Skip to content

පටුනට යන්න

‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’

‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’

‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’

‘යටහත්පහත්, නිහතමානී අය පමණක් යෙහෝවා යන මාගේ නාමය තම රැකවරණය කරගන්නෝය.’—ශෙප. 3:12.

1, 2. ඉදිරියේදී සියලුදෙනාටම මුහුණ දීමට සිදු වන සංකේතාත්මක සැඩ කුණාටුව කුමක්ද?

ගමනක් යන විට හදිස්සියේ ඇද හැළෙන සුළු වර්ෂාවකින් ආරක්ෂා වීමට යම් ආවරණයක් ඇති ස්ථානයකට යෑම ප්‍රමාණවත් විය හැකියි. නමුත් වැස්සක් සමඟ එන කුණාටුවකින් ආරක්ෂා වීමට නම් ශක්තිමත් ගොඩනැඟිල්ලක පිහිට පැතීමට අපට සිදු වෙනවා.

2 අනාගතයේදී ඉතා භයානක සංකේතාත්මක ‘සැඩ කුණාටුවක්’ පැමිණීමට නියමිතයි. එය මුළු මිනිස් වර්ගයාගේම ජීවිතවලට බලපානවා. “යෙහෝවා දෙවිගේ මහත් දවස” ලෙස හඳුන්වන ඊට සියලුදෙනාටම මුහුණ දීමට සිදු වෙනවා. නමුත් ඉන් අපට ආරක්ෂාව ලබන්න පුළුවන්. (ශෙපනියා 1:14-18 කියවන්න.) ඉතා ඉක්මනින් පැමිණීමට නියමිත දෙවිගේ “උදහස ප්‍රකාශ කරන” ඒ දවසින් ආරක්ෂා වීමට නම් අප කුමක් කළ යුතුද?

අතීතයේදී ඇති වූ සංකේතාත්මක කුණාටු

3. ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දහයක් මත පැමිණි “දරුණු අයිස් කැට වැස්ස” කුමක්ද?

3 දෙවිගේ මහත් දවස ආරම්භ වන්නේ දෙවි ගැන අසත්‍යය උගන්වන සියලුම ආගම්වල විනාශයත් සමඟයි. ඉන් ආරක්ෂාව ලබන්න නම් අප කළ යුත්තේ කුමක්ද කියා දැනගන්න අතීතයේ සිටි දෙවිගේ සෙනඟට සිදු වූ දෙයක් ගැන සලකා බලමු. ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ ජීවත් වූ යෙසායා, දෙවිට අවිශ්වාසවන්ත වූ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දහයක් මත දෙවි ගෙනෙන විනාශය කිසිවෙකුට වැළැක්විය නොහැකි ‘දරුණු අයිස් කැට වැස්සකට’ සමාන කළා. (යෙසායා 28:1, 2 කියවන්න.) එෆ්‍රායිම් කියාද හඳුන්වන එම ගෝත්‍ර දහයට අයත් ප්‍රදේශ ඇසිරියානුවන් විසින් අල්ලාගත් විට එම අනාවැකිය ඉටු වුණා. එය සිදු වුණේ ක්‍රි.පූ. 740දීයි.

4. ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලමට “යෙහෝවා දෙවිගේ මහත් දවස” පැමිණියේ කොහොමද?

4 ඊශ්‍රායෙල්වරුන්ගේ අනික් ගෝත්‍ර දෙක වන යූදා රාජ්‍යයට එරෙහිව “යෙහෝවා දෙවිගේ මහත් දවස” පැමිණියේ ක්‍රි.පූ. 607දීයි. ඊට හේතුව ඔවුන්ද දෙවිට අවිශ්වාසවන්ත වීමයි. නෙබුකද්නෙෂර්ගේ පාලන කාලයේදී බැබිලෝනිවරුන් යූදා රාජ්‍යය හා එහි අගනුවර වන යෙරුසලමට එරෙහිව තර්ජනය කළා. යූදාවරු උපකාරය පතා ‘බොරු රක්ෂස්ථානයක්’ වන ඊජිප්තුව සමඟ සංධානයක් ඇති කරගත්තා. කෙසේවෙතත් කුණාටුවක් මෙන් පැමිණි බැබිලෝනිවරුන් යූදා රාජ්‍යයත් ඔවුන් ‘රක්ෂස්ථානයක්’ ලෙස සැලකූ ඊජිප්තුවත් සම්පූර්ණයෙන්ම විනාශ කළා.—යෙසා. 28:14, 17.

5. දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම් විනාශ වන විට කණ්ඩායමක් ලෙස දෙවිගේ සෙනඟට සිදු වන්නේ කුමක්ද?

5 ඊශ්‍රායෙල්වරුන් මත පැමිණි විනාශයට වඩා මහත් විනාශයක් වර්තමානයේ දෙවිට අවිශ්වාසවන්තව සිටින ක්‍රිස්තියානීන් මත පැමිණීමට නියමිතයි. ඒ වගේම දෙවි ගැන බොරු උගන්වන ‘මහ බැබිලෝනියට’ අයත් අනිකුත් සියලුම ආගම්ද දෙවි විනාශ කරනවා. ඉන්පසු සාතන්ගේ දුෂ්ට ලෝකයට අයත් සියලුම දේවල් සහමුලින්ම නැති කර දමනවා. ඒ වුණත් යෙහෝවා යන නාමය තම රැකවරණය කරගත් දෙවිගේ සෙනඟ කණ්ඩායමක් ලෙස ආරක්ෂාව ලබනවා.—එළි. 7:14; 18:2, 8; 19:19-21.

සෑම ආකාරයකින්ම ආරක්ෂාවක්

6. දෙවිගේ සෙනඟට ආරක්ෂාව ලබන්න පුළුවන් කොහොමද?

6 දෙවිගේ සෙනඟට දැන් පවා ආරක්ෂාව ලබන්න පුළුවන් කොහොමද? “දෙවිගේ නාමය සිහි කරමින්” ඔහුට උද්‍යෝගයෙන් සේවය කිරීම මගින් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට අපට පුළුවන්. (මලාකි 3:16-18 කියවන්න.) දෙවිගේ නාමය සිහි කරනවා යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ නාමය මතකයට නඟාගැනීමට වඩා වැඩි යමක් කිරීමයි. බයිබලයේ පවසන්නේ “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය” කියායි. (රෝම 10:13) දෙවි ගෙනෙන විනාශයෙන් ගැලවීමට නම් දෙවිව රැකවරණය කරගනිමින් ඔහුගේ නාමය කියා යාච්ඤා කිරීම අවශ්‍යයි. “දෙවිගේ නාමය සිහි කරමින්” ඔහුට උද්‍යෝගයෙන් සේවය කරන විට සැබෑ ක්‍රිස්තියානීන් හා එසේ නොකරන අය අතර තිබෙන වෙනස අවංක හදවත් ඇති ජනයාට දැකගන්න පුළුවන්.

7, 8. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ගේ ජීවිත ආරක්ෂා වුණේ කොහොමද? අද දින සිටින ක්‍රිස්තියානීන්ගේ ජීවිත ආරක්ෂා වන්නේ කොහොමද?

7 දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වය පමණක් නොව අපගේ ජීවිත ආරක්ෂා කර දෙන බවත් දෙවි පොරොන්දු වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 66දී සෙස්ටියස් ගැලස් යටතේ පැමිණි රෝම හමුදාව යෙරුසලම වැටලූ විට සිදු වූ දෙයකින් අපට ඒ බව අවබෝධ කරගත හැකියි. යේසුස් ඒ අවස්ථාව ගැන කලින්ම පැවසුවේ එම පීඩාකාරී කාලය ‘කෙටි කරන’ බවයි. (මතෙ. 24:15, 16, 21, 22) රෝම හමුදාව අනපේක්ෂිත ලෙස යෙරුසලමෙන් ඉවත් වූ විට සැබෑ ක්‍රිස්තියානීන්ට ‘ගැලවීමට’ මාර්ගය විවෘත වුණා. ඒ අවස්ථාවේ යේසුස්ගේ අනාවැකිය ඉටු වුණා. ඉන් ප්‍රයෝජනය ගත් ක්‍රිස්තියානීන් එම නගරයෙන් පලා ගියා. සමහරු යොර්දාන් ගඟට එගොඩින් පිහිටි කඳුවලට පලා ගියා.

8 එම ක්‍රිස්තියානීන් හා අද සිටින දෙවිගේ සෙනඟ අතර සමානකමක් තිබෙනවා. ඔවුන් ආරක්ෂාව පතා යම් ක්‍රියා මාර්ග ගත්තා සේ අද දින සිටින ක්‍රිස්තියානීන්ද ඒ වෙනුවෙන් යම් ක්‍රියා මාර්ග ගන්නවා. වර්තමානයේ දෙවිගේ සෙනඟ ලෝක ව්‍යාප්තව සිටින නිසා ඔවුන් ආරක්ෂාව පතා නිශ්චිත ස්ථානයකට පලා යන්නේ නැහැ. නමුත් දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම් දෙවි විනාශ කරන විට යෙහෝවා දෙවිව සහ ඔහුගේ සංවිධානය තම රැකවරණය කරගන්නා දෙවිගේ ‘තෝරාගත් අයගේ’ හා වෙනත් බැටළුවන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා.

9. ජනයාට දෙවිගේ නම අමතක වීමට සලස්වා තිබෙන්නේ කවුද? උදාහරණයක් දෙන්න.

9 පල්ලිවල පූජකයන් දෙවි ගැනත් ඔහුගේ ප්‍රතිපත්ති ගැනත් සත්‍යය එහි සාමාජිකයන්ට උගන්වා නැහැ. ඒ වගේම පූජකයන් දෙවිගේ නාමය භාවිත කිරීම දැඩි සේ හෙළාදකිනවා. ඒ නිසා ඔවුන්ට විනාශය අත් වීම සාධාරණයි. ක්‍රිස්තු වර්ෂ 500ත් 1500ත් අතර කාලයේ යුරෝපයේ බොහෝදෙනා අතර දෙවිගේ නාමය ප්‍රචලිතව තිබුණා. ටෙට්‍රග්‍රැමටනය ලෙස හඳුන්වන හෙබ්‍රෙව් අක්ෂර හතරෙන් නියෝජනය වන දෙවිගේ නාමය කාසිවල, නිවසේ ඉදිරිපස බිත්තියේ, පොත් පත්වල හා බයිබල්වල මෙන්ම සමහර කතෝලික හා රෙපරමාදු පල්ලිවල දක්නට තිබුණා. කෙසේවෙතත් බයිබල්වලින් මෙන්ම වෙනත් ප්‍රකාශනවලින් දෙවිගේ නම ඉවත් කිරීමේ නැඹුරුවාවක් දැන් තිබෙනවා. ඊට එක් නිදසුනක් වන්නේ දෙවිගේ නම ගැන 2008 ජූනි 29වෙනි දින කතෝලික සභාව මගින් බිෂොප්වරුන්ට යැවූ ලිපියයි. එහි සඳහන් වුණේ ටෙට්‍රග්‍රැමටනය හා විවිධ ආකාරයෙන් සඳහන් වී තිබෙන දෙවිගේ නම වෙනුවට “ස්වාමීන්” කියා සඳහන් විය යුතු බවයි. ඒ වගේම ගීතිකාවලින් හා යාච්ඤාවලින් දෙවිගේ නම ඉවත් කළ යුතු බවත් එහි සඳහන් වුණා. එපමණක් නොව ක්‍රිස්තියානි කියා පවසන වෙනත් ආගම් හා එසේ නොවන ආගම් විසින්ද මිලියන ගණනකට සැබෑ දෙවිව හඳුනාගැනීමට තිබෙන අවස්ථාව නැති කර තිබෙනවා.

දෙවිගේ නාමය ගෞරවයට පත් කරන අය ලබන ආරක්ෂාව

10. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ නාමය ගෞරවයට පත් කර තිබෙන්නේ කොහොමද?

10 අන් සියලුම ආගම්වලට වඩා වෙනස්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීමට ඔවුන්ගේ උපරිමය කරනවා. එම නාමය දෙවිව සතුටු කරන ආකාරයෙන් භාවිත කිරීමෙන් එයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට ඔවුන් දායක වෙනවා. තමා කෙරෙහි විශ්වාසය තබන එවැනි අය ගැන යෙහෝවා දෙවි සතුටු වෙන අතර ඔවුන්ට ආශීර්වාද කරන්නත් ඔවුන්ව ආරක්ෂා කරන්නත් අවශ්‍ය ඕනෑම තත්වයකට පත් වෙන්න දෙවිට හැකියි. බයිබලයේ සඳහන් වන්නේ “දෙවි තමාගෙන් රැකවරණය පතන අයව රැකබලා ගන්නේය” කියායි.—නාහු. 1:7; ක්‍රියා 15:14.

11, 12. යූදා රාජ්‍යයේ දෙවිට විශ්වාසවන්තව සිටියේ කවුද එමෙන්ම වර්තමානයේ දෙවිට විශ්වාසවන්තව සිටින්නේ කවුද?

11 යූදා රාජ්‍යයේ සිටි බොහෝදෙනා දෙවිට අවිශ්වාසවන්තව ක්‍රියා කළත් ‘යෙහෝවා යන නාමය තම රැකවරණය කරගත්’ අයද ඔවුන් අතර සිටියා. (ශෙපනියා 3:12, 13 කියවන්න.) බැබිලෝනිවරුන්ට යූදා රාජ්‍යය පරාජය කරන්නත් එහි සෙනඟ වහලුන් ලෙස ගෙන යන්නත් ඉඩ දීමෙන් තමාට අවිශ්වාසවන්ත වූ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දඬුවම් කළා. නමුත් ඔවුන් අතරේ ජීවත් වූ යෙරෙමියා, බාරුක් සහ ඒබෙද්-මෙලෙක් වැනි විශ්වාසවන්ත අයගේ ජීවිත දෙවි ආරක්ෂා කළා. බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගිය තවත් සමහරුන් එහිදී දෙවිට විශ්වාසවන්තව සිටියා. සයිරස්ගේ නායකත්වය යටතේ මේදියවරුන් හා පර්සියානුවන් ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටත් කරගත් පසු එහි සිටි යුදෙව්වන්ට නැවත ඔවුන්ගේ මව්බිමට යෑමට සයිරස් අවස්ථාව ලබා දුන්නා.

12 සැබෑ නමස්කාරය යළි පිහිටුවන විට දෙවිගේ සෙනඟ ප්‍රීති වන බවත් ඔවුන්ව ගලවාගැනීම ගැන යෙහෝවා දෙවිද ප්‍රීති වන බවත් ශෙපනියා අනාවැකියකින් පැවසුවා. (ශෙපනියා 3:14-17 කියවන්න.) එම අනාවැකිය අදටත් අදාළයි. දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙවූ පසු යෙහෝවා දෙවි මහ බැබිලෝනියේ බොරු ඉගැන්වීම්වලින් ඔහුට විශ්වාසවන්තව සිටි අභිෂේක ලත් අයව මුදවාගත්තා. ඔවුන් ගැන දෙවි මේ දක්වා ප්‍රීති වෙනවා.

13. සෑම ජාතියකටම අයත් ජනයා ලබන නිදහස කුමක්ද?

13 පොළොව මත සදාකල් ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින අයද මහ බැබිලෝනියේ බොරු ඉගැන්වීම්වලින් ඉවත් වී සිටිනවා. (එළි. 18:4) ඒ අනුව ශෙපනියා 2:3හි ඇති අනාවැකිය අද දින ලොව පුරාම ඉටු වෙනවා. එහි පවසන්නේ ‘නිහතමානී සියල්ලෙනි යෙහෝවා දෙවි වෙතට හැරෙන්න’ කියායි. ඒ අනුව ස්වර්ගික හෝ භූමික බලාපොරොත්තුවක් තිබෙන සියලු ජාතීන්ට අයත් නිහතමානී අය යෙහෝවා දෙවිගේ නාමය තම රැකවරණය කරගෙන තිබෙනවා.

දෙවිගේ නාමයට අද්භූත බලයක් නැහැ

14, 15. (අ) සමහර අය ආරක්ෂාව බලාපොරොත්තු වී තිබෙන්නේ කුමන දේවලින්ද? (ආ) අප මන්තරයක් මෙන් භාවිත නොකළ යුත්තේ කුමක්ද?

14 සමහර ඊශ්‍රායෙල්වරු සිතුවේ දේවමාලිගාව නිසා තමන්ට සතුරන්ගෙන් ආරක්ෂාව ලැබෙයි කියායි. (යෙරෙ. 7:1-4) ඊට පෙර විසූ ඊශ්‍රායෙල්වරුන් සිතුවේ ගිවිසුම් පෙට්ටිය තිබෙන නිසා තමන්ට යුද්ධයෙන් ජය ගැනීමට හැකි වෙයි කියායි. (1 සාමු. 4:3, 10, 11) රෝමය පාලනය කළ මහ කොන්ස්ටන්ටයින් ඔහුගේ සොල්දාදුවන්ගේ පලිස්වල ලකුණක් යෙදුවා. ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්තුස් යන වචනයේ මුල් අකුරු දෙක (khi සහ rho) එම ලකුණට අයත් වුණා. එසේ කළේ යුද්ධයේදී සොල්දාදුවන්ට ආරක්ෂාවක් ලැබෙයි කියා බලාපොරොත්තුවෙනුයි. එමෙන්ම ස්වීඩනයේ අවුරුදු තිහක යුද්ධයක් කළ දෙවන ගුස්ටාව් ඇඩොල්ෆ් රජ 7වෙනි පිටුවේ පින්තූරයේ තිබෙන යකඩ ඇඳුම ඇඳ සිටි බව සැලකෙනවා. එහි යෙහෝවා (Iehova) යන දෙවිගේ නාමය සලකුණු කර තිබෙනවා.

15 දෙවිගේ සමහර සේවකයන් දෙවිගේ නම ශබ්ද නඟා පවසා භූතයන්ගේ බලපෑම්වලින් ආරක්ෂාව ලබා තිබෙන බව ඇත්තයි. කෙසේවෙතත් කෙනෙකුව ආරක්ෂා කිරීමට දෙවිගේ නමට අද්භූත බලයක් තිබෙනවා කියා සිතා එය නිතරම මන්තරයක් මෙන් කීම සුදුසු නැහැ. යෙහෝවා යන නාමය රැකවරණය කරගැනීම යන්නෙන් අදහස් කරන්නේ එය නොවෙයි.

අද දින ආරක්ෂාව ලැබිය හැකි ආකාර

16. දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට නම් අප කුමක් කළ යුතුද?

16 දෙවිගේ සෙනඟ කණ්ඩායමක් ලෙස ඔහු සමඟ ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය දිගටම ආරක්ෂා කරගැනීමට දෙවි ඔවුන්ට උපකාර කරනවා. (ගීතා. 91:1) එම මිත්‍රත්වයට සිදු විය හැකි අනතුරු ගැන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හා සභාවේ වැඩිමහල්ලන් තුළින් දෙවි අපට අනතුරු අඟවනවා. (මතෙ. 24:45-47; යෙසා. 32:1, 2) උදාහරණයකට, ධන සම්පත් පසුපස හඹා යෑම ගැන අපට නිතරම අනතුරු අඟවනවා. ඒවා අදාළ කරගැනීමෙන් අපට මොන තරම් ආරක්ෂාවක් ලැබී තිබෙනවාද! ඒ වගේම දෙවිගෙන් අපව ඈත් කළ හැකි කාරණා සැහැල්ලුවට ගැනීමේ ආකල්පය වර්ධනය කර නොගන්න කියා අපට ලැබෙන මතක් කිරීම් ගැන සිතා බලන්න. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔවුන්ගේ විනාශයට මුල් වන්නේ කාරණා සැහැල්ලුවට ගැනීමය. නමුත් මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය.” (හිතෝ. 1:32, 33) එමෙන්ම සදාචාරමය අතින් පවිත්‍රව සිටීමට වෑයම් කිරීමත් වැදගත්. ඒ සියල්ල කිරීමෙන් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අපට ආරක්ෂා කරගත හැකියි.

17, 18. අද දිනත් යෙහෝවා දෙවිව තම රැකවරණය කරගන්න, මිලියන ගණනකට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද?

17 මුළු පොළොව පුරාම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියා යේසුස් දුන් ආඥාව ඉටු කිරීම සඳහා විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගෙන් අපට ලැබෙන දිරිගැන්වීම් ගැන සිතා බලන්න. (මතෙ. 24:14; 28:19, 20) මිනිසුන්ට දෙවිගේ නාමය රැකවරණයක් කරගැනීම සඳහා ඔවුන් ලබාගත යුතු නිවැරදි දැනුම ගැන ශෙපනියා මෙසේ සඳහන් කළා. “මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත් එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.”—ශෙප. 3:9.

18 ශෙපනියා සඳහන් කරන පවිත්‍ර භාෂාව කුමක්ද? දෙවි ගැන හා ඔහුගේ අරමුණු ගැන බයිබලයේ සඳහන් සත්‍යයන් ඊට අයත් වෙනවා. ඔබ දෙවිගේ රාජ්‍යය ගැනත් එම රාජ්‍යය මගින් දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කරන ආකාරය ගැනත් සියල්ල පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැනත් දෙවිට විශ්වාසවන්තව සිටින අයට ලැබෙන සාදාකාලික ආශීර්වාද ගැනත් මිනිසුන්ට පවසන විට ඔබ කරන්නේ පවිත්‍ර භාෂාව කතා කිරීමයි. බොහෝදෙනෙක් පවිත්‍ර භාෂාව කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ‘යෙහෝවා දෙවිගේ නාමයට අයැදින’ සහ ‘එක්සත්කමින් ඔහුට සේවය කරන’ අයගේ ගණන ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. ඇත්තෙන්ම ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා යෙහෝවා දෙවිව ඔවුන්ගේ රැකවරණය කරගෙන තිබෙනවා.—ගීතා. 1:1, 3.

19, 20. පුරාණ ඊශ්‍රායෙල්වරු ‘බොරු රක්ෂස්ථානයක්’ ගැන තැබූ විශ්වාසය නිෂ්ඵල වුණේ කොහොමද?

19 තමන්ගේ උත්සාහයෙන් විසඳගන්න බැරි ප්‍රශ්න ගොඩක මිනිසුන් පැටලී සිටිනවා. එම ප්‍රශ්න විසඳාගැනීමට තිබෙන දැඩි වුවමනාව නිසා බොහෝදෙනෙක් මිනිසුන්ගෙන් උපකාර පතා තිබෙනවා. ඊශ්‍රායෙල්වරු අසල්වාසී ජාතීන් සමඟ ගිවිසුම් ඇති කරගෙන ඔවුන්ගෙන් උපකාර බලාපොරොත්තු වූවා සේ තවත් සමහරුන් දේශපාලනය තුළින් තම ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තු වෙනවා. නමුත් ඊශ්‍රායෙල්වරුන්ට ඉන් කිසිම යහපතක් නොවුණු බව ඔබ දන්නවා. ඒ වගේම වර්තමානයේත් කිසිම ආණ්ඩුවකටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳන්න බැහැ. ඒ නිසා ආණ්ඩු හෝ විවිධ සංවිධාන මත විශ්වාසය තැබීම මොන තරම් අඥානද? බයිබලයේ ඒවා ගැන පවසන්නේ ‘බොරු රක්ෂස්ථාන’ ලෙසයි. ඇත්තටම ඒවා බොරු රක්ෂස්ථානයි. මන්ද ඒවා කෙරෙහි විශ්වාසය තබන අයගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම සුන් වෙනවා.යෙසායා 28:15, 17 කියවන්න.

20 ඉතා ඉක්මනින් දෙවිගේ දවස ප්‍රබල කුණාටුවක් මෙන් පැමිණීමට නියමිතයි. එදාට මිනිසුන්ට ආරක්ෂාව ලබා දීමට කිසිම සංවිධානයකට බැරි වේවි. න්‍යෂ්ටික ප්‍රහාරයකින් බේරීමට සාදා තිබෙන ආරක්ෂක ස්ථානයකින්වත් ධනය තුළින්වත් කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ. යෙසායා 28:17හි මෙසේ පවසනවා. “බොරුව නමැති ඔබේ රක්ෂස්ථානය හිම කැට වර්ෂාවට ගසාගෙන යයි. ඔබ සැඟවී සිටින ස්ථානය ජලගැල්මට යට වී යයි.”

21. වර්ෂ 2011 වාර්ෂික පදය අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

21 දැනුත් අනාගතයේදීත් යෙහෝවා යන දෙවිගේ නාමය ඔහුගේ සෙනඟට රැකවරණයක්. ශෙපනියාගේ නමේ තේරුමද ‘යෙහෝවා දෙවි රැකවරණය දෙනවා’ යන්නයි. සැබෑ ආරක්ෂාව ලැබෙන්නේ කාගෙන්ද කියා එයින්ද අවබෝධ කරගත හැකියි. වර්ෂ 2011 වාර්ෂික පදය ලෙස තෝරාගෙන තිබෙන්නේ ‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’ යන්නයි. (ශෙප. 3:12) දැන් පවා අප යෙහෝවා යන දෙවිගේ නාමය අපගේ රැකවරණය කරගනිමින් දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය යුතුයි. (ගීතා. 9:10) ඒ නිසා දිනපතාම අපි මෙය මනසේ තබාගනිමු. “යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.”—හිතෝ. 18:10.

ඔබට මතකද?

• අද දින යෙහෝවා යන දෙවිගේ නාමය රැකවරණය කරගන්න අපට පුළුවන් කොහොමද?

• ‘බොරු රක්ෂස්ථානය’ කෙරෙහි අප විශ්වාසය නොතැබිය යුත්තේ ඇයි?

• අනාගතයේදී අපට ලැබෙන්නේ කුමනාකාරයේ රැකවරණයක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

2011 වාර්ෂික පදය: ‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න.’—ශෙපනියා 3:12.

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Thüringer Landesmuseum Heidecksburg Rudolstadt, Waffensammlung “Schwarzburger Zeughaus”