Skip to content

පටුනට යන්න

‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’

‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’

‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’

“දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!”—රෝම 11:33.

1. බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙකුට ලැබෙන උතුම්ම වරප්‍රසාදය කුමක්ද?

ඔබට ලැබී තිබෙන උතුම්ම වරප්‍රසාදය කුමක්ද? මුලින්ම ඔබට මතක් වෙනවා ඇත්තේ ඔබට ලැබුණු යම් පැවරුමක් ගැන විය හැකියි. එසේ නැත්නම් ඔබට ගෞරවය ලැබුණු අවස්ථාවක් මතක් වෙනවා ඇති. කෙසේවෙතත් බව්තීස්ම වූ ක්‍රිස්තියානියෙකුට ලැබෙන උතුම්ම වරප්‍රසාදය වෙන්නේ එකම සැබෑ දෙවි වන යෙහෝවාව දැන හඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමට ලැබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ‘දෙවි එවැනි කෙනෙකුව පිළිගන්නවා.’—1 කොරි. 8:3; ගලා. 4:9.

2. යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීම සහ යෙහෝවා දෙවි අපව පිළිගැනීම උතුම් වරප්‍රසාදයක් වෙන්නේ ඇයි?

2 යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීම සහ යෙහෝවා දෙවි අපව පිළිගැනීම උතුම් වරප්‍රසාදයක් වෙන්නේ ඇයි? ඊට හේතුව යෙහෝවා දෙවි විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨතම තැනැත්තා පමණක් නොව ඔහුට ප්‍රේම කරන අයව ආරක්ෂා කරන තැනැත්තාද වීමයි. අනාගතවක්තෘ නාහුම් ඒ ගැන මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි යහපත්ය. දුක් කරදරවලදී අපට පිහිට වන බලකොටුවකි. දෙවි තමාගෙන් රැකවරණය පතන අයව රැකබලා ගන්නේය.” (නාහු. 1:7; ගීතා. 1:6) ඇත්තෙන්ම සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව රඳා පවතින්නේ අප යෙහෝවා දෙවිව හා ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව හොඳින් දැන හඳුනා ගැනීම මතයි.—යොහ. 17:3.

3. දෙවිව දැන හඳුනා ගැනීමට ඇතුළත් වෙන්නේ කුමක්ද?

3 යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන සිටිනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ නම දැන සිටීම පමණක් නොවෙයි. අප මිතුරෙකුව දැන හඳුනා ගෙන සිටින ආකාරයට ඔහුවත් දැන හඳුනා ගත යුතුයි. එනම් දෙවි කැමති අකමැති දේවල් අප අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධයට අනුව අප ජීවත් වෙනවා නම් අප දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටින අය බව පැවසිය හැකියි. (1 යොහ. 2:4) නමුත් යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට නම් අප දැනගත යුතු තවත් දෙයක් තිබෙනවා. ඔහු අප වෙනුවෙන් කර ඇති දේ ගැන පමණක් නොව ඒවා කළේ කෙසේද සහ ඇයි කියාත් අප දැනගත යුතුයි. දෙවිගේ අරමුණු දැනගන්නා තරමට ‘ඔහුගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද’ කියා අපට අවබෝධ වෙනවා.—රෝම 11:33.

අරමුණක් ඇතුව ක්‍රියා කරන දෙවි කෙනෙක්

4, 5. (අ) “අරමුණ” යන වචනය බයිබලයේ සඳහන් කරන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ආකාර කිහිපයකින් වුවත් අරමුණක් ඉටු කළ හැකි බව පෙන්වන උදාහරණයක් දෙන්න.

4 යෙහෝවා දෙවි අරමුණකට අනුව ක්‍රියා කරන දෙවි කෙනෙක්. බයිබලයේ දෙවිගේ “සදාකාලික අරමුණ” ගැන සඳහන් වෙනවා. (එෆී. 3:10, 11) “අරමුණ” යන වචනය බයිබලයේ සඳහන් කරන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද? යම් නිශ්චිත ඉලක්කයක් ඉන් අදහස් කරනවා. එය ආකාර කිහිපයකින් වුවත් අත් කරගත හැකියි.

5 එය මෙසේ නිදර්ශනය කරමු. යම් නිශ්චිත ස්ථානයකට යෑමට කෙනෙකු තීරණය කරනවා කියා සිතන්න. ඔහුගේ එකම ඉලක්කය හෝ අරමුණ වෙන්නේ එම ස්ථානයට යෑමයි. ගමනාන්තයට යෑම සඳහා තෝරාගත හැකි විවිධ ප්‍රවාහණ ක්‍රම තිබෙනවා විය හැකියි. ඒ වගේම යා යුතු මාර්ග කිහිපයක් ගැනද ඔහු දන්නවා ඇති. ඔහු තෝරාගත් මාර්ගයෙන් ගමන් කරන අතරතුර අනපේක්ෂිත කාලගුණික තත්වයන්ට හෝ වාහන තදබදවලට මුහුණ දීමට ඔහුට සිදු විය හැකියි. එසේත් නැත්නම් ඔහු යන මාර්ගය යම් හේතු නිසා වසා දමා තිබෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවක ඔහුට විකල්ප මාර්ගයක් තෝරාගැනීමට සිදු වෙනවා. ගමන අතරතුර ඔහුට කුමන වෙනස්කම් කිරීමට සිදු වුණත් ඔහු ගමනාන්තයට යනවා. එනම් ඔහු ඔහුගේ ඉලක්කය අත් කරගන්නවා.

6. දෙවි තම අරමුණ ඉටු කිරීමේදී මතු වන තත්වයන්ට අනුව සකස් වී තිබෙන්නේ කෙසේද?

6 තම සදාකාලික අරමුණ ඉටු කිරීමේදී යෙහෝවා දෙවිද මතු වන තත්වයන්ට අනුව සකස් වෙනවා. මිනිසාට සහ දේවදූතයන්ට තීරණ ගැනීමට දී තිබෙන නිදහස ගැන සැලකිලිමත් වෙමින් යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කිරීමේදී යම් වෙනස්කම් කරනවා. උදාහරණයකට, පොරොන්දු කරන ලද තැනැත්තා ගැන දෙවි ඔහුගේ අරමුණ ඉටු කරගත් ආකාරය අපි සලකා බලමු. යෙහෝවා දෙවි මුල් මනුෂ්‍ය යුවළට මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්. 1:28) නමුත් මුල් යුවළ දෙවිට අකීකරු වූ නිසා දෙවිගේ එම අරමුණ කඩාකප්පල් වුණාද? කිසිසේත් නැහැ. දෙවි ඔහුගේ අරමුණ ඉටු කිරීම සඳහා මතු වූ තත්වයට අනුව සකස් වී විකල්ප ක්‍රමයක් යෙදුවා. මුල් යුවළ දෙවිට අකීකරු වීම නිසා සිදු වූ හානිය ස්ත්‍රියගෙන් “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් නැවත යථා තත්වයට පත් කරන බව දෙවි පැවසුවා.—උත්. 3:15; හෙබ්‍රෙ. 2:14-17; 1 යොහ. 3:8.

7. නික්මයාම 3:14හි දෙවි තමා ගැන පැවසූ දෙයින් අප දෙවි ගැන ඉගෙනගන්නේ කුමක්ද?

7 තම අරමුණ ඉටු කිරීමේදී මතු වන තත්වයන්ට අනුව ක්ෂණිකව සකස් වීමේ තමා සතු හැකියාව ගැන දෙවි පැවසූ දෙයකින්ම පැහැදිලි වෙනවා. දෙවි ලබා දුන් පැවරුම ඉටු කිරීමේදී මතු විය හැකි බාධා ගැන මෝසෙස් යෙහෝවා දෙවිට පැවසූ විට දෙවි ඔහුට මෙසේ සහතික වුණා. “‘තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.’ දෙවි තවදුරටත් මෙසේ කීවේය. ‘ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. “මාව ඔබ ළඟට එව්වේ තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තාණන්ය.”’” (නික්. 3:14) තම අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු කිරීමේදී යෙහෝවා දෙවිට ඕනෑම තත්වයකට සකස් විය හැකි බව ඉන් පැහැදිලි වෙනවා. දෙවි සතු එම හැකියාව ගැන පාවුල් රෝම 11වෙනි පරිච්ඡේදයේ මනාව විස්තර කරනවා. ඒ සඳහා ඔහු ඔලීව ගසක් නිදර්ශනයට ගන්නවා. අපගේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම වුණත් පොළොව මත සදාකල් ජීවත් වීම වුණත් පාවුල්ගේ නිදර්ශනය සලකා බැලීමෙන් දෙවි මොන තරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියා වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට අපට හැකි වෙනවා.

පැවත එන තැනැත්තා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ

8, 9. (අ) ඔලීව ගස ගැන නිදර්ශනය සලකා බැලීමට පෙර අප දැනගත යුතු කරුණු හතර කුමක්ද? (ආ) දෙවිට ක්ෂණිකව සකස් වීමට හැකියාවක් තිබෙන බව තේරුම්ගැනීමට උපකාරවත් වන්නේ කුමන ප්‍රශ්නයට පිළිතුර සොයා බැලීමද?

8 ඔලීව ගස ගැන නිදර්ශනය සලකා බැලීමට පෙර පැවත එන තැනැත්තා ගැන යෙහෝවා දෙවිගේ අරමුණ සම්බන්ධයෙන් වැදගත් කරුණු හතරක් අප දැනගත යුතුයි. පළමු එක, දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණේ ඔහුගෙන් පැවත එන තැනැත්තා හා ඔහුට අයිති අය මාර්ගයෙන් ‘පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන’ බවයි. (උත්. 22:17, 18) දෙවෙනි එක, ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල් ජාතියට “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” බිහි කිරීමට අවස්ථාවක් තිබුණු බවයි. (නික්. 19:5, 6) තුන්වෙනි එක, ඊශ්‍රායෙල් ජාතියේ බහුතරයක් ගැලවුම්කරුව ප්‍රතික්ෂේප කළ නිසා “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” බිහි කිරීමට යෙහෝවා දෙවි විකල්ප මාර්ගයක් ගත් බවයි. (මතෙ. 21:43; රෝම 9:27-29) අවසාන එක, ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට අනුව ප්‍රධාන තැනැත්තා වූ යේසුස්ට අමතරව තව පිරිසක් ඔහුට අයත් වෙන බවයි.—ගලා. 3:16, 29.

9 එම ප්‍රධාන කරුණු හතරට අනුව සහ එළිදරව් පොතේ සඳහන් දේට අනුව රජවරුන් සහ පූජකයන් ලෙස යේසුස් සමඟ 1,44,000ක් ස්වර්ගයේ රජකම් කිරීමට නියමිතයි. (එළි. 14:1-4) ඔවුන්වද “ඊශ්‍රායෙල්වරුන්” ලෙස හඳුන්වනවා. (එළි. 7:4-8) එම 1,44,000ට අයත් සියලුදෙනා යුදෙව්වන්ද? ඊට පිළිතුර පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියෙන් සලකා බලමු. එම පිළිතුර සලකා බලද්දී, තම අරමුණ ඉටු කිරීමේදී මතු වන තත්වයන්ට ක්ෂණිකව සකස් වීමේ හැකියාව යෙහෝවා දෙවිට තිබෙන බව අපට පැහැදිලි වෙනවා.

“පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්”

10. ඊශ්‍රායෙල් ජාතියට ලැබුණ වරප්‍රසාදය කුමක්ද?

10 කලින් සඳහන් කළ ලෙස ‘පූජකයන්ගෙන් යුත් රාජ්‍යයට හා ශුද්ධ ජාතියට’ අයත් සාමාජිකයන් වීමේ වරප්‍රසාදය තිබුණේ ඊශ්‍රායෙල් ජාතියටයි. (රෝම 9:4, 5 කියවන්න.) නමුත් පොරොන්දු කරන ලද තැනැත්තා පැමිණි විට සිදු වුණේ කුමක්ද? ශුද්ධ ජාතියට අයත් 1,44,000දෙනාම ඊශ්‍රායෙල් ජාතිකයන් වුණාද?

11, 12. (අ) පූජකයන්ගෙන් යුත් රාජ්‍යයට අයත් සාමාජිකයන්ව තෝරාගැනීම ආරම්භ කළේ කවදාද? ඒ කාලයේ ජීවත් වූ බොහෝ යුදෙව්වන්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවි ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති “මුළු සංඛ්‍යාව” එකතු කළේ කොහොමද?

11 රෝම 11:7-10 කියවන්න. ජාතියක් ලෙස ඊශ්‍රායෙල්වරු යේසුස්ව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ශුද්ධ ජාතියට අයත් සියලුම සාමාජිකයන් ඊශ්‍රායෙල් ජාතිකයන් වීමේ වරප්‍රසාදය ඔවුන්ට අහිමි වුණා. කෙසේවෙතත් ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී ‘පූජකයන්ගෙන් යුත් රාජ්‍යයට’ සාමාජිකයන් තේරීම ආරම්භ වූ විට ඊට ඇතුළත් වීමේ අවස්ථාව සමහර අවංක යුදෙව්වන්ට ලැබුණා. නමුත් මුළු යුදෙව් ජාතිය හා සසඳද්දී ඔවුන් “කුඩා පිරිසක්” කියා පැවසිය හැකියි.—රෝම 11:5.

12 එසේනම් යෙහෝවා දෙවි ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති “මුළු සංඛ්‍යාව” එකතු කළේ කොහොමද? (රෝම 11:12, 25) පාවුල් ඊට මෙසේ පිළිතුරු දෙනවා. ‘ඔවුන් [එනම්, ඊශ්‍රායෙල්වරුන්] දෙවිගෙන් ඈත්ව සිටියත් දෙවි පොරොන්දු වූ දේ ඉටු නොවන බව සිතිය නොහැක. මන්ද උපතින්ම ඊශ්‍රායෙල්වරුන් වන සියලුදෙනාම සැබෑ “ඊශ්‍රායෙල්වරු” නොවෙති. එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ [එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයත් අය] නොවෙති. ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම අනිවාර්යයෙන්ම දෙවිගේ දරුවන් ලෙස සලකන්නේ නැහැ. ඒ අනුව සැබෑ දරුවන් ලෙස සලකන්නේ පොරොන්දුව ලබන දරුවන් පමණක් බව පැහැදිලිය.’ (රෝම 9:6-8) කෙනෙක් ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති වීමට ඔහු අනිවාර්යයෙන්ම ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණිය යුතුයි කියා යෙහෝවා දෙවි කොන්දේසියක් දමා නොතිබූ බව ඉන් පැහැදිලි වෙනවා.

ඔලීව ගස

13. (අ) ඔලීව ගසෙන් (ආ) මුලෙන් (ඇ) කඳෙන් සහ (ඈ) අතුවලින් නියෝජනය කළේ කුමක්ද?

13 ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති අයව පාවුල් ඔලීව ගසක අතුවලට සමාන කරනවා. * (රෝම 11:21) ඔලීව ගසෙන් නියෝජනය කරන්නේ යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු වන ආකාරයයි. ඔලීව ගසේ මුල ශුද්ධ වන අතර එම මුලෙන් යෙහෝවා දෙවිව නියෝජනය වෙනවා. (යෙසා. 10:20; රෝම 11:16) ආබ්‍රහම්ගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා ලෙස යේසුස් ක්‍රිස්තුස් එම ගසේ කඳෙන් නියෝජනය වෙනවා. එහි අතු ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති “මුළු සංඛ්‍යාව” නියෝජනය කරනවා.

14, 15. ‘කපා ඉවත් කළ’ අතු සමාන කර තිබෙන්නේ කාටද? බද්ධ කළ අතුවලින් නියෝජනය වන්නේ කාවද?

14 ඔලීව ගස සම්බන්ධ නිදර්ශනයේදී ‘කපා ඉවත් කළ’ අතු සමාන කර තිබෙන්නේ යේසුස්ව ප්‍රතික්ෂේප කළ යුදෙව්වන්ටයි. (රෝම 11:17) ඉන් පැහැදිලි වුණේ ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති වීමේ අවස්ථාව ඔවුන්ට නැති වූ බවයි. එසේනම් ඔවුන් වෙනුවෙන් තෝරාගන්නේ කාවද යන ප්‍රශ්නය මතු වෙනවා. වෙනත් ජාතියකට අයිති අයව තෝරාගැනීම පිළිගන්න යුදෙව්වන් නම් කිසිසේත් කැමති වුණේ නැහැ. ඊට හේතුව ඔවුන් ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණි නිසා තමන් ගැන උඩඟු ලෙස සිතීමයි. නමුත් යෙහෝවා දෙවිට අවශ්‍ය නම් ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන් ලබා දෙන්න හැකි බව යොහන් බව්තීස්ත පවසා තිබුණා.—ලූක් 3:8.

15 තමාගේ අරමුණ ඉටු කරන්න යෙහෝවා දෙවි කළේ කුමක්ද? කපා ඉවත් කළ අතු වෙනුවට වල් ඔලීව ගසක අතු හොඳ ඔලීව ගසට බද්ධ කරන බව පාවුල් පැහැදිලි කළා. (රෝම 11:17, 18 කියවන්න.) ඒ අනුව වෙනත් ජාතීන්ට අයත් අයටත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බවට පත් වීමට අවස්ථාව ලැබුණා. රෝමයේ පිහිටි සභාව ඊට කදිම උදාහරණයක්. ඔවුන්ටත් ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති වීමේ අවස්ථාව ලැබුණා. ආබ්‍රහම් සමඟ යෙහෝවා දෙවි ඇති කළ ගිවිසුමට සම්බන්ධ වීමට වෙනත් ජාතීන්ට මුලදී අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් වල් ඔලීව ගසේ අතු හා සමාන වුණා. නමුත් පසුව, ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමට සම්බන්ධ වීමට යෙහෝවා දෙවි ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා.—රෝම 2:28, 29.

16. අලුත් ජාතියක් බිහි වීම ගැන පේතෘස් පැහැදිලි කළේ කොහොමද?

16 අලුත් ජාතියක් බිහි වීම සම්බන්ධයෙන් පේතෘස් මෙසේ පවසනවා. ‘[යේසුස් ක්‍රිස්තුස්] අනර්ඝ වන්නේ ඔහු කෙරෙහි විශ්වාසය තබන අය වන [වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් ඇතුළු දෙවිගේ ඊශ්‍රායෙල් වන] ඔබටය. නමුත් විශ්වාස නොකළ, “ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල ප්‍රධාන ගල වී ඇත.” එලෙසම එය, “පය වදින ගලක්ද ඔවුන්ගේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද” වී තිබේ. නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්  සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්” වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ, “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය. කලකට පෙර ඔබත් ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය. ඔබ සිටියේ දයාව නොලැබූ පිරිසක් ලෙසය. නමුත් දැන් ඔබ දයාව ලැබී ඇති අය වන්නහුය.’—1 පේතෘ. 2:7-10.

17. යෙහෝවා දෙවි සිදු කළේ අසාමාන්‍ය දෙයක් කියා පවසන්න පුළුවන් ඇයි?

17 බොහෝදෙනා අසාමාන්‍යයි කියා සැලකිය හැකි දෙයක් යෙහෝවා දෙවි කළා. (රෝම 11:24) එසේ පවසන්නේ ඇයි? වල් ඔලීව ගසකින් ගත් අත්තක් හොඳ ඔලීව ගසකට බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. නමුත් පළමු ශතවර්ෂයේ ගොවියන්ට එවැනි දෙයක් කිරීමට සිදු වූ අවස්ථාද තිබුණා. * යෙහෝවා දෙවිද අසාමාන්‍ය දෙයක් කළා. එනම් වෙනත් ජාතීන්ට හොඳ පල දැරීමේ හැකියාවක් නැති බව යුදෙව්වන් සිතුවත් යෙහෝවා දෙවි එවැනි අයව රාජ්‍යය වෙනුවෙන් පල උපදවන “ජාතියක” කොටසක් බවට පත් කළා. (මතෙ. 21:43) ක්‍රිස්තු වර්ෂ 36 සිට යුදෙව් නොවන වෙනත් ජාතීන්ටත් ඔලීව ගසට බද්ධ වීමේ අවස්ථාව ලැබුණා. වෙනත් ජාතිකයෙක් වූ කොර්නේලියස් එහි මුල්ම සාමාජිකයා වුණා.—ක්‍රියා 10:44-48. *

18. ක්‍රිස්තු වර්ෂ 36න් පසු යුදෙව්වන්ට ලැබුණු අවස්ථාව කුමක්ද?

18 ක්‍රිස්තු වර්ෂ 36න් පසු යුදෙව් ජාතියට අයත් කිසිම කෙනෙකුට ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති වීමට අවස්ථාව ලැබුණේ නැද්ද? ඔවුන්ට අවස්ථාව ලැබුණා. පාවුල් ඒ ගැන මෙසේ පවසනවා. “මුලින් තිබූ අතු නැවතත් විශ්වාසයක් ඇති පුද්ගලයන් බවට පත් වුවහොත් ඔවුන්වද [එනම්, යුදෙව්වන්වද] නැවත බද්ධ කරනු ලැබේ. මන්ද එසේ බද්ධ කිරීමට දෙවිට හැක. ඔබව වල් ඔලීව ගසින් කපා වත්තක වවනු ලබන ඔලීව ගසකට බද්ධ කරනු ලැබුවා නම් එම ඔලීව ගසේ මුලින් තිබූ අතු නැවත ඒ ගසටම බද්ධ කිරීම ඊටත් වඩා කොතරම් පහසු වේද!” *රෝම 11:23, 24.

‘මුළු ඊශ්‍රායෙලයම ගලවනු ලබනවා’

19, 20. ඔලීව ගස සම්බන්ධ නිදර්ශනයෙන් පැහැදිලි වන පරිදි යෙහෝවා දෙවි ඉටු කරන්නේ කුමක්ද?

19 ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ අරමුණ පුදුමාකාර විදිහට ඉටු වෙමින් තිබෙනවා. (ගලා. 6:16) පාවුල් පැවසූ ලෙස ‘මුළු ඊශ්‍රායෙලයම ගලවනු ලබනවා.’ (රෝම 11:26) යෙහෝවා දෙවිගේ නියමිත කාලයේදී “මුළු ඊශ්‍රායෙලයම” එනම් දෙවිගේ ඊශ්‍රායෙලයට අයත් සියලු සාමාජිකයන් රජවරුන් සහ පූජකයන් ලෙස ස්වර්ගයේ සේවය කිරීමට නියමිතයි. යෙහෝවා දෙවිගේ අරමුණ ඉටු වීම වළක්වන්න කිසි දෙයකට බැහැ!

20 යෙහෝවා දෙවි පැවසූ ලෙස ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තා වන යේසුස් සහ ඔහුට අයිති අය වන 1,44,000දෙනා “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට” ආශීර්වාද කරනවා. (රෝම 11:12; උත්. 22:18) එවිට ඒ සැලැස්ම තුළින් දෙවිගේ සියලුම ජනයා ප්‍රයෝජන ලබනවා. යෙහෝවා දෙවි ඔහුගේ සදාකාලික අරමුණ ඉටු කරන ආකාරය ගැන සලකා බලද්දී අප මෙසේ පැවසීමට නිතැතින්ම පෙලඹෙනවා. “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද!”—රෝම 11:33.

[පාදසටහන්වල]

^ 13 ඡේ. මෙම ඔලීව ගසෙන් ඊශ්‍රායෙල් ජාතිය නියෝජනය වෙන්නේ නැහැ. ඊශ්‍රායෙල් ජාතියේ රජ පෙළපතක් සහ පූජක පෙළපතක් තිබුණත් මුළු ජාතියම “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වුණේ නැහැ. ඊට හේතුව රජවරුන්ට පූජකයන් ලෙස සේවය කිරීමට නීතියෙන් අවසර නොතිබූ නිසයි. එසේනම් පාවුල් ඔලීව ගස යොදාගත්තේ දෙවිගේ ඊශ්‍රායෙල් මාර්ගයෙන් “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” බිහි කිරීමට දෙවිගේ අරමුණ ඉටු වූ ආකාරය පැහැදිලි කිරීමටයි. ඉහත සඳහන් තොරතුරු 1983 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 14 සිට 19 දක්වා පිටුවල පළ වූ අදහස නිවැරදි කිරීමක්. (එම සඟරාව සිංහලෙන් නැහැ.)

^ 17 ඡේ. අලුත් ජාතියට ඇතුළත් වීමට යුදෙව්වන්ට ලැබුණු වසර තුනහමාරක කාලය ක්‍රි.ව. 36න් අවසන් වුණා. සති 70 ගැන දානියෙල් පැවසූ අනාවැකියේ ඒ ගැන සඳහන් වෙනවා.—දානි. 9:27.

^ 18 ඡේ. රෝම 11:24හි “වත්තක වවනු ලබන” ඔලීව ගසක් කියා සඳහන් කර තිබෙන්නේ ග්‍රීක භාෂාවේ තිබෙන උපසර්ගයක අර්ථය ගෙනහැර දැක්වීමටයි. සාමාන්‍යයෙන්, වත්තක වවනු ලබන ඔලීව ගසක් කියා පැවසීමෙන් අදහස් කළේ එය “හොඳ” හෝ “බලාපොරොත්තු වන පල ලබාගත හැකි” ගසක් බවයි.

ඔබට මතකද?

• යෙහෝවා දෙවි ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරයෙන් අප ඔහු ගැන ඉගෙනගන්නේ කුමක්ද?

රෝම 11වෙනි පරිච්ඡේදයේ ඇති පහත සඳහන් දේවලින් නියෝජනය වෙන්නේ කුමක්ද?

ඔලීව ගසෙන්

මුල්වලින්

කඳෙන්

අතුවලින්

• වල් ඔලීව අතු බද්ධ කිරීම අසාමාන්‍ය දෙයක් වූයේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 “වල් ඔලීව අතු බද්ධ කළේ ඇයි?”

▪ ලූෂියස් ජූනියස් මොඩරාටස් කොල්ලුමෙල්ලා පළමු ශතවර්ෂයේ සිටි රෝම සොල්දාදුවෙක් වගේම ගොවියෙක්. ඔහු ගැමි ජීවිතය සහ ගොවිතැන ගැන පොත් 12ක් ලිව්වා.

ඔහුගේ පස්වෙනි පොතේ ඔහු මෙම පැරණි කියමන සඳහන් කර තිබෙනවා. “ඔලීව පැළ සිටුවීමට පස සකසන්නා ගෙඩි ඉල්ලා සිටියි. ගසට පොහොර දමන්නා ගෙඩි ඉල්ලා ආයාචනා කරයි. ගස කප්පාදු කරන්නා පල හටගැන්වීමට බල කරයි.”

ගස සරුවට වැඩුණත් පලදාව නැත්නම් මේ පියවර ගන්න කියා ඔහු පවසනවා. ‘පලදාව නැත්නම් වල් ඔලීව ගසක අත්තක් හොඳ ඔලීව ගසට බද්ධ කරන්න. එවිට ගස අලුත් පණක් ලබා බොහෝ පලදාව නිපදවයි.’

[23වන පිටුවේ පින්තූරය]

ඔබ ඔලීව ගස සම්බන්ධ නිදර්ශනය තේරුම්ගත්තාද?