Skip to content

පටුනට යන්න

දරුවන්ට බව්තීස්ම විය හැකිද?

දරුවන්ට බව්තීස්ම විය හැකිද?

දරුවන්ට බව්තීස්ම විය හැකිද?

“මගේ දුව දැන් යෙහෝවා දෙවිගේ සේවකයෙක් නිසා මට ලොකු සතුටක් දැනෙනවා. ඒ ගැන දුවත් සතුටු වෙන බව මම දන්නවා” කියා පිලිපීනයේ සිටින පියෙක් වන කාලොස් * පැවසුවා. “යෞවන කාලයේදීම අපේ දරුවන් තුන්දෙනා බව්තීස්ම වුණ එක ගැන මටයි මගේ භාර්යාවටයි හුඟක් සතුටුයි. ඔවුන් සතුටින් දෙවිට සේවය කරමින් හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා” කියා ග්‍රීසියේ සිටින පියෙක් පැවසුවා.

දරුවන් බව්තීස්ම වන විට දෙමාපියන් බොහෝ සෙයින් ප්‍රීති වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ප්‍රීතියත් සමඟම යම් බියක්ද දැනෙනවා. මවක් මෙසේ පැවසුවා. “මම එදා ගොඩක් සතුටු වුණා. හැබැයි මට භයකුත් දැනුණා.” එවැනි හැඟීම් ඇති වුණේ ඇයි? “මගේ පුතා ඔහු කරන දේවලට දැන් යෙහෝවා දෙවිට වග කියන්න ඕනේ කියලා මම දන්නවා” කියා ඇය පැවසුවා.

සියලුම යෞවනයන් තබාගත යුතු ඉලක්කයක් වන්නේ බව්තීස්ම වී යෙහෝවා දෙවිට සේවය කිරීමයි. ඒ වුණත් දෙවිට ගරුබිය දක්වන දෙමාපියන් මෙසේ කල්පනා කළ හැකියි. ‘මගේ දරුවා ගොඩක් දියුණුයි කියලා මම දන්නවා. නමුත් වැරදි දේ කරන්න පෙලඹීමක් ඇති වෙද්දී යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති රකින්න තරම් ඔහුට ශක්තියක් තියෙනවාද?’ තවත් අය මෙසේ කල්පනා කරන්න පුළුවන්. ‘ධන සම්පත්වලට ආශාවක් දරුවා තුළ ඇති වුණොත් ඔහු ප්‍රීතියෙන් හා උද්‍යෝගයෙන් දිගටම දෙවිට සේවය කරයිද?’ තම දරුවන් බව්තීස්මය සඳහා සූදානම් බව වටහාගන්න දෙමාපියන්ට උපකාරවත් වන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් මොනවාද?

ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීම

බව්තීස්ම වීමට නිශ්චිත වයසක් නැති වුණත් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ මොන වගේ අයද කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න.’ (මතෙ. 28:19) ඒ අනුව බව්තීස්ම විය යුත්තේ යේසුස්ගේ ගෝලයෙක් වී සිටින කෙනෙක් බව පැහැදිලියි.

යේසුස්ගේ ගෝලයෙක් කියන්නේ කාටද? “ඉන් මූලිකවම අදහස් කරන්නේ යේසුස්ගේ ඉගැන්වීම් විශ්වාස කරන කෙනෙකු පමණක් නොව එම ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන කෙනෙකුටයි” කියා අපගේ ප්‍රකාශනයක සඳහන් වෙනවා. (Insight on the Scriptures) සාමාන්‍යයෙන් වයසින් බාල කෙනෙකුට යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් විය හැකිද? ලතින් ඇමරිකාවේ වසර 40කට වැඩි කාලයක් මිෂනාරි සේවයේ යෙදෙන සහෝදරියක් ඇය ගැනත් ඇගේ සහෝදරියන් දෙදෙනා ගැනත් මෙසේ පවසනවා. ‘අපි බව්තීස්ම වෙද්දී දැනගෙන හිටියා අපි යෙහෝවා දෙවිට සේවය කරන්න ඕනේ කියලා. ඒ වගේම පාරාදීස පොළොවේ ජීවත් වෙන්න අපිට අවස්ථාව තියෙනවා කියලත් තේරුම්ගන්න පුළුවන් වයසකයි අපි හිටියේ. යෞවන කාලයේ ඇති වන වැරදි පෙලඹවීම්වලට හසු නොවී ඉන්න දෙවිට අපි කැප වෙලා හිටපු එක අපිට ලොකු ශක්තියක් වුණා. බාල කාලයේදීම යෙහෝවා දෙවිට කැප වුණු එක ගැන අපි කවදාවත් දුක් වෙන්නේ නැහැ.’

