Skip to content

පටුනට යන්න

දෙවි අපට ප්‍රේමය පෙන්වූ ආකාරය

දෙවි අපට ප්‍රේමය පෙන්වූ ආකාරය

දෙවි අපට ප්‍රේමය පෙන්වූ ආකාරය

‘දෙවිගේ මහත් කරුණාව රජකම් [කරන විට] මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.’—රෝම 5:21.

1, 2. බොහෝදෙනෙක් වටිනවා කියා සිතන්නේ කුමන තෑග්ගද? වඩාත්ම වටින්නේ කුමන තෑග්ගද?

‘රෝම අධිරාජ්‍යය විසින් ලබා දුන් නීතිවලින් සමාජයේ පැවැත්මට දිගු කාලීන ප්‍රයෝජන තිබෙන නිසා එය ඔවුන් ලබා දුන් තෑග්ගක්’ කියා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ බයිබල් පරිවර්තකයෙක් වන ඩී.ජේ. විලියම්ස් සඳහන් කළා. එය වටිනා තෑග්ගක් වුණත් ඊටත් වඩා බොහෝ සෙයින් වටිනා තෑග්ගක් දෙවි අපට ලබා දී තිබෙන බව බයිබලයේ පවසනවා. එනම් දෙවි අපව ධර්මිෂ්ඨයන් ලෙස සැලකීමයි. එමගින් ගැලවීම හා සදාකාල ජීවනයේ බලාපොරොත්තුව අපට ලැබෙනවා.

2 දෙවි එම තෑග්ග ලබා දුන් ආකාරයට යම් නීතිමය පැත්තක්ද ඇතුළත් වෙනවා. පාවුල් රෝම පස්වෙනි පරිච්ඡේදයේදී ඒ සියල්ල අපට තේරුම්ගත හැකි ආකාරයකින් අලංකාර ලෙස විස්තර කරනවා. ඔහු එම පරිච්ඡේදය ආරම්භ කරන්නේ මෙසේ පවසමිනුයි. “අප තුළ තිබෙන විශ්වාසය පදනම් කරගෙන අපව දැන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර තිබෙන නිසා අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි දෙවි සමඟ සමාදානය භුක්ති විඳිමු.” එම තෑග්ග ලබා තිබෙන අය එය ලබා දුන් දෙවිට ප්‍රේම කිරීමට පෙලඹෙනවා. එසේ කළ එක් අයෙක් වන්නේ පාවුල්. ‘දෙවි අපට ලබා දුන් ඔහුගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් අපගේ හදවත් දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇත’ කියා ඔහු පැවසුවා.—රෝම 5:1, 5.

3. අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 එම තෑග්ග අවශ්‍ය වුණේ ඇයි? දෙවිගේ යුක්තියට එකඟවත් සියලුම මිනිසුන්ට ප්‍රයෝජන ලැබිය හැකි ආකාරයෙනුත් එය ලබා දීමට දෙවිට හැකි වුණේ කොහොමද? එම තෑග්ග ලබාගැනීමට කෙනෙක් කුමක් කළ යුතුද? අපි එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා බලමු. එවිට දෙවි මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද කියා අපට පැහැදිලි වෙයි.

දෙවිගේ ප්‍රේමය සහ උරුම වූ පාපය

4, 5. (අ) දෙවි ඔහුගේ ප්‍රේමය ප්‍රකාශ කළ විශිෂ්ට ආකාරය කුමක්ද? (ආ) රෝම 5:12හි ඇති අදහස තේරුම්ගැනීමට කුමක් දැන සිටීම වැදගත්ද?

4 මිනිසුන් කෙරෙහි දෙවිට කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියනවා නම් දෙවි තම එකම පුත්‍රයාව පොළොවට එව්වා. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.” (රෝම 5:8) දෙවි, යේසුස්ව පොළොවට එව්වේ “අප පව්කාරයන් වී සිටියදීම” කියා පාවුල් සඳහන් කළා. එසේනම් මිනිසා පව්කාර තත්වයට පත් වූ ආකාරය සෑමදෙනාම දැනගත යුතුයි.

5 පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.” (රෝම 5:12) මිනිසාගේ ආරම්භය ගැන වාර්තාවක් දෙවි අපට ලබා දී තිබෙන නිසා පාවුල් පැවසූ දේ තේරුම්ගැනීමට අපට පුළුවන්. එහි සඳහන් වන්නේ යෙහෝවා දෙවි ආදම් සහ ඒව නමැති මුල් මිනිස් යුවළව නිර්මාණය කළ බවයි. අපගේ නිර්මාතෘ පරිපූර්ණ කෙනෙක් නිසා මුල් මිනිස් යුවළව සෑදුවේද පරිපූර්ණවයි. යෙහෝවා දෙවි ඔවුන්ට ආඥාවක් දුන් අතර ඊට අකීකරු වුණොත් මරණය අද්දැකීමට සිදු වන බව ඔවුන්ට පැවසුවා. (උත්. 2:17) දෙවි ඔවුන්ට දුන් ආඥාව සාධාරණ එකක් වුණත් ඔවුන් ඊට අකීකරු වුණා. සියල්ල පාලනය කිරීමට හා නීති පැනවීමට දෙවිට තිබෙන අයිතිය එමගින් ඔවුන් ප්‍රතික්ෂේප කළා.—ද්වි. 32:4, 5.

6. (අ) මෝසෙස් තුළින් නීතිය දීමට පෙර මෙන්ම පසුවත් ආදම්ගෙන් පැවත එන අය මිය යන්නේ ඇයි? (ආ) දෙමාපියන්ගෙන් උරුම වන රෝගයකින් නිදර්ශනය කළ හැක්කේ කුමක්ද?

6 ආදම්ගෙන් දරුවන් බිහි වුණේ ඔහු පව් කිරීමෙන් පසුවයි. ඒ නිසා පාපය හා ඉන් ඇති වන බලපෑම් ඔහුගේ දරුවන්ටත් උරුම වුණා. නමුත් ඔවුන්ට පාපය උරුම වුණේ ආදම් මෙන් දෙවි දුන් නීතිය කඩ කළ නිසා නොවෙයි. ඒ වන විට දෙවි ආදම්ගේ දරුවන්ට කිසිම නීතියක් දී තිබුණේ නැහැ. (උත්. 2:17) නමුත් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් තුළින් නීතිය ලබා දුන්නා. එම නීතිය ලැබෙන විටත් ඔවුන් සිටියේ පව්කාර තත්වයකයි. නීතිය ලබා දීමෙන් සිදු වුණේ ඔවුන් පව්කාරයන් බව වඩාත් හොඳින් පැහැදිලි වීමයි. (රෝම 5:13, 14 කියවන්න.) සාමාන්‍යයෙන් පරම්පරාගත රෝගයක් දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම විය හැකියි. කෙසේවෙතත් එම පවුලේම සමහර දරුවන්ට එම රෝගය වැලඳෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ආදම්ගෙන් උරුම වූ පාපයෙන් ගැලවෙන්න නම් කිසිවෙකුටවත් බැහැ. සියලුදෙනාම මිය යන්නේ ඒ නිසයි.

ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි ලබා දුන් සැපයුම

7, 8. පරිපූර්ණ මිනිසුන් දෙදෙනා නිසා ලැබුණු එකිනෙකට වෙනස් ප්‍රතිඵල මොනවාද?

7 උරුම වූ පාපයෙන් නිදහස් වීමට යෙහෝවා දෙවි ඉතා ප්‍රේමණීය ලෙස සැපයුමක් ලබා දුන්නා. එය ලබා දුන්නේ තවත් පරිපූර්ණ මිනිසෙක් වන අන්තිම ආදම් මාර්ගයෙනුයි. (1 කොරි. 15:45) පොළොව මත සිටි පරිපූර්ණ මිනිසුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය නිසා ලැබුණු ප්‍රතිඵල හාත්පසින්ම වෙනස්.රෝම 5:15, 16 කියවන්න.

8 “පාපය නිසා හිමි වූ දේට වඩා වෙනස් දෙයක් දෙවි ලබා දුන් දීමනාව තුළින් හිමි වේ” කියා පාවුල් පැවසුවා. මිනිසාට පාපය උරුම කර දීම නිසා ආදම්ට මරණ දඬුවම ලැබීම සාධාරණයි. ඒ වුණත් මරණය උරුම වුණේ ඔහුට පමණක් නොවෙයි. “එක මිනිසෙකු කළ වරදක් නිසා බොහෝදෙනෙකුට මරණය හිමි විය” කියා බයිබලයේ පවසනවා. අපට ආදම්ගෙන් පාපය උරුම වී ඇති නිසා ආදම්ට දෙවි ලබා දුන් දඬුවම අපටත් ලැබීම සාධාරණයි. ඒ වුණත් අපට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ලබා දීමට අන්තිම ආදම් වූ යේසුස්ට හැකි බව දැන සිටීම අපට මොන තරම් සහනයක්ද! ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඊට පාවුල් මෙසේ පිළිතුරු දෙනවා. “[සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව] ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන අතර ඔවුන්ට ජීවනය හිමි වෙයි.”රෝම 5:18.

9. රෝම 5:16, 18හි දෙවි මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කළා කීමෙන් අදහස් කළේ කුමක්ද?

9 “ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම” යන්නට යොදා ඇති ග්‍රීක වචනවලින් අදහස් කරන්නේ කුමක්ද? කලින් සඳහන් කළ මහාචාර්යවරයා ඒ ගැන මෙසේ පවසනවා. ‘ඉන් අදහස් කරන්නේ ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් වීම නොව දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගැනීමයි. එය මෙසේ නිදර්ශනය කළ හැකියි. අධර්මිෂ්ඨයෙකු ලෙස චෝදනා ලැබූ කෙනෙකුව විනිශ්චයකරු වන දෙවි ඉදිරියට ගෙනෙනවා. ඔහු වරදකරු වුණත් ඔහුට විරුද්ධව තිබෙන සියලු චෝදනාවලින් ඔහුව නිදහස් කර දෙවි ඔහුට පක්ෂව තීන්දුවක් දෙනවා. එනම් ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස ප්‍රකාශ කරනවා.’

10. මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම සඳහා යේසුස් දායක වුණේ කොහොමද?

10 “මුළු පොළොවෙම විනිශ්චයකරු” අධර්මිෂ්ඨ කෙනෙකුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නේ කුමන පදනම මතද? (උත්. 18:25) ඒ සඳහා මුල්ම පියවර ලෙස දෙවි ඔහුගේ එකම පුත්‍රයාව පොළොවට එව්වා. එසේ පැමිණි යේසුස් දරුණු නින්දා, අපහාසවලට මුහුණ දුන්නා. ඔහුව වරදට පොලඹවන්න සාතන් උත්සාහ කළා. ඒ සියල්ල මැද වුණත් යේසුස් ඔහුගේ පියාගේ කැමැත්ත සම්පූර්ණයෙන් ඉටු කළා. ඔහු දෙවිට කොතරම් විශ්වාසවන්තව සිටියාද කියනවා නම් වධ කණුවක මිය යෑමට පවා කැමති වුණා. (හෙබ්‍රෙ. 2:10) යේසුස් තමාගේ පරිපූර්ණ මිනිස් ජීවිතය පූජාවක් ලෙස ඔප්පු කිරීම නිසා ආදම්ගෙන් උරුම වූ පාපයෙන් සහ මරණයෙන් මිනිසුන්ව මුදවාගැනීමට හැකි වුණා.—මතෙ. 20:28; රෝම 5:6-8.

11. යේසුස් නියමිත වන්දිය ගෙව්වේ කුමක් සඳහාද?

11 පාවුල් යේසුස්ගේ ජීවිත පූජාව සඳහන් කරන්නේ “නියමිත වන්දිය” ලෙසයි. (1 තිමෝ. 2:6) එය ගෙව්වේ කොහොමද? එය තේරුම්ගැනීමට ආදම් පව් කළ විට සිදු වූ දේ මතක් කරගන්න. ඔහුගේ පාපය නිසා ඔහුගෙන් පැවත එන සියලුදෙනාටම පව්කාරකම සහ මරණය උරුම වුණා. රෝම 5:15-19හි පැහැදිලි කරන්නේ එම පව්කාරකමින් හා මරණයෙන් මුදවාගැනීමට ‘එක මිනිසෙකුගේ’ ජීවිතය ප්‍රමාණවත් වූ බවයි. එසේනම් ‘එක ධර්මිෂ්ඨ ක්‍රියාවක්’ එනම්, යේසුස් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව හා කීකරුව සිටීම නිසා මිනිසුන්ට දෙවි නොමිලේ ලබා දෙන තෑග්ග සහ සදාකාල ජීවනය ලබාගැනීමට හැකි වී තිබෙනවා. (2 කොරි. 5:14, 15; 1 පේතෘ. 3:18) නියමිත වන්දිය ගෙව්වේ යේසුස් පමණයි. නමුත් මිනිසාව මිදීමට ගෙවූ වන්දිය ගැන අපේ ප්‍රකාශනවල කලින් පළ වූ අදහස මීට වඩා වෙනස්. කලින් අප සිතුවේ ආදම්ගෙන් පැවතෙන සියලුදෙනාව පාපයෙන් හා මරණයෙන් මුදවාගැනීමට යේසුස්ගේ ජීවිතය පමණක් නොව ඔහුට බිහි කිරීමට හැකියාව තිබූ පරිපූර්ණ දරුවන් සියලුදෙනාගේ ජීවිතත් පූජා කළා කියායි. *

ජීවිත පූජාවේ පදනම මත ලබන නිදහස

12, 13. දෙවි මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔහුගේ ප්‍රේමය හා කරුණාව නිසා බව පවසන්න පුළුවන් ඇයි?

12 තම පුත්‍රයාගේ ජීවිත පූජාව යෙහෝවා දෙවි පිළිගත්තා. (හෙබ්‍රෙ. 9:24; 10:10, 12) ඒ වුණත් එවකට පොළොව මත සිටි යේසුස්ගේ නියෝජිතයන් ඇතුළු ඔහුගේ අභිෂේක ලත් ගෝලයන් සියලුදෙනාම සිටියේ කලින් සිටි පව්කාර තත්වයේමයි. ඔවුන් වැරදි දෙයින් වැළකී සිටීමට කොපමණ උත්සාහ කළත් සමහර අවස්ථාවලදී අසාර්ථක වුණා. ඇයි? ඔවුන් පාපය උරුම කරගෙන සිටි නිසයි. (රෝම 7:18-20) නමුත් දෙවිට ඒ සඳහා පියවරක් ගැනීමට හැකියාව තිබූ අතර ඔහු එසේ කළා. ඔහු “නියමිත වන්දිය” පිළිගත් අතර ඒ තුළින් අත් වන ප්‍රයෝජන තම සේවකයන්ට ලබා දීමට පියවර ගත්තා.

13 යේසුස්ගේ නියෝජිතයන්ගේ සහ අභිෂේක ලත් අයගේ යහපත් ක්‍රියා නිසා යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන ඔවුන්ට අත් කර දීමට දෙවි බැඳී නැහැ. ඒ වෙනුවට දෙවි එසේ කළේ ඔහු ප්‍රේමණීය හා කරුණාවන්ත දෙවි කෙනෙක් නිසයි. යේසුස්ගේ නියෝජිතයන් සහ අභිෂේක ලත් අය මරණ දඬුවම් ලැබිය යුතු අය වුණත් දෙවි ඔවුන්ව නිදහස් කළා. දෙවි ඔවුන්ව සැලකුවේ වරදකරුවන් ලෙස නොවෙයි. ‘විශ්වාසයක් ඇතුව සිටින ඔබ, ගැලවී ඇත්තේ එම මහත් කරුණාව නිසාය. නමුත් ඒ සියල්ල සිදු වන්නේ ඔබේ උත්සාහය නිසා නොවේ. එය දෙවි ලබා දෙන දීමනාවක්’ කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.—එෆී. 2:8.

14, 15. ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කළ අයට ලැබෙන්නේ කුමක්ද? ඔවුන් කළ යුත්තේ කුමක්ද?

14 කෙනෙකු උරුම කරගත් පාපයට හා ඔහු කර තිබෙන වැරදිවලට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි සමාව දීම මොන තරම් වටිනවාද! කෙනෙක් යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් බවට පත් වෙන්න කලින් කොපමණ වැරදි කළාද කියා ගණන් කරන්න බැහැ. ඒ වුණත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවි එම වැරදිවලට සමාව දෙනවා. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “මිනිසුන් බොහෝ වැරදි කළත් දෙවි දෙන දීමනාවේ ප්‍රතිඵලය නම් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමය.” (රෝම 5:16) එම ත්‍යාගය (ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම) ලැබූ යේසුස්ගේ නියෝජිතයන් සහ අභිෂේක ලත් අය දිගටම විශ්වාසවන්තව සැබෑ දෙවිට නමස්කාර කළ යුතුයි. ඔවුන්ට අනාගතයේදී ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ගැන පාවුල් මෙසේ පවසනවා. “එක් කෙනෙකු තුළින් බොහෝදෙනෙක් මහත් කරුණාව ලැබුවෝය. එමෙන්ම නොමිලේ ලැබෙන දීමනාවක් තුළින් ඔවුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එහි ප්‍රතිඵලය ඔවුන්ගේ ජීවිත නැවත ඔවුන්ට උරුම වී රජවරුන් ලෙස පාලනය කිරීමට හැකි වීමය. ඒ සියල්ලට මඟ පෑදුවේ එක මිනිසෙකු එනම්, යේසුස් ක්‍රිස්තුස් කළ ක්‍රියාවයි.” ආදම් සිදු කළ වරද නිසා ලැබුණු ප්‍රතිඵලවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම නමැති ත්‍යාගය නිසා ලැබෙනවා. එහි ප්‍රතිඵලය ජීවනයයි.—රෝම 5:17; ලූක් 22:28-30 කියවන්න.

15 ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම නමැති ත්‍යාගය ලබන අය දෙවිගේ පුත්‍රයන් ලෙස හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තුස් සමඟ “රජවරුන් ලෙස පාලනය කිරීමට” ස්වර්ගික ජීවිතයක් සඳහා නැවත නැඟිටින විට ඔවුන් ඇත්තටම දෙවිගේ පුත්‍රයන් බවට පත් වෙනවා.රෝම 8:15-17, 23 කියවන්න.

දෙවිගේ ප්‍රේමය ලැබූ තවත් අය

16. පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින අයට දැන් පවා ලැබිය හැකි ත්‍යාගය කුමක්ද?

16 දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔහුට සේවය කරන සෑම ක්‍රිස්තියානියෙකුම “රජවරුන් ලෙස” ක්‍රිස්තුස් සමඟ “පාලනය කිරීමට” හවුල් වන්නේ නැහැ. නමුත් පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට තිබූ බලාපොරොත්තුව ඔවුන්ටත් තිබෙනවා. එනම් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවයි. නමුත් ඔවුන්ව දැන් පවා ධර්මිෂ්ඨයන් ලෙස සැලකිය හැකිද? ඔව්. පාවුල් රෝමවරුන්ට ලියූ දෙයින් එය පැහැදිලියි.

17, 18. (අ) ආබ්‍රහම්ට තිබූ විශ්වාසය නිසා දෙවි ඔහුව සැලකුවේ කොහොමද? (ආ) දෙවි ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකුවේ කුමන පදනම මතද?

17 දෙවිට විශ්වාසවන්තව සිටි ආබ්‍රහම් ගැන සලකා බලන්න. ඔහු ජීවත් වුණේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීතිය ලබා දීමට පෙර සහ යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගික ජීවිතය සඳහා මිනිසාට මාර්ගය විවෘත කිරීමට බොහෝ කාලයකට පෙරයි. (හෙබ්‍රෙ. 10:19, 20) ඔහු ගැන පාවුල් මෙසේ පවසනවා. “ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ. ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය.” (රෝම 4:13; යාකො. 2:23, 24) ඔව්, ආබ්‍රහම් දැක්වූ විශ්වාසවන්තකම නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙක් ලෙස සැලකුවා.රෝම 4:20-22 කියවන්න.

18 දශක ගණනාවක් පුරා ආබ්‍රහම් දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහුට පාපය උරුම වී නොතිබූ බව නොවෙයි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකු වුණේ එම අර්ථයෙන් නොවෙයි. (රෝම 3:10, 23) කෙසේවෙතත් අසීමිත ප්‍රඥාවක් ඇති යෙහෝවා දෙවි ආබ්‍රහම්ගේ කැපීපෙනෙන විශ්වාසය හා ඔහුගේ ක්‍රියා සැලකිල්ලට ගත්තා. ඔහුගෙන් “පැවත එන තැනැත්තා” ගැන දෙවි ඔහුට දුන් පොරොන්දුව කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය දෙවි දැක්කා. එම තැනැන්තා වුණේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්. (උත්. 15:6; 22:15-18) අතීතයේ සිටි අය කරන ලද පාපවලට සමාව දීමට විනිශ්චයකරු වන යෙහෝවා දෙවිට හැකි වුණේ “ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව” නිසයි. ඒ නිසා ආබ්‍රහම් මෙන්ම යේසුස්ට පෙර සිටි අයත් නැවත නැඟිටීම ලබනවා.රෝම 3:24, 25 කියවන්න; ගීතා. 32:1, 2.

අද දිනත් ධර්මිෂ්ඨ තත්වයක් භුක්ති විඳිය හැකියි

19. යෙහෝවා දෙවි ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකීම අද දින සිටින ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීමක් වන්නේ ඇයි?

19 යෙහෝවා දෙවි ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ බව දැන සිටීම අද දින සිටින ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීමක්. යෙහෝවා දෙවි ඔහුව එලෙස සැලකුවේ දෙවිගේ බලයෙන් අභිෂේක ලැබූ ‘ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන’ අයව ධර්මිෂ්ඨයන් ලෙස සලකන අර්ථයෙන් නොවෙයි. කුඩා සංඛ්‍යාවක් වන ඔවුන්ව “ශුද්ධ තැනැත්තන්” ලෙස හඳුන්වන අතර දෙවි ඔවුන්ව පිළිගන්නේ “දෙවිගේ පුත්‍රයෝ” ලෙසයි. (රෝම 1:7; 8:14, 17, 33) කෙසේවෙතත් යෙහෝවා දෙවි ආබ්‍රහම්ව ඔහුගේ “මිත්‍රයා” ලෙස සැලකුවා. එසේ සැලකුවේ යේසුස් තම ජීවිතය පූජා කිරීමටත් පෙරයි. (යාකො. 2:23; යෙසා. 41:8) පාරාදීස පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සැබෑ ක්‍රිස්තියානීන්වත් දෙවි එසේ සලකයිද?

20. දෙවි ධර්මිෂ්ඨයන් ලෙස සලකන අයගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

20 ‘නොමිලේ ලැබෙන දීමනාවක් තුළින් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබූ’ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලැබෙන ස්වර්ගික ජීවිතය මහත් සමූහයට ලැබෙන්නේ නැහැ. (රෝම 3:24; 5:15, 17) කෙසේවෙතත් දෙවි කෙරෙහිත් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහිත් ඔවුන් දැඩි විශ්වාසයක් තබනවා. එම විශ්වාසය ඔවුන් ක්‍රියා තුළින්ද පෙන්වනවා. ඊට අයත් එක ක්‍රියාවක් වන්නේ ‘දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීම සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දේවල් ඉගැන්වීමයි.’ (ක්‍රියා 28:31) ඒ නිසා ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කෙනෙක් ලෙස සැලකූ ආකාරයට දෙවි ඔවුන්වත් ධර්මිෂ්ඨයන් ලෙස සලකනවා. ඔවුන්ට ලැබෙන ත්‍යාගය එනම්, දෙවි සමඟ මිත්‍රත්වයක් භුක්ති විඳීම අභිෂේක ලත් අයට ‘නොමිලේ ලබා දෙන දීමනාවට’ වඩා වෙනස්. ඇත්තෙන්ම ඔවුන් එම ත්‍යාගය මහත් අගය කිරීමකින් යුතුව පිළිගන්නවා.

21. දෙවිගේ ප්‍රේමය හා යුක්තිය නිසා අප ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

21 ඔබ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඔබට එය ලැබෙන්නේ මේ ලෝකයේ පාලකයෙක් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා නොවන බව මතක තබාගන්න. එය ලැබෙන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණ නිසයි. එම අරමුණ ඉටු කිරීම සඳහා යෙහෝවා දෙවි ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙනවා. ඔහු එය කළේ ඔහුගේ යුක්තියට අනුකූලවයි. සියල්ලට වඩා ඉන් පිළිබිඹු වන්නේ දෙවි කොතරම් ප්‍රේමණීය කෙනෙක්ද යන්නයි. “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.—රෝම 5:8.

[පාදසටහන]

^ 11 ඡේ. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2000 මාර්තු 15 මුරටැඹ කලාපයේ 4වන පිටුවේ 4වන ඡේදය සහ Insight on the Scriptures පොතේ දෙවන වෙළුමේ 736වන පිටුවේ 4 සහ 5 ඡේද බලන්න.

ඔබට මතකද?

• ආදම්ගෙන් පැවත එන අයට උරුම වුණේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

• නියමිත වන්දිය ගෙව්වේ කොහොමද? එය නියමිත වන්දියක් වුණේ කුමන අර්ථයෙන්ද?

• ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම නමැති ත්‍යාගය නිසා ඔබට ලැබුණු බලාපොරොත්තුව කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

පරිපූර්ණ මිනිසා වූ ආදම් පව් කළා. පරිපූර්ණ මිනිසා වූ යේසුස් “නියමිත වන්දිය” ගෙව්වා

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් නිසා අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම මොන තරම් වටිනා ශුභාරංචියක්ද!