Skip to content

පටුනට යන්න

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම දෙවි සලකන්නේ කොහොමද?

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම දෙවි සලකන්නේ කොහොමද?

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම දෙවි සලකන්නේ කොහොමද?

“ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා” කියා ඒදන් උයනේදී ආදම් පැවසුවා. එවිට ඒව, “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා” කියා පැවසුවා. නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ ආරම්භය එයයි.—උත්. 3:12, 13.

ආදම් සහ ඒව හිතාමතා කළ පාපයට දෙවි දුන් විනිශ්චයෙන් පැහැදිලි වන්නේ ඔවුන් තමන් අතින් සිදු වූ වරදට නිදහසට කරුණු ඉදිරිපත් කළත් යෙහෝවා දෙවි එය පිළි නොගත් බවයි. (උත්. 3:16-19) ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි නිදහසට පවසන කිසිම කරුණක් පිළි නොගන්නා බවද? එසේත් නැත්නම් නිදහසට පවසන සමහර කාරණා පමණක් පිළිගන්නා බවද? දෙවි පිළිගන්නේ සහ නොපිළිගන්නේ නිදහසට ඉදිරිපත් කරන කුමන කාරණාද කියා අප දැනගන්නේ කොහොමද? අපි මුලින්ම නිදහසට කරුණු ඉදිරිපත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සලකා බලමු.

ඉන් අදහස් කරන්නේ යමක් කිරීමට, නොකිරීමට හෝ අනාගතයේදී නොකර සිටීමට හේතු ඉදිරිපත් කිරීමයි. සමහරවිට යමක් නොකර සිටීමට සාධාරණ හේතු තිබෙන්න පුළුවන්. ඒවා ඉදිරිපත් කිරීමෙන් අවංකව පසුතැවිලි වන බව පෙන්විය හැකියි. එය සමාව ලැබීමට හේතුවක්ද විය හැකියි. නමුත් ආදම් සහ ඒව මෙන් සමහරුන් බොහෝවිට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ ඔවුන් කළ වරද වසා දැමීමටයි.

විශේෂයෙන්ම දේවසේවය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරද්දී “බොරු තර්ක විතර්කවලින්” අපවම රවටාගැනීමේ උගුලට අප හසු නොවිය යුතුයි. (යාකො. 1:22) ඒ ගැන බයිබලයේ සඳහන් සමහර උදාහරණ මෙන්ම ප්‍රතිපත්ති ගැන සලකා බලමු. එසේ කිරීමෙන් ‘ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය අපටම තහවුරු කරගන්න’ පුළුවන්.—එෆී. 5:10.

දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ

අප කීකරු විය යුතු නිශ්චිත ආඥා දෙවි අපට දී තිබෙනවා. උදාහරණයකට “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියා අපට ආඥාවක් දී තිබෙනවා. යේසුස් දුන් ඒ ආඥාවට අද දින සිටින ඔහුගේ සියලුම අනුගාමිකයන්ද කීකරු විය යුතුයි. (මතෙ. 28:19, 20) එම ආඥාව පිළිපැදීම කොතරම් වැදගත්ද කියා පාවුල්ගේ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. ‘ශුභාරංචිය ප්‍රකාශ නොකළොත් එය මට මොන තරම් දුකක්ද!”—1 කොරි. 9:16.

කෙසේවෙතත් බොහෝ කාලයක් පුරා අප සමඟ බයිබලය පාඩම් කරන අය සමහර විට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අදිමදි කරනවා. (මතෙ. 24:14) තවත් සමහරුන් කලින් උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වුණත් දැන් එසේ කරන්නේ නැහැ. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ හවුල් නොවන එවැනි අය ඒ සඳහා ඉදිරිපත් කරන හේතු මොනවාද? යෙහෝවා දෙවි දුන් නීති පිළිපැදීමට අදිමදි කළ අය සමඟ දෙවි ක්‍රියා කළේ කොහොමද?

දෙවි පිළි නොගන්නා හේතු

“ඒක හුඟක් අමාරුයි.” සහජයෙන්ම ලැජ්ජාශීලී අයට දේශනා සේවයේ හවුල් වීම අමාරු දෙයක් කියා සිතෙන්න පුළුවන්. නමුත් අපට යෝනාගෙන් ඉගෙනගත හැකි දේ සලකා බලන්න. නිනීවයේ වැසියන්ට අත්විඳීමට සිදු වන විනාශය ගැන ප්‍රකාශ කරන්න කියා යෙහෝවා දෙවි යෝනාට පැවසුවා. තමන්ට ලැබුණු ඒ පැවරුම ඉතා අසීරු එකක් කියා ඔහු සිතුවා. නිනීවය ඇසිරියාවේ අගනුවරයි. ඇසිරියානුවන් ප්‍රසිද්ධව සිටියේ ඉතා දරුණු ජාතියක් ලෙසයි. ‘මම මේ වගේ මිනිස්සුත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? ඒ අය මට මොනවා කරයිද?’ වැනි ප්‍රශ්න යෝනාට මතු වුණා විය හැකියි. ඒ හේතු නිසා ඔහු නිනීවයට නොගොස් පලා ගියා. නමුත් යෙහෝවා දෙවි යෝනා නිදහසට ඉදිපත් කළ ඒ හේතු පිළිගත්තේ නැහැ. ඒ නිසා දෙවි නැවතත් යෝනාට නිනීවයට යන්න කියා පැවසුවා. ඒ අවස්ථාවේදී යෝනා ඉතා නිර්භීතව ඔහුගේ පැවරුම ඉටු කළ අතර දෙවි ඔහුගේ උත්සාහයට ආශීර්වාද කළා.—යෝනා 1:1-3; 3:3, 4, 10.

ශුභාරංචිය ප්‍රකාශ කිරීම ඔබට කළ නොහැකි අමාරු කාර්යයක් කියා සිතෙනවා නම් බයිබලයේ සඳහන් මේ වදන් මතක තබාගන්න. එනම් දෙවිට ‘සෑම දෙයක්ම කළ හැකියි.’ (මාක් 10:27) ඒ නිසා ඔබ දිගටම දෙවිගෙන් උපකාර පතනවා නම් දෙවි ඔබට ශක්තිය ලබා දෙයි. එමෙන්ම සේවය කිරීමට අවශ්‍ය නිර්භීතකම ඇති කරගැනීමට ඔබ අවශ්‍ය පියවර ගන්නවා නම් දෙවි ඔබට ආශීර්වාද කරන බව නිසැකයි.—ලූක් 11:9-13.

“දේශනා සේවයේ යන්න ඕනේ නැහැ.” ඔබටත් සේවය ගැන එවැනි ආකල්පයක් තිබෙනවා නම් කුමක් කළ හැකිද? ඔබ තුළ ඒ සඳහා ආශාවක් ඇති කරන්න යෙහෝවා දෙවිට හැකි බව අමතක නොකරන්න. ඒ ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.” (ෆිලි. 2:13) දෙවිට සේවය කිරීමට ඔබ තුළ ආශාවක් ඇති කරන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්න ඔබට හැකියි. දාවිත් රජ එසේ කළා. ඔහු දෙවිගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ, “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න” කියායි. (ගීතා. 25:4, 5) ඔබත් එලෙස දෙවිට ඕනෑකමින් යාච්ඤා කරනවා නම් ඔහුගේ කැමැත්ත කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙයි.

අප අධෛර්යයට පත් වී සිටින විට හෝ මහන්සි වී සිටින විට දේවසේවයේ නියැලීම හෝ රැස්වීම්වලට යෑම අපහසු විය හැකියි. අපට එලෙස හැඟෙනවා නම් ඉන් අදහස් කරන්නේ අප දෙවිට ප්‍රේම නොකරන බවද? කිසිසේත්ම නැහැ. දෙවිගේ කැමැත්ත කිරීම සඳහා පුරාණයේ සිටි ඔහුගේ සේවකයන්ට පවා ලොකු වෑයමක් දැරීමට සිදු වුණා. එක් අවස්ථාවකදී පාවුල් දෙවිට සේවය කිරීම සඳහා තමන් දැරිය යුතු උත්සාහය ගැන මෙසේ පැවසුවා. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.” (1 කොරි. 9:26, 27) ඒ නිසා අපත් දේවසේවයේ නියැලීම අපහසු වන අවස්ථාවලදී දැඩි වෑයමක් දරනවා නම් දෙවි එයට ආශීර්වාද කරනවා නිසැකයි. දෙවිට තිබෙන ප්‍රේමය නිසා එවැනි වෑයමක් දරා සේවය කරද්දී අප සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කරනවා. ඊට හේතුව දෙවිගේ සේවකයන් අසීරු අවස්ථාවලදී ඔහුට සේවය නොකරන බවට සාතන් චෝදනා කර තිබීමයි.—යෝබ් 2:4.

“මට වෙලාවක් නැහැ.” ඔබට සේවයේ හවුල් වීමට කාලයක් නැහැ කියා සිතෙනවා නම් ඔබ ජීවිතයේ මුල් තැන දෙන්නේ කුමන දේවලටද කියා සලකා බැලීම අවශ්‍යයි. යේසුස් පැවසුවේ ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියායි. (මතෙ. 6:33) එම උපදෙසට කීකරු වීමට නම් ඔබගේ ජීවිතය සරල කරගැනීම හා විනෝදාස්වාදය සඳහා ඔබ යොදවන කාලය අඩු කිරීම වැදගත්. විනෝදාස්වාදය සඳහා මෙන්ම අපගේ ජීවිතයේ වෙනත් කාරණා සඳහා කාලය යෙදවීම අවශ්‍ය වුණත් දේවසේවයේ නොයෑමට ඒවා සාධාරණ හේතු නොවෙයි. මන්ද දෙවිගේ සේවකයන් මුල් තැන දිය යුත්තේ දේවරාජ්‍යයටයි.

“මම දක්ෂ නැහැ.” ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් නැහැයි කියා ඔබට සිතෙන්න පුළුවන්. පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ටද දෙවි පැවරූ සමහර කාර්යයන් කිරීමට තමන් දක්ෂ නැහැයි කියා සිතූ අවස්ථා තිබුණා. උදාහරණයකට මෝසෙස් ගැන සිතා බලන්න. යෙහෝවා දෙවි ඔහුට පැවරුමක් ලබා දුන් අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවා. “අනේ යෙහෝවා දෙවියනි, මම කවදාවත් දක්ෂ කථිකයෙක් වෙලා හිටියේ නැහැ. ඔබේ සේවකයා වන මා සමඟ ඔබ කතා කළ පසුවත් මම කතාවට දක්ෂ කෙනෙක් වෙයි කියා සිතන්න බැහැ.” යෙහෝවා දෙවි ඔහු සමඟ සිටින බව පැවසුවත් මෝසෙස් ‘අනේ යෙහෝවා දෙවියනි, වෙන කෙනෙකුව මේ සඳහා යවන්න’ කියා පැවසුවා. (නික්. 4:10-13) මෝසෙස් නිදහසට ඉදිරිපත් කළ දේ දෙවි පිළිගත්තාද?

යෙහෝවා දෙවි එම පැවරුම වෙන කෙනෙකුට දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු මෝසෙස්ට එය ඉටු කිරීම සඳහා ආරොන්ව සහයට ලබා දුන්නා. (නික්. 4:14-17) එම පැවරුම ඉටු කිරීමේදී ඔහු මෝසෙස් සමඟ සිටිමින් එය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපකාර ලබා දුන්නා. ඒ හා සමානව ඔබට සේවය කිරීමට සහයෝගය දීම සඳහා අද්දැකීම් ලත් සහෝදරයන්ව දෙවි පොලඹවන බවට නිසැක විය හැකියි. එමෙන්ම දේවසේවයේ නියැලීමට අවශ්‍ය සුදුසුකම් ඔහු අපට ලබා දෙන බවට දේවවචනයේ පොරොන්දු කර තිබෙනවා.—2 කොරි. 3:5;  “මගේ ජීවිතේ ප්‍රීතිමත්ම කාලය” නමැති කොටුව බලන්න.

“මගේ හිත හොඳටම රිද්දුවා.” සමහර අය රැස්වීම් හෝ සේවයේ නොයෑමට එවැනි හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන් සිතන්නේ තමන් නිදහසට ඉදිරිපත් කළ ඒ දේ දෙවි පිළිගනියි කියායි. කවුරුන් හෝ අපේ සිත රිදෙව්වොත් අප කලකිරෙන බව ඇත්තයි. නමුත් දෙවිට සේවය නොකිරීමට එය හේතුවක් කරගැනීම සාධාරණද? පාවුල් හා බානබස් අතර ඇති වූ මත භේදයක් නිසා ඔවුන් අතර “බහින් බස් වීමක්” ඇති වුණා. ඒ නිසා ඔවුන්ට යම් සිත් රිදවීමක් ඇති වෙන්න ඇති. (ක්‍රියා 15:39) නමුත් ඔවුන් දේවසේවයේ යෑම අත්හැරියේ නැහැ.

ඔබටත් සහෝදරයෙක් නිසා යම් සිත් රිදවීමක් ඇති වුණා නම් දෙවිගෙන් ඈත් වීමට එය හේතුවක් කරගන්න එපා. මන්ද ඔබේ සතුරා වන්නේ සාතන් මිස ඒ සහෝදරයා නොවෙයි. සාතන්ට අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔබව ගිල දැමීමටයි. නමුත් ඔබ ‘ස්ථිර විශ්වාසයකින් ඔහුට විරුද්ධව සිටිනවා’ නම් ඔහුට සාර්ථක වෙන්න බැහැ. (1 පේතෘ. 5:8, 9; ගලා. 5:15) එවැනි විශ්වාසයක් තිබෙනවා නම් ඔබේ ‘බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේද’ නැහැ.—රෝම 9:33.

අපට කළ හැකි දේ සීමිතයි

අප ඉහත සලකා බැලු කරුණුවලින් පැහැදිලි වන්නේ ශුභාරංචිය දේශනා කරන්න කියා දී තිබෙන ආඥා ඇතුළු වෙනත් ආඥා පිළිපැදීමට නොහැකි බව පැවසීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බවයි. කෙසේවෙතත් අපට සේවය කළ හැකි ප්‍රමාණය සීමිත වීමට සාධාරණ හේතු තිබිය හැකියි. කෙනෙකුට තිබෙන වගකීම් නිසා දේවසේවයේ නිරත විය හැකි කාලය සීමා වෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවලදී කෙනෙක් බොහෝ සෙයින් වෙහෙසට පත් වී සිටින නිසා හෝ යම් අසනීප තත්වයක සිටින නිසා දේවසේවයේ හවුල් වන කාලය සීමා වෙන්න පුළුවන්. කෙසේවෙතත් අපගේ සීමාවන් හා ආශාවන් දෙවිට වටහාගත හැකි බව දේවවචනයේ පවසනවා.—ගීතා. 103:14; 2 කොරි. 8:12.

ඒ නිසා අපි අපව හෝ වෙනත් අයව විනිශ්චය කිරීමෙන් වැළකිය යුතුයි. පාවුල් ඒ සම්බන්ධයෙන් අපට මෙසේ අනතුරු ඇඟෙව්වා. “ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද? ඔහු ඔබේ සේවකයෙකු නොව දෙවිගේ සේවකයෙක්ය. ඔහුට තම අනුමැතිය ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ ස්වාමියා වන දෙවිය.” (රෝම 14:4) අපව අන් අය සමඟ සසඳන්නේ නැතුව ‘අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලබන’ බව මතක තබාගත යුතුයි. (රෝම 14:12; ගලා. 6:4, 5) ඒ වගේම යාච්ඤාවෙන් දෙවිට නිදහසට කරුණු ඉදිරිපත් කරන විට අපි “අවංක” වෙමු.—හෙබ්‍රෙ. 13:18.

යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කළ හැකියි

අපගේ තත්වය කුමක් වුණත් අප සෑම කෙනෙකුටම යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කළ හැකියි. ඊට හේතුව දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ සෑම විටම සාධාරණ වීමයි.

බයිබලයේ මෙසේ පවසනවා. “අගහිඟකම් තිබෙන අයට යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී එසේ කිරීමට පසුබට නොවන්න.” (හිතෝ. 3:27) යෙහෝවා දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ අපට කළ හැකි ප්‍රමාණය මිස අපගේ සහෝදරයාට හැකි ප්‍රමාණයට කිරීම නොවෙයි. ඒ නිසා අප එකිනෙකාගේ තත්වය වෙනස් වුණත් අපට කළ හැකි ප්‍රමාණය මුළු සිතින්ම කරනවා නම් දෙවි ඒ ගැන සතුටු වෙනවා.—ලූක් 10:27; කොලො. 3:23.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 “මගේ ජීවිතේ ප්‍රීතිමත්ම කාලය”

අපට දරුණු ශාරීරික හෝ මානසික ගැටලු තිබුණත් දෙවිට සේවය කිරීම සඳහා එය බාධාවක් කරගැනීමට අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධයෙන් කැනඩාවේ වෙසෙන අර්නස්ට් නමැති සහෝදරයාගේ ආදර්ශය සලකා බලමු.

ඔහුට කතා කිරීමේ අපහසුතාවක් තිබුණා. ඒ වගේම ඔහු ඉතා ලැජ්ජාශීලීයි. ඔහුට මුහුණ දීමට සිදු වූ දරුණු ශාරීරික ආබාධයක් නිසා ඔහු කරමින් සිටි රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වුණා. එය ඔහුට වැඩිපුර සේවයේ නියැලීමට ප්‍රස්තාවක් විවෘත කළා. උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වීම සඳහා රැස්වීමකදී ලබා දුන් දිරිගැන්වීමක් නිසා ඔහුටත් එහි හවුල් වීමට ආශාවක් ඇති වුණා. නමුත් ඒ සඳහා තමන්ට හැකියාවක් නැති බව ඔහු සිතුවා.

තමන්ට උපකාරික පුරෝගාමී සේවය කිරීමට හැකියාවක් නැති බව තමන්ටම ස්ථිර කරගැනීම සඳහා ඔහු එක මාසයක් එම සේවයේ නියැලුණා. ඒ මාසයේ ඔහුට සේවය සාර්ථකව කිරීමට හැකි වීම ගැන ඔහු පුදුම වුණා. ඉන්පසු ඔහු මෙසේ සිතුවා. ‘මට නම් ආයේ ඒ වගේ සේවයක් කරන්න බැහැ.’ එය තහවුරු කිරීමට ඔහු තව මාසයක් උපකාරික පුරෝගාමී සේවය කිරීමට ඉදිරිපත් වුණා. ඔහුට නැවතත් නොසිතූ ලෙස එය සාර්ථකව ඉටු කිරීමට හැකි වුණා.

ඔහු අවුරුද්දක කාලයක් උපකාරික පුරෝගාමී සේවයේ නියැලුණා. පසුව ඔහු මෙසේ සිතුවා. “හැබැයි මට කවදාවත් ස්ථාවර පුරෝගාමියෙක් නම් වෙන්න බැරි වෙයි.” එය ස්ථිර කරගැනීමට ඔහු ඒ සඳහා අයැදුම් කළා. ඔහුට අවුරුද්දක් පුරා ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට හැකි වුණා. ඔහු තමන්ගේ ජීවිතය අවසන් වන තුරුම අවුරුදු දෙකක කාලයක් පුරා ප්‍රීතියෙන් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කළා. ඔහු මිය යෑමට කලින් ඔහුව බලන්න පැමිණි අයට කඳුළු පිරි දෑසින් ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “මගේ ජීවිතේ හොඳම කාලය පුරෝගාමී සේවය කළ කාලයයි.”

[13වන පිටුවේ පින්තූරය]

දේවසේවයේ හවුල් වීමට පැමිණෙන ඕනෑම බාධාවක් අපට ජය ගත හැකියි

[15වන පිටුවේ පින්තූරය]

අපගේ තත්වයට අනුව අප දෙවිට පූර්ණ හෘදයෙන් කරන සේවය ඔහු අගය කරනවා