Skip to content

පටුනට යන්න

පවුලක් ලෙස ‘අවදිව සිටින්න’

පවුලක් ලෙස ‘අවදිව සිටින්න’

පවුලක් ලෙස ‘අවදිව සිටින්න’

‘අපි අවදිව, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු.’—1 තෙස. 5:6.

1, 2. ක්‍රිස්තියානි පවුලකට අවසානය දක්වාම අවදිව සිටීමට අවශ්‍ය වෙන්නේ කුමක්ද?

“යෙහෝවා දෙවිගේ බිය උපදවන දවස” සම්බන්ධයෙන් පාවුල් තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙවැනි දෙයක් ලිව්වා. “සහෝදරයෙනි, ඔබ අන්ධකාරයෙහි සිටින අය නොවේ. එහෙයින් හිරු උදා වීමෙන් අවදානමකට ලක් වන සොරෙකු මෙන් ඔබ ඒ දවසේදී අවදානමකට ලක් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ආලෝකයේ දරුවෝ සහ දිවා කාලයේ පුත්‍රයෝය. අප රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති අය නොවේ. එහෙයින් සෙසු අය මෙන් අපි නිදාගෙන සිටිනවා වෙනුවට අවදිව සිටිමින් හොඳ සිහිකල්පනාවෙන් සිටිමු.”—යෝවෙ. 2:31; 1 තෙස. 5:4-6.

2 ‘අවසාන කාලයේ’ ජීවත් වන අපට පාවුල්ගේ එම උපදෙස ඉතා වැදගත්. (දානි. 12:4) සාතන්ගේ පාලනය අවසානය කරා පැමිණෙද්දී ඔහුගේ අරමුණ වෙන්නේ දෙවිගේ සේවකයන් හැකි තරම් ප්‍රමාණයක් දෙවිගෙන් ඈත් කිරීමයි. ඒ නිසා අවදිව සිට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය රැකගන්න කියා පාවුල් දුන් උපදෙස අපි සිතට ගනිමු. ක්‍රිස්තියානි පවුලකට අවසානය දක්වාම අවදිව සිටීමට අවශ්‍ය නම් යෙහෝවා දෙවි පවුල තුළ එක් එක් සාමාජිකයාට ලබා දී තිබෙන වගකීම් ඉටු කිරීම ඉතා වැදගත්. පවුලක් ලෙස ‘අවදිව සිටීම’ සඳහා ස්වාමිපුරුෂයාට, භාර්යාවට හා දරුවන්ට පැවරෙන වගකීම් මොනවාද?

ස්වාමිපුරුෂයෙනි, ‘උතුම් එඬේරාව’ අනුකරණය කරන්න

3. පළමුවෙනි තිමෝති 5:8ට අනුව පවුලේ මූලිකයා ලෙස ස්වාමිපුරුෂයාට තිබෙන වගකීම කුමක්ද?

3 “ස්ත්‍රියකගේ හිස පුරුෂයා බව” බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරි. 11:3) පවුලේ මූලිකයා ලෙස ස්වාමිපුරුෂයාගේ වගකීම්වලට අයත් වෙන්නේ මොනවාද? ඉන් එකක් ගැන බයිබලයේ මෙසේ පවසනවා. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය.” (1 තිමෝ. 5:8) පවුලේ එදිනෙදා අවශ්‍යතා සැපයීම පවුලේ මූලිකයාගේ ප්‍රධාන වගකීමක්. නමුත් දෙවිට ළංව අවදිව සිටීම සඳහා පවුලේ අයට උපකාර කිරීමට නම් මුදල් ඉපයීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු පවුලේ අයට දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට උපකාර කළ යුතුයි. (හිතෝ. 24:3, 4) ඔහුට එය කරන්න පුළුවන් කොහොමද?

4. දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට පවුලේ අයට උපකාර කරන්න ස්වාමිපුරුෂයෙකුට පුළුවන් කොහොමද?

4 ‘ක්‍රිස්තුස් සභාව නමැති ශරීරයේ හිස වන්නා සේම ස්වාමිපුරුෂයාද තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරයි.’ ඒ නිසා යේසුස් සභාව කෙරෙහි මූලිකත්වය මෙහෙයවූ ආකාරය ස්වාමිපුරුෂයෙක් අධ්‍යයනය කර එය අදාළ කරගත යුතුයි. (එෆී. 5:23) තම අනුගාමිකයන් සමඟ යේසුස්ට තිබුණු මිත්‍රත්වය ගැන ඔහු පැවසූ දේ බලන්න. (යොහන් 10:14, 15 කියවන්න.) දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම සඳහා පවුලේ අයට උපකාර කිරීමට ස්වාමිපුරුෂයෙකුට පුළුවන් කොහොමද? “උතුම් එඬේරා” ලෙස යේසුස් කළ කී දේවල් අධ්‍යයනය කර “ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය” කිරීමෙන් එසේ කළ හැකියි.—1 පේතෘ. 2:21.

5. උතුම් එඬේරාට සභාව ගැන මොන වගේ අවබෝධයක් තිබෙනවාද?

5 උතුම් එඬේරා ලෙස යේසුස්ගේ ආදර්ශයෙන් ස්වාමිපුරුෂයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා දැන් අපි බලමු. එඬේරෙක් සහ බැටළුවන් අතර කිට්ටු බැඳීමක් තිබෙනවා. එඬේරා බැටළුවන් ගැන සියලු තොරතුරු දන්නවා. බැටළුවන්ද එඬේරාව හොඳින් හඳුනනවා. එමෙන්ම උන්ට ඔහු ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ විතරක් නොවෙයි උන් එඬේරාගේ හඬ හොඳින් හඳුනන අතර ඔහුගේ හඬට කීකරු වෙනවා. යේසුස්ද පැවසුවේ “මම මගේ බැටළුවන්ව හඳුනනවා. මගේ බැටළුවනුත් මාව හඳුනනවා” කියායි. ක්‍රිස්තියානි සභාව ගැන යේසුස්ට තිබෙන්නේ මතුපිට දැනුමක් නොවෙයි. “හඳුනනවා” යන වචනයට යොදා ඇති ග්‍රීක වචනයෙන් “පෞද්ගලික මෙන්ම හොඳ දැනුමක් ඇති” යන අදහසද ඇතුළත් වෙනවා. ඇත්තෙන්ම අපගේ උතුම් එඬේරා සෑම බැටළුවෙක්වම පෞද්ගලිකව හඳුනනවා. එනම් ඔවුන්ගේ අවශ්‍යතා, දුර්වලකම් හා හැකියාවන් ගැන ඔහු හොඳින් දන්නවා. ඉන් පැහැදිලි වෙන්නේ යේසුස් ඔහුගේ බැටළුවන් ගැන නොදන්නා කිසිම දෙයක් නැති බවයි. බැටළුවන්ද යේසුස්ව හොඳින් හඳුනන අතර ඔහුගේ නායකත්වය ගැන ඔවුන්ට විශ්වාසයක් තිබෙනවා.

6. ස්වාමිපුරුෂයන්ට උතුම් එඬේරාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

6 යේසුස්ව ආදර්ශයට ගනිමින් මූලිකත්වය මෙහෙයවන්න නම් ස්වාමිපුරුෂයෙක් තමන් එඬේරෙක් ලෙසත් පවුලේ අය බැටළුවන් ලෙසත් සැලකිය යුතුයි. ඔහු පවුලේ අය ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමට වෑයම් කළ යුතුයි. ස්වාමිපුරුෂයෙකුට එවැනි අවබෝධයක් ලබාගත හැකිද? ඔව්, ඔහුට එසේ කළ හැකියි. පවුලේ සියලුදෙනා සමඟ අදහස් හුවමාරු කරගැනීමෙන්, පවුලේ එක් එක් කෙනා සැලකිලිමත් වන දේවල් ගැන ඔවුන් පවසන විට හොඳින් සවන් දීමෙන් හා පවුලේ වැඩකටයුතුවල මූලිකත්වය ගැනීමෙන් ඔහුට එසේ කළ හැකියි. පවුලේ නමස්කාරය, පවුලේ අය සමඟ රැස්වීම් සහ දේවසේවයේ සහභාගි වීම හා එකට විනෝද වීම වැනි කාරණාවලදී ඔහු තීරණ ගන්නේ පවුලේ අයගේ තත්වයන් තේරුම්ගෙනයි. ස්වාමිපුරුෂයා දේවවචනය ගැන පමණක් නොව පවුලේ අය ගැනද අවබෝධයක් ඇතුව මූලිකත්වය මෙහෙයවද්දී ඔවුන්ට ඔහු ගැන විශ්වාසයක් ඇති වෙනවා. අනික් අතට ස්වාමිපුරුෂයාටත් පවුලේ සියලුදෙනා එක්සත්ව දෙවිට නමස්කාර කරනවා දැකීමේ ප්‍රීතිය භුක්ති විඳින්න හැකි වෙනවා.

