Skip to content

පටුනට යන්න

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ සතුටක් ලබනවාද?

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ සතුටක් ලබනවාද?

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ සතුටක් ලබනවාද?

“මම බයිබලය කියවන්න පටන්ගත්ත අලුත මට ඒකෙන් සතුටක් දැනුණේ නැහැ. කියවන දේවල් මට හරියට තේරුණේ නැති නිසා මගේ මනස තිබුණේ වෙන තැනක” කියා ලෝරේන් පවසනවා.

වෙනත් අයද පවසන්නේ ඔවුන් බයිබලය කියවන්න පටන්ගත් කාලයේදී ඉන් සතුටක් නොලැබූ බවයි. ඒ වුණත් ශුද්ධ ලියවිල්ල කියවීම කළ යුතු අත්‍යවශ්‍යම දෙයක් බව තේරුම්ගෙන සිටි නිසා ඔවුන් එය දිගටම කරගෙන ගියා. මාක් මෙවැනි දෙයක් පවසනවා. “බයිබලය කියවද්දී හා පෞද්ගලික අධ්‍යයනය කරද්දී පහසුවෙන්ම ඒවාට බාධා ඇති වෙනවා. ඒ නිසා හැමදාම බයිබලය කියවීම මගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් කරගන්න මට ලොකු වෑයමක් දරන්න වුණා. ඒ විතරක් නෙවෙයි මට ඒ ගැන ගොඩක් යාච්ඤා කරන්නත් සිදු වුණා.”

දේවවචනය ගැන අගයක් ඇති කරගන්න ඔබට කුමක් කළ හැකිද? දේවවචනය කියවීමෙන් සතුටක් ලබන්න ඔබට පුළුවන් කොහොමද? පහත සඳහන් යෝජනා සලකා බලන්න.

ඉලක්ක සහ කළ හැකි ආකාර

බයිබලය කියවීමට පෙර යාච්ඤා කරන්න, හොඳ අවධානයකින් කියවන්න. දෙවිගේ වචනය කියවන්න ඔබ තුළ ආශාවක් ඇති කරන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්න. දෙවිගේ ප්‍රඥාව තේරුම්ගැනීමට ඔබේ මනස සහ හදවත විවෘත කරන්න කියා දෙවිට කන්නලව් කරන්න. (ගීතා. 119:34) එසේ නොකර බයිබලය අධ්‍යයනය කළොත් ඉක්මනින්ම එය ඒකාකාරී දෙයක් බවට පත් වෙන අතර දිගටම කිරීමට තිබෙන ආශාවද නැති වී යා හැකියි. ලින් ඒ ගැන මෙසේ පවසනවා. “සමහර වෙලාවට මම ඉක්මනින් කියවන නිසා අමතර කරුණු මට අතපසු වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ප්‍රධාන අදහස් මට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැරි වෙනවා. ඒ නිසා මගේ මනස එහේ මෙහේ දුවන එක නවත්වාගන්න මට උපකාර කරන්න කියා මම යාච්ඤා කළා.”

ඉගෙනගන්නා තොරතුරුවල වටිනාකම අගය කරන්න. බයිබලයේ සඳහන් සත්‍යයන් අවබෝධ කරගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීම ජීවනයට මඟ පාදන බව මතක තබාගන්න. ඒ නිසා අදාළ කරගත හැකි තොරතුරු සොයාගන්න අවංක වෑයමක් දරා එම තොරතුරු අදාළ කරගන්න. ක්‍රිස් කරන දේ ඔහු මෙසේ පවසනවා. “බයිබලය කියවද්දී, මට තියෙන වැරදි සිතුවිලි හා ආකල්ප හඳුනාගන්න මම උත්සාහ කරනවා. මට පෞද්ගලිකව අදාළ වෙන තොරතුරු බයිබලයේ සහ අපගේ ප්‍රකාශනවල දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා. ඒවා ලියපු අය මාව කවදාවත් දැකලා නැති වුණත් මට අදාළ වෙන තොරතුරු ඒවායේ තියෙනවා.”

අත් කරගත හැකි ඉලක්ක තබාගන්න. බයිබලයේ සඳහන් චරිත ගැන අලුත් යමක් ඉගෙනගන්න උත්සාහ කරන්න. ඒ චරිත ගැන බොහෝ තොරතුරු අපගේ ප්‍රකාශනවලින් සොයාගත හැකියි. බයිබලයේ සඳහන් ස්ත්‍රීන් හා පුරුෂයන් අප හා සමාන හැඟීම් තිබෙන සැබෑ පුද්ගලයන් බව ඔබට අවබෝධ වෙද්දී ඔවුන්ගෙන් ඔබට බොහෝ දේවල් ඉගෙනගත හැකියි.

ශුද්ධ ලියවිලි පද ගැන විවිධ පැතිවලින් තර්කානුකූලව සිතන්න උත්සාහ කරන්න. (ක්‍රියා 17:2, 3) ඒ ඉලක්කය ඇතුව අධ්‍යයනය කළ සොෆියා ඒ ගැන මෙසේ පවසනවා. “මට දේවසේවයේ හා වෙනත් අවස්ථාවලදී හමු වෙන අයට බයිබලයේ තියෙන දේවල් තේරෙන ආකාරයට කියල දෙන්න මම අලුත් පැතිවලින් තර්කානුකූලව හිතන්න ඉලක්ක කරගෙන ඉන්නවා. මුරටැඹ සඟරාවල කරුණු තර්කානුකූලව ගොඩනඟා තියෙන ආකාරය ඒක කරන්න මට ලොකු උදව්වක්.”—2 තිමෝ. 2:15.

බයිබලයේ සඳහන් සිදුවීම් සිතින් මවාගන්න. හෙබ්‍රෙව් 4:12හි පවසන්නේ ‘දෙවිගේ වදන් ජීවමානයි’ කියායි. ඔබ බයිබලය කියවද්දී එම කොටසේ සිටින පුද්ගලයන් දකින දේවල්, ඔවුන්ට ඇසුණු දේවල් හා ඔවුන්ට හැඟුණු ආකාරය ඔබත් සිතින් මවාගන්න. ඔවුන් මුහුණ දුන් සමහර තත්වයන් හා ඔබ මුහුණ දෙන තත්වයන් අතර තිබෙන සමානකම් ගැන හිතන්න. ඔවුන් එම තත්වය හසුරවපු ආකාරයෙන් යමක් ඉගෙනගන්න. එසේ කිරීමෙන් බයිබලයේ සඳහන් වාර්තා ගැන ඔබගේ අවබෝධය වැඩි වන අතර ඒවා මතක තබාගන්නත් ඔබට හැකි වෙනවා.

තේරුම්ගැනීමට අපහසු බයිබල් පද අපගේ ප්‍රකාශනවල පැහැදිලි කර තිබෙන ආකාරය අවබෝධ කරගන්න කාලය ගන්න. අධ්‍යයනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ගන්න. සමහරවිට වැඩිදුර පර්යේෂණ කිරීමට අවශ්‍ය විය හැකි වැදගත් ප්‍රශ්න ඔබට සම්බ විය හැකියි. නුහුරු වචන සහ පාදසටහන් ගැන සැලකිලිමත් වෙන්න. බයිබලයේ ඇති යොමු දැක්වීම් පරීක්ෂා කරන්න. බයිබලයෙන් කියවන දේවල් ඔබ අවබෝධ කරගන්නා තරමට හා අදාළ කරගන්නා තරමට දෙවිගේ වචනයෙන් ඔබ ලබන සතුටද වැඩි වෙනවා. එවිට ගීතිකාකරු මෙන් ඔබටත් මෙසේ පැවසීමට හැකියි. “[යෙහෝවා දෙවිගේ] සිහිගැන්වීම් මාගේ උරුමය ලෙස මම සදහටම තබාගන්නෙමි. මන්ද ඒවා මාගේ සිතට සතුටක් ගෙන දෙන්නේය.”—ගීතා. 119:111.

ඉක්මනින්ම ඉවර කිරීමේ අරමුණින් අධ්‍යයනය කරන්න එපා. පෞද්ගලික අධ්‍යයනය සඳහා සාධාරණ කාලයක් වෙන් කරන්න. සභා රැස්වීම් සඳහා සූදානම් වීමටද කාලය වෙන් කරන්න අමතක කරන්න එපා. රාකෙල් මෙසේ පවසනවා. “වැඩි වෙලාවක් අධ්‍යයනය කරන විට මගේ අවධානය කැඩෙන නිසා නිතර නිතර කෙටි වෙලාවක් අධ්‍යයනය කරන එක ප්‍රයෝජනවත් කියලා මම තේරුම්ගත්තා. දැන් මම අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.” කලින් සඳහන් කළ ක්‍රිස් මෙසේ පවසනවා. “මම ඉක්මනින් අධ්‍යයනය කරලා ඉවර කළොත් මට ලැබෙන්නේ ප්‍රයෝජන ටිකක් නිසා මගේ හෘදය සාක්ෂිය මට වධ දෙනවා. ඒ වගේම ඒවා මගේ හිතට කාවදින්නෙත් නැහැ.” ඒ නිසා අධ්‍යයනය සඳහා සාධාරණ කාලයක් වෙන් කරන්න.

දෙවිගේ වචනය ඉගෙනගන්න ආශාවක් ඇති කරගන්න. “අලුත උපන් ළදරුවන් කිරිවලට මහත් ආශාවක් දක්වන්නා සේ පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න. එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත” කියා පේතෘස් පැවසුවා. (1 පේතෘ. 2:2) ළදරුවන්ට කිරි සඳහා ආශාවක් ඇති කරගැනීමට අවශ්‍ය නැහැ. ඒ ආශාව ඇති වෙන්නේ ස්වාභාවිකවමයි. නමුත් දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම සඳහා ආශාවක් අප වර්ධනය කරගත යුතුයි කියා බයිබලයේ පවසනවා. ඔබ දිනකට බයිබලයෙන් එක පිටුවක් කියවනවා නම් දිගටම එසේ කිරීමට ආශාවක් ඔබ තුළ ඉක්මනින්ම ඇති වෙනවා. මුලදී අමාරුයි කියා හැඟුණත් පසුව ඔබ ඉන් විශාල සතුටක් ලබන බව ස්ථිරයි.

කියවූ කොටස ගැන ගැඹුරින් කල්පනා කරන්න. කියවූ කොටස ගැන ඔබ ගැඹුරින් කල්පනා කරනවා නම් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එසේ කිරීමෙන් ඔබ සොයාගත් තොරතුරු එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඔබට අවබෝධ කරගත හැකියි. එවිට දෙවි ගැනත් බයිබලය ගැනත් පුළුල් අවබෝධයක් ඔබට ලැබෙනවා. එය ඔබට වටිනා උරුමයක් හා සමානයි.—ගීතා. 19:14; හිතෝ. 3:3.

වැය කරන කාලය වටිනවා

අධ්‍යයනය කිරීමේ පුරුද්දට ඇලී සිටීමට වෑයම අවශ්‍ය වුණත් ඉන් ලැබෙන ප්‍රයෝජන කියා නිම කළ නොහැකියි. එක් ප්‍රයෝජනයක් නම් බයිබලයේ තිබෙන දේවල් ගැන ඔබ සතු අවබෝධය තවත් වැඩි වීමයි. (හෙබ්‍රෙ. 5:12-14) එමෙන්ම ඔබට ලැබෙන අවබෝධය හා ප්‍රඥාව නිසා සන්තෝෂය හා සාමය අද්දකින්න ඔබට හැකි වෙනවා. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රඥාව තේරුම්ගෙන, ඒවා අදාළ කරගන්නා අයට ජීවනය ලැබෙනවා.—හිතෝ. 3:13-18.

බයිබලය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් කාරණා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වෙනවා. (හිතෝ. 15:14) ඔබ උපදෙස් ලබා දෙන විට ඒවා බයිබලය මත පදනම්ව දෙන්න එවිට ඔබට හැකි වෙනවා. බයිබලය හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දී ඇති ප්‍රකාශනවල තිබෙන තොරතුරු පදනම් කරගෙන ඔබ තීරණ ගන්නවා නම් බයිබලයේ ඇති දේ අදාළ කරගැනීමෙන් මොන තරම් ප්‍රබෝධයක් හා කල් පවතින ප්‍රයෝජන ලැබෙනවාද කියා ඔබ අද්දකීවි. (මතෙ. 24:45) එමෙන්ම ඔබ ශුභවාදීව සිතන්න පුරුදු වේවි. ඔබේ සිතුවිලි, කතාව හා ක්‍රියා, දෙවිගේ වචනයට අනුව හැඩගසා ගැනීමට ඔබට හැකි වෙයි. දෙවි සමඟ තිබෙන ඔබගේ මිත්‍රත්වයත් වඩාත් ශක්තිමත් වෙයි.—ගීතා. 1:2, 3.

දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කරන විට දෙවි ගැන අන් අයට කියා දෙන්න ඔබ පෙලඹෙනවා. ඉන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. කලින් සඳහන් කළ සොෆියා, බයිබල් පද මතක තබාගන්නත් විවිධ බයිබල් පද ජනයාට පෙන්වන්නත් උනන්දු වෙනවා. එමගින් දේවසේවයේදී ඇයට හමු වෙන අයගේ අවධානය ලබාගැනීමට හා ඇගේ දේවසේවය සාර්ථක එකක් කරගැනීමට ඇයට හැකි වී තිබෙනවා. “දේවවචනයට මිනිසුන් දක්වන ප්‍රතිචාරය දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා” කියා ඇය පවසනවා.

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන වැදගත් ප්‍රයෝජනයක් වන්නේ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් වීමයි. ඒ නිසා එය සතුටින් කිරීම වැදගත්. බයිබලය අධ්‍යයනය කිරීමෙන් දෙවිගේ ප්‍රමිති ගැන අවබෝධ කරගන්නත් ප්‍රේමය, ත්‍යාගශීලීකම හා යුක්තිය වැනි ගතිලක්ෂණ අගය කරන්නත් ඔබ පෙලඹෙනවා. ඊට වඩා වැදගත් හෝ ප්‍රයෝජනදායක වෙන කිසිම දෙයක් තිබෙනවාද! දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම ඔබේ ජීවිතයේ වැදගත් දේ කරගන්න. ඒ සඳහා වැය කරන කාලය බොහෝ සේ වටිනවා.—ගීතා. 19:7-11.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බයිබලය කියවීම සඳහා ඉලක්ක සහ කළ හැකි ආකාර

▪ බයිබලය කියවීමට පෙර යාච්ඤා කරන්න, හොඳ අවධානයකින් කියවන්න.

▪ ඉගෙනගන්නා තොරතුරුවල වටිනාකම අගය කරන්න.

▪ අත් කරගත හැකි ඉලක්ක තබාගන්න.

▪ ශුද්ධ ලියවිලි පද ගැන විවිධ පැතිවලින් තර්කානුකූලව සිතන්න උත්සාහ කරන්න.

▪ බයිබලයේ සඳහන් සිදුවීම් සිතින් මවාගන්න.

▪ තේරුම්ගැනීමට අපහසු බයිබල් පද අපගේ ප්‍රකාශනවල පැහැදිලි කර තිබෙන ආකාරය අවබෝධ කරගන්න කාලය ගන්න.

▪ ඉක්මනින්ම ඉවර කිරීමේ අරමුණින් අධ්‍යයනය කරන්න එපා.

▪ දෙවිගේ වචනය ඉගෙනගන්න ආශාවක් ඇති කරගන්න.

▪ කියවූ කොටස ගැන ගැඹුරින් කල්පනා කරන්න.

[4වන පිටුවේ පින්තූරය]

බයිබලය කියවද්දී එහි සිටින පුද්ගලයන් මුහුණ දුන්නා හා සමාන තත්වයන්ට ඔබ මුහුණ දෙන ආකාරය සිතින් මවාගන්න