Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ආරොන්ගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහුගේ මරණයෙන් පසු මෝසෙස් ඔවුන්ගේ සහෝදරයන් වන එලියාසර් සහ ඉතමාර් සමඟ කෝප වුණේ ඇයි? එම කෝපය පහව ගියේ කොහොමද?—ලෙවී. 10:16-20.

පූජකයන් සම්බන්ධ සැලැස්ම ඇති කිරීමෙන් පසු ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනෙක් වන නාදාබ් සහ අබිහු මුලින්ම කළේ දෙවි නියම නොකළ ආකාරයේ පූජාවක් ඔප්පු කිරීමයි. ඒ නිසා දෙවි ඔවුන්ව විනාශ කළා. (ලෙවී. 10:1, 2) ඔවුන් ගැන වැලපෙන්න එපා කියා ආරොන්ගේ අනික් පුත්‍රයන් දෙදෙනා වන එලියාසර් සහ ඉතමාර්ට මෝසෙස් පැවසුවා. ඉන්පසුව පාප පූජාව වෙනුවෙන් ඔප්පු කළ එළුවාගේ මස් නොකෑ බව දැනගත් මොසෙස් ඔවුන් දෙදෙනා සමඟ කෝප වුණා. (ලෙවී. 9:3) මෝසෙස් එලෙස ක්‍රියා කළේ ඇයි?

පාප පූජාව සඳහා ඔප්පු කළ සතාගේ මස් පූජකයා සම්මුඛ වීමේ කුඩාරම් මළුවේදී අනුභව කළ යුතු බව යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වුණා. පූජාව ඔප්පු කරන අයගේ පව්වලට සමාව ලබාගැනීමට නම් එසේ කළ යුතුව තිබුණා. නමුත් එම සතාගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගොස් තිබුණා නම් උගේ මස් නොකා ඌව පුළුස්සා දැමිය යුතු වුණා.—ලෙවී. 6:24-26, 30.

ඒ අවස්ථාව වන විට දෙවි නියම නොකළ ආකාරයේ පූජාවක් ඔප්පු කිරීමෙන් සිදු වී තිබූ බරපතළ වරද නිසා මින් ඉදිරියට සුළු කාරණාවලදී පවා දෙවිගේ ආඥාවන් පැවැත්වීම මොන තරම් වැදගත්ද කියා මෝසෙස් සිතුවා විය හැකියි. ඒ නිසා පාප පූජාව සඳහා ඔප්පු කළ සතාගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගොස් නොතිබුණු බව දුටු මෝසෙස් එය අනුභව නොකළේ ඇයි කියා කෝපයෙන් එලියාසර් සහ ඉතමාර්ගෙන් ඇසුවා.—ලෙවී. 10:17, 18.

මෝසෙස් ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නයට ආරොන් පිළිතුරු දීමෙන් පැහැදිලි වන්නේ එය ඔහුගේ අනුදැනුම ඇතුව සිදු වූ බවයි. තමන්ගේ පුත්‍රයන් දෙදෙනෙක් මිය ගොස් සිටි නිසා පාප පූජාව ඔප්පු කළ අයට හෘදය සාක්ෂියට එකඟව එම මස් අනුභව කිරීමට හැකිද කියා ආරොන් කල්පනා කරන්න ඇති. නාදාබ් හා අබිහු කළ දේට ආරොන්, ඉතමාර් සහ එලියාසර් සෘජුව වග කිව යුතු නැති වුණත් එම පූජාවේ මස් අනුභව කිරීම යෙහෝවා දෙවි අනුමත නොකරනු ඇති බව ආරොන් සිතන්න ඇති.—ලෙවී. 10:19.

නාදාබ් හා අබිහු මුල් වරට පූජකයන් ලෙස ඔවුන්ගේ වගකීම් ඉටු කළ විට සෑම සුළු කාරණයකදීම දෙවිගේ ආඥා පිළිපැදිය යුතුව තිබුණා. නමුත් ඔවුන් එසේ නොකිරීමෙන් දෙවිව අගෞරවයට පත් කළ නිසා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළුණා. පූජක පවුලකට අයත් අය අතින් එතරම් බරපතළ වරදක් සිදු වී තිබෙන විට ශුද්ධ දේවලින් නොකෑ යුතු බව ආරොන් සිතුවා විය හැකියි.

ආරොන් දුන් පිළිතුර ගැන මෝසෙස් සෑහීමට පත් වූ බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “එවිට මෝසෙස්ගේ කෝපය පහව ගියේය.” (ලෙවී. 10:20) යෙහෝවා දෙවිද ඒ පිළිතුර ගැන සතුටු වූවා විය හැකියි.