Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට කරන සේවය බැරෑරුම්ව සලකමු

යෙහෝවා දෙවිට කරන සේවය බැරෑරුම්ව සලකමු

යෙහෝවා දෙවිට කරන සේවය බැරෑරුම්ව සලකමු

‘ගෞරවනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.’—ෆිලි. 4:8.

1, 2. බොහෝදෙනෙක් විනෝදයට මුල් තැන දෙන්නේ ඇයි? අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

අප ජීවත් වෙන්නේ මිනිස් ඉතිහාසයේ දරුණුතම කාලයකයි. ‘ඉතා අසීරු, අනතුරු සහිත මේ කාලයට’ සාර්ථකව මුහුණ දෙන්න දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් නොමැති අයට පහසු නැහැ. (2 තිමෝ. 3:1-5) ප්‍රශ්න ගැටලු පැමිණෙන විට ඒවා විසඳීම සඳහා තමන්ගේම හැකියාව මත රඳා සිටින නිසා ඔවුන් අද්දකින සාර්ථකත්වය සීමිතයි.

2 ජනයා තමන් අද්දකින ප්‍රශ්න ගැටලු හා පීඩනයෙන් මිදීම සඳහා බොහෝවිට විනෝද වීමට මුල් තැන දෙනවා. ක්‍රිස්තියානීන් වන අපත් පරෙස්සම් නොවුණොත් ඒ උගුලට හසු විය හැකියි. ඊට හසු නොවී සිටින්න අපට කුමක් කළ හැකිද? විනෝද වීම කොහොමටවත් සුදුසු නැද්ද? වගකීම් ඉටු කිරීම සහ විනෝද වීම සමබරව කරන්නේ කොහොමද? ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කළ යුතු නමුත් ඒ ගැන පමණට වඩා බැරෑරුම්ව සිතීමෙන් වැළකී සිටීමට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

ජීවිතය සැහැල්ලුවට නොගනිමු

3, 4. ජීවිතය ගැන බැරෑරුම්ව සිතීමට බයිබලයේ සඳහන් උපදෙස් අපට උපකාරවත් වෙන්නේ කෙසේද?

3 අද ලෝකයේ බොහෝදෙනෙක් පමණට වඩා “විනෝදයට ඇල්මක්” දක්වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. (2 තිමෝ. 3:4) අපත් විනෝදයට ඕනෑවට වඩා ඇල්මක් දක්වනවා නම් දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට හානියක් සිදු විය හැකියි. (හිතෝ. 21:17) පාවුල් තිමෝතිට සහ තීතස්ට ලියූ ලිපිවල ජීවිතය ගැන බැරෑරුම්ව කල්පනා කළ යුතු පැති ගැන සඳහන් කළේ හොඳ හේතු ඇතුවයි. එම උපදෙස් අදාළ කරගැනීමෙන් ජීවිතය සැහැල්ලුවට නොගෙන ගෞරවනීය ලෙස හැසිරෙන අය වීමට අපට හැකියි.—1 තිමෝති 2:1, 2; තීතස් 2:2-8 කියවන්න.

4 නිතරම විනෝදයෙන් කල් ගෙවනවා වෙනුවට ජීවිතය ගැන බැරෑරුම්ව සිතීමට යම් කාලයක් ගැනීමේ අවශ්‍යතාව ගැන මීට සියවස් ගණනකට පෙර සලමොන් රජු ලිව්වා. (දේශ. 3:4; 7:2-4) අපගේ ජීවිතය පවතින්නේ කෙටි කාලයකට නිසා ගැලවීම ලබාගැනීම සඳහා අප “දැඩි උත්සාහයක් දරන්න” අවශ්‍යයි. (ලූක් 13:24) ඒ නිසා අප නිතරම ‘ගෞරවනීය දේවල්’ ගැන කල්පනා කළ යුතුයි. (ෆිලි. 4:8, 9) ඉන් අදහස් කරන්නේ තම ජීවිතයේ සෑම පැත්තක් ගැනම ක්‍රිස්තියානීන් අවධානය දිය යුතු බවයි.

5. ජීවිතය ගැන බැරෑරුම්ව සිතිය යුතු පැත්තක් කුමක්ද?

5 උදාහරණයකට, යෙහෝවා දෙවිව හා යේසුස්ව අනුකරණය කරමින් ක්‍රිස්තියානීන් වෙහෙස මහන්සි වී වගකීමෙන් යුතුව වැඩ කරනවා. (යොහ. 5:17) ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට බොහෝ අවස්ථාවලදී මිනිසුන්ගේ ප්‍රසාදය ලැබී තිබෙන අතර විශ්වාසයද දිනාගැනීමට හැකි වී තිබෙනවා. ක්‍රිස්තියානි පවුල් මූලිකයන් තමන්ගේ පවුලේ අවශ්‍යතා සපුරාලීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න අවශ්‍යයි. නමුත් ඔවුන් එය පැහැරහරිනවා නම් “දෙවිට සේවය නොකරන” අය හා සමාන වෙනවා.—1 තිමෝ. 5:8.

අපගේ නමස්කාරය සැහැල්ලුවට නොගනිමු

6. යෙහෝවා දෙවිට කරන නමස්කාරය සැහැල්ලුවට නොගත යුතු බව අප දන්නේ කොහොමද?

6 දෙවිට කරන නමස්කාරය අප බැරෑරුම්ව සැලකිය යුතුයි. අප එසේ කරයි කියා දෙවි අපගෙන් බලාපොරොත්තු වෙනවා. උදාහරණයකට මෝසෙස්ට දුන් නීතිය යටතේ සිටි ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිව අත්හැරිය විට දරුණු ඵල විපාක අද්දැක්කා. (යොෂු. 23:12, 13) පළමු සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට බොරු ආගමික ඉගැන්වීම්වලින් හා ආකල්පවලින් වැළකී සැබෑ නමස්කාරයේ දිගටම නියැලීම සඳහා දැඩි සටනක යෙදෙන්න සිදු වුණා. (2 යොහ. 7-11; එළි. 2:14-16) අද දිනත් සැබෑ ක්‍රිස්තියානීන් කිසිවිටෙකත් සැබෑ නමස්කාරය සැහැල්ලුවට ගන්නේ නැහැ.—1 තිමෝ. 6:20.

7. දේවසේවය සඳහා පාවුල් සූදානම් වුණේ කෙසේද?

7 දේවසේවයෙන් අප විශාල ප්‍රීතියක් ලබනවා. කෙසේවෙතත් දේවසේවයෙන් ලැබෙන ප්‍රීතිය දිගටම පවත්වාගන්න නම් එහි ඇති වැදගත්කම ගැන ගැඹුරින් කල්පනා කර ඒ සඳහා සූදානම් වීම අත්‍යවශ්‍යයි. තමාගෙන් දේවවචනය ඉගෙනගත් අය කෙරෙහි දැක්වූ සැලකිල්ල ගැන පාවුල් මෙසේ විස්තර කළා. “හැකි සෑම ආකාරයකින්ම කිහිපදෙනෙකුව හෝ බේරාගැනීමට මම සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් ඒ ඒ අයට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි. මා මේ සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කිරීමෙන් මේ ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කරන්න මට හැකියාව ලැබී තිබේ.” (1 කොරි. 9:22, 23) ශුභාරංචිය දැනගැනීමට ජනයාට උපකාර කිරීමෙන් පාවුල් මහත් සතුටක් ලැබුවා. එක් එක් කෙනාගේ අවශ්‍යතා අනුව ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය ගැනත් ඔහු ගැඹුරින් කල්පනා කළා. යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ඔවුන්ව දිරිගැන්වීමට පාවුල්ට හැකි වුණේ ඒ නිසයි.

8. (අ) අපගෙන් දේවවචනය ඉගෙනගන්නා අය ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද? (ආ) බයිබල් පාඩමක් පැවැත්වීම අපගේ ප්‍රීතියට දායක වෙන්නේ කෙසේද?

8 පාවුල්ට දේවසේවය කොතරම් වැදගත් වුණාද? යෙහෝවා දෙවි වෙනුවෙන් හා ශුභාරංචියට සවන් දෙන අය වෙනුවෙන් ‘වෙහෙස මහන්සි වී වැඩ කිරීමට’ පාවුල් කැමැත්තක් දැක්වුවා. (රෝම 12:11; 1 කොරි. 9:19) බයිබල් පාඩමකදී, ක්‍රිස්තියානි රැස්වීමකදී හෝ පවුලේ නමස්කාරයේදී දේවවචනය ඉගැන්වීමේ ප්‍රස්තාව අපට ලැබුණු විට ඉගෙනගන්නා අය කෙරෙහි අපට ඇති වගකීම ගැන අප බැරෑරුම්ව සිතනවාද? දිගටම බයිබල් පාඩමක් කිරීම අමාරු කාර්යයක් කියා සමහරවිට අපට හැඟෙන්න පුළුවන්. අන් අයට දේවවචනය ඉගැන්වීම සඳහා අපගේ පෞද්ගලික දේවල් වෙනුවෙන් යොදවන කාලය කැප කරන්න සිදු වන බව ඇත්තයි. නමුත් යේසුස් පැවසුවේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙන” බව නොවේද? (ක්‍රියා 20:35) ගැලවීම ලබාගත හැකි මාර්ගය ගැන අන් අයට කියා දීමෙන් ඔබ ලබන සතුට වෙන කිසිම දෙයකින් ලබාගන්න බැහැ.

9, 10. (අ) බැරෑරුම්ව සිතනවා කීමෙන් අදහස් කරන්නේ අන් අය සමඟ අපට විවේකීව සහ විනෝදයෙන් කාලය ගත කරන්න බැහැ කියාද? පැහැදිලි කරන්න. (ආ) දිරිගන්වන සහ මිත්‍රශීලී අය වීමට වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

9 ජීවිතය ගැන බැරෑරුම්ව සිතනවා කීමෙන් අදහස් කරන්නේ අන් අය සමඟ අපට විවේකීව සහ විනෝදයෙන් කාලය ගත කරන්න බැහැ කියා නොවෙයි. දෙවි ගැන ඉගැන්වීමට පමණක් නොව විවේකීව සිටීමට හා අන් අය සමඟ අර්ථවත් සබඳතා ගොඩනඟා ගැනීමට කාලය ගත කිරීමෙන් යේසුස් විශිෂ්ට ආදර්ශයක් තැබුවා. (ලූක් 5:27-29; යොහ. 12:1, 2) ජීවිතය ගැන බැරෑරුම්ව සිතනවා කීමෙන් අදහස් කරන්නේ කිසිම හිනාවක්වත් කතාවක්වත් නැතුව බුම්මගෙන ඉන්නවා කියන එකත් නොවෙයි. යේසුස් එවැනි පුද්ගලයෙක් වුණා නම් ජනයා ඔහු වෙත කිසිදා ළං වෙන්නේ නැහැ. නමුත් දරුවන් පවා කිසිම අපහසුතාවක් නැතුව ඔහුට ළං වුණා. (මාක් 10:13-16) යේසුස් මෙන් අපත් සමබරව ක්‍රියා කරන්නේ කෙසේද?

10 එක සහෝදරයෙක් වැඩිමහල්ලෙක් ගැන මෙසේ පැවසුවා. “ඒ සහෝදරයා ඔහුට කරන්න පුළුවන් හැම දෙයක්ම කළත් අනිත් අයත් ඒ විදිහටම කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ.” ඔබත් ඒ වගේද? අනික් අයගෙන් සාධාරණ මට්ටමකට යම් දේවල් බලාපොරොත්තු වීම සුදුසුයි. උදාහරණයකට දෙමාපියන් දරුවන්ට ඔවුන්ගේ වයසට අනුව යම් ඉලක්ක දී ඒවා අත් කරගැනීමට උපකාර කරද්දී දරුවන්ට ඒවා පහසුවෙන් අත් කරගැනීමට හැකි වෙනවා. එලෙසම සභාවේ සහෝදරයන්ට අවශ්‍ය යම් නිශ්චිත යෝජනා ලබා දී ඒවා ක්‍රියාත්මක කිරීමට උපකාර කරන්න වැඩිමහල්ලන්ට හැකියි. එවිට දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා. ඒ වගේම වැඩිමහල්ලෙක් තමන් ගැනම සාධාරණව සිතනවා නම් ඔහුට ළං වීමට අනික් අයට පහසු වෙනවා. (රෝම 12:3) එක් සහෝදරියක් මෙසේ පවසනවා. “වැඩිමහල්ලෙක් හැම දේම විහිළුවට ගන්නවාට මම කැමති නැහැ. ඒ වගේම හැම දෙයක්ම ඕනෑවට වඩා බැරෑරුම්ව හිතනවාටත් මම කැමති නැහැ. මොකද එතකොට එයා ළඟට ගිහින් උදව්වක් ඉල්ලන්නත් භය හිතෙනවා.” සමහර වැඩිමහල්ලන් ගැන තමන්ට හැඟෙන දේ තවත් සහෝදරියක් මෙසේ පැවසුවා. “හැම දේම ඕනෑවට වඩා බැරෑරුම්ව හිතන නිසා ඒ අයව දැක්කත් භය හිතෙනවා.” යෙහෝවා දෙවි “ප්‍රීතිමත් දෙවි” කෙනෙක් නිසා ඔහුට නමස්කාර කරන අයද ප්‍රීතියෙන් සිටිය යුතුයි. වැඩිමහල්ලන් එම ප්‍රීතියට බාධාවක් නොවිය යුතුයි.—1 තිමෝ. 1:11.

සභාවේ වගකීම් අත් කරගැනීම

11. “වගකීම් දැරීමට වෑයම් කරනවා” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

11 අමතර වගකීම් දැරීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කරන්න කියා පාවුල් සභාවේ සහෝදරයන්ට දිරිගැන්නුවා. නමුත් ඔහු දිරිගැන්නුවේ ඔවුන්ගේ පෞද්ගලික ආශාවන් ඉටු කරගැනීමට නොවෙයි. ඒ වෙනුවට ඔහු පැවසුවේ මෙයයි. “යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය.” (1 තිමෝ. 3:1, 4) “වගකීම් දැරීමට වෑයම් කරනවා” යන්නෙන් අදහස් කරන්නේ සහෝදරයන් වෙනුවෙන් සේවය කිරීම සඳහා තමන්ගේ ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමට බලවත් ආශාවක් ඇති කරගැනීමයි. සහෝදරයෙක් බව්තීස්ම වී අඩුම තරමින් වසරක්වත් ගත වී ඇත්නම් සහ 1 තිමෝති 3:8-13 දක්වා සඳහන් කර ඇති සහායක සේවකයන්ට අවශ්‍ය සුදුසුකම් සාධාරණ මට්ටමකට අත් කරගෙන සිටී නම් ඔහුව එම සේවයට නිර්දේශ කළ හැකියි. අටවෙනි පදයේ සඳහන් මෙයත් සැලකිල්ලට ගන්න. ‘සහායක සේවකයන් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි.’

12, 13. වගකීම් අත් කරගැනීමට යෞවන අයට හැකි ක්‍රම විස්තර කරන්න.

12 ඔබ ජීවිතය ගැන බැරෑරුම්ව සලකන බව්තීස්ම ලත් නහඹර වියේ පසු වන කෙනෙක්ද? එසේනම් ඔබට අමතර වගකීම් දැරීම සඳහා සුදුසුකම් අත් කරගත හැකියි. ඒ සඳහා කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා. එක් දෙයක් නම් දේවසේවයේ වැඩිපුර හවුල් වීමයි. ඔබ සියලුම වයස් කාණ්ඩවලට අයත් සහෝදරයන් සමඟ දේවසේවයේ යෙදෙනවාද? ඔබ බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කර තිබෙනවාද? ක්‍රිස්තියානි රැස්වීම්වලදී දෙන යෝජනා අදාළ කරගනිමින් බයිබල් පාඩම කරන විට ඔබේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගත හැකියි. එපමණක්ද නොව යෙහෝවා දෙවිගේ මාර්ග ගැන ඉගෙනගන්න පුද්ගලයා කෙරෙහි අනුකම්පාවක් දක්වන්නත් ඔබ ඉගෙනගනියි. එම ශිෂ්‍යයා තම ජීවිතයේ වෙනස්කම් කළ යුතුයි කියා තේරුම්ගන්න විට ඔහුට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට උපකාර කිරීමේදී ඉවසිලිවන්තව සහ උපායශීලීව ක්‍රියා කරන්නත් ඔබ ඉගෙනගනියි.

13 සභාවේ සිටින වයසක අයට උපකාර කරන්න ඉදිරිපත් වීමට යෞවන සහෝදරයන් වන ඔබට හැකියි. එමෙන්ම රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමේ හා පිළිවෙළකට තබාගැනීමේ ක්‍රියාකාරකම්වලට හවුල් වීමටද ඔබට හැකියි. ඔබට හැකි අයුරින් එසේ කැමැත්තෙන්ම උපකාර කිරීමට ඉදිරිපත් වීම ඔබේ සේවය සම්බන්ධයෙන් ඔබ බැරෑරුම්ව කල්පනා කරන බවට සාක්ෂියක්. තිමෝති මෙන් සභාවේ අවශ්‍යතා ගැන අවංක සැලකිල්ලක් දැක්වීමට ඔබට ඉගෙනගත හැකියි.ෆිලිප්පි 2:19-22 කියවන්න.

14. යෞවන සහෝදරයන් සභාවේ වගකීම් දැරීමට “සුදුස්සන්ද කියා සෝදිසි කර බැලිය” හැක්කේ කෙසේද?

14 ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන් සිතින් පලවාහැරීමට’ උත්සාහ කරන සහ “ධර්මිෂ්ඨකම, විශ්වාසය, ප්‍රේමය හා සමාදානය” මෙන්ම වෙනත් යහපත් ගුණාංග වර්ධනය කිරීමට දැඩි වෑයමක් දරන යෞවන සහෝදරයන්ට සභාවේ යම් කාර්යයන් භාර දීමට වැඩිමහල්ලන්ට හැකියි. (2 තිමෝ. 2:22) එසේ කිරීමෙන් වගකීම් භාරගැනීමට ඔවුන් “සුදුස්සන්ද කියා සෝදිසි කර බැලිය” හැකියි. වගකීම් දරන විට ඔවුන් “දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”—1 තිමෝ. 3:10; 4:15.

සභාව සහ පවුල තුළ ගෞරවනීයව හැසිරීම

15. පළමුවෙනි තිමෝති 5:1, 2ට අනුව, අන් අයට ගෞරව කරන බව අප පෙන්වන්නේ කෙසේද?

15 ගෞරවනීයව හැසිරෙන කෙනෙක් සහෝදර සහෝදරියන්ට ගෞරව කරනවා. අන් අයට ගෞරවනීයව සැලකීම සම්බන්ධයෙන් පාවුල් තිමෝතිට දුන් උපදෙස සලකා බලන්න. (1 තිමෝති 5:1, 2 කියවන්න.) පුරුෂයන් සහ ස්ත්‍රීන් එකිනෙකා සමඟ කටයුතු කරද්දී එය විශේෂයෙන්ම වැදගත්. කාන්තාවන්ට, විශේෂයෙන්ම තම සහකාරියට ගෞරවය දැක්වීමේදී යෝබ් පෙන්වූ ආදර්ශය අනුකරණය කිරීම ඉතා වැදගත්. හැඟීම් ඇවිස්සෙන ආකාරයෙන් වෙනත් ස්ත්‍රියක් දෙස නොබැලීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. (යෝබ් 31:1) සහෝදර සහෝදරියන්ට ගෞරවය දක්වනවා නම් අප නුසුදුසු ආලවන්තකම් පාන්නේවත් ඔවුන්ට අපහසුතාවක් දැනෙන ආකාරයෙන් හැසිරෙන්නේවත් නැහැ. විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රේම සබඳතාවක් පවත්වන දෙදෙනෙක් එකිනෙකාගේ ගෞරවය රැකෙන ආකාරයෙන් හැසිරීම ඉතා වැදගත්. අන් අයට ගෞරවනීය ලෙස සලකන ක්‍රිස්තියානි පුරුෂයෙක් ස්ත්‍රියකගේ හැඟීම් සමඟවත් ක්‍රිස්තියානි ස්ත්‍රියක් පුරුෂයෙකුගේ හැඟීම් සමඟවත් සෙල්ලම් කරන්නේ නැහැ.—හිතෝ. 12:22.

16. ස්වාමිපුරුෂයෙක් සහ පියෙක් සම්බන්ධයෙන් මිනිසුන් දරන අදහසත් බයිබලයේ සඳහන් අදහසත් අතර ඇති වෙනස කුමක්ද?

16 පවුල තුළ දෙවි එක් එක් කෙනාට දී තිබෙන වගකීම් බැරෑරුම්ව සිතීම අවශ්‍යයි. ස්වාමිපුරුෂයෙකුගේ සහ පියෙකුගේ වගකීම සාතන් යටතේ පවතින ලෝකයේ සිටින අය සරදමට ලක් කරනවා. උදාහරණයකට චිත්‍රපට, රූපවාහිනිය හා සංගීතය වැනි දේවල් මගින් පවුලේ මූලිකයාව සරදමට හෝ අගෞරවයට ලක් කර තිබෙනවා. කෙසේවෙතත් යෙහෝවා දෙවි ස්වාමිපුරුෂයාට පවුල තුළ විශාල වගකීමක් පවරා තිබෙන අතර ඔහුව “භාර්යාවගේ හිස” ලෙසද පත් කර තිබෙනවා.—එෆී. 5:23; 1 කොරි. 11:3.

17. පවුලේ නමස්කාරයට හවුල් වීමෙන් අපගේ වගකීම් ගැන බැරෑරුම්ව සලකන බව පෙන්විය හැකි ආකාරය විස්තර කරන්න.

17 ස්වාමිපුරුෂයෙක් තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේවල් සපයනවා විය හැකියි. නමුත් ඔහු දෙවිගේ ප්‍රමිති ගැන කියා දෙන්නේ නැත්නම් ඔහු ප්‍රඥාව අඩු කෙනෙක් කියා පැවසිය හැකියි. (ද්වි. 6:6, 7) ඔබ පවුලේ මූලිකයා නම් සහ ඔබ සභාවේ අමතර වගකීම් අත් කරගැනීමට වෑයම් කරනවා නම් ඔබේ ‘නිවසේ සිටින අයව හොඳින් හසුරුවාගත යුතුයි.’ එමෙන්ම ‘දරුවන් ඔබට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි.’ (1 තිමෝ. 3:4) මේ ප්‍රශ්නය ගැනද කල්පනා කරන්න. ‘පවුලේ නමස්කාරයට මම නිතිපතා කාලය වෙන් කරනවාද?’ පවුල තුළ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල මූලිකත්වය ගැනීම සඳහා ස්වාමිපුරුෂයන්ට ආයාචනා කිරීමට සමහර ක්‍රිස්තියානි භාර්යාවන්ට සිදු වී තිබෙනවා. සෑම ස්වාමිපුරුෂයෙක්ම පවුල තුළ තමන්ට ලැබී තිබෙන එම වගකීම ගැන බැරෑරුම්ව සැලකිය යුතුයි. එමෙන්ම භාර්යාවද පවුලේ නමස්කාරය සඳහා ස්වාමිපුරුෂයා කර ඇති සැලසුම සාර්ථක කරගැනීමට සහයෝගය දක්වන්න අවශ්‍යයි.

18. ජීවිතය ගැන බැරෑරුම්ව සැලකීමට ඉගෙනගන්න දරුවන්ට පුළුවන් කොහොමද?

18 දරුවන්ද ජීවිතය ගැන බැරෑරුම්ව සැලකිය යුතුයි කියා බයිබලයේ දිරිගන්වා තිබෙනවා. (දේශ. 12:1) දරුවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඉගෙනගැනීමේ වරදක් නැහැ. ඔවුන්ගේ වයස හා හැකියාව අනුව ගෙදරදොරේ වැඩකටයුතුවලට ඔවුන්වත් හවුල් කරගත හැකියි. (විලා. 3:27) දාවිත් රජ, දරුවෙක්ව සිටි කාලයේදී හොඳ එඬේරෙක් වීමට ඉගෙනගත්තා. එමෙන්ම ඔහු සංගීත භාණ්ඩ වාදනය කරන්නත් ගීත රචනා කරන්නත් ඉගෙනගත්තා. පසු කාලයේදී ඊශ්‍රායෙල් රජුට සේවය කරන්න ඒ දක්ෂතා ඔහුට උපකාරවත් වුණා. (1 සාමු. 16:11, 12, 18-21) දාවිත් ළමා කාලයේදී කෙළි සෙල්ලම් කළත් ඔහු විවිධ දක්ෂතා ප්‍රගුණ කළා. ඒ නිසා පසු කාලයේදී යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඒවා යොදාගන්න ඔහුට හැකි වුණා. ඊශ්‍රායෙල් ජාතියට නායකත්වය දීමේදී ඉවසීමෙන් ක්‍රියා කරන්න එඬේරෙක් ලෙස සිටි කාලයේදී ඔහු ඉගෙනගත් දේ ප්‍රයෝජනවත් වුණා. යෞවනයෙනි, ඔබගේ නිර්මාතෘට සේවය කිරීමට හා අනාගත වගකීම්වලට ඔබව සූදානම් කිරීමට උපකාරවත් වන දක්ෂතා ඔබ ඉගෙනගනිමින් සිටිනවාද?

සමබර වෙන්න

19, 20. ඔබ අධිෂ්ඨාන කරගෙන සිටින්නේ ඔබ ගැනත් ඔබේ නමස්කාරය ගැනත් කුමන සමබර ආකල්පය තබාගැනීමටද?

19 අපගේ ජීවිතය ගැන ඕනෑවට වඩා බැරෑරුම්ව නොසිතා සමබර ආකල්පයක් තබාගන්න අපි වෑයම් කරමු. “පමණට වඩා ධර්මිෂ්ඨ” වෙන්න අප කාටවත් අවශ්‍ය නැහැ. (දේශ. 7:16) නිවසේදී නැත්නම් රැකියා ස්ථානයේදී එකිනෙකා සමඟ කතාබහ කරන විට හෝ සහෝදර සහෝදරියන් සමඟ කතාබහ කරන විට යම් ප්‍රශ්නයක් ඇති වෙන බව හැඟුණොත් හාස්‍ය උපදවන දෙයක් කීමෙන් හෝ කිරීමෙන් එය දුර දිග යෑම වළක්වාගත හැකියි. පවුලේ සාමාජිකයන් සෑමවිටම සෑම දෙයක්ම නිවැරදිව ඉටු කරයි කියා අප බලාපොරොත්තු වුණොත් පවුලේ සාමයට බාධා ඇති විය හැකියි. සභාවේදී එකිනෙකා සමඟ සිනාසීමෙන් සහ ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් සතුටක් ලබන්න ඉගෙනගනිමු. නිතරම එකිනෙකාව ගොඩනංවන හා දිරිගන්වන ආකාරයෙන් කතාබහ කිරීමෙන් එසේ කළ හැකියි.—2 කොරි. 13:10; එෆී. 4:29.

20 අප ජීවත් වෙන්නේ යෙහෝවා දෙවි හෝ ඔහුගේ ප්‍රමිති ගැන කිසිම තැකීමක් නොකරන මිනිසුන් සිටින ලෝකයකයි. නමුත් යෙහෝවා දෙවිගේ සෙනඟ වන අප දෙවිට විශ්වාසවන්තව සිටීම හා කීකරු වීම ඉතා වැදගත් දෙයක් ලෙස සලකනවා. යෙහෝවා දෙවිට “ගෞරවනීයව” නමස්කාර කරන විශාල සහෝදර කැලක සාමාජිකයෙක් වීමට ලැබීම මොන තරම් සතුටක්ද! අපි සියලුදෙනාම අපගේ ජීවිතය ගැනත් නමස්කාරය ගැනත් බැරෑරැම්ව සැලකීමට අධිෂ්ඨාන කරගනිමු.

ඔබගේ පිළිතුර කුමක්ද?

• ජීවිතය සැහැල්ලුවට ගැනීමේ ආකල්පයෙන් අප වැළකී සිටිය යුත්තේ ඇයි?

• දේවසේවයෙන් ප්‍රීතියක් ලබන්නත් එම සේවය වැදගත් දෙයක් ලෙස සලකන්නත් අපට පුළුවන් කොහොමද?

• අපගේ වගකීම් ගැන අපට ඇති ආකල්පය තුළින් අප කාරණා බැරෑරුම්ව සලකනවාද නැද්ද කියා හෙළි වෙන්නේ කොහොමද?

• අපගේ සහෝදර සහෝදරියන්ට හා පවුලේ අයට ගෞරව කිරීම බැරෑරුම් කාරණයක් වෙන්නේ ඇයි කියා පැහැදිලි කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූර]

පවුලේ අවශ්‍යතා සැපයීම හා පවුලේ අයට දෙවි ගැන ඉගැන්වීම ස්වාමිපුරුෂයාගේ වගකීමයි