Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගත හැකි කෙනෙක් සිටියිද?’

‘යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගත හැකි කෙනෙක් සිටියිද?’

‘යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගත හැකි කෙනෙක් සිටියිද?’

“යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගෙන ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද? කෙසේවෙතත් අපට ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක් තිබේ.”—1 කොරි. 2:16.

1, 2. (අ) බොහෝදෙනෙකුට තිබෙන ගැටලුව කුමක්ද? (ආ) යෙහෝවා දෙවි සිතන ආකාරය හා අප සිතන ආකාරය ගැන මතක තබාගත යුත්තේ කුමක්ද?

තවත් කෙනෙක් සිතන ආකාරය තේරුම්ගැනීමට අමාරුයි කියා ඔබට හැඟී තිබෙනවාද? ඔබ මෑතකදී විවාහ වූ කෙනෙක් නම් ඔබගේ සහකරු හෝ සහකාරියගේ සිතුවිලි සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට නොහැකි බව ඔබට අවබෝධ වී ඇති. ස්ත්‍රීන් හා පුරුෂයන් සිතන ආකාරය හා අදහස් ප්‍රකාශ කරන ආකාරය එකිනෙකාට වෙනස්. ඒ වගේම විවිධ සංස්කෘතීන් හා භාෂා නිසා ජනයාගේ සිතුවිලි හා හැසිරීමද වෙනස් වෙනවා. සමහර රටවල පුරුෂයන් ඔවුනොවුන් සමඟ කතා කරද්දී භාවිත කරන භාෂාව, ස්ත්‍රීන් සමඟ කතා කරද්දී භාවිත කරන භාෂාවට වඩා වෙනස්. කෙසේවෙතත් අප කෙනෙකුට වඩ වඩාත් ළං වන විට ඔහු සිතන ආකාරය ගැන අප සතු අවබෝධය වැඩි වෙනවා.

2 යෙහෝවා දෙවිගේ හා අපගේ සිතුවිලි අතර විශාල වෙනසක් තිබීම ගැන අප පුදුම විය යුතු නැහැ. යෙහෝවා දෙවි යෙසායා මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන මෙසේ පැවසුවා. “ඔබ සිතන්නේ මා සිතන ආකාරයට නොවෙයි. ඔබ ක්‍රියා කරන්නෙත් මා ක්‍රියා කරන ආකාරයට නොවෙයි. පොළොවට වඩා අහස බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන් මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය. මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.”—යෙසා. 55:8, 9.

3. “යෙහෝවා දෙවිට සමීප විය” හැකි ආකාර දෙකක් සඳහන් කරන්න.

3 යෙහෝවා දෙවි සිතන ආකාරය තේරුම්ගැනීමට වෑයම් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බව ඉන් අදහස් කරනවාද? නැහැ. අපට යෙහෝවා දෙවි සිතන ආකාරය සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට නොහැකි වුණත් බයිබලය අපට දිරිගන්වන්නේ ඔහුට “සමීප” වෙන්න කියායි. (ගීතාවලිය 25:14; හිතෝපදේශ 3:32 කියවන්න.) දෙවිට සමීප විය හැකි එක් ආකාරයක් වන්නේ ඔහුගේ ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීමයි. (ගීතා. 28:5) තවත් ආකාරයක් වන්නේ “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය” වන “ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීමයි. (1 කොරි. 2:16; කොලො. 1:15) බයිබලයේ සඳහන් සිද්ධීන් අධ්‍යයනය කිරීමටත් ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමටත් කාලය ගැනීමෙන් යෙහෝවා දෙවිගේ ගුණාංග ගැන හා ඔහු සිතන ආකාරය ගැන යම් අවබෝධයක් ලබාගත හැකියි.

වැරදි නැඹුරුවාවක්

4, 5. (අ) අප වැළකී සිටිය යුතු වැරදි නැඹුරුවාව කුමක්ද? පැහැදිලි කරන්න. (ආ) ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි ගැන සිතුවේ කොහොමද?

