Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙමු

යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙමු

යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙමු

දරුවන් ඉගෙනගන්න හරි කැමතියි. ඔවුන් ප්‍රශ්න අසන්නේ ඒ නිසයි. ඊජිප්තුවේදී මුල් වතාවට පාස්කුව සමරද්දී ඊශ්‍රායෙල් දරුවන්ට අසන්න බොහෝ ප්‍රශ්න තියෙන්න ඇති. ‘බැටළුවෙක්ව මැරුවේ ඇයි? තාත්තා උළුවහුවේ ලේ ගාන්නේ ඇයි? අපි කොහේද යන්නේ?’ වැනි ප්‍රශ්න ඔවුන් අසන්න ඇති. ඒ ආකාරයට දරුවන් ප්‍රශ්න අසා තොරතුරු දැනගන්නවාට යෙහෝවා දෙවි කැමති බව ඔහු පියවරුන්ට ආඥා කළ මේ දෙයින් පැහැදිලියි. ඉදිරියේදී පාස්කුව සමරන විට “මේ උත්සවය පවත්වන්නේ ඇයි කියා ඔබේ දරුවන් ඔබෙන් ඇසුවොත් ඔවුන්ට මෙසේ කියන්න. ‘දෙවි, ඊජිප්තුවරුන්ට පීඩා කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජනයා වන අපට පහර නොදී අපේ ගෙවල් පසු කරගෙන ගියා. ඔහු අපේ ගෙයි වැසියන්ව ආරක්ෂා කළා. ඒ නිසයි අපි මෙලෙස සතෙකුව මරා යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කු උත්සවය පවත්වන්නේ.’” (නික්. 12:24-27) යෙහෝවා දෙවිගේ “අණපනත් හා සිහිගැන්වීම්” ගැන දරුවන් ප්‍රශ්න අසන විට ඔවුන්ට පිළිතුරු දීමේ වැදගත්කම දෙවි දෙමාපියන්ට මතක් කර දුන්නා.—ද්වි. 6:20-25.

සැබෑ නමස්කාරය ගැන දරුවන්ට තිබෙන ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු දරුවන් දැනගන්නවාට දෙවි කැමති වුණා. ඔවුන්ට ලැබෙන පිළිතුරුවලින් දෙවි හා ගැලවුම්කරු ලෙස ඔහුට ප්‍රේම කිරීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙනවා. අපගේ දරුවන් තුළත් එවැනිම පෙලඹීමක් ඇති වෙනවාට යෙහෝවා දෙවි කැමතියි. දරුවන් තුළ යෙහෝවා දෙවිට හා ඔහුගේ සෙනඟට ප්‍රේමයක් ඇති කිරීමට දෙමාපියන්ට උපකාර කළ හැකි එක් ආකාරයක් වන්නේ දෙවිගේ සංවිධානය ගැනත් එයින් අප ලබන ප්‍රයෝජන ගැනත් අවබෝධයක් ඔවුන්ට ලබා දීමයි. එය කළ හැකි ආකාර කිහිපයක් අපි දැන් සලකා බලමු.

සභාව ගැන

ඔබ රැස්වීම්වලට සහභාගි වන සභාව ගැන දරුවන් දැනුවත් වී සිටිය යුතුයි. ඒ සඳහා ඔබේ දරුවන්ව සෑම රැස්වීමකටම රැගෙන යන්න. ඔබ එසේ කරන විට යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් මෙම ආඥාවට එකඟව ක්‍රියා කරන බව පැවසිය හැකියි. ‘දේශයේ වාසය කරන සියලුම පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන් රැස් විය යුතුයි. එවිට නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත් ඔවුන් සියලුදෙනාටම හැකි වෙයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්නත් මේ නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඔවුන් පුරුදු වෙයි. එසේම නීතියේ සඳහන් දේවල් ගැන අවබෝධයක් නැති ඔවුන්ගේ දරුවන්ටත් ඒවාට සවන් දෙන්න අවස්ථාවක් ලැබෙයි.’—ද්වි. 31:12, 13.

