Skip to content

පටුනට යන්න

දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල් ගැන සිතා බලන්න

දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල් ගැන සිතා බලන්න

දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල් ගැන සිතා බලන්න

යේසුස්ගේ නැවත නැඟිටීමෙන් ටික දවසකට පසු සිදු වූ සිද්ධියක් ගැන අපි සලකා බලමු. ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් යෙරුසලමේ සිට එම්මාවුස් බලා ගමන් කරමින් සිටියා. ඒ ගමන අතරතුර සිදු වූ දේ ගැන ලූක් වාර්තා කරන්නේ මෙසේයි. “ඔවුන් කතාබහ කරමින් යද්දී යේසුස්ද ඔවුන්ගේ ගමනට එක් විය. නමුත් ඔහුව හඳුනාගැනීමට ඔවුන්ට නොහැකි විය.” ඉන්පසු යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “‘ඔබ මෙතරම් වේලාවක් කතා කරමින් යන්නේ මොනව ගැනද?’ එවිට ශෝකයෙන් සිටි ඔවුහු නතර වූහ.” ඔවුන් ශෝකයෙන් සිටියේ ඇයි? යේසුස් තමන්ව වෙනත් ජාතීන්ගේ පාලනයෙන් මුදවාගනියි කියා ඔහුගේ ගෝලයෝ සිතුවත් එවැනි දෙයක් සිදු නොවු නිසයි. ඒ වෙනුවට සිදු වුණේ යේසුස්ව මරා දැමීමයි.—ලූක් 24:15-21; ක්‍රියා 1:6.

ඉන්පසු යේසුස් ‘මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නා.’ ඇත්තෙන්ම යේසුස් මේ පොළොව මත සිටි කාලයේදී ඔහු සම්බන්ධයෙන් බොහෝ පුදුමසහගත දේවල් හා ඔහුගේ ගෝලයන්ගේ විශ්වාසය ශක්තිමත් කරන දේවල් සිදු වුණා. යේසුස් පැහැදිලි කළ දේවලට සවන් දුන් පසු ගෝලයන්ගේ දුක නැති වී ඔවුන්ට ප්‍රීතියක් දැනුණා. ඒ බව පසුව ඔවුන් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!” (ලූක් 24:27, 32) යේසුස්ගේ ගෝලයන් දැක්වූ ප්‍රතිචාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට

යේසුස්ගේ ගෝලයන්ගේ දුකට හේතුව වූයේ ඔවුන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවීමයි. ඔවුන් ඒ අවස්ථාවේදී අද්දැක්කේ හිතෝපදේශ 13:12හි සඳහන් මේ දෙයයි. “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය.” ඒ හා සමානව දශක ගණනාවක සිට දෙවිට සේවය කරන ඔහුගේ සමහර සේවකයන්ද “මහත් පීඩාව” මේ වන විටත් පැමිණ අවසන් වී තිබිය යුතුයි කියා සිතුවා. (මතෙ. 24:21; එළි. 7:14) එය ඉටු නොවීම නිසා සමහරවිට යම් දුකක් ඇති වෙන්න ඇති.

එම ගෝලයන් දෙදෙනා සතුටට පත් වුණේ ඒ වන විටත් ඉටු වී තිබුණු අනාවැකිවලට යේසුස් ඔවුන්ගේ අවධානය යොමු කළ පසුවයි. එම අනාවැකිවලින් සමහරක් ඔවුන් ජීවත් වූ කාලයේදීම ඉටු වූ ඒවායි. ඔවුන් හා සමානව අපත් දෙවි ඉටු කර තිබෙන දේවල් ගැන කල්පනා කරනවා නම් අපගේ ප්‍රීතිය දිගටම තබාගන්නත් අපව අධෛර්යයට පත් කරන සිතුවිලිවලින් මිදෙන්නත් අපට හැකියි. මයිකල් නමැති අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක් මෙවැනි දෙයක් පැවසුවා. “යෙහෝවා දෙවි තවමත් කරලා නැති දේවල් ගැන කල්පනා කරනවා වෙනුවට දෙවි අප වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන කල්පනා කරන්න.”

යෙහෝවා දෙවි දැනටමත් කර තිබෙන දේවල්

යෙහෝවා දෙවි දැනටමත් කර තිබෙන පුදුමසහගත දේවල් කිහිපයක් ගැන අපි සලකා බලමු. යේසුස් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. ‘මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කරන ක්‍රියා කරනවා. ඇත්තෙන්ම ඒ තැනැත්තා මීටත් වඩා මහත් ක්‍රියා කරයි.’ (යොහ. 14:12) වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන් ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට හවුල් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහත් පීඩාවෙන් බේරීමට මිලියන හතකට අධික සෙනඟක් බලාපොරොත්තුවෙන් සිටිනවා. ලොව පුරාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ මෙතරම් පිරිසක් මීට පෙර සිටියේ නැහැ. “මීටත් වඩා මහත් ක්‍රියා කරයි” කියා යේසුස් පැවසූ අනාවැකිය සැබෑවක් කිරීමට යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උපකාර කර තිබෙනවා.

යෙහෝවා දෙවි අප වෙනුවෙන් තව කර තිබෙන්නේ මොනවාද? දෙවි අවංක හදවත් ඇති අයට මේ දුෂ්ට ලෝකයෙන් ඉවත් වී ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. (2 කොරි. 12:1-4) ඒ සඳහා ඔහු කර තිබෙන දේ ගැන සිතා බලන්න. ඔබේ නිවසේ හෝ රාජ්‍ය ශාලාවේ ඇති පුස්තකාලයේ මොන තරම් ප්‍රකාශන තිබෙනවාද? අපට අවශ්‍ය තොරතුරු සොයාගැනීමට සුචි ලබා දී තිබෙනවා. විවිධ බයිබල් නාට්‍යවලට සවන් දීමට ඒවා පටිගත කර ලබා දී තිබෙනවා. සමුළුවලින් අපට මොන තරම් දේ ලැබෙනවාද කියාත් සිතා බලන්න. ඊට අමතරව අපට ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳින්න ප්‍රේමණීය සහෝදර සහෝදරියන්ව ලබා දී තිබෙනවා. ඇත්තටම යෙහෝවා දෙවි අපට බොහෝ දේ සපයා තිබෙනවා.

“යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය” කියා දාවිත් පැවසුවා. (ගීතා. 40:5) යෙහෝවා දෙවි අප වෙනුවෙන් කර තිබෙන දේවල් සහ අප කෙරෙහි දක්වන ප්‍රේමණීය සැලකිල්ල ගැන ගැඹුරින් කල්පනා කරමු. එවිට විඳදරාගනිමින් යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කරන්න අවශ්‍ය ශක්තිය අපට ලබාගත හැකියි.—මතෙ. 24:13.

[31වන පිටුවේ පින්තූරය]

තම ගෝලයන් වෙනුවෙන් යෙහෝවා දෙවි කර තිබෙන දේ ගැන කල්පනා කිරීමට යේසුස් ඔවුන්ට උපකාර කළා

[32වන පිටුවේ පින්තූර]

මෑතකදී ඔබ සහභාගි වූ සමුළුවක් ගැන කල්පනා කර බලන්න