7, 8. පවුලේ අයට සෙනෙහස දැක්වීමේදී උතුම් එඬේරාව අනුකරණය කරන්න ස්වාමිපුරුෂයෙක්ට පුළුවන් කොහොමද?

7 හොඳ එඬේරෙකුට බැටළුවන් ගැන සෙනෙහසක්ද තිබෙනවා. ශුභාරංචි පොත්වලින් යේසුස්ගේ ජීවිතය ගැනත් ඔහු කළ සේවය ගැනත් අධ්‍යයනය කරද්දී ඔහු ඔහුගේ අනුගාමිකයන්ට දැක්වූ සෙනෙහස අගය කරන්න අප තුළ පෙලඹීමක් ඇති වෙනවා. ඔහු සිය ‘බැටළුවන් උදෙසා ඔහුගේ ජීවිතය පවා දුන්නා.’ පවුලේ අයට සෙනෙහස පෙන්වද්දී ස්වාමිපුරුෂයෙක් යේසුස්ව අනුකරණය කළ යුතුයි. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට ආශාවෙන් සිටින ස්වාමිපුරුෂයෙක් තම භාර්යාව කෙරෙහි දරුණු ලෙස අධිකාරිය හොබවන්නේ නැහැ. ඒ වෙනුවට ‘ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කළ’ ආකාරයට ඔහු දිගටම ඇයට ප්‍රේම කරනවා. (එෆී. 5:25) භාර්යාව ගෞරවය ලැබීමට වටින නිසා ඇය සමඟ කාරුණිකව කතා කරන්න අවශ්‍යයි.—1 පේතෘ. 3:7.

8 පියා, දරුවන්ව පුහුණු කිරීමේදී දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇලී සිටිය යුතුයි. කෙසේවෙතත් ඔහු දරුවන්ට සෙනෙහස දැක්වීමටද අමතක නොකළ යුතුයි. හික්මවීම් ලබා දෙන විටත් ඔහු ප්‍රේමයෙන් එසේ කළ යුතුයි. තමන්ගෙන් බලාපොරොත්තු වන දේ තේරුම්ගැනීමට සමහර දරුවන්ට අනික් අයට වඩා වැඩි කාලයක් ගත විය හැකියි. එවැනි අවස්ථාවලදී පියා බොහෝ සේ ඉවසිලිවන්ත විය යුතුයි. එලෙස ඔහු යේසුස්ව දිගටම අනුකරණය කරද්දී පවුලේ සියලුදෙනාට සුරක්ෂිතභාවයක් දැනෙනවා. එවිට ගීතිකාකරු ගායනා කළ ආකාරයට දෙවිගේ රැකවරණය අද්දැකීමට පවුලේ සියලුදෙනාටම හැකි වෙනවා.ගීතාවලිය 23:1-6 කියවන්න.

9. නෝවාට මෙන් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ට තිබෙන වගකීම කුමක්ද? එය ඉටු කිරීමට ඔවුන්ට උපකාරයක් වෙන්නේ කුමක්ද?

9 පවුලේ මූලිකයන්ට නෝවාද හොඳ ආදර්ශයක්. ඔහු ජීවත් වුණේ එවකට තිබූ දුෂ්ට සමාජය විනාශ වීමට ආසන්න කාලයකයි. නමුත් ‘[යෙහෝවා දෙවි] තමාට කිසි ගෞරවයක් නොදැක්වූ ලෝකය ජලගැල්මකින් විනාශ කළ විට නෝවාවද තවත් හත්දෙනෙකුවද ආරක්ෂා කළා.’ (2 පේතෘ. 2:5) ජලගැල්මෙන් තම පවුලේ අයගේ ජීවිත බේරාගැනීමට ඔවුන්ට උපකාර කිරීමේ වගකීම නෝවාට තිබුණා. අද දින පවුල් මූලිකයන් සිටින්නෙත් එවැනිම කාලයකයි. (මතෙ. 24:37) ඒ නිසා ‘උතුම් එඬේරාගේ’ ආදර්ශය හොඳින් අධ්‍යයනය කර ඔහුව අනුකරණය කිරීමට වෑයම් කිරීම මොන තරම් වැදගත්ද!

භාර්යාවෙනි, ‘ඔබේ පවුල ගොඩනඟන්න’

10. භාර්යාව ස්වාමිපුරුෂයාට යටත් කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

10 “භාර්යාවන් ස්වාමීන්ට යටත්ව සිටින්නා සේම තම ස්වාමිපුරුෂයන්ටත් යටත්ව සිටිය යුතුයි” කියා පාවුල් සඳහන් කළා. (එෆී. 5:22) භාර්යාව පහත් තත්වයක සිටින බව ඉන් කිසිසේත් අඟවන්නේ නැහැ. පළමු ස්ත්‍රිය වන ඒවව නිර්මාණය කිරීමට පෙර දෙවි මෙසේ පැවසුවා. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” (උත්. 2:18) එහි සඳහන් කර තිබෙන්නේ ඇය ‘සහකාරියක්’ කියායි. ඉන් අදහස් කරන්නේ ස්වාමිපුරුෂයා පවුලේ වගකීම් දරද්දී ඇය ඔහුට සහාය දක්වන කෙනෙක් බවයි. ඇත්තෙන්ම එය ගෞරවනීය තත්වයක්.

11. ආදර්ශවත් භාර්යාවක් ‘පවුල ගොඩනඟන්නේ’ කොහොමද?

11 ආදර්ශවත් භාර්යාවක් ඇගේ පවුල ගොඩනඟන්න ක්‍රියා කරනවා. (හිතෝපදේශ 14:1 කියවන්න.) මූලිකත්වයට ගරු නොකරන අඥාන ස්ත්‍රියකට වෙනස්ව ඥානවන්ත ස්ත්‍රියක් මූලිකත්වය කෙරෙහි ගැඹුරු ගෞරවයක් දක්වනවා. එවැනි කෙනෙක් දෙවිගෙන් ඈත් වූ ලෝකයේ දක්නට තිබෙන අකීකරුකමේ හා තමන්ට සිතෙන පරිදි ක්‍රියා කිරීමේ ආකල්පවලින් වැළකී ඇගේ ස්වාමිපුරුෂයාට යටත් වෙනවා. (එෆී. 2:2) අඥාන ස්ත්‍රියක් තම ස්වාමිපුරුෂයාගේ අඩුපාඩු අන් අය සමඟ කතා කිරීමට මැළි වෙන්නේ නැහැ. නමුත් ඥානවන්ත ස්ත්‍රියක්, දරුවන්ට මෙන්ම අන් අයට තම ස්වාමිපුරුෂයා කෙරෙහි තිබෙන ගෞරවය වැඩි වන ආකාරයෙන් කතා කරනවා. එමෙන්ම ස්වාමිපුරුෂයා සමඟ වාද කරමින් සහ මැසිවිලි නඟමින් ඔහුගේ මූලිකත්වයට අගෞරවය කරන්න ඥානවන්ත භාර්යාවක් උත්සාහ කරන්නේ නැහැ. එපමණක් නොවෙයි ඇය මුදල් පරිහරණය කිරීමේදී සැලකිලිමත් වෙනවා. අඥාන භාර්යාවක් ස්වාමිපුරුෂයා වෙහෙස මහන්සි වී උපයන මුදල් නාස්ති කළත් ඥානවන්ත භාර්යාවක් එසේ කරන්නේ නැහැ. ඇය බුද්ධිමත්ව හා අරපිරිමැස්මෙන් වැඩ කරනවා. එමෙන්ම ඇය ස්වාමිපුරුෂයාට අතිකාල වැඩ කරන්න කියා බල කරන්නේද නැහැ.

12. තම පවුලේ අයට ‘අවදිව සිටීමට’ උපකාර කරන්න භාර්යාවකට පුළුවන් කොහොමද?

12 දරුවන්ට දෙවි ගැන උගන්වන්න ස්වාමිපුරුෂයා පෙරමුණ ගන්නා විට ඊට සහාය දැක්වීමෙන් පවුලේ සියලුදෙනාට ‘අවදිව සිටීමට’ ඥානවන්ත භාර්යාවක් උපකාර කරනවා. (හිතෝ. 1:8) ඇය පවුලේ නමස්කාර වැඩසටහනට උනන්දුවෙන් සහයෝගය දක්වනවා. එපමණක් නොවෙයි ස්වාමිපුරුෂයා දරුවන්ට අවශ්‍ය හික්මවීම් හා මඟ පෙන්වීම් ලබා දෙන විට ඇය ඊට සහයෝගය දක්වනවා. ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට සහාය නොදක්වන භාර්යාවක් සිටින පවුලක දරුවන්ට ශාරීරිකව පමණක් නොව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් නැති වීම නිසාද දුක් විඳීමට සිදු වෙනවා. නමුත් ඊට වෙනස්ව ඥානවන්ත භාර්යාවක් පවුලට මොන තරම් ආශීර්වාදයක්ද!

13. තම ස්වාමිපුරුෂයා දෙවිගේ සේවයේ උද්‍යෝගයෙන් හවුල් වන විට භාර්යාවක් ඔහුට සහයෝගය දැක්වීම වැදගත් වෙන්නේ ඇයි?

13 ක්‍රිස්තියානි සභාවේ වැඩකටයුතුවලට ක්‍රියාශීලීව හවුල් වන ස්වාමිපුරුෂයෙක් ගැන ඔහුට සහාය දක්වන භාර්යාවකට හැඟෙන්නේ කෙසේද? ඇයට ලොකු සතුටක් දැනෙනවා. ඇගේ ස්වාමිපුරුෂයා සහායක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වුණත් රෝහල් සබඳතා කමිටුවේ හෝ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කිරීමේ කමිටුවක සාමාජිකයෙක් වුණත් ඔහු දරන වගකීම ගැන ඇය සතුටු වෙනවා. ස්වාමිපුරුෂයාට සහාය දැක්වීමේදී ඇයට බොහෝ පරිත්‍යාග කිරීමට සිදු වන බව ඇත්තයි. නමුත් සභාවේ වැඩවල ස්වාමිපුරුෂයා කාර්යබහුල වන විට පවුලේ සියලුදෙනාට අවදිව සිටීමට එය උපකාරයක් බව ඇය තේරුම්ගන්නවා.

14. (අ) භාර්යාවකට අභියෝගයක් විය හැක්කේ කුමක්ද? ඇයට ඊට මුහුණ දෙන්න පුළුවන් කොහොමද? (ආ) මුළු පවුලේම ශුභසිද්ධියට දායක වෙන්න භාර්යාවකට පුළුවන් කොහොමද?

14 තමන් එකඟ නොවන තීරණයක් ස්වාමිපුරුෂයා ගන්නා විට ඊට සහයෝගය දැක්වීම භාර්යාවට අභියෝගයක් විය හැකියි. එවැනි අවස්ථාවකදී වුවත් ස්වාමිපුරුෂයාට සහයෝගය දක්වන භාර්යාවක් ‘තැන්පත් හා මෘදු ස්වභාවයක්’ විදහාපෙන්වමින් ඔහුගේ තීරණය සාර්ථක කරගන්න උපකාර කරනවා. (1 පේතෘ. 3:4) ඇය සාරා, රූත්, අබිගායිල් සහ යේසුස්ගේ මව වූ මරියා වැනි දෙවිට ගරුබිය දැක්වූ ස්ත්‍රීන්ගේ ආදර්ශ අනුකරණය කරන්න වෑයම් කරනවා. (1 පේතෘ. 3:5, 6) ඒ වගේම අද දිනත්, “දෙවිට ගෞරවයක් ගෙන දෙන ආකාරයකින් හැසිරෙන” වැඩිහිටි ස්ත්‍රීන්ගේ ආදර්ශ ඇය අනුකරණය කරනවා. (තීත. 2:3, 4) ස්වාමිපුරුෂයාට ප්‍රේමය හා ගෞරවය පෙන්වන භාර්යාවක් විවාහ ජීවිතය සාර්ථක කරගන්නත් පවුලේ සියලුදෙනාගේ ශුභසිද්ධියටත් දායක වෙනවා. එවැනි භාර්යාවක් සිටින නිවසක් සුරක්ෂිතභාවයේ හා සහනයේ තෝතැන්නක්. දෙවිට ප්‍රේමය පෙන්වමින් හා දෙවිට වෙහෙස මහන්සියෙන් සේවය කරන ස්වාමිපුරුෂයෙකුට එවැනි බිරිඳක් අමිල වස්තුවක් හා සමානයි.—හිතෝ. 18:22.

දරුවෙනි, ‘නිරතුරුව නොපෙනෙන දේවලට’ අවධානය දෙන්න

15. පවුලේ සියලුදෙනාටම ‘අවදිව සිටීමට’ දෙමාපියන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න දරුවන්ට පුළුවන් කොහොමද?

15 දරුවෙනි, ඔබේ දෙමාපියන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙන් පවුලේ සියලුදෙනාට ‘අවදිව සිටීමට’ උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද? දෙවි ඔබට සූදානම් කර තිබෙන තෑග්ග ගැන සිතා බලන්න. සමහරවිට ඔබ කුඩා කාලයේදී ඔබේ දෙමාපියන් පාරාදීසය ගැන තිබෙන චිත්‍ර ඔබට පෙන්වන්න ඇති. ඔබ වයසින් වැඩෙද්දී බයිබලය හා සංවිධානයේ ප්‍රකාශන යොදාගෙන පාරාදීස පොළොවේ ජීවිතය සිතින් මවාගන්න ඔවුන් ඔබට උපකාර කරන්න ඇති. ඔබ ඔබගේ මුළු අවධානය දෙවිට කරන සේවයට යොමු කරනවා නම් හා ඒ අනුව ඔබගේ ජීවිතය සැලසුම් කරනවා නම් ‘අවදිව සිටීමට’ එය ඔබට උපකාරයක් වෙනවා.

16, 17. ත්‍යාගය අත් කරගැනීමේ අරමුණ ඇතුව ධාවන තරඟයේ යෙදෙන්න දරුවන්ට කුමක් කළ හැකිද?

16 පාවුල් 1 කොරින්ති 9:24හි පැවසූ දේ සිතට ගන්න. (කියවන්න.) ත්‍යාගය ලබාගැනීමේ අරමුණ ඇතුව ධාවන තරඟයේ යෙදෙන්න. එනම් සාදාකාල ජීවනය ලබාගැනීමට හැකි වන ආකාරයේ ජීවන මාර්ගයක් තෝරාගන්න. නමුත් බොහෝදෙනෙකුට ධන සම්පත්වලට ඇති ආශාව නිසා ත්‍යාගය කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වී තිබෙනවා. එය මොන තරම් අඥාන දෙයක්ද! අපගේ ජීවිතයේ එකම අරමුණ ධන සම්පත් ලබාගැනීම නම් ඉන් සතුටක් ලැබෙන්නේ නැහැ. මුදල්වලට ලබාගත හැකි දේවල් තාවකාලිකයි. නමුත් “නොපෙනෙන දේවල් සදාකාලික” නිසා එවැනි දේවලට ඔබේ මුළු අවධානයම යොමු කරන්න.—2 කොරි. 4:18.

17 ‘නොපෙනෙන දේවලට’ දෙවිගේ රාජ්‍යය මගින් ලැබෙන ආශීර්වාද ඇතුළත් වෙනවා. ඒවා භුක්ති විඳීමේ අරමුණ ඇතුව ඔබේ ජීවිතය සැලසුම් කරන්න. සැබෑ සතුට ලැබෙන්නේ දෙවිට සේවය කිරීමෙන් පමණයි. දෙවිට සේවය කිරීමේදී කෙටි කාලීන හා දිගු කාලීන ඉලක්ක තබාගැනීමට අවස්ථාව ලැබෙනවා. * අත් කරගත හැකි ඉලක්ක තබාගැනීමෙන් දෙවිට කරන සේවයට මුළු අවධානයම යොමු කිරීමට හැකි වන අතර සදාකාල ජීවනය අත් කරගැනීමටද අවස්ථාව ලැබෙනවා.—1 යොහ. 2:17.

18, 19. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙනවාද කියා දරුවෙකුට දැනගන්න පුළුවන් කොහොමද?

