Skip to content

පටුනට යන්න

පරිපූර්ණ නායකයා වන ක්‍රිස්තුස්ට යටත් වෙමු

පරිපූර්ණ නායකයා වන ක්‍රිස්තුස්ට යටත් වෙමු

පරිපූර්ණ නායකයා වන ක්‍රිස්තුස්ට යටත් වෙමු

මිනිසුන්ගේ නායකයන්ට යටත් වෙන අයට බොහෝදුරට අද්දකින්න සිදු වෙන්නේ කලකිරීමයි. නමුත් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වෙන අය අද්දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. යේසුස්ම ඒ ගැන මෙසේ පැවසුවා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.” (මතෙ. 11:28, 29) ඇත්තෙන්ම යේසුස්ගේ නායකත්වයට යටත් වීම සහනයක්. ඔහු අසරණ හා පීඩිත වූවන් ගැන ගැඹුරු සැලකිල්ලක් දක්වනවා. තමාගේ වියගහ යටට එන්න කියා ඔහු ආරාධනා කරන්නේ ඒ නිසයි. යේසුස්ගේ නායකත්වයට යටත් වීමට ඇතුළත් වෙන්නේ කුමක්ද කියා අපි බලමු.

“ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහා” බව පේතෘස් පැවසුවා. (1 පේතෘ. 2:21) යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම මොන තරම් වැදගත්ද? බිම් බෝම්බ වැළලූ ප්‍රදේශයක් හරහා ඔබට ගමන් කිරීමට සිදු වෙනවා කියා සිතන්න. ආරක්ෂිතව ගමන් කිරීමට හැකි ආකාරය දන්නේ ඔබේ කණ්ඩායමේ සිටින එක් කෙනෙකු පමණයි. ඒ නිසා ඔබ ඔහුගේ අඩි සලකුණු කිට්ටුවෙන් අනුගමනය කරන්නේ නැද්ද? සමහරවිට ඔහු තැබූ අඩි සලකුණේම ඔබත් අඩිය තියන්න උත්සාහ කරන්නේ නැද්ද? ඒ හා සමානව අපගේ අනාගත සුරක්ෂිතභාවය රඳා පවතින්නේ යේසුස්ගේ ආදර්ශය මොන තරම් කිට්ටුවෙන් අනුගමනය කරනවාද යන්න මතයි. ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔහුට සවන් දී කීකරු වීමත් ඔහුව නියෝජනය කරන අයට සහාය දැක්වීමත් ඇතුළත් වෙනවා.

සවන් දී කීකරු වෙන්න

යේසුස් කන්ද උඩ දේශනාව අවසානයේදී මෙවැනි දෙයක් සඳහන් කළා. “මගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙක්ම පර්වතයක් මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමානයි. වැසි වැස, ගංවතුර ගලා, තද සුළං හමා, ඒ ගෙට ගැසුවත් එය පර්වතයක් මත ගොඩනඟා තිබුණු නිසා එය බිඳ වැටුණේ නැහැ.”—මතෙ. 7:24, 25.

තමා කියූ දේවලට සවන් දී ඒවාට කීකරු වෙන අයව යේසුස් හැඳින්වූයේ “නුවණැති” අය ලෙසයි. අපත් මුළු සිතින්ම යේසුස් පැවසූ දේට කීකරු වීමෙන් යේසුස් තැබූ ආදර්ශය අගය කරන බව පෙන්වනවාද? එසේත් නැත්නම් අප කීකරු වෙන්නේ ඔහු පැවසූ ආඥාවලින් අපට පහසුයි කියා සිතෙන ඒවාට පමණක්ද? නමුත් යේසුස් පැවසූ දේ බලන්න. ‘මගේ එකම ආශාව දෙවිට ප්‍රසන්න දේවල් කිරීමයි.’ (යොහ. 8:29) එම ආදර්ශය අනුගමනය කිරීමට අපි දැඩි වෑයමක් දරමු.

යේසුස්ගේ නායකත්වයට යටත් වීම සම්බන්ධයෙන් පළමු ශතවර්ෂයේ සිටි ඔහුගේ ගෝලයන් කදිම ආදර්ශයක්. පේතෘස් එක් අවස්ථාවකදී යේසුස්ට මෙවැනි දෙයක් පැවසුවා. “බලන්න, අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා.” (මාක් 10:28) යේසුස්ගේ ගෝලයන් ඔහුගේ නායකත්වයට යටත් වීම සැලකුවේ ඉතා වටිනා දෙයක් ලෙසයි. තමන් සතු සියල්ල අත්හැර දමා යේසුස් පසුපස යෑමට ඔවුන් කැමති වුණේ ඒ නිසයි.—මතෙ. 4:18-22.