ඔබේ දරුවා දැනටමත් යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් බවට පත් වෙලාද කියා දැනගන්නේ කොහොමද? බයිබලයේ මෙසේ පවසනවා. “දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.” (හිතෝ. 20:11) දරුවෙක් එලෙස ‘දියුණු වන අන්දම දැකගත හැකි’ ආකාර කිහිපයක් දැන් අපි සලකා බලමු.—1 තිමෝ. 4:15.

යේසුස්ගේ ගෝලයෙක් බවට සාක්ෂි

ඔබේ දරුවා ඔබට කීකරු වෙනවාද? (කොලො. 3:20) නිවසේ ඔහුට පවරා ඇති වැඩ ඔහු කරනවාද? වයස අවුරුදු 12ක්ව සිටි යේසුස් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු දිගටම [දෙමාපියන්ට] කීකරු වී සිටියේය.” (ලූක් 2:51) කිසිම දරුවෙක් පරිපූර්ණ ලෙස දෙමාපියන්ට කීකරු නොවන බව ඇත්තයි. නමුත් සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ “පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය” කළ යුතුයි. ඒ නිසා බව්තීස්ම වීමට ආශාවෙන් සිටින යෞවනයන් දෙමාපියන්ට කීකරු අය බව පැහැදිලිව දැකගත හැකි විය යුතුයි.—1 පේතෘ. 2:21.

පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න. ඔබේ දරුවා දේවසේවයේ සෑම අංගයකම හවුල් වෙමින් ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවාද?’ (මතෙ. 6:33) ඔබේ දරුවා කැමැත්තෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කරනවාද? එසේ නැත්නම් දේවසේවයේ යන්නත් කෙනෙකුට කතා කරන්නත් ඔහුට බල කළ යුතුද? බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙකු වීම බරපතළ වගකීමක් බව ඔහු තේරුම්ගෙන තිබෙනවාද? උනන්දුවක් දැක්වූ අයව නැවත ගොස් බලන්න ඔහුට ආශාවක් තිබෙනවාද? තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බව පාසැලේ මිතුරන්ට හා ගුරුවරුන්ට ඔහු පවසනවාද?

රැස්වීම්වලට සහභාගි වීම අත්‍යවශ්‍ය දෙයක් කියා ඔහු සිතනවාද? (ගීතා. 122:1) මුරටැඹ පාඩමේදී සහ සභා බයිබල් පාඩමේදී පිළිතුරු දීමෙන් ඔහු සතුටක් ලබනවාද? සේවා පාසැලේ පැවරුම් ඔහු උනන්දුවෙන් ඉටු කරනවාද?—හෙබ්‍රෙ. 10:24, 25.

ඔබේ දරුවා පාසැලේදී මෙන්ම වෙනත් ස්ථානවලදී නුසුදුසු ආශ්‍රයෙන් වැළකී සදාචාරමය ලෙස පිරිසිදුව ඉන්න වෑයම් කරනවාද? (හිතෝ. 13:20) ඔහු කැමති මොන වගේ සංගීත, චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් හා වීඩියෝ ක්‍රීඩාවලටද? අන්තර්ජාලය භාවිත කරද්දී ඔහු වැඩි කැමැත්තක් දක්වන්නේ මොන වගේ දේවල් සොයා බැලීමටද? බයිබලයේ සඳහන් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔහුට ආශාවක් තිබෙන බව ඔහුගේ කතාවෙන් හා ක්‍රියාවෙන් පැහැදිලි වෙනවාද?

ඔබේ දරුවාට බයිබලය ගැන කොතරම් දැනුමක් තිබෙනවාද? පවුලේ නමස්කාරයේදී ඔහු ඉගෙනගන්නා දේවල් ඔහුගේ වචනයෙන් විස්තර කරන්න ඔහුට පුළුවන්ද? බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් ඔහුට විස්තර කරන්න පුළුවන්ද? (හිතෝ. 2:6-9) බයිබලය හා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන ප්‍රකාශන ඔහු උනන්දුවෙන් කියවනවාද? (මතෙ. 24:45) බයිබල් පද හා බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන අවබෝධ කරගැනීමට ඔහු ප්‍රශ්න අසනවාද?

ඔබේ දරුවා මොන තරම් දියුණුවක් ලබා තිබෙනවාද කියා දැනගන්න ඒ ප්‍රශ්න ඔබට උපකාරවත් විය හැකියි. බව්තීස්ම වීමට පෙර ඔබේ දරුවා සමහර පැතිවලින් තවදුරටත් දියුණු විය යුතු බව එම ප්‍රශ්න සලකා බැලීමෙන් පසු සමහරවිට ඔබ තීරණය කළ හැකියි. කෙසේවෙතත් ඔහු ජීවත් වන ආකාරයෙන් ඔහු යේසුස්ගේ ගෝලයෙක් බවට සාක්ෂි තිබෙනවා නම් ඔහු යෙහෝවා දෙවිට ඔහුගේ ජීවිතය කැප කර තිබෙනවා නම් ඔහුට බව්තීස්ම වීමට අවසර දීම සුදුසු බව ඔබට හැඟී යා හැකියි.

යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න යෞවනයන්ට පුළුවන්

යොවුන් වියේදී හා ඊට පෙර සිටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටි අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. යෝසෙප්, සාමුවෙල්, යොෂියා සහ යේසුස් ඉන් සමහරදෙනෙක්. (උත්. 37:2; 39:1-3; 1 සාමු. 1:24-28; 2:18-20; 2 ලේක. 34:1-3; ලූක් 2:42-49) අනාවැකි කීමට හැකියාව තිබූ ෆිලිප්ගේ දූවරු හතරදෙනාද ඊට තවත් උදාහරණයක්. ඔවුන්වද කුඩා කාලයේ සිට හොඳින් පුහුණු කළා විය හැකියි.—ක්‍රියා 21:8, 9.

ග්‍රීසියේ සිටින සාක්ෂිකරුවෙක් මෙසේ පවසනවා. “මම බව්තීස්ම වුණේ මට වයස අවුරුදු 12දියි. ඒ තීරණය ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. එදා ඉඳලා දැන් අවුරුදු 24ක් ගත වෙලා තියෙනවා. ඉන් අවුරුදු 23ක්ම මම පූර්ණකාලීන සේවය කළා. තරුණ කාලයේ ඇති වන ගැටලුවලට හොඳින් මුහුණ දෙන්න යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු ප්‍රේමය මට උපකාරවත් වුණා. බයිබලය ගැන දැන් තියෙන තරම් දැනුමක් මට අවුරුදු 12දී තිබුණේ නැති වුණත් යෙහෝවා දෙවිට ප්‍රේම කළ නිසා ඔහුට හැමදාටම සේවය කරන්න මට ඕන වුණා. ඒ සඳහා දෙවි මට උදව් කළාට මම ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.”

තරුණ වුණත් මහලු වුණත් කෙනෙක් යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් නම් ඔහු බව්තීස්ම විය යුතුයි. පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “කෙනෙකු විශ්වාසය ඇති කරගන්නේ ඔහුගේ හදවතින්ය. ඒ විශ්වාසය නිසා ඔහු ධර්මිෂ්ඨයෙක් වෙයි. නමුත් ඔහු ගැලවීම ලබන්නේ ඒ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි.” (රෝම 10:10) තමන් යේසුස්ගේ අනුගාමිකයෙක් බව ඔප්පු කරමින් යෞවනයෙක් බව්තීස්ම වීමට පියවර ගනිද්දී ඔහුටත් ඔහුගේ දෙමාපියන්ටත් එය ජීවිතයේ වැදගත් අවස්ථාවක් වෙනවා. දෙමාපියෙනි, ඔබත් ඔබේ දරුවනුත් ලබන ඒ සන්තෝෂය නැති කරන්න කිසිම දෙයකට ඉඩ දෙන්න එපා.

[පාදසටහන]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[5වන පිටුවේ කොටුව]

බව්තීස්මය සැලකිය යුතු ආකාරය

බව්තීස්ම වීමෙන් දරුවන් බොහෝ ප්‍රයෝජන ලැබුවත් ඊට යම් අවදානමක්ද තිබෙන බව සමහර දෙමාපියන් සිතනවා. එය හරියට රියදුරු බලපත්‍රයක් ලබාගන්නවා හා සමාන දෙයක් බව ඔවුන් සිතනවා. නමුත් බව්තීස්ම වීම සහ දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීම කෙනෙකුගේ සාර්ථකත්වයට තර්ජනයක්ද? කොහෙත්ම නැහැ. හිතෝපදේශ 10:22හි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.” තරුණයෙක් වූ තිමෝතිට පාවුල් මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම දෙවිට භක්තියෙන් සේවය කරන විට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි.”—1 තිමෝ. 6:6.

දෙවිට සේවය කිරීමේදී අභියෝගවලට මුහුණ දීමට සිදු විය හැකියි. දෙවිගේ අනාගතවක්තෘ ලෙස සේවය කරද්දී යෙරෙමියාටත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් ඔහු මෙසේ පැවසුවා. “ඔබේ වදන් මට අසන්න ලැබුණු විට මම එය හොඳින් සිතට ගත්තෙමි. ඉන් මම ඉමහත් සතුටක් ලැබුවෙමි. මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය දරමි.” (යෙරෙ. 15:16) සැබෑ සතුට භුක්ති විඳින්න ලැබෙන්නේ දෙවිට සේවය කිරීමෙන් පමණක් බව යෙරෙමියා දැන සිටියා. නමුත් සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකයෙන් ලැබෙන්නේ වේදනාව පමණයි. තම දරුවන්ට එම වෙනස තේරුම්ගැනීමට දෙමාපියන් ඔවුන්ට උපකාර කළ යුතුයි.—යෙරෙ. 1:19.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මගේ දරුවාගේ බව්තීස්මය කල් දැමිය යුතුද?

දරුවා බව්තීස්මයට සුදුසුකම් ලබා තිබුණත් ඔහු එය ප්‍රමාද කළ යුතුයි කියා සමහර අවස්ථාවලදී දෙමාපියන් තීරණය කිරීමට ඉඩ තිබෙනවා. ඊට හේතු විය හැකි සමහර දේවල් මොනවාද?

මගේ දරුවා බව්තීස්මයෙන් පස්සේ කවදාහරි බරපතළ වරදක් කළොත් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරයි කියලා මට බයයි. දරුවා බව්තීස්ම වුණේ නැත්නම් ඔහු කරන කියන දේවල් ගැන දෙවිට ගණන් දිය යුතු නැහැ කියා සිතීම සාධාරණද? “ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න” කියා සලමොන් රජ යෞවනයන්ට පැවසුවා. (දේශ. 11:9) වයස් භේදයකින් තොරව අප සෑමදෙනාටම පාවුල් මෙසේ පැවසුවා. “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”—රෝම 14:12.

බව්තීස්ම වුණත් නැතත් සියලුදෙනාම දෙවිට ගණන් දිය යුතුයි. නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට වැරදි දේවල් කිරීමට ඇති වන ‘පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඉඩ දෙන්නේ නැති’ බව මතක තබාගන්න. (1 කොරි. 10:13) ‘සිහිකල්පනාවෙන් සිටිමින්’ වැරදි පෙලඹීම්වලට විරුද්ධව සිටින තාක් කල් දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබෙන බවට ස්ථිර විය හැකියි. (1 පේතෘ. 5:6-9) මවක් මෙසේ පැවසුවා. “මේ ලෝකයේ ඇති නපුරු දේවලින් ඈත් වෙලා ඉන්න බව්තීස්ම වුණ දරුවන්ට හුඟක් හේතු තියෙනවා. මගේ පුතා බව්තීස්ම වුණේ අවුරුදු 15දියි. ඒක ආරක්ෂාවක් කියලා ඔහුට දැනෙනවා. ඒ නිසා ‘යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තියක් කඩන්න හිතෙන්නේ නැහැ’ කියලා පුතා කිව්වා. ඇත්තටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න බව්තීස්මය ලොකු පෙලඹීමක්.”

යෙහෝවා දෙවිට කීකරු වීමේ වැදගත්කම වචනයෙන් පමණක් නොව ඔබේ ආදර්ශයෙන්ද ඔබ දරුවන්ට උගන්වා තිබෙනවා නම් ඔවුන් බව්තීස්ම වූ පසුවත් දිගටම දෙවිට කීකරු වෙයි. හිතෝපදේශ 20:7හි මෙසේ පවසනවා. “ධර්මිෂ්ඨයා දෙවිට විශ්වාසවන්තව සිටියි. එහෙයින් ඔහුගේ පුත්‍රයන්ද සන්තෝෂය ලබයි.”

මම කැමති මගේ දරුවා ජීවිතයේ යම් ඉලක්ක අත් කරගත්තට පස්සේ බව්තීස්ම වෙනවා දකින්නයි. යෞවනයන් අනාගතයේදී කිසි කෙනෙකුට අත නොපා ජීවත් වෙන්න නම් ඔවුන් රැකියාවක් කිරීමට ඉගෙනගත යුතුයි. කෙසේවෙතත් අධ්‍යාපනයට හා මුදල් ඉපයීමට මුල් තැන දෙන ජීවන රටාවක් ගත කිරීම සඳහා දරුවන්ව දිරිගැන්වීමේ අනතුරක් තිබෙනවා. පල නොදරන බීජ ගැන යේසුස් මෙසේ පැවසුවා. “කටු ගස් අතරේ වපුරා තිබූ බීජවලට සිදු වන දේ සමාන වන්නේ පණිවිඩය ඇසුවත් එය යටපත් වී පල නොදරන තැනැත්තාට සිදු වන දෙයටයි. ඔහු මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත් ධනය පසුපස ගොස් එයින් මුළා වන නිසාත් ඔහුට එලෙස සිදු වෙයි.” (මතෙ. 13:22) මේ ලෝකය ඉදිරිපත් කරන ඉලක්ක අත් කරගැනීමට දරුවන්ව උනන්දු කිරීමෙන් දෙවිට සේවය කිරීම සඳහා ඔවුන්ට තිබෙන ආශාව අඩු වී යා හැකියි.

බව්තීස්ම වීමට යෞවනයන් සුදුසුකම් ලැබුවත් ඒ සඳහා තම අනුමැතිය නොදෙන දෙමාපියන් ගැන අද්දැකීම් ඇති වැඩිමහල්ලෙක් මෙසේ පවසනවා. “යෞවනයෙකුව බව්තීස්ම වීමෙන් වැළැක්වීම ක්‍රිස්තියානියෙක් ලෙස දියුණු වීමට ඔහුට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු අධෛර්යයට පත් වෙන්නත් පුළුවන්.” ඒ ගැන සංචාරක සේවකයෙක්ද මෙසේ පැවසුවා. ‘යෞවනයෙකුගේ බව්තීස්මයට බාධා කළොත් ඔහුට යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීමේ යම් අඩුවක් තිබෙන බව සිතෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජය ඉදිරිපත් කරන දේවල් අත් කරගැනීමට ඔහු පෙලඹෙන්න පුළුවන්.’

[පින්තූරය]

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මුල් තැන දිය යුතුද?

[3වන පිටුවේ පින්තූරය]

තමන් යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් බව යෞවනයෙකුට තහවුරු කළ හැකියි

[3වන පිටුවේ පින්තූරය]

රැස්වීම්වලට සූදානම් වී සහභාගි වීම

[4වන පිටුවේ පින්තූරය]

දෙමාපියන්ට කීකරු වීම

[4වන පිටුවේ පින්තූරය]

දේවසේවයේ සහභාගි වීම

[4වන පිටුවේ පින්තූරය]

යාච්ඤා කිරීම