4 යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන කල්පනා කරන විට අපගේ මිම්මෙන් හා අප කැමති අකමැති දේවලට අනුව දෙවිව විනිශ්චය කිරීමේ නැඹුරුවාවෙන් අප වැළකී සිටිය යුතුයි. ගීතාවලිය 50:21හි දෙවි පවසන මේ දෙයින් මිනිසුන්ට තිබෙන එම නැඹුරුවාව ගැන පැහැදිලි වෙනවා. “මාත් ඔබට සමාන වෙයි කියා ඔබ සිතුවෙහිය.” එක් බයිබල් විශාරදයෙක් මීට වසර 175කට පෙර එම නැඹුරුවාව ගැන මෙවැනි අදහසක් පළ කළා. “තමන්ගේ සිතුවිලිවලට අනුව දෙවිව විනිශ්චය කිරීමට මිනිසුන් නැඹුරු වෙනවා. ඒ වගේම තමන් යටත් විය යුතු නීතිවලට දෙවිද යටත් බව ඔවුන් සිතනවා.”

5 අප එම නැඹුරුවාවෙන් වැළකී සිටිය යුත්තේ ඇයි? මන්ද අපගේ තේරුම්ගැනීමේ හැකියාවට සීමාවක් තිබීමයි. ඒ නිසා අප බයිබලය අධ්‍යයනය කරන විට සමහර අවස්ථාවලදී දෙවි ක්‍රියා කළ ආකාරයේ යම් අඩුපාඩුකම් තිබෙන බව අපට සිතෙන්න පුළුවන්. ඊශ්‍රායෙල්වරුන්ද ඒ ආකාරයෙන් සිතූ නිසා යෙහෝවා දෙවි ඔවුන් සමඟ ක්‍රියා කළ ආකාරය ගැන ඔවුන් වැරදි නිගමනයකට එළඹුණා. ඒ අවස්ථාවේදී දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා.“ජනයෙනි, ඔබ එවිට අනිවාර්යයෙන්ම මෙසේ පවසනවා ඇත. ‘යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ.’ එහෙත් ඊශ්‍රායෙල් ජනයෙනි, මා පවසන දේට සවන් දෙන්න. මා ක්‍රියා කරන ආකාරය සාධාරණ නැද්ද? අසාධාරණව ක්‍රියා කරන්නේ ඔබ නොවේද?”—එස. 18:25.

6. යෝබ් ඉගෙනගත් පාඩම කුමක්ද? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

6 අප සිතන ආකාරයට සීමාවන් තිබෙන බවත් සමහර අවස්ථාවලදී අපගේ නිගමන සම්පූර්ණයෙන්ම වැරදි බවත් අප පිළිගත යුතුයි. අපගේ මිම්මෙන් දෙවිව විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට එය උපකාරයක්. යෝබ් ගැන සිතා බලන්න. ඔහුට පීඩා ඇති වුණ කාලයේදී ඔහු කලකිරුණු අතර තමන් ගැන පමණක් සිතන්න ඔහු පෙලඹුණා. වඩා වැදගත් දේවල් මොනවාද කියා ඔහුට අමතක වුණා. නමුත් ඔහු සිතන ආකාරය වෙනස් කිරීමට යෙහෝවා දෙවි ඉතා ප්‍රේමණීයව ඔහුට උපකාර කළා. දෙවි ඔහුගෙන් ප්‍රශ්න 70කට වඩා වැඩි ප්‍රමාණයක් ඇසුවත් ඒ එකකටවත් පිළිතුරු දීමට යෝබ්ට හැකි වුණේ නැහැ. එමගින් යෝබ්ගේ අවබෝධය සීමිත බව තේරුම්ගැනීමට දෙවි ඔහුට උපකාර කළා. ඒ අවස්ථාවේ යෝබ් ඉතා යටහත්පහත්ව තමන් සිතන ආකාරය වෙනස් කරගත්තා.යෝබ් 42:1-6 කියවන්න.