යෙහෝවා දෙවිගේ වචනය ගැන ළදරු කාලයේ සිටම ඉගෙනගැනීමට දරුවන්ට හැකියාව තිබෙනවා. පාවුල් තිමෝති ගැන පැවසු මේ දෙයින් එය පැහැදිලි වෙනවා. ‘ඔබේ ළදරු කාලයේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත්තා.’ (2 තිමෝ. 3:15) රැස්වීම්වල ඉදිරිපත් කරන තොරතුරු අවබෝධ කරගැනීමටත් ගීතිකාවලට හුරු වීමටත් දරුවන් ඉගෙනගන්නේ කුඩා කල සිටයි. ඒ වගේම බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන භාවිත කරන ආකාරයත් ඒවා හොඳින් පරිහරණය කරමින් ඊට නිසි ගෞරවය දෙන ආකාරයත් ඔවුන් ඉගෙනගන්නවා. ඒ විතරක් නොවෙයි ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගන්නා ප්‍රේමය නමැති ගුණාංගය සභාවේ තිබෙන බවත් දරුවන් තේරුම්ගනියි. යේසුස් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහ. 13:34, 35) ඒ වගේම සභාවේ සහෝදර සහෝදරියන් අතර ඇති ප්‍රේමය හා සුරක්ෂිතභාවය දරුවන්ටත් දැනෙනවා. රැස්වීම්වලට සහභාගි වීම අත්‍යවශ්‍ය දෙයක් බව තේරුම්ගැනීමට එය දරුවන්ට උපකාරවත් වෙයි.

ඔබ රැස්වීම්වලට කලින්ම පැමිණෙනවා නම් හා රැස්වීම අවසන් වී ටික වේලාවක් රාජ්‍ය ශාලාවේ රැඳී සිටිනවා නම් දරුවන්ට මිතුරන් ඇති කරගැනීමට එය හොඳ ප්‍රස්තාවක් වෙනවා. ඔවුන්ට තමන්ගේ වයසේ අය පමණක් ඇසුරු කිරීමට ඉඩ දෙනවා වෙනුවට සෑම වයස් මට්ටමක සිටින අයට ඔවුන්ව හඳුන්වා දෙන්න. ඔවුන් වැඩිහිටි අයව ඇසුරු කරන විට ඔවුන්ට බොහෝ අද්දැකීම් තිබෙන බවත් ප්‍රඥාව තිබෙන බවත් ඔවුන්ට වැටහේවි. ‘සැබෑ දෙවිට ගරුබිය දැක්විය යුතු ආකාරය ගැන’ සෙකරියා යෞවනයෙක්ව සිටි උසියා රජුට ‘දුන් උපදෙස්වලින් ‘ ඔහු බොහෝ ප්‍රයෝජන ලැබුවා හා සමානව වර්තමානයේදීද බොහෝ කාලයක් පුරා සේවය කර ඇති අය යෞවනයන්ට කදිම දිරිගැන්වීමක් ලබා දෙනවා. (2 ලේක. 26:1, 4, 5) ඔබට රාජ්‍ය ශාලාවේ තිබෙන පුස්තකාලය, දැන්වීම් පුවරුව හා වෙනත් දේවල් ගැන අවබෝධයක්ද දරුවන්ට ලබා දිය හැකියි.

සංවිධානය ගැන

තමන් සහභාගි වන සභාව ලෝක ව්‍යාප්තව තිබෙන සභා 1,00,000කට අධික සංඛ්‍යාවකින් සැදුම් ලත් සංවිධානයක කොටසක් බව දරුවන්ට අවබෝධ කර දිය යුතුයි. සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය හා දරුවන්ට ඊට සහයෝගය දැක්විය හැකි ආකාරය ගැන පැහැදිලි කර දෙන්න. චාරිකා ඒකරැස්වීම්, දිස්ත්‍රික් සමුළු හා චාරිකා සතියෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දරුවන්ට අවබෝධ කර දෙන්න.—විසිඅටවන පිටුවේ ඇති “පවුලේ නමස්කාරයේදී සලකා බැලිය හැකි දේ” යන කොටුව බලන්න.

සංචාරක සේවකයන්ව, මිෂනාරිවරුන්ව, බෙතෙල් සේවකයන්ව හා පූර්ණකාලීන සේවකයන්ව ආහාර වේලක් සඳහා ඔබේ නිවසට ආරාධනා කරන්න ඔබට පුළුවන්. ඔවුන්ට දරුවන් වෙනුවෙන් වැය කිරීමට කාලයක් නැහැයි කියා සිතන්න එපා. දරුවන් සමඟ කාලය ගත කළ යේසුස්ව අනුකරණය කරන්න එම පූර්ණකාලීන සේවකයන් උපරිමයෙන් වෑයම් කරනවා. (මාක් 10:13-16) ඔවුන්ගේ අද්දැකීම්වලට සවන් දෙන විට හා දෙවිට සේවය කිරීමෙන් ඔවුන් ලබන ප්‍රීතිය දරුවන් දකින විට දරුවන්ද පූර්ණකාලීන සේවය ඉලක්කය කරගැනීමට ඉඩ තිබෙනවා.

සංවිධානය ගැන දරුවන්ව දැනුවත් කිරීමට ඔබට තව කුමක් කළ හැකිද? ඒ සඳහා යෝජනා කිහිපයක් පහත දැක්වෙනවා. සංවිධානයේ ඉතිහාසය ගැන සඳහන් තොරතුරු ඔබට දරුවන් සමඟ සාකච්ඡා කළ හැකියි. ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට යෙහෝවා දෙවි සහෝදර සහෝදරියන්ට උපකාර කර තිබෙන ආකාරය ගැන ප්‍රකාශනවල සඳහන් අද්දැකීම්ද ඔවුන් සමඟ සාකච්ඡා කළ හැකියි. ඒ වගේම සංවිධානය මගින් නිපදවා තිබෙන වීඩියෝ පටද ඒ සඳහා යොදාගත හැකියි. අතීතයේ මෙන්ම වර්තමානයේ සිදුවීම් ඇතුළත් කර සකස් කර ඇති එම වීඩියෝ පට මගින් විවිධ පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඔබගේ රටේ හෝ වෙනත් රටක තිබෙන ශාඛා කාර්යාලයක් හෝ බෙතෙල් නිවසක් නැරඹීමට යන්න සැලසුම් කිරීමටද ඔබට හැකියි. පළමු ශතවර්ෂයේදී මෙන් වර්තමානයේදීත් යෙහෝවා දෙවිගේ සංවිධානය විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ මඟ පෙන්වීම යටතේ සහෝදර සහෝදරියන් සියලුදෙනාටම අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා දෙන ආකාරය දකින විට ඔබේ දරුවන් තුළ සංවිධානය ගැන විශාල අගයක් ඇති විය හැකියි.—මතෙ. 24:45-47; ක්‍රියා 15:22-31.

දරුවාගේ හැකියාව තේරුම්ගන්න

ඔබේ දරුවාට උගන්වන විට යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූ ආකාරය අනුකරණය කරන්න. ඔහු එක් අවස්ථාවක ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබට කියන්න තව බොහෝ දේ මට තිබුණත් ඒවා දරාගන්න දැන් ඔබට බැහැ.” (යොහ. 16:12) යේසුස් තම ගෝලයන්ගේ මනස් තොරතුරුවලින් පුරවනවා වෙනුවට ඔවුන්ට අවබෝධ කරගත හැකි ප්‍රමාණයට ක්‍රමානුකූලව ඉගැන්නුවා. ඔබටත් ඒ ක්‍රමය අනුකරණය කළ හැකියි. දෙවිගේ සංවිධානය පිළිබඳ තොරතුරු ඔබගේ දරුවාට නිතිපතා ක්‍රමානුකූලව කියා දෙනවා නම් එය දරුවාට නිරස දෙයක් වන්නේ නැහැ. කාලයත් සමඟම ඔවුන්ගේ අවබෝධය තවත් වැඩි කළ හැකියි.

යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට ක්‍රිස්තියානි සභාවෙන් අපට බොහෝ උපකාර ලැබෙනවා. එහි ක්‍රියාකාරකම්වලට හවුල් වෙන යෞවනයන්ට සාතන්ගේ ලෝකයෙන් එල්ල වන බලපෑම්වලට විරුද්ධ වීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. (රෝම 12:2) යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන අවබෝධය ලබාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන විට ඔබටත් ප්‍රීතියක් ලැබෙන බව අපට ස්ථිරයි. ඔබේ දරුවන් දෙවිගේ උපකාරය ඇතුව ඔහුගේ සංවිධානයට පක්ෂපාත වී ඔහුට දිගටම සේවය කරන බව නම් නිසැකයි.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පවුලේ නමස්කාරයේදී සලකා බැලිය හැකි දේ

යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන අවබෝධයක් ලබාගැනීමට පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ සැන්දෑවේදී සාකච්ඡා කළ හැකි දේවල් කිහිපයක් පහත දැක්වෙනවා.

▪ ඔබේ සභාවේ ඉතිහාසය ගැන සාකච්ඡා කරන්න. එය ආරම්භ වුණු ආකාරය, සභාව භාවිත කළ රාජ්‍ය ශාලා මොනවාද වැනි දේවල් ගැන කතා කළ හැකියි. සභාව ගැන දරුවන්ට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා සභාවේ බොහෝ කලක් සේවය කරන සාමාජිකයෙකුට ආරාධනා කිරීමටද ඔබට හැකියි.

▪ සභා රැස්වීම් හා එක්රැස්වීම් පැවැත්වීමේ අරමුණ ගැන හා ඉන් දරුවන්ට ගත හැකි ප්‍රයෝජන ගැන ඔවුන්ට පහදා දෙන්න.

▪ යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ආරම්භ කර ඇති විවිධ පාසැල්වල අරමුණ ගැන සාකච්ඡා කරන්න. ඒවාට සහභාගි වුණ අයගෙන් ලැබී තිබෙන ප්‍රයෝජන ගැන සඳහන් අද්දැකීම්ද සාකච්ඡා කරන්න.

▪ නිතිපතා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැදගත්කම තේරුම්ගැනීමට දරුවාට උපකාර කරන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ ඇති ලෝක ව්‍යාප්ත සේවා වාර්තාවට දරුවන්ටත් දායක විය හැකි ආකාර ගැන ඔවුන්ට පහදා දෙන්න.

▪ යෞවනයන්ට පූර්ණකාලීන සේවයේ යෙදිය හැකි විවිධ පැති ගැන සාකච්ඡා කරන්න. ඒ සඳහා 2007 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ “ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර” යන මාතෘකාවෙන් යුත් තොරතුරු සලකා බැලීම ප්‍රයෝජනවත් වෙයි.

▪ සභාවේ යම් දේවල් කිරීමට නිශ්චිත ක්‍රමයක් අනුගමනය කිරීමට හේතුව දරුවාට පහදා දෙන්න. සුළු කාරණයකදී පවා දෙවිගේ සංවිධානයෙන් ලබා දී ඇති උපදෙස් නොසලකා හැර ක්‍රියා නොකළ යුතු හේතුව පහදා දෙන්න. වැඩිමහල්ලන් ලබා දෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීමෙන් සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කිරීම සඳහා දරුවන්ට සහය විය හැකි ආකාරය ඔවුන්ට පෙන්වා දෙන්න.

[පින්තූරය]

බොහෝ කාලයක් දෙවිට සේවය කළ අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම දරුවන්ට ප්‍රයෝජනවත්

[26වන පිටුවේ පින්තූර]

පුරාණ ඊශ්‍රායෙල්වරුන් මෙන් අද දින සිටින දෙමාපියන් දෙවිගේ සංවිධානය ගැන දරුවන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා