Skip to content

පටුනට යන්න

වැරදි පෙලඹවීම් හා අධෛර්යය වීම් ජය ගන්න දෙවි දෙන ශක්තිය

වැරදි පෙලඹවීම් හා අධෛර්යය වීම් ජය ගන්න දෙවි දෙන ශක්තිය

වැරදි පෙලඹවීම් හා අධෛර්යය වීම් ජය ගන්න දෙවි දෙන ශක්තිය

“ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.”—ක්‍රියා 1:8.

1, 2. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ලබා දුන් පොරොන්දුව කුමක්ද සහ ඔවුන්ට එය අවශ්‍ය වුණේ ඇයි?

තමාගේ අනුගාමිකයන්ට තමා අණ කළ සෑම ආඥාවක්ම ඔවුන්ගේම ශක්තියෙන් ඉටු කරන්න බැරි බව යේසුස් දැන සිටියා. ශුභාරංචිය ප්‍රකාශ කිරීම විශාල කාර්යයක් නිසාත් තම අනුගාමිකයන් පව්කාරයන් නිසාත් ඔවුන්ගේ සතුරන් බලවත් නිසාත් මේ සියල්ලට හොඳින් මුහුණ දෙන්න ඔවුන්ගේම හැකියාවෙන් නොහැකි බව යේසුස් දැන සිටියා. ඒ නිසා ඔහු ස්වර්ගයට යෑමට පෙර තම අනුගාමිකයන්ට මෙවැනි සහතිකයක් දුන්නා. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8.

2 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිගේ බලය ලැබුණු විට එම පොරොන්දුව ඉටු වුණා. ඉන්පසු යෙරුසලම පුරාම ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔවුන්ට හැකි වුණා. එය නවත්වන්න තරම් ප්‍රබල කෙනෙක් සිටියේ නැහැ. (ක්‍රියා 4:20) අප ඇතුළු යේසුස්ගේ සියලුම විශ්වාසවන්ත අනුගාමිකයන්ට “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” දෙවිගේ බලයේ උපකාරය අත්‍යවශ්‍යයි.—මතෙ. 28:20.

3. දෙවිගේ බලයේ උපකාරයෙන් අපට කුමක් කළ හැකිද?

3 තම ගෝලයන්ට ‘දෙවිගේ බලය ලැබුණු විට ඔවුන් ශක්තිමත්’ වන බව යේසුස් පැවසුවා. සියලු බලය හිමි යෙහෝවා දෙවි ඔහුගේ සෑම සේවකයෙකුටම ඔහුගේ බලය ලබා දෙන විට ඔවුන්ගේ කැප වීමට එකඟව ජීවත් වෙන්නත් වැරදි පෙලඹීම්වලින් ආරක්ෂා වෙන්නත් අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙනවා.මීකා 3:8; කොලොස්සි 1:29 කියවන්න.

4. මෙම ලිපියෙන් අප සලකා බලන්නේ කුමක්ද සහ ඒ ඇයි?

4 දෙවිගේ බලය අපට තිබෙන බව පවසන්න පුළුවන් කොහොමද? අප ක්‍රියා කරන ආකාරයට හා ප්‍රතිචාරය දක්වන ආකාරයට එය බලපාන්නේ කොහොමද? සාතන් සහ ඔහුගේ පාලනය යටතේ ඇති ලෝකයත් අපගේම පව්කාරකමත් අප දෙවිට විශ්වාසවන්තව කරන සේවයට බාධාවක්. ක්‍රිස්තියානියෙක් ලෙස දිගටම සිටීමටත් නිතිපතා දේවසේවයේ හවුල් වීමටත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමටත් එම බාධා ජය ගැනීම අත්‍යවශ්‍යයි. වැරදි පෙලඹීම් ජය ගැනීමටත් වෙහෙස සහ අධෛර්යයට පත් වන විට ඊට හොඳින් මුහුණ දීමටත් දෙවිගේ බලය අපට උපකාර කරන ආකාරය අප දැන් සලකා බලමු.

වැරදි පෙලඹීම් ජය ගැනීමට

5. යාච්ඤා කිරීමෙන් අපට ශක්තිය ලැබෙන්නේ කුමක් කිරීමටද?

5 යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ යාච්ඤා කරන්න කියා පැවසුවා. “වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” (මතෙ. 6:13) යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දෙවිගෙන් එම ඉල්ලීම කරන විට ඔහු සවන් නොදී සිටින්නේ නැහැ. තවත් අවස්ථාවක යේසුස් පැවසුවේ කෙනෙක් ‘ස්වර්ගයේ සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් දෙවි ඔහුට ඒ දේ ලබා දෙන’ බවයි. (ලූක් 11:13) හරි දේ කිරීමට ප්‍රබල උපකාරයක් වන දෙවිගේ බලය අපට ලබා දෙන බව යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දුව අපට මොන තරම් සහනයක්ද! නමුත් අප තුළ වැරදි පෙලඹීම් ඇති වීම දෙවි වළක්වන බව ඉන් අදහස් කරන්නේ නැහැ. (1 කොරි. 10:13) කෙසේවෙතත් වැරදි පෙලඹීමක් ඇති වන විට අප යෙහෝවා දෙවිට උනන්දුවෙන් යාච්ඤා කළ යුතුයි.—මතෙ. 26:42.

6. සාතන් ඇති කළ වැරදි පෙලඹවීම්වලට යේසුස් පිළිතුරු දුන්නේ කුමක් යොදාගෙනද?

6 යේසුස්ව වරදට පොලඹවාගන්න සාතන් උත්සාහ කළ අවස්ථාවේදී යේසුස් ශුද්ධ ලියවිලි යොදාගෙන ඊට විරුද්ධ වුණා. දෙවිගේ වචනය යේසුස්ගේ මනසේ තිබෙන බව ඔහු ප්‍රතිචාරය දැක්වූ ආකාරයෙන් පැහැදිලියි. එය “ලියා තිබෙනවා” කියා යේසුස් තුන් වතාවක්ම සාතන්ට පැවසුවා. තුන්වෙනි අවස්ථාවේදී ඔහු සාතන්ට මෙසේ පිළිතුරු දුන්නා. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’ කියා ලියා තිබෙනවා.” යෙහෝවා දෙවිටත් ඔහුගේ වචනයටත් තිබූ ප්‍රේමය නිසා සාතන්ගේ පෙලඹවීම් ප්‍රතික්ෂේප කිරීමට යේසුස්ට හැකි වුණා. (මතෙ. 4:1-10) යේසුස් දිගටම එම පෙලඹවීම්වලට විරුද්ධව සිටි නිසා සාතන් යේසුස්ගෙන් අහක්ව ගියා.

7. වැරදි පෙලඹීම්වලින් ජය ගැනීමට බයිබලය උපකාර කරන්නේ කොහොමද?

7 සාතන්ගේ පෙලඹවීම්වලට මුහුණ දීමට යේසුස් ශුද්ධ ලියවිල්ල මත රඳා සිටියා නම් අප ඊටත් වඩා කොපමණ වැඩියෙන් එසේ කළ යුතුද! සාතන්ගේ පෙලඹවීම්වලට සාර්ථකව මුහුණ දීමට අපට හැකි වෙන්නේ දෙවිගේ ප්‍රතිපත්ති ගැන දැනුවත්ව සිටීම සහ ඒවා සම්පූර්ණයෙන්ම පිළිපැදීමෙන් පමණයි. බයිබලය අධ්‍යයනය කරන බොහෝදෙනා දෙවිගේ ප්‍රඥාව හා ඔහු මොන තරම් ධර්මිෂ්ඨ කෙනෙක්ද කියා අවබෝධ කරගන්න විට බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න පෙලඹී තිබෙනවා. “දෙවිගේ වදන්” කෙනෙකුට ඔහුගේ “සිතේ සිතුවිලිද චේතනාද” වටහාගැනීමට උපකාර කරනවා. (හෙබ්‍රෙ. 4:12) කෙනෙක් දේවවචනය කියවා ඒ ගැන කල්පනා කරන තරමටම ‘දෙවි මොන තරම් විශ්වාසවන්ත’ කෙනෙක්ද කියා වැඩි වැඩියෙන් අවබෝධ කරගන්නවා. (දානි. 9:13) ඒ නිසා පෞද්ගලිකව අපට ඇති දුර්වලකම් මඟ හරවාගන්න උපකාරවත් වන බයිබල් පද ගැන වැඩියෙන් කල්පනා කිරීම වැදගත්.