යේසුස්ගේ නියෝජිතයන්ට සහාය දැක්වීම

යේසුස්ගේ නායකත්වය පිළිගන්න බව පෙන්විය හැකි තවත් ආකාරයක් ගැන යේසුස් ඔහුගේ මරණයට ටිකකට කලින් මෙසේ පැවසුවා. ‘මා යවන ඕනෑම කෙනෙක්ව පිළිගන්නා තැනැත්තා මාවත් පිළිගනියි.’ (යොහ. 13:20) යේසුස් ඔහුගේ අභිෂේක ලත් නියෝජිතයන්ව හැඳින්වූයේ ඔහුගේ “සහෝදරයන්” ලෙසයි. (මතෙ. 25:40) යේසුස් ස්වර්ගයට ගිය පසු ඔහුගේ ‘සහෝදරයන්ව’ ඔහු ‘වෙනුවෙන් පෙනී සිටින’ තානාපතීන් ලෙස පත් කළා. දෙවි සමඟ සමාදාන වෙන්න කියා ඔවුන් අන් අයට ආරාධනා කරනවා. (2 කොරි. 5:18-20) අප ක්‍රිස්තුස්ගේ නායකත්වය පිළිගන්නවා නම් ඔහුගේ ‘සහෝදරයන්ට’ යටත් වෙනවා.

අපගේ ප්‍රකාශනවල තිබෙන කාලෝචිත උපදෙස් අදාළ කරගන්නවාද කියා අප බැරෑරුම්ව සලකා බැලිය යුතුයි. ප්‍රකාශන යොදාගෙන බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ රැස්වීම්වලට සහභාගි වීමෙන් යේසුස් පැවසූ දේවල් අපට ඉගෙනගන්න පුළුවන්. (2 පේතෘ. 3:1, 2) අපට ලැබෙන එවැනි සැපයුම්වලින් නිතිපතා පෝෂණය වෙනවා නම් ඒවා අගය කරන බව අප පෙන්වනවා. නමුත් එකම විෂය සම්බන්ධයෙන් නිතර නිතර මතක් කිරීම් කරන විට ඒ ගැන අප සැලකිය යුත්තේ කෙසේද? උදාහරණයකට “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” සමඟ විවාහ වෙන්න කියා බයිබලයේ උපදෙස් දී තිබෙනවා. (1 කොරි. 7:39) මෙම විෂය ගැන ශතවර්ෂයකට අධික කාලයක් පුරා මුරටැඹ සඟරාවේ විටින් විට සඳහන් වුණා. එම විෂය ගැන මෙන්ම බයිබලයේ සඳහන් වෙනත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ලිපි ක්‍රිස්තුස්ගේ සහෝදරයන් පළ කරන්නේ අප දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවා දකින්න ඔවුන් ආශා කරන නිසයි. එම උපදෙස්වලට අවධානය යොමු කිරීමෙන් අපගේ පරිපූර්ණ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වෙන බව අපට පෙන්වන්න පුළුවන්.

“ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි” කියා හිතෝපදේශ 4:18හි පවසනවා. ක්‍රිස්තුස් සභාවේ නායකයා ලෙස සභාවේ යහපත තකා ක්‍රියාශීලීව කටයුතු කරනවා. ඒ නිසා දෙවිගේ සංවිධානය ඉදිරියටම ගමන් කරමින් තිබෙනවා. ක්‍රිස්තුස්ගේ ‘සහෝදරයන්ට’ සහාය දක්වන බව පෙන්විය හැකි තවත් ආකාරයක් වෙන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන අපගේ අවබෝධයේ යම් වෙනසක් කරන විට එය පිළිගැනීමයි.—මතෙ. 24:45.

ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ට යටත් වීමෙන්ද ක්‍රිස්තුස්ගේ ‘සහෝදරයන්ට’ යටත් වන බව අපට පෙන්විය හැකියි. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. ‘ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති.’ (හෙබ්‍රෙ. 13:17) උදාහරණයකට, නිතිපතා පවුලේ නමස්කාරය කිරීමේ වැදගත්කම ගැන වැඩිමහල්ලන් අපට යම් දිරිගැන්වීමක් දිය හැකියි. එසේත් නැත්නම් දේවසේවයේ දියුණු විය යුතු යම් පැත්තක් ගැන ප්‍රායෝගික මඟ පෙන්වීමක් අපට ලබා දිය හැකියි. ක්‍රිස්තියානි ජීවිතයේ දියුණු කරගත යුතු යම් කාරණයක් ගැන බයිබලය මත පදනම් උපදෙස් කිහිපයක් සංචාරක සේවක සහෝදරයා අපට ලබා දිය හැකියි. එවැනි උපදෙස් කැමැත්තෙන්ම අදාළ කරගැනීමෙන් ක්‍රිස්තුස්ගේ නායකත්වය පිළිගන්නා බව අපට පෙන්වන්න පුළුවන්.

මිනිසුන්ට පූර්ණ සහනයක් ලබා දීමට කිසිම මිනිස් නායකයෙකුට හැකි වී නැහැ. නමුත් යේසුස්ගේ නායකත්වයට යටත් වීම මොන තරම් සහනයක්ද! අප සියලු කාරණාවලදී ඔහුගේ නායකත්වයට කීකරු වෙමින් අද දින ඔහු පත් කර තිබෙන අයට සහාය දක්වමු!

[27වන පිටුවේ පින්තූර]

දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න යන බයිබල් උපදෙස ඔබ පිළිගන්නවාද?