Skip to content

පටුනට යන්න

දෙවිගේ බලයේ උපකාරයෙන් පීඩා ජය ගනිමු

දෙවිගේ බලයේ උපකාරයෙන් පීඩා ජය ගනිමු

දෙවිගේ බලයේ උපකාරයෙන් පීඩා ජය ගනිමු

“මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලි. 4:13.

1. දෙවිගේ සෙනඟ පීඩාවලට මුහුණ දෙන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සෙනඟ බොහෝ අවස්ථාවලදී විවිධ පීඩාවලට මුහුණ දෙනවා. සමහර පීඩා ඇති වෙන්නේ පාපය උරුම වී ඇති නිසයි. තවත් ඒවා අප ජීවත් වන නපුරු කාලය නිසා ඇති වෙනවා. දෙවිට සේවය කරන අය සහ ඔහුට සේවය නොකරන අය අතර තිබෙන සතුරුකම නිසාත් පීඩා ඇති වෙනවා. (උත්. 3:15) නමුත් ආගම නිසා ඇති වන පීඩාවලට, මිතුරන්ගේ බලපෑම්වලට සහ දුෂ්කර අවස්ථාවන්වලට සාර්ථකව මුහුණ දෙන්න ඉතිහාසයේ සිටම දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට උපකාර කර තිබෙනවා. අද දිනත් අපට උපකාර කරන්න ඔහුට හැකියි.

ආගම නිසා ඇති වෙන පීඩා ජය ගැනීමට

2. ආගම නිසා ඇති කරන පීඩාවල අරමුණ කුමක්ද? එවැනි පීඩා එල්ල කරන්නේ කොහොමද?

2 කෙනෙකු අදහන ආගම නිසා අන් අය විසින් හිතාමතාම ඒ පුද්ගලයාට හිරිහැර කළ හැකියි. ඔවුන්ගේ අරමුණ වන්නේ එම ආගම නැත්තටම නැති කර දැමීම, එය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම හෝ එම ආගම අදහන අයගේ විශ්වාසයන් කඩා බිඳ දැමීමයි. ඒ සඳහා ඔවුන් ඍජුවම හෝ සූක්ෂ්ම ආකාරයෙන් පීඩා එල්ල කළ හැකියි. එසේනම් බයිබලයේ සාතන්ව තරුණ සිංහයෙකුට හා නාගයෙකුට සමාන කර තිබීම ගැන අප පුදුම නොවිය යුතුයි.ගීතාවලිය 91:13 කියවන්න.

3. සාතන් සිංහයෙකු මෙන් සහ නාගයෙකු මෙන් පීඩා කරන බව පවසන්න පුළුවන් කොහොමද?

3 දෙවිගේ සෙනඟට හිංසා කිරීමෙන්, ඔවුන්ව සිරගත කිරීමෙන් හෝ ඔවුන්ගේ වැඩ තහනම් කිරීමෙන් සාතන් ඍජුව රෞද්‍ර සිංහයෙකු මෙන් පීඩා එල්ල කරනවා. (ගීතා. 94:20) ඒ ආකාරයෙන් සාතන් ගෙන එන පීඩා ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ සඳහන් වී තිබෙනවා. ආගමික නායකයන් හෝ දේශපාලන අන්තවාදීන්ගේ උසිගැන්වීම නිසා දාමරික කණ්ඩායම් දෙවිගේ සෙනඟට පීඩා කරනවා. සාතන් සිංහයෙක් මෙන් ඍජුවම සිදු කරන එවැනි පීඩා නිසා ටිකදෙනෙක් ඔවුන්ගේ විශ්වාසය අත්හැර තිබෙනවා. එමෙන්ම සාතන් නාගයෙකු මෙන් සැඟවී සිටද ප්‍රහාර එල්ල කරනවා. ඔහු එසේ කරන්නේ මිනිසුන්ගේ මනස් දූෂ්‍ය කර කපටි ලෙස ඔහුගේ පැත්තට නම්මවාගැනීමෙනුයි. ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය දුර්වල කර හෝ ඒ ගැන සැක ඇති කර අපව දෙවිගෙන් ඈත් කිරීමයි. නමුත් දෙවිගේ බලයේ උපකාරය ඇතුව ඕනෑම පීඩාවකට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන්.

4, 5. පීඩාවලට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය කුමක්ද? ඒ ඇයි? උදාහරණයක් දෙන්න.

4 අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි පීඩාවන් මොනවාද කියා කලින්ම සිතා බැලීම ඊට සූදානම් විය හැකි හොඳම ක්‍රමය නොවෙයි. මන්ද අනාගතයේදී කුමන පීඩා ඇති වෙයිද කියා අප හරියටම දන්නේ නැහැ. ඒ නිසා සිදු වෙයිද නැද්ද කියා ස්ථිර නැති දෙයක් ගැන කනස්සලු වීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට අපට කළ හැකි දෙයක් තිබෙනවා. තමන්ට පැමිණි පීඩාවලට බොහෝදෙනෙක් සාර්ථකව මුහුණ දී තිබෙන්නේ බයිබලයේ සඳහන් දෙවිට විශ්වාසවන්ත අයගේ ආදර්ශ ගැන කල්පනා කිරීමෙන් සහ යේසුස්ගේ ඉගැන්වීම් මෙන්ම ඔහුගේ ආදර්ශය ගැන කල්පනා කිරීමෙනුයි. එමගින් යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි කරගැනීමට හැකි වී තිබෙනවා. ඕනෑම පීඩාවකට සාර්ථකව මුහුණ දෙන්න එම ප්‍රේමය ඔවුන්ට උපකාර වී තිබෙනවා.

5 මලාවිවල අපගේ සහෝදරියන් දෙදෙනෙකුට මුහුණ දීමට සිදු වූ මේ අද්දැකීම සලකා බලන්න. දේශපාලන පක්ෂයක සාමාජික කාඩ්පත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ නිසා එම සහෝදරියන් දෙදෙනාට කලහකාරී පිරිසක් පහර දී ඔවුන්ගේ ඇඳුම් ගලවා දැමුවා. එමෙන්ම ඔවුන්ව දූෂණය කරන බවටද තර්ජනය කළා. බෙතෙල් පවුලේ සාමාජිකයන්ද එම කාඩ්පත් මිල දී ගත් බව බොරුවට පවසමින් එම පිරිස අපගේ සහෝදරියන්ව රැවටීමට උත්සාහ කළා. නමුත් සහෝදරියන් දෙදෙනා ඊට මෙසේ පිළිතුරු දුන්නා. “අපි සේවය කරන්නේ යෙහෝවා දෙවිටයි. ඉතින් බෙතෙල් එකේ අය කාඩ් මිල දී ගත්තා කියලා අපේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා අපිව මැරුවත් අපි අපේ තීරණය වෙනස් කරගන්නේ නැහැ.” ඔවුන් නිර්භීතව එසේ පැවසූ පසු ඔවුන්ව නිදහස් කළා.

6, 7. පීඩාවලට මුහුණ දෙන්න දෙවි ඔහුගේ සෙනඟට උපකාර කරන්නේ කොහොමද?

6 තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන් දෙවිගේ පණිවිඩය පිළිගත් නිසා “බොහෝ පීඩාවලට” මුහුණ දුන්නත් ‘දෙවිගේ බලය නිසා ඔවුන් එය ප්‍රීතියෙන් පිළිගත්’ බව පාවුල් පැවසුවා. (1 තෙස. 1:6) අතීතයේදී හා වර්තමානයේදී පීඩාවලට මුහුණ දුන් බොහෝ ක්‍රිස්තියානීන්ගේ අද්දැකීම වී තිබෙන්නේ ඔවුන්ගේ පීඩාව දරුණුතම අවස්ථාවට පැමිණෙන විට ඔවුන්ට මහත් සමාදානයක් දැනී ඇති බවයි. ඔවුන්ට සමාදානය දැනුණේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වූ නිසයි. (ගලා. 5:22) ඔවුන්ට දැනුණ සාමාදානය නිසා ඔවුන්ගේ හදවත හා මනස ආරක්ෂා කරගන්න හැකි වී තිබෙනවා. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්නත් විවිධ අසීරුතා ඇති වන විට ඥානවන්තව ක්‍රියා කරන්නත් ඔහුගේ බලය ලබා දෙනවා. *

7 දැඩි පීඩා යටතේ වුණත් දෙවිගේ සෙනඟ ඔහුට විශ්වාසවන්තව සිටින ආකාරය දකින බොහෝදෙනා ඒ ගැන පුදුම වෙනවා. පීඩාවලට මුහුණ දෙන අවස්ථාවලදී අසාමාන්‍ය ශක්තියක් ලැබුණු බව දෙවිගේ සෙනඟට දැනී තිබෙනවා. පේතෘස් ඒ ගැන පවසන්නේ “ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම් ඒ ගැන සතුටු වන්න. මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ” කියායි. (1 පේතෘ. 4:14) දෙවිගේ ප්‍රමිති රකින විට අපට පීඩා ඇති වෙනවා නම් ඉන් අදහස් කරන්නේ දෙවිගේ අනුමැතිය අපට ලැබී ඇති බවයි. (මතෙ. 5:10-12; යොහ. 15:20) දෙවිගේ අනුමැතිය ලැබී තිබෙන බව දැනගැනීම මොන තරම් ප්‍රීතියක්ද!

මිතුරන්ගේ බලපෑම්වලට හසු නොවීමට

8. (අ) මිතුරන්ගේ බලපෑම්වලට හසු නොවී සිටීමට යොෂුවාට සහ කාලෙබ්ට උපකාර කළේ කුමක්ද? (ආ) යොෂුවා සහ කාලෙබ්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

8 ක්‍රිස්තියානීන්ට මිතුරන්ගෙන් එල්ල වන බලපෑම්වලටද මුහුණ දීමට සිදු වෙනවා. කෙසේවෙතත් අපට සමච්චල් කරන අයගේ සහ අපට විරුද්ධව අසත්‍යය පතුරුවන අයගේ බලපෑම්වලට සාර්ථකව මුහුණ දෙන්නත් සමාජයේ මතයට එකඟ වෙන්න කරන බලපෑම්වලට විරුද්ධ වෙන්නත් අපට පුළුවන්. මන්ද විශ්වයේ තිබෙන ප්‍රබලතම බලය වන දෙවිගේ බලයේ උපකාරය අපට ලැබෙනවා. උදාහරණයකට කානාන් දේශයේ තොරතුරු සොයා බැලීමට ගිය අනික් දහදෙනාට වඩා යොෂුවා සහ කාලෙබ් වෙනස් “ආකල්පයක්” දැරුවේ ඇයි? දෙවිගේ බලය ඔවුන් තුළ ප්‍රබලව ක්‍රියාත්මක වූ නිසයි.ගණන් කතාව 13:30; 14:6-10, 24 කියවන්න.

9. සැබෑ ක්‍රිස්තියානීන් අන් අයට වඩා වෙනස්ව ක්‍රියා කරන්න කැමති විය යුත්තේ ඇයි?

9 සැබෑ ආගම උගන්වනවා කියා බොහෝදෙනා පිළිගත් ගුරුවරුන්ට කීකරු වෙනවාට වඩා දෙවිට කීකරු වීමට යේසුස්ගේ ගෝලයන්ට අවශ්‍ය ශක්තිය දෙවිගේ බලය තුළින් ලැබුණා. (ක්‍රියා 4:21, 31; 5:29, 32) සාමාන්‍යයෙන් සමාජයෙන් එල්ල වන පීඩනය අවම කරගැනීම සඳහා බොහෝදෙනා ඔවුන් අවට සිටින අය කැමති දේ කරනවා. නමුත් සැබෑ ක්‍රිස්තියානීන් නම් නිතරම උත්සාහ කරන්නේ නිවැරදි දේ කිරීමටයි. එසේ කිරීමට නම් ඔවුන් මිනිසුන්ට බිය නොවී සිටිය යුතුයි. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ බලයේ උපකාරය ලැබෙනවා. (2 තිමෝ. 1:7) මිතුරන්ගෙන් එල්ල වන බලපෑම්වලට හසු නොවී සිටිය හැකි එක් ආකාරයක් ගැන දැන් අපි සලකා බලමු.

10. ක්‍රිස්තියානියෙකුට මුහුණ දීමට සිදු විය හැකි ප්‍රශ්නය කුමක්ද?