8. අපට දෙවිගේ බලය ලබාගත හැකි ක්‍රම මොනවාද?

8 ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුමට අමතරව යේසුස් තුළ “දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක” වූ නිසා ඔහුට වැරදි පෙලඹවීම්වලට විරුද්ධ වීමට හැකි වුණා. (ලූක් 4:1) අපටත් ඒ හා සමාන ශක්තියක් සහ හැකියාවක් ලැබෙන්නේ දෙවිගේ බලය අපට ලබා දීමට දෙවි දී තිබෙන සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගෙන ඔහුට ළං වුණොත් පමණයි. (යාකො. 4:7, 8) දෙවි ලබා දී තිබෙන සැපයුම් අතර බයිබලය අධ්‍යයනය කිරීම, යාච්ඤාව සහ සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීම සඳහන් කළ හැකියි. එවැනි දේවල් කිරීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගැනීමට හැකි වීමයි.

9, 10. (අ) ඔබේ ප්‍රදේශයේ, ඔබව වරදට පෙලඹවිය හැකි දේවල් මොනවාද? (ආ) වෙහෙසට පත්ව සිටින අවස්ථාවකදී වුණත් යාච්ඤාව හා ගැඹුරින් කල්පනා කිරීම වරදට පෙලඹවීම්වලට විරුද්ධ වීමට උපකාරයක් වන්නේ කොහොමද?

9 ඔබ තුළ ඇති විය හැකි වැරදි පෙලඹීම් මොනවාද? ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය නොවන කෙනෙකු තුළ ඔබ ගැන ආදරයක් ඇති වන ආකාරයෙන් කතා කිරීමට ඔබ පෙලඹී තිබෙනවාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට පෙලඹීමක් ඇති වී තිබෙනවාද? රූපවාහිනිය නරඹන විටත් අන්තර්ජාලය භාවිත කරන විටත් ක්‍රිස්තියානීන්ට නුසුදුසු දර්ශන හදිසියේම දිස් විය හැකියි. එවැනි අවස්ථාවකට ඔබ මුහුණ දී තිබෙනවා නම් ඔබ ක්‍රියා කළේ කොහොමද? එක් අඥාන ක්‍රියාවක් තවත් එවැනි ක්‍රියාවකට මඟ පාදන ආකාරය ගැනත් ඒ තුළින් බරපතළ වරදක් සිදු වීමට ඇති ඉඩකඩ ගැනත් කල්පනා කිරීම වැදගත්. (යාකො. 1:14, 15) බරපතළ පාපයක් සිදු වුණොත් යෙහෝවා දෙවිටත් සභාවේ අයටත් පවුලේ අයටත් දැනෙන වේදනාව ගැන කල්පනා කර බලන්න. පිරිසිදු හෘදය සාක්ෂියක් ලැබෙන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වීමෙන් පමණක් බව මතක තබාගන්න. (ගීතාවලිය 119:37; හිතෝපදේශ 22:3 කියවන්න.) ඔබ තුළ එවැනි පෙලඹීම් ඇති වුණොත් ඊට විරුද්ධ වීමට ශක්තිය ඉල්ලා යාච්ඤා කරන්න.

10 සාතන් යේසුස්ව වරදට පොලඹවාගැනීමට උත්සාහ කළ අවස්ථාවෙන් අපට තවත් දෙයක් ඉගෙනගත හැකියි. සාතන් යේසුස්ව වරදට පොලඹවාගන්න උත්සාහ කළේ ඔහු පාළුකරයේ දවස් 40ක් නිරාහාරව සිටීමෙන් පසුවයි. දෙවිට දක්වන විශ්වාසවන්තකම නැති කරන්න යේසුස්ව පොලඹවන්න “සුදුසු අවස්ථාව” එයයි කියා සාතන් සිතූ බවට කිසිම සැකයක් නැහැ. (ලූක් 4:13) දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳ දමන්න අපව පොලඹවන්නත් සාතන් සුදුසු අවස්ථාවක් එන තුරු බලා සිටිනවා. ඒ නිසා දෙවි සමඟ ඇති මිත්‍රත්වය අපි සෑමවිටම ශක්තිමත්ව තබාගනිමු. සාතන් බොහෝවිට පහර දෙන්නේ අප දුර්වලයි කියා ඔහුට හැඟෙන විටයි. ඒ නිසා අප වෙහෙසට පත් වී හෝ අධෛර්යයට පත් වී සිටින විට දෙවිගේ බලයේ උපකාර ඉල්ලා ඔහුට ඉතා උනන්දුවෙන් යාච්ඤා කළ යුතුයි.—2 කොරි. 12:8-10.

විඩාව සහ අධෛර්යය

11, 12. (අ) බොහෝදෙනා අධෛර්යයට පත් වෙන්නේ ඇයි? (ආ) ඊට හොඳින් මුහුණ දීම සඳහා අපව ශක්තිමත් කරන්න පුළුවන් කුමකටද?

11 පාපය උරුම වී තිබෙන නිසා අප විටින් විට අධෛර්යයට පත් වෙනවා. අද දින අප ජීවත් වන්නේ පීඩාකාරී කාලයක නිසා එහි සත්‍යතාව හොඳින්ම වැටහෙනවා. අප අද පැමිණ සිටින්නේ මනුෂ්‍ය වර්ගයා ජීවත් වූ දරුණුතම කාලයට කියා පවසන්න පුළුවන්. (2 තිමෝ. 3:1-5) මෙම දුෂ්ට ලෝකය පිට දෙවි ගෙනෙන විනාශය වන හර්–මගෙදොන් ළඟා වෙනවාත් සමඟම ආර්ථික, මානසික හා වෙනත් පීඩන වැඩි වෙනවා. ඒ නිසා පවුල රැකබලා ගැනීමට තිබෙන වගකීම් ඉටු කිරීම අපහසුයි කියා සමහරුන්ට හැඟීම පුදුමයක් නොවෙයි. තැළී පොඩි වී වෙහෙසට පත් වී සිටින නිසා ඔවුන්ට එය මහත් බරක් මෙන් දැනෙනවා. ඔබටත් එලෙස හැඟෙනවා නම් ඔබට ඇති වන පීඩනවලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

12 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දෙවිගේ බලය ලබා දෙන බවට දුන් සහතිකය මතක තබාගන්න. (යොහන් 14:16, 17 කියවන්න.) එය විශ්වයේ තිබෙන ප්‍රබලතම බලයයි. ඕනෑම පීඩනයකට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තියත් ඒවා විඳදරාගැනීමට හැකියාවත් ‘අප හිතනවාටත් වඩා වැඩියෙන්’ දෙන්න දෙවිට පුළුවන්. (එෆී. 3:20) “අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්” අප දෙවි කෙරෙහි රඳා සිටිනවා නම් ඔහු “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට ලබා දෙන බව පාවුල් පැවසුවා. (2 කොරි. 4:7, 8) අපට පැමිණෙන පීඩන වළක්වන බව යෙහෝවා දෙවි පොරොන්දු නොවුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඔහු තම බලය මගින් අපට ලබා දෙන බව පොරොන්දු වී තිබෙනවා.—ෆිලි. 4:13.

13. (අ) අපහසු තත්වයක් සමඟ හොඳින් ක්‍රියා කරන්න තරුණියකට ශක්තිය ලැබුණේ කොහොමද? (ආ) ඔබ දන්නා එවැනි අද්දැකීම් තිබෙනවාද?

13 අවුරුදු 19ක් වයසැති ස්ථාවර පුරෝගාමි සේවය කරන ස්ටෙෆනිගේ අද්දැකීම දැන් අපි සලකා බලමු. අවුරුදු 12දී ඇය බරපතළ ලෙස අසනීප වූ අතර පසුව ඇගේ මොළයේ ගෙඩියක් තිබෙන බව දැනගත්තා. ඉන්පසු ඇයට ශල්‍යකර්ම දෙකකට මුහුණ දෙන්නත් විකිරණ ප්‍රතිකාර ලබාගන්නත් සිදු වුණා. නැවත ඇය දෙවතාවක්ම අසාධ්‍යය තත්වයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ වම් පැත්ත පණ නැති වූ අතර පෙනීමද අඩු වුණා. වඩා වැදගත් කියා ඇය සිතූ රැස්වීම් සහ දේවසේවය වෙනුවෙන් ඇය තම ශක්තිය ඉතුරු කරගත්තා. ඒ වුණත් ඇයට විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙවි තම බලය තුළින් ලබා දෙන බව ඇයට තේරුණා. අධෛර්යයට පත් වී සිටින අවස්ථාවලදී අපගේ ප්‍රකාශනවල තිබෙන විවිධ අයගේ අද්දැකීම් ඇයට විශාල ශක්තියක් වී තිබෙනවා. සහෝදර සහෝදරියන් ලිපි මාර්ගයෙන් ඇයව ශක්තිමත් කරන අතර රැස්වීමට පෙර හා පසු ඇයව දිරිගන්වමින් ඇය සමඟ කතාබහ කරනවා. ඇය සමඟ බයිබලය පාඩම් කරන අය පවා ඇය උගන්වන දේ අගය කරන නිසා බයිබලය පාඩම් කරන්න ඇගේ නිවසටම පැමිණෙනවා. මේ සියල්ල වෙනුවෙන් ස්ටෙෆනි මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඇය සම්බන්ධයෙන් ඉටු වී තිබෙන ගීතාවලිය 41:3 ඇගේ සිත්ගත් බයිබල් පදයයි.

14. අප අධෛර්යයට පත් වී සිටින විට නොකළ යුත්තේ කුමක්ද සහ ඒ ඇයි?

14 අධෛර්යයට පත් වී සිටින විට ඊට මුහුණ දිය හැකි හොඳම ආකාරය ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් නවතා දැමීම කියා කිසිවිටකත් නොසිතන්න. කළ හැකි භයානකම දේ එයයි. මන්ද පෞද්ගලිකව හා පවුලක් ලෙස බයිබලය අධ්‍යයනය කිරීම, දේවසේවය හා රැස්වීම් අපට යෙහෝවා දෙවි ඔහුගේ බලය ලබා දෙන ප්‍රධාන ආකාරයි. ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සෑම අවස්ථාවකදීම අපව ප්‍රාණවත්ව තබනවා. (මතෙව් 11:28, 29 කියවන්න.) ප්‍රශ්න ගැටලු නිසා පීඩනයට පත් වී රැස්වීම්වලට පැමිණෙන සහෝදර සහෝදරියන්ට නැවත තම නිවෙස්වලට යන විට මහත් සහනයක් ලැබී තිබෙනවා.

15. (අ) ක්‍රිස්තියානීන්ට පීඩනවලින් තොර ජීවිතයක් දැන් ලබා දෙන බව දෙවි පොරොන්දු වී තිබෙනවාද? බයිබල් පද යොදාගෙන පැහැදිලි කරන්න. (ආ) දෙවි අපට පොරොන්දු වී තිබෙන්නේ කුමක්ද? පැනනඟින ප්‍රශ්නය කුමක්ද?

15 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීම ඉතා පහසු දෙයක් කියා ඉහත සඳහන් දෙයින් අදහස් කරන්නේ නැහැ. ඇත්තටම දෙවිට විශ්වාසවන්ත කෙනෙකු වීම සඳහා දැඩි වෑයමක් දැරිය යුතුයි. (මතෙ. 16:24-26; ලූක් 13:24) කෙසේවෙතත් වෙහෙසට පත් වී සිටින අයට යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ශක්තිය ලබා දෙනවා. යෙසායා ඒ ගැන පැවසුවේ මෙසේයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය. ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය. ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. නමුත් විඩාවට පත් නොවෙති.” (යෙසා. 40:29-31) යෙහෝවා දෙවි අපව එලෙස ශක්තිමත් කරනවා නම් මේ ප්‍රශ්නය ගැන කල්පනා කර බැලීම ඉතා වැදගත්. ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් අපට බරක් කියා සිතෙන සැබෑ හේතුව කුමක්ද?

16. අධෛර්යය වීම හෝ වෙහෙස දැනීමට නැති කරගන්න අපට කුමක් කළ හැකිද?

16 ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ කියා බයිබලයේ අපට උනන්දු කරනවා. (ෆිලි. 1:10) ක්‍රිස්තියානි ජීවිතය මැරතන් තරඟයකට සමාන කරමින් පාවුල් පැවසුවේ ‘අපට බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමා අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු’ කියායි. (හෙබ්‍රෙ. 12:1) ඔහු එහිදී අවධාරණය කළේ අපව වෙහෙසට පත් කරන තේරුමක් නැති ඉලක්ක සහ අනවශ්‍ය බර අප ඉවත් කළ යුතු බවයි. අප දැනටමත් ගත කරන කාර්යබහුල ජීවිතයට සමහරවිට අප තවත් දේවල් එකතු කරනවා විය හැකියි. එසේනම් රැකියාවට, විනෝදයට, ක්‍රීඩාවට හෝ වෙනත් ක්‍රියාකාරකම්වලට ඔබ කොතරම් වේලාවක් වැය කරනවාද කියා නැවත කල්පනා කර බැලීම ප්‍රයෝජනවත් විය හැකියි. අපට නිහතමානිකම හා යටහත්පහත්කම තිබෙනවා නම් අපගේ තත්වය හොඳින් තේරුම්ගෙන අනවශ්‍ය බර අවම කරගැනීමට අප පියවර ගන්නවා.

17. සමහර අය අධෛර්යයට පත් වී සිටින්නේ කුමන හේතුව නිසා විය හැකිද? ඒ ගැන දෙවි ලබා දෙන සහතිකය කුමක්ද?

17 මේ දුෂ්ට ලෝකය තමන් සිතුවාටත් වඩා වැඩි කාලයක් පැවතීම නිසා අප අතර සිටින සමහර අය යම් ප්‍රමාණයකට අධෛර්යයට පත් වී සිටින්න පුළුවන්. (හිතෝ. 13:12) එසේ හැඟෙන අයට හබක්කුක් 2:3හි ඇති මෙම වචනවලින් දිරිගැන්වීමක් ලබාගත හැකියි. “දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ. ඒ නියමිත කාලය ඉක්මනින්ම පැමිණෙන්නේය. දර්ශනය කිසිවිටෙක බොරුවක් නොවන්නේය. එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.” යෙහෝවා දෙවි ඔහුගේ නියමිත කාලයේදී සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකය අවසන් කරන බව සහතික කර තිබෙනවා.

18. (අ) ඔබව ශක්තිමත් කරන්නේ කුමන පොරොන්දුවද? (ආ) ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

18 සෑම පීඩනයක්ම නැති වන කාලය මෙන්ම කිසි කෙනෙක් අධෛර්යයට පත් නොවන කාලය හා සියලුදෙනාම “තරුණ වියට” පැමිණෙන කාලය එන තුරු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් බලා සිටිනවා. (යෝබ් 33:25) අප ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල උද්‍යෝගයෙන් හවුල් වෙනවා නම් දැන් පවා ශක්තිමත්ව සිටීමට අපට දෙවිගේ බලය ලැබෙනවා. (2 කොරි. 4:16; එෆී. 3:16) පීඩන සහ අධෛර්යය වීම් නිසා සදාකාලික ආශීර්වාද නැති කරගන්න එපා. වැරදි පෙලඹීම්, විඩාව හෝ අධෛර්යය යන සෑම දෙයක්ම ක්ෂණිකව ඉවත් නොවුණත් පාරාදීස පොළොවේදී ඒවා සම්පූර්ණයෙන්ම නැති වීමට නියමිතයි. පීඩාවලට මුහුණ දෙන්නත් මිතුරන්ගේ බලපෑම්වලට විරුද්ධ වෙන්නත් වෙනත් ආකාරයේ දුක් කරදරවලට මුහුණ දෙන්නත් දෙවිගේ බලය ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කරන ආකාරය ඊළඟ ලිපියෙන් අපි සලකා බලමු.

ඔබට මතකද?

• බයිබලය කියවීම අපව ශක්තිමත් කරන්නේ කොහොමද?

• යාච්ඤා කිරීම සහ ගැඹුරින් කල්පනා කිරීම අපව ශක්තිමත් කරන්නේ කොහොමද?

• අධෛර්යයට පත් වීම් මඟ හරවාගන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

රැස්වීම්වලින් අපට ශක්තියක් ලැබෙනවා