Skip to content

පටුනට යන්න

පවුලක් ලෙස ‘සූදානමින් සිටින්න’

පවුලක් ලෙස ‘සූදානමින් සිටින්න’

පවුලක් ලෙස ‘සූදානමින් සිටින්න’

‘නිතරම සූදානමින් සිටින්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.’—ලූක් 12:40.

1, 2. ‘සෝදිසියෙන් සිටින්න’ කියා යේසුස් දුන් උපදෙස සිතට ගත යුත්තේ ඇයි?

“මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින්” පැමිණ ‘මිනිසුන්ව වෙන් කරන’ විට ඔබටත් ඔබේ පවුලේ අයටත් කුමක් සිදු වෙයිද? (මතෙ. 25:31, 32) එය සිදු වෙන්නේ අප නොසිතන පැයකදී නිසා ‘සූදානමින් සිටින්න’ කියා යේසුස් දී ඇති උපදෙස සිතට ගැනීම මොන තරම් වැදගත්ද!—ලූක් 12:40.

2 පවුලේ සෑම කෙනෙක්ම තම තමාගේ වගකීම් ඉටු කිරීම මගින් මුළු පවුලටම අවදිව සිටීමට උපකාර කළ හැකි ආකාරය අප කලින් ලිපියෙන් සාකච්ඡා කළා. පවුලක් ලෙස දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමට අප එක් එක් කෙනාට දායක වෙන්න පුළුවන් තවත් ආකාර කිහිපයක් දැන් අපි සලකා බලමු.

‘ඇස වෙනතකට යොමු නොකරන්න’

3, 4. (අ) ක්‍රිස්තියානි පවුල් සැලකිලිමත් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? (ආ) ඇස වෙනතකට යොමු නොකර තබාගන්නවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

3 යේසුස් විනිශ්චය කිරීමට පැමිණෙන විට අප සූදානමින් සිටීමට නම් නමස්කාරයට සම්බන්ධ දේවලින් අපගේ අවධානය වෙනතකට යොමු නොකර තබාගත යුතුයි. බොහෝ පවුල් ධන සම්පත්වලට ඇති ආශාව නිසා දෙවිගෙන් ඈත් වී තිබෙනවා. ඒ නිසා ‘ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කරන්න’ කියා යේසුස් පැවසූ දේ සිතට ගැනීම වැදගත්. (මතෙව් 6:22, 23 කියවන්න.) අන්ධකාර අවස්ථාවක පය නොපැටලී ගමන් කිරීමට පහනක් අපට උපකාර වන්නා සේ වැරදි ආශාවන්ට නොවැටී සිටීමට “ඇස වෙනතකට යොමු නොකර” තබාගැනීම උපකාරවත් වෙනවා.—එෆී. 1:18.

4 ඇස වෙනතකට යොමු නොකරන කෙනෙක්, පවුලේ අයගේ එදිනෙදා අවශ්‍යතා සැපයිය යුතු නිසා මුදල් සෙවීමට පමණක් තම අවධානය යොමු කරන්නේ නැහැ. ඔහු මූලික අවධානය දෙන්නේ දෙවිගේ රාජ්‍යයටයි. (මතෙ. 6:33) ඉන් අදහස් කරන්නේ අපට තිබෙන දෙයින් සෑහීමට පත් වී දෙවිට කරන සේවයට මුල් තැන දීමයි.—හෙබ්‍රෙ. 13:5.

5. ඇස වෙනතකට යොමු නොකර තබාගන්න යෞවනියක් ක්‍රියා කළේ කොහොමද?