18 දරුවෙනි, ජීවන ගමනේ පළමු පියවර වන්නේ පෞද්ගලිකවම දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමයි. ඔබ එම පියවර ගෙන තිබෙනවාද? මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න. ‘නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ගැන මට උද්‍යෝගයක් තිබෙනවාද? නැත්නම් මම ඒවායේ නියැලෙන්නේ දෙමාපියන් කියන නිසාද? දෙවිට ප්‍රසන්න ගුණාංග වර්ධනය කරගන්න මම උත්සාහ කරනවාද? නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල, එනම් නිතිපතා යාච්ඤා කිරීම, අධ්‍යයනය කිරීම, රැස්වීම්වලට සහභාගි වීම හා දේවසේවයේ යෑම වැනි දේවල් නොකඩවා කිරීමට මම වෑයම් කරනවාද? දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න මම උත්සාහ කරනවාද?’—යාකො. 4:8.

19 උදාහරණයකට මෝසෙස් ගැන සලකා බලන්න. මෝසෙස් වෙනත් සංස්කෘතියක හැදී වැඩුණත් තමාව පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනවාට වඩා දෙවිගේ නමස්කාරකයෙක් ලෙස හඳුන්වනවාට ඔහු කැමති වුණා. (හෙබ්‍රෙව් 11:24-27 කියවන්න.) දරුවෙනි, ඔබත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න අදිටන් කරගන්න. එසේ කිරීමෙන් අද දින සැබෑ සන්තෝෂය ලබාගැනීමටත් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටත් ඔබට හැකි වෙනවා. එමෙන්ම අපගේ බලාපොරොත්තුව වන “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත්” ඔබට හැකි වෙනවා.—1 තිමෝ. 6:19.

20. ජීවනය සඳහා වූ ධාවන තරඟයෙන් දිනන්නේ කවුද?

20 පුරාණ කාලයේදී ධාවන තරඟයකින් ජය ගත හැකි වුණේ එක් අයෙකුට පමණයි. නමුත් ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී නම් එසේ වන්නේ නැහැ. දෙවිගේ අරමුණ වෙන්නේ ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීම හා සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම ලබාගැනීමයි.’ (1 තිමෝ. 2:3, 4) ඔබට කලින් සිටි බොහෝදෙනෙක් එම තරඟය සාර්ථකව නිම කර තිබෙනවා. තවත් බොහෝදෙනෙක් ඔබත් සමඟ එම තරඟයේ නියැලෙනවා. (හෙබ්‍රෙ. 12:1, 2) අතරමඟදී තරඟයෙන් ඉවත් නොවන සෑමදෙනාටම ත්‍යාගය ලැබෙන බව නිසැකයි. ඒ නිසා ජයග්‍රහණය කිරීමට අදිටන් කරගන්න!

21. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

21 ‘යෙහෝවා දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කරන, බිය උපදවන භයානක දවස’ අනිවාර්යයෙන්ම පැමිණෙනවා. (මලා. 4:5) අවදිව සිටියේ නැත්නම් ක්‍රිස්තියානි පවුල් ඊට නොදැනුවත්වම හසු විය හැකියි. ඒ නිසා පවුලේ එක් එක් කෙනාට දෙවි දී ඇති වගකීම ඉටු කිරීම ඉතා වැදගත්. අවසානය දක්වා අවදිව සිටීමට හා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට ඔබට තව කුමක් කළ හැකිද? ඒ සඳහා පවුලේ සියලුදෙනාට උපකාරවත් වන කාරණා තුනක් ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනවා.

[පාදසටහන]

^ 17 ඡේ. වර්ෂ 2010 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ 12-16 පිටු සහ 2004 ජූලි 15 කලාපයේ 21-23 පිටු බලන්න.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ක්‍රිස්තියානීන් පවුලක් ලෙස ‘අවදිව සිටිය’ යුත්තේ ඇයි?

• ස්වාමිපුරුෂයෙකුට උතුම් එඬේරාව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

• ස්වාමිපුරුෂයාට සහයෝගය දක්වන්න ආදර්ශවත් භාර්යාවකට කුමක් කළ හැකිද?

• පවුලේ සියලුදෙනාටම අවදිව සිටීමට දරුවන්ට කුමක් කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

දෙවිට ප්‍රේම කරන ස්වාමිපුරුෂයෙකුට සහයෝගය දක්වන බිරිඳක් අමිල වස්තුවක්