Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, මිතුරන්ගේ බලපෑමට හසු නොවන්න

යෞවනයෙනි, මිතුරන්ගේ බලපෑමට හසු නොවන්න

යෞවනයෙනි, මිතුරන්ගේ බලපෑමට හසු නොවන්න

“ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.”—කොලො. 4:6.

1, 2. අන් අයට වඩා වෙනස් කෙනෙක් වීම ගැන යෞවනයන්ට හැඟෙන්නේ කොහොමද? ඒ ඇයි?

මිතුරන්ගේ බලපෑමට ලක් වූ අය ගැන ඔබ අසා ඇති. නැත්නම් ඔබ එවැනි තත්වයකට මුහුණ දී ඇති. එවැනි අවස්ථාවක ඔබට හැඟුණේ කොහොමද? දහහතර හැවිරිදි ක්‍රිස්ටෝෆර් ඒ ගැන මෙසේ පවසනවා. ‘සමහර අවස්ථාවලදී අපරාදේ මම ඒ වෙලාවේ එතන හිටියේ කියලා හිතෙනවා. එහෙම නැත්නම් යාළුවෝ කරන එකම කළා නම් ඉවරයිනේ කියලා හිතෙනවා.’

2 මිතුරන්ගෙන් ඔබට දැඩි බලපෑම් එල්ල වෙනවාද? ඊට හේතුව ඔවුන්ගේ ප්‍රසාදය දිනාගැනීමට ඔබ තුළ තිබෙන ආශාවද? එවැනි ආශාවක් ඇති වීම වැරදි නැහැ. වැඩිහිටියන්ට පවා ඔවුන්ගේ මිතුරන්ගේ ප්‍රසාදය දිනාගැනීමට ආශාවක් තිබෙනවා. තමන්ව කොන් කරනවාට බාල මහලු කවුරුවත් කැමති නැහැ. නමුත් හරි දේ කිරීමට වෑයම් කරන සෑමවිටම අන් අයගේ ප්‍රසාදය ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න එපා. යේසුස්ටත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණා. නමුත් ඔහු සෑමවිටම හරි දේ කළා. ඔහු සමඟ සිටි සමහර අය ඔහුගේ ගෝලයන් බවට පත් වුණත් තවත් අය ඔහු ගැන කිසි තැකීමක් නොකළ අතර “ඔහුගේ මුහුණ බැලුවේවත්” නැහැ.—යෙසා. 53:3.

බලපෑම ප්‍රබලයි

3. මිතුරන්ගෙන් එල්ල වන බලපෑමට යටත් වීම සුදුසු නොවන්නේ ඇයි?

3 සමහර අවස්ථාවලදී මිතුරන්ගේ ප්‍රසාදය දිනාගැනීමට අවශ්‍ය නිසා ඔවුන් කියන දේට එකඟ වීමට ඔබ පෙලඹෙන්න පුළුවන්. නමුත් ඒක වැරදියි. ක්‍රිස්තියානීන් ‘කුඩා දරුවන් මෙන් කටයුතු කරමින් සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ මෙන්’ නොවිය යුතුයි. (එෆී. 4:14) කුඩා දරුවන් ඉක්මනින්ම අන් අයගේ බලපෑමට හසු වෙනවා. නමුත් ඔබ වැඩිහිටිභාවය කරා පා නඟමින් සිටින කෙනෙක්. යෙහෝවා දෙවිගේ ප්‍රමිති පිළිපැදීමෙන් ඔබට යහපතක් වන බව ඔබ විශ්වාස කරනවා නම් ඊට එකඟව ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න. (ද්වි. 10:12, 13) එසේ නොකර ඔබ ඔබේ මිතුරන්ගේ බලපෑමට හසු වෙනවා නම් ඔබේ ජීවිතය පාලනය කිරීමට ඔබ ඔවුන්ට ඉඩ දෙනවා කියා පැවසිය හැකියි. එය හරියට ඔබ රූකඩයක් මෙන් ක්‍රියා කරනවා හා සමානයි.2 පේතෘස් 2:19 කියවන්න.

4, 5. (අ) ආරොන් ඊශ්‍රායෙල් සෙනඟගේ බලපෑමට හසු වුණේ කොහොමද? ඉන් ඔබට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (ආ) ඔබේ මිතුරන් ඔබට බලපෑම් එල්ල කළ හැක්කේ කුමන ආකාරවලින්ද?

4 එක් අවස්ථාවක මෝසෙස්ගේ සහෝදරයා වූ ආරොන් ඔහු සමඟ සිටි අයගේ බලපෑමට හසු වුණා. ඊශ්‍රායෙල්වරුන් තමන්ට දෙවි කෙනෙකුව සාදා දෙන්න කියා ඔහුට බල කළ විට ඔහු ඊට එකඟ වුණා. නමුත් ආරොන් දුර්වල කෙනෙක් නොවෙයි. ඔහු මෝසෙස් සමඟ ඊජිප්තුවේ බලවත්ම පුද්ගලයා වූ පාරාවෝ ඉදිරියට ගොස් නිර්භීතව දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කළ කෙනෙක්. නමුත් එතරම් ධෛර්යයක් තිබූ ආරොන්ට ඊශ්‍රායෙල්වරුන්ගේ බලපෑමට හසු නොවී සිටීමට හැකි වුණේ නැහැ.—නික්. 7:1, 2; 32:1-4.

5 ආරොන්ට සිදු වූ දෙයින් පැහැදිලි වන්නේ මිතුරන්ගෙන් එල්ල වන බලපෑම යෞවන අයට පමණක් ඇති වන එකක් නොවන බවයි. එමෙන්ම හරි දේ කිරීමට කැමති අයට පමණක් නොව සාමාන්‍යයෙන් වැරදි දේ කරන අයට පවා ඒ බලපෑම ඇති වෙනවා. ඔබේ මිතුරන් ඔවුන්ට අවශ්‍ය දේ ඔබ ලවා ඉටු කරගැනීම සඳහා ඔබව භය කරන්න, ඔබට චෝදනා කරන්න හෝ අපහාස කරන්න ඉඩ තිබෙනවා. ඔවුන් කෙසේ බලපෑම් කළත් ඊට මුහුණ දීම පහසු දෙයක් නොවෙයි. ඔබ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේ ගැන ස්ථිර විශ්වාසයකින් සිටිනවා නම් එම බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකියි.

‘ඔබවම පරීක්ෂා කර බලන්න’

6, 7. (අ) ඔබගේ විශ්වාසයන් ඔබටම තහවුරු කරගැනීම වැදගත් ඇයි? එය කරන්න පුළුවන් කොහොමද? (ආ) විශ්වාසය තහවුරු කරගැනීම සඳහා අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

6 මිතුරන්ගෙන් එල්ල වන බලපෑම්වලට ඔබට සාර්ථකව මුහුණ දිය හැකි එක් ආකාරයක් වන්නේ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේ ගැන ස්ථිර විශ්වාසයක් ඇතුව සිටීමයි. (2 කොරින්ති 13:5 කියවන්න.) සාමාන්‍යයෙන් ඔබ ලැජ්ජාශීලී කෙනෙක් වුණත් ඔබගේ විශ්වාසයන් ගැන ඔබට ස්ථිර නම් ඔබට නිර්භීතකම ඇති කරගත හැකියි. (2 තිමෝ. 1:7, 8) අනික් අතට නිර්භීත කෙනෙකුට වුණත් ඔහු විශ්වාස කරන දේ ගැන ස්ථිරත්වයක් ඔහුට නැත්නම් ඊට පක්ෂව සිටීමට හැකි වන්නේ නැහැ. එසේනම් බයිබලයෙන් ඔබ ඉගෙනගෙන තිබෙන දේ සත්‍යයයි කියා ඔබටම තහවුරු කර නොගන්නේ ඇයි? මෙසේ සිතන්න. ඔබට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. අන් අය දෙවිව විශ්වාස කරන හේතු ඔබ අසා තිබෙනවා. දැන් ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘දෙවි ඉන්නවා කියලා මම විශ්වාස කළත් ඒක මට ස්ථිරද?’ එම ප්‍රශ්නය අසාගැනීමේ අරමුණ වන්නේ සැකයක් ඇති කරගැනීම නොව ඔබ විශ්වාස කරන දේ ඔබටම තහවුරු කරගැනීමයි. ඔබට මෙවැනි ප්‍රශ්න ගැනද කල්පනා කළ හැකියි. ‘බයිබලය දෙවිගේ බලයෙන් ලියැවුණු පොතක් කියලා විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?’ (2 තිමෝ. 3:16) ‘අපි ජීවත් වන්නේ “අවසාන කාලයේ” කියා මම විශ්වාස කරන්නේ ඇයි?’ (2 තිමෝ. 3:1-5) ‘යෙහෝවා දෙවිගේ ප්‍රමිති පිළිපැදීමෙන් මට යහපතක් වෙනවා කියලා විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?’—යෙසා. 48:17, 18.

7 සමහරවිට එවැනි ප්‍රශ්න ඔබෙන් අසාගැනීමට ඔබ අදිමදි කරන්න පුළුවන්. ඊට හේතුව ඒ සඳහා පිළිතුරු ඔබ දන්නේ නැහැ කියා සිතන නිසා විය හැකියි. එය හරියට තමන්ට බරපතළ රෝගයක් තිබෙන බව තහවුරු වෙයි යන බිය නිසා කෙනෙක් වෛද්‍ය පරීක්ෂණයකට නොයනවා හා සමානයි. නමුත් ඔබට රෝගයක් තිබෙන බව ඔබ හඳුනාගත් විට ඊට ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔබ සිදු කරගන්නේ ඔබටම යහපතක්. ඒ හා සමානව ඔබ විශ්වාස කරන දේ ඔබට ස්ථිර නැත්නම් එය ස්ථිර කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමෙන් ඔබ ඔබටම යහපතක් සිදු කරගන්නවා.—ක්‍රියා 17:11.

8. වේශ්‍යාකමින් වැළකී සිටීමට වූ ඔබගේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නේ කොහොමද කියා පැහැදිලි කරන්න.

8 “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියා බයිබලයේ පවසා තිබෙනවා. ඒ නිසා ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම ඒ ආඥාව පිළිපදින්න ඕනේ ඇයි?’ එමෙන්ම මේ ප්‍රශ්න ගැනද හොඳින් කල්පනා කර බලන්න. ඔබේ මිත්‍රයන් එවැනි හැසිරීමක නියැලීමට හේතු මොනවාද? වේශ්‍යාකම් කරන කෙනෙක් “තම ශරීරයට විරුද්ධව පව්” කරන බව පැවසීමට තිබෙන හේතු මොනවාද? (1 කොරි. 6:18) දැන් ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘කරන්න ඕන නිවැරදිම දේ මොකක්ද? අනාචාරයේ යෙදීමෙන් සිදු වෙන යහපත මොකක්ද? ඒ වගේ දෙයක් කළාට පස්සේ මට කොහොම හැඟෙයිද?’ එවැනි සම්බන්ධයක් පැවැත්වීමෙන් පසුව ඔබට ඔබේ මිතුරන්ගේ ප්‍රසාදය ලැබිය හැකි වුණත් ඔබගේ දෙමාපියන් හා ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ සිටින විට ඔබට කෙසේ හැඟෙයිද? දෙවිට යාච්ඤා කිරීමට උත්සාහ කරන විට ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට වඩා ඔබගේ මිතුරන්ව සතුටු කිරීම වටිනවා කියා ඔබ සිතනවාද?

9, 10. ස්ථිර විශ්වාසයක් ඇතුව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

9 ඔබ යෞවනයෙක් නිසා ඔබ සිටින්නේ කාරණා තර්කානුකූලව අවබෝධ කරගත හැකි හොඳම කාලයේයි. (රෝම 12:1, 2 කියවන්න.) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීම ඔබට මොන තරම් වටිනවාද කියා ගැඹුරින් කල්පනා කිරීමට ඒ කාලය යොදාගන්න. එසේ කල්පනා කිරීමෙන් ඔබගේ විශ්වාසයන් ශක්තිමත් කරගැනීමට ඔබට හැකියි. එවිට මිතුරන්ගෙන් බලපෑම් එල්ල වෙද්දී ස්ථිර විශ්වාසයකින් යුතුව ක්ෂණිකව ඊට ප්‍රතිචාරය දක්වන්න ඔබට පුළුවන්. එක් සහෝදරියක් ක්‍රියා කළේ මේ ආකාරයටයි. “යාළුවන් මට යම් බලපෑම් එල්ල කරද්දී මම ඒක මගේ විශ්වාසයන් ගැන එයාලට කියන්න අවස්ථාවක් කරගන්නවා. මගේ ආගම මට හුඟක් වටිනවා කියලත් මම මගේ මුළු ජීවිතයම ගොඩනඟා ගෙන තියෙන්නේ ඒ අනුව කියලත් එයාලට කියනවා.”

10 නිවැරදි දේට එකඟව ක්‍රියා කිරීමට දැඩි වෑයමක් දරන්න අවශ්‍යයි. (ලූක් 13:24) සමහරවිට එවැනි වෑයමක් දැරීම වටිනවාද කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් මිතුරන්ගෙන් බලපෑම් එල්ල වන විට ඔබ සිටින්නේ දෙගිඩියාවෙන් නම් ඔවුන් ඔබට එල්ල කරන බලපෑම තව තවත් වැඩි කරන්න පුළුවන්. ඒ වෙනුවට ඔබ ස්ථිර විශ්වාසයකින් කතා කරනවා නම් ඔවුන් ඉක්මනින්ම පසුබසින බව ස්ථිරයි.—ලූක් 4:12, 13 බලන්න.

‘පිළිතුරක් දීමට පෙර හොඳින් සිතන්න’

11. මිතුරන්ගෙන් එල්ල විය හැකි බලපෑම්වලට කලින්ම සූදානම් වීමේ ඇති ප්‍රයෝජන මොනවාද?

11 මිතුරන්ගෙන් එල්ල වන බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට හැකි තවත් ක්‍රමයක් වන්නේ ඒ සඳහා කලින්ම සූදානම් වීමයි. (හිතෝපදේශ 15:28 කියවන්න.) ඔබට මුහුණ දීමට සිදු වන සමහර තත්වයන් ගැන උපකල්පනය කිරීම කලින් සූදානම් වීමට ඇතුළත්. එසේ කිරීමෙන් බරපතළ ගැටලු පහසුවෙන් විසඳාගැනීමට හැකි වෙනවා. උදාහරණයකට ඔබේ පාසැලේ මිතුරන් කිහිපදෙනෙක් දුම්පානය කරනවා ඔබ දුර තියා දකිනවා කියා සිතන්න. ඔවුන් අනිවාර්යයෙන්ම ඔබටත් දුම්වැටියක් ලබා දෙන බව ස්ථිරයි. ඔබ කරන්නේ කුමක්ද? හිතෝපදේශ 22:3හි මෙවැනි උපදෙසක් දෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” ඔබට කළ හැකි හොඳම දේ නම් ඔවුන්ව මඟහැර යෑමයි. ඉන් අඟවන්නේ ඔබ බියගුලු කෙනෙක් කියා නොව ඥානවන්තව ක්‍රියා කරන කෙනෙක් කියායි.

12. සමහර අවස්ථාවලදී මිතුරන්ගෙන් එල්ල වන බලපෑමට මුහුණ දිය හැකි ඥානවන්තම ක්‍රමය කුමක්ද?

12 හදිසියේම ඔබට නොසිතූ තත්වයකට මුහුණ දීමට සිදු වුණොත් ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද? උදාහරණයකට, ‘ඔයාට තවමත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් නැද්ද’ කියා ඔබේ මිතුරෙක් ඔබගෙන් ඇසුවොත් ඔබ කරන්නේ කුමක්ද? කොලොස්සි 4:6හි සඳහන් මේ උපදෙසට අනුව ක්‍රියා කිරීම ඥානවන්තයි. “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.” අප මුහුණ දෙන තත්වයට අනුව දෙන පිළිතුර වෙනස් විය හැකියි. එවැනි අවස්ථාවක සමහරවිට ඔබට බයිබලයේ ඇති කරුණු යොදාගෙන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට කෙටි ඍජු පිළිතුරක් එනම් “නැහැ” කියා පමණක් පැවසීම ප්‍රමාණවත් විය හැකියි.

13. පිළිතුරු දිය යුත්තේ කුමන අවස්ථාවේදීද කියා ඔබ තීරණය කරන්නේ කොහොමද?

13 දීර්ඝ විස්තරයක් ලබා දීමෙන් වැඩි යහපතක් සිදු නොවන බව අවබෝධ කරගත් අවස්ථාවලදී යේසුස්ද කෙටි පිළිතුරු ලබා දුන්නා. එමෙන්ම හෙරොද් රජ යේසුස්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු කිසිම පිළිතුරක් ලබා දුන්නේ නැහැ. (ලූක් 23:8, 9) කෙනෙක් ඔබගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසනවා නම් හොඳම දේ විය හැක්කේ නිහඬව සිටීමයි. (හිතෝ. 26:4; දේශ. 3:1, 7) අනික් අතට ඔබ ගැන වැරදි විදිහට කතා කළ කෙනෙකුට දැන් අවංකවම ඔබගේ විශ්වාසයන් ගැන දැනගැනීමට අවශ්‍ය විය හැකියි. උදාහරණයකට ලිංගික කාරණා සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය ගැන යම් පැහැදිලි කිරීමක් ඔහුට හෝ ඇයට අවශ්‍ය විය හැකියි. (1 පේතෘ. 4:4) එවැනි තත්වයකදී භය නොවී බයිබලය මත පදනම් වූ ඔබගේ විශ්වාසයන් පැහැදිලි කරන්න. ඉන් පෙන්වන්නේ “පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී” සිටින බවයි.—1 පේතෘ. 3:15.

14. සමහර අවස්ථාවලදී මිතුරන්ගෙන් එල්ල වන බලපෑම් ඥානවන්තව හසුරුවන්න පුළුවන් කොහොමද?

14 ඔබගේ මිතුරන්ගේ බලපෑම්වලට ඔබ ප්‍රතිචාරය දක්වන ආකාරයෙන් ඔවුන්ට යම් බලපෑමක් කිරීමට ඔබට හැකියි. නමුත් මෙහිදී ඥානවන්තව ක්‍රියා කිරීම වැදගත්. නිදසුනකට ඔබගේ මිතුරා ඔබට දුම්වැටියක් ලබා දෙන විට එය ප්‍රතික්ෂේප කරන අතරම ඔබට මෙසේද පැවසිය හැකියි. “මම හිතුවේ නැහැ ඔයා සිගරට් බොන කෙනෙක් කියලා.” එවැනි පිළිතුරකින් ඔබගේ මිතුරා ඔහු කරන ක්‍රියාව ගැන කල්පනා කිරීමට පෙලඹිය හැකියි. ඔබ දුම්පානය නොකරන්නේ ඇයි කියා හේතු දක්වනවාට වඩා එවැනි ප්‍රතිචාරයක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

15. ඔබ මිතුරන්ගෙන් ඉවත් වී යා යුත්තේ කුමන අවස්ථාවේදීද? ඒ ඇයි?

15 ඔබ කුමක් කළත් ඔබගේ මිතුරන් ඔබට දිගටම බලපෑම් කරනවා නම් කළ හැකි හොඳම දේ වන්නේ එතැනින් ඉවත් වීමයි. ඔබ ඔවුන් සමඟ රැදී සිටින කාලය වැඩි වන තරමට ඔවුන්ගේ බලපෑමට හසු වීමට තිබෙන ඉඩකඩද වැඩියි. එතැනින් ඉවත් වීමෙන් අදහස් කරන්නේ ඔබ පරාජය භාරගත් බව නොවෙයි. ඒ වෙනුවට ඔබ ඒ තත්වයට හොඳින් මුහුණ දී ඉන් ජය ගත් බවයි. ඔබ ඔවුන්ගේ රූකඩයක් බවට පත් වුණේ නැහැ. එමෙන්ම යෙහෝවා දෙවිගේ හදවත සතුටු කිරීමට හැකි වීම ගැනද ඔබට ප්‍රීති විය හැකියි.—හිතෝ. 27:11.

‘සාර්ථක සැලසුම්’

16. ක්‍රිස්තියානීන් අතර සිටින යෞවනයන්ගෙන් පවා බලපෑම් ඇති වෙන්න පුළුවන් කොහොමද?

16 යෙහෝවා දෙවිගේ සෙනඟ අතර සිටින සමහර යෞවනයන්ගෙන් පවා ඔබට බලපෑම් එල්ල විය හැකියි. නිදසුනකට, එවැනි යෞවනයෙක් සැලසුම් කර තිබෙන සාදයකට ඔබ සහභාගි වෙනවා කියා සිතන්න. එම සාදය පවත්වන්නේ වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ නොවන බව ඔබට දැනගැනීමට ලැබෙනවා. ඔබ දැන් කරන්නේ කුමක්ද? එසේත් නැත්නම් ඔබට මෙවැනි තත්වයකටද මුහුණ දීමට සිදු වෙනවා කියා සිතන්න. ඔබ ඇතුළු සාදයට සහභාගි වී සිටින අනික් යෞවනයන් මත්පැන් පානය කිරීම සඳහා නීතියෙන් අනුමත කර ඇති වයසේ පසුවන අය නොවෙයි. නමුත් එම සාදයට යෞවනයෙක් මත්පැන් රැගෙන එනවා ඔබ දුටුවොත් ඔබ කරන්නේ කුමක්ද? බයිබලය මත පුහුණු කරන ලද ඔබේ හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමට සිදු වන එවැනි අවස්ථා ඔබට උදා විය හැකියි. යෞවනියක් මෙවැනි දෙයක් පැවසුවා. “මමයි මගේ නංගියි තව යාළුවෝ ටික දෙනෙකුයි චිත්‍රපටියක් බලන්න ගියා. ඒකේ නරක වචන ගොඩක් තියෙන නිසා අපි නැඟිටලා ආවා. නමුත් අනික් අය ඒක දිගටම බැලුවා. අපි කරපු දේට අපේ අම්මයි තාත්තයි හුඟක් සතුටු වුණා. හැබැයි යාළුවෝ නම් අපි එක්ක තරහෙනුයි හිටියේ. මොකද අපි ආව එකෙන් එයාලා වැරදිකාරයෝ වුණා කියලා එයාලා හිතුවා.”

17. සාදයකට සහභාගි වීමට කලින් යෙදිය යුතු සැලසුම් මොනවාද?

17 ඉහත සඳහන් සිදුවීම්වලින් පැහැදිලි වන්නේ පුහුණු කරන ලද ඔබගේ හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමේදී යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය හැකි බවයි. නමුත් නිවැරදි දේ කිරීමට අධිෂ්ඨාන කරගන්න. ඔබ යම් සාදයකට සහභාගි වෙනවා නම් එහි ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් දේවල් සිදු නොවන විට එතැනින් පිට වීමට සැලසුමක් අතුව ඊට සහභාගි වන්න. සමහර යෞවනයන් ඒ සඳහා කරන්නේ සාදය අතරතුර දෙමාපියන්ට දුරකථන ඇමතුමක් ලබා දී තමන්ව රැගෙන යන ලෙස පැවසීමයි. (ගීතා. 26:4, 5) එවැනි ‘සැලසුම් සාර්ථක වෙනවා.’—හිතෝ. 21:5.

“යෞවන කාලය සතුටින් ගත කරන්න”

18, 19. (අ) ඔබ සන්තෝෂයෙන් සිටිනවා දැකීමට දෙවි කැමති බව ඔබ දන්නේ කොහොමද? (ආ) මිතුරන්ගේ බලපෑම්වලට එරෙහි වන අය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවි කැමති ඔබ සතුටින් ජීවිතය භුක්ති විඳිනවා දැකීමටයි. ඔහු ඔබව නිර්මාණය කර තිබෙන්නේ ඒ ආකාරයටයි. (දේශනාකාරයා 11:9 කියවන්න.) නමුත් ඔබගේ මිතුරන් භුක්ති විඳින ප්‍රීතිය ‘තාවකාලිකයි.’ (හෙබ්‍රෙ. 11:25) ඔබ සෑම දවසකම සතුටින් සිටිනවාට දෙවි කැමති නිසා ඔහුව අසතුටු කිරීම සඳහා යම් පෙලඹීමක් ඇති වන විට ඔහුගේ ප්‍රමිති රැකීමෙන් ඔබටම යහපතක් වන බව අමතක කරන්න එපා.

19 ඔබේ මිතුරන්ගේ කැමැත්ත කිරීමෙන් ඔවුන්ගේ ප්‍රසාදය ලැබුණත් වසර ගණනාවකට පසුව ඔවුන්ට ඔබේ නමවත් මතක තියෙයි කියා සිතන්න බැහැ. නමුත් ඔබ මිතුරන්ගේ බලපෑමට යට නොවී දෙවිගේ කැමැත්ත කරන විට යෙහෝවා දෙවි එය කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහු “අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද” කරන බව නොඅනුමානයි. (මලා. 3:10) ඔබට මිතුරන්ගෙන් එල්ල වන බලපෑමට විරුද්ධ වීමට ශක්තියක් නැහැයි කියා සිතෙන ඕනෑම අවස්ථාවක ඔබට උපකාර කරන්න යෙහෝවා දෙවිට පුළුවන්.

ඔබට මතකද?

• මිතුරන්ගේ බලපෑම කොතරම් ප්‍රබලද?

• ස්ථිර විශ්වාසයකින් සිටීම මිතුරන්ගෙන් ඇති වන බලපෑමට එරෙහි වීමට උපකාරවත් වන්නේ කොහොමද?

• මිතුරන්ගෙන් ඇති වන බලපෑමට මුහුණ දීම සඳහා සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

• දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔබ ගන්නා උත්සාහය ඔහුට වටිනා බව ඔබ දන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

ආරොන් දෙවි කෙනෙකුගේ රූපයක් සෑදුවේ ඇයි?

[10වන පිටුවේ පින්තූරය]

පිළිතුරු දිය යුතු ආකාරය කලින්ම සූදානම් වන්න