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම

7. යේසුස් ක්‍රියා කළ ආකාරය අධ්‍යයනය කිරීමෙන් දෙවි සිතන ආකාරය තේරුම්ගැනීමට හැකි වන්නේ ඇයි?

7 යේසුස් කළ කී සෑම දෙයකදීම ඔහු තම පියාව පූර්ණ ආකාරයෙන් අනුකරණය කළා. (යොහ. 14:9) ඒ නිසා ඔහු ක්‍රියා කළ ආකාරය අධ්‍යයනය කිරීමෙන් අපට දෙවි සිතන ආකාරය අවබෝධ කරගත හැකියි. (රෝම 15:5; ෆිලි. 2:5) ඒ සම්බන්ධයෙන් සිද්ධීන් දෙකක් අපි දැන් සලකා බලමු.

8, 9. ෆිලිප්ගෙන් ප්‍රශ්නයක් ඇසීමට යේසුස්ට හේතු වූ සිදුවීම කුමක්ද? යේසුස් එවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඇයි?

8 ක්‍රිස්තුවර්ෂ 32 පාස්කු උත්සවයට දින කිහිපයකට කලින් යේසුස් සහ ඔහුගේ ගෝලයන් ගලීලයේ දේශනා කර පැමිණ තිබුණා. ඔවුන් වෙහෙසට පත් වී සිටි නිසා විවේක ගැනීම සඳහා යේසුස් ගලීල මුහුදේ ඊසාන දෙසට ඇති වෙරළ තීරයට තම ගෝලයන්ව රැගෙන ගියා. නමුත් දහස් ගණනක්දෙනා ඔවුන් සිටි තැනට පැමිණියා. යේසුස් ඔවුන් අතර සිටි රෝගීන්ව සුව කළ අතර ඔවුන්ට බොහෝ දේ ඉගැන්නුවා. නමුත් මෙතරම් විශාල ප්‍රමාණයකට මෙවැනි හුදෙකලා ස්ථානයකදී කෑම ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වුණා. ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ෆිලිප්ගෙන් යේසුස් මෙසේ ඇසුවා. “මේ අයට කන්න දෙන්න අපි රොටි මිල දී ගන්නේ කොහෙන්ද?”—යොහ. 6:1-5.

9 යේසුස් ෆිලිප්ගෙන් එම ප්‍රශ්නය ඇසුවේ ඇයි? කළ යුත්තේ කුමක්ද කියා ඔහු දැන සිටියේ නැද්ද? එසේ නොවෙයි. ඒ අවස්ථාවේ එතැන සිටි යොහන් යේසුස් එසේ ඇසීමට හේතුව ගැන මෙසේ සඳහන් කළා. “තමා කරන්න යන දේ යේසුස් දැන සිටි නිසා ඔහු ඒ ප්‍රශ්නය ෆිලිප්ගෙන් ඇසුවේ ඔහුව සෝදිසි කර බැලීම සඳහාය.” (යොහ. 6:6) තමන්ට කළ හැකි දේ ගැන ගෝලයන්ට මොන තරම් විශ්වාසයක් තිබෙනවාද කියා පෙන්වන්න යේසුස් ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා. ඔවුන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් අතර ඔවුන් සිතන ආකාරයට සීමා තිබෙන බව ඉන් පැහැදිලි වුණා. (යොහන් 6:7-9 කියවන්න.) යේසුස් ඒ අවස්ථාවේදී තම ගෝලයන් කිසිවිටෙකත් නොසිතූ දෙයක් කළා. ඔහු ආශ්චර්යවත් ලෙස එතැන සිටි දහස් ගණනක්දෙනාට ආහාර ලබා දීමෙන් ඔවුන්ගේ කුසගින්න නිවා දැමුවා.—යොහ. 6:10-13.

