Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතයේ වඩා වටිනාම තැනැත්තා ලෙස ඔබ සලකන්නේ කාවද?

ඔබේ ජීවිතයේ වඩා වටිනාම තැනැත්තා ලෙස ඔබ සලකන්නේ කාවද?

ඔබේ ජීවිතයේ වඩා වටිනාම තැනැත්තා ලෙස ඔබ සලකන්නේ කාවද?

‘මුළු පොළොවටම මහෝත්තම දෙවි ඔබයි.’—ගීතා. 83:18.

1, 2. අපගේ ගැලවීම සඳහා දෙවිගේ නම පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

සමහරවිට ඔබ දෙවිගේ නම යෙහෝවා බව මුල්ම වතාවට දැනගත්තේ ගීතාවලිය 83:18 ඔබට පෙන්වූ අවස්ථාවේදී විය හැකියි. එහි සඳහන් මේ වදන් කියවන විට ඔබ පුදුම වෙන්න ඇති. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” අන් අයටත් යෙහෝවා දෙවි ගැන දැනගන්න ඔබ එදා සිට එම බයිබල් පදය යොදාගත් බවට කිසිම සැකයක් නැහැ.—රෝම 10:12, 13.

2 යෙහෝවා දෙවිගේ නම දැනගැනීම වැදගත් වුණත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. අපගේ ගැලවීම සඳහා අප තේරුම්ගත යුතු තවත් වැදගත් සත්‍යයක් ගැන ගීතිකාකරු මෙසේ පෙන්වා දුන්නා. ‘මුළු පොළොවටම මහෝත්තම දෙවි ඔබයි.’ මුළු විශ්වයේම ඉතා වැදගත්ම තැනැත්තා යෙහෝවා දෙවි බව අප තේරුම්ගත යුතුයි. ඔහු සියල්ලේ නිර්මාතෘ නිසා සියලුම නිර්මාණ ඔහුට යටත් වෙයි කියා බලාපොරොත්තු වීමට දෙවිට අයිතියක් තිබෙනවා. (එළි. 4:11) ඒ නිසා මේ ප්‍රශ්නය ගැන කල්පනා කරන්න. ‘මගේ ජීවිතයේ වටිනාම තැනැත්තා ලෙස මම සලකන්නේ කාවද?’ එම ප්‍රශ්නයට අප දෙන පිළිතුර ගැන ගැඹුරින් කල්පනා කර බැලීම වැදගත්!

ඒදන් උයනේදී මතු වූ ප්‍රශ්නය

3, 4. සාතන් ඒවව රැවැට්ටුවේ කොහොමද? ලැබුණු ප්‍රතිඵල මොනවාද?

3 ඉහත සඳහන් ප්‍රශ්නය ගැන ගැඹුරින් කල්පනා කිරීමේ වැදගත්කම ඒදන් උයනේ සිදු වූ දෙයින් පැහැදිලි වෙනවා. එක්තරා ගසකින් පලතුරු නොකන්න කියා යෙහෝවා දෙවි ආදම් සහ ඒවට ආඥා කර තිබුණා. එම ආඥාව රැකීමට වඩා තමන්ගේ ආශාවට මුල් තැන දෙන්න සාතන් බවට පත් වූ කැරලිකාර දේවදූතයා ඒවව පෙලඹුවා. (උත්. 2:17; 2 කොරි. 11:3) ඊට කීකරු වීමෙන් සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතියට කිසි ගෞරවයක් නොදැක්වූ බව ඒව පෙන්නුවා. ඉන් පැහැදිලි වුණේ දෙවිගේ කැමැත්තට මුල් තැන දීම ඇය ඇගේ ජීවිතයේ වඩා වැදගත්ම දේ ලෙස නොසැලකූ බවයි.

4 සාතන් ඒවව රැවැට්ටුවේ කොහොමද? ඔහු ඒව සමඟ පැවැත්වූ සංවාදයේදී සූක්ෂ්ම ක්‍රම පාවිච්චි කළා. (උත්පත්ති 3:1-5 කියවන්න.) පළමුවෙනි එක නම් සාතන් ඒවට කතා කරද්දී දෙවිගේ නම භාවිත කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සඳහන් කළේ දෙවි කියා පමණයි. එසේ කළේ යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීම නොසලකා ක්‍රියා කිරීමට ඒවව පෙලඹවීමට විය හැකියි. කෙසේවෙතත් උත්පත්ති පොතේ ලේඛකයා තුන්වෙනි පරිච්ඡේදයේ මුල් පදයේ දෙවිගේ නම සඳහන් කරනවා. දෙවෙනි එක නම් දෙවි දුන් ‘ආඥාව’ කුමක්ද කියා සාතන් ඇසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇසුවේ දෙවි ‘පැවසුවේ’ කුමක්ද කියායි. (උත්. 2:16) එසේ ඇසීමෙන් දෙවි ලබා දුන් ආඥාවේ බරපතළකම අඩු කරන්න ඔහු උත්සාහ කළා විය හැකියි. තුන්වෙනි එක නම් ආදම් සහ ඒව යන දෙදෙනාටම අදාළව යෙහෝවා දෙවි දුන් ආඥාව ගැන සාතන් ප්‍රශ්න කළේ ඒවගෙන්. එසේ කිරීමෙන් සාතන්ට අවශ්‍ය වුණේ ඇය වැදගත් කෙනෙක් බව ඇඟවීමට විය හැකියි. එයින් ආඩම්බරයට පත් වූ ඇය ඇගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන්ද කතා කරමින් මෙසේ පැවසුවා. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.”

5. (අ) සාතන් ඒවගේ අවධානය යොමු කළේ කුමකටද? (ආ) කන්න එපා කියූ පලතුර කෑමෙන් ඒව පෙන්නුවේ කුමක්ද?

5 සාතන් සත්‍ය තොරතුරු විකෘති කළා. “උයනේ ගස්වලින් කන්න එපා” කියා දෙවි කළ ඉල්ලීම අසාධාරණ බව සාතන් ඇඟෙව්වා. ඒ වගේම ඇය ගැන පමණක් සිතන්න එනම් “දෙවිට සමාන” වීමෙන් ඇගේ ජීවිතය වඩාත් සාර්ථක කරගැනීමට හැකි වන බව සිතන්න සාතන් ඇයව පෙලඹුවා. අවසානයේදී, සියලු දේ ලබා දුන් යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය කෙරෙහි තිබූ ඇගේ අවධානය ගසට හා එහි ගෙඩිවලට යොමු කරන්න සාතන් සැලැස්සුවා. (උත්පත්ති 3:6 කියවන්න.) එම ගසේ ගෙඩි කෑමෙන් ඒව පෙන්නුවේ දෙවිව සතුටු කරනවාට වඩා ඇය තමාගේ සතුට ගැන සිතූ බවයි.

යෝබ්ගේ කාලයේදී මතු වූ ප්‍රශ්නය

6. යෝබ් දෙවිට දැක්වූ විශ්වාසවන්තකම සාතන් අභියෝගයට ලක් කළේ කෙසේද? ඒ නිසා යෝබ්ට ලැබුණු අවස්ථාව කුමක්ද?

6 ඉහත සිදු වීමෙන් ශතවර්ෂ ගණනාවකට පසු, දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ්ට තමාගේ ජීවිතයේ වඩාත් වටිනාම තැනැත්තා කවුද කියා පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. යෝබ්ගේ විශ්වාසවන්තකම ගැන දෙවි සාතන්ට පැවසූ විට සාතන් මෙසේ ඇසුවා. “ඔහු ඔබට ගරුබිය දක්වන්නේ නිකමටද?” (යෝබ් 1:7-10 කියවන්න.) යෝබ් දෙවිට දැක්වූ කීකරුකම ගැන සාතන් ප්‍රශ්න කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ප්‍රශ්න කළේ යෝබ්ගේ ආකල්ප ගැනයි. ඉතා කපටි ලෙස සාතන් චෝදනා කළේ යෝබ් දෙවිට සේවය කරන්නේ දෙවිට තිබෙන ප්‍රේමය නිසා නොව ඔහු භුක්ති විඳින ආශීර්වාද නිසා කියායි. එම චෝදනාව බොරු බව ඔප්පු කළ හැක්කේ යෝබ්ට පමණයි. එසේ කිරීම සඳහා ඔහුට අවස්ථාව ලැබුණා.

7, 8. යෝබ්ට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද? විශ්වාසවන්තව සිටීමෙන් ඔහු පෙන්නුවේ කුමක්ද?

7 යෝබ්ට එක පිට එක විපත් ගණනාවක් ඇති කරන්න දෙවි, සාතන්ට ඉඩහැරියා. (යෝබ් 1:12-19) ඒවාට මුහුණ දුන් විට යෝබ් ක්‍රියා කළේ කොහොමද? ඔහු “වචනයකින්වත් පව් කළේ නැත” කියා බයිබලයේ පවසනවා. (යෝබ් 1:22) නමුත් සාතන් එතැනින් නැවතුණේ නැහැ. ඔහු මෙවැනි චෝදනාවක්ද කළා. “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි. ඔහු තම ජීවිතය රැකගන්න වෙනත් ජීවිතයක් වුණත් දෙන්න සූදානම්.” * (යෝබ් 2:4) සාතන් එහිදී යෙහෝවා දෙවිට පැවසුවේ යෝබ්ගේ ශරීරයට පහර දුන්නොත් ඔහු ඔබ ගැන නොව තමා ගැන පමණක් සිතන්න පෙලඹෙන බවයි.

8 පිළිකුල්සහගත රෝගයක් වැලඳීම නිසා යෝබ් විරූපි වුණා. පසුව ඔහුගේ භාර්යාව දෙවිට ශාප කර මිය යන්න කියා ඔහුට පැවසුවා. ඔහුව සනසන්න පැමිණි මිත්‍රයන් තිදෙනාද ඔහුගේ ක්‍රියාකලාපය වැරදියි කියා ඔහුට චෝදනා කළා. (යෝබ් 2:11-13; 8:2-6; 22:2, 3) ඒ සියලු දුක් පීඩා හමුවේ යෝබ් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. (යෝබ් 2:9, 10 කියවන්න.) එසේ සිටීමෙන් යෝබ් පෙන්නුවේ ඔහුගේ ජීවිතයේ වඩාත් වටිනාම තැනැත්තා යෙහෝවා දෙවි බවයි. එමෙන්ම පව්කාරකම උරුම කරගත් අයට පවා සාතන් කරන චෝදනා බොරු බව ඔප්පු කළ හැකියි කියා යෝබ් පෙන්නුවා.—හිතෝපදේශ 27:11 බලන්න.

යේසුස් දුන් පිළිතුර

9. (අ) පෞද්ගලික ආශාවන් ඉටු කරගැනීම සඳහා සාතන් යේසුස්ව පොලඹවන්න උත්සාහ කළේ කොහොමද? (ආ) යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

9 යේසුස්ගේ බව්තීස්මයෙන් ටික දවසකට පසු සිදු වූ දේ බලන්න. දෙවිගේ කැමැත්තට මුල් තැන දෙනවා වෙනුවට තමාගේ ආශාවන්ට මුල් තැන දෙන්න සාතන් යේසුස්ව පොලඹවන්න උත්සාහ කළා. ඒ සඳහා ඔහු තුන් සැරයක්ම වෑයම් කළා. පළමුව, යේසුස්ගේ කුසගින්න නිවාගන්න ගල් රොටි බවට පත් කිරීමට සාතන් ඔහුව පෙලඹවීමට උත්සාහ කළා. (මතෙ. 4:2, 3) යේසුස් දවස් 40ක්ම නිරාහාරව සිටි නිසා ඔහුට කුසගින්නක් දැනුණා. එය ප්‍රයෝජනයට ගත් සාතන් යේසුස්ට තම කුසගින්න නිවාගන්න ඔහුගේ බලය අනිසි ලෙස යොදාගැනීමට ඔහුව පෙලඹුවා. යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඒව මෙන් නොව යේසුස් දෙවිගේ වචනයට අවධානය යොමු කරමින් සාතන්ගේ යෝජනාව ඒ මොහොතේම ප්‍රතික්ෂේප කළා.මතෙව් 4:4 කියවන්න.

10. දේවමාලිගාවේ පවුර මුදුනේ සිට පහතට පනින්න කියා සාතන් යේසුස්ට අභියෝග කළේ ඇයි?

10 දෙවෙනි අවස්ථාවේදී තමා ගැන පමණක් සිතා ක්‍රියා කරන්න සාතන් යේසුස්ව පොලඹවන්න උත්සාහ කළා. දේවමාලිගාවේ පවුර මුදුනේ සිට පහතට පනින්න කියා ඔහු යේසුස්ට අභියෝග කළා. යේසුස් පහතට පනින විට තුවාල සිදු නොවුණොත් ඔහු “දෙවිගේ පුත්‍රයෙකු” කියා ඉන් ඔප්පු වන බව සාතන් පැවසුවා. (මතෙ. 4:5, 6) සාතන් ඉන් බලාපොරොත්තු වුණේ කුමක්ද? යේසුස් තමන් ගැන ඕනෑවට වඩා සිතනවාට පමණක් නොව තමාගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා දැකීමටත් සාතන් කැමති වුණා. උඩඟුකම හා අන් අය ඉදිරියේ ගෞරවය ලැබීමට ඇති ආශාව නිසා කෙනෙක් භයානක අභියෝගයක් වුණත් භාරගැනීමට සූදානම් බව සාතන් දැන සිටියා. ඒ අවස්ථාවේදී සාතන් බයිබල් පදයක් වැරදි ලෙස අදාළ කළා. නමුත් යේසුස් දෙවිගේ වචනය ගැන සම්පූර්ණ අවබෝධයක් තිබෙන බව පෙන්නුවා. (මතෙව් 4:7 කියවන්න.) සාතන්ගේ අභියෝගය ප්‍රතික්ෂේප කිරීමෙන් යේසුස් නැවත වතාවක් ඔප්පු කළේ තමාව සතුටු කරනවාට වඩා යෙහෝවා දෙවිව සතුටු කිරීම ඔහුගේ ජීවිතයේ වැදගත්ම දේ වූ බවයි.

11. සාතන් සියලු රාජ්‍යයන් ඉදිරිපත් කළ විට යේසුස් ඒවා ප්‍රතික්ෂේප කළේ ඇයි?

11 අවසානයේදී සාතන්, යේසුස්ව පොලඹවාගැනීමට ඉතා ප්‍රබල දෙයක් ඉදිරිපත් කළා. ඔහු සියලුම රාජ්‍යයන් යේසුස්ට දෙන බව පැවසුවා. (මතෙ. 4:8, 9) යේසුස් ඒ වේලාවේම එය ප්‍රතික්ෂේප කළා. එය පිළිගැනීම පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරනවා හා සමානයි කියා යේසුස් දැන සිටියා. (මතෙව් 4:10 කියවන්න.) ඉහත සෑම අවස්ථාවකදීම යේසුස් සාතන්ට පිළිතුරු දුන්නේ දෙවිගේ නම සඳහන් බයිබල් පද යොදාගෙනයි.

12. යේසුස්ගේ භූමික ජීවිතයේ අවසාන දවස්වල ඔහුට මහත් පීඩනයක් දැනුණේ ඇයි? ඔහු ක්‍රියා කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

12 තමාගේ ජීවිතය පූජා කිරීමට යේසුස්ට තිබූ කැමැත්ත ඔහු නිතර නිතර ප්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් තම භූමික ජීවිතයේ අවසාන දවස්වල විශාල පීඩනයකට ඔහුට මුහුණ දීමට සිදු වුණා. (මතෙ. 20:17-19, 28; ලූක් 12:50; යොහ. 16:28) තමාට බොරු චෝදනා එල්ල කරන බවත් යුදෙව් නීතිය යටතේ තමාව වරදකරුවෙක් කරන බවත් දෙවිට අපහාස කරන්නෙක් ලෙස තමාව මරා දමන බවත් යේසුස් තේරුම්ගත්තා. මෙසේ මිය යෑමට සිදු වන නිසා ඔහුට මහත් පීඩනයක් දැනුණා. ඒ නිසා ඔහු මෙසේ යාච්ඤා කළා. “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය මගෙන් ඉවත් කරන්න.” නමුත් පසුව ඔහු මෙසේද සඳහන් කළා. “මගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත සිදු වේවා.” (මතෙ. 26:39) මරණය දක්වා විශ්වාසවන්තව සිටීමෙන් යේසුස් තමාගේ ජීවිතයේ වඩාත් වටිනාම තැනැත්තා කවුද කියා ඔප්පු කළා.

අපගේ පිළිතුර

13. ඒව, යෝබ් සහ යේසුස්ගෙන් අප ඉගෙනගත්තේ කුමක්ද?

13 අප මේ දක්වා ඉගෙනගත්තේ කුමක්ද? ඒවගෙන් ඉගෙනගත්තේ තමාගේ ආශාවන්ට මුල් තැන දෙන හෝ තමා වැදගත් කියා සලකන කෙනෙක් තමාගේ ජීවිතයේ වටිනාම තැනැත්තා යෙහෝවා දෙවි කියා නොසලකන බවයි. යෝබ්ගේ විශ්වාසවන්තකමින් අප ඉගෙනගත්තේ කුමක්ද? පව්කාරකම උරුම කරගෙන සිටින කෙනෙකුට පවා පීඩා විඳදරාගැනීමෙන් දෙවිට තම ජීවිතයේ මුල් තැන දෙන දිය හැකි බවයි. තමන් අද්දකින පීඩාවලට හේතුව කුමක්ද කියා නොදැන සිටියත් කෙනෙකුට එසේ කළ හැකි බව යෝබ්ගෙන් ඉගෙනගත හැකියි. (යාකො. 5:11) අප ලැජ්ජාව දරාගැනීමට කැමති විය යුතු බවත් අපගේ ගෞරවය ගැන ඕනෑවට වඩා නොසිතිය යුතු බවත් යේසුස්ගේ ආදර්ශයෙන් අප ඉගෙනගත්තා. (හෙබ්‍රෙ. 12:2) අපට මෙම පාඩම් අදාළ කරගන්න පුළුවන් කොහොමද?

14, 15. ඒවට වෙනස්ව යේසුස් වැරදි පෙලඹවීම්වලට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? අපට ඔහුව අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (18වෙනි පිටුවේ ඇති පින්තූරය බලන්න.)

14 වැරදි පෙලඹවීම් ඇති වෙද්දී යෙහෝවා දෙවිව අමතක කරන්න එපා. ඒව ඇගේ සම්පූර්ණ අවධානයම යොමු කළේ සාතන් ඇයට පෙන්වූ දේ කෙරෙහියි. ඇය “ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණා.” (උත්. 3:6) යේසුස්ව වරදට පෙලඹවූ අවස්ථා තුනේදීම ඔහු ක්‍රියා කළේ ඊට වඩා මොන තරම් වෙනස් ආකාරයකටද! තමාව වරදට පොලඹවාගැනීමට සාතන් ඉදිරිපත් කළ දේවලට අවධානය දෙනවා වෙනුවට ඒ පෙලඹවීමට හසු වුණොත් ඇති වන ඵල විපාක ගැන යේසුස් අවධානය යොමු කළා. ඔහු දෙවිගේ වචනය මත රඳා සිටියා පමණක් නොව දෙවිගේ නාමයද භාවිත කළා.

15 දෙවිව අසතුටු කරන යමක් කරන්න අපව පොලඹවන විට අප වැඩි අවධානයක් දෙන්නේ කුමකටද? වැරදි පෙලඹීමට අවධානය යොමු කිරීමෙන් සිදු වෙන්නේ එය ඉටු කරගැනීමට තිබෙන ආශාව වැඩි වීමයි. (යාකො. 1:14, 15) ඒ නිසා ආශාව සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න අප ඉක්මනින්ම පියවර ගන්න අවශ්‍යයි. එය ශරීරයේ අංගයක් ඉවත් කරනවා හා සමාන අමාරු දෙයක් වුණත් එසේ කළ යුතුයි. (මතෙ. 5:29, 30) යේසුස් වගේ අපත් අප ගන්නා ක්‍රියාමාර්ගය නිසා අත්වන ප්‍රතිඵල ගැන අවධානය යොමු කළ යුතුයි. එනම් යෙහෝවා දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට එය බලපාන ආකාරය ගැන කල්පනා කළ යුතුයි. එමෙන්ම වැරදි පෙලඹවීම් ඇති වන විට අපත් යේසුස් මෙන් බයිබලයේ සඳහන් වී තිබෙන්නේ කුමක්ද කියා මතකයට නඟාගත යුතුයි. යෙහෝවා දෙවි අපගේ ජීවිතයේ වඩාත් වටිනාම තැනැත්තා කියා ඔප්පු කිරීමට හැකි වන්නේ එසේ කිරීමෙන් පමණයි.

16-18. (අ) අප අධෛර්යයට පත් විය හැක්කේ කුමන හේතු නිසාද? (ආ) අධෛර්යයට පත් වන තත්වයන්ට මුහුණ දෙන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

16 විපතකට මුහුණ දෙන විට යෙහෝවා දෙවිට දොස් කියන්න එපා. (හිතෝ. 19:3) මේ දුෂ්ට ලෝකයේ අවසානය වඩ වඩාත් ළං වන විට යෙහෝවා දෙවිගේ සෙනඟට වැඩි වැඩියෙන් විපත්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අප මේ කාලයේදී ආශ්චර්යයවත් ලෙස ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපගේ ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව නිසා හෝ පෞද්ගලික ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන නිසා හෝ යෝබ් මෙන් අපත් අධෛර්යයට පත් විය හැකියි.

17 සමහර දේවල් සිදු වීමට දෙවි ඉඩහැරියේ ඇයි කියලා යෝබ් දැන සිටියේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී දුෂ්ට දේවල් සිදු වෙන්නේ ඇයි කියා අපත් නොදැන සිටිනවා විය හැකියි. හයිටි රටේ සිදු වූ භූමිකම්පාව වගේ ස්වාභාවික විපත්වලින් දෙවිට විශ්වාසවන්ත සහෝදරයන් මිය ගිය බව ඔබට ආරංචි වී ඇති. එසේ නැත්නම් හදිසි අනතුරකට මුහුණ දී හෝ සැහැසික ක්‍රියාවකට ගොදුරු වී මිය ගිය දෙවිට විශ්වාසවන්ත සහෝදරයෙක් ගැන ඔබ දන්නවා ඇති. අපත් පෞද්ගලිකව යම් පීඩාකාරී තත්වයකට මුහුණ දෙනවා විය හැකියි. එසේත් නැත්නම් අප යම් අසාධාරණයකට ලක් වී ඇති බව අපට සිතෙන්න පුළුවන්. අපට දැනෙන වේදනාව නිසා අප මෙලෙස සිතන්න පුළුවන්. ‘යෙහෝවා දෙවියනි, ඇයි මටම මෙහෙම වෙන්නේ? මම කරපු වරද මොකක්ද?’ (හබ. 1:2, 3) ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න අපට උපකාරවත් වෙන්නේ කුමක්ද?

18 එවැනි දේවල් අපට සිදු වෙන්නේ දෙවිගේ අනුමැතිය නොමැති නිසා බව අප නොසිතිය යුතුයි. යේසුස් ඔහුගේ කාලයේ සිදු වූ විපත් දෙකක් ගැන සඳහන් කරමින් ඒ බව කාවැද්දුවා. (ලූක් 13:1-5 කියවන්න.) බොහෝවිට විපත් සිදු වීමට හේතුව “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වීමයි. (දේශ. 9:11) විපත් සිදු වීමට හේතුව කුමක් වුණත් ඒවාට මුහුණ දීමට “සියලු සැනසිල්ලේ දෙවි” වෙතට හැරෙමු. එවිට දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න අවශ්‍ය ශක්තිය ඔහු අපට ලබා දෙනවා.—2 කොරි. 1:3-6.

19, 20. නින්දාසහගත අවස්ථා විඳදරාගන්න යේසුස්ට උපකාරවත් වුණේ කුමක්ද? අපටත් විඳදරාගන්න උපකාරවත් වන්නේ කුමක්ද?

19 උඩඟුකමට හෝ ලැජ්ජාවට මුහුණ දීමට සිදු වෙයි යන බියට අවධානය යොමු නොකරන්න. යේසුස්ට ‘තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන වීමට’ හැකි වුණේ ඔහු යටහත්පහත් කෙනෙක් නිසයි. (ෆිලි. 2:5-8) ඔහුට නින්දාසහගත අවස්ථාවන් විඳදරාගැනීමට හැකි වුණේ ඔහු දෙවි කෙරෙහි රඳා සිටි නිසයි. (1 පේතෘ. 2:23, 24) එසේ කිරීමෙන් ඔහු දෙවිගේ කැමැත්තට මුල් තැන දුන්නා. ඒ නිසා කලින් සිටි තත්වයට වඩා උතුම් තත්වයක් ඔහුට ලැබුණා. (ෆිලි. 2:9) එවැනි ජීවිතයක් ගත කරන්න කියා ඔහු ඔහුගේ ගෝලයන්ටත් උනන්දු කළා.—මතෙ. 23:11, 12; ලූක් 9:26.

20 දෙවිට දක්වන විශ්වාසවන්තකම අභියෝගයට ලක් වන සමහර අවස්ථාවලදී අපට ලැජ්ජාවට පත් වීමට සිදු විය හැකියි. එවැනි අවස්ථාවලදී පාවුල්ට තිබුණු මේ නිසැකකම අපටත් තිබිය යුතුයි. “මා දුක් වින්දත් ඒ ගැන ලැජ්ජා නොවෙමි. මන්ද මා විශ්වාස කරන දෙවිව මා හොඳින් හඳුනාගෙන සිටින අතර මා දෙවිට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේ ඒ දවස පැමිණෙන තුරු රැකබලා ගැනීමට ඔහුට හැකි බව මා තුළ කිසි සැකයක් නැත.”—2 තිමෝ. 1:12.

21. තමන් ගැන පමණක් සිතන මිනිසුන් සිටින සමාජයක ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

21 මේ කාලයේදී ‘මිනිසුන් තමන් ගැන පමණක් සිතන’ බව බයිබලයේ පවසා තිබෙනවා. (2 තිමෝ. 3:2) ඒ නිසා ‘පළමුව මම’ යන ආකල්පය ඇති සමාජයක අප ජීවත් වීම ගැන පුදුම විය යුතු නැහැ. අප කිසි දිනක එවැනි ආකල්පයක් ඇති කර නොගනිමු. අප වැරදි පෙලඹීම්වලට මුහුණ දුන්නත් විපත්වලට මුහුණ දුන්නත් ලැජ්ජාවට පත් වෙන්න සිදු වුණත් යෙහෝවා දෙවි අපගේ ජීවිතයේ වඩා වැදගත්ම තැනැත්තා බව ඔප්පු කිරීමට අපි එක් එක් කෙනා අධිෂ්ඨාන කරගනිමු!

[පාදසටහන]

^ 7 ඡේ. “වෙනත් ජීවිතයක් වුණත් දෙන්න සූදානම්” කියා සාතන් පැවසූ විට ඊට යෝබ්ගේ දරුවන් සහ සතුන් අයිති වූවා විය හැකි බව සමහර විශාරදයන් පවසනවා.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• සාතන් ඒවව මුළා කළ ආකාරයෙන්

• යෝබ් පීඩාවලට මුහුණ දුන් ආකාරයෙන්

• යේසුස් ඔහුගේ ජීවිතයේ වඩාත් වැදගත් කියා සැලකූ දෙයින්

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය ඒව අගය කළේ නැහැ

[18වන පිටුවේ පින්තූරය]

සාතන් ඉදිරිපත් කළ දේවල් ප්‍රතික්ෂේප කළ යේසුස්, දෙවිගේ කැමැත්තට මුල් තැන දුන්නා

[20වන පිටුවේ පින්තූර]

හයිටිවල භූමිකම්පාවෙන් පසු කූඩාරමින් කූඩාරමට යමින් ශුභාරංචිය ප්‍රකාශ කළ අයුරු

විපත්ති කාලවලදී “සියලු සැනසිල්ලේ දෙවි” වෙතට හැරෙමු