Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාගේ පිළිතුර කුමක්ද?

ඔබේ දරුවාගේ පිළිතුර කුමක්ද?

ඔබේ දරුවාගේ පිළිතුර කුමක්ද?

දෙමාපියෙනි: වර්ෂ 2010 ජනවාරි 15වෙනි මුරටැඹ කලාපයේ 16-20 දක්වා පිටුවල සඳහන් ලිපියේ යෞවනයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථා කිහිපයක් දරුවන් සමඟ පෙරහුරු කරන්න කියා අප උනන්දු කළා ඔබට මතක ඇති. ඔබේ දරුවන්ට පාසැලේදී ඇති වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට ඔබට ප්‍රයෝජනවත් තොරතුරු මෙම ලිපියේද සඳහන් වෙනවා. පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ සැන්දෑවේදී මෙහි සඳහන් යෝජනාද පෙරහුරු කිරීමට ඔබට හැකියි.

පාසැල් යන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර දරුවන්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. උපන් දින උත්සවවලට, ජාතික ගීය ගායනා කිරීමට සහ පාසැල් වැඩ පැවරුමක් ලෙස ආගමික හෝ ජාතික උත්සව වෙනුවෙන් විවිධ නිර්මාණ කිරීමට හවුල් නොවන්නේ ඇයි කියා නිතරම වෙනත් ශිෂ්‍යයන් ඔවුන්ගෙන් අසනවා. එවැනි ප්‍රශ්නයක් ඔබේ දුවගෙන් හෝ පුතාගෙන් ඇසුවොත් ඔවුන් ඊට කෙසේ පිළිතුරු දෙයිද?

සමහර සාක්ෂිකාර දරුවන් එවැනි ප්‍රශ්නවලට “මට ඒක කරන්න බැහැ. ඒක මගේ ආගමට විරුද්ධයි” කියා පිළිතුරු දෙනවා. නිර්භීත ලෙස එවැනි පියවරක් ගැනීම ගැන ඒ දරුවන්ට ප්‍රශංසා කළ යුතුයි. එසේ පිළිතුරු දීම නිසා තවදුරටත් ඒ ගැන විස්තර අසන එක නතර කිරීමට ඉඩ තිබෙනවා. නමුත් බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ අපේ බලාපොරොත්තුව ගැන අසන ‘සියලුදෙනාට පිළිතුරු දීමට අප නිතරම සූදානම් වී සිටිය යුතුයි’ කියායි. (1 පේතෘ. 3:15) එසේ කිරීමට නම් “මට ඒක කරන්න බැහැ” කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. අප දක්වන හේතුවට අන් අය එකඟ නොවුණත් අප එම තීරණය ගැනීමට හේතුව දැනගැනීමට ඔවුන් කැමති විය හැකියි.

බොහෝ සාක්ෂිකාර යෞවන දරුවන් ඔවුන්ගේ පාසැලේ මිතුරන් සමඟ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු වැනි ප්‍රකාශනවල ඇති බයිබල් වාර්තා සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් යම් දේවල් කරන්න හෝ නොකරන්න හේතු පැහැදිලි කිරීමට එම වාර්තා ඔවුන්ට ප්‍රයෝජනවත් වන්න ඇති. සමහර ශිෂ්‍යයන් බයිබල් කතන්දරවලට සවන් දීමට හරිම ආසයි. බොහෝ බයිබල් පාඩම් ආරම්භ කිරීමටද ඒ නිසා හැකි වී තිබෙනවා. තවත් ශිෂ්‍යයන් බයිබලයේ සඳහන් කතන්දරයකට සම්පූර්ණයෙන්ම සවන් දීමට අකමැති විය හැකියි. එමෙන්ම දරුවෙකුට යම් පැහැදිලි කිරීමක් නැතුව බයිබලයේ සඳහන් වාර්තාවක් සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට අපහසු විය හැකියි. උදාහරණයකට එකළොස් හැවිරිදි මින්හීට උපන් දින උත්සවයකට මිතුරියක් ආරාධනා කළ විට ඇය මෙසේ පැවසුවා. “අපිට උපන් දිනය සමරන්න කියලා බයිබලයේ කියලා නැහැ. යොහන් බව්තීස්ත කියලා කෙනෙක්ව මැරුවෙත් උපන් දින උත්සවයකදීයි.” නමුත් තමන් කියූ දේ මිතුරියට නොතේරුණු බව මින්හී පැවසුවා.

සමහර අවස්ථාවලදී අපගේ ප්‍රකාශනවල තිබෙන පින්තූර පෙන්වීම හෝ වාර්තාවක් කියවීම ප්‍රයෝජනවත් විය හැකියි. නමුත් ආගමික ප්‍රකාශන පාසැලට රැගෙන ඒමෙන් වළකින්න කියා පාසැල් බලධාරීන් ශිෂ්‍යයන්ට පැවසුවොත් කුමක් කළ යුතුද? ප්‍රකාශනයක් නොමැතිව තම විශ්වාසය ගැන අන් අයට පවසන්න අපගේ දරුවන්ට පුළුවන්ද? ඔවුන්ගේ විශ්වාසයන්ට පක්ෂව කතා කිරීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබට පුළුවන් කොහොමද?

පෙරහුරු කරන්න

දෙමාපියන් පාසැලේ මිතුරන්ගේ චරිතය රඟපාමින් නිවසේ කරන පෙරහුරුවලින් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එසේ පෙරහුරු කරන විට දරුවන් තමන්ගේ විශ්වාසයන්ට පක්ෂව කතා කිරීමට වෑයම් කරද්දී ඔවුන්ට ප්‍රශංසා කරන්න ඔබට හැකියි. එමෙන්ම ඔවුන් ඉදිරිපත් කරන හේතු තවදුරටත් තර්කානුකූලව ඉදිරිපත් කළ හැකි ආකාරයත් එසේ කිරීම සුදුසු වන්නේ ඇයි කියාත් දරුවන්ට පවසන්න ඔබට පුළුවන්. උදාහරණයකට ඔබේ දුවගේ හෝ පුතාගේ වයසේ සිටින අයට තේරුම්ගත හැකි වචන භාවිත කරන්න කියා යෝජනා කරන්න ඔබට හැකියි. අවුරුදු නවයක් වයසැති ජොෂුවා පැවසුවේ, “හෘදය සාක්ෂිය” සහ “පක්ෂපාතකම” වැනි වචන ඔහුගේ මිතුරන්ට නොතේරුණු බවයි. ඒ නිසා ඔවුන් සමඟ කතා කරන විට තේරුම්ගැනීමට පහසු වචන යොදාගන්න ඔහුට සිදු වුණා.—1 කොරි. 14:9.

සමහර දරුවන් ප්‍රශ්නයක් ඇසුවත් ඒ සඳහා ලැබෙන පිළිතුර දීර්ඝ එකක් වුණොත් ඒ ගැන ඔවුන්ට තිබෙන උනන්දුව නැති වී යා හැකියි. ඒ නිසා ඔවුන්ගේ උනන්දුව දිගටම තබාගැනීමට ඔවුන්වත් සාකච්ඡාවට හවුල් කරගන්න සාක්ෂිකාර දරුවන්ට පුළුවන්. එමෙන්ම තොරතුරු තර්කානුකූලව ඉදිරිපත් කරන්නත් දරුවන්ට හැකියි. අවුරුදු දහයක් වන හානියූල් පැවසුවේ, “මගේ යාළුවන්ට ඕනේ සාකච්ඡාවක් මිසක් දේශනයක් නෙවෙයි.” සාකච්ඡාවක් කරගෙන යෑමට නම් ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න. ඔවුන් දෙන පිළිතුරුවලට හොඳින් සවන් දෙන්න.

තම විශ්වාසයන් ගැන සාක්ෂිකාර දරුවන් ඔවුන්ගේ මිතුරන් සමඟ කරන සංවාදයන් කිහිපයක් පහත සඳහන් වෙනවා. සෑම දරුවෙක්ම එකිනෙකාට වෙනස් නිසාත් තත්වයන් විවිධ වූ විට දක්වන ප්‍රතිචාරයන් වෙනස් වන නිසාත් පහත සඳහන් සංවාදයන් කටපාඩම් කරගැනීම අවශ්‍ය නැහැ. ඒ නිසා එහි අදහස මනසට ගෙන තම මිතුරාගේ තත්වයට හා ඒ අවස්ථාවට අනුව තමන්ගේම වචනවලින් පිළිතුරු දීමට දරුවන්ට හැකියි. ඔබට පාසැල් යන දරුවන් සිටී නම් මෙම සංවාදයන් ඔවුන් සමඟ පෙරහුරු කරන්න.

දරුවන්ව පුහුණු කිරීමට කාලයක් ගත වන අතර ඒ සඳහා වෑයමක් දැරීමත් අවශ්‍යයි. බයිබල් ප්‍රමිති දරුවන්ට උගන්වන්නත් ඒ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට ඔවුන්ව පොලඹවන්නත් ඔබ කැමති වන බව නිසැකයි.—ද්වි. 6:7; 2 තිමෝ. 3:14.

පවුලේ නමස්කාරයට වෙන් කළ සැන්දෑවේදී පහත සඳහන් සංවාදයන් ඔබේ දරුවන් සමඟ පෙරහුරු කරන්න. එය බොහෝ ප්‍රයෝජනවත් බව ඔබට වැටහේවී. මෙයත් මතක තබාගන්න. පෙරහුරු කිරීමේ අරමුණ වන්නේ ප්‍රතිචාරය දක්වන ආකාරය හෝ පැවසිය යුතු වචන කටපාඩම් කිරීම නොවෙයි. එක් සංවාදයක් කිහිපවිටක්ම පෙරහුරු කරන්න ඔබට පුළුවන්. ඒ අවස්ථාවලදී ඔබ දක්වන ප්‍රතිචාර වෙනස් කර දරුවා ඒවාට පිළිතුරු දෙන ආකාරය නිරීක්ෂණය කරන්න. දරුවන් තමන්ගේ විශ්වාසයන්ට හේතු ඉදිරිපත් කරන විට සාධාරණ හා කල්පනාකාරී වීමට ඔවුන්ට උපකාර කරන්න. ඔබ එසේ කරන විට ශිෂ්‍යයන්ට, අසල්වාසීන්ට සහ ගුරුවරුන්ට තමන් විශ්වාස කරන දේවලට හේතු ඉදිරිපත් කරන ආකාරය ඔබේ දරුවන්ට උගන්වන්න ඔබට හැකි වේවි.

[4වන පිටුවේ කොටුව⁄පින්තූර]

උපන් දින උත්සව

පියුමි: කපිල ඔයා මගේ උපන් දිනේට එන්න ඕනේ.

කපිල: මට එන්න කියලා කිව්වට ස්තුතියි. ඒත්, ඇයි ඔයා ඔයාගේ උපන් දිනය වෙනුවෙන් උත්සවයක් ගන්නේ.

පියුමි: ඇයි අනේ ඒක මම ඉපදුණ දවසනේ. ඇයි ඔයා උපන් දිනය සමරන්නේ නැද්ද?

කපිල: නැහැ.

පියුමි: ඇයි ඒ? ඔයා පාටිවලට කැමති නැද්ද?

කපිල: මම කැමතියි. ඒත් මේක උපන් දින පාටියක්නේ. මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මම අනුගමනය කරන්නේ යේසුස්වයි. යේසුස් කවදාවත් එයාගේ උපන් දිනය සැමරුවේ නැහැ. ඒ නිසා මමත් මගේ උපන් දිනය සමරන්නේ නැහැ.

පියුමි: ඒ කියන්නෙ ඔයා මගේ උපන් දින පාටියට එන්නේ නැද්ද? තෑගි ගේන්න ඕනේ නැහැ. ඔයා නිකං එන්න.

කපිල: ඒත් බැහැ, මට ඕනේ බයිබලයේ කියලා තියෙන විදිහට කරන්නයි. යේසුස් වගේම එයාගේ ගෝලයනුත් උපන් දින සැමරුවේවත් ඒ වගේ උත්සවවලට ගියේවත් නැහැ. ඒ නිසා මං එන්නේ නැහැ, මාත් එක්ක තරහා වෙන්න එපා.

පියුමි: ඔයා කියන්නේ මට උපන් දින උත්සවක් ගන්න එපා කියලද?

කපිල: ඒක ඔයාගේ තීරණයක්. අපේ පවුලේ අය නම් උපන් දින සමරන්නේ නැහැ කියලා තීරණය කරලයි තියෙන්නේ.

පියුමි: ඒක නෙවෙයි ඔයාට අම්මියි තාත්තියිගෙන් තෑගි ලැබෙන්නේ නැද්ද?

කපිල: මට එයාලා තෑගි දෙනවා. හැබැයි ඒකට උපන් දිනය එනකං එයාලා බලං ඉන්නේ නැහැ. අම්මිටයි තාත්තිටයි හිතෙන ඕන වෙලාවක එයාලා මට තෑගි දෙනවා. ඒක නෙමෙයි උපන් දිනය උත්සවයක් විදිහට සමරන්න පටන්ගත්තේ කොයි කාලේද කියලා ඔයා දන්නවාද?

පියුමි: නැහැනේ.

කපිල: ගොඩක් ඉස්සර පැවැත්වූ උපන් දින උත්සවයක් ගැන මම ඔයාට හෙට කියලා දෙන්නම්.

ජාතික ගීය ගායනා කිරීම

සාලිය: ජාතික ගීය කියද්දී ඔයා නැඟිටලා සීරුවෙන් ඉන්නේ නැත්තේ ඇයි? අනිත් එක මම දැකලා නැහැ ඔයා ජාතික ගීය කියනවා. ඒ ඇයි?

සුදත්: ඔයා මගෙන් ඒ ප්‍රශ්නේ අහපු එක හොඳයි. මට කියන්නකෝ ඔයා එහෙම කරන්නේ ඇයි කියලා.

සාලිය: මං මගේ රටට ආදරෙයි. මං හිතන්නේ උතුම්ම රට මගේ රට කියලයි.

සුදත්: මමත් මගේ රටට ආදරෙයි. හැබැයි මට කොයි රටත් එකයි. මොකද දෙවි සලකන්නෙත් එහෙමයි. මිනිසුන්ගේ රට ජාතිය මොකක් වුණත් දෙවි හැමෝටම සලකන්නේ එක හා සමානවයි.

සාලිය: ඔයා ඕනෑවට වඩා හිතනවා නේද?

සුදත්: මං විතරක් නෙවෙයි, ඒ වගේ හිතපු තවත් අය හිටියා. ඒ අය ගැන බයිබලයේ කියලා තියෙනවා. රජ කෙනෙක් තරුණයන් තුන්දෙනෙකුට රට නියෝජනය කරන කුලුනකට වඳින්න කිව්වා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒත් ඒ තුන්දෙනා එගොල්ලන්ව මැරුවත් ඒකට වඳින්නේ නැහැ කියලා කිව්වා.

සාලිය: ඊටපස්සේ ඒගොල්ලන්ට මොකද වුණේ?

සුදත්: විවේක වෙලාවෙදී මම ඒ ගැන කියන්නම්.

ශිෂ්‍ය දේශපාලනය

මලිත්: ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරද්දී ඔයා ඡන්දේ දෙන්නේ කාටද?

රනිඳු: මම කාගෙවත් පැත්ත ගන්නේ නැහැ.

මලිත්: ඇයි ඒ?

රනිඳු: මම ක්‍රිස්තියානියෙක් නිසා මට දැනටමත් නායකයෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස්. ඒ නිසා මට තව නායකයෙක් අවශ්‍ය නැහැ. ඒක නෙවෙයි යේසුස් ක්‍රිස්තුස්ව ශ්‍රේෂ්ඨතම නායකයා කියලා මම පිළිගන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?

මලිත්: නැහැ, මට ඒක දැනගන්න අවශ්‍ය නැහැ.

රනිඳු: නමුත් ඔයාට කවදාහරි ඒ ගැන දැනගන්න ඕන වුණොත් මගෙන් අහන්නකෝ.

[පින්තූරය]

“කපිල ඔයා මගේ උපන් දිනයට එන්න ඕනේ”

[3වන පිටුවේ පින්තූරය]

“ඔයා ජාතික ගීය කියන්නේ නැත්තේ ඇයි?”