Skip to content

පටුනට යන්න

වෑයම වටිනවා

වෑයම වටිනවා

වෑයම වටිනවා

‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් දරුවන්ට ලබා දෙන්නත් දෙවි සිතන ආකාරයට සිතීමට ඔවුන්ට උගන්වන්නත්’ පවුලේ නමස්කාරයෙන් ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍යයි. (එෆී. 6:4) කුඩා දරුවන්ට එක දෙයක් කෙරෙහි දිගටම අවධානය යොමු කර තබාගැනීමට නොහැකි බව දෙමාපියන් වන ඔබ හොඳින්ම දන්නවා. එසේනම් ඔවුන්ගේ අවධානය යොමු කර තබාගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද? සමහර දෙමාපියන් ඒ සඳහා කරන දේවල් කිහිපයක් දැන් අපි සලකා බලමු.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිටින ජෝර්ජ් මෙසේ පවසනවා. “මායි මගේ බිරිඳයි දරුවන් පුංචි කාලේ ඔවුන්ට කම්මැළි හිතෙන්නේ නැති විදිහට පවුලේ පාඩම කළා. බයිබල් කතන්දර පොත කියවන ගමන් සමහර අවස්ථාවලදී ඒ විදිහට ඇඳගෙන අපි රඟපෑවා. කඩු, රාජ යෂ්ටි, මලු වගේ දේවල් අපි හැදුවා. ඒ වගේම බයිබල් චරිත රඟපාලා ඒ චරිතය මොකක්ද කියලා අනිත් අයගෙන් ඇහුවා. බයිබලයේ තියෙන දේවල් ගැන ප්‍රශ්න ඇහුවා. නෝවාගේ නැව වැනි විවිධ ආකෘති හැදුවා. බයිබලයේ සඳහන් සිදුවීම් සිදු වුණු කාලවකවානු සටහන් කළා. බයිබලයේ සඳහන් සිද්ධීන් හා චරිත චිත්‍රයට නැඟුවා. එෆීස 6:11-17 දක්වා තියෙන යුද්ධායුධ කට්ටලය චිත්‍රයට නඟන්නත් එක් එක් කොටස විස්තර කරන්නත් අපි දැන් සැලසුම් කරලා තියෙනවා. මේ වගේ විවිධ ක්‍රම නිසා සියලුදෙනාම පවුලේ නමස්කාරය සතුටින් භුක්ති විඳිනවා.”

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන මවක් වන ඩෙබි මෙසේ පවසනවා. “අපේ දුවට අවුරුදු තුනක් විතර වෙද්දී බයිබල් පාඩමට එයාගේ අවධානය යොමු කරලා තියාගන්න මටයි මගේ මහත්තයාටයි ටිකක් අමාරු වුණා. දවසක් බයිබල් කතන්දර පොතෙන් ඊසාක් සහ රෙබෙකාගේ කතන්දරය කියවද්දී මම බෝනික්කො දෙන්නෙක් අරගෙන ඊසාක් සහ රෙබෙකා කියලා නම් කරලා ඒ දෙන්නා කතා කරන විදිහට ඒ කතන්දරය කියෙව්වා. ඒ වෙලාවේ එයා හොඳින් අවධානය දුන්නා. මාස කිහිපයක් ගත වෙද්දී ඒ බෝනික්කො දෙන්නව විවිධ බයිබල් චරිතවලට පාවිච්චි කළා. අපි යම් විස්තරයක් කියවද්දී දුව ඒ විස්තරය සඳහන් සිද්ධිය රඟපාන්න ඕන සෙල්ලම් බඩු ගේ හැම තැනම හෙව්වා. රාහබ්ගේ නිවස සඳහා සපත්තු පෙට්ටියකුත් රතු ලණුව වෙනුවට රතු පටියකුත් අපි පාවිච්චි කළා. ගණන් කතාව 21:4-9 දක්වා තියෙන සිද්ධිය රඟපාන්න අපි අඩි පහක් දිග නයෙක්ව හදලා ඒක කොසු මිටේ එතුවා. රඟපාන්න පාවිච්චි කරපු බඩු අපි එක බෑග් එකක දැම්මා. ඒකට කිව්වේ ‘බයිබල් කතන්දර බෑග්’ එක කියලයි. දුව ඒ බෑග් එකේ තියෙන දේවල් අරගෙන තනියම රඟපානවා දැක්කම අපිට ලොකු සතුටක් දැනුණා.”

දරුවන්ව හදා වඩා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා දරුවා තුළ ආශාවක් ඇති කරන්න සතියකට වරක් කරන පවුලේ නමස්කාරය පමණක් ප්‍රමාණවත් නැහැ. නමුත් දෙවි පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා පවුලේ නමස්කාරය මූලික ක්‍රමයක් ලෙස යොදාගත හැකියි. ඒ සඳහා වෑයම් කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බවට කිසිම සැකයක් නැහැ.