10-12. (අ) මුල් අවස්ථාවේදීම යේසුස් ග්‍රීක ස්ත්‍රියගේ ඉල්ලීම ඉටු නොකළේ ඇයි? පැහැදිලි කරන්න. (ආ) අපි දැන් සලකා බලන්නේ කුමක්ද?

10 යේසුස් සිතන ආකාරය තේරුම්ගැනීම සඳහා අපි තවත් උදාහරණයක් සලකා බලමු. යේසුස් විශාල සමූහයකට ආහාර ලබා දීමෙන් පසු තීර් සහ සීදොන් ප්‍රදේශවලට ගියා. එහිදී ග්‍රීක කාන්තාවක් යේසුස්ව හමු වීමට පැමිණ ඇගේ දුවව සුව කර දෙන මෙන් අයැද සිටියා. මුලදී යේසුස් එම ස්ත්‍රියගේ ඉල්ලීමට සවන් දුන්නේ නැහැ. නමුත් ඇය දිගින් දිගටම යේසුස්ගෙන් එම ඉල්ලීම කළා. ඒ අවස්ථාවේදී යේසුස් ඇයට මෙසේ පැවසුවා. “මුලින්ම තෘප්තිමත් කළ යුත්තේ දරුවන්වයි. දරුවන්ගේ රොටි රැගෙන බලු පැටවුන්ට දැමීම සුදුසු නැහැ.”—මාක් 7:24-27.

11 එම ස්ත්‍රියට උපකාර කිරීම මුල් අවස්ථාවේදී යේසුස් ප්‍රතික්ෂේප කළේ ඇයි? ෆිලිප්ට මෙන් ඇයටත් මොන තරම් විශ්වාසයක් තිබෙනවාද කියා ඔප්පු කිරීමට එමගින් යේසුස් අවස්ථාවක් ලබා දුන්නා විය හැකිද? ඔහු ඒ අවස්ථාවේදී කතා කළ ස්වරය වාර්තාවේ සඳහන් නොවුණත් ඔහු කතා කළ ආකාරයෙන් ඒ ස්ත්‍රිය අධෛර්යයට පත් වුණේ නැහැ. යුදෙව්වන් වෙනත් ජාතීන්ව බල්ලන්ට සමාන කළත් යේසුස් ඇගේ ජාතිය සමාන කළේ ‘බලු පැටවුන්ටයි.’ එසේ පැවසීම නිසා තම ජාතිය පහත් යන හැඟීම ඇය තුළ ඇති වුණේ නැහැ. ඒ අවස්ථාවේදී යේසුස් ක්‍රියා කළේ පියෙක් වගෙයි. දරුවෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමට කැමති පියෙක් සමහර අවස්ථාවලදී තමාගේ කැමැත්ත දරුවාට අඟවන්නේ නැහැ. ඒ, දරුවාට එය ලබාගැනීමට කොතරම් ආශාවක් තිබෙනවාද කියා දැනගැනීමට අවශ්‍ය නිසයි. කාරණාව කුමක් වුණත් ඇය සතු විශ්වාසය ප්‍රකාශ කළ පසු යේසුස් කැමැත්තෙන්ම ඇගේ ඉල්ලීම ඉටු කළා.මාක් 7:28-30 කියවන්න.

12 ඉහත සඳහන් වාර්තා දෙකෙන් “ක්‍රිස්තුස්ගේ මනස” ගැන යම් අවබෝධයක් ලබාගැනීමට අපට හැකි වුණා. දැන් අපි යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගැනීමට උපකාරවත් වන වාර්තා දෙකක් සලකා බලමු.

යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කටයුතු කළ ආකාරය

13. යේසුස්ගේ මනස අවබෝධ කරගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 බයිබලයේ සඳහන් තේරුම්ගැනීමට අමාරු කොටස් තේරුම්ගැනීම සඳහා ක්‍රිස්තුස්ගේ මනස අවබෝධ කරගැනීම ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල්වරු නමස්කාර කිරීම සඳහා වස්සෙකුව සෑදූ අවස්ථාවේ යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසූ මේ දේ සලකා බලන්න. “මේ සෙනඟ මුරණ්ඩුය! ඒ නිසා ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබෙන මාගේ උදහස මම ඔවුන් පිට වගුරුවන්නෙමි. ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. ඔවුන් වෙනුවට ඔබෙන් මහත් ජාතියක් බිහි කරන්න මට ඉඩ දෙන්න.”—නික්. 32:9, 10.

14. යෙහෝවා දෙවි පැවසූ දේට මෝසෙස් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

14 දෙවි ඉහත සඳහන් දේ පැවසූ පසු සිදු වූ දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. ‘අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි. ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන් මෙසේ කියයි. “දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!” ඒ නිසා ඔබේ උදහස පහ කර ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න. ඔබේ සේවකයන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට හා ඊශ්‍රායෙල්ට ඔබේම නාමයෙන් දිවුරා ඔබ දුන් මේ පොරොන්දුව සිහි කරන්න. “මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. මා තෝරාගත් මේ මුළු දේශයම ඔබෙන් පැවතෙන්නන්ට මම දෙන්නෙමි. බොහෝ කාලයකට ඔබෙන් පැවතෙන්නන්ට එම දේශය උරුම වන්නේය.” අනේ දෙවියනි, ඒ පොරොන්දුව අමතක කරන්න එපා.’ එහෙයින් යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කිරීමට ගත් තීරණය වෙනස් කළේය.”—නික්. 32:11-14. *

15, 16. (අ) යෙහෝවා දෙවි පැවසූ දේ නිසා මෝසෙස්ට ලැබුණු අවස්ථාව කුමක්ද? (ආ) දෙවි තම තීරණය වෙනස් කළා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

15 යෙහෝවා දෙවි සිතන ආකාරය වෙනස් කිරීමට ඒ අවස්ථාවේදී මෝසෙස්ට සිදු වුණාද? කොහෙත්ම නැහැ. දෙවි එහිදී පැවසුවේ ඔහු අදහස් කළ දේ මිස ඔහුගේ අවසන් තීරණය නොවෙයි. ඒ වෙනුවට යේසුස්, ෆිලිප් හා ග්‍රීක ස්ත්‍රියව සෝදිසි කළා හා සමානව දෙවි මෝසෙස්ව සෝදිසි කළා. තමා සහ ඊශ්‍රායෙල්වරු අතරේ මැදිහත්කරු ලෙස මෝසෙස්ව පත් කර තිබුණේ දෙවියි. මෝසෙස්ට ප්‍රශ්න ඇසීමට ඉඩ දීමෙන් දෙවි ඔහුගේ පැවරුමට ගෞරව කළා. දෙවි පැවසූ දේ නිසා මෝසෙස්ට කලකිරීමක් ඇති වෙයිද? නැත්නම් ඊශ්‍රායෙල් ජාතිය අමතක කර තමාගෙන් ජාතියක් බිහි කරන බවට දෙවි පැවසූ දේ ඉටු කරගැනීමට ඔහු වෑයම් කරයිද? *

16 යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන බවට තමා තුළ විශ්වාසයක් තිබෙන බව මෝසෙස් ඒ අවස්ථාවේදී පෙන්නුවා. ඔහු ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වුණේ ඔහු තමා ගැන නොව දෙවිගේ නාමය ගැන සැලකිලිමත් වූ බවයි. දෙවිගේ නමට කිසිදු අපහාසයක් සිදු වෙනවාට ඔහු කැමති වුණේ නැහැ. මේ කාරණයේදී තමාට “යෙහෝවා දෙවිගේ මනස” තේරුම්ගැනීමට හැකි වූ බව මෝසෙස් පැහැදිලිව පෙන්නුවා. (1 කොරි. 2:16) ඉන්පසු සිදු වූයේ කුමක්ද? දෙවි මෝසෙස්ට පැවසුවේ තමා අදහස් කළ දේ මිස අවසන් තීරණය නොවන නිසා දෙවි තම ‘තීරණය වෙනස් කළා.’

යෙහෝවා දෙවි ආබ්‍රහම් සමඟ කටයුතු කළ ආකාරය

17. ආබ්‍රහම් සමඟ ක්‍රියා කරන විට යෙහෝවා දෙවි ඉවසිලිවන්තකම පෙන්නුවේ කොහොමද?

17 තමා කෙරෙහි තිබෙන විශ්වාසය පෙන්වීමට යෙහෝවා දෙවි තම සේවකයන්ට අවස්ථාවක් ලබා දෙන බව ආබ්‍රහම් සම්බන්ධ සිද්ධියකින්ද පැහැදිලි වෙනවා. සොදොම් නගරය හා සම්බන්ධ සාකච්ඡාවේදී දෙවි ආබ්‍රහම්ට ප්‍රශ්න අටක් ඇසීමට අවස්ථාව ලබා දී ඉවසීමෙන් කටයුතු කළා. එක් අවස්ථාවකදී ආබ්‍රහම් දෙවිගෙන් මෙසේ ඇසුවා. “ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත් එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ! මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”—උත්. 18:22-33.

18. දෙවි ආබ්‍රහම් සමඟ ක්‍රියා කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

18 ඉහත සිදුවීමෙන් අප යෙහෝවා දෙවි සිතන ආකාරය ගැන තේරුම්ගන්නේ කුමක්ද? නිවැරදි තීරණයක් ගැනීමට යෙහෝවා දෙවිට ආබ්‍රහම් සමඟ කාරණා කතා කරගැනීමට අවශ්‍ය වුණාද? ඇත්තෙන්ම නැහැ. තමන් එම නගර දෙක විනාශ කරන්නේ එහි ධර්මිෂ්ඨයන් දහදෙනෙක්වත් නැති නිසා බව ආබ්‍රහම්ට මුලින්ම පවසන්න දෙවිට තිබුණා. නමුත් ආබ්‍රහම්ට ප්‍රශ්න ඇසීමට ඉඩ දීමෙන් තමා ගත් තීරණය පිළිගැනීමටත් තමා සිතන ආකාරය තේරුම්ගැනීමටත් දෙවි ආබ්‍රහම්ට කාලය ලබා දුන්නා. ඒ වගේම යෙහෝවා දෙවිගේ අනුකම්පාව සහ ඔහු යුක්තිසහගතව ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධ කරගැනීමටත් එමගින් ආබ්‍රහම්ට හැකි වුණා. ඇත්තෙන්ම දෙවි ආබ්‍රහම්ව සැලකුවේ මිත්‍රයෙක් ලෙසයි.—යෙසා. 41:8; යාකො. 2:23.

අපට ඉගෙනගත හැකි දේ

19. අපට යෝබ්ව අනුකරණය කරන්න පුළුවන් කෙහොමද?

19 “යෙහෝවා දෙවිගේ මනස” ගැන අප ඉගෙනගත්තේ කුමක්ද? අපට දෙවිගේ මනස ගැන යම් අවබෝධයක් ලබාගැනීමට නම් ඔහුගේ වචනය අධ්‍යයනය කර එය අවබෝධ කරගත යුතුයි. අපට තිබෙන සීමාවන් දෙවිටත් තිබෙන බව අප කිසිවිටෙක නොසිතිය යුතුයි. ඒ වගේම අප මිනිසුන්ව මනින මිම්මෙන් හා අපගේ සිතුවිලිවට අනුව දෙවිව විනිශ්චය නොකළ යුතුයි. යෝබ් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවි මා වැනි මිනිසෙකු නොවෙයි. මා කෙසේ ඔහු සමඟ විවාද කරන්නද? කෙසේ ඔහුට විරුද්ධව චෝදනා කරන්නද?” (යෝබ් 9:32) යෝබ් මෙන් අපත් දෙවිගේ මනස ගැන අවබෝධ කරගන්නා විට මෙසේ පැවසීමට නිරායාසයෙන්ම පෙලඹෙනවා. “අප මේ දකින්නේ දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්‍රයක් පමණි. ඔහුගේ මහත් හඬෙන් අපේ සවනට වැටෙන්නේ සිහින් නාදයක් පමණි. එසේනම් ඔහුගේ ඒ මහත් ගිගුරුම් හඬ තේරුම්ගත හැක්කේ කාටද?”—යෝබ් 26:14.

20. බයිබලයේ සඳහන් යම් දෙයක් තේරුම්ගැනීමට අපහසු නම් අප කුමක් කළ යුතුද?

20 අපට බයිබලයේ යම් කොටසක් තේරුම්ගැනීමට අමාරු බව හැඟුණොත් විශේෂයෙන්ම එය යෙහෝවා දෙවි සිතන ආකාරය හා සම්බන්ධ කොටසක් නම් අප කුමක් කළ යුතුද? ඒ ගැන පර්යේෂණ කරන්න. ඉන් පසුවත් නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නොහැකි නම් දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය සෝදිසි කරන අවස්ථාවක් ලෙස එය සලකන්න. නමුත් බයිබලයේ ඇති සමහර සිද්ධීන්වලින් දෙවිගේ ගුණාංග ගැන අපට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. එමගින් දෙවි කෙරෙහි ඇති විශ්වාසය තවත් වැඩි වෙනවා. කොහොමනමුත් යෙහෝවා දෙවි ගැන සෑම දෙයක්ම අපට අවබෝධ කරගත නොහැකි බව අප යටහත්පහත්ව පිළිගත යුතුයි. (දේශ. 11:5) පාවුල්ගේ මෙම වදන්වලට අප සියලුදෙනාම එකඟ වන බවට කිසිම සැකයක් නැහැ. “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද! ඇත්තෙන්ම, ‘යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගත්තේ කවුද? එලෙසම ඔහුට ගුරුහරුකම් දිය හැක්කේ කාටද?’ ‘ඔහුගෙන් යමක් ලබාගැනීමට මුලින්ම ඔහුට යමක් දුන්නේ කවුද?’ මන්ද සියලු දේවල් සෑදුවේ ඔහුය. ඒවා දිගටම පවතින්නේ ඔහු නිසාය. එලෙසම ඒවා පවතින්නෙත් ඔහුගේ අරමුණ උදෙසාය. දෙවිට සදහටම ප්‍රශංසාවත් ගෞරවයත් ලැබේවා! ආමෙන්.”—රෝම 11:33-36.

[පාදසටහන්වල]

^ 14 ඡේ. ඊට සමාන වාර්තාවක් ගණන් කතාව 14:11-20හි සඳහන් වෙනවා.

^ 15 ඡේ. නික්මයාම 32:10හි “මට ඉඩ දෙන්න” යන්නට යොදා ඇති හෙබ්‍රෙව් යෙදුම ගැන සමහර විශාරදයන් පවසන්නේ යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසූ දේ යෝජනාවක් බවයි. මෝසෙස්ට ඔහුගේ අදහස ප්‍රකාශ කිරීමට එමගින් දෙවි අවස්ථාවක් ලබා දුන්නා.

ඔබට මතකද?

• අපගේ මිම්මෙන් දෙවිව විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

• “යෙහෝවා දෙවිට සමීප” වීම සඳහා ක්‍රිස්තුස් ක්‍රියා කළ ආකාරය තේරුම්ගැනීම අපට උපකාරවත් වන්නේ කොහොමද?

• යෙහෝවා දෙවි මෝසෙස් හා ආබ්‍රහම් සමඟ කළ සාකච්ඡාවෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවි මෝසෙස් හා ආබ්‍රහම් සමඟ ක්‍රියා කළ ආකාරයෙන් ඔහු සිතන ආකාරය ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?