5 ඇස වෙනතකට යොමු නොකර තබාගන්න දරුවන්ට ඉගැන්වීමෙන් මොන තරම් ප්‍රතිඵල ලබාගත හැකිද! උදාහරණයකට ඉතියෝපියාවේ වෙසෙන යෞවනියකගේ අද්දැකීමක් සලකා බලමු. ඇය පාසැලේ දක්ෂ ශිෂ්‍යයාවක් නිසා ඇගේ මූලික අධ්‍යාපනයෙන් පසු තවදුරටත් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඇයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇගේ එකම ආශාව වුණේ දෙවිට සේවය කිරීම නිසා ඇය එය ප්‍රතික්ෂේප කළා. ඒ එක්කම වගේ ඇයට මාසිකව යූරෝ 3,000ක (රුපියල් 4,70,000ක් පමණ) වැටුපක් ලැබෙන රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබුණා. එම වැටුප ඇගේ රටේ රැකියාවක් කරන කෙනෙක් සාමාන්‍යයෙන් ලබන වැටුපට වඩා බොහෝ සෙයින් ඉහළ වැටුපක්. නමුත් ඇයට අවශ්‍ය වුණේ පුරෝගාමි සේවය කරන්නයි. ඒ නිසා ඇය ඒ රැකියාව ප්‍රතික්ෂේප කළා. එම රැකියාව ප්‍රතික්ෂේප කළ යුතුද නැද්ද කියා ඇගේ දෙමාපියන්ගෙන් විමසන්නවත් ඇයට අවශ්‍ය වුණේ නැහැ. නමුත් දෙමාපියන් එය දැනගත් විට තම දියණිය ගැන ඔවුන්ට හැඟුණේ කොහොමද? ඔවුන් එම තීරණය ගැන සතුටු වී තමන් ඇය ගැන ආඩම්බර වෙන බව ඇයට පැවසුවා.

6, 7. අප ‘දකින දේවල් ගැන සෝදිසියෙන් සිටිය’ යුත්තේ ඇයි?

6 මතෙව් 6:22, 23හි යේසුස් පැවසූ වදන්වල තණ්හාව ගැන අනතුරු ඇඟවීමක්ද ගැබ් වී තිබෙනවා. යේසුස් එහිදී පැවසුවේ ඇස “දුෂ්ට” දේවලට යොමු විය හැකි බවයි. “දුෂ්ට” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයට තණ්හාව හෝ කෑදරකම යන අර්ථය ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවි තණ්හාව හෝ කෑදරකම සලකන ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම [හෝ තණ්හාව] ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.”—එෆී. 5:3.

7 අන් අය තුළ තණ්හාව තිබෙන බව හඳුනාගැනීම අපට පහසුයි. නමුත් ඒ නැඹුරුවාව අපට තිබෙනවාද කියා හඳුනාගැනීම එතරම් පහසු දෙයක් නොවෙයි. ඒ නිසා අපි යේසුස්ගේ මේ උපදෙස මතක තබාගනිමු. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.” (ලූක් 12:15) ඒ සඳහා අප අපගේ ඇස යොමු කර තිබෙන්නේ කුමන දේවලටද කියා කල්පනා කර බැලිය යුතුයි. ක්‍රිස්තියානි පවුල් විනෝදාස්වාදය හා විවිධ බඩු භාණ්ඩ ලබාගැනීම සඳහා කොපමණ කාලයක් හා මුදලක් වැය කරනවාද කියා බැරෑරුම්ව කල්පනා කළ යුතුයි.

8. යම් දේවල් මිල දී ගැනීමේදී අප ඥානවන්තව ක්‍රියා කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

8 ඔබ යමක් මිල දී ගන්න පෙර සොයා බැලිය යුත්තේ ඒ සඳහා ඔබට වත්කමක් තිබෙනවාද කියා පමණක් නොවෙයි. මේ ගැනත් සිතා බලන්න. ‘මිල දී ගන්න භාණ්ඩය පරිහරණය කරන්නත් නඩත්තු කරන්නත් මට කාලය තිබෙනවාද? එය නිවැරදිව භාවිත කරන ආකාරය ඉගෙනගන්න මට කොතරම් කාලයක් ගත වෙයිද?’ යෞවනයෙනි, ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ ලබාගත හැකි මිල අධික ඇඳුම් හෝ වෙනත් දේවල් ගැන ඉදිරිපත් කරන වෙළඳ දැන්වීම්වලට රැවටෙන්න එපා. බොහෝවිට වෙනසකට තිබෙන්නේ වෙළඳ නාමය නිසා අධික මුදලක් දැරීමට සිදු වීම පමණයි. ඒ නිසා ඔබවම පාලනය කරගන්න. මේ ගැනත් හිතන්න. යේසුස් විනිශ්චය කිරීමට පැමිණෙන විට පවුලේ අයට සූදානමින් සිටින්න මම මිල දී ගන්නා භාණ්ඩය බාධාවක් වෙයිද? “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” යන යෙහෝවා දෙවිගේ පොරොන්දුව සැක නොකරන්න.—හෙබ්‍රෙ. 13:5.

ඉලක්ක තබා ඒවා අත් කරගන්න

9. ඉලක්ක තබා ඒවා අත් කරගැනීමෙන් පවුලේ සාමාජිකයන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

9 පවුලේ සාමාජිකයන්ට දෙවි කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් තවත් ආකාරයක් වෙන්නේ ඉලක්ක තබා ඒවා අත් කරගැනීමට ක්‍රියා කිරීමයි. එය මුළු පවුලේම ශුභසිද්ධියට දායක වෙනවා. එසේ කිරීමෙන් දෙවිට කරන සේවය කොතරම් හොඳින් කරනවාද කියා අවබෝධ කරගැනීමටත් ජීවිතයේ වඩා වැදගත් දේවල් මොනවාද කියා තේරුම්ගැනීමටත් පවුලේ අයට හැකි වෙනවා.ෆිලිප්පි 1:10 කියවන්න.

10, 11. පවුලක් ලෙස ඔබ අත් කරගැනීමට වෑයම් කරන ඉලක්ක මොනවාද? අනාගතයේදී ඔබ අත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක මොනවාද?

10 පුංචි පුංචි ඉලක්ක තබා ඒවා අත් කරගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණයකට සෑම දවසකම දිනපදය සාකච්ඡා කිරීමට ඉලක්කයක් තබාගත හැකියි. දිනපදය සාකච්ඡා කරන අතරතුර පවුලේ අය දක්වන අදහස් මගින් දෙවි ඔවුන්ට කොතරම් සැබෑ පුද්ගලයෙක් වී තිබෙනවාද කියා තේරුම්ගන්න පවුලේ මූලිකයාට හැකියි. පවුලක් ලෙස නිතිපතා බයිබලය කියවීමට ඉලක්ක තබාගැනීමෙන් කියවීමේ හැකියාව දියුණු කරගන්නත් බයිබලය ගැන අවබෝධය වැඩි කරගන්නත් දරුවන්ට හැකි වෙනවා. (ගීතා. 1:1, 2) යාච්ඤාවේ ගුණය වැඩි කරගැනීමට වෑයම් කිරීමත් හොඳ ඉලක්කයක්. ඒ වගේම දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග වර්ධනය කරගැනීමට උත්සාහ කිරීමත් හොඳ ඉලක්කයක්. (ගලා. 5:22, 23) දේවසේවයේදී හමු වන අයගේ තත්වයන් තේරුම්ගෙන ඔවුන්ට අනුකම්පාවක් දැක්විය හැකි ආකාර ගැනත් කල්පනා කරන්න පුළුවන්. පවුලක් ලෙස එසේ කරනවා නම් දරුවන් අන් අයට අනුකම්පාව පෙන්වීමට ඉගෙනගන්නවා. එසේ කිරීමෙන් පුරෝගාමි හෝ මිෂනාරි සේවය කරන්න දරුවන් තුළ පෙලඹීමක් ඇති විය හැකියි.

11 දේවසේවයේ වැඩි කාලයක් ගත කරන්න ඔබේ පවුලේ අයට ඉලක්ක තබාගන්න පුළුවන්ද? දුරකථනයෙන් හා ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දැරීමට හෝ වීථි සේවයේ යෑමට පවුලේ සාමාජිකයන්ට තිබෙන භයෙන් ගොඩ ඒමට ඔවුන්ට උපකාර කරන්න ඔබට හැකිද? ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයක සේවය කරන්න පුළුවන්ද? වෙනත් භාෂාවක් කතා කරන අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පවුලේ සාමාජිකයෙකුට වෙනත් භාෂාවක් ඉගෙනගන්න පුළුවන්ද?

12. පවුලේ අයට දියුණු වීම සඳහා උපකාර කිරීමට පවුලේ මූලිකයාට කුමක් කළ හැකිද?

12 පවුලේ මූලිකයෙනි, ඔබේ පවුලේ අය දියුණු විය යුතු පැති මොනවාද කියා හඳුනාගන්න. ඉන්පසු නිශ්චිත ඉලක්ක තබා ඒවා අත් කරගැනීමට වෑයම් කරන්න. ඔබ තබන ඉලක්ක පවුලේ අයගේ තත්වයට හා හැකියාවන්ට අනුව අත් කරගත හැකි ඒවා විය යුතුයි. (හිතෝ. 13:12) ඉලක්ක අත් කරගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා රූපවාහිනිය නැරඹීම සඳහා වැය කරන කාලයෙන් යම් ප්‍රමාණයක් ඉලක්ක අත් කරගැනීම සඳහා වැය කරන්න. (එෆී. 5:15, 16) පවුලේ අය වෙනුවෙන් ඔබ තැබූ ඉලක්ක අත් කරගැනීමට වෙහෙස වී වැඩ කරන්න. (ගලා. 6:9) පවුලක් ලෙස සෑමදෙනාම ඉලක්ක තබා ඒවා අත් කරගන්නා විට ඔවුන්ගේ දියුණුව “සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”—1 තිමෝ. 4:15.

පවුලේ නමස්කාරය දිගටම කරන්න

13. රැස්වීම්වල සිදු කළ වෙනස කුමක්ද? අප කල්පනා කළ යුත්තේ කුමන ප්‍රශ්න ගැනද?

13 විනිශ්චය කිරීමට යේසුස් පැමිණෙන විට පවුලේ සියලුදෙනාටම ‘සූදානමින් සිටින්න’ 2009 ජනවාරි පළමුවෙනිදා සිට රැස්වීම්වල සිදු කළ වෙනස මහඟු උපකාරයක්. කලින් සභා පොත් පාඩම ලෙස හැඳින්වූ රැස්වීම සේවා පාසැල හා සේවා රැස්වීම පවත්වන දිනයේදී පැවැත්වීමට සැලසුම් යෙදුවා. එම වෙනස සිදු කළේ පවුලේ අයට යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට පවුලේ නමස්කාරය වෙනුවෙන් සෑම සතියකම සන්ධ්‍යාවක් වෙන් කිරීම සඳහායි. එම වෙනස සිදු කර දැන් කාලයක් ගත වී ඇති නිසා මේ ගැන කල්පනා කිරීම ප්‍රයෝජනවත්. ‘පවුලේ නමස්කාරයට හෝ පෞද්ගලික අධ්‍යයනයට වෙන් කළ කාලයෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නවාද? එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම නිසා යෙහෝවා දෙවිට හා පවුලේ අයට ළං වීමට මට පුළුවන් වී තිබෙනවාද?’

14. (අ) පවුලේ නමස්කාරය හෝ පෞද්ගලික අධ්‍යයනය දිගටම කිරීමේ මූලික අරමුණ කුමක්ද? (ආ) පවුලේ නමස්කාරයට කාලයක් වෙන් කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

14 පවුලේ නමස්කාරය හෝ පෞද්ගලික අධ්‍යයනය දිගටම කිරීමේ මූලික අරමුණ දෙවිට ළං වීමයි. (යාකො. 4:8) නිතිපතා වේලාවක් වෙන් කර බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපගේ නිර්මාතෘ ගැන අපට තිබෙන දැනුම වැඩි වෙනවා. එය ඔහු සමඟ අපට ඇති බැඳීම ශක්තිමත් කරගන්න උපකාරයක්. ‘මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන්නත් ඔහු වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරන්නත් මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්නත් නිතරම අපගේ මනසේ මුල් තැන ඔහුට දෙන්නත්’ අප පෙලඹෙන්නේ අප ඔහුට ළං වන තරමටයි. (මාක් 12:30) ඇත්තෙන්ම අපගේ එකම ආශාව වන්නේ දෙවිට කීකරු වීම හා ඔහුව අනුකරණය කිරීමයි. (එෆී. 5:1) ‘මහත් පීඩාවේ’ පැමිණීම බලා සිටින අතරතුර පවුලේ සියලුදෙනාටම ‘සූදානම්ව සිටීමට’ උපකාර කළ හැකි ප්‍රධාන ආකාරයක් වෙන්නේ පවුලේ නමස්කාරය නොකඩවා කිරීමයි. (මතෙ. 24:21) අපගේ ගැලවීම සඳහා එසේ කිරීම අත්‍යවශ්‍යයි.

15. පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීමට පවුලේ නමස්කාරය බලපාන්නේ කොහොමද?

15 පවුලේ නමස්කාරයෙන් ඉටු වන තවත් අරමුණක් වෙන්නේ පවුලේ සාමාජිකයන් එකිනෙකාට ළං වීමයි. සියලුදෙනා එක්ව බයිබලය ගැන සාකච්ඡා කරද්දී එකිනෙකා අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා. උදාහරණයකට යුවළක් එක්ව බයිබලය අධ්‍යයනය කරන විට ඉගෙනගන්නා කරුණක් ගැන ඔවුන්ට හැඟෙන ආකාරය ප්‍රකාශ කරද්දී ඔවුන් එකිනෙකාට වඩාත් ළං වෙනවා. (දේශනාකාරයා 4:12 කියවන්න.) දෙමාපියන් හා දරුවන් එක්ව නමස්කාරයේ යෙදෙන විට ඔවුන් අතර තිබෙන ප්‍රේමය තවත් වැඩි වෙනවා. එය ‘එක්සත්කමට දායක වන හොඳම බැඳීමයි.’—කොලො. 3:14.

16. බයිබලය අධ්‍යයනය කිරීමට වෙන් කළ කාලයෙන් සහෝදරියන් තිදෙනෙක් ප්‍රයෝජනය ලබන ආකාරය විස්තර කරන්න.

16 බයිබලය අධ්‍යයනය කිරීම සඳහා ඇති කළ සැලැස්මෙන් ප්‍රයෝජන ගත් මහලු වැන්දඹු සහෝදරියන් තිදෙනෙකුගේ අද්දැකීමක් සලකා බලමු. මෙම සහෝදරියන් තිදෙනා ජීවත් වුණේ එකම නගරයේයි. එමෙන්ම ඔවුන් කලක පටන් හොඳ මිතුරියන්. වැඩිපුර කාලයක් එකට ඇසුරු කිරීමට ඔවුන්ට ආශාවක් තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ එම කාලය තුළ බයිබලය ගැන සාකච්ඡා කරන්න මිස නිකම්ම ඇසුරක් භුක්ති විඳින්න නොවෙයි. ඒ නිසා ඔවුන් සතියකට එක් සන්ධ්‍යාවක් ඒ සඳහා වෙන් කළා. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය ගැන සඳහන් පොතක් ඔවුන් අධ්‍යයනය කළා. (“Bearing Thorough Witness” About God’s Kingdom.) එක සහෝදරියක් මෙසේ පැවසුවා. “අපි ඒ පොත ගොඩක් ආසාවෙන් අධ්‍යයනය කරපු නිසා බොහෝ අවස්ථාවලදී පැයකටත් වඩා වැඩි කාලයක් ගත වුණා. අපි පළමු ශතවර්ෂයේ සහෝදරයන් මුහුණ දුන් තත්වයන් හිතින් මවාගන්න උත්සාහ කළා. ඒ වගේ තත්වයකට අපි මුහුණ දුන්නොත් කරන්නේ මොනවාද කියල සාකච්ඡා කළා. ඒ විතරක් නෙවෙයි ඉගෙනගත්ත දේවල් දේවසේවයේදී අදාළ කරගන්නත් අපි උත්සාහ කළා. ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කරන එකත් යේසුස්ගේ ගෝලයන් වෙන්න ජනයාට උපකාර කරන එකත් වෙනදාට වඩා ප්‍රීතියෙන් වගේම සාර්ථකව කරන්න අපට හැකි වෙලා තියෙනවා.” බයිබලයේ කාරණා ගැන දැනගන්නවාට අමතරව එකිනෙකාට වඩාත් ළං වෙන්නත් ඔවුන්ට ඒ සැලැස්ම උපකාරවත් වුණා. “අපි ඒ සැලැස්ම ගොඩක් අගය කරනවා” කියා ඔවුන් පවසනවා.

17. පවුලේ නමස්කාරය සාර්ථක කරගැනීමට දායක වන කරුණු මොනවාද?

17 පවුලේ නමස්කාරයට හෝ පෞද්ගලික අධ්‍යයනයට වෙන් කළ කාලයෙන් ඔබ ප්‍රයෝජන ගන්නවාද? ඔබ එය කරන්නේ ඉඳහිට නම් එහි අරමුණ ඉටු වෙන්නේ නැහැ. පවුලේ සෑම සාමාජිකයෙක්ම ඒ සඳහා වෙන් කළ නියමිත කාලයේදී ඊට සූදානම්ව සිටිය යුතුයි. සුළු සුළු කාරණා නිසා ඊට බාධා ඇති වීමට ඉඩ දෙන්න එපා. එමෙන්ම පවුලේ සියලුදෙනාටම ගැළපෙන තොරතුරු තෝරාගන්න. පවුලේ නමස්කාරයෙන් සතුටක් ලබන්න නම් පවුලේ මූලිකයාට කුමක් කළ හැකිද? සිතට කාවදින ආකාරයෙන් ඉගැන්වීමට විවිධ ක්‍රම පාවිච්චි කරන්න. එමෙන්ම සාකච්ඡාව ගෞරවනීයව හා සාමකාමීව තබාගන්න.—යාකො. 3:18. *

අවදිව සිටිමින්, සූදානම් බව පෙන්වන්න

18, 19. යේසුස් විනිශ්චය කිරීමට ඉක්මනින්ම පැමිණෙන බව දැන සිටීම ඔබටත් ඔබේ පවුලේ අයටත් බලපෑ යුත්තේ කෙසේද?

18 වර්ෂ 1914 සිට දිනෙන් දින පිරිහෙන ලෝක තත්වයෙන් පැහැදිලි වෙන්නේ සාතන්ගේ දුෂ්ට ලෝකය අවසාන වීමට ආසන්න බවයි. අද අප ජීවත් වෙන්නේ හර්–මගෙදොන් යුද්ධය පෙනෙන මානයකයි කියා පැවසිය හැකියි. ඉතා ඉක්මනින් යේසුස් දුෂ්ට මිනිසුන් මත දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පැමිණෙනවා. (ගීතා. 37:10; හිතෝ. 2:21, 22) එය දැන සිටීම ඔබට සහ පවුලේ අයට සූදානමින් සිටින්න පෙලඹීමක් ඇති වෙන්නේ නැද්ද!

19 ‘ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තබාගන්න’ කියා යේසුස් දුන් උපදෙස ඔබ පිළිපදිනවාද? මිනිසුන් ධන සම්පත්, බලය, කීර්තිය පසුපස ලුහුබැන්දත් ඔබේ පවුලේ අය දෙවිට ළං විය හැකි ඉලක්ක ලුහුබඳිනවාද? පවුලේ නමස්කාරය හෝ පෞද්ගලික අධ්‍යයනය සඳහා ඇති කළ සැලැස්මෙන් ඔබ ප්‍රයෝජන ගන්නවාද? එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම නිසා යෙහෝවා දෙවිට හා පවුලේ අයට ළං වීමට හැකි වී තිබෙනවාද? කලින් ලිපියේ සාකච්ඡා කළ පරිදි ස්වාමිපුරුෂයා, භාර්යාව හා දරුවන් ලෙස ඔබට යෙහෝවා දෙවි දී ඇති වගකීම් ඉටු කරමින් මුළු පවුලටම ‘අවදිව සිටින්න’ ඔබ උපකාර කරනවාද? (1 තෙස. 5:6) එසේ කරනවා නම් යේසුස් විනිශ්චය කිරීමට පැමිණෙන විට ඔබ ‘සූදානම්ව සිටින’ බව පැවසිය හැකියි.

[පාදසටහන]

^ 17 ඡේ. අධ්‍යයනය කළ හැකි විෂයන් ගැන තොරතුරු දැනගන්නත් සියලුදෙනාටම ගැළපෙන සහ සතුටක් ලැබෙන ආකාරයෙන් පවුලේ නමස්කාරය කරන ආකාරය ගැන දැනගන්නත් 2009 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 29-31 පිටු බලන්න.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• පහත සඳහන් දේවල් ක්‍රිස්තියානි පවුල්වලට ‘සූදානම්ව සිටීමට’ උපකාරවත් වන ආකාරය විස්තර කරන්න.

‘ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි තබාගැනීම’

ඉලක්ක තබා එය අත් කරගැනීම

පවුලේ නමස්කාරය දිගටම කිරීම

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

‘ඇස වෙනතකට යොමු නොකර තබාගැනීමෙන්’ දුෂ්ට ලෝකයෙන් ඉදිරිපත් කරන දේවලින් ආරක්ෂා විය හැකියි