Skip to content

පටුනට යන්න

දෙවිගේ අනුමැතිය සදාකල් ජීවිතයට මඟ පාදයි

දෙවිගේ අනුමැතිය සදාකල් ජීවිතයට මඟ පාදයි

දෙවිගේ අනුමැතිය සදාකල් ජීවිතයට මඟ පාදයි

“යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද කරන්නෙහිය. ඔබේ අනුමැතිය ඔවුන්ට ලබා දෙන්නෙහිය. විශාල පලිහක් මෙන් ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය.”—ගීතා. 5:12.

1, 2. වැන්දඹුවගෙන් එලියා ඉල්ලුවේ කුමක්ද? ඔහු ඇයට ලබා දුන් සහතිකය කුමක්ද?

සාරෆෙත් නගරයේ සිටි වැන්දඹුවක් සහ ඇගේ පුත්‍රයා මෙන්ම දෙවිගේ අනාගතවක්තෘවරයා වන එලියාද සිටියේ කුසගින්නෙයි. වැන්දඹුව රොටි සෑදීමට දර අහුලමින් සිටියදී එලියා ඇගෙන් බොන්න වතුර ටිකක් හා කන්න රොටි කෑල්ලක් ඉල්ලුවා. ඇය ඔහුට බොන්න වතුර ටිකක් දෙන්න කැමති වුණත් රොටි සෑදීම සඳහා ඇය ළඟ ඉතුරුව තිබුණේ “පිටි ටිකකුත්, තෙල් ටිකකුත් විතරයි.” ඒ නිසා එලියාට කෑමට යමක් දීමට ඇයට හැකියාවක් තිබුණේ නැහැ. ඇය ඒ බව එලියාට පැවසුවා.—1 රාජා. 17:8-12.

2 “මුලින්ම මට කන්න පොඩි රොටියක් හදාගෙන එන්න. ඊටපස්සේ ඔබටත් ඔබේ පුතාටත් මොනවා හරි හදාගන්න පුළුවන් වෙයි. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි නැවත වැසි වස්සවන තෙක් ඔබ ළඟ තිබෙන පිටිවත් තෙල්වත් ඉවර වෙන්නේ නැහැ’” කියා එලියා ඇයට පැවසුවා.—1 රාජා. 17:13, 14.

3. අප ගත යුතු වැදගත් තීරණය කුමක්ද?

3 තමන් ළඟ තිබෙන සුළු ආහාර ප්‍රමාණයෙන් එලියාට යමක් හදලා දෙනවාද නැද්ද කියා වැන්දඹුව ගන්න තීරණයට තවත් වැදගත් දෙයක් සම්බන්ධ වී තිබෙනවා. ඇය තමාවත් තම පුත්‍රයාවත් ආරක්ෂා කිරීමට දෙවිට තිබෙන හැකියාව ගැන විශ්වාස කරයිද? එසේ නැත්නම් ඇගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් දෙවිගේ අනුමැතිය සහ ඔහු සමඟ තිබෙන මිත්‍රත්වය නැති කරගනියිද? අපටත් ඒ හා සමාන තීරණයක් ගැනීමට තිබෙනවා. එනම්, දෙවිගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කරනවාට වඩා අපගේ අවශ්‍යතාවන් සපුරාගැනීමට අප මුල් තැන දෙනවාද? යෙහෝවා දෙවිව විශ්වාස කිරීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා. ඒ වගේම ඔහුගේ අනුමැතිය ලබාගැනීමට අපට කළ හැකි දේවල්ද තිබෙනවා.

‘නමස්කාරය ලැබීමට වටිනා තැනැත්තාණන්’

4. අපගේ නමස්කාරය ලැබීමට යෙහෝවා දෙවි වටින්නේ ඇයි?

4 දෙවිට පිළිගත හැකි ආකාරයෙන් අප ඔහුට නමස්කාර කරයි කියා අපෙන් බලාපොරොත්තු වීමට දෙවිට අයිතියක් තිබෙනවා. දේවදූතයන් පිරිසක් ඒ බව මෙසේ තහවුරු කරනවා. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.” (එළි. 4:11) යෙහෝවා දෙවි සියල්ලේ නිර්මාතෘ නිසා අපගේ නමස්කාරය ලැබීමට වටින එකම තැනැත්තාණන් ඔහුයි.

5. දෙවි පෙන්වා ඇති ප්‍රේමය ඔහුට නමස්කාර කිරීමට අපව පෙලඹවිය යුත්තේ ඇයි?

5 වෙන කිසි කෙනෙකුට වඩා යෙහෝවා දෙවි අපට ප්‍රේමය පෙන්වා තිබෙන නිසා ඔහුට නමස්කාර කළ යුතු වීමට එයද තවත් හේතුවක්. “දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 1:27) තීරණ ගැනීමේ හැකියාව ඇතුව දෙවි මිනිසාව නිර්මාණය කර ඇති නිසා දෙවිට නමස්කාර කරනවාද නැද්ද කියා තීරණය කිරීමේ නිදහස ඔවුන්ට තිබෙනවා. අපට ජීවිතය ලබා දුන්නේ යෙහෝවා දෙවි නිසා ඔහු අපගේ ස්වර්ගික පියායි. (ලූක් 3:38) ප්‍රේමණීය පියෙක් තම දරුවන්ට යහපත් දේවල් දෙනවා හා සමානව යෙහෝවා දෙවිද ඔහුගේ දූපුතුන්ට ජීවිතය සන්තෝෂයෙන් භුක්ති විඳීමට අවශ්‍ය සෑම දෙයක්ම සපයා තිබෙනවා. අලංකාර පරිසරයක අපට අවශ්‍ය ආහාර සියල්ල ලබාගැනීමට හැකි වන ලෙස දෙවි පොළොවට ‘හිරු උදා කරවන අතර වැස්සද ලබා දෙනවා.’—මතෙ. 5:45.

6, 7. (අ) ආදම් තමාගෙන් පැවත එන අය මත ඇති කළ හානිය කුමක්ද? (ආ) දෙවිගේ අනුමැතිය සොයන අයට යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

6 පාපය නිසා අපට මුහුණ දීමට සිදු වන භයානක ප්‍රතිඵලවලින් දෙවි අපව ගලවාගෙන තිබෙනවා. දෙවිට අකීකරු වීම තුළින් ආදම් සිදු කළේ සූදුවේ නියැලෙන කෙනෙක් ඔහුගේ පවුලේ අයගෙන් මුදල් සොරකම් කරනවා හා සමාන දෙයක්. යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමෙන් ආදම් ඔහුගේ දරුවන්ගේ සදාකාල සන්තෝෂය සොරාගත්තා. ඔහුගේ ආත්මාර්ථකාමී ක්‍රියාව මුළු මිනිස් වර්ගයාවම පාපයේ වහලුන් බවට පත් කළා. ඒ නිසා මිනිසුන්ට අසනීප හා දුක ඇති වන අතර අවසානයේදී ඔවුන් මිය යනවා. වහල්භාවයේ සිටින කෙනෙකුව මුදවාගැනීම සඳහා යම් මිලක් ගෙවිය යුතුයි. ඒ හා සමානව යෙහෝවා දෙවිද පාපය නිසා ඇති වන භයානක ප්‍රතිඵලවලින් අපව මුදවාගැනීම සඳහා මිලක් ගෙව්වා. (රෝම 5:21 කියවන්න.) තම පියාගේ කැමැත්තට එකඟව ක්‍රියා කරමින් යේසුස් “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා” කළා. (මතෙ. 20:28) ළඟදීම යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන පූර්ණ වශයෙන් භුක්ති විඳීමට දෙවිගේ අනුමැතිය ඇති අයට හැකියි.

7 අරමුණු සහිත ජීවිතයක් ගත කරමින් සන්තෝෂයෙන් සිටින්න අපට අවශ්‍ය සෑම දෙයක්ම දෙවි ලබා දී තිබෙනවා. මිනිස් වර්ගයා මුහුණ දෙන සෑම විපතකින්ම ඔවුන්ව මුදවාගැනීම සඳහා දෙවි කරන දේවල් දැක බලා ගැනීමේ අවස්ථාව ඔහුගේ අනුමැතිය තිබෙන අයට ලැබෙනවා. ඒ වගේම “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන” අයට ඔහු නොකඩවා ආශීර්වාද කරන ආකාරය එදාට අප පෞද්ගලිකවම අද්දකිනවා.—හෙබ්‍රෙ. 11:6.

“ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය”

8. යෙසායාගේ අද්දැකීමෙන් දෙවිට සේවය කිරීම සම්බන්ධයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

8 තීරණ ගැනීමේ නිදහස නිවැරදිව භාවිත කිරීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගත හැකියි. තමාට සේවය කළ යුතුයි කියා යෙහෝවා දෙවි අපට බල කරන්නේ නැහැ. උදාහරණයකට යෙසායා සිටි කාලයේදී දෙවි මෙසේ ඇසුවා. “මා යවන්නේ කාවද? අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද?” එවිට යෙසායා මෙසේ පැවසුවා. “මම යන්න කැමතියි. මාව යවන්න.” තීරණයක් ගැනීමට යෙසායාට ඉඩ දීමෙන් යෙහෝවා දෙවි ඔහුට ගෞරව කළා.—යෙසා. 6:8.

9, 10. (අ) අප දෙවිට සේවය කළ යුත්තේ කුමන ආකල්පය ඇතුවද? (ආ) අප යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළ යුත්තේ ඇයි?

9 දෙවිට සේවය කරනවාද නැද්ද කියා තීරණය කිරීමේ නිදහස මිනිසුන්ට තිබෙනවා. යෙහෝවා දෙවිට අවශ්‍ය අප ඔහුට කැමැත්තෙන්ම සේවය කරනවා දකින්නයි. (යොෂුවා 24:15 කියවන්න.) කෙනෙක් දෙවිට නමස්කාර කරන්නේ කැමැත්තෙන් නොවෙයි නම් දෙවිව සතුටු කිරීමට ඔහුට බැහැ. එමෙන්ම කෙනෙක් දෙවිට නමස්කාර කරන්නේ මිනිසුන්ව සතුටු කිරීමට නම් දෙවි එයද පිළිගන්නේ නැහැ. (කොලො. 3:22) එපමණක් නොව ජීවිතයේ අවශ්‍යතාවන්ට මුල් තැන දීම නිසා දෙවිට සේවය කිරීමට “පසුබට” වෙනවා නම් අපට දෙවිගේ අනුමැතිය ලබාගන්න බැහැ. (නික්. 22:29) නමුත් අප මුළු හදවතින්ම දෙවිට සේවය කිරීමෙන් අපට යහපතක් සිදු වෙන බව දෙවි දන්නවා. බොහෝ කල් ජීවත් වීම සඳහා “ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න” කියා ඊශ්‍රායෙල්වරුන්ගෙන් මෝසෙස් ඉල්ලා සිටියේ ඒ නිසයි.—ද්වි. 30:19, 20.

10 දාවිත් රජ යෙහෝවා දෙවිට මෙසේ ගායනා කළා. “ඔබ ඔබේ හමුදාව සමඟ යුද්ධයට පැමිණෙන දවසේදී ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය. හිමිදිරි උදයේ පතිත වන පිනි මෙන් ඔබේ තරුණයෝ ශුද්ධකමින් සැරසී ඔබ වෙතට එන්නෝය.” (ගීතා. 110:3) අද දින බොහෝදෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ මුදල් උපයන්න සහ විවේක සුවයෙන් ජීවත් වෙන්නයි. නමුත් යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය තම ජීවිතයේ මුල් තැන දෙන්නේ ඔහුට පරිශුද්ධ සේවය පිරිනැමීමටයි. ඒ නිසයි ඔවුන් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරමින් සිටින්නේ. තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාලීමට දෙවිට හැකි බව ඔවුන්ට නිසැකයි.—මතෙ. 6:33, 34.

දෙවිගේ අනුමැතිය ලැබෙන පූජා

11. යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමෙන් ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තු වුණේ කුමක්ද?

11 මෝසෙස්ට දුන් නීතියට අනුව දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් දෙවිට පිළිගත හැකි පූජා ඔප්පු කළ යුතු වුණා. ඒ සම්බන්ධයෙන් ලෙවී කතාව 19:5හි මෙසේ සඳහන් වෙනවා. “ඔබ යෙහෝවා දෙවි වන මට හවුල් පූජාවක් ඔප්පු කරනවා නම් මගේ අනුමැතිය ලබාගැනීමට හැකි වන අයුරින් එය ඔප්පු කරන්න.” එම පොතේම මෙසේද සඳහන් වෙනවා. “ඔබ යෙහෝවා දෙවි වන මට ස්තුති පූජාවක් ඔප්පු කරනවා නම් ඔබට අනුමැතිය ලබාගැනීමට හැකි වන අයුරින් එම පූජාව ඔප්පු කරන්න.” (ලෙවී. 22:29) පූජා ඔප්පු කරද්දී එය යෙහෝවා දෙවිට “ප්‍රසන්න සුවඳක්” වුණේ ඊශ්‍රායෙල්වරුන් කැළැලක් නැති සත්වයන් පූජා කළ විටයි. (ලෙවී. 1:9, 13) එවැනි පූජා දෙවිට ප්‍රසන්න වූ නිසා ඔහු ඒ ගැන සතුටු වුණා. (උත්. 8:21) පූජා සම්බන්ධයෙන් දෙවි දී තිබූ නීතියෙහි අද දිනටත් අදාළ වන ප්‍රතිපත්තියක් තිබෙනවා. එනම් යෙහෝවා දෙවිට පිළිගත හැකි ආකාරයෙන් පූජා ඔප්පු කරන අයට ඔහුගේ අනුමැතිය ලැබෙන බවයි. නමුත් දෙවි පිළිගන්නේ මොන වගේ පූජාද?

12. අපගේ ශරීර “දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස” ඔප්පු කිරීමට නම් අප කුමන දේවලින් වැළකී සිටිය යුතුද?

12 අපගේ ක්‍රියා දෙවිට පිළිගත හැකි පූජාවක් මෙන් තිබිය යුතුයි. පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ මෙසේ සඳහන් වුණා. ‘ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත.’ (රෝම 12:1) දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් කෙනෙක් ඔහුගේ ශරීරය අපවිත්‍ර කරවන දේවලින් වැළකී සිටිය යුතුයි. දුම්කොළ, බුලත්විට, මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි භාවිතය නිසා කෙනෙකුගේ ශරීරය අපවිත්‍ර වෙනවා. (2 කොරි. 7:1) එමෙන්ම ‘වේශ්‍යාකම් කරන තැනැත්තාද තම ශරීරයට විරුද්ධව පව් කරනවා.’ ඒ නිසා ඕනෑම ආකාරයක අනාචාර ක්‍රියාවක යෙදෙන තැනැත්තෙකුට තම ශරීරය දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කළ නොහැකියි. (1 කොරි. 6:18) දෙවි පිළිගන්නේ ‘මුළු ජීවිතයෙන්ම ශුද්ධව’ සිටින අයව පමණයි.—1 පේතෘ. 1:14-16.

13. යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ යුත්තේ ඇයි?

13 අපගේ කතාබහද දෙවිට පිළිගත හැකි පූජාවක් මෙන් තිබිය යුතුයි. දෙවිට ප්‍රේම කරන සියලුදෙනා අන් අය ඉදිරියේදී මෙන්ම තමන්ගේ නිවසේදීත් කතාබහ කරන්නේ දෙවිට ප්‍රශංසාව ලැබෙන ආකාරයෙනුයි. (ගීතාවලිය 34:1-3 කියවන්න.) ගීතාවලිය 148 සිට 150 දක්වා කියවා එම ගීතිකා තුනෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට අපව දිරිගන්වා තිබෙන ආකාරය ගැන කල්පනා කර බලන්න. ඇත්තෙන්ම ‘අවංක තැනැත්තන් ඔහුට ප්‍රශංසා කිරීම සුදුසුයි.’ (ගීතා. 33:1) එමෙන්ම අපට ආදර්ශයක් තැබූ යේසුස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් දෙවිට ප්‍රශංසා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.—ලූක් 4:18, 43, 44.

14, 15. හොෂෙයා ඊශ්‍රායෙල්වරුන්ට උනන්දු කළේ කුමනාකාර පූජා ඔප්පු කරන්න කියාද? එවැනි පූජා ගැන දෙවිට හැඟුණේ කොහොමද?

14 උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් අප පෙන්වන්නේ අප යෙහෝවා දෙවිට ප්‍රේම කරන බව හා ඔහුගේ අනුමැතිය ලබාගන්න ආශාවෙන් සිටින බවයි. උදාහරණයකට, බොරු නමස්කාරයේ යෙදෙමින් දෙවිගේ අනුමැතිය අහිමි කරගත් ඊශ්‍රායෙල්වරුන්ට හොෂෙයා දුන් අවවාදය සලකා බලන්න. (හොෂෙ. 13:1-3) හොෂෙයා ඔවුන්ට පැවසුවේ දෙවිගෙන් මෙසේ ඉල්ලා සිටින්න කියායි. “අප කළ වැරදිවලට සමාව දෙන්න. අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්‍රශංසාව [පාදසටහන, මුවින් වස්සන්] පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.”—හොෂෙ. 14:1, 2.

15 ඊශ්‍රායෙල්වරු පූජා හැටියට දෙවිට ඔප්පු කළ සතුන් අතරින් මිල අධිකම සතා වූයේ වස්සායි. “මුවින් වස්සන්” පූජා කිරීම යන්නෙන් අදහස් කළේ සැබෑ දෙවිට ප්‍රශංසා කරද්දී අවංකව, හොඳින් සිතා බලා වචන හැසිරවිය යුතු බවයි. එලෙස ප්‍රශංසා කළ අය ගැන තමාට හැඟුණු ආකාරය යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මම මගේ හදවතින්ම ඔවුන්ට ප්‍රේම කරමි.” (හොෂෙ. 14:4) එවැනි අයට දෙවිගෙන් සමාව ලැබුණා. එමෙන්ම දෙවි ඔහුගේ අනුමැතිය ලබා දී ඔවුන්ව මිතුරන් සේ සැලකුවා.

16, 17. දෙවි කෙරෙහි ඇති විශ්වාසය නිසා කෙනෙක් ශුභාරංචිය ප්‍රකාශ කරන විට දෙවි එය සලකන්නේ කොහොමද?

16 දෙවිට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීම සැබෑ නමස්කාරකයන්ගේ ප්‍රධාන ලක්ෂණයක්. සැබෑ දෙවිට ප්‍රශංසා කිරීම වැදගත්ම දෙයක් ලෙස සැලකූ ගීතිකාකරු දෙවිට මෙසේ ආයාචනා කළා. “යෙහෝවා දෙවියනි, මාගේ මුවින් කරන ප්‍රශංසාව පූජාවක් ලෙස පිළිගන්න. මම ඒවා කැමැත්තෙන්ම ඔබට ඔප්පු කරන්නෙමි.” (ගීතා. 119:108) අද දිනත් විශාල සෙනඟක් දෙවිට ප්‍රශංසා කරන බව යෙසායා අනාවැකියකින් පැවසුවා. ‘ඔවුහු සියල්ලන් ඉදිරියේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරති. දෙවිගේ පූජාසනය මත තබන පූජා ඔහු පිළිගනියි.’ (යෙසා. 60:6, 7) එම අනාවැකිය ඉටු කරමින් මිලියන ගණන් දෙනා ඔවුන්ගේ “මුවින් දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කර ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ” කරනවා.—හෙබ්‍රෙ. 13:15.

17 ඔබත් දෙවිට පිළිගත හැකි පූජා ඔප්පු කරනවාද? එසේ නොකරනවා නම් අවශ්‍ය වෙනස්කම් කරගෙන ප්‍රසිද්ධියේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඔබ කැමතිද? දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය නිසා ඔබ ශුභාරංචිය ප්‍රකාශ කරන විට ‘ගවයෙකුව පූජාවක් ලෙස ඔප්පු කරනවාට වඩා එය යෙහෝවා දෙවිට ප්‍රසන්නයි.’ (ගීතාවලිය 69:30, 31 කියවන්න.) ඔබ දෙවිට කරන ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කරන විට එය ‘මිහිරි සුවඳක්’ ලෙස දෙවි සලකන අතර ඔහුගේ අනුමැතියද ඔබට ලබා දෙන බව ස්ථිරයි. (එස. 20:41) දෙවිගේ අනුමැතිය ලැබෙන විට ඔබට දැනෙන සතුට වෙන කිසි දෙයකින් ලබාගත නොහැකියි.

‘යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද කරයි’

18, 19. (අ) දෙවිට සේවය කිරීම ගැන බොහෝදෙනා තුළ තිබෙන ආකල්පය කුමක්ද? (ආ) දෙවිගේ අනුමැතිය අහිමි වීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?

18 මලාකිගේ කාලයේ සිටි අය මෙන් අද දින සිටින බොහෝදෙනාද “දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද” කියා කල්පනා කරනවා. (මලා. 3:14) ධන සම්පත්වලට ආශාවක් දක්වන ඔවුන් දෙවිට ඔහුගේ අරමුණ ඉටු කිරීමට නොහැකි බවත් ඔහුගේ නීති අද දිනට අදාළ නොවන බවත් පවසනවා. ශුභාරංචිය ප්‍රකාශ කිරීම ඔවුන් සලකන්නේ කාලය කා දමන දෙයක් ලෙස හා මහත් කරදරයක් ලෙසයි.

19 එවැනි ආකල්ප ඇති වීම ආරම්භ වුණේ ඒදන් උයනේදියි. දෙවි ලබා දුන් අනර්ඝ ජීවිතයේ වටිනාකම අගය නොකරන්නත් දෙවිගේ අනුමැතිය අවශ්‍ය නැහැ කියා සිතන්නත් ඒවව පෙලඹුවේ සාතන් වන යක්ෂයායි. දෙවිගේ අනුමැතිය ලබාගැනීමෙන් කිසිම යහපතක් සිදු වෙන්නේ නැහැ කියා සිතීමට අද දිනත් සාතන් ජනයාව පොලඹවනවා. දෙවිගේ අනුමැතිය අහිමි වීම නිසා තමන්ට මරණය හිමි වන බව ආදම් සහ ඒව තේරුම්ගත්තා. ඔවුන් දෙදෙනාව අනුගමනය කරන අයටත් සිදු වන්නේ එම අමිහිරි අද්දැකීමට මුහුණ දීමටයි.—උත්. 3:1-7, 17-19.

20, 21. (අ) සාරෆෙත් නගරයේ වැන්දඹුව කළේ කුමක්ද? ඉන් ඇයට ලැබුණු ප්‍රයෝජන මොනවාද? (ආ) අපට ඇයව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අප එසේ කළ යුත්තේ ඇයි?

20 එලියා සහ සාරෆෙත් නගරයේ වැන්දඹුවගේ සිද්ධියේ සහ ආදම් සහ ඒවගේ සිද්ධියේ අවසන් ප්‍රතිඵල හාත්පසින්ම වෙනස්. එලියාගේ දිරිගැන්වෙන වචනවලට සවන් දුන් වැන්දඹුව තමා ළඟ ඉතුරුව තිබූ පිටි ටිකෙන් රොටියක් සාදා මුලින්ම එලියාට සංග්‍රහ කළා. පසුව යෙහෝවා දෙවි එලියා මාර්ගයෙන් දුන් පොරොන්දුව ඉටු කළා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ඇයටත් ඇගේ පවුලේ අයටත් එලියාටත් සෑහෙන කාලයකට ප්‍රමාණවත් ආහාර තිබිණ. එලියා මාර්ගයෙන් යෙහෝවා දෙවි කී ලෙස ඇය ළඟ තිබූ පිටිවත් තෙල්වත් ඉවර වුණේ නැත.”—1 රාජා. 17:15, 16.

21 අද දින සිටින බිලියන ගණන් දෙනාගෙන් ස්වල්පදෙනෙක් පමණයි එම වැන්දඹුව කළ දේ කරන්න කැමති වී තිබෙන්නේ. තම ජීවිතය යෙහෝවා දෙවි ආරක්ෂා කරයි කියා පූර්ණ විශ්වාසයක් ඇයට තිබුණා. ඒ ආකාරයටම යෙහෝවා දෙවිද ඇයව ආරක්ෂා කළා. එම සිද්ධිය සහ බයිබලයේ සඳහන් වෙනත් වාර්තාවලින් අපට පැහැදිලි වෙන්නේ අප යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය යුතු බවයි. (යොෂුවා 21:43-45; 23:14 කියවන්න.) එමෙන්ම දෙවිගේ අනුමැතිය තිබෙන අයව ඔහු කිසි දිනක අත් නොහරින බව වර්තමානයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම්වලින්ද පැහැදිලි වෙනවා.—ගීතා. 34:6, 7, 17-19. *

22. ප්‍රමාද නොවී දෙවිගේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය ඇයි?

22 “පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම” දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වෙනවා. (ලූක් 21:34, 35) නමුත් එදාට දෙවි පත් කළ විනිශ්චයකරු මෙසේ පැවසීමට නියමිතයි. ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න.’ (මතෙ. 25:34) එම රාජ්‍යය මගින් ලබා දෙන ආශීර්වාදවල වටිනාකම ධන සම්පත්වලට සමාන කරන්න බැහැ. ඇත්තටම යෙහෝවා දෙවි ‘ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද කරනවා. ඔහුගේ අනුමැතිය ඔවුන්ට ලබා දෙනවා. විශාල පලිහක් මෙන් ඔවුන්ව ආරක්ෂා කරනවා.’ (ගීතා. 5:12) යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීම මොන තරම් වටිනවාද කියා ඉන් පැහැදිලි වෙන්නේ නැද්ද!

[පාදසටහන]

^ 21 ඡේ. වර්ෂ 2005 මාර්තු 15 මුරටැඹ කලාපයේ 13වෙනි පිටුවේ 15වෙනි ඡේදය සහ 1997 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ 20-25 පිටු බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• මුළු හදවතින්ම දෙවිට නමස්කාර කළ යුත්තේ ඇයි?

• අද දින දෙවි පිළිගන්නේ කුමනාකාරයේ පූජාද?

• “මුවින් වස්සන්” පූජා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අප එවැනි පූජා ඔප්පු කළ යුත්තේ ඇයි?

• දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අප වෑයම් කළ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දුප්පත් මවකට ගැනීමට සිදු වූ තීරණය කුමක්ද?

[15වන පිටුවේ පින්තූරය]

දෙවිට කරන ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[17වන පිටුවේ පින්තූරය]

දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවොත් ඔබේ බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