Skip to content

පටුනට යන්න

‘ඔහු කළ දේවල් ඔහු සමඟම පවතියි’

‘ඔහු කළ දේවල් ඔහු සමඟම පවතියි’

‘ඔහු කළ දේවල් ඔහු සමඟම පවතියි’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වූ සහෝදර තියඩෝර් ජැරස් 2010 ජූනි මස 9වන බදාදා උදෑසන සිය භූමික ජීවිතය අවසන් කළා. ඔහු මිය යන විට ඔහුට වයස අවුරුදු 84යි. ඔහුගේ භාර්යාවගේ නම මෙලිටායි. ඇගේ වයස අවුරුදු 53යි. ඔහුට වැඩිමහල් සහෝදරියක් සිටින අතර ඇයට පුතෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටිනවා.

සහෝදර ජැරස් ඉපදුණේ 1925 සැප්තැම්බර් 28වන දින ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකී ප්‍රාන්තයේයි. ඔහු යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණේ 1941 අගෝස්තු 10වන දිනයි. ඒ වන විට ඔහුට වයස අවුරුදු 15යි. අවුරුදු 17දී ඔහු ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කළ අතර එතැන් සිට වසර 67ක් පුරා පූර්ණකාලීන සේවයේ නියැලුණා.

සහෝදර ජැරස් 1946දී පැවති හත්වන ගිලියද් පාසැලට සහභාගි වන විට ඔහුට වයස අවුරුදු 20යි. ඉන්පසු ඔහුට එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ක්ලිව්ලන්ඩ්වල සංචාරක සේවකයෙක් ලෙස සේවය කිරීමට පැවරුමක් ලැබුණා. ඔහු 1951දී ඕස්ට්‍රේලියාවේ ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක ලෙස සේවය කිරීම ආරම්භ කළා. ඔහු එහි කළ සේවය ගැන 1983 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ මෙසේ සඳහන් වුණා. “සංවිධාන සැලැස්මට අනුව දේවල් කිරීමට ඔහුට තිබුණු දැඩි උද්‍යෝගය හා දේවසේවයේ ඔහු පෙරමුණ ගෙන ක්‍රියා කිරීම එහි සිටි සියලුදෙනාටම මහත් දිරිගැන්වීමක් වුණා.”

ඔහු නැවත ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි පසු 1956 දෙසැම්බර් 10වෙනිදා මෙලිටා ලාස්කෝ සමඟ විවාහ වුණා. ඔවුන්ගේ විවාහයත් සමඟ ඔවුන් එක්සත් ජනපදයේ සංචාරක හා දිස්ත්‍රික් සේවයේ උද්‍යෝගයෙන් හවුල් වුණා. වර්ෂ 1974 අගභාගයේදී සහෝදර ජැරස්ට පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීමට ආරාධනා කළා.

සහෝදර ජැරස් යෙහෝවා දෙවිට කැපවීමකින් හා විශ්වාසවන්තව සේවය කළා. එමෙන්ම ඔහු දෙවිගේ සේවය වෙනුවෙන් ඔහුගේ මුළු අවධානයම යොමු කළා. වෙහෙස මහන්සි නොබලා ඔහු කළ සේවය සැමදා මතකයේ රැඳේවී. ඔහු ප්‍රේමණීය මෙන්ම සැලකිලිමත් ස්වාමිපුරුෂයෙක්. ඒ වගේම ඔහු තමන්ගේ කාරණාවලට අවධානය යොමු කරනවාට වඩා අන් අය ගැන සැලකිලිමත් වූ ප්‍රේමණීය එඬේරෙක්. (1 කොරි. 13:4, 5) අන් අයට සාධාරණව හා කාරුණිකව සලකනවා දැකීමට ඔහු තුළ තිබූ ආශාවෙන් ඒ බව තහවුරු වුණා. එමෙන්ම පොදු ජනයා කෙරෙහි ඔහුට තිබුණු ප්‍රේමය හා සැලකිල්ල දේවසේවය සඳහා ඔහු තුළ තිබූ උද්‍යෝගයෙන් පැහැදිලි වුණා.

ලෝක ව්‍යාප්ත සහෝදර කැලට අයත් සාමාජිකයෙක් මෙන්ම බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වූ මෙම ප්‍රේමණීය සහෝදරයාගේ අහිමි වීම කනගාටුවට හේතුවක් වුණත් ඔහු දශක ගණනාවක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව කළ සේවය ගැන අපට සතුටු විය හැකියි. ඔහු ‘මිය යන තුරුම විශ්වාසවන්තව සිටීමෙන් ජීවනය නමැති ඔටුන්න හිමි කරගෙන’ තිබෙන බව අපට විශ්වාසයි. (එළි. 2:10) ඒ වගේම ‘ඔහු කළ දේවල් ඔහු සමඟම පවතින’ බවත් අපට ස්ථිරයි.—එළි. 14:13.