Skip to content

පටුනට යන්න

දෙවි මඟ පෙන්වන මාධ්‍යය ඔබ හඳුනාගෙන තිබෙනවාද?

දෙවි මඟ පෙන්වන මාධ්‍යය ඔබ හඳුනාගෙන තිබෙනවාද?

දෙවි මඟ පෙන්වන මාධ්‍යය ඔබ හඳුනාගෙන තිබෙනවාද?

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදී පැමිණෙන විට වලා ටැඹක් ඔවුන් සමඟ දිගටම ගමන් කළා. ඊශ්‍රායෙල්වරුන්වත් ඊජිප්තුවරුන්වත් එවැනි දෙයක් කලින් දැක තිබුණේ නැහැ. රාත්‍රියේදී එය ගිනි ජාලාවක් බවට පත් වුණා. එය මොන තරම් පුදුමාකාරද! එය පැමිණියේ කොහෙන්ද? එය ලබා දීමේ අරමුණ කුමක්ද? මීට වසර 3,500කට පමණ පෙර සිටි ඊශ්‍රායෙල්වරුන්ට “වලා ටැඹ” ගැන තිබූ ආකල්පයෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?—නික්. 14:24.

එය ලබා දුන්නේ කවුද කියාත් එහි අරමුණ කුමක්ද කියාත් බයිබලයේ මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක් මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක් මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය.” (නික්. 13:21, 22) ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වූ දා සිට පාළුකරයේ ගමන් කළ කාලය පුරාම ඔවුන්ට මඟ පෙන්වීම සඳහා යෙහෝවා දෙවි වලා ටැඹක් සහ ගිනි ජාලාවක් යොදාගත්තා. එය ඔවුන් ඉදිරියේ ගමන් කරද්දී ඒ අනුව ගමන් කරන්න ඔවුන්ට සිදු වුණා. ඊශ්‍රායෙල්වරුන්ට පහර දීමට ඔවුන් පසුපස ලුහුබැඳ පැමිණි ඊජිප්තු හමුදාව ඔවුන් ආසන්නයට පැමිණි විට එම වලා ටැඹ ඊජිප්තුවරුන් හා ඊශ්‍රායෙල්වරුන් අතරට පැමිණ ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කළා. (නික්. 14:19, 20) වලා ටැඹ ගමන් කළේ කෙටි මාර්ගයෙන් නොවුණත් ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු දේශයට යෑමට හැකි වුණේ ඔවුන් එය පසුපස ගමන් කළා නම් පමණයි.

යෙහෝවා දෙවි තමන් සමඟ සිටින බවට වලා ටැඹ ඊශ්‍රායෙල්වරුන්ට සාක්ෂියක් වුණා. එය යෙහෝවා දෙවිව නියෝජනය කළා. ඒ වගේම දෙවි යම් අවස්ථාවලදී වලා ටැඹ තුළින් කතා කළා. (ගණන්. 14:14; ගීතා. 99:7) මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වූ විට වලා ටැඹ කූඩාරම අසල නතර වීමෙන් පැහැදිලි වුණේ ඊශ්‍රායෙල් ජාතියට මඟ පෙන්වීමට යෙහෝවා දෙවිගේ අනුමැතිය මෝසෙස්ට තිබූ බවයි. (නික්. 33:9) වලා ටැඹ අවසන් වතාවට පෙනුණු බව සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි මෝසෙස් වෙනුවට යොෂුවාව නායකයා ලෙස තෝරාගත් අවස්ථාවේදීයි. (ද්වි. 31:14, 15) ඊශ්‍රායෙල්වරුන් යන ගමනේ සාර්ථකත්වය රඳා පැවතුණේ ඔවුන්ට මඟ පෙන්වීමට දෙවි යොදාගන්නේ වලා ටැඹ බව හඳුනාගෙන ඒ අනුව ගමන් කිරීම මතයි.

ඔවුන් මඟ පෙන්වීම නොසලකාහැරියා

ඊශ්‍රායෙල්වරුන් වලා ටැඹ දුටු මුල්ම අවස්ථාවේදී ඒ ගැන පුදුම වෙන්න ඇති. ඒ වුණත් යෙහෝවා දෙවි කෙරෙහි දිගටම විශ්වාසය තැබීමට නිරතුරවම දුටු එම ආශ්චර්යය ඔවුන්ට හේතු වුණේ නැහැ. ඔවුන් අවස්ථා කිහිපයකදීම යෙහෝවා දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නැති කරගත්තා. ඊජිප්තු හමුදාව ඔවුන් පසුපස ලුහුබැඳ පැමිණෙද්දී ඔවුන්ව ගලවාගැනීමට දෙවිට හැකි බව ඔවුන් විශ්වාස කළේ නැහැ. ඒ වෙනුවට තමන්ව මරා දමන්න රැගෙන ආ බව පවසමින් ඔවුන් මෝසෙස්ට චෝදනා කළා. (නික්. 14:10-12) රතු මුහුදෙන් එගොඩ වූ පසු කෑම සහ වතුර ප්‍රමාණවත් නැහැයි කියා සිතා ඔවුන් මෝසෙස්, ආරොන් සහ යෙහෝවා දෙවිට විරුද්ධව කෙඳිරුවා. (නික්. 15:22-24; 16:1-3; 17:1-3, 7) ඉන් සති කිහිපයකට පසු රන් වස්සෙක් සාදන්න කියා ඔවුන් ආරොන්ට බල කළා. දෙවි ඔවුන්ව ඊජිප්තුවෙන් ගලවාගත් බවට සාක්ෂියක් වූ වලා ටැඹ කඳවුරේ එක් පැත්තක තිබියදී ඒ අසලම ඔවුන් පණ නැති රූපයකට නමස්කාර කරමින් “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා පැවසුවා. එය මොන තරම් ‘අගෞරවයක්ද’!—නික්. 32:4; නෙහෙ. 9:18.

ඊශ්‍රායෙල්වරුන් කැරලිගැසීමෙන් ඔප්පු වුණේ ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම නොසලකාහැරිය බවයි. වලා ටැඹ දකින්න තිබුණත් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම දීමට දෙවි යොදාගන්නේ එම වලා ටැඹ බව තේරුම්ගැනීමට ඔවුන් අපොහොසත් වුණා. ඔවුන්ගේ ක්‍රියා නිසා “ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා” ඇති වුණත් ඔහුගේ අපරිමිත කරුණාව නිසා ඔවුන් පොරොන්දු දේශයට යන තුරුම ඔහු වලා ටැඹ මාර්ගයෙන් මඟ පෙන්නුවා.—ගීතා. 78:40-42, 52-54; නෙහෙ. 9:19.

අද දින දෙවි මඟ පෙන්වන මාධ්‍යය

පුරාණයේදී මෙන්ම අද දිනත් දෙවි ඔහුගේ සෙනඟට මඟ පෙන්වනවා. පොරොන්දු දේශයට යන මාර්ගය තමන්ම සොයාගත යුතුයි කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපේක්ෂා කළේ නැහැ. ඒ හා සමානව පාරාදීසයට ඇතුල් වීම සඳහා අපම මාර්ගය සොයාගත යුතුයි කියා දෙවි අපේක්ෂා කරන්නේ නැහැ. යෙහෝවා දෙවි, සභාවේ නායකයා ලෙස යේසුස් ක්‍රිස්තුස්ව පත් කර තිබෙනවා. (මතෙ. 23:10; එෆී. 5:23) යේසුස් ක්‍රිස්තුස් යම් අධිකාරියක් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට ලබා දී තිබෙනවා. එම දාසයාට දෙවිගේ බලයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අයත් වෙනවා. ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ව පත් කරන්නේ එම දාසයායි.—මතෙ. 24:45-47; තීත. 1:5-9.

අපට එම දාසයාව හෙවත් සේවකයාව නිවැරදිව හඳුනාගැනීමට හැකි ආකාරය ගැන යේසුස් මෙසේ පැවසුවා. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට ඔවුන්ට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දීමට ඔවුන් කෙරෙහි පත් කරන විශ්වාසවන්ත හා නුවණ ඇති සේවකයා කවුද? ඔහුගේ ස්වාමියා පැමිණෙන විට ඔහු තම වගකීම් හොඳින් ඉටු කරනවා දැක්කොත් ඒ දාසයාට කොතරම් සතුටු විය හැකිද!”—ලූක් 12:42, 43.

එම දාසයා “විශ්වාසවන්ත” නිසා යෙහෝවා දෙවිටවත්, යේසුස්ටවත්, දෙවිගේ සෙනඟටවත් කිසිදා ද්‍රෝහි වෙන්නේවත් ඔවුන්ව අත්හැර යන්නේවත් නැහැ. ඒ විතරක් නොවෙයි එම දාසයා බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට ඇලී සිටිනවා. ඒ වගේම එම දාසයා ‘නුවණ ඇතුව’ ක්‍රියා කරන නිසා වඩා වැදගත් කාර්යය වන ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ප්‍රකාශ කිරීමේ හා ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන්’ වීමට උපකාර කිරීමේ කාර්යය ඉටු කිරීමේදී හොඳින් සිතා බලා තීරණ ගන්නවා. (මතෙ. 24:14; 28:19, 20) එමෙන්ම දාසයා දෙවිගේ සෙනඟට අවශ්‍ය පෝෂණය “නියම වේලාවට” ලබා දෙනවා. සැබෑ නමස්කාරකයන්ගේ වර්ධනයෙන්, වැදගත් තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමෙන්, බයිබලයේ සඳහන් සත්‍යයන් නිවැරදිව තේරුම්ගැනීමට ප්‍රඥාව දීමෙන්, දාසයාව කණ්ඩායමක් ලෙස සතුරන්ගෙන් ආරක්ෂා කිරීමෙන් සහ ඔවුන්ට මනසට සහනයක් ලබා දීමෙන් පැහැදිලි වෙන්නේ දෙවිගේ අනුමැතිය එම දාසයාට තිබෙන බවයි.—යෙසා. 54:17; ෆිලි. 4:7.

දෙවි ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න

දෙවි ලබා දෙන මඟ පෙන්වීම් අගය කරන බව පෙන්වන්න පුළුවන් ආකාරයක් ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න.” (හෙබ්‍රෙ. 13:17) මෙය සෑම විටම පහසු කාර්යයක් නෙවෙයි. එය වටහාගැනීමට නිදර්ශනයක් සලකා බලමු. පුරාණයේ ඊශ්‍රායෙල්වරුන් සමඟ ඔබත් පාළුකරයේ ගමන් කරනවා කියා සිතන්න. ටික දුරක් ගිය පසු වලා ටැඹ එක තැනක නතර වෙනවා. එය නතර වී තිබෙන්නේ දවසක්ද, දෙකක්ද, සතියක්ද එහෙමත් නැත්නම් මාස කිහිපයක්ද කියා ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙහෙම කල්පනා කරයි. ‘මගේ බඩු මල්ලේ තියෙන හැම දෙයක්ම එළියට ගන්න ඕනෙද?’ ඔබ සමහර විට අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් විතරක් එළියට ගන්න තීරණය කරන්න පුළුවන්. නමුත් බඩු මල්ලේ තිබෙන දේවල් සැරින් සැරේ එලියට ගන්න එක කරදරයක් නිසා දවස් කිහිපයකට පස්සේ මල්ලේ තියෙන සෑම දෙයක්ම එලියට ගන්න ඔබ තීරණය කරනවා. නමුත් බඩු මල්ලේ තියෙන සෑම දෙයක්ම එලියට ගත්තාට පස්සේ වලා ටැඹ ඉහළට නැඟී යනවා ඔබ දකිනවා. දැන් ඔබට නැවතත් බඩු ටික මල්ලට දාගන්න සිදු වෙනවා. එය මොන තරම් අපහසු කාර්යයක්ද! ඒත් සෑම ඊශ්‍රායෙල්වරයෙක්ම වලා ටැඹ නැඟී ගිය “මොහොතේදීම පිටත්ව” යා යුතු වුණා.—ගණන්. 9:17-22.

දෙවිගෙන් මඟ පෙන්වීම් ලැබෙන විට අප ක්‍රියා කරන්නේ කොහොමද? අප ඒවා ලැබුණු “මොහොතේදීම” අදාළ කරගන්න උත්සාහ කරනවාද? එහෙමත් නැත්නම් අප පුරුදු වී සිටින ආකාරයටම දේවල් කරනවාද? අපට ලබා දෙන අලුත්ම යෝජනා ගැන අප දැනුවත් වී සිටිනවාද? උදාහරණයකට බයිබල් පාඩම් පැවැත්විය යුතු ආකාරය, වෙනත් භාෂා කතා කරන අයට ශුභාරංචිය පවසන ආකාරය, නිතිපතා පවුලේ නමස්කාරයේ හවුල් වීම, රෝහල් සබඳතා කමිටු සමඟ සහයෝගයෙන් වැඩ කිරීම සහ සමුළුවලදී ආදර්ශවත් ලෙස හැසිරීම සම්බන්ධයෙන් දී තිබෙන යෝජනා ගැන ඔබ දන්නවාද? උපදෙස් පිළිගැනීම තුළින්ද දෙවිගේ මඟ පෙන්වීම් අගය කරන බව අප පෙන්වනවා. වැදගත් තීරණ ගැනීමට සිදු වන විට අපගේම දැනුම මත රඳා නොසිට යෙහෝවා දෙවි හා ඔහුගේ සංවිධානයේ මඟ පෙන්වීම් අනුව අප තීරණ ගන්නවා. එමෙන්ම සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකයෙන් විවිධ දුෂ්කරතා එල්ල වන විට අප දෙවිගේ සංවිධානයෙන් ආරක්ෂාව පතනවා.

එදා ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන් වූ මෝසෙස් පාපය උරුම වූ කෙනෙක්. දෙවිගේ සංවිධානයේ පෙරමුණ ගෙන ක්‍රියා කරන සහෝදරයන්ද ඒ හා සමානයි. නමුත් මෝසෙස්ට දෙවිගේ අනුමැතිය තිබුණු බව වලා ටැඹ සාක්ෂි සැපයුවා. තමන් ගමන ආරම්භ කළ යුත්තේ කුමන වේලාවේදීද කියා ඊශ්‍රායෙල්වරුන්ට තනි තනිව තීරණය කිරීමට අයිතියක් තිබුණේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ ‘යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔවුන් කළ’ බවයි. (ගණන්. 9:23) යෙහෝවා දෙවි, මඟ පෙන්වීම් ලබා දීමට තෝරාගත්තේ මෝසෙස්වයි. ඒ නිසා ගමන පිටත් වීම සඳහා දැනුම් දුන්නේ මෝසෙස් විය හැකියි.

අද දිනත් දෙවි පත් කර ඇති දාසයා අප ක්‍රියා කළ යුතු ආකාරය ගැන අපට දැනුම් දෙනවා. ඒ සඳහා මුරටැඹ සහ අපගේ රාජ්‍ය සේවාව, අලුත් ප්‍රකාශන මෙන්ම එක් රැස්වීම් හා සමුළු යොදාගන්නවා. ඒ වගේම සංචාරක සේවකයන් සහ ලිපි මාර්ගයෙන් මෙන්ම වගකීම් දරන සහෝදරයන්ට ලබා දෙන විවිධ පුහුණු වැඩ සටහන් මාර්ගයෙන්ද අවශ්‍ය උපදෙස් සභාවලට ලබා දෙනවා.

දෙවි මඟ පෙන්වන මාධ්‍යය ඔබ නිවැරදිව හඳුනාගෙන තිබෙනවාද? “පාළුකරයේ” ගමන හා සමාන සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකයේ අවසාන දවස්වල ගමන් කරන අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට දෙවි ඔහුගේ සංවිධානය යොදාගන්නවා. ඒ නිසා අප එක්සත්කම, ප්‍රේමය හා රැකවරණය අද්දකිනවා.

ඊශ්‍රයෙල්වරුන් පොරොන්දු දේශයට පැමිණි විට යොෂුවා මෙසේ පැවසුවා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.” (යොෂු. 23:13, 14) දෙවි පොරොන්දු වී තිබෙන පාරාදීස පොළොවේ ජීවත් වීමට ඔහුගේ සෙනඟට ප්‍රස්තාව ලැබෙන බව නියතයි. නමුත් අප එක් එක් කෙනා පාරාදීස පොළොවේ ජීවත් වෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් යටහත්පහත්ව අනුගමනය කරනවා නම් පමණයි. ඒ නිසා දෙවි අපිට මඟ පෙන්වන මාධ්‍යය හඳුනාගෙන දිගටම ඒ කෙරෙහි විශ්වාසය තබමු!

[5වන පිටුවේ පින්තූර]

අද දින දෙවි මඟ පෙන්වන්නේ ඔහුගේ සංවිධානයෙන්

සමුළුවල මුදාහරින ප්‍රකාශන

විවිධ පාසැල්

සේවයේ යෑමට පෙර ලබා දෙන පුහුණුව