ උපකාරය කළොත් මම ඔහුට කැප වී සේවය කරනවා කියලත් පොරොන්දු වුණා.” ඕලින් නැවතත් තම රටට යන්න කලින් සෙවිටෝමිර්ගේ බයිබල් පාඩම එම රටේ සිටින සහෝදරයන්ට බාර දුන්නා. සෙවිටෝමිර් දිගටම බයිබලය ගැන ඉගෙනගන්නා අතර සත්‍යය තුළ දියුණු වෙමින්ද සිටිනවා.

පරිත්‍යාගවලට ලැබුණු ආශීර්වාද

වෙනත් රටක සේවය කිරීම සඳහා තමන්ගේ කාලය හා මුදල් වැය කළ අයට හැඟුණේ කොහොමද? ස්පාඤ්ඤයේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන සහෝදරයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “මෙම ව්‍යාපෘතිය නිසා ස්පාඤ්ඤයේ බල්ගේරියානු භාෂාව කතා කරන ක්ෂේත්‍රයේ වැඩ කරන සහෝදරයන් අතර තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණා. එම වැඩසටහනට සහභාගි වුණ සහෝදරයන්ට ලොකු දිරිගැන්වීමක් ලැබුණා.” ඉතාලියෙන් පැමිණි එක් යුවළක් මෙසේ පැවසුවා. “මේ මාසය නම් අපේ ජීවිතේ අමතක නොවන මාසයක්. මේ ව්‍යාපෘතිය අපේ ජීවිත වෙනස් කළා.” බල්ගේරියාවට ගොස් එහි පදිංචි වී සේවය කිරීම ගැන දැන් ඒ යුවළ කල්පනා කරමින් සිටිනවා. ස්පාඤ්ඤයේ ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරන කෙරීනාට මෙම ව්‍යාපෘතිය යටතේ සේවය කිරීමට අවස්ථාව ලැබුණේ සිලිස්ට්‍රා නගරයේයි. පසුව ඇය ස්පාඤ්ඤයේ කරමින් සිටි රැකියාවෙන් අස් වී බල්ගේරියාවේ සිලිස්ට්‍රා නගරයේ සිටින අලුත් කණ්ඩායමට උපකාර කිරීමට පටන්ගත්තා. ඇය ඉතුරු කරගත් මුදල් නිසා ඇයට වසරක් පමණ එහි සේවය කිරීමට හැකියාව තිබෙනවා. එම තීරණය ගැන ඇය මෙසේ පවසනවා. “මට බල්ගේරියාවේ සේවය කරන්න අවස්ථාව ලබා දුන්නට මම යෙහෝවා දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා. මට වැඩි කාලයක් මෙහෙ ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මට දැනටමත් බයිබල් පාඩම් පහක් තියෙනවා. මාත් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න අයගෙන් කිහිපදෙනෙක් රැස්වීම්වලටත් එනවා.”

ඉතාලි ජාතික සහෝදරියකට එම ව්‍යාපෘතියට සහභාගි වීමට ලොකු ආශාවක් තිබුණා. නමුත් ඇය රැකියාව කරන්න පටන්ගෙන වැඩි කාලයක් නැති නිසා ඇයට නිවාඩු ලබාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඇය මාසයක වැටුප් රහිත නිවාඩුවක් ඉල්ලා සිටියා. ඇයට එම නිවාඩුව නොලැබුණොත් රැකියාවෙන් අස් වීමට ඇය තීරණය කර තිබුණා. ඇයව පුදුමයට පත් කරවමින් ඇගේ ආයතනයේ අයිතිකරු මෙසේ පැවසුවා. “මම ඔයාට නිවාඩු දෙනවා. හැබැයි ඔයා බල්ගේරියාවට ගිය ගමන් මට ඒ රටෙන් තැපැල් පතක් එවන්න පොරොන්දු වෙන්න ඕනේ.” ඇගේ යාච්ඤාවට යෙහෝවා දෙවි පිළිතුරු දී ඇති බව ඒ අවස්ථාවේදී ඇයට හැඟුණා.

බල්ගේරියාවේ වර්නා නගරයේ ජීවත් වන ස්ටැනිස්ලාවාගේ අද්දැකීම සලකා බලන්න. ඇය කරමින් සිටියේ හොඳ වැටුපක් ලැබෙන රැකියාවක්. ඇය තම රැකියාවෙන් නිවාඩු ලබාගෙන මේ විශේෂ ව්‍යාපෘතිය යටතේ සිලිස්ට්‍රා නගරයේ සේවය කළා. වෙනත් රටවලින් තම රටට පැමිණ සේවය කරන සහෝදර සහෝදරියන් තුළ ඇති ප්‍රීතිය ඇයට මහත් දිරිගැන්වීමක් වුණා. රැකියාව සඳහා වැඩි කාලයක් ගත කිරීමේ කිසිම තේරුම් නැති බව ඇයට වැටහෙන්න පටන්ගත්තා. එම ව්‍යාපෘතියට සති දෙකක් සහභාගි වීමෙන් පසු ඇය රැකියාවෙන් අස් වී ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කළා. ශ්‍රේෂ්ඨ සැදුම්කරුව යොවුන් වියේදීම සිහි කරමින් ගත කරන ජීවිතෙන් ඇය දැන් ලොකු තෘප්තියක් අද්දකිනවා.—දේශ. 12:1.

උද්‍යෝගයෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද! ඔබගේ කාලය හා ශ්‍රමය ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා බයිබලය ගැන අන් අයට ඉගැන්වීමට වැය කිරීම තරම් වටිනා තවත් දෙයක් නැහැ. එම සේවයේ වැඩියෙන් හවුල් වීමට ඔබට කළ හැකි දේවල් තිබෙනවාද? ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශ ඔබගේ රටේත් තිබෙනවා විය හැකියි. එවැනි ප්‍රදේශයකට ගොස් සේවය කිරීම සඳහා ඔබගේ පදිංචිය වෙනස් කිරීමට ඔබ කැමතිද? නැත්නම් වෙනත් භාෂාවක් කතා කරන අයට බයිබලය ගැන ඉගැන්වීම සඳහා එම භාෂාව ඉගෙනගැනීමට ඔබට හැකියි. වැඩියෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔබ ගන්නා ඕනෑම තීරණයකට යෙහෝවා දෙවි ආශීර්වාද කරන බව නම් ස්ථිරයි.—හිතෝ. 10:22.

[32වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අමතක නොවන දවසක්

මෙම ව්‍යාපෘතිය සඳහා වෙනත් රටවලින් පැමිණි බොහෝ සහෝදරයන් බල්ගේරියාවේ සොෆියා නගරයේ පැවති “සෝදිසියෙන් සිටින්න” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වුණා. වෙනත් රටවල සහෝදර සහෝදරියන් මුණගැසීමෙන් බල්ගේරියාවේ සහෝදරයන් මහත් ප්‍රීතියක් අද්දැක්කා. එම සමුළුවේදී පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ජෙෆ්රි ජැක්සන් ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය බල්ගේරියානු භාෂාවෙන් මුදාහරින විට සමුළුවට පැමිණ සිටි 2,039දෙනාම මොන තරම් සතුටු වුණාද! ඔවුන් සියලුදෙනා බොහෝ වේලාවක් යනතුරු අත්පොළසන් දීමෙන් ඔවුන්ගේ අගය ප්‍රකාශ කළා. බොහෝදෙනෙකුගේ ඇස්වලට කඳුළු ආවා. නිවැරදි මෙන්ම පහසුවෙන් තේරුම්ගත හැකි මෙම පරිවර්තනය බල්ගේරියානු ජාතිකයන්ට යෙහෝවා දෙවි ගැන දැනගැනීමට උපකාරයක් වෙයි.

[30, 31වන පිටුවල සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බල්ගේරියාව

සොෆියා

සැන්ඩොන්ස්කි

සිලිස්ට්‍රාව

කාසාන්ලෙක්

[31වන පිටුවේ පින්තූර]

එම සති හත පුරා පුළුල්ව කළ දේශනා සේවය