Skip to content

පටුනට යන්න

ඔබ දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් පිළිගන්නවාද?

ඔබ දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් පිළිගන්නවාද?

ඔබ දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් පිළිගන්නවාද?

“මම සියලු වැරදි මාර්ගවලට ද්වේෂ කරන්නෙමි.”—ගීතා. 119:128.

1, 2. (අ) මිත්‍රයෙකුගෙන් යම් මාර්ගයක විස්තර දැනගැනීමේදී ඔබ කැමති මොන වගේ අනතුරු ඇඟවීම් ලබාගැනීමටද? ඒ ඇයි? (ආ) යෙහෝවා දