Skip to content

පටුනට යන්න

සතුටු වීමට හේතු රැසක්

සතුටු වීමට හේතු රැසක්

සතුටු වීමට හේතු රැසක්

පියවි ඇසට නොපෙනෙන කුඩාම සෛලයේ සිට දැවැන්ත මන්දාකිනි දක්වා සියලුම දේ නිසි පිළිවෙළට සංවිධානය වී තිබීමෙන් පැහැදිලි වන්නේ සෑම නිර්මාණයකම පිළිවෙළක් තිබෙන බවයි. එය පුදුම වීමට හේතුවක් නොවන්නේ සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි “අවුල්සහගත දෙවි කෙනෙකු” නොවීමයි. (1 කොරි. 14:33) එමෙන්ම තමාට නමස්කාර කිරීම සඳහා දෙවි තම සේවකයන්ව සංවිධානය කර තිබෙන ආකාරයද ඉතා විශිෂ්ටයි. දෙවි ඒ සම්බන්ධයෙන් කර තිබෙන දේ අපි සලකා බලමු. මිලියන සිය ගණන් දේවදූතයන්ගෙන් හා පොළොවේ සිටින ඔහුගේ සේවකයන්ගෙන් සමන්විත විශ්වනීය සංවිධානයක් ඔහු ඇති කර තිබෙනවා. ඔවුන් සියලුදෙනා සිය කැමැත්තෙන්ම එක්සත්ව සැබෑ නමස්කාරයේ යෙදෙනවා. එය මොන තරම් විශ්මයජනකද!

දේවමාලිගාව පිහිටා තිබුණු සහ දෙවි පත් කළ රජ සිටි යෙරුසලම පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේදී දෙවිගේ භූමික සංවිධානය නියෝජනය කළා. බැබිලෝනියේ වහල්භාවයේ සිටි එක් ඊශ්‍රායෙල් ජාතිකයෙක් ශුද්ධ නගරය වන යෙරුසලම ගැන තමාට හැඟුණු දේ ප්‍රකාශ කළේ මෙසේයි. “යෙරුසලම, මට ඔබව සිහි නොවන්නේ නම්, මා වඩාත්ම සතුටු වන්නේ ඔබ ගැන නොවේ නම්, මාගේ දිව උඩු තල්ලට ඇලී තිබේවා!”—ගීතා. 137:6.

දෙවිගේ සංවිධානය ගැන ඔබටත් හැඟෙන්නේ එලෙසද? දෙවිගේ සංවිධානය සමඟ එක්සත් වී දෙවිට නමස්කාර කිරීමට ලැබෙන සතුටට වඩා වැඩි සතුටක් ඔබට වෙන කිසිවකින් ලැබිය හැකිද? දෙවිගේ භූමික සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය හා එහි ඉතිහාසය ගැන ඔබේ දරුවන් දැනුවත් වී සිටිනවාද? ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක සාමාජිකයන් වීමට ලැබීම ගැන ඔවුන් අගය කරනවාද? (1 පේතෘ. 2:17) දෙවිගේ සංවිධානය කෙරෙහි ඔබේ පවුලේ අයගේ අගය වැඩි කිරීමට පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්‍රියේදී පහත සඳහන් යෝජනා සලකා බැලීමට ඔබට හැකියි.

“ඈත අතීතයේදී” සිදු වූ දේවල් පවසන්න

ඊශ්‍රායෙල්වරුන් සෑම වසරකම පාස්කුව සැමරීම සඳහා එක්රැස් වුණා. පාස්කු උත්සවය මුලින්ම සමරන අවස්ථාවේදී මෝසෙස් සෙනඟට මෙවැනි උපදෙසක් දුන්නා. “පසු කාලයක ඔබේ දරුවන්, ‘මේ දේවල් කරන්නේ ඇයි’ කියා ඔබෙන් අසන විට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘අපි වහලුන් ලෙස ජීවත් වූ ඊජිප්තු දේශයෙන් යෙහෝවා දෙවි අපිව පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.’” (නික්. 13:14) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් කළ ක්‍රියා ඔවුන් අමතක නොකළ යුතුව තිබුණා. බොහෝ ඊශ්‍රායෙල් පියවරුන් මෝසෙස් දුන් එම ආඥාවට කීකරු වුණා. පරම්පරා කිහිපයකට පසුව සිටි ඊශ්‍රායෙල් ජාතිකයෙක් කළ යාච්ඤාවෙන් ඒ බව පැහැදිලියි. “දෙවියනි, ඔබේ ක්‍රියා ගැන අපි අසා ඇත්තෙමු. ඈත අතීතයේදී එනම්, අපේ මුතුන්මිත්තන්ගේ කාලයේදී ඔබ කළ දේවල් අපේ පියවරු අපට පැවසුවෝය.”—ගීතා. 44:1.

යෙහෝවා දෙවිගේ සංවිධානයේ පසුගිය අවුරුදු 100ක පමණ කාලය තුළ සිදු වූ දේවල් අද දින සිටින යෞවනයෙකුට “ඈත අතීතයේදී” සිදු වූ සිදුවීම් හා සමානයි. එම අතීත සිදුවීම් මොන තරම් සැබෑද කියා දරුවන්ගේ සිතට කාවදින ආකාරයෙන් කියා දීමට ඔබට පුළුවන් කොහොමද? සමහර දෙමාපියන් සඟරාවල පළ වන සහෝදර සහෝදරියන්ගේ ජීවිත කතා සහ සංවිධානයේ ඉතිහාසය ගැන සඳහන් ලිපි සාකච්ඡා කරනවා. එමෙන්ම දෙවිගේ නවීන දින සෙනඟ ගැන විස්තර ඇතුළත් අලුත් DVD තැටියද යොදාගත හැකියි. පැරණි සෝවියට් දේශයේ හා ජර්මනියේ නාට්සි පාලනය යටතේදී සාක්ෂිකරුවන් අද්දැක්ක පීඩා ඇතුළත් වීඩියෝ පට නැරඹීමෙන් පීඩාකාරී කාලවලදී යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටීමේ වැදගත්කම පවුලේ සියලුදෙනාටම ඉගෙනගත හැකියි. පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියේදී ඔබට ඒවා යොදාගන්න පුළුවන්. තමන් දෙවිට දක්වන විශ්වාසවන්තකම අභියෝගයට ලක් වන අවස්ථාවලදී ඊට සාර්ථකව මුහුණ දීමට දරුවන්ට ඉන් මහත් ශක්තියක් ලැබෙයි.

සංවිධානයේ ඉතිහාසය ගැන කරන දීර්ඝ විස්තර දරුවන්ට නිරස විය හැකියි. ඒ නිසා එවැනි තොරතුරු සාකච්ඡා කරද්දී දරුවන්වද හවුල් කරගන්න. උදාහරණයකට තමන් කැමති රටක් තෝරාගෙන එම රටේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තොරතුරු සොයා ඒවා පවුලේ නමස්කාරයේදී ඉදිරිපත් කරන්න කියා ඔබේ පුතාට පැවරිය හැකියි. ඔබේ සභාවේ බොහෝ කාලයක් දෙවිට විශ්වාසවන්තව සේවය කළ ක්‍රිස්තියානීන් සිටිනවා නම් එවැනි කෙනෙකුට ඔබේ පවුලේ නමස්කාරය කරන දවසකට ආරාධනා කර ඔවුන්ගේ අද්දැකීම් ගැන විස්තර ඇසීමට ඔබගේ දුවට පැවරිය හැකියි. ශාඛා කාර්යාලයක් ඉදි කිරීම, ජාත්‍යන්තර සමුළුවක් හෝ ගෙයින් ගෙට සේවයේදී වාදන යන්ත්‍ර යොදාගෙන බයිබලය මත පදනම් කතා විකාශනය කිරීම වැනි සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ විශේෂ සිදුවීම් චිත්‍රයට නඟන්න කියා දරුවන්ට උනන්දු කරන්න ඔබට පුළුවන්.

එකිනෙකා තමන්ට “නියම වූ කාර්යය” කරන ආකාරය

පාවුල් ක්‍රිස්තියානි සභාව ශරීරයට සමාන කරමින් මෙසේ පැවසුවා. “මුළු ශරීරයම එකට බැඳී පවතින අතර එහි සෑම අවයවයක්ම තමාට නියමිත වූ කාර්යයන් ඉටු කරමින් සහයෝගයෙන් ක්‍රියා කරයි. සෑම අවයවයක්ම එලෙස තමාට නියම වූ කාර්යය නිසි ලෙස ඉටු කරන විට මුළු ශරීරයේම වර්ධනයට එය දායක වෙයි. එසේ එකිනෙකා අතර තිබෙන ප්‍රේමයෙන් මුළු ශරීරයම ශක්තිමත්ව වැඩෙයි.” (එෆී. 4:16) ශරීරය ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමෙන් එහි නිර්මාතෘ කෙරෙහි අපට තිබෙන අගය මෙන්ම ගෞරවය තවත් වැඩි වෙනවා. ඒ හා සමානව දෙවිගේ සභාව ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනගැනීමෙන් “දෙවිගේ මහත් ප්‍රඥාවේ විවිධ පැති” ගැන අපට ඉමහත් අගයක් ඇති වෙන්නේ නැද්ද කියා සිතා බලන්න.—එෆී. 3:10.

යෙහෝවා දෙවි තම ස්වර්ගික සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් තොරතුරු සපයා තිබෙනවා. උදාහරණයකට දෙවි, යේසුස් ක්‍රිස්තුස්ට කළ එළිදරව් කිරීමක් ගැනත් යේසුස් එය දේවදූතයෙකු මාර්ගයෙන් යොහන්ට දැනුම් දුන් ආකාරය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. යේසුස් එසේ කළේ සංකේත යොදාගෙනයි. ඉන්පසු යොහන්, තමා දුටු සියල්ල ගැන සාක්ෂි දැරූ බවත් එහි සඳහන් වෙනවා. (එළි. 1:1, 2) ස්වර්ගික සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැන දෙවි දැනුම් දෙනවා නම් ඉන් පැහැදිලි වන්නේ භූමික සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් අප තොරතුරු දැනගන්නවාට ඔහු කැමති බව නොවේද?

ඔබගේ සභාවට ළඟදීම චාරිකා සේවක සහෝදරයා පැමිණෙනවා නම් ඔහුගේ පැවරුමට අයත් වන දේ හා ඔහුට ලැබී තිබෙන ආශීර්වාද ගැන ඔබේ පවුලේ අය සමඟ සලකා බලන්න ඔබට හැකියි. ඔහු අප එක් එක් කෙනාට උපකාර කරන ආකාරය ගැනද සාකච්ඡා කරන්න පුළුවන්. එමෙන්ම අපට මෙවැනි ප්‍රශ්න ගැනද සාකච්ඡා කළ හැකියි. සේවය වාර්තා කිරීම වැදගත් වෙන්නේ ඇයි? දෙවිගේ සංවිධානයට මුදල් ලැබෙන්නේ කොහොමද? පාලක මණ්ඩලය සංවිධානය වී තිබෙන්නේ කෙසේද සහ ඔවුන් අපව පෝෂණය කරන්නේ කෙසේද?

දෙවිගේ සෙනඟ සංවිධානය වී ඇති ආකාරය තේරුම්ගැනීමෙන් අපට අඩුම තරමින් ප්‍රයෝජන තුනක්වත් ලැබෙනවා. අප වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අය ගැන අපට තිබෙන අගය වැඩි වෙනවා. (1 තෙස. 5:12, 13) දෙවි ඇති කර තිබෙන සංවිධාන සැලැස්මට පූර්ණ සහයෝගය දීමට අප පෙලඹෙනවා. (ක්‍රියා 16:4, 5) සභාවේ පෙරමුණ ගන්න අය තීරණ ගන්නේ සහ සැලසුම් යොදන්නේ දේවවචනයේ තිබෙන මඟ පෙන්වීම්වලට අනුව බව දකිද්දී ඔවුන් ගැන අපට තිබෙන විශ්වාසය තවත් වැඩි වෙනවා.—හෙබ්‍රෙ. 13:7.

“එහි බලකොටු සෝදිසි කරන්න”

“ජනයෙනි, සියොන් කන්ද වටා ගමන් කරමින් එහි බලකොටු ගණන් කරන්න. එහි තිබෙන ආරක්ෂිත පවුර හොඳින් නිරීක්ෂණය කරන්න. එහි බලකොටු සෝදිසි කරන්න. මතු පරම්පරාවට ඒ ගැන පැවසීමට හැකි වන පිණිස එසේ කරන්න.” (ගීතා. 48:12, 13) ගීතිකාකරු එහිදී ඊශ්‍රායෙල්වරුන්ට උනන්දු කළේ දේවමාලිගාව හොඳින් නිරීක්ෂණය කරන්න කියායි. ඊශ්‍රායෙල් පවුල් වාර්ෂිකව පැවැත්වූ උත්සව සඳහා යෙරුසලමට ගොස් දේවමාලිගාව හොඳින් නිරීක්ෂණය කිරීමෙන් ලැබූ සුන්දර මතකයන් ඔවුන්ට මොන තරම් බලපෑමක් ඇති කරන්න ඇද්ද? ඔවුන් ‘මතු පරම්පරාවටත්’ ඒ ගැන පැවසූ බවට කිසිම සැකයක් නැහැ.

සලමොන් රජගේ විශිෂ්ට පාලනය හා ඔහුගේ ප්‍රඥාව ගැන අසන්න ලැබුණු විට ෂෙබාහි රැජින කළ දේ බලන්න. ඇය මුලින්ම ඒ ගැන විශ්වාස කළේ නැහැ. නමුත් තමා ඇසූ දේවල් සත්‍යයද කියා ඇය තහවුරු කරගත්තේ කොහොමද? “ඔබව හමු වීමට ඇවිත් ඒ දේවල් මගේම ඇස් දෙකෙන් දැකගන්නා තුරු මම ඒවා විශ්වාස කළේ නැහැ” කියා ඇය පැවසුවා. (2 ලේක. 9:6) “ඇස් දෙකෙන්” දකින දේ අපටත් ලොකු බලපෑමක් ඇති කරනවා.

දෙවිගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැන දරුවන්ටත් ඔවුන්ගේ ‘ඇස් දෙකෙන්ම’ දැකගැනීමට උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද? ඔබ ජීවත් වන ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක් තිබෙනවා නම් එය නැරඹීමට සැලසුම් යොදන්න. එසේ කළ පවුලක් ගැන තිබෙන මේ උදාහරණය බලන්න. මැන්ඩි සහ බෙතනි පදිංචි වී සිටියේ බෙතෙල් නිවසට කිලෝමීටර් 1,500ක් පමණ ඈතින්. නමුත් ඔවුන්ගේ දෙමාපියන් එය නැරඹීමට ඔවුන්ව කිහිප වතාවක්ම රැගෙන ගියා. “බෙතෙල් නිවස බලන්න යන්න කලින් අපි හිතුවේ එතන දැඩි නීති රීති තියෙන, වැඩිහිටි අය විතරක් ඉන්න තැනක් කියලයි. ඒත් උනන්දුවෙන් හා ප්‍රීතියෙන් දෙවිට සේවය කරන තරුණ අයව අපිට එහෙදී මුණගැහුණා. සංවිධානය කුඩා ප්‍රදේශයකට විතරක් සීමා වෙලා නැහැයි කියලා අපි තේරුම්ගත්තේ බෙතෙල් එක බලන්න ගියාට පස්සෙයි. අපි බෙතෙල් එක බලන්න ගිය හැම අවස්ථාවකදීම අපට දෙවි සමඟ තිබෙන බැඳීම තවත් ශක්තිමත් වුණා” කියා ඔවුන් පැවසුවා. දෙවිගේ සංවිධානය ගැන අවබෝධයක් ලබාගැනීම නිසා මැන්ඩි සහ බෙතනි පුරෝගාමි සේවය පටන්ගත්තා. ඔවුන්ට බෙතෙල් නිවසේ තාවකාලික ස්වේච්ඡා සේවකයන් ලෙස සේවය කිරීමටද ආරාධනාවක් ලැබුණා.

දෙවිගේ සංවිධානය ‘දකින්න’ පුළුවන් තවත් ආකාරයක් වෙන්නේ දෙවිගේ සංවිධානයේ මඟ පෙන්වීම යටතේ සිදු වන විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ පට සහ DVD තැටි නැරඹීමයි. (Jehovah’s Witnesses—Organized to Share the Good News, Our Whole Association of Brothers, To the Ends of the Earth, and United by Divine Teaching.) බෙතෙල් සාමාජිකයන්, සහන සේවකයන්, මිෂනාරිවරුන් හා සමුළු සංවිධානය කරන සහෝදරයන් වෙහෙස මහන්සි වී වැඩ කරනවා දකිද්දී ලෝක ව්‍යාප්ත සහෝදර සංගමය කෙරෙහි ඔබගෙත් ඔබගේ පවුලේ අයගෙත් අගය වැඩි වන බව නිසැකයි.

ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ සහ සභාවේ සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමේ වැදගත් කාර්යය සෑම සභාවකින්ම ඉටු වෙනවා. ‘ලොව පුරා සිටින සහෝදරයන් සියලුදෙනාද’ එම කාර්යයේ නියැලෙන බව අමතක නොකරන්න. එය ඔබටත් ඔබගේ පවුලේ අයටත් “ස්ථිර විශ්වාසයකින්” යුතුව සිටීමට උපකාරයක් වෙනවා. ඇත්තෙන්ම අපට සතුටු වීමට හේතු රැසක් තිබෙනවා.—1 පේතෘ. 5:9.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවිගේ සංවිධානය අධ්‍යයනය කිරීමට වටිනා විෂයක්!

දෙවිගේ සංවිධානයේ ඉතිහාසය හා එය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඉගෙනගන්න අපට බොහෝ සැපයුම් ලබා දී තිබෙනවා. ඒවා යොදාගෙන පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න ඔබට පුළුවන්.

සංචාරක සේවය ආරම්භ වුණේ කෙසේද?—වර්ෂ 1996 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ 10-15 දක්වා පිටු.

වර්ෂ 1941දී පැවති සමුළුවේ “දරුවන්ගේ දිනය” ගැන තිබුණු විශේෂත්වය කුමක්ද?—වර්ෂ 2001 ජූලි 15 මුරටැඹ කලාපයේ 8වෙනි පිටුව.

පාලක මණ්ඩලය සංවිධානය වී ඇති ආකාරය—වර්ෂ 2008 මැයි 15 මුරටැඹ කලාපයේ 29වෙනි පිටුව.