Skip to content

පටුනට යන්න

ලෝකයේ බලපෑමට හසු නොවී දෙවිට යටත් වෙන්න

ලෝකයේ බලපෑමට හසු නොවී දෙවිට යටත් වෙන්න

ලෝකයේ බලපෑමට හසු නොවී දෙවිට යටත් වෙන්න

“අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී දෙවිගේ බලය ලබා ඇති නිසා දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.”—1 කොරි. 2:12.

1, 2. (අ) අප නිරත වන්නේ කුමනාකාරයේ යුද්ධයකද? (ආ) අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

සැබෑ ක්‍රිස්තියානීන් යුද්ධයක නිරත වෙමින් සිටිනවා. අපගේ සතුරා බලවත්, කපටි මෙන්ම කෲර කෙනෙක්. මිනිසුන්ගෙන් බහුතරයක් තම ග්‍රහණයට හසු කරගැනීමට හැකි තියුණු ආයුධයක් ඔහු සතුව තිබෙනවා. නමුත් අප අසරණයි කියා හෝ අපට ඔහු සමඟ සටන් කර ජය ගන්න බැහැ කියා හෝ සිතන්න අවශ්‍ය නැහැ. (යෙසා. 41:10) ඕනෑම ප්‍රහාරයකට මුහුණ දිය හැකි අතිප්‍රබල ආයුධයක් අප සතුව තිබෙනවා.

2 අපට යුද්ධ කිරීමට සිදු වී තිබෙන්නේ මිනිසුන් සමඟ නොව සාතන් සමඟයි. මන්ද අපගේ සතුරා වන්නේ ඔහුයි. ඔහු අපව නොමඟ යවන ප්‍රධාන ක්‍රමය වන්නේ ‘මේ ලෝකයේ බලපෑමට’ අපව හසු කරගැනීමයි. (1 කොරි. 2:12) සාතන්ට විරුද්ධව සිටින්නත් දෙවි සමඟ ඇති මිත්‍රත්වය දිගටම තබාගන්නත් දෙවිගේ බලය අත්‍යවශ්‍යයි. ඒ නිසා අප දෙවිගේ බලය ඉල්ලිය යුතුයි. එමෙන්ම ඒ බලය අප තුළ ක්‍රියාත්මක වන විට ඇති වන ගුණංග අපගේ ජීවිතයෙන් පිළිබිඹු කිරීමත් අවශ්‍යයි. (ගලා. 5:22, 23) අප දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු. මේ ලෝකයේ සිටින අයට බලපෑම් කරන්නේ කවුද, ඔහුගේ බලපෑම මෙතරම් ප්‍රබල වී තිබෙන්නේ ඇයි? අප මේ ලෝකයේ බලපෑමට හසු වී සිටිනවාද නැද්ද කියා දැනගන්න පුළුවන් කොහොමද? ලෝකයේ බලපෑමට විරුද්ධ වන ආකාරය හා දෙවිගේ බලය ලබාගත හැකි ආකාරය ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මේ ලෝකයේ බලපෑම මෙතරම් ප්‍රබල ඇයි?

3. මේ ලෝකයේ බලපෑම කොතරම් ප්‍රබලද?

3 මේ ලෝකයේ සිටින අයට බලපෑම් කරන්නේ “මේ ලෝකයේ පාලකයා” වන සාතන්. ඔහුගේ බලපෑම දෙවිගේ බලයේ මඟ පෙන්වීමට හාත්පසින්ම විරුද්ධයි. (යොහ. 12:31; 14:30; 1 යොහ. 5:19) එය මිනිසුන්ගේ සිතුවිලිවලට කොතරම් බලපෑමක් එල්ල කරනවාද කියනවා නම් ඒ අනුව ක්‍රියා කරන්න මිනිසුන් පෙලඹෙනවා. මුළු මිනිස් වර්ගයාම දෙවිගේ කැමැත්ත හා අරමුණට විරුද්ධව ක්‍රියා කරන්නේ ඒ නිසයි.

4, 5. සාතන්ගේ බලපෑම මෙතරම් ප්‍රබල වී තිබෙන්නේ කොහොමද?

4 සාතන්ගේ බලපෑම මෙතරම් ප්‍රබල වී තිබෙන්නේ කොහොමද? දෙවිට යටත් නොවීමෙන් වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි බව ඒවට ඒත්තුගැන්වීමෙන් සාතන් ඇයව රැවැට්ටුවා. (උත්. 3:13) ඔහු මොන තරම් බොරුකාරයෙක්ද! (යොහ. 8:44) ඉන්පසු ඔහු ස්ත්‍රිය මාර්ගයෙන් ඉතා කපටි ලෙස ආදම්ව දෙවිට අකීකරු වෙන්න සැලැස්සුවා. දෙවිට අකීකරු වීමෙන් ආදම් මිනිසුන්ව පාපයේ වහලුන් බවට පත් කළා. සාතන්ගේ බලපෑමට හසු වී දෙවිට අකීකරු වීමට මිනිසුන් තුළ නැඹුරුවාවක් තිබෙන්නේ ඒ නිසයි.එෆීස 2:1-3 කියවන්න.

5 දේවදූතයන්ගෙන් විශාල පිරිසක්ද සාතන් ඔහුගේ පැත්තට හරවාගත් අතර පසුව ඔවුන් භූතයන් බවට පත් වුණා. (එළි. 12:3, 4) සාතන් එය කළේ නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මට යම් කලකට පෙරයි. ස්වර්ගයෙහි නියමිත වාසස්ථාන අත්හැර නුසුදුසු ආශාවන් තෘප්තිමත් කරගැනීම සඳහා පොළොවට පැමිණීමෙන් යහපතක් වෙයි කියා දේවදූතයන් සිතුවා. (යූද් 6) මිනිස් සිරුරු අත්හැර ඇති එම භූතයන්ගේ උපකාරය ඇතුව සාතන් ‘මුළු පොළොවම නොමඟ යවමින්’ සිටිනවා. (එළි. 12:9) කනගාටුවට කරුණක් වන්නේ මිනිසුන්ගෙන් බහුතරයක් සාතන් කරන බලපෑම ගැන නොදැනුවත්ව සිටීමයි.—2 කොරි. 4:4.

ඔබ ලෝකයේ බලපෑමට හසු වෙලාද?

6. සාතන්ගේ බලපෑමට අප හසු විය හැකි එකම ආකාරය කුමක්ද?

6 සාතන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කොහොමද කියා බොහෝදෙනෙක් නොදැන සිටියත් සැබෑ ක්‍රිස්තියානීන් නම් ඔහුගේ කපටි උපායන් ගැන හොඳින් දන්නවා. (2 කොරි. 2:11) අපට බලපෑම් කරන්න සාතන්ට ඉඩහැරියොත් මිස අපව හසු කරගන්න ඔහුට නොහැකියි. අප සාතන්ගේ බලපෑමට හසු වෙලාද නැත්නම් දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරනවාද කියා දැනගැනීමට ප්‍රශ්න හතරක් සලකා බලමු.

7. අපව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න සාතන් යොදාගන්න එක් ක්‍රමයක් කුමක්ද?

7 විනෝදය සඳහා මම තෝරාගන්නා දේවලින් මා ගැන හෙළි වන්නේ කුමක්ද? (යාකොබ් 3:14-18 කියවන්න.) සැහැසියාව සඳහා අප තුළ ආශාවක් ඇති කරමින් අපව දෙවිගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරනවා. සාහසික ක්‍රියාවලට යෙහෝවා දෙවි ද්වේෂ කරන බව ඔහු හොඳින්ම දන්නවා. (ගීතා. 11:5) අපගේ පව්කාර ආශාවන් පිනවාගැනීම සඳහා අපව පෙලඹවීමට සාතන් පොත් පත්, චිත්‍රපට, සංගීතය සහ ඉලෙක්ට්‍රෝනික ක්‍රීඩා වැනි දේ යොදාගන්නවා. සමහර ඉලෙක්ට්‍රෝනික ක්‍රීඩා කෲරත්වයෙන් හා අනාචාරයෙන් පිරී තිබෙනවා. එවැනි ක්‍රීඩාවල යෙදෙන කෙනෙක් ඔහු විසින්ම එම ක්‍රියාව කරනවා හා සමානව එහි තිබෙන චරිතය තමන්ටම ආරූඪ කරගන්නවා. සාතන් ඉදිරිපත් කරන දේවල නියැලෙන අතරතුරේම අප දෙවිගේ සමහර ප්‍රතිපත්ති රැකීම සාතන්ට ගැටලුවක් නොවෙයි.—ගීතා. 97:10.

8, 9. විනෝදය සඳහා තෝරාගන්නා දේවල් ගැන අප සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

8 දෙවිගේ බලය ලැබෙන විට පවිත්‍ර, සාමකාමී සහ දයාවෙන් පූර්ණ අය වීමට අපට හැකියි. ඒ නිසා අප අපගෙන්ම මෙසේ අසාගනිමු. ‘විනෝදය සඳහා මම තෝරාගන්නා දේවල් මා තුළ යහපත් ගුණාංග ඇති කරනවාද?’ ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙක් ක්‍රියා කරන්නේ ‘කුහකකමින් තොරවයි.’ දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරන අය නිර්මලකම සහ සාමය ගැන අන් අයට දේශනා කරන ගමන් සැහැසියාව හා අනාචාරය ඇතුළත් දේවල් නරඹන්නේ නැහැ.

9 යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ තමාට පමණක් පූර්ණ භක්තිය පුද කිරීමයි. නමුත් අප සාතන්ට එක් වරක් හෝ නමස්කාර කරනවා නම් සාතන් ඉන් සතුටු වෙනවා. ඔහු යේසුස්ගෙන් බලාපොරොත්තු වුණෙත් එයයි. (ලූක් 4:7, 8) ඒ නිසා අපි මේ ගැන කල්පනා කර බලමු. ‘මම විනෝදය සඳහා තෝරාගන්නා දේවලින් දෙවිට පමණක් පූර්ණ භක්තිය පුද කරන බව පෙන්වනවාද? මම විනෝදය සඳහා තෝරාගන්නා දේ මේ ලෝකයේ බලපෑමට එරෙහි වීමට පහසු කරනවාද නැත්නම් අපහසු කරනවාද? මම විනෝදය සඳහා තෝරාගන්නා දේවල යම් වෙනසක් කළ යුතුද?’

10, 11. (අ) මේ ලෝකයේ බලපෑමට හසු වූ කෙනෙකුට ධන සම්පත් ගැන තිබෙන ආකල්පය කුමක්ද? (ආ) මුදල් සම්බන්ධයෙන් බයිබලයේ දිරිගන්වන්නේ මොන වගේ ආකල්පයක් තබාගන්න කියාද?

10 ධන සම්පත් රැස් කිරීම ගැන මගේ ආකල්පය කුමක්ද? (ලූක් 18:24-30 කියවන්න.) ‘දකින දකින දේ ලබාගැනීමට’ හා ධන සම්පත්වලට ආශාවක් දක්වන අය මෙන්ම කෑදරකමින් කටයුතු කරන අය මේ ලෝකයේ බලපෑමට හසු වී සිටිනවා. (1 යොහ. 2:16) ඔවුන්ගේ අධිෂ්ඨානය වන්නේ පොහොසත් වීමයි. (1 තිමෝ. 6:9, 10) එවැනි අය විශ්වාස කරන්නේ ධන සම්පත් රැස් කරගැනීමෙන් ආරක්ෂාවක් ලබාගත හැකි බවයි. (හිතෝ. 18:11) දෙවිට ප්‍රේම කරනවාට වඩා අප මුදලට ප්‍රේම කරනවා නම් සාතන් ඒ ගැන සතුටු වෙනවා. ඒ නිසා මෙසේ කල්පනා කරන්න. ‘මම මුල් තැන දෙන්නේ සැප පහසු ජීවිතයක් ගත කිරීමට හා මගේම ආශාවන්වලටද?’

11 යෙහෝවා දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලයේ අපට දිරිගන්වන්නේ මුදල් ගැන සමබර ආකල්පයක් තබාගන්න කියායි. එමෙන්ම පවුලේ අයගේ හා අපගේ එදිනෙදා අවශ්‍යතාවන් සඳහා වෙහෙස වී වැඩ කරන්න කියාද එහි දිරිගන්වනවා. (1 තිමෝ. 5:8) දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරන අය දෙවි මෙන් ත්‍යාගශීලීයි. ඔවුන් අන් අයට උපකාර කරන්න ඉතා ආශාවෙන් සිටිනවා. තමන් සතු දේවලට වඩා ඔවුන්ට මිනිසුන්ව වටින නිසා හැකියාව තිබෙන අවස්ථාවලදී ඔවුන් තමන් සතු දේ අන් අය සමඟ බෙදාගන්නවා. (හිතෝ. 3:27, 28) දෙවිට සේවය කිරීමට මිස මුදල් සෙවීමට ඔවුන් මුල් තැන දෙන්නේ නැහැ.

12, 13. දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

12 මගේ පෞද්ගලිකත්වයෙන් හෙළි වන්නේ කුමක්ද? (කොලොස්සි 3:8-10, 13 කියවන්න.) තමන්ගේ පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න සාතන් මිනිසුන්ව පොලඹවනවා. (ගලා. 5:19-21) අප දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරනවාද නැත්නම් සාතන්ගේ බලපෑමට අනුව ක්‍රියා කරනවාද කියා පැහැදිලිව දැකගත හැකි වන්නේ යම් ගැටලු මතු වන අවස්ථාවලදියි. උදාහරණයකට අපගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් අපව මඟහරින විට, අපගේ සිත රිදවන විට හෝ අපට විරුද්ධව වරදක් කරන විට අප ක්‍රියා කරන ආකාරයෙන් එය පැහැදිලිව දැකගත හැකියි. එමෙන්ම පවුලේ අයට අප සලකන ආකාරයෙන්ද එය පැහැදිලිව දැකගත හැකියි. මෙසේ කල්පනා කර බලන්න. ‘පසුගිය මාස හය තුළ මම යේසුස්ව වඩාත් කිට්ටුවෙන් අනුකරණය කරන්න උත්සාහ කර තිබෙනවාද නැත්නම් මගේ කතාබහ සහ හැසිරීම තුළින් නරක පුරුදු පිළිබිඹු වෙනවාද?’

13 අපගේ ‘පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය’ පැළඳගන්න දෙවිගේ බලයේ උපකාරය අපට ලැබෙනවා. එමගින් අපට වඩාත් ප්‍රේමණීය මෙන්ම කාරුණික අය වීමට හැකියි. එවිට අප කැමැත්තෙන්ම අන් අයට සමාව දෙන අය බවට පත් වෙන අතර කෝප වීමට සාධාරණ හේතුවක් තිබුණත් අප සමාව දීමට පෙලඹෙනවා. අපට අසාධාරණයක් සිදු වුණත් “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා” වැනි දේවලින් අප වළකිනවා. ඒ වෙනුවට ‘ඉමහත් දයානුකම්පාවෙන්’ ක්‍රියා කරන්න අප වෑයම් කරනවා.—එෆී. 4:31, 32.

14. බොහෝදෙනෙකුට බයිබලය ගැන ඇති ආකල්පය කුමක්ද?

14 හරි වැරැද්ද පිළිබඳ බයිබලයේ ඇති ප්‍රමිතිවලට ගරු කරමින් මම ඒවා පිළිපදිනවාද? (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) මේ ලෝකයේ බලපෑමට හසු වී සිටින අය ක්‍රියා කරන්නේ බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට විරුද්ධවයි. එවැනි අය තමන්ට පිළිපැදීමට අමාරුයි කියා සිතන බයිබලයේ සඳහන් සමහර නීති නොසලකාහරිනවා. ඒ වෙනුවට ඔවුන් පිළිපදින්නේ මිනිස් සම්ප්‍රදායන් හා දර්ශනවාදී අදහස්. (2 තිමෝ. 4:3, 4) තවත් අය දෙවිගේ වචනය සම්පූර්ණයෙන්ම නොසලකාහරිනවා. තමන් ඥානවන්තයි කියා සිතන එවැනි අය බයිබලයෙන් ජීවිතයට ඇති ප්‍රයෝජනය සහ එහි නිරවද්‍යතාව ගැන ප්‍රශ්න කරනවා. ඔවුන් වේශ්‍යාකම, සමලිංගික ඇසුර හා දික්කසාදය ගැන දෙවි දී ඇති ප්‍රමිති බාල කරමින් ‘යහපත නපුර කියාද නපුර යහපත කියාද’ උගන්වනවා. (යෙසා. 5:20) අපත් එම බලපෑමට හසු වී සිටිනවාද? අප ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ අපගේ සහ මිනිසුන්ගේ ප්‍රඥාව මත රඳා සිටිමින්ද? එසේත් නැත්නම් අප බයිබලයේ සඳහන් උපදෙස් පිළිපැදීමට වෑයම් කරනවාද?

15. අපගේම දැනුම මත රඳා සිටිනවා වෙනුවට අප කුමක් කළ යුතුද?

15 දෙවිගේ බලයේ උපකාරයෙන් අපට බයිබලයේ ඇති ප්‍රතිපත්ති කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න පුළුවන්. ගීතිකාකරු මෙන් අපත් දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් සහ මාවතට එළියක් ලෙස සලකනවා. (ගීතා. 119:105) හරි වැරැද්ද තීරණය කිරීමට අපගේම දැනුම මත රඳා නොසිටින අප දෙවිගේ වචනය මත පූර්ණ විශ්වාසය තබනවා. බයිබලයේ තිබෙන නීතිවලට ගරු කිරීමට පමණක් නොව ඒවා පිළිපැදීමටත් අප ඉගෙනගන්නවා.—ගීතා. 119:97.

යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න

16. “ක්‍රිස්තුස්ගේ මනස” ගැන අවබෝධයක් ලබාගැනීමට අයත් වන්නේ කුමක්ද?

16 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට නම් “ක්‍රිස්තුස්ගේ මනස” ගැන අවබෝධයක් ලබාගන්න අවශ්‍යයි. (1 කොරි. 2:16) “ක්‍රිස්තුස් යේසුස්ට තිබූ ආකල්පය” අපත් ඇති කරගැනීමට නම් ඔහු කල්පනා කළ හා ක්‍රියා කළ ආකාරය අවබෝධ කරගෙන ඔහුව අනුකරණය කරන්න අවශ්‍යයි. (රෝම 15:5; 1 පේතෘ. 2:21) අපට එසේ කළ හැකි ක්‍රම කිහිපයක් සලකා බලමු.

17, 18. (අ) යාච්ඤාව ගැන යේසුස්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (ආ) අප “නොකඩවාම ඉල්ලන්න” අවශ්‍ය ඇයි?

17 දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන්න. පීඩාවලට මුහුණ දීමට පෙර යේසුස් දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළා. (ලූක් 22:40, 41) අපත් දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ යුතුයි. යෙහෝවා දෙවිද තමා කෙරෙහි විශ්වාසය තබා තම බලය ඉල්ලන අයට නොමසුරුව එය ලබා දෙනවා. (ලූක් 11:13) “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි. මන්ද ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබෙයි. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වෙයි. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබෙයි” කියා යේසුස්ද පැවසුවා.—මතෙ. 7:7, 8.

18 යෙහෝවා දෙවිගේ බලය සහ උපකාරය අවශ්‍ය විට නොනවත්වා දිගටම එය ඔහුගෙන් ඉල්ලන්න. ඒ සඳහා උනන්දුවෙන් නිතර නිතර යාච්ඤා කිරීම අවශ්‍යයි. සමහර අවස්ථාවලදී තම සේවකයන්ගේ යාච්ඤාවලට පිළිතුරු දීමට පෙර ඔවුන් ඉල්ලන දේ ඔවුන්ට මොන තරම් අවශ්‍යද කියාත් තමාට එය සපයන්න පුළුවන් බවට ඔවුන් තුළ මොන තරම් විශ්වාසයක් තිබෙනවාද කියාත් පෙන්වන්න දෙවි ඉඩහරිනවා. *

19. යේසුස් නිතරම කළේ කුමක්ද? අප ඔහුව අනුකරණය කළ යුත්තේ ඇයි?

19 යෙහෝවා දෙවිට පූර්ණ ලෙස කීකරු වෙන්න. යේසුස් නිතරම ඔහුගේ පියාණන් සතුටු වන ආකාරයෙන් ක්‍රියා කළා. එක් අවස්ථාවකදී යේසුස්ට තිබුණු ආකල්පය ඔහුගේ පියාගේ කැමැත්තට වඩා වෙනස් වුණත් ඔහු, දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් “සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි” කියා පැවසුවා. (ලූක් 22:42) මේ ප්‍රශ්නය ගැන සිතා බලන්න. ‘දෙවිට කීකරු වීම අමාරුයි කියා හැඟෙන අවස්ථාවලදීත් මම ඔහුට කීකරු වෙනවාද?’ අපගේ ජීවිතයේ උල්පත හා නිර්මාතෘ වන යෙහෝවා දෙවි ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සෑම දෙයක්ම සපයන නිසා පූර්ණ ලෙස ඔහුට කීකරු වීම අත්‍යවශ්‍යයි. (ගීතා. 95:6, 7) දෙවිට කීකරු නොවී අප වෙන කුමන දේ කළත් ඔහුගේ අනුමැතිය දිනාගත නොහැකියි.

20. යේසුස් ඔහුගේ කාලය වැය කළේ කුමක් සඳහාද? අපට ඔහුව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

20 බයිබලය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. දෙවි කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමන්න සාතන් යේසුස් වෙත එළඹුණු අවස්ථාවේදී ඔහු සාතන්ට පිළිතුරු දුන්නේ ශුද්ධ ලියවිල්ල යොදාගෙනයි. (ලූක් 4:1-13) ආගමික නායකයන්ට පිළිතුරු දෙන විටත් යේසුස් යොදාගත්තේ ශුද්ධ ලියවිල්ලයි. (මතෙ. 15:3-6) දෙවිගේ නීති ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමට යේසුස් තම සම්පූර්ණ කාලයම වැය කළ අතර ඒ අනුව ජීවත් වුණා. (මතෙ. 5:17) අපත් දෙවිගේ වචනයෙන් නිතරම පෝෂණය විය යුතුයි. (ෆිලි. 4:8, 9) නමුත් අප අතර සිටින සමහර අයට පෞද්ගලික හෝ පවුලේ පාඩම සඳහා කාලය සොයාගැනීම අභියෝගයක් විය හැකියි. එසේනම් යම් ක්‍රියාකාරකම්වලට අප වැය කරන කාලය කැප කර ඒ සඳහා කාලය වෙන් කරගන්න අවශ්‍යයි.—එෆී. 5:15-17.

21. බයිබලය ගැන හොඳ අවබෝධයක් ලබාගන්නත් එහි ඇති දේ අදාළ කරගන්නත් අපට උපකාරවත් වන අලුත් සැලැස්ම කුමක්ද?

21 පවුලේ නමස්කාරය සඳහා සෑම සතියකම රාත්‍රියක් වෙන් කිරීමට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අවස්ථාව ලබා දී තිබෙනවා. (මතෙ. 24:45) එම සැලැස්මෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද? ක්‍රිස්තුස්ගේ මනස අවබෝධ කරගැනීම සඳහා පවුලේ නමස්කාරයේදී ඔබට මෙවැනි දෙයක් කළ හැකියි. ඔබ කැමති විෂයක් ගැන යේසුස් උගන්වා තිබෙන දේවල් ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න. සෑම වසරකම මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල පළ වන ලිපි ඇතුළත් ලැයිස්තුවක් දෙසැම්බර් 15 මුරටැඹ සහ දෙසැම්බර් පිබිදෙව්! කලාපවල ඇතුළත් කර තිබෙනවා. ඔබට එම ලැයිස්තුවෙන් අධ්‍යයනය කිරීමට අවශ්‍ය ලිපි සොයාගත හැකියි. උදාහරණයකට 2008 සිට 2010 දක්වා මුරටැඹ පොදු කලාපයේ “යේසුස්ගෙන් ඉගෙනගනිමු” යන මාතෘකාවෙන් යුත් ලිපි 12ක් පළ වුණා. ඔබට මෙම ලිපි පවුලේ නමස්කාරයේදී යොදාගත හැකියි. එමෙන්ම 2006 සිට පිබිදෙව්! සඟරාවේ “දැනුම මිනුම” (දැන්, “පවුලේ සැමට”) යන කොටස පළ වුණා. එහි ඇති ප්‍රශ්න සකස් කර තිබෙන්නේ බයිබලය ගැන ඔබේ දැනුම පුළුල් කිරීමටයි. විටින් විට එවැනි ලිපි පවුලේ නමස්කාරය සඳහා යොදාගන්න ඔබට පුළුවන්.

අපට ලෝකයෙන් ජය ගත හැකියි!

22, 23. මේ ලෝකයෙන් ජය ගන්න අප කුමක් කළ යුතුද?

22 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට නම් අප මේ ලෝකයේ බලපෑමට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. නමුත් එය පහසු කාර්යයක් නොවෙයි. ඒ සඳහා මහත් සටනක් කිරීමට අපට සිදු වෙනවා. (යූද් 3) කෙසේවෙතත් අපට අනිවාර්යයෙන්ම ජය ගත හැකියි! යේසුස් තම ගෝලයන්ට පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.”—යොහ. 16:33.

23 මේ ලෝකයේ බලපෑමට විරුද්ධව සිටීමෙන් සහ දෙවිගේ බලය ලබාගැනීමට හැකි සියල්ල කිරීමෙන් අපටත් මේ ලෝකයෙන් ජය ගත හැකියි. “දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (රෝම 8:31) දෙවිගේ බලයේ උපකාරයෙන් සහ බයිබලයේ ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් තෘප්තිය, සමාදානය සහ සන්තෝෂය ලැබෙන අතර සදාකාල ජීවනය පිළිබඳ සහතිකයද අපට ලැබෙනවා.

[පාදසටහන]

^ 18 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 170-173 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• මේ ලෝකයේ බලපෑම මෙතරම් ප්‍රබල ඇයි?

• අප සලකා බැලිය යුත්තේ කුමන ප්‍රශ්න හතරද?

• දෙවිගේ බලය ලබාගැනීම සම්බන්ධයෙන් අප යේසුස්ගෙන් ඉගෙනගත් කරුණු තුන කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

සමහර දේවදූතයන් භූතයන් වුණේ කොහොමද?

[10වන පිටුවේ පින්තූරය]

සාතන් මිනිසුන්ව පාලනය කිරීමට මේ ලෝකයේ බලපෑම යොදාගත්තත් ඉන් මිදීමට අපට හැකියි