Skip to content

පටුනට යන්න

ඔබට ලැබී තිබෙන ආශීර්වාද ඔබ අගය කරනවාද?

ඔබට ලැබී තිබෙන ආශීර්වාද ඔබ අගය කරනවාද?

ඔබට ලැබී තිබෙන ආශීර්වාද ඔබ අගය කරනවාද?

දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජීප්තුවේ වහල්භාවයෙන් ආශ්චර්යවත් ලෙස මුදාගත්තා. නැවතත් නිදහසේ දෙවිට නමස්කාර කරන්න ලැබීම ගැන ඔවුන් මහත් සේ ප්‍රීති වුණා. (නික්. 14:29–15:1, 20, 21) කෙසේවෙතත් පාළුකරයේදී ඔවුන්ට විඳින්න සිදු වූ අපහසුතා නිසා යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් කළ දේ ඔවුන්ට අමතක වීමට වැඩි කල් ගියේ නැහැ. ඒ නිසා තමන් සිටි තත්වය ගැන ඔවුන් මෝසෙස්ට මෙසේ මැසිවිලි නඟන්න පටන්ගත්තා. “ඔබ ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මෙතැනට ගෙනාවේ මේ පාළුකරයේ අපිව මරලා දාන්නද? අපිට මෙහෙ කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ. මේ කිසි කමකට නැති කෑම [මන්නා] අපිට දැන් එපා වෙලා.”—ගණන්. 21:5.

නමුත් ඉන් සියවස් ගණනාවකට පසු ඊශ්‍රායෙල්වරුන්ගේ රජුව සිටි දාවිත් මෙසේ පැවසුවා. “ඔබේ මහත් ප්‍රේමය ගැන මම විශ්වාස කළෙමි. ඔබ දෙන ගැලවීම ගැන මාගේ සිත ප්‍රීති වෙයි. යෙහෝවා දෙවියනි, ඔබ මට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙන නිසා මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.” (ගීතා. 13:5, 6) දාවිත් තමා වෙනුවෙන් යෙහෝවා දෙවි පෙන්වූ ප්‍රේමය අමතක කළේ නැහැ. දෙවි ඔහු වෙනුවෙන් කළ දේවල් ඔහු නිතර නිතර කල්පනා කළා. (ගීතා. 103:2) අපටත් යෙහෝවා දෙවි බොහෝ සේ ආශීර්වාද කර තිබෙනවා. අපත් දෙවි කර ඇති ආශීර්වාද කිසිදා අවතක්සේරු නොකරමු. අප භුක්ති විඳින ආශීර්වාද කිහිපයක් දැන් අපි සලකා බලමු.

සමීප බැඳීමක්

“යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය” කියා දාවිත් පැවසුවා. (ගීතා. 25:14) පාපය උරුම වූ මිනිසුන්ට යෙහෝවා දෙවි සමඟ සමීප බැඳීමක් ඇති කරගැනීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! නමුත් ඔහු සමඟ කතා කරන්න කාලය නැති වන තරමට අප එදිනෙදා වැඩකටයුතුවල නිරත වී සිටිනවාද? එසේ වුණොත් දෙවි සමඟ ඇති අපගේ සමීප සබඳතාවට කුමක් සිදු වෙයිද කියා සිතා බලන්න. අපේ සිතේ ඇති වන බිය, අපේ ආශාවන් සහ අප කනස්සලු වන දේවල් වැනි ඕනෑම දෙයක් තමාට පවසයි කියා යෙහෝවා දෙවි අපේ මිත්‍රයා ලෙස අපෙන් බලාපොරොත්තු වෙනවා. (හිතෝ. 3:5, 6; ෆිලි. 4:6, 7) ඒ නිසා අපේ යාච්ඤා කොයි වගේ තත්වයක තියෙනවාද කියා කල්පනා කර බැලීම සුදුසුයි.

යෞවන සහෝදරයෙක් වූ පෝල්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු තමාගේ යාච්ඤාවල තත්වය තව දියුණු කරගත යුතු බව වටහාගත්තා. * ඔහු ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මම යෙහෝවා දෙවිට යාච්ඤා කරද්දී නිතරම එකම දේ කියන්න පුරුදු වෙලා හිටියා.” පසුව ඔහු මුරටැඹ සුචිය ආධාරයෙන් යාච්ඤාව ගැන තොරතුරු සොයා බැලුවා. බයිබලයේ යාච්ඤා 180ක් පමණ සඳහන් වී ඇති බව එවිට ඔහුට දැනගන්න ලැබුණා. පුරාණයේ සිටි යෙහෝවා දෙවිගේ සේවකයන් තමන්ගේ හැඟීම් යාච්ඤාවෙන් දෙවිට පවසා තිබුණ බව ඔහු වටහාගත්තා. ඉන්පසු ඔහු මෙසේ පැවසුවා. “බයිබලයේ තිබෙන යාච්ඤා ගැන කල්පනා කර බැලීමෙන් මට හැඟෙන දේවල් ඒ විදිහටම දෙවිට කියන්න ඕනේ කියලා මම දැනගත්තා. මගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවිට කියන්න ඒක මට උපකාරයක් වුණා. ඒ නිසා මට දෙවිට තවත් ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා.”

“නියම වේලාවට” පෝෂණය

බයිබලයේ සඳහන් සත්‍යයන් අපට ඉගැන්වීම මගින්ද යෙහෝවා දෙවි අපට ආශීර්වාද කර තිබෙනවා. එවැනි ඉගැන්වීම්වලින් ලැබෙන පෝෂණය නිසා ‘සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟන්න’ අපට හැකි වී තිබෙනවා. (යෙසා. 65:13, 14) කොහොමනමුත් එම සත්‍යයන් ගැන අපට තිබෙන උද්‍යෝගය අඩු කරන අහිතකර බලපෑම්වලට හසු නොවී සිටින්න අප වගබලා ගත යුතුයි. උදාහරණයකට යෙහෝවා දෙවිව අත්හැර ඇති අය පතුරන බොරු ප්‍රචාරවලට හසු වුණොත් දෙවි “පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” “නියම වේලාවට” ලබා දෙන පෝෂණයේ ඇති වටිනාකම අගය නොකරන තරමටම අප මුළා විය හැකියි.—මතෙ. 24:45-47.

යෙහෝවා දෙවිට වසර ගණනාවක් විශ්වාසවන්තව සේවය කළ ඔන්ඩ්‍රේගේ අද්දැකීම සලකා බලන්න. බොරු ප්‍රචාරවලට හසු වීම නිසා ඔහු යෙහෝවා දෙවිගෙන් ඈත් වුණා. ඔහු මුලින් සිතුවේ එවැනි තොරතුරු අඩංගු වෙබ් අඩවියක් ටිකකට පරීක්ෂා කර බැලීමෙන් හානියක් වෙන්නේ නැති බවයි. ඔහු ලැබූ අද්දැකීම ඔහු මෙසේ විස්තර කරනවා. “දෙවිව අත්හැර ගිය අය සත්‍යයයි කියලා කිව්ව දේවලට මගේ හිත ඇදිලා ගියා. ඒ අය කියන දේවල් ගැන වැඩි වැඩියෙන් හොයලා බලද්දී යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් මම අයින් වෙන්න ඕන කියලා මට හිතුණා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්ක හරිද කියලා මම ගැඹුරින් හොයලා බැලුවා. ඔවුන් කොයි තරම් කපටි ලෙස ඒවා ඉදිරිපත් කරල තියෙනවාද කියලා මට වැටහුණා. ඔවුන් කරලා තිබුණේ අපේ ප්‍රකාශනවල තියෙන සමහර තොරතුරු අරගෙන ඒවා විකෘති කර අපිට විරුද්ධව සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමයි. ආයෙත් මම අපේ සංවිධානයේ පොත් පත් කියවන්නත් රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා. මොන තරම් දේවල් අහිමි වෙලා තිබුණාද කියලා මට තේරුණා.” ඔන්ඩ්‍රේ දැන් නැවතත් යෙහෝවා දෙවිට සේවය කරනවා.

සහෝදරත්වය

එකමුතු සහෝදරත්වයත් යෙහෝවා දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක්. (ගීතා. 133:1) ක්‍රිස්තියානි සහෝදර සංගමයේ සාමාජිකයන් වීම නිසා අපට පියවරු, මව්වරු හා සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් ලැබී තිබෙනවා. (මාක් 10:29, 30) “සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න” කියා පේතෘස් පැවසුවා.—1 පේතෘ. 2:17.

නමුත් සමහර අවස්ථාවලදී විවිධ හේතු නිසා සහෝදර සහෝදරියන් සමඟ තිබෙන අපේ බැඳීම දුර්වල කරවන තත්වයන් ඇති විය හැකියි. සමහරවිට කෙනෙක් අතින් අපට වරදක් සිදු වුණොත් ඉක්මනින්ම කෝප වී එම තැනැත්තාව විවේචනය කරන්න අප පෙලඹිය හැකියි. තම සේවකයන් අතින් වැරදි සිදු වුණත් ඔවුන්ට යෙහෝවා දෙවි ප්‍රේම කරන බව එවැනි අවස්ථාවක මතකයට නඟාගැනීම අපට ප්‍රයෝජනවත් වෙනවා. එමෙන්ම “‘අප තුළ පාපයක් නැත’ කියා අප පැවසුවොත් අප කරන්නේ අපවම රවටාගැනීමක්” බව මතක තබාගන්න. (1 යොහ. 1:8) එමනිසා ‘අන් අය කරන දේ ගැන ඉවසන්නත් නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්නත්’ අප වෑයම් කළ යුතුයි.—කොලො. 3:13.

යෞවනියක් වන ඈන් ක්‍රිස්තියානි සහෝදරත්වයේ වටිනාකම තේරුම්ගත්තේ අසීරු තත්වයකට මුහුණ දුන් පසුවයි. යේසුස් පැවසූ උපමාවේ අකීකරු පුත්‍රයා මෙන් ක්‍රියා කර ඇය දෙවිගේ සංවිධානයෙන් ඈත් වුණා. නමුත් පසු කලෙක ඇගේ වරද වටහාගත් ඇය නැවත දෙවි වෙතට හැරී ආවා. (ලූක් 15:11-24) තමා ලැබූ අද්දැකීමෙන් ඉගෙනගත්තේ කුමක්ද කියා ඇය මෙසේ පවසනවා. “සහෝදර සහෝදරියන් අතින් මොන තරම් වැරදි සිදු වුණත් ඔවුන් සෑම කෙනෙක්ම මට වටිනවා. ඉස්සර නම් පොඩි අඩුපාඩුවක් සිදු වුණත් මම ඔවුන්ව විවේචනය කරනවා. ඒත් දැන් සහෝදර සහෝදරියන්ගේ ඇසුරෙන් මාව ඈත් කරන්න කිසිම දෙයකට ඉඩ දෙන්නේ නැහැ කියලා මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. සහෝදර සහෝදරියන් අද්දකින එක්සත්කම ලෝකයේ වෙන කොහෙන්වත් සොයාගන්න බැහැ.”

ආශීර්වාද සැමවිටම අගය කරන්න

මිනිසුන් අද්දකින ප්‍රශ්නවලට විසඳුම් ගෙනෙන දෙවිගේ රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව මිල කළ නොහැකි වස්තුවකට සමානයි. එම බලාපොරොත්තුව ගැන අපට මුලින්ම අසන්න ලැබුණු අවස්ථාවේ අප හද පත්ලෙන්ම එය අගය කළා. අපට එදා හැඟුණේ “ඉතා වටිනා එක් මුතු ඇටයක්” මිල දී ගැනීමට “තමා සතු සෑම දෙයක්ම විකුණා” දැමූ වෙළෙන්දාට හැඟුණ ආකාරයටයි. (මතෙ. 13:45, 46) එම වෙළෙන්දාට මුතු ඇටය ගැන තිබූ අගය අඩු වූ බව යේසුස් පැවසුවේ නැහැ. එලෙසම අපත් අපට ලැබී තිබෙන වටිනා බලාපොරොත්තුව කෙරෙහි ඇති අගය අඩු කර නොගත යුතුයි.—1 තෙස. 5:8; හෙබ්‍රෙ. 6:19.

වසර 60කට වැඩි කාලයක් යෙහෝවා දෙවිට සේවය කළ ජීන්ගේ අද්දැකීම සලකා බලමු. ඇය මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ගැන අන් අය සමඟ නිතර නිතර කතා කරද්දී මට ඒ ගැන තියෙන අගය වැඩි වෙනවා. ඔවුන් දේවරාජ්‍යය ගැන අවබෝධ කරගෙන සතුටක් ලබනවා දකිද්දී මමත් ඉන් ලොකු සතුටක් ලබනවා. බයිබලය ඉගෙනගන්න කෙනෙක් තම ජීවිතය වෙනස් කරගනිද්දී ‘බයිබලයේ සඳහන් සත්‍යය මොන තරම් වටින දෙයක්ද’ කියලා මට හිතෙනවා.”

අපට ලැබී තිබෙන බොහෝ ආශීර්වාද ගැන ස්තුතිවන්ත වෙන්න අපට බොහෝ හේතු තිබෙන බව පැහැදිලියි. සමහර අවස්ථාවලදී විරුද්ධවාදිකම්, අසනීප, මහලු වයස, මානසික පීඩනය, වියෝදුක සහ ආර්ථික ප්‍රශ්න වැනි දේවලට අප මුහුණ දුන්නත් ඒවා තාවකාලික බව අප දන්නවා. අද අප අද්දකින සෑම දුක් වේදනාවක්ම දේවරාජ්‍යය යටතේදී සම්පූර්ණයෙන්ම නැති වීමට නියමිතයි. එදාට අප දැන් භුක්ති විඳින ආශීර්වාදවලට අමතරව සම්පූර්ණ ශාරීරික සුවයද ලැබෙනවා.—එළි. 21:4.

එතෙක් අපට ලැබී තිබෙන ආශීර්වාද අගය කරමින් ගීතිකාකරු මෙන් අපි මෙසේ පවසමු. “යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය. කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක. ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි. නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.”—ගීතා. 40:5.

[පාදසටහන]

^ 6 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[18වන පිටුවේ පින්තූරය]

දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමට උපකාර