Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය නිසැකකමක් ලබා දෙයි

යෙහෝවා දෙවි කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය නිසැකකමක් ලබා දෙයි

යෙහෝවා දෙවි කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය නිසැකකමක් ලබා දෙයි

“මා යෙහෝවා දෙවිට හඬගසන විට ඔහු සවන් දෙන්නේය.”—ගීතා. 4:3.

1, 2. (අ) දාවිත් මුහුණ දුන් අසීරු තත්වය කුමක්ද? (ආ) අප සලකා බලන ගීතිකා දෙක කුමක්ද?

දාවිත් රජු වසර ගණනාවක් ඊශ්‍රායෙලය පාලනය කළා. කෙසේවෙතත් ඔහුට අසීරු තත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. ඔහුගේ පුත්‍රයෙක් වන අබ්සලොම් කපටි ලෙස ක්‍රියා කරමින් තමා රජ බව ප්‍රකාශයට පත් කළා. ඒ නිසා දාවිත්ට යෙරුසලමෙන් පලා යෑමට සිදු වුණා. ඔහු මිතුරන් කිහිපදෙනෙක් සමඟ හඬමින් පාවහන් නොමැතිව ඔලීව කන්දට ගියා. ඔහුගේ විශ්වාසවන්ත මිත්‍රයෙක්ද ඔහුට ද්‍රෝහි වුණා. ඒ විතරක් නොවෙයි සාවුල් රජුගේ පවුලට අයිති කෙනෙක් වූ ෂිමෙයි දාවිත්ට අපහාස කරමින් ඔහුට ගල් ගැසුවා.—2 සාමු. 15:30, 31; 16:5-14.

2 මේ සියලු කරදර නිසා ජීවිතය එපා වන තරමට දාවිත් කලකිරුණාද? නැහැ. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහු කලකිරුණේ නැහැ. දාවිත් රචනා කළ තුන්වෙනි ගීතිකාවෙන් ඒ බව පැහැදිලි වෙනවා. අබ්සලොම් නිසා පලා යෑමට සිදු වූ අවස්ථාවේදී ඇති වූ හැඟීම් ගැන ඔහු එහිදී රචනා කළා. හතරවෙනි ගීතිකාව රචනා කළේද දාවිත් විසින්මයි. මෙම ගීතිකා දෙකෙන්ම පැහැදිලි වෙන්නේ දෙවි යාච්ඤාවලට සවන් දී ඒවාට පිළිතුරු දෙන බවට ඔහු තුළ තිබූ නිසැකකමයි. (ගීතා. 3:4; 4:3) දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ටද දිවා රෑ අවශ්‍ය උපකාරය, රැකවරණය හා සැනසීම ලබා දෙමින් ආශීර්වාද කරන බවට නිසැකකමක් අප තුළත් ඇති කරනවා. (ගීතා. 3:5; 4:8) දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති කරගැනීමට හා නිසැකකමින් යුතුව ක්‍රියා කිරීමට මෙම ගීතිකා දෙක අපට උපකාරවත් වන ආකාරය සලකා බලමු.

බොහෝදෙනෙක් ‘අපට විරුද්ධව නැඟී සිටින’ විට

3. ගීතාවලිය 3:1, 2හි සඳහන් ආකාරයට දාවිත් මුහුණ දුන්නේ කුමන තත්වයකටද?

3 “ඊශ්‍රායෙල්වරු අබ්සලොම්ගේ පැත්තට ගිහින්” කියා පණිවිඩකරුවෙක් දාවිත්ට පැවසුවා. (2 සාමු. 15:13) අබ්සලොම් ඔහුගේ පැත්තට බොහෝදෙනෙක්ව හරවාගත්තේ කෙසේද කියා සිතමින් දාවිත් දෙවිගෙන් මෙසේ ඇසුවා. “යෙහෝවා දෙවියනි, බොහෝදෙනෙක් මට විරුද්ධව ක්‍රියා කරන්නේ මන්ද? මෙපමණදෙනෙක් මට විරුද්ධව නැඟී සිටින්නේ මන්ද? ‘දෙවි ඔහුව ගලවාගන්නේ නැහැ’ කියා බොහෝදෙනෙක් මා ගැන පවසති.” (ගීතා. 3:1, 2) බොහෝ ඊශ්‍රායෙල්වරුන් සිතුවේ අබ්සලොම් සහ ඔහුගේ මිතුරන් අතින් යෙහෝවා දෙවි දාවිත්ව ගලවා නොගන්නා බවයි.

4, 5. (අ) දාවිත්ට තිබූ නිසැකකම කුමක්ද? (ආ) “මා උසස් කරන තැනැත්තාණන් ඔබය” කියා දාවිත් පැවසූ විට ඉන් අදහස් කළේ කුමක්ද?

4 කෙසේවෙතත් දාවිත්ට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ නිසැකකමක් තිබුණු බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “යෙහෝවා දෙවියනි, ඔබ මට පලිහක් මෙනි. මාගේ ගෞරවය ඔබය. මා උසස් කරන තැනැත්තාණන් ඔබය.” (ගීතා. 3:3) යුධ භටයෙකුට පලිහකින් ආරක්ෂාවක් ලැබෙනවා හා සමානව දෙවි ඔහුට ආරක්ෂාව සපයන බව දාවිත්ට නිසැකකමක් තිබුණා. තමන්ට පලා යන්න සිදු වීමෙන් ඇති වූ ලැජ්ජාව නිසා මහලු දාවිත් ගමන් කළේ හිස වසාගෙන හා බිම බලාගෙනයි. නමුත් දෙවි ඔහුව ගෞරවනීය තත්වයකට පත් කළා. දාවිත් යෙහෝවා දෙවිට යාච්ඤා කළේ දෙවි පිළිතුරු දෙන බවට වූ නිසැකකම ඇතුවයි. ඔබටත් දෙවි ගැන එවැනි නිසැකකමක් තිබෙනවාද?

5 “මා උසස් කරන තැනැත්තාණන් ඔබය” කියා දාවිත් පැවසූ විට තමා බලාපොරොත්තු වන උපකාරය දෙවිගෙන් ලැබෙන බවට විශ්වාසයක් ඔහුට තිබුණු බව ඉන් පැහැදිලි වෙනවා. කෙනෙකුව දෙවි උසස් කරනවා කියද්දී, ඔහුට බලාපොරොත්තුවක් හා නිසැකකමක් ලබා දෙනවා යන අදහසද ඇතුළත් වෙනවා. රජකමෙන් ඉවත් කළ නිසා දාවිත් කලකිරුණත් දෙවි ඔහුව උසස් කළ විට නැවතත් ඔහුට ශක්තියක් ලැබුණා. එමෙන්ම දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසයද තව තවත් වැඩි වුණා.

‘යෙහෝවා දෙවි මට පිළිතුරු දෙන්නේය’

6. යෙහෝවා දෙවි ශුද්ධ කන්දේ සිට ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දෙන බව දාවිත් පැවසුවේ ඇයි?

6 දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් දාවිත්ට තිබුණු නිසා ඔහු නිසැකකමින් මෙසේ පැවසුවා.“මම හඬ නඟා යෙහෝවා දෙවිට කතා කරන්නෙමි. ඔහු තම ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන්නේය.” (ගීතා. 3:4) ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය දාවිත් රජු සිටින ස්ථානයට රැගෙන ආවා. නමුත් එය නැවත සියොන් කන්දට රැගෙන යන්න කියා දාවිත් අණ කළා. (2 සාමුවෙල් 15:23-25 කියවන්න.) ඊට හේතුව යෙහෝවා දෙවි ශුද්ධ කන්දේ සිට ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දෙන බව දාවිත් දැන සිටි නිසයි.

7. දාවිත්ට කිසි භයක් නොදැනුණේ ඇයි?

7 දෙවිට කරන යාච්ඤා නිෂ්ඵල නොවන බව දාවිත් දැන සිටියා. ඒ නිසා ඔහුට භයක් දැනුණේ නැහැ. ඔහු මෙසේ ගායනා කළා. “මම සුවෙන් නිදාගන්නෙමි. නිසැකවම මම නැවත අවදි වන්නෙමි. මන්ද යෙහෝවා දෙවි මාව රැකබලා ගන්නේය.” (ගීතා. 3:5) හදිසි ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩකඩක් තිබුණේ රාත්‍රියේදී වුණත් දාවිත්ට කිසි භයක් නැතුව නිදාගැනීමට හැකි වුණේ ඔහු අනිවාර්යයෙන්ම අවදි වන බව දැන සිටි නිසයි. ඊට හේතුව මීට කලින්ද දෙවිගේ උපකාරය ඔහු අද්දැක තිබුණ නිසා මේ අවස්ථාවේදීත් දෙවිගේ උපකාරය තමාට ලැබෙන බව දාවිත්ට නිසැකකමක් තිබීමයි. අප දෙවිගෙන් ඈත් නොවී ‘ඔහුගේ මාර්ගයේ’ ගමන් කරනවා නම් අපටත් ඒ හා සමාන නිසැකකමක් තබාගන්න පුළුවන්.2 සාමුවෙල් 22:21, 22 කියවන්න.

8. දාවිත්, යෙහෝවා දෙවිව විශ්වාස කළ බව ගීතාවලිය 27:1-4හි සඳහන් දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද?

8 දෙවි කෙරෙහි දාවිත්ට තිබූ විශ්වාසය ඔහු රචනා කළ තවත් ගීතිකාවකින් පැහැදිලි වෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවි මාගේ ආලෝකයය. මාගේ ගැලවීමය. මම කිසිවෙකුටවත් භය නැත. යෙහෝවා දෙවි මාගේ බලකොටුවය. මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත. සේනාවක් මට විරුද්ධව පැමිණ කඳවුරු බැඳගත්තත් මාගේ සිතට බියක් දැනෙන්නේ නැත. මා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ දේ ලබාගැනීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි. ඒ මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්න ලැබීමය. එවිට මම යෙහෝවා දෙවිගේ යහපත දිනෙන් දින දකින්නෙමි. ඔහුගේ මාලිගාව දෙස මහත් අගයකින් බලන්නෙමි.’ (ගීතා. 27:1-4) ඔබටත් ඒ හා සමාන හැඟීම් තිබෙනවා නම් හා ඔබගේ තත්වයන් ඉඩ දෙනවා නම් දෙවිට නමස්කාර කරන අය සමඟ ඔබත් නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන බව නිසැකයි.—හෙබ්‍රෙ. 10:23-25.

9, 10. බැලූ බැල්මට ගීතාවලිය 3:6, 7හි සඳහන් දෙයින් දාවිත් තුළ පළිගැනීමේ චේතනාවක් තිබූ බව සිතිය හැකි වුණත් ඔහුට එවැනි චේතනාවක් නොතිබූ බව ඔබ පවසන්නේ ඇයි?

9 අබ්සලොම්, දාවිත්ට විරුද්ධව කපටි ලෙස ක්‍රියා කළා. ඔහු ළඟම සිටි අය ඔහුට ද්‍රෝහි වුණා. ඒ වුණත් ඔහු මෙසේ ගායනා කළා. “මාගේ විරුද්ධකාරයන් දසදහසක් මා වැටලුවත් මම බිය නොවන්නෙමි. යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න! මාගේ දෙවියනි, මාව බේරාගන්න! මාගේ සියලු සතුරන්ගේ කම්මුලට පහර දෙන්න. දුෂ්ටයන්ගේ දත් බිඳ දමන්න.”ගීතා. 3:6, 7.

10 දාවිත් පළිගන්න උත්සාහ කළේ නැහැ. ඔහු එම කාරණය යෙහෝවා දෙවිට භාර දුන්නා. “මාගේ සියලු සතුරන්ගේ කම්මුලට පහර දෙන්න” කියා දාවිත් යෙහෝවා දෙවිට පැවසීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවිගේ ව්‍යවස්ථාව ඔහු පිටපත් කර තිබූ නිසා “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි” කියා යෙහෝවා දෙවි එහි පැවසූ වදන් ඔහු දැන සිටියා. (ද්වි. 17:14, 15, 18; 32:35) “දුෂ්ටයන්ගේ දත් බිඳ දමන්න” කියා දාවිත් පැවසුවා. ඉන් අදහස් කරන්නේ අන් අයට හානි කිරීමට ඔහුගේ සතුරන්ට තිබෙන බලය නැති කර දමන්න කියායි. ‘සිතේ තිබෙන දේ දකින්න’ දෙවිට හැකි නිසා දුෂ්ටයන් කවුද කියා දෙවි දන්නවා. (1 සාමු. 16:7) අපගේ ප්‍රධාන සතුරා වන සාතන්ට විරුද්ධ වීමටත් දෙවිට විශ්වාසවන්තව සිටීමටත් අවශ්‍ය ශක්තිය දෙවි ලබා දීම ගැන අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! ඉතා ළඟදීම සාතන්ව දත් නැති සිංහයෙකුගේ තත්වයට පත් කර විනාශ කිරීමට නියමිතයි.—1 පේතෘ. 5:8, 9; එළි. 20:1, 2, 7-10.

“ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්”

11. අපි සෙසු නමස්කාරකයන් වෙනුවෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?

11 තමාව දුක්ඛිත තත්වයෙන් ගලවාගැනීමට හැකි එකම තැනැත්තා යෙහෝවා දෙවි බව දාවිත් තේරුම්ගත්තා. නමුත් ඔහු සිතුවේ ඔහු ගැන පමණක් නොවෙයි. ඔහු දෙවිගේ සෙනඟ ගැනත් සිතුවා. ඒ නිසා ඔහු එම ගීතිකාව මෙසේ අවසන් කළා. “ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය. ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.” (ගීතා. 3:8) දාවිත්ට ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණත් දෙවිගේ සෙනඟව ඔහු අමතක කළේ නැහැ. දෙවි තම සෙනඟට ආශීර්වාද කරන බවට ඔහු තුළ ලොකු නිසැකකමක් තිබුණා. අපත් නිතරම අපගේ සහෝදර සහෝදරියන්ව මනසේ තබාගත යුතු නැද්ද! ධෛර්යය උපදවාගෙන නිසැකකමින් යුතුව ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔවුන්ට දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන්න අපට පුළුවන්.—එෆී. 6:17-20.

12, 13. අබ්සලොම්ට සිදු වුණේ කුමක්ද? ඒ ගැන දාවිත් ක්‍රියා කළේ කොහොමද?

12 දෙවිගෙන් අභිෂේක ලැබූ දාවිත්ට විරුද්ධව ක්‍රියා කිරීම නිසා අබ්සලොම්ට අත් වුණේ නින්දිත මරණයක්. අන් අයට විරුද්ධව ක්‍රියා කරන සියල්ලන්ට විශේෂයෙන්ම දෙවිගෙන් අභිෂේක ලැබූ අයට අපහාස කරන්නන්ට එය අනතුරු ඇඟවීමක්. (හිතෝපදේශ 3:31-35 කියවන්න.) යුද්ධයකදී අබ්සලොම්ගේ හමුදාව පරාජයට පත් වුණා. ඔහු කොටළුවෙකුගේ පිට නැඟී පලා යන අතරතුරේදී ඔහුගේ හිසකෙස් විශාල ගසක පහතින් තිබූ අත්තක පැටළුණ නිසා ඔහු එම අත්තේ එල්ලී සිටියා. ඔහුට පණ තිබුණත් ඔහු සිටියේ කිසිවක් කරකියාගත නොහැකි තත්වයකයි. යෝවාබ් පැමිණ ඊ ගස් තුනක් ඔහුගේ පපුවට ඇන ඔහුව මරණයට පත් කළා.—2 සාමු. 18:6-17.

13 තම පුත්ගේ මරණය ගැන ආරංචි වූ විට දාවිත් ඒ ගැන සතුටු වුණාද? නැහැ. ඔහුට එය ආරංචි වූ විගස කලබල වී එහෙට මෙහෙට ඇවිදිමින් “අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්. ඔබ වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්” කියා හඬා වැලපුණා. (2 සාමු. 18:24-33) දිගටම ශෝක නොවී සිටින්න ඔහුට උපකාරවත් වුණේ යෝවාබ් පැවසූ වචනයි. අබ්සලොම් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වූ තමාගේ පියාට විරුද්ධව ක්‍රියා කිරීමට පවා පෙලඹුණේ ඔහු ආත්මාර්ථකාමීත්වයෙන් අන්ධව සිටි නිසයි. අවසානයේදී ඔහුට අත් වුණේ මරණයයි.—2 සාමු. 19:1-8; හිතෝ. 12:21; 24:21, 22.

දෙවි කෙරෙහි ඇති විශ්වාසය දාවිත් නැවතත් ප්‍රකාශ කරයි

14. හතරවන ගීතිකාව රචනා කළ හේතුව කුමක් විය හැකිද?

14 තුන්වෙනි ගීතිකාව මෙන් හතරවෙනි ගීතිකාවද දාවිත් දෙවි කෙරෙහි තමාට තිබූ විශ්වාසය ගැන සඳහන් කළ යාච්ඤාවක්. (ගීතා. 3:4; 4:3) අබ්සලොම්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වූ පසු ඒ ගැන දෙවිට ස්තුති කිරීමට හා ඔහුට දැනුණු සහනය ප්‍රකාශ කිරීමට ඔහු එය රචනා කළා විය හැකියි. එසේ නැත්නම් ලෙවී ගායකයන්ට ගායනා කිරීම සඳහා එය රචනා කළා විය හැකියි. කුමන හේතුවකට එය රචනා කළත් එම ගීතිකාව ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් දෙවි කෙරෙහි අපගේ විශ්වාසය ශක්තිමත් කරගත හැකියි.

15. යෙහෝවා දෙවිගේ පුත්‍රයා මාර්ගයෙන් නිසැකකමින් යුතුව ඔහුට යාච්ඤා කරන්න අපට පුළුවන් ඇයි?

15 දෙවි යාච්ඤාවලට සවන් දී ඊට පිළිතුරු දෙන බව දාවිත්ට පුර්ණ විශ්වාසයක් තිබුණු නිසා ඔහු මෙසේ පැවසුවා. “මාගේ ධර්මිෂ්ඨ දෙවියනි, මා ඔබට හඬගසන විට මට පිළිතුරු දෙන්න. විපතින් ගැලවෙන මාර්ගය මට පෙන්වා දෙන්න. මට කරුණාව පෙන්වා මාගේ යාච්ඤාවට සවන් දෙන්න.” (ගීතා. 4:1) අප ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවා නම් අපටත් ඒ වගේ නිසැකකමක් තබාගන්න පුළුවන්. ‘යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ’ නිසා නිර්දෝෂ අයට ආශීර්වාද කරන බව අප දන්නවා. ඒ නිසා ඔහුගේ පුත්‍රයාගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබා නිසැකකමක් ඇතුව ඔහුට යාච්ඤා කරන්න අපට පුළුවන්. (යොහ. 3:16, 36) ඉන් අපට මොන තරම් සමාදානයක් අද්දැකිය හැකිද!

16. දාවිත් අධෛර්යයට පත් වුණා විය හැක්කේ ඇයි?

16 අප අධෛර්යයට පත් වන සමහර අවස්ථාවලදී අපගේ සිතේ තිබෙන සාමය හා සැනසීම අඩු විය හැකියි. දාවිත්ටත් එලෙස හැඟුණා විය හැකියි. ඔහු ඒ ගැන මෙසේ ගායනා කළා. “මනුෂ්‍යයෙනි, ඔබ කොපමණ කාලයක් මට අගෞරව කරන්නහුද? කොපමණ කාලයක් නිෂ්ඵල දේවලට ප්‍රිය වන්නහුද? ඔබ කොපමණ කාලයක් බොරුව පසුපස හඹා යන්නහුද?” (ගීතා. 4:2) “මනුෂ්‍යයෙනි” කියා දාවිත් සඳහන් කරන්නේ දෙවිගේ අනුමැතිය නොමැති අයටයි. එමෙන්ම දාවිත්ගේ සතුරන් “නිෂ්ඵල දේවලට ප්‍රිය” කළ බවත් එහි සඳහන් වෙනවා. එක් බයිබල් පරිවර්තනයක එම යෙදුම සඳහන් කර තිබෙන්නේ මෙලෙසයි. ‘ඔබ කොපමණ කාලයක් බොරුව හා බොරු දෙවිවරුන්ට ප්‍රේම කරන්නහුද?’ (New International Version.) අපත් සමහර අවස්ථාවලදී යම් අය කළ දෙයක් නිසා අධෛර්යයට පත් විය හැකියි. එවැනි අවස්ථාවලදී උනන්දුවෙන් දිගටම යාච්ඤා කර එකම සැබෑ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබාගනිමු.

17. ගීතාවලිය 4:3හි සඳහන් දෙයට එකඟව අපට ක්‍රියා කරන්න පුළුවන් කොහොමද?

17 දෙවි කෙරෙහි දාවිත්ට තිබූ විශ්වාසය මේ වචනවලින් පැහැදිලි වෙනවා. “මෙය දැනගන්න. යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේය. මා යෙහෝවා දෙවිට හඬගසන විට ඔහු සවන් දෙන්නේය.” (ගීතා. 4:3) දෙවිට පක්ෂපාත වීමට නම් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමත් නිර්භීතකමත් අවශ්‍යයි. උදාහරණයකට, පසුතැවිලි නොවූ අපගේ පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ විට දෙවිට පක්ෂපාත වීමට අපට එම ගුණාංග අවශ්‍යයි. දෙවිටත් ඔහුගේ ප්‍රමිතිවලටත් පක්ෂපාත වන අයට දෙවි ආශීර්වාද කරනවා. එමෙන්ම අප පක්ෂපාතව සහ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටිනවා නම් දෙවිගේ සෙනඟ අතර තිබෙන ප්‍රීතිය දිගටම පවත්වාගැනීමට දායක වෙන්න අපට පුළුවන්.—ගීතා. 84:11, 12.

18. කෙනෙක් කළ කී දෙයක් නිසා අපට වේදනාවක් ඇති වුණොත් ගීතාවලිය 4:4හි ඇති අදහසට අනුව අප කුමක් කළ යුතුද?

18 කෙනෙක් කළ කී දෙයක් නිසා අපට වේදනාවක් ඇති වුණොත් කුමක් කළ හැකිද? දාවිත් පැවසූ මේ දේ කරනවා නම් අපගේ ප්‍රීතිය අහිමි කර නොගෙන සිටින්න අපට පුළුවන්. “ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න. කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.” (ගීතා. 4:4) කෙනෙක් අපට අකාරුණිකව කතා කර තිබෙනවා නම් හෝ අකාරුණික ක්‍රියාවක් කර තිබෙනවා නම් එකට එක කරන්න එපා. එසේ කිරීම පාපයක්. (රෝම 12:17-19) ඒ ගැන අපට සිතෙන දේ යාච්ඤාවෙන් දෙවිට පවසන්න පුළුවන්. එවිට ඒ ගැන වෙනස් විදිහට හිතන්නත් ප්‍රේමයෙන් පෙලඹී සමාව දෙන්නත් අපට හැකි වෙයි. (1 පේතෘ. 4:8) පාවුල් කියන දේ සලකා බලන්න. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න.” (එෆී. 4:26, 27) සමහරවිට ඔහු එය පදනම් කරගෙන ඇත්තේ ගීතාවලිය 4:4හි ඇති අදහස මතයි.

19. ගීතාවලිය 4:5ට අනුව අපගේ නමස්කාරය කුමනාකාරයේ එකක් විය යුතුද?

19 දෙවි කෙරෙහි විශ්වාසයක් තිබීමේ අවශ්‍යතාවය ගැන කාවද්දමින් දාවිත් මෙසේ ගායනා කළා. “ධර්මිෂ්ඨකමින් පූජා ඔප්පු කරන්න. යෙහෝවා දෙවි ගැන විශ්වාසයෙන් සිටින්න.” (ගීතා. 4:5) ඊශ්‍රායෙල්වරු ඔප්පු කළ පූජා දෙවි පිළිගත්තේ ඔවුන් එය හොඳ චේතනාවකින් කළා නම් පමණයි. (යෙසා. 1:11-17) ඒ හා සමානව අප කරන නමස්කාරය දෙවි පිළිගන්න නම් අපට හොඳ චේතනාවක් තිබිය යුතු අතර දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක්ද තිබිය යුතුයි.හිතෝපදේශ 3:5, 6 සහ හෙබ්‍රෙව් 13:15, 16 කියවන්න.

20. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට ලැබෙන්නේ කුමක්ද?

20 “‘අපට යහපතක් කරන්නේ කවුද’ කියා බොහෝදෙනෙක් අසති. යෙහෝවා දෙවියනි, ඔබේ අනුමැතිය අපට ලබා දෙන්න” කියා දාවිත් පැවසුවා. (ගීතා. 4:6) දාවිත් යෙහෝවා දෙවිව විශ්වාස කළ නිසා ඔහුට දෙවිගේ අනුමැතිය ලැබුණා. අපත් යෙහෝවා දෙවිව විශ්වාස කරන නිසා අපට ඔහුගේ අනුමැතිය ලැබෙනවා. එමෙන්ම ඔහුගේ කැමැත්ත කිරීමේදී අපට ප්‍රීතිය අද්දකින්නත් හැකි වෙනවා.

21. අප අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වෙනවා නම් අපට දී තිබෙන සහතිකය කුමක්ද?

21 අස්වැන්න නෙළන කාලයේ ඇති වන ප්‍රීතියට වඩා වැඩි ප්‍රීතියක් දෙවිගෙන් ලැබෙන බව දාවිත් මෙසේ පැවසුවා. “පලදාව වැඩි වන විටත් අලුත් වයින් පිරී ඉතිරී යන විටත් ඔවුහු ප්‍රීතියෙන් ඉපිල යති. ඊටත් වඩා ප්‍රීතියක් ඔබ මාගේ සිතට ලබා දෙන්නෙහිය.” (ගීතා. 4:7) අද දින ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි අප උපරිමයෙන් හවුල් වෙනවා නම් දෙවි ලබා දෙන ප්‍රීතිය අපට අද්දැකිය හැකියි. (ලූක් 10:2) ‘මහත් ජාතිය’ වන අභිෂේක ලත් අය ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පෙරමුණ ගනිද්දී ‘අස්වැන්න නෙළන්නන්ගේ’ සංඛ්‍යාව වැඩි වෙනවා. එය අපට මොන තරම් ප්‍රීතියක්ද! (යෙසා. 9:3) ඔබ එම කාර්යයෙහි උපරිමයෙන් හවුල් වෙනවාද?

දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව ජීවත් වෙන්න

22. ගීතාවලිය 4:8ට අනුව දෙවිගේ නීතිවලට කීකරු වූ විට ඊශ්‍රායෙල්වරුන් අද්දැක්කේ කුමක්ද?

22 දාවිත් හතරවන ගීතිකාව මෙසේ අවසන් කළා. “මම සුවෙන් නිදාගන්නෙමි. යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.” (ගීතා. 4:8) ඊශ්‍රායෙල්වරු දෙවිගේ නීති පිළිපදින විට ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලැබුණා පමණක් නොව ඔවුන්ට සුරක්ෂිතභාවයක්ද දැනුණා. උදාහරණයකට, සලමොන්ගේ පාලන කාලයේදී ‘යුදෙව්වරුන් හා ඊශ්‍රායෙල්වරුන්’ සුරක්ෂිතව ජීවත් වුණා. (1 රාජා. 4:25) අවට සිටි ජාතීන් ඔවුන්ට විරුද්ධ වුණත් යෙහෝවා දෙවිව විශ්වාස කළ නිසා සුරක්ෂිතව සිටීමට ඔවුන්ට හැකි වුණා. දෙවිගේ රැකවරණය අපට ලැබෙන තාක් කල් දාවිත් මෙන් අපටත් සැනසීමෙන් ජීවත් වීමට හැකියි.

23. අපට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා නම් අපට අද්දැකිය හැක්කේ කුමක්ද?

23 අපි දිගටම නිසැකකමින් යුතුව දෙවිට සේවය කරමු. ඒ වගේම අපි දෙවි කෙරෙහි විශ්වාසයකින් යුතුව යාච්ඤා කරමු. එවිට “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න අපට පුළුවන්. (ෆිලි. 4:6, 7) එය අපට මොන තරම් ප්‍රීතියක්ද! දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා නම් නිසැකකමින් යුතුව අනාගතය දෙස බලන්න අපට හැකියි.

ඔබට මතකද?

• අබ්සලොම් නිසා දාවිත්ට මුහුණ දීමට සිදු වූ අසීරුතා මොනවාද?

• තුන්වෙනි ගීතිකාවෙන් දෙවි කෙරෙහි විශ්වාසයක් අප තුළ ඇති කරන්නේ කොහොමද?

• දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය ශක්තිමත් කරගන්න හතරවෙනි ගීතිකාව උපකාරයක් වෙන්නේ කොහොමද?

• දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමෙන් අපට ලැබෙන ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

අබ්සලොම් නිසා දාවිත්ට පලා යෑමට සිදු වුණත් ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා

[32වන පිටුවේ පින්තූර]

ඔබට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවාද?