Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි” කියා යේසුස් පැවසුවා. ඔහු පැවසූ පරිදි මිනිසුන්ට පරිපූර්ණව සිටිය හැකිද?—මතෙ. 5:48.

එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීම සඳහා බයිබලයේ “පරිපූර්ණ” යන වචනය භාවිත කර තිබෙන ආකාරය වටහාගත යුතුයි. යෙහෝවා දෙවි සෑම අතින්ම පරිපූර්ණයි. පරිපූර්ණ යන්නට යොදා ඇති ග්‍රීක හා හෙබ්‍රෙව් වචනවලට, යම් අධිකාරියක් විසින් දී තිබෙන ප්‍රමිතිවලට අනුව “සම්පූර්ණව” හෝ “දෝෂයක් නැතුව” සිටීම යන අදහසද ඇතුළත්.

යෙහෝවා දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළේ පරිපූර්ණවයි. ඉන් අදහස් කරන්නේ දෙවි තම ප්‍රමිතිවලට අනුව ඔවුන්ව නිර්මාණය කළ බවයි. නමුත් ඔවුන් දෙවි හා සමාන වුණේ නැහැ. කෙසේවෙතත් ඔවුන් දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් නොවූ නිසා ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් අසම්පූර්ණකම හෙවත් පව්කාරකම උරුම වුණා.—රෝම 5:12.

යේසුස් කන්ද උඩ දේශනාවේදී පැවසූ පරිදි පව්කාර මිනිසුන්ට වුවත් දෙවිගේ ප්‍රමිතිවලට කීකරු වීමට හැකියාව තිබෙනවා. එමෙන්ම දෙවි මිනිසුන්ට ප්‍රේමය පෙන්වූ ආකාරයට මිනිසුන්ටත් ප්‍රේමය පෙන්විය හැකි බව ඔහු ඒ අවස්ථාවේදී පැවසුවා. ‘ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.’ (මතෙ. 5:44, 45) යේසුස්ගේ ගෝලයන්ටද ඒ ආකාරයෙන් ප්‍රේමය පෙන්වීමෙන් දෙවිව අනුකරණය කළ හැකි බව යේසුස් පැවසුවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද අද දින දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුව අන් අයට ප්‍රේමය පෙන්වනවා. ඔවුන්ගේ ආශාව වන්නේ විවිධ පසුබිම්වල, ජාතීන්වල හා ආගම්වලට අයත් ජනයාට බයිබලය පිළිබඳ අවබෝධය ලබා දීමයි. ඔවුන් දැනට රටවල් 236ක බයිබල් පාඩම් 76,19,270කට වැඩි ප්‍රමාණයක් පවත්වනවා.

“ඔබට ප්‍රේම කරන අයට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් එයින් ඇති පලය කුමක්ද? බදු එකතු කරන්නන් පවා ඒ දේම කරනවා නොවෙයිද? ඔබ සුබ පතන්නේ ඔබේ සහෝදරයන්ට පමණක් නම් එහි ඇති විශේෂත්වය කුමක්ද? වෙනත් ජාතීන් පවා ඒ දේම කරනවා නොවෙයිද?” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් ඇසුවා. (මතෙ. 5:46, 47) සැබෑ ක්‍රිස්තියානීන් ජනයාගේ උගත්කම හෝ ජාතියට අනුව ඔවුන්ට සලකන්නේ නැහැ. එමෙන්ම ඔවුන් ප්‍රේම කරන්නේ තමන්ට ප්‍රේම කරන අයට පමණක් නොවෙයි. ඒ වෙනුවට ඔවුන් දුප්පත් පොහොසත්, බාල මහලු සෑම කෙනෙකුටම ප්‍රේම කරනවා. එසේ කිරීමෙන් ප්‍රේමය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ලබා දී ඇති උසස් ප්‍රමිතිය රැකීමට ක්‍රිස්තියානීන්ට හැකි වෙනවා. ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි කියා යේසුස් පැවසූ දෙයින් අදහස් කළේ එයයි.

අපට කවදා හෝ ආදම් සිටි පරිපූර්ණ තත්වයට සමාන තත්වයට පත් විය හැකිද? ඔව්. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබමින් දෙවිට කීකරු වන අයට යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලය තුළදී එනම්, ‘දෙවිගේ පුත්‍රයා යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දමන’ කාලයේදී අපට එවැනි තත්වයකට පත් විය හැකියි.—1 යොහ. 3:8.