Skip to content

පටුනට යන්න

මට බොහෝ ආශීර්වාද ලැබුණා

මට බොහෝ ආශීර්වාද ලැබුණා

මට බොහෝ ආශීර්වාද ලැබුණා

ආතර් බෝනෝ

මමයි මගේ බිරිඳයි 1951දී දිස්ත්‍රික් සමුළුවකට ඇහුම්කන් දීගෙන ඉන්න කොට මිෂනාරිවරුන් හැටියට සේවය කරන්න කැමති අයට රැස්වීමක් තියෙනවා කියලා නිවේදනය කළා.

“අපිත් යමු” කියලා මම කිව්වා.

“අපිට මිෂනාරිවරුන් වෙන්න බැහැ ආතර්” කියලා ඊඩිත් කිව්වා.

“කමක් නැහැ. අපි ගිහින් අහගෙන ඉමුකො” කියලා මම පෙරැත්ත කළා.

ඒ රැස්වීමෙන් පස්සේ ගිලියද් පාසැලට ඇතුල් වීමේ ඉල්ලුම්පත් අපිට ලැබුණා.

“දැන් අපි මේක පුරවමුකෝ” කියලා මම කිව්වා.

“එතකොට ආතර්, පවුලේ අය?”

ඒ සමුළුවෙන් අවුරුදු එකහමාරකට පස්සේ අපි ගිලියද් පාසැලට සහභාගි වුණා. අපිට පැවරුම ලැබුණේ දකුණු ඇමරිකාවේ ඉක්වදෝරයටයි.

මම ඉක්මන් තීරණ ගන්න කෙනෙක් කියලත් යමක් හිතුවොත් ඒ දේ කරන කෙනෙක් කියලත් ඉහත සාකච්ඡාවෙන් ඔයාලට තේරෙන්න ඇති. නමුත් මගේ බිරිඳ නම් හරිම සන්සුන්, නිහතමානී කෙනෙක්. ඇය හැදී වැඩුණේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ එලිසබෙත් නගරයෙයි. ඇය කවදාවත් නිවසින් බොහෝ දුර ගිහිල්ලා තිබුණෙවත් පිටරට කෙනෙක්ව මුණගැහිලා තිබුණෙවත් නැහැ. පවුලේ අයව දාලා යන එක ඇයට ලේසි වුණේ නැතත් පිටරටකට ගිහිල්ලා සේවය කරන්න ලැබුණු පැවරුම ඇය කැමැත්තෙන්ම පිළිගත්තා. අපි 1954දී ඉක්වදෝරයට ආවා. එදා ඉඳලා අද වෙනකම් අපි සේවය කරන්නේ ඉක්වදෝරයෙයි. මේ සේවය කරන කාලයේ අපිට ගොඩක් ආශීර්වාද ලැබුණා. ඒවායින් කීපයක් ගැන දැනගන්න ඔයාලා කැමතිද?

සොඳුරු මතකයන්

අපිට මුල්ම පැවරුම ලැබුණේ ඉක්වදෝරයේ අගනුවර වන කුයිටෝවලටයි. ඒ නගරය තියෙන්නේ ඇන්දීස් කඳුකරයේ අඩි 9,000ක් විතර උසකිනුයි. අපි මුලින්ම ආවේ මුහුදට කිට්ටුව තියෙන ගුයාකිල් නගරයටයි. එහේ ඉඳලා කෝච්චියෙන් සහ ලොරියෙන් කුයිටෝවලට යන්න දවස් දෙකක් ගත වුණා. නමුත් දැන් නම් විනාඩි 30කින් ගුවන් යානයෙන් යන්න පුළුවන්. අපි කුයිටෝවල අවුරුදු හතරක් සේවය කළා. ඉන්පස්සේ 1958දී අපිට චාරිකා සේවයේ යෙදෙන්න ආරාධනාවක් ලැබුණා. ඒක අපිට දෙවිගෙන් ලැබුණු තවත් ආශීර්වාදයක්.

ඒ කාලයේදී මුළු රටටම තිබුණේ කුඩා චාරිකා දෙකක් විතරයි. ඒ නිසා සභාවන්වලට යනවාට අමතරව අපි අවුරුද්දට සති කීපයක්ම කුඩා ගම්මානවල ශුභාරංචිය ප්‍රකාශ කළා. ඒ ගම්මානවල සාක්ෂිකරුවෝ හිටියේ නැහැ. එහේ තිබුණේ කාමරයක්වත් ජනේලයක්වත් නැති පුංචි ගෙවල්. ඇතුළේ තිබුණේ ඇඳක් විතරයි. අපි යද්දී ලී පෙට්ටියක භූමිතෙල් ලිපක්, සාස්පානක්, පිඟන් කීපයක්, බේසමක්, ඇඳ ඇතිරිලි, මදුරු දැලක්, ඇඳුම්, පරණ පත්තර සහ තවත් අවශ්‍ය කරන දේවල් අරගෙන ගියා. බිත්තිවල තියෙන හිල්වලින් මීයෝ රිංගන එක නවත්වන්න ඒවාට පත්තර එබුවා. ඒත් සමහර වෙලාවට මීයෝ ආවා.

අපි හිටිය ඒ කාමර හරිම අඳුරුයි. ඒ වගේම හරිම කිලුටුයි. ඒත් අපිට සොඳුරු මතකයන් තියෙනවා. අපි හැමදාම රෑට භූමිතෙල් ලිපෙන් උයාගත්තු කෑමක් ඇඳේ ඉඳගෙන කන ගමන් කතා කරපු දේවල් තාමත් මතකයි. සමහර අවස්ථාවලදී මම හිතන්නේ බලන්නේ නැතුව සහෝදරයන් එක්ක කරලා තිබුණා. අනිත් අයගේ හිත රිදෙන්නේ නැති විදිහට කතා කරන්නේ කොහොමද කියලා ඒ වගේ නිස්කලංක අවස්ථාවල මගේ බිරිඳ මට පෙන්නලා දුන්නා. මම එයාට ඇහුම්කන් දුන්න නිසා අනිත් අයත් එක්ක වඩාත් දිරිගැන්වෙන විදිහට කතා කරන්න මට පුළුවන් වුණා. මම සහෝදරයන්ගේ අඩුපාඩු ගැන කතා කරද්දී ඇය ඒ වගේ කතාවලට හවුල් වෙන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මම සහෝදරයන්ගේ හොඳ පැති ගැන හිතන්න ඉගෙනගත්තා. අපි ඒ වගේ නිස්කලංක වෙලාවල වැඩියෙන්ම කතා කළේ මුරටැඹ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ගැනයි. ඒ විතරක් නෙවෙයි එදිනෙදා සේවයේදී අද්දැක්ක දේවල් ගැනත් අපි කතා කළා. අපි ලබපු ඒ අද්දැකීම් මොන තරම් අපූරුද!

අපිට කාලොස්ව මුණගැහුණු හැටි

බයිබලය ගැන ඉගෙනගන්න උනන්දුවක් දක්වන පුද්ගලයෙක්ගේ නමක් අපිට ලැබුණා. එයා ඉන්නවා කිව්වේ ඉක්වදෝරයේ බටහිරට වෙන්න තියෙන ජිපිජාපා නගරයේයි. එයාගේ නම කාලොස් මෙහියා. හැබැයි එයාගේ ලිපිනය අපිට ලැබුණේ නැහැ. ඒ පුද්ගලයාව හොයාගන්න කොතැනින් පටන්ගන්නවාද කියලා හිතා ගන්න බැරි වුණත් අපි එක පාරක් දිගේ ඇවිදගෙන ගියා. කලින් දවසේ රෑ හොඳටම වැහැලා තිබුණු නිසා පාර මඩ වෙලා තිබුණා. මම මගේ බිරිඳට ඉස්සරහින් ඇවිදගෙන යද්දී එක පාරටම “ආතර්” කියලා කෑගහනවා ඇහුණා. මම පිටිපස්ස හැරිලා බලද්දී ඊඩිත් දණහිසට වෙනකම් මඩේ එරිලා හිටියා. ඒ වෙලාවේ හිනා යන්න ආවත් එයාගේ කඳුළු පිරුණු ඇස් දෙක දැක්කම මට දුක හිතුණා.

මම එයාව ගොඩට ඇදලා ගත්තත් එයාගේ සපත්තු දෙක ගන්න බැරි වුණා. අපිට සිද්ධ වෙච්ච දේ බලාගෙන හිටිය පොඩි ළමයි දෙන්නෙක්ට මම කිව්වා “සපත්තු දෙක අරං දුන්නොත් කීයක් හරි දෙන්නම්” කියලා. ඒ දෙන්නා ඉක්මනටම ඒක අරං දුන්නා. ඊඩිත්ට එයාගේ කකුල් දෙක හෝදගන්න ඕන වුණා. මේ හැම දේම බලාගෙන හිටිය ඒ ළමයි දෙන්නගේ අම්මා අපිට එයාගේ ගෙදරට එන්න කියලා කිව්වා. ඇය ඊඩිත්ට මඩ ටික හෝදගන්න උදව් කරන අතරතුර ළමයි දෙන්නා සපත්තු දෙක සුද්ද කරලා දුන්නා. අපි ඒ ගෙදරින් පිට වෙලා එන්න කලින් මම ඒ කාන්තාවගෙන් කාලොස් මෙහියා කියලා කෙනෙක්ව දන්නවද කියලා ඇහුවා. ඇය පුදුම වී “ඒ මගේ මහත්තයානේ” කියලා කිව්වා. ඊටපස්සේ අපි එයාලත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒ පවුලේ සියලුදෙනාම බව්තීස්ම වුණා. අවුරුදු කීපයකට පස්සේ කාලොස්, එයාගේ භාර්යාව සහ දරුවෝ දෙන්නෙක් විශේෂ පුරෝගාමි සේවය කළා.

ප්‍රේමණීය සහෝදරයන් පෙන්වූ සැලකිල්ල

චාරිකා සේවයේදී අපිට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි බස්වලින්, කෝච්චියෙන්, ලොරිවලින්, ඔරුවලින් හා පොඩි ගුවන් යානාවලින් ගමන් කළා. එක දවසක් දිස්ත්‍රික් සේවක ජෝන් මැක්ලෙනකන් සහ එයාගේ බිරිඳ ඩොරති අපිත් එක්ක කොලොම්බියානු දේශ සීමාවට ආසන්නයේ තියෙන ධීවර ගම්මානවල ශුභාරංචිය ප්‍රකාශ කරන්න ආවා. අපි ඒ ගමන ගියේ මෝටරයක් සවි කරපු ඔරුවකයි. අපි යද්දී ඔරුව තරම් ලොකු මෝරුන් අපේ ඔරුව දෙපැත්තෙන් වේගෙන් ආවා. ඔරුව හසුරුවන්නාට අද්දැකීම් තිබුණත් එයත් භය වෙච්ච නිසා ඉක්මනින්ම ඔරුව වෙරළ පැත්තට හැරෙව්වා.

චාරිකා සේවයේදී දුෂ්කරතාවලට මුහුණ දුන්නත් අපි බොහෝ ආශීර්වාද අද්දැක්කා. ආගන්තුක සත්කාරයට ළැදි ප්‍රේමණීය සහෝදරයන්ව අපිට මුණගැහුණා. අපිට නවාතැන් දුන්න අය ගොඩක් වෙලාවට එක වේලක් කෑවත් අපිට තුන් වේලටම කෑම දුන්නා. තවත් අය ඔවුන්ට තිබුණු එකම ඇඳ අපිට දීලා බිම නිදාගත්තා. මගේ බිරිඳ නිතරම කිව්වේ “අපිට ජීවත් වෙන්න ඒ තරම් දේවල් ඕන නැහැ කියලා මේ සහෝදරයන්ගෙන් මම ඉගෙනගත්තා” කියලයි.

‘අපිට ලැබෙන අවස්ථා නැති කරගන්න අපි කැමති නැහැ’

අපිට 1960දී ගුයාකිල් නගරයේ තියෙන ශාඛා කාර්යාලයේ සේවය කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක අපිට ලැබුණු තවත් ආශීර්වාදයක්. මම පරිපාලන අංශයේ සේවය කළා. ඊඩිත් ශාඛා කාර්යාලය ළඟ තිබුණු සභාවක් සමඟ සේවයේ හවුල් වුණා. මට කාර්යාලයක සේවය කරන්න දක්ෂකමක් තියෙනවා කියලා මම හිතුවේ නැහැ. ඒ වුණත් හෙබ්‍රෙව් 13:21 කියන්නේ දෙවිගේ ‘කැමැත්ත කරන්න අවශ්‍ය සෑම යහපත් දෙයක්ම ඔහු සපයනවා’ කියලයි. අවුරුදු දෙකකට පස්සේ, නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් බෙතෙල් එකේ තියෙන මාස දහයක ගිලියද් පාඨමාලාවකට මට ආරාධනා කළා. ඒකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ සහෝදරයන්ට විතරයි. භාර්යාවන්ට තමන්ගේ පැවරුම දිගටම කරගෙන යන්න සිද්ධ වුණා. බෘක්ලින්වලින් මගේ බිරිඳටත් ලිපියක් ලැබුණා. ස්වාමිපුරුෂයා නොමැතිව මාස දහයක් ඉන්න කැමතිද කියලා හොඳට කල්පනා කරලා බලන්න කියලා ඒකේ ලියලා තිබුණා.

ඊඩිත් ඒකට උත්තරයක් ලිව්වා. “ඒක මේ ලෝකයේ කරන්න තියෙන අමාරුම දේවලින් එකක්. ඒ වුණත් දුෂ්කර අවස්ථාවලදී යෙහෝවා දෙවි අපිට උපකාර කරනවා කියලා අපි දන්නවා. අපිට ලැබෙන ඕනෑම වරප්‍රසාදයක්, හෝ වගකීම් ඉටු කරන්න ලැබෙන ඕනෑම අවස්ථාවක් නැති කරගන්න අපි කැමති නැහැ.” මම බෘක්ලින්වල හිටිය කාලයේදී මගේ බිරිඳ හැම සතියකම මට ලියුමක් එව්වා.

විශ්වාසවන්ත සහෝදරයන් සමඟ කළ සේවය

සෞඛ්‍ය ගැටලු නිසා 1966දී අපි නැවතත් කුයිටෝවල මිෂනාරිවරුන් ලෙස සේවය කරන්න පටන්ගත්තා. අපි හිටිය සභාවේ සහෝදර සහෝදරියන් දෙවිට මොන තරම් විශ්වාසවන්තව සේවය කළාද!

එක සහෝදරියකට සාක්ෂිකාරයෙක් නොවන එයාගේ ස්වාමිපුරුෂයා නිතර නිතර පහර දුන්නා. එක දවසක් උදේ හයට විතර අපිට පණිවිඩයක් ලැබුණා ඒ සහෝදරියට ආයෙත් පහර දීලා කියලා. මම ඉක්මනින්ම ඒ සහෝදරියගේ ගෙදරට ගියා. එයාව දැක්කාම මට පුදුම හිතුණා. එයාගේ ස්වාමිපුරුෂයා කොස්ස කැඩෙනකම්ම එයාට ගහලා තිබුණ නිසා එයාගේ මුළු ඇඟම ඉදිමිලා තිබුණා. එදාම වෙන වෙලාවක මට එයාගේ ස්වාමිපුරුෂයාව හම්බ වුණාම මම එයාට කිව්වා ඔයා නම් කළේ හරිම පහත් වැඩක් කියලා. එයා ඇත්තටම දුක් වුණා.

මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරුණු නිසා 1970 ගණන්වල මුල් භාගයේදී අපි චාරිකා සේවය පටන්ගත්තා. අපි චාරිකා සේවය කළ එක් නගරයක් වුණේ ඉබර්රායි. අපි 1950 ගණන්වල අග භාගයේ එහේ යද්දී හිටියේ එක මිෂනාරිවරයෙකුයි තවත් සහෝදරයෙකුයි විතරයි. ඒ සභාවට අලුතෙන් එකතු වෙලා ඉන්න අයව බලන්න අපි හිටියේ නොඉවසිල්ලෙන්.

අපි ගිය මුල්ම රැස්වීමේ සහෝදර රොද්‍රිගෝ වාකා ප්‍රශ්නෝත්තර කොටසක් කළා. එයා ප්‍රශ්න අහද්දී සභාවේ හිටිය අය අත උස්සනවා වෙනුවට “යෝ, යෝ” (මම, මම) කියලා කිව්වා. අපි දෙන්නා පුදුම වෙලා මූණට මූණ බලාගත්තා. ‘මේ මොකක්ද මේ’ කියලා මම කල්පනා කළා. සහෝදර වාකා අන්ධයි කියලා අපි දැනගත්තේ පස්සෙයි. සභාවේ ඉන්න අයගේ කට හඬෙන් එයාලා කවුද කියලා එයාට අඳුරගන්න පුළුවන්. ඇත්තටම එයා බැටළුවන්ව අඳුනන එඬේරෙක්. උතුම් එඬේරා සහ බැටළුවන් ඔවුන් එකිනෙකාව හොඳින් හඳුනන බව යේසුස් යොහන් 10:3, 4, සහ 14හි පැවසූ වදන් මතකයට නැඟුණා. දැන් ඉබර්රාවල ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභා හයක්, කිචුවා භාෂාව කතා කරන සභාවක් සහ සංඥා භාෂාව කතා කරන සභාවක් තිබෙනවා. සහෝදර වාකා වැඩිමහල්ලෙක් හා විශේෂ පුරෝගාමියෙක් ලෙස තවමත් විශ්වාසවන්තව සේවය කරනවා. *

ආශීර්වාදවලට ස්තුතියි

අපිට 1974දී බෙතෙල් එකට එන්න කියලා ආයෙත් ආරාධනාවක් ලැබුණා. ඒක යෙහෝවා දෙවිගෙන් ලැබුණු තවත් ආශීර්වාදයක්. මේ පාරත් මට ලැබුණේ පරිපාලන අංශයේ සේවය කරන්නයි. පස්සේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් විදිහට සේවය කරන්නත් අවස්ථාව ලැබුණා. ඊඩිත් මුලින්ම වැඩ කළේ මුළුතැන්ගෙයි. පස්සේ එයා කාර්යාලයේ වැඩ කරන්න පටන්ගත්තා. එයා අද වෙනකම්ම කාර්යාලයේ වැඩ කරනවා.

ගිලියද් පුහුණුව ලබාගෙන මේ රටට ආව මිෂනාරිවරුන් සිය ගණනක් පිළිගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ අය සභාවල සහෝදර සහෝදරියන්ට ක්‍රිස්තියානීන් හැටියට දියුණු වෙන්නත් උද්‍යෝගයෙන් සේවය කරන්නත් උපකාර කරනවා. ඒ වගේම රටවල් 30කින් විතර ඇවිල්ලා මේ රටේ සේවය කරන සහෝදර සහෝදරියන් අපිට ලොකු දිරිගැන්වීමක්. ඔවුන්ගේ පරිත්‍යාගශීලී ස්වභාවය අපි ඇත්තෙන්ම අගය කරනවා. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩි අවශ්‍යතාවක් තියෙන ප්‍රදේශවල සේවය කරන්න සමහර අය එයාලගේ ගෙවල් සහ ව්‍යාපාර වික්කා. ඈත ප්‍රදේශවලට ගිහිල්ලා සේවය කරන්න ඔවුන් වාහන මිල දී ගත්තා. ඔවුන් අලුත් සභා පිහිටෙව්වා. ඒ වගේම රාජ්‍ය ශාලා ඉදි කරන්නත් උදව් කළා. බොහෝ තනිකඩ සහෝදරියන් පුරෝගාමි සේවය කරන්න වෙනත් රටවලින් මෙහෙට ඇවිත් ඉන්නවා. ඒ අය ගොඩක් දක්ෂ, කඩිසර අයයි.

මම දෙවිට සේවය කළ කාලය තුළදී මට ගොඩක් ආශීර්වාද ලැබුණා. යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න ලැබුණු එක මම ලබපු ලොකුම ආශීර්වාදයයි. ඒ වගේම යෙහෝවා දෙවි මට ‘සහකාරියක්’ ලබා දුන්න එක ගැන මම දෙවිට ස්තුතිවන්ත වෙනවා. (උත්පත්ති 2:18) අපි විවාහ වෙලා ගත කළ අවුරුදු 69 ගැන කල්පනා කරලා බලද්දී මට හිතෝපදේශ 18:22 තියෙන මේ දේ මතක් වෙනවා. “යමෙකුට හොඳ බිරිඳක් සොයාගත හැකි නම් ඇය ඔහුට වටිනා සම්පතකි.” ඊඩිත් එක්ක මගේ ජීවිතය බෙදාගන්න ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. එයා මට බොහෝ පැතිවලින් උදව් කළා. එයා එයාගේ අම්මටත් ආදරණීය දියණියක් කියලා ඔප්පු කරලා තියෙනවා. අපි ඉක්වදෝරයට ආව දවසේ ඉඳන් එයා එයාගේ අම්මට හැම සතියකම ලියුමක් යවන්න අමතක කළේ නැහැ. එයාගේ අම්මා 1990 මිය යද්දී වයස අවුරුදු 97යි.

දැන් මගේ වයස අවුරුදු 90යි, ඊඩිත්ට 89යි. යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න 70දෙනෙකුට විතර උදව් කරන්න අපිට පුළුවන් වුණා. දැනට අවුරුදු 60කට කලින් ගිලියද් පාසැලට ඇතුල් වෙන්න ඉල්ලුම්පත් පුරවපු එක ගැන අපි සතුටු වෙනවා. අපි ගත්ත ඒ තීරණය නිසා අපිට ගොඩක් ආශීර්වාද භුක්ති විඳින්න හැකි වුණා.

[පාදසටහන]

^ 29 ඡේ. සහෝදර වාකාගේ ජීවිත කතාව 1985 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වුණා. (සිංහලෙන් නැත.)

[29වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1958, නිව් යෝර්ක්වල යැංකි ක්‍රීඩාංගණයේ ගිලියද් පාසැලේ සෙසු මිෂනාරිවරුන් සමඟ

[31වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1959, චාරිකා සේවය කළ කාලයේදී සාක්ෂිකාර පවුලක් සමඟ

[32වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2002, ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයේ