Skip to content

පටුනට යන්න

“ප්‍රේමණීය එඬේරෙක් සහ හිතාදර මිත්‍රයෙක්”

“ප්‍රේමණීය එඬේරෙක් සහ හිතාදර මිත්‍රයෙක්”

“ප්‍රේමණීය එඬේරෙක් සහ හිතාදර මිත්‍රයෙක්”

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෝන් බාර් 2010 දෙසැම්බර් 4වන සෙනසුරාදා උදෑසන සිය භූමික ජීවිතය අවසන් කළා. ඒ වන විට ඔහුට වයස අවුරුදු 97යි. බොහෝදෙනා ඔහුව හැඳින්වූයේ “ප්‍රේමණීය එඬේරෙක් සහ හිතාදර මිත්‍රයෙක්” ලෙසයි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩින් නගරයේ උපන් සහෝදර බාර් දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයායි. ඔහුගේ දෙමාපියන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. ඔවුන් යටතේ හැදී වැඩුණු කාලය ඔහු නිතරම සිහිපත් කළේ හරිම සතුටින්. තම දෙමාපියන් තැබූ කදිම ආදර්ශය ගැන ඔහු ඔවුන්ට බොහෝ සෙයින් කෘතඥපූර්වක වෙනවා.

ඔහු යෞවන කාලයේදී ඉතා ලැජ්ජාශීලී කෙනෙක්. ඒ නිසා නාඳුනන අය සමඟ කතා කිරීම ඔහුට ලොකු අභියෝගයක් වුණා. කෙසේවෙතත් ඔහු ඉන් ගොඩ ඒමට ලොකු වෑයමක් දැරුවා. පියා සමඟ ගෙයින් ගෙට සේවයේ යෑමට තමා සූදානම් බව එක් ඉරුදින සවසක ඔහු තම පියාට පැවසුවා. ඒ 1927දීයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 14යි. එලෙස ආරම්භ කළ ඔහුගේ සේවය ඔහු මිය යන තුරුම උද්‍යෝගයෙන් කළා.

ඔහුගේ මව දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. එම සිදුවීම ජීවිතයේ අරමුණ ගැන බැරෑරුම්ව සිතන්න ඔහුව පෙලඹුවා. වර්ෂ 1929දී ඔහු යෙහෝවා දෙවිට තම ජීවිතය කැප කළා. ඉන්පසු ඔහුට ලැබුණ මුල්ම අවස්ථාවේදී එනම් 1934දී ඔහු බව්තීස්මයෙන් එය සංකේතවත් කළා. වර්ෂ 1939දී ඔහු ලන්ඩන් බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වුණා. ඔහු එදා පටන් වසර 71ක කාලයක් පුරා පූර්ණකාලීන සේවයේ යෙදුණා.

වසර ගණනාවක් පුරා පුරෝගාමි හා මිෂනාරි සේවයේ යෙදුණ මිල්රඩ් විලට් සමඟ 1960 ඔක්තෝබර් 29වන දින ඔහු යුග දිවියට පා තැබුවා. සහෝදර බාර් එම බැඳීම හැඳින්වූයේ “ඉතා වටිනා සබඳතාවක්” ලෙසයි. ඔවුන් දෙදෙනා ආදර්ශවත් හා එකිනෙකාට ළැදි යුවළක් ලෙස අන් අය අතරේ ප්‍රසිද්ධයි. සෑම දවසකම ඔවුන් දෙදෙනා එක්ව බයිබලයෙන් කොටසක් කියවීමට අමතක කළේ නැහැ. මිල්රඩ් 2004 ඔක්තෝබර් මාසයේදී සිය භූමික ජීවිතය අවසන් කළා. ඒ වන තුරුම ඔවුන් දෙදෙනාගේ බැඳීම එලෙසම පැවතුණා.

ඔහුව හඳුනන කෙනෙකුට ඔහුගේ නම කියූ පමණින්ම මතකයට නැඟෙන්නේ ඉතා සමබර, කාරුණික හා බයිබලය මත පදනම් උපදෙස් දෙන කෙනෙකු ලෙසයි. ඔහු ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ, අන් අය ගැන සැලකිලිමත් ප්‍රේමණීය එඬේරෙක්. ඒ වගේම විශ්වාසවන්ත මිත්‍රයෙක්. ඔහු දැක්වූ අදහස්, ඔහුගේ කතා සහ යාච්ඤාවලින් දේවවචනය ගැන ඔහුට මොන තරම් අගයක් හා දෙවි සමඟ මොන තරම් කිට්ටු මිත්‍රත්වක් තිබුණාද කියා පැහැදිලි වෙනවා.

සහෝදර බාර් අප අතරින් වෙන් වීම ගැන අපට දුකක් දැනුණද ඔහු බලාපොරොත්තු වූ ත්‍යාගය එනම් අමරණීය ජීවිතය ඔහුට ලැබීම ගැන අප සතුටු වෙනවා. ඔහු එම වරප්‍රසාදය ගැන නිතර නිතර කතා කළ අතර ඔහුගේ එකම බලාපොරොත්තුව වුණේද එයයි.—1 කොරි. 15:53, 54. *

[පාදසටහන]

^ 8 ඡේ. සහෝදර ජෝන් බාර්ගේ ජීවිත කතාව ගැන දැනගැනීමට 1988 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 27-32 පිටු බලන්න.