10 තම ක්‍රිස්තියානි මිතුරා දෙවිගේ ප්‍රතිපත්ති කඩ කරනවා දකින යෞවනයෙක් විශාල ප්‍රශ්නයකට මැදි විය හැකියි. තම මිතුරා කළ දේ වැඩිමහල්ලන්ට පැවසුවොත් එය මිතුරාට ද්‍රෝහි වීමක් කියා ඔහු සිතන්න පුළුවන්. ඒ නිසා ඔහු නිහඬව සිටිය හැකියි. ඒ වගේම තමන් කළ දේ කාටවත් නොකියන්න කියා මිතුරා ඔහුට බලපෑම්ද කළ හැකියි. මෙවැනි තත්වයක් යෞවනයන්ට පමණක් සීමා වූ එකක් නොවෙයි. වැඩිහිටියන් පවා තම පවුලේ කෙනෙක් හෝ මිත්‍රයෙක් කළ වරදක් වැඩිමහල්ලන්ට පැවසීමට පසුබට විය හැකියි. නමුත් එවැනි අවස්ථාවකදී සැබෑ ක්‍රිස්තියානියෙක් ක්‍රියා කළ යුත්තේ කොහොමද?

11, 12. තමන් කළ වරද හෙළි නොකරන්න කියා සභාවේ කෙනෙක් ඔබට පැවසුවොත් කළ යුතු හොඳම දේ කුමක්ද? ඒ ඇයි?

11 මේ උදාහරණය සලකා බලන්න. තම සභාවේ යහළුවෙක් වන දමිත් කාමුක දර්ශන නරඹන බව රංග දැනගන්නවා. දමිත් කරන්නේ වරදක් බව රංග ඔහුට පවසනවා. එහෙත් දමිත් එය ගණනකටවත් ගන්නේ නැහැ. ගැටලුව ගැන වැඩිමහල්ලන්ට කියන්න කියාත් ඔහු දමිත්ට පවසනවා. දමිත් ඒ අවස්ථාවේදී රංගට මෙසේ පැවසිය හැකියි. ‘අපි දෙන්නා හොඳ යාළුවොනේ. ඒ නිසා මේක වැඩිමහල්ලන්ට කියන්න ඕනෙ නැහැ.’ තම මිත්‍රයා තරහා වෙයි කියා රංග එය වැඩිමහල්ලන්ට පැවසීමට බිය විය යුතුද? තමන් එසේ කළේ නැහැ කියා දමිත් පැවසුවොත්, වැඩිමහල්ලන් කවුරුන්ව විශ්වාස කරයිද කියා සමහරවිට රංග කල්පනා කරන්න ඉඩ තිබෙනවා. කෙසේවෙතත් රංග නිහඬව සිටියොත් කිසි යහපතක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වන්නේ දමිත්ට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය නැති වී යෑම පමණයි. ඒ නිසා “මනුෂ්‍යයන්ට භය වීම උගුලකි. නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ” යන බයිබල් පදය රංග මතකයට නඟාගැනීම වැදගත්. (හිතෝ. 29:25) තවදුරටත් ඔහුට කුමක් කළ හැකිද? දමිත්ට ඉතා ප්‍රේමණීයව ඔහුගේ වරද නැවත පහදා දිය හැකියි. ඒ සඳහා රංගට ධෛර්යය අවශ්‍ය වෙනවා. සමහරවිට මේ අවස්ථාවේදී දමිත් හොඳ ප්‍රතිචාරයක් දැක්විය හැකියි. වැඩිමහල්ලන් සමඟ කතා කරන්න කියා දමිත්ව නැවතත් දිරිගන්වන්න රංගට පුළුවන්. නමුත් සාධාරණ කාලයක් තුළ එසේ නොකළොත් තමන් එය වැඩිමහල්ලන්ට දැනුම් දෙන බව දමිත්ට පවසන්න රංගට පුළුවන්.—ලෙවී. 5:1.

12 සමහරවිට ඔබත් එවැනි අවස්ථාවකට මුහුණ දී සිටිනවා විය හැකියි. ඔබේ මිතුරාට උපකාර කිරීමට ඔබ ගත් උත්සාහය ඔහු මුලදී අගය නොකරන්න ඉඩ තිබෙනවා. නමුත් කාලයක් යන විට ඔබ ක්‍රියා කළේ ඔබේ මිතුරාගේ යහපත වෙනුවෙන් කියා ඔහුට අවබෝධ විය හැකියි. ඔබේ මිතුරාට ලැබෙන උපකාරය ඔහු පිළිගතහොත් දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරුව නිර්භීතව ක්‍රියා කිරීම ගැන ඔහු ඔබව අගය කළ හැකියි. අනික් අතට මිතුරාට උපකාර කරන්න කියා ඔබ වැඩිමහල්ලන්ට පැවසූ නිසා ඔහු ඔබ සමඟ කෝප වී සිටිනවා විය හැකියි. එවැනි කෙනෙක්ව ඔබේ මිතුරෙක් ලෙස දිගටම තබාගන්න අවශ්‍යද? කළ යුතු නිවැරදිම දේ වන්නේ අපගේ හොඳම මිතුරා වන යෙහෝවා දෙවිව සතුටු කිරීමයි. අපගේ ජීවිතයේ අප දෙවිට මුල් තැන දෙනවා නම් දෙවිට ප්‍රේම කරන අය අප සමඟ සැබෑ මිත්‍රත්වයක් ඇති කරගන්නවා. වරදක් දිගටම සිදු වීමට ඉඩහැරීම මගින් සාතන්ට ක්‍රිස්තියානි සභාවට ඇතුල් වීමට කිසි ඉඩක් නොදිය යුතුයි. එසේ ඉඩහැරියොත් අප දෙවිට දුක් දෙනවා. සභාව පවිත්‍රව තබාගැනීමට ක්‍රියා කිරීමෙන් දෙවිට දුක් නොදී සිටින්න අපට පුළුවන්.—එෆී. 4:27, 30.

ඕනෑම දුෂ්කර අවස්ථාවක් ජය ගැනීමට

13. අපට මුහුණ දීමට සිදු වන දුෂ්කරතාවන් මොනවාද? වර්තමානයේ ඒවා බහුලව පවතින්නේ ඇයි?

13 ආර්ථික ප්‍රශ්න, රැකියාව අහිමි වීම, ස්වාභාවික විපත්, අප ආදරය කළ කෙනෙකුගේ වියෝව හා අසනීප වැනි විවිධාකාර දුෂ්කරතාවන්ට මුහුණ දීමට අප හැමෝටම සිදු වෙනවා. එසේ වන්නේ අප ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ ජීවත් වන නිසයි. (2 තිමෝ. 3:1) එවැනි අවස්ථාවලදී අප බිය විය යුතු නැහැ. ඕනෑම දුෂ්කරතාවකට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දෙවි ඔහුගේ බලය තුළින් අපට ලබා දෙනවා.

14. දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න යෝබ්ට ශක්තිය ලැබුණේ කොහොමද?

14 යෝබ් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ඔහුට තම ආදායම් මාර්ග, දරුවන්, මිත්‍රයන්, යහපත් සෞඛ්‍යය නැති වුණා පමණක් නොව ඔහුගේ භාර්යාවත් දෙවිට දක්වන විශ්වාසය අත්හැරියා. (යෝබ් 1:13-19; 2:7-9) ඒ වුණත් යෝබ්ව සනසන්න හොඳ මිතුරෙක් ඔහුට සිටියා. ඔහුගේ නම එලිහු. ඔහු මාර්ගයෙන් යෙහෝවා දෙවි යෝබ්ව මෙසේ සැනසුවා. “දෙවිගේ විස්මිත ක්‍රියා වෙත ඔබේ සිත යොමු කරන්න.” (යෝබ් 37:14) යෝබ් අද්දැක්ක දුෂ්කරතාවන් විඳදරාගන්න ඔහුට උපකාර කළේ කුමක්ද? එමෙන්ම අප අද්දකින දුෂ්කරතා විඳදරාගන්න අපට උපකාර කරන්නේ කුමක්ද? දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් නිර්මාණය කළ දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීම ඒ සඳහා උපකාරයක්. (යෝබ් 38:1-41; 42:1, 2) ඒ වගේම යෙහෝවා දෙවි අප එක් එක් කෙනාට පෞද්ගලිකව සැලකිල්ල දක්වා ඇති අවස්ථාවන් ගැනද අපට කල්පනා කරන්න පුළුවන්. එදා මෙන් අදත් දෙවි අප ගැන සැලකිලිමත් වෙනවා.

15. පීඩා විඳදරාගන්න පාවුල්ට අවශ්‍ය ශක්තිය ලැබුණේ කොහොමද?

15 දෙවිට දැක්වූ විශ්වාසවන්තකම නිසා ජීවිතයට තර්ජනයක් එල්ල කළ දුෂ්කරතා රැසක් විඳදරාගන්න පාවුල්ට සිදු වුණා. (2 කොරි. 11:23-28) එවන් අවස්ථාවලදී අධෛර්යයට පත් නොවී සිටින්න පාවුල්ට හැකි වුණේ කොහොමද? ඒ, ඔහු දෙවිට යාච්ඤා කළ නිසා හා දෙවි කෙරෙහි රඳා සිටි නිසයි. ඔහුට ඇති වූ පීඩා දරාගන්න අමාරුම අවස්ථාවලදී සිදු වූ දේ ගැන පාවුල් මෙසේ ලිව්වා. “ස්වාමීන් මා ළඟ සිටිමින් මාව බලවත් කළේය. ප්‍රතිඵලයක් ලෙස දේශනා කිරීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට මට හැකි වූ අතර එයට සවන් දීමට සියලුම ජාතීන්ට අවස්ථාවක් ලැබිණ. මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.” (2 තිමෝ. 4:17) තමන් ලද අද්දැකීම් නිසා කිසි දෙයක් ගැන “කනස්සලු” නොවන්න කියා සෙසු ක්‍රිස්තියානීන්ට නිසැකකමින් පවසන්න පාවුල්ට හැකි වුණා.ෆිලිප්පි 4:6, 7, 13 කියවන්න.

16, 17. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට දුෂ්කරතාවන්ට මුහුණ දීම සඳහා ශක්තිය දෙන බව පෙන්වන උදාහරණයක් දෙන්න.

16 පුරෝගාමියෙක් වන රොක්සානා, යෙහෝවා දෙවි තම සෙනඟව රැකබලා ගන්නා ආකාරය හොඳින් දැක තිබෙන අයගෙන් එක් කෙනෙක්. ඇය ඇගේ රැකියා ස්ථානයේ ස්වාමියාගෙන් සමුළුවට සහභාගි වීම සඳහා දින කිහිපයක නිවාඩුවක් ඉල්ලුවා. ස්වාමියා කෝපයෙන් පැවසුවේ නිවාඩු ගත්තොත් ඇයව අස් කරනවා කියායි. තම රැකියාව ආරක්ෂා කර දෙන්න කියා උනන්දුවෙන් දෙවිට යාච්ඤා කර ඉතා සන්සුන්ව රොක්සානා එතැනින් පිට වී ගියා. සමුළුවට සහභාගි වීමෙන් පසු සඳුදා ඇය රැකියා ස්ථානයට පැමිණි විට ස්වාමියා ඇයව රැකියාවෙන් පහ කර තිබුණා. එවිට රොක්සානාට ලොකු දුකක් දැනුණා. ඇයට අඩු වැටුපක් ලැබුණත් ඇගේ පවුල රැකබලා ගැනීම සඳහා ඇයට එම රැකියාව අත්‍යවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදීත් ඇය දෙවිට යාච්ඤා කළා. සමුළුව තුළින් දෙවිට තමාව පෝෂණය කරන්න හැකි නම් තමාගේ අනිකුත් අවශ්‍යතාවන්ද ලබා දෙන්න දෙවිට හැකියි කියා ඇය සිතුවා. ඇය නැවත නිවස බලා පැමිණෙන අතරතුර පළපුරුදු ජුකී මැෂින් ක්‍රියාකරවන්නන් සඳහා “ඇබෑර්තු ඇත” කියා සඳහන් දැන්වීමක් දුටුවා. පසුව ඇය ඊට අයැදුම් කළා. ඇයට පළපුරුද්දක් නොමැති බව කළමනාකරු අවබෝධ කරගත්තත් ඇයට රැකියාව ලබා දී කලින් ලැබුණු වැටුප මෙන් දෙගුණයකට ආසන්න වැටුපක් දෙන්නත් පොරොන්දු වුණා. ඒ අවස්ථාවේදී ඇයට දැනුණේ තමාගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණු බවයි. කෙසේවෙතත් ඇයට ලැබුණු ලොකුම ආශීර්වාදය ලෙස ඇය සැලකුවේ අලුතින් රැකියා කළ ස්ථානයේ සිටි අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබුණු අවස්ථාවයි. ඒ නිසා එම ආයතනයේ කළමනාකරු ඇතුළු පස්දෙනෙක් බයිබලය පාඩම් කර බව්තීස්ම වුණා.

17 සමහරවිට ක්ෂණිකව හෝ අප සිතන විදිහටම අපගේ යාච්ඤාවලට පිළිතුරු නොලැබිය හැකියි. එසේ සිදු වීමට හොඳ හේතුවක් තිබෙන බවට කිසිම සැකයක් නැහැ. මන්ද යෙහෝවා දෙවි ඒ සඳහා හේතුව දන්නා අතර එය ඉදිරියේදී අපට අවබෝධ විය හැකියි. නමුත් යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව කිසි දිනක අත්හරින්නේ නැහැ කියා අපට සහතික විය හැකියි.—හෙබ්‍රෙ. 6:10.

පීඩා සහ වැරදි පෙලඹීම් ජය ගැනීම

18, 19. (අ) පීඩා සහ වැරදි පෙලඹීම්වලට මුහුණ දෙන්න අපට සිදු වෙන්නේ ඇයි? (ආ) ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

18 අධෛර්යය වීම, වැරදි පෙලඹීම්, පීඩා හා මිතුරන්ගේ බලපෑම් වැනි දේවලට මුහුණ දීමට සිදු වීම ගැන දෙවිගේ සේවකයන් පුදුම වෙන්නේ නැහැ. ඊට හේතුව බොහෝදෙනෙක් අපට වෛර කිරීමයි. (යොහ. 15:17-19) දෙවිට සේවය කරන විට අපට මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගන්න දෙවි ඔහුගේ බලයේ උපකාරය අපට ලබා දෙනවා. වැරදි පෙලඹීම්වලින් යටපත් වීමට යෙහෝවා දෙවි කිසි දිනක අපට ඉඩ දෙන්නේ නැහැ. (1 කොරි. 10:13) දෙවි කිසි දිනක අපව අත්හරින්නේවත් අපව අසරණ කරන්නේවත් නැහැ. (හෙබ්‍රෙ. 13:5) දේවවචනයේ පවසා තිබෙන දේට කීකරු වීමෙන් අපට ආරක්ෂාවක් සහ ශක්තියක් ලබාගත හැකියි. ඊට අමතරව අපට උපකාරය වැඩියෙන්ම අවශ්‍ය අවස්ථාවලදී එය ලබා දෙන්න තම සේවකයන්ව පොලඹවන්න දෙවිට පුළුවන්.

19 බයිබලය අධ්‍යයනය කිරීම තුළින් සහ යාච්ඤාව තුළින් අපි දිගටම දෙවිගේ බලය ඉල්ලමු. අපි සියලුදෙනාම ‘දෙවිගේ තේජවත් බලය මාර්ගයෙන් සෑම දෙයක්ම කිරීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාච්ඤා කරමු. එවිට ඕනෑම දෙයක් සාර්ථකව විඳදරාගැනීමටත් අපේ ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත් අපට හැකි වෙයි.’—කොලො. 1:11.

[පාදසටහන]

^ 6 ඡේ. වර්ෂ 2001 මැයි 1 මුරටැඹ කලාපයේ 16වෙනි පිටුව සහ 1993 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ 21-22 පිටු බලන්න.

ඔබට මතකද?

• පීඩාවන්ට මුහුණ දීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

• තමන් කළ වරදක් හෙළි කරන්න එපා කියා කෙනෙක් ඔබට පැවසුවොත් ඔබ කුමක් කළ යුතුද?

• දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට අපට නිසැක වෙන්න පුළුවන් කුමක් ගැනද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

යොෂුවා සහ කාලෙබ්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

[29වන පිටුවේ පින්තූරය]

වරදක් කරන ඔබේ මිතුරාට උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද?