Skip to content

පටුනට යන්න

වංක ලොවක අවංකව සිටීම

වංක ලොවක අවංකව සිටීම

වංක ලොවක අවංකව සිටීම

අප හුස්ම ගන්නා වාතය මෙන් වංකකම සෑම තැනම පැතිරී තිබෙනවා. මිනිසුන් බොරු කියනවා, මුදල් වැඩිපුර අය කරනවා, සොරකම් කරනවා, ණය ගෙවීම පැහැරහරිනවා සහ සාධාරණයි කියා අන් අයට පෙන්වමින් වංචනික ව්‍යාපාර කරනවා. අප ජීවත් වෙන්නේ මෙවැනි සමාජයක නිසා අවංක වීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය නිතරම අභියෝගයට ලක් වෙනවා. වංක වීමට තිබෙන නැඹුරුවාවට හසු නොවී සිටින්න අපට පුළුවන් කොහොමද? ඒ සඳහා දේවගරුබිය, පුහුණු කරන ලද හෘදය සාක්ෂිය හා සෑහීමට පත් වීම යන කරුණු උපකාරවත් වන ආකාරය අපි සලකා බලමු.

දේවගරුබිය

“යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය. යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය. අපේ රජුද යෙහෝවා දෙවිය” කියා අනාගතවක්තෘ යෙසායා ලිව්වා. (යෙසා. 33:22) යෙහෝවා දෙවි සතු උසස් අධිකාරිය තේරුම්ගැනීම තුළින් ඔහුට ගරුබියක් දැක්වීමට අප පෙලඹෙනවා. වංක ලොවක අවංක වීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානයට එකඟව ක්‍රියා කරන්න එය අපට මහත් උපකාරයක්. හිතෝපදේශ 16:6හි මෙවැනි දෙයක් පවසනවා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා වැරදි දෙයින් වැළකී සිටියි.” එවැනි ගරුබියක් අප දක්වන්නේ දෙවි අපට දඬුවම් කරයි යන බිය නිසා නොව අප ගැන බොහෝ සේ සැලකිලිමත් වන අපගේ දෙවිව අසතුටු කිරීමට තිබෙන අකමැත්ත නිසයි.—1 පේතෘ. 3:12.

දේවගරුබිය ඇතුව ක්‍රියා කළ මේ යුවළගේ අද්දැකීම සලකා බලන්න. රිකාඩූ සහ ෆෙර්නාන්ඩා යුවළ යූරෝ 500ක (රුපියල් 78,000ක් පමණ) මුදලක් තමන්ගේ බැංකු ගිණුමෙන් ලබාගත්තා. * එම මුදල් ප්‍රමාණය ගණන් නොකර ෆෙර්නාන්ඩා ඇගේ බෑග් එකේ දමාගත්තා. ගෙදර එන ගමන් ඔවුන් එම මුදල්වලින් යම් ගෙවීම් කිහිපයක්ද කළා. නමුත් ගෙදරට පැමිණ මුදල් ගණන් කර බැලූ විට බැංකුවෙන් ගත් සම්පූර්ණ මුදල තවමත් තමන් ළඟ තිබෙන බව ඔවුන් දැක්කා. බැංකුවෙන් වැඩිපුර සල්ලි දීලා කියලා ඔවුන් තේරුම්ගත්තා. ඔවුන්ට තවත් ගෙවීම් කිහිපයක්ම කරන්න තිබුණු නිසා එම මුදල් ප්‍රමාණය නැවත භාර නොදීමට යම් පෙලඹීමක් ඔවුන්ට මුලින් ඇති වුණත් රිකාඩූ ඒ ගැන මෙසේ පවසනවා. “සල්ලි ටික ආයෙත් භාර දෙන්න අවශ්‍ය ශක්තිය ඉල්ලලා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කළා. හිතෝපදේශ 27:11හි යෙහෝවා දෙවි කරලා තියෙන ආයාචනයට අනුව ඔහුව සතුටු කරන්න අපිට තිබුණු ආශාව නිසා සල්ලි ටික භාර දෙන්න අපි පෙලඹුණා.”

පුහුණු කරන ලද හෘදය සාක්ෂිය

බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ ඉගෙනගන්න දේ අදාළ කරගැනීමෙන් සංවේදී හෘදය සාක්ෂියක් ඇති කරගත හැකියි. ‘දෙවිගේ වදන් ජීවමාන හා බලවත්’ නිසා එය අපගේ දැනුමට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපව ක්‍රියාවටත් පොලඹවනවා. “සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට” අප පෙලඹෙන්නේ ඒ නිසයි.—හෙබ්‍රෙ. 4:12; 13:18.

ෂෝන්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු යූරෝ 3,600ක පමණ (රුපියල් 5,60,000ක් පමණ) විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගෙන තිබුණා. එම මුදල ගෙවන්නේ නැතුව ඔහු වෙනත් නගරයක පදිංචියට ගියා. ඉන් වසර අටකට පසු ෂෝන්ට බයිබලය ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබුණා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව තමාගේ හෘදය සාක්ෂිය පුහුණු කරගත් නිසා ණයහිමියාව මුණගැසීමටත් ණය ගෙවා දැමීමටත් ඔහු තීරණය කළා. භාර්යාවක් සහ දරුවන් හතරදෙනෙක් සිටි ෂෝන්ට ලැබුණේ සුළු ආදායමක් නිසා ණය මුදල මාසිකව ටික ටික ගෙවනවාට ණයහිමියා එකඟ වුණා.

සෑහීමට පත් වීම

‘දෙවිට භක්තියෙන් සේවය කරන විට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි. ඒ නිසා අපට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු’ කියා පාවුල් පැවසුවා. (1 තිමෝ. 6:6-8) අප එම උපදෙස පිළිපදිනවා නම් තණ්හාවෙන්, කූට ව්‍යාපාරවලින් හා ඉක්මනින් ධනවත් වීමට තිබෙන විවිධ ක්‍රමවලින් වළකිනවා. (හිතෝ. 28:20) එමෙන්ම එම උපදෙස අදාළ කරගන්නා විට අපගේ මූලික අවශ්‍යතා දෙවි සපයයි යන විශ්වාසය ඇතුව දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්නත් අප පෙලඹෙනවා.—මතෙ. 6:25-34.

‘ධනය පසුපස යෑම මුළාවක්.’ ඒ නිසා ‘අපිට නම් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ’ කියා අප කිසිදාක නොසිතිය යුතුයි. (මතෙ. 13:22) ආකාන්ට සිදු වූ දේ සලකා බලන්න. ඊශ්‍රායෙල්වරුන් සමඟ තමාවත් යොර්දාන් ගඟෙන් දෙවි ආශ්චර්යවත් ලෙස එගොඩ කළ ආකාරය ආකාන් ඔහුගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ වුණත් ඔහුට ඇති වූ තණ්හාව මැඩපවත්වා නොගෙන විනාශ කිරීමට නියමිතව තිබූ රත්තරන්, රිදී සහ වටිනා ඇඳුමක් ඔහු සොරකම් කළා. ඔහු කළ ඒ වරද නිසා ඔහුට මරණය නියම වුණා. (යොෂු. 7:1, 20-26) “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න” කියා ඊට ශතවර්ෂ ගණනාවකට පසු යේසුස් පැවසීම පුදුමයක් නොවෙයි.—ලූක් 12:15.

රැකියා ස්ථානයේදී අවංක වෙන්න

සෑම දෙයකදීම අවංකව සිටීමට අප ගෙන ඇති අධිෂ්ඨානය අභියෝගයට ලක් විය හැකි තත්වයන් කිහිපයක් අපි සලකා බලමු. රැකියා ස්ථානයේ සොරකම් කිරීම සාමාන්‍ය දෙයක් වුණත් අවංකව ක්‍රියා කරන කෙනෙක් ‘සොරකම් කරන්නේ’ නැහැ. (තීත. 2:9, 10) රජයේ ආයතනයක සේවය කරන ජූරාන්ඩීර්ගේ අද්දැකීම සලකා බලන්න. රාජකාරී කටයුතු සඳහා ආයතනයෙන් බැහැරව ගිය අවස්ථාවල ඒ සඳහා වැය වූ වියදම් ලබාගැනීමේදී ඔහු අවංක වුණා. නමුත් සෙසු සේවකයන් ඔවුන් වැය කළ මුදලට වඩා වැඩි මුදලක් ආයතනයෙන් ලබාගත්තා. ඔවුන්ට එසේ කිරීමට හැකි වුණේ අංශයේ ප්‍රධානියාගේ උපකාරය නිසයි. ජූරාන්ඩීර් අවංකව ක්‍රියා කිරීම ගැන අංශයේ ප්‍රධානියා තම අප්‍රසාදය පළ කළා. ඒ වගේම රාජකාරී කටයුතු සඳහා ඔහුව පිටතට යැවීමත් නතර කළා. කෙසේවෙතත් එම ආයතනයේ ගිණුම් විගණනය කළ අවස්ථාවක ජූරාන්ඩීර්ගේ අවංකකම ගැන ඔහුට ප්‍රශංසා කළා. එමෙන්ම ඔහුට උසස් වීමක්ද ලැබුණා.

වෙළඳ සේවකයෙක් වන ඔන්ඩ්‍රේට මුහුණ දීමට සිදු වූ අභියෝගය ගැන සලකා බලමු. ගනුදෙනුකරුවන්ට නොදැනෙන්න එකම සේවා ගාස්තුව දෙපාරක් අය කරන්න කියා ඔහුගේ ස්වාමියා ඔහුට පැවසුවා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන්න අවශ්‍ය ශක්තිය ඉල්ලා ඔන්ඩ්‍රේ ඒ අවස්ථාවේදී යාච්ඤා කළා. (ගීතා. 145:18-20) ඉන්පසුව ස්වාමියා පැවසූ දේ තමන්ට කරන්න නොහැකි වීමට හේතුව ඔහුට පැහැදිලි කළා. නමුත් ඉන් පලක් වුණේ නැහැ. එම රැකියාවෙන් හොඳ වැටුපක් ලැබුණත් ඉන් ඉවත් වීමට ඔහු තීරණය කළා. කෙසේවෙතත් ඉන් වසරකට පමණ පසුව, නැවතත් එම රැකියාව භාරගන්න කියා ඔන්ඩ්‍රේගෙන් ස්වාමියා ඉල්ලා සිටි අතර ගනුදෙනුකරුවන්ගෙන් වැඩි මුදලක් අය කිරීමට සිදු නොවන බවත් ඔහුට සහතික වුණා. එමෙන්ම ඔහුව එම ආයතනයේ කළමනාකරු ලෙසද පත් කළා.

ණය ගෙවන්න

“කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නා. (රෝම 13:8) ණය දුන් තැනැත්තා ආර්ථික අතින් හොඳ තත්වයක සිටින නිසා ඒ ණය ආපසු ගෙවීමට අවශ්‍ය නැහැ කියා අප තර්ක කළ හැකියි. කෙසේවෙතත් බයිබලයේ පවසන්නේ ‘ණයට ගත් දේ නොගෙවන්නේ දුෂ්ටයා’ කියායි.—ගීතා. 37:21.

නමුත් ‘බලාපොරොත්තු නොවූ දෙයක්’ සිදු වීම නිසා අප ගත් ණය මුදලක් ගෙවීමට නොහැකි වුණොත් කුමක් කළ හැකිද? (දේශ. 9:11) ෆ්‍රැන්සිස්කෝ එවැනි තත්වයකට මුහුණ දුන්නා. ඔහු නිවාස ණයක් ගෙවීම සඳහා ඇල්ෆ්‍රිඩෝගෙන් යූරෝ 5,000ක (රුපියල් 7,84,000ක් පමණ) මුදලක් ණයට ගත්තා. නමුත් ඔහුගේ ව්‍යාපාරයේ ආදායම අඩු වූ නිසා නියමිත දිනයට එම ණය ගෙවීමට ඔහුට නොහැකි වුණා. ඒ ගැන ඇල්ෆ්‍රිඩෝ සමඟ සාකච්ඡා කිරීමට ඔහු ඉක්මනින්ම ක්‍රියා කළා. ඉන්පසු එම ණය මුදල අවස්ථා කිහිපයකදී ගෙවා අවසන් කරනවාට ඇල්ෆ්‍රිඩෝ කැමති වුණා.

මවාපාන්න එපා

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානි යුවළක් වන අනනියස් සහ සෆීරා ක්‍රියා කළ ආකාරය ගැන සලකා බලමු. ඔවුන් තමන් සතු ඉඩමක් විකුණා එම මුදලින් කොටසක් යේසුස්ගේ ගෝලයන්ට ගෙනැවිත් දී එය සම්පූර්ණ මුදලම කියා පැවසුවා. ඔවුන්ට අවශ්‍ය වුණේ තමන් විශාල පරිත්‍යාගයක් කළා කියා මවාපාන්නයි. නමුත් දෙවිගේ බලයේ උපකාරයෙන් ඔවුන් කළ වංචනික ක්‍රියාව පේතෘස් හෙළි කළා. ඉන් අනතුරුව දෙවි ඔවුන්ට දඬුවම් කළ නිසා ඔවුන් මරණයට පත් වුණා.—ක්‍රියා 5:1-11.

වංකව ක්‍රියා කළ අනනියස් හා සෆීරා මෙන් නොව බයිබලය ලියූ ලේඛකයන් ඔවුන් අතින් සිදු වූ අඩුපාඩු අවංකව වාර්තා කළා. උදාහරණයකට තමාට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න අවසර නොලැබුණේ කෝපය පාලනය කරගන්න බැරි වූ නිසා බව මෝසෙස් සඳහන් කළා. (ගණන්. 20:7-13) ඒ වගේම යෝනාද නිනිවයට යෑමට කලිනුත් එහේ ගිය පසුත් ඔහු අතින් සිදු වූ වැරදි වසන් කළේ නැහැ. ඔහු ඒ සෑම දෙයක්ම වාර්තා කළා.—යෝනා 1:1-3; 4:1-3.

සත්‍ය පැවසීම නිසා පාඩුවක් සිදු වුණත් එසේ කරන්න අපට ධෛර්යය අවශ්‍යයි. වයස අවුරුදු 14ක් වූ නතාලියාගේ අද්දැකීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඇගේ විභාග ප්‍රශ්න පත්‍රයක් නැවත සෝදිසි කරද්දී ඇය ලියූ වැරදි පිළිතුරක් නිවැරදි පිළිතුරක් ලෙස ගුරුවරයා ලකුණු කර තිබෙනවා ඇය දුටුවා. ඒ ගැන ගුරුවරයාට පැවසුවොත් ලකුණු අඩු වන බව ඇය දැන සිටියත් එය ගුරුවරයාට පවසන්න අදිමදි කළේ නැහැ. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිව සතුටු කරන්න නම් අවංක වෙන්න ඕනේ කියලා මගේ දෙමාපියන් මට හැමතිස්සේම ඉගැන්නුවා. මේ ගැන මගේ ගුරුවරයාට නොදන්වා සිටියොත් මගේ හෘදය සාක්ෂිය මට වධ දෙයි.” නතාලියාගේ අවංකකම ගැන ගුරුවරයා ඇයට ප්‍රශංසා කළා.

අවංක වීමෙන් දෙවිව ගෞරවයට පත් කළ හැකියි

වයස අවුරුදු 17ක දැරියක් වන ජිසෙල්ට යූරෝ 25ක් (රුපියල් 3,900ක් පමණ) සහ ලියකියවිලි සහිත මුදල් පසුම්බියක් සම්බ වුණා. ඇය එය අයිතිකරුට භාර දෙන්න කියා පාසැලට ලබා දුන්නා. ඉන් මසකට පමණ පසු පාසැලේ උප විදුහල්පති ජිසෙල්ගේ පංතියේ සියලුදෙනාට ඇසෙන්න ලිපියක් කියෙව්වා. එම ලිපියේ ඇගේ අවංකකම ගැනත් දෙමාපියන් ඇයට ලබා දුන් හොඳ පුහුණුව ගැනත් ආගමට ළැදිව දරුවාව හදා වඩා ගැනීම ගැනත් ප්‍රශංසා කර තිබුණා. ඇය කළ ඒ ‘යහපත් ක්‍රියාව’ නිසා යෙහෝවා දෙවි ගෞරවයට පත් වුණා.—මතෙ. 5:14-16.

‘තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, ද්‍රෝහිකම් කරන’ මිනිසුන් සිටින සමාජයක අවංක වීමට විශාල වෑයමක් දරන්න අවශ්‍යයි. (2 තිමෝ. 3:2) දේවගරුබිය, පුහුණු කරන ලද හෘදය සාක්ෂිය හා සෑහීමට පත් වීම වංක ලොවක අවංක වීමට අපට මහත් උපකාරයක්. එමෙන්ම ‘ධර්මිෂ්ඨ හා ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරන’ යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්නත් ඒ තුළින් අපට හැකි වෙනවා.—ගීතා. 11:7.

[පාදසටහන]

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[7වන පිටුවේ පින්තූර]

දේවගරුබිය අවංක වීමට උපකාරයක්

[8වන පිටුවේ පින්තූරය]

අපගේ අවංකකම යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා