Skip to content

පටුනට යන්න

දුෂ්ටකමට වෛර කරමු

දුෂ්ටකමට වෛර කරමු

දුෂ්ටකමට වෛර කරමු

‘යේසුස් අධර්මිෂ්ඨකමට [දුෂ්ටකමට] වෛර කළා.’—හෙබ්‍රෙ. 1:9.

1. ප්‍රේමය ගැන යේසුස් ඉගැන්නුවේ කුමක්ද?

එකිනෙකාට ප්‍රේම කිරීම මොන තරම් වැදගත්ද කියා යේසුස් තම ගෝලයන්ට ඉගැන්නුවා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහ. 13:34, 35) ඉන් අදහස් කළේ ඔවුන් පරිත්‍යාගශීලීව අන් අයට ප්‍රේමය පෙන්විය යුතු බවයි. එය ඔවුන් යේසුස්ගේ ගෝලයන් බව හඳුනාගැනීමේ ලකුණද වෙනවා. ඒ වගේම යේසුස් තවදුරටත් පැවසුවේ ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න’ කියායි.—මතෙ. 5:44.

2. යේසුස්ගේ අනුගාමිකයන් වෛර කළ යුත්තේ කුමකටද?

2 තම අනුගාමිකයන්ට ප්‍රේමය ගැන උගන්වනවාට අමතරව ඔවුන් වෛර කළ යුතු දේවල් ගැනත් යේසුස් ඉගැන්නුවා. යේසුස් පවා එසේ කළ බව බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට [දුෂ්ටකමට] වෛර කළෙහිය.” (හෙබ්‍රෙ. 1:9; ගීතා. 45:7) ඉන් අදහස් කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දැක්වීම පමණක් නොව දුෂ්ටකමටත් එනම්, පව්කාර ක්‍රියාවලටත් අප වෛර කළ යුතු බවයි. එය මොන තරම් වැදගත්ද කියා යොහන් මෙසේ කාවද්දනවා. “පාපයෙහි නියැලී සිටින සෑම කෙනෙක්ම දෙවිගේ නීති උල්ලංගනය කරමින් සිටිති. ඒ අනුව දෙවිගේ නීතිය උල්ලංගනය කිරීම පාපයට සමානය.”—1 යොහ. 3:4.

3. දුෂ්ටකමට වෛර කිරීම සම්බන්ධයෙන් අප සලකා බලන්නේ කුමන පැති හතරද?

3 ක්‍රිස්තියානීන් ලෙස අප එක් එක් කෙනා කල්පනා කර බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක් වන්නේ ‘මම දුෂ්ටකමට වෛර කරනවාද’ යන්නයි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් පැති හතර ගැන දැන් අපි සලකා බලමු. (1) මත්පැන් අනිසි භාවිතය (2) භූතවාදය (3) අනාචාරය (4) දුෂ්ටකමට ඇලුම් කරන අය ගැන අපගේ ආකල්පය.

මත්පැන්වලට වහල් නොවන්න

4. බේබදුකම ගැන උපදෙස් දීමට යේසුස් සුදුසු තත්වයක සිටියා කියා පවසන්න පුළුවන් ඇයි?

4 සිත සතුටු කරන වයින් අපට ලබා දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. (ගීතා. 104:14, 15) යේසුස්ද ඉඳහිට වයින් පානය කළා. කෙසේවෙතත් ඔහු ඒ කිසිම අවස්ථාවක පමණ ඉක්මවා වයින් පානය කළේ නැහැ. (හිතෝ. 23:29-33) ඒ නිසා බේබදුකම ගැන උපදෙස් දීමට යේසුස් සුදුසු තත්වයක සිටියා. (ලූක් 21:34 කියවන්න.) අධික ලෙස මත්පැන් පානය කිරීම වෙනත් බොහෝ බරපතළ වැරදිවලට මඟ පෑදිය හැකියි. ඒ ගැන පාවුල් පැවසුවේ ‘වයින්වලින් වෙරි නොවන්න. මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි. ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරින්න’ කියායි. (එෆී. 5:18) එමෙන්ම සභාවේ සිටින වැඩිහිටි ස්ත්‍රීන් ‘බොහෝ වයින් පානයට ඇබ්බැහි නොවිය’ යුතුයි කියාද පාවුල් උපදෙස් දුන්නා.—තීත. 2:3.

5. මත්පැන් පානය කරන කෙනෙකුට සලකා බැලිය හැකි ප්‍රශ්න මොනවාද?

5 ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් මේ ප්‍රශ්න ගැන සිතා බලන්න. ‘පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම ගැන යේසුස් දැරූ ආකල්පය මටත් තියෙනවාද? ඒ ගැන තව කෙනෙකුට උපදෙස් දෙන්න මට සිදු වුණොත් අවංකවම මට එය කළ හැකිද? මම මත්පැන් පානය කරන්නේ ප්‍රශ්න ගැටලුවලින් හෝ පීඩනයෙන් මිදෙන්නද? සතියකට කොපමණ ප්‍රමාණයක් මම මත්පැන් ගන්නවාද? මම මත්පැන් වැඩියෙන් ගන්නවා කියා කෙනෙක් පැවසුවොත් මම ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? මම නිදහසට කරුණු කියනවාද නැත්නම් මට කේන්ති යනවාද?’ මත්පැන්වලට ලොල් වී සිටින කෙනෙකුට තර්කානුකූලව සිතන්නත් ඥානවන්ත තීරණ ගන්නත් අපහසු විය හැකියි. නමුත් යේසුස්ගේ අනුගාමිකයන් තම සිතීමේ හැකියාව ආරක්ෂා කරගැනීමට උපරිම ලෙස වෑයම් කරනවා.—හිතෝ. 3:21, 22.

භූතයන් හා සම්බන්ධ දේවලට හවුල් නොවන්න

6, 7. (අ) සාතන් හා භූතයන්ට විරුද්ධව යේසුස් ක්‍රියා කළේ කොහොමද? (ආ) එවැනි ක්‍රියා වර්තමානයේදී බහුලව සිදු වන්නේ ඇයි?

6 යේසුස් පොළොව මත සිටි කාලයේදී සාතන් සහ භූතයන්ට තදින්ම විරුද්ධ වුණා. දෙවිට දක්වන විශ්වාසවන්තකම නැති කරන්න සාතන් ඍජුවම උත්සාහ කළ අවස්ථාවේදී යේසුස් ඊට හසු වුණේ නැහැ. (ලූක් 4:1-13) එමෙන්ම තමාගේ ක්‍රියා හා ආකල්පවලට සූක්ෂ්ම ලෙස සාතන් එල්ල කළ බලපෑම් හඳුනාගත් යේසුස් ඒවාටද හසු වුණේ නැහැ. (මතෙ. 16:21-23) එපමණක් නොව භූතයන්ගේ බලපෑම්වලින් නිදහස් වීමට කැමැත්තෙන් සිටි අයවද ඔහු මුදවාගත්තා.—මාක් 5:2, 8, 12-15; 9:20, 25-27.

7 යේසුස් 1914දී රජ වූ පසු සාතන් සහ භූතයන්ව පොළොවට හෙළා ස්වර්ගය පිරිසිදු කළා. එදා සිට සාතන් වෙන කවරදාටත් වඩා වැඩියෙන් ‘මුළු පොළොවම නොමඟ යවමින්’ සිටිනවා. (එළි. 12:9, 10) ඒ නිසා බොහෝදෙනා භූතවාදයට සම්බන්ධ අද්භූත දේවලට ආකර්ෂණය වීම ගැනත් එවැනි ක්‍රියා අද බහුලව සිදු වීම ගැනත් අප පුදුම විය යුතු නැහැ. ඒවාට හසු නොවී සිටීමට අපට කුමක් කළ හැකිද?

8. විනෝදය වෙනුවෙන් කරන දේවල් තෝරාගන්නා විට අප අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

8 භූතවාදයට සම්බන්ධ ක්‍රියාවල නියැලීමේ භයානකකම ගැන බයිබලයේ අනතුරු අඟවනවා. (ද්විතීය කතාව 18:10-12 කියවන්න.) භූතවාදයට සම්බන්ධ අද්භූත දේවල් අඩංගු චිත්‍රපට, පොත් සහ ඉලෙක්ට්‍රෝනික ක්‍රීඩා මගින් ජනයාගේ සිතුවිලිවලට සාතන් සහ භූතයන් බලපෑම් කරනවා. ඒ නිසා විනෝදය සඳහා කරන දේවල් තෝරාගැනීමේදී ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘පසුගිය මාස කිහිපය තුළදී මම අද්භූත දේවල් අඩංගු චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන්, ඉලෙක්ට්‍රෝනික ක්‍රීඩා, පොත් සහ කාටුන් වැඩසටහන් වැනි දේවල් විනෝද වීම සඳහා තෝරාගත්තාද? ඉන් සිදු වන හානිය මොන තරම් බරපතළද කියා මම තේරුම්ගෙන තිබෙනවාද? නැත්නම් මම එය සැහැල්ලුවට ගන්නවාද? විනෝදය වෙනුවෙන් තෝරාගන්නා දේවල් ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය ගැන අඩුම තරමින් මම හිතලවත් තියෙනවාද? මම එවැනි දේවල් කරමින් සිටිනවා නම් දෙවිට හා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට තියෙන ප්‍රේමය නිසා ඉන් ඉවත් වීමට පියවර ගන්න සූදානම්ද?’—ක්‍රියා 19:19, 20.

අනාචාරය ගැන යේසුස් කළ අනතුරු ඇඟවීම

9. කෙනෙක් දුෂ්ටකමට ඇලුම් කළ හැක්කේ කොහොමද?

9 අනාචාරය ගැන යෙහෝවා දෙවි ලබා දුන් නීතිය යේසුස් උසස් කොට සැලකුවා. ඔහු ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා. එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.” (මතෙ. 19:4-6) අප දකින දේවල් අපගේ සිතට විශාල බලපෑමක් කළ හැකි බවත් එමගින් අනාචාරයට පෙලඹිය හැකි බවත් යේසුස් දැන සිටියා. ඒ නිසා කන්ද උඩ දේශනාවේදී ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “‘අනාචාරයේ නොහැසිරෙන්න’ කියා පවසා තිබෙන බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.” (මතෙ. 5:27, 28) යේසුස්ගේ එම අවවාදය නොසලකාහරින අය දුෂ්ටකමට ඇලුම් කරනවා කියා පැවසිය හැකියි.

10. කාමුක හැඟීම් අවුස්සන දේවල් නැරඹීමෙන් මිදිය හැකි බව පෙන්වන අද්දැකීමක් පවසන්න.

10 කාමුක හැඟීම් අවුස්සන දේවල් නැරඹීමට හා කියවීමට සැලැස්වීම මගින් සාතන් අනාචාරයට පොලඹවනවා. අද සමාජයේ අනාචාරයට තුඩු දෙන දේවල් බහුලව දක්නට ලැබෙනවා. කාමුක දර්ශන නරඹන අය තමන් දුටු දර්ශන මනසින් ඉවත් කරගැනීම අපහසු බව වටහාගෙන තිබෙනවා. සමහරු ඊට ඇබ්බැහි වීමටද ඉඩ තිබෙනවා. ඒ ගැන සහෝදරයෙකුගේ අද්දැකීම සලකා බලන්න. “මම හොරෙන් කාමුක දර්ශන නැරඹුවා. ඒක වැරදියි කියලා මම දැනගෙන හිටියා. ඒත් දෙවිට සේවය කරන ගමන් කාමුක දර්ශන නැරඹුවත් මම කරන සේවය දෙවි පිළිගනියි කියලා මම හිතුවා.” මෙම සහෝදරයා ඔහුගේ වරද නිවැරදි කරගත්තේ කොහොමද? ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මගේ ගැටලුව ගැන වැඩිමහල්ලන්ට කියන්න මම තීරණය කළා. මගේ ජීවිතේ ගත්ත අමාරුම තීරණය ඒකයි.” පසුව මෙම සහෝදරයා එම අශික්ෂිත පුරුද්දෙන් මිදුණා. “ඒ පුරුද්දෙන් මිදුණට පස්සේ මට ලොකු සහනයක් දැනුණා. දැන් මට දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් තියෙනවා” කියා ඔහු පවසනවා. දුෂ්ටකමට වෛර කරන අය කාමුක හැඟීම් අවුස්සන දේවල් නැරඹීමෙන් හා කියවීමෙන් වැළකී සිටිය යුතුයි.

11, 12. ගීත තෝරාගැනීමේදී දුෂ්ටකමට වෛර කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

11 ගීතයක සංගීතය හා පද රචනා අපගේ හැඟීම්වලට සහ සිතට ප්‍රබල බලපෑමක් එල්ල කරනවා. දෙවිගෙන් ලැබුණු දීමනාවක් වන සංගීතය අතීතයේ සිටම සැබෑ නමස්කාරයේ කොටසක්ව පැවතුණා. (නික්. 15:20, 21; එෆී. 5:19) නමුත් සාතන්ගේ පාලනය යටතේ පවතින දුෂ්ට ලෝකයේ ඇති සංගීතය අනාචාරයට දිරි දෙනවා. (1 යොහ. 5:19) ඔබ සවන් දෙන ගීත ඔබගේ සිත දූෂ්‍ය කරනවාද නැද්ද කියා දැනගන්නේ කොහොමද?

12 ඒ සඳහා මෙම ප්‍රශ්න ගැන සලකා බලන්න. ‘මම සවන් දෙන ගීත මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම සහ අපහාස කිරීම වැනි දේවලට දිරි දෙනවාද? ඒවායේ පද මාලාවන් තව කෙනෙකුට පැවසුවොත් එම තැනැත්තා මම දුෂ්ටකමට වෛර කරන කෙනෙක් ලෙස සලකයිද? නැත්නම් මගේ සිත දූෂ්‍ය වෙලා කියලා සිතයිද?’ දුෂ්ටකමට දිරි දෙන ගීතවලට සවන් දෙනවා නම් දුෂ්ටකමට වෛර කරනවා කියා පවසන්න බැහැ. යේසුස් ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙසේයි. “කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනුයි. උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.”—මතෙ. 15:18, 19; යාකොබ් 3:10, 11ද බලන්න.

දුෂ්ටකමට ඇලුම් කරන අය ගැන යේසුස්ගේ ආකල්පය

13. පසුතැවිලි නොවී දිගින් දිගටම දුෂ්ටකම් කරන අය ගැන යේසුස්ට තිබුණු ආකල්පය කුමක්ද?

13 තමා පැමිණියේ පව්කාරයන්ට හෝ දුෂ්ටකම් කරන අයට පසුතැවිලි වීමට උපකාර කරන්නයි කියා යේසුස් පැවසුවා. (ලූක් 5:30-32) නමුත් පසුතැවිලි නොවී දිගින් දිගටම දුෂ්ටකම් කරන අයව යේසුස් දැඩි ලෙස හෙළා දැක්කා. එවැනි අයගේ බලපෑමට හසු නොවන්න කියාද යේසුස් අනතුරු ඇඟෙව්වා. (මතෙ. 23:15, 23-26) එමෙන්ම යේසුස් පැහැදිලිව මෙවැනි දෙයක්ද සඳහන් කළා. “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ දවසේදී [දෙවි විනිශ්චය කරන විට] බොහෝදෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද’ කියා මගෙන් අසයි. එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.” (මතෙ. 7:21-23) ඔවුන්ට එවැනි විනිශ්චයක් ලැබෙන්නේ ඇයි? ඊට හේතුව එවැනි අය දෙවිව අගෞරවයට පත් කරන නිසා හා ඔවුන්ගේ නරක පුරුදුවලින් අන් අයට හානි වන නිසයි.

14. පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේ ඇයි?

14 පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කියා බයිබලයේ ආඥා කර තිබෙනවා. (1 කොරින්ති 5:9-13 කියවන්න.) එවැනි දෙයක් කිරීම සුදුසු වීමට හේතු වන කරුණු තුනක් පහත සඳහන් වෙනවා. (1) දෙවිගේ නාමයට සිදු වන නින්දාව වැළැක්වීම (2) සභාව වැරදි බලපෑම්වලින් ආරක්ෂා කිරීම (3) වරදකරුට පසුතැවිලි වීමට උපකාර කිරීම.

15. දෙවිට දක්වන විශ්වාසවන්තකම ඔප්පු කිරීම සඳහා අප කල්පනා කළ යුතු ප්‍රශ්න මොනවාද?

15 පුරුද්දක් ලෙස දුෂ්ටකම් කරන අය ගැන අපට යේසුස්ගේ ආකල්පය තිබෙනවාද? ඒ සඳහා අප මේ ප්‍රශ්න ගැන කල්පනා කිරීම වැදගත්. ‘සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හෝ ඉවත් වූ කෙනෙක්ව නිතරම ඇසුරු කිරීමට මම මඟක් සොයනවාද? ඔහු මගේ නිවසේ ජීවත් නොවන මගේ පවුලේ කෙනෙක් නම් මම ක්‍රියා කරන්නේ කොහොමද?’ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අප මොන තරම් ඇලුම් කරනවාද කියා පෙන්වීමටත් දෙවිට දක්වන විශ්වාසවන්තකම ඔප්පු කිරීමටත් එය අපට ලැබෙන හොඳ අවස්ථාවක්. *

16, 17. මවකට මුහුණ දීමට සිදු වූ අසීරු තත්වය කුමක්ද? සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරය ගැන තිබෙන සැලැස්මට එකඟව ක්‍රියා කරන්න ඇයට උපකාරවත් වුණේ කුමක්ද?

16 සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පුතෙක් සිටින මවකගේ අද්දැකීම සලකා බලන්න. ඔහු කලක් දෙවිට විශ්වාසවන්තව සිටියත් පසුව පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කළ නිසා ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා. එම මව යෙහෝවා දෙවිට වගේම ඇගේ පුතාටත් ගොඩක් ප්‍රේම කළා. ඒ නිසා ඔහු සමඟ ඇසුරු කරන්න එපා කියා බයිබලයේ සඳහන් ආඥාව අදාළ කරගැනීම ඇයට එතරම් පහසු වුණේ නැහැ.

17 ඇයව දිරිගන්වන්න ඔබට අවස්ථාවක් ලැබුණා නම් ඔබ පවසන්නේ කුමක්ද? ඇයට දැනෙන වේදනාව ගැන දෙවිට අවබෝධයක් තිබෙන බව තේරුම්ගන්න වැඩිමහල්ලෙක් ඇයට උපකාර කළා. දෙවිගේ ස්වර්ගික පුත්‍රයන්ගෙන් සමහරදෙනෙක් ඔහුට විරුද්ධව කැරලිගැසූ විට දෙවිට දැනුණු වේදනාව මොන තරම්ද කියා සිතා බලන්න වැඩිමහල්ලා ඇයට දිරිගැන්නුවා. එවැනි තත්වයකදී මොන තරම් දුකක් දැනෙනවාද කියා දෙවි දන්නවා වුණත් එවැනි කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම දෙවි බලාපොරොත්තු වන බව වැඩිමහල්ලා ඇයට පහදා දුන්නා. එම උපදෙස සිතට ගත් ඇය සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරය ගැන තිබෙන සැලැස්මට එකඟව ක්‍රියා කළා. * ඒ ආකාරයෙන් පෙන්වන විශ්වාසවන්තකම මගින් දෙවිව සතුටු කළ හැකියි.—හිතෝ. 27:11.

18, 19. (අ) දුෂ්ටකමට ඇලුම් කරන කෙනෙකු සමඟ ඇසුරු නොකිරීමෙන් අප පෙන්වන්නේ කුමකට වෛර කරන බවද? (ආ) දෙවිට සහ ඔහු ඇති කර තිබෙන සැලැස්මට කීකරු වීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

18 ඉහත සඳහන් ආකාරයේ තත්වයකට මුහුණ දෙන්න ඔබට සිදු වුණොත් ඔබේ දුක යෙහෝවා දෙවිට දැනෙන බව කිසිවිටක අමතක නොකරන්න. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හෝ ඉවත් වූ කෙනෙකු සමඟ ඇසුරු නොකිරීමෙන් ඔබ පෙන්වන්නේ කුමක්ද? එම තත්වයට පත් වෙන්න ඔහුට තුඩු දුන් ආකල්ප හා ක්‍රියාවලට ඔබ වෛර කරන බවයි. ඒ වගේම එම තැනැත්තාට ඔබ ප්‍රේම කරන බවත් ඔහුගේ යහපත වෙනුවෙන් සැලකිලිමත් වන බවත් ඔබ පෙන්වනවා. ඔබ එලෙස දෙවිට විශ්වාසවන්තව සිටින විට එම තැනැත්තා පසුතැවිලි වී නැවත දෙවි වෙතට හැරී ඒමට තිබෙන ඉඩකඩ වැඩියි.

19 සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙක් නැවත සභා සාමාජිකයෙක් ලෙස පිළිගත් පසු මෙවැනි දෙයක් පැවසුවා. “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ප්‍රේම කරන නිසා ඔහුගේ සංවිධානය පවිත්‍රව තබාගන්න ක්‍රියා කරන එක ගැන මම සතුටු වෙනවා. ඒක දරුණු ක්‍රියාවක් කියලා දෙවිට සේවය නොකරන අය හිතන්න ඉඩ තිබුණත් ඇත්තටම ඒක කළ යුතු ප්‍රේමණීය දෙයක්.” ඇගේ පවුලේ අය සහ සභාවේ අය නිතරම ඇය සමඟ කතා කළා නම් ඇය එවැනි නිගමනයකට එයි කියා ඔබ සිතනවාද? සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙක් සම්බන්ධයෙන් බයිබලයේ පවසා තිබෙන දේට අනුව ක්‍රියා කිරීමෙන් අප පෙන්වන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අප ඇලුම් කරන බවයි. එමෙන්ම අප ක්‍රියා කළ යුතු ආකාරය ගැන ප්‍රමිති ලබා දීමට යෙහෝවා දෙවිට තිබෙන අයිතිය අප පිළිගන්නා බවත් ඉන් පෙන්වනවා.

“නපුරට ද්වේෂ කරන්න”

20, 21. දුෂ්ටකමට වෛර කරන්න ඉගෙනගැනීම වැදගත් ඇයි?

20 “ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.” ඒ නිසා “සිහිකල්පනාව ඇතුව සිටින්න” කියා පේතෘස් අපට අනතුරු ඇඟෙව්වා. (1 පේතෘ. 5:8) සාතන් ගිල දැමීමට සොයන්නේ ඔබව විය නොහැකිද? ඔබ සාතන්ගේ ගොදුරක් වෙනවාද නැද්ද යන්න රඳා පවතින්නේ ඔබ දුෂ්ට දේට මොන තරම් වෛර කරනවාද යන කාරණය මතයි.

21 අපට පාපය උරුම වී තිබෙන නිසා හා අපේම ආශාවන් ඉටු කරගැනීමට දිරි දෙන ලෝකයක අප ජීවත් වන නිසා දුෂ්ටකමට වෛර කිරීම එතරම් පහසු නැහැ. (1 යොහ. 2:15-17) කෙසේවෙතත් යේසුස් ක්‍රිස්තුස්ව ආදර්ශයට ගැනීම හා යෙහෝවා දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඇති කරගැනීම මගින් දුෂ්ට දේට වෛර කරන්න අපට හැකියි. යෙහෝවා දෙවි ‘ඔහුට විශ්වාසවන්තව සිටින අයව දුෂ්ටයන්ගේ අතින් ගලවාගන්නවා’ යන නිසැකකම ඇතුව අපි “නපුරට ද්වේෂ කරන්න” අධිෂ්ඨාන කරගනිමු.—ගීතා. 97:10.

[පාදසටහන්වල]

^ 15 ඡේ. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට 1981 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 16-20 දක්වා පිටු බලන්න.

^ 17 ඡේ. වැඩි විස්තර සඳහා 2007 ජනවාරි 15 මුරටැඹ කලාපයේ 17-20 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• මත්පැන් ගැන අපට තිබෙන ආකල්පය කුමක්ද කියා සෝදිසි කර බැලීමට අපට උපකාරවත් වෙන්නේ කුමක්ද?

• භූතවාදයට සම්බන්ධ දේවලින් ආරක්ෂා වීමට ගත හැකි පියවර මොනවාද?

• කාමුක දර්ශන නැරඹීම අනතුරුදායක වෙන්නේ ඇයි?

• අප ප්‍රේම කරන කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ විට දුෂ්ටකමට වෛර කරන බව අප පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් සලකා බැලිය යුත්තේ කුමක් ගැනද?

[30වන පිටුවේ පින්තූරය]

භූතවාදී දේවල් ගැන පරෙස්සම් වෙන්න

[31වන පිටුවේ පින්තූරය]

කාමුක දර්ශන නරඹන අය ඇලුම් කරන්නේ කුමකටද?