Skip to content

පටුනට යන්න

‘සම් ලියවිලි රැගෙන එන්න’ කියා පැවසුවේ ඇයි?

‘සම් ලියවිලි රැගෙන එන්න’ කියා පැවසුවේ ඇයි?

‘සම් ලියවිලි රැගෙන එන්න’ කියා පැවසුවේ ඇයි?

තමාව හමු වීමට පැමිණෙන විට ‘ලියවිලි, විශේෂයෙන්ම සම් ලියවිලි රැගෙන එන’ ලෙස පාවුල් තිමෝතිගෙන් ඉල්ලා සිටියා. එම ලියවිලි මොනවාද? ඔහු එසේ ඉල්ලා සිටියේ ඇයි? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

පළමුවන සියවසේ මැදභාගය වන විට එනම් පාවුල් ඉහත වචන ලියන විට හෙබ්‍රෙව් ලියවිල්ලට අයත් පොත් 39 කාණ්ඩ 22කට හෝ 24කට වෙන් කර තිබුණා. ඉන් බොහොමයක් තිබුණේ තනි ලියවිලි වශයෙනුයි. එම ලියවිලි මිල අධික ඒවා වුණත් “සාමාන්‍ය වත්කමක් තිබෙන කෙනෙකුට ඒවා මිල දී ගැනීමට හැකියාව තිබූ” බව මහාචාර්ය ඇලන් මිලර්ඩ් පැවසුවා. සමහර අය සතුව අඩුම තරමින් එක ලියවිල්ලක් හෝ තිබුණා. උදාහරණයකට ඉතියෝපියානු නිලධාරියා සතුව යෙසායාගේ ලියවිල්ලක් තිබූ අතර ඔහු තම රථයේ ගමන් කරන විට එය ‘හඬ නඟා කියෙව්වා.’ ඔහු ‘ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ ඇගේ මුළු වස්තුව භාරව සිටි උසස් නිලධාරියෙක්.’ ඒ නිසා ශුද්ධ ලියවිල්ලට අයත් කොටසක් තබාගැනීමට තරම් ඔහු වත්පොහොසත්කමක් තිබුණු කෙනෙක් වූවා විය හැකියි.—ක්‍රියා 8:27, 28.

“ත්‍රෝවස්හිදී කාපස් ළඟ මා තබා ආ කබාය සහ ලියවිලි, විශේෂයෙන්ම සම් ලියවිලි ඔබ මෙහි එන විට රැගෙන එන්න” කියා පාවුල් තිමෝතිගෙන් ඉල්ලා සිටියා. (2 තිමෝ. 4:13) ඉන් පැහැදිලි වන්නේ පාවුල් සතුව දෙවිගේ වචනය අඩංගු ලියවිලි කිහිපයක් තිබුණු බවයි. පාවුල්ගේ පුස්තකාලයේ තිබුණු සියලුම ලියවිලි අතරින් ඔහු වඩාත් වැදගත් කොට සැලකුවේ දෙවිගේ වචනය අඩංගු ලියවිලියි. “සම් ලියවිලි” ගැන බයිබල් විශාරදයෙක් වන ඒ.ටී. රොබට්සන් මෙවැනි දෙයක් පවසනවා. “ඒවා පැරණි ගිවිසුමට අයත් පිටපත් විය හැකියි. ඒවා මිල අධිකයි. කල් පවතිනවා.” පාවුල් තරුණ කාලයේ ‘අධ්‍යාපනය ලැබුවේ ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙනයි.’ ගමාලියෙල් මෝසෙස්ගේ ලියවිල්ල ගැන ඉගැන්වූ අතර බොහෝදෙනා ඔහුව ඉතා ගෞරවයෙන් සැලකුවා. පාවුල්, ගමාලියෙල්ගෙන් මෝසෙස්ගේ ලියවිල්ල ගැන ඉගෙනගත් නිසා පාවුල් ළඟ දෙවිගේ වචනය අඩංගු ලියවිලිවල පිටපත් තිබුණු බව සිතීම තර්කානුකූලයි.—ක්‍රියා 5:34; 22:3.

ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ලේ ඇති දේවල් ඉගෙනගත් ආකාරය

පළමු ශතවර්ෂයේ සිටි බොහෝදෙනෙකු ළඟ ශුද්ධ ලියවිලිවල පිටපතක් තිබුණේ නැහැ. එසේනම් ඔවුන් දෙවිගේ වචනය ඉගෙනගත්තේ කොහොමද? පාවුල් තිමෝතිට ලියූ පළමු ලිපියේ ඇති දෙයකින් ඊට ඉඟියක් ලැබෙනවා. ඔහු මෙසේ ලිව්වා. ‘මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීම ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න.’ (1 තිමෝ. 4:13) ක්‍රිස්තියානි රැස්වීම්වල ප්‍රසිද්ධ කියවීම ප්‍රධාන අංගයක් වුණා. එය මෝසෙස්ගේ කාලයේ පටන් සිදු වූ දෙයක්.—ක්‍රියා 13:15; 15:21; 2 කොරි. 3:15.

දෙවිගේ වචනයේ පිටපත් නොතිබූ අයගේ ප්‍රයෝජනය සඳහා ප්‍රසිද්ධියේ කියවීම වැඩිමහල්ලෙක් වූ තිමෝතිට පැවරී තිබුණා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට පැමිණි සිටි අය ඉතා සාවධානව ඊට සවන් දිය යුතු වුණා. පසුව දෙමාපියන් සහ දරුවන් නිවසේදී ඒ ගැන සාකච්ඡා කළා විය හැකියි.

මළ මුහුදේ ලියවිල්ල ලෙස ප්‍රසිද්ධ වී ඇති යෙසායාගේ ලියවිල්ල අඩි 24ක් පමණ දිගයි. සාමාන්‍යයෙන් ලියවිල්ලක කොන් දෙකේ පොලු දෙකක් තිබෙන අතර ආරක්ෂාව සඳහා එය කවරයක දමා තිබුණා. ඒවා සැලකිය යුතු බරකින් යුක්තයි. ඒ නිසා බොහෝ ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට එම ලියවිලි බොහොමයක් රැගෙන ගියේ නැහැ. පාවුල් සතුව ලියවිලි කිහිපයක් තිබුණත් ඔහු ගිය සෑම තැනකටම ඒවා රැගෙන යෑමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ත්‍රෝවසයේ සිටින ඔහුගේ මිත්‍ර කාපස් ළඟ ඒවා තබා ගියේ ඒ නිසයි.

පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

පාවුල් තිමෝතිගෙන් ඉහත ඉල්ලීම කිරීමට පෙර මෙවැනි දෙයක් පැවසුවා. ‘මම යහපත් සටනට සහභාගි වූවෙමි. එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි. ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න මෙතැන් සිට මා වෙනුවෙන්ම වෙන් කර තිබේ.’ (2 තිමෝ. 4:7, 8) පාවුල් එම වදන් පැවසුවේ දෙවෙනි වතාවට රෝමයේ සිරගතව සිටි අවස්ථාවේදීයි. ඔහු එය ලියන්න ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 65දී පමණ නීරෝ පීඩා කළ කාලයේදීයි. ඒ අවස්ථාවේදී ඔහුට මුහුණ දීමට සිදු වුණේ දරුණු තත්වයකටයි. තමාව ඉක්මනින්ම මරණයට පත් කරන බව ඔහු තේරුම්ගත්තා. (2 තිමෝ. 1:16; 4:6) පාවුල් දෙවිගේ වචනය අඩංගු ලියවිලි ගෙන්වාගැනීම ගැන පුදුම විය යුතු නැහැ. තමන් යහපත් සටන අවසන් වන තුරුම සටන් කළ බවට පාවුල්ට නිසැකකමක් තිබුණත් දිගටම දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් ශක්තිය ලබාගැනීමට ඔහුට අවශ්‍ය වුණා.

පාවුල්ගේ ඉල්ලීම ලැබෙන විට තිමෝති සිටියේ එෆීසයේ විය හැකියි. (1 තිමෝ. 1:3) එෆීසයේ සිට ත්‍රෝවසය හරහා රෝමයට කිලෝමීටර් 1,600කට ආසන්න දුරක් තිබෙනවා. පාවුල් තිමෝතිට ලියූ එම ලිපියේම මෙසේද පැවසුවා. “ශීත කාලයට කලින් මාව හමු වීමට උපරිම උත්සාහයක් දරන්න.” (2 තිමෝ. 4:21) ශීත කාලයට පෙර පාවුල්ව හමු වීමට තිමෝති ගියේ කොහොමද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ.

“ලියවිලි, විශේෂයෙන්ම සම් ලියවිලි” රැගෙන එන්න කියා පාවුල් ඉල්ලා සිටීමෙන් අපිට බොහෝ දේ ඉගෙනගත හැකියි. ඔහු ඔහුගේ ජීවිතයේ අසීරුම කාලයේදී පවා දෙවිගේ වචනයෙන් පෝෂණය වීමට ආශාවක් දැක්වුවා. දිගටම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තබාගැනීමට, උද්‍යෝගයෙන් සේවය කිරීමට සහ අන් අයව දිරිගැන්වීමට පාවුල්ට හැකි වුණේ දේවවචනය කෙරෙහි ඔහුට තිබුණු ළැදියාව නිසයි.

අපට සම්පූර්ණ බයිබලයේ පිටපතක් තිබීම ගැන අප මොන තරම් සතුටු විය යුතුද! සමහර අයට පිටපත් කිහිපයක් තිබෙන අතර විවිධ කාල වකවානුවල මුද්‍රණය කළ ඒවාද තිබෙනවා. පාවුල් මෙන් අපත් දේවවචනයේ ඇති ගැඹුරු දේවල් දැනගැනීමට ආශාවක් ඇති කරගත යුතුයි. දෙවිගේ මඟ පෙන්වීම යටතේ පාවුල් ලියූ ලිපි 14න් තිමෝතිට ලියූ දෙවෙනි ලිපිය ඔහුගේ අවසාන ලිපියයි. “ලියවිලි, විශේෂයෙන්ම සම් ලියවිලි” රැගෙන එන්න කියා පාවුල් තිමෝතිට කළ ඉල්ලීම සඳහන්ව තිබෙන්නේ එම ලිපියේ අවසානයට වෙන්නයි. එය ඔහුගේ අවසන් ඉල්ලීම් අතරින් එකක්.

ඔබගේ අධිෂ්ඨානයත් පාවුල් මෙන් යහපත් සටන අවසන් වන තුරුම සටන් කිරීමද? දේවසේවය නතර කරන්න කියා යේසුස් පවසන තුරු එහි උද්‍යෝගයෙන් හවුල් වීම ඔබේ ආශාවද? එසේනම් පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළ මේ දේ ඔබටත් කළ හැකියි. “ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න.” ඒ සඳහා දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කරන්න. එසේ කිරීමට එදා තිබූ ලියවිලිවලට වඩා ඉතා පහසුවෙන් භාවිත කළ හැකි සම්පූර්ණ බයිබලයම අප සතුව තිබෙනවා.—1 තිමෝ. 4:16.

[18, 19වන පිටුවල සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

එෆීසය

ත්‍රෝවසය

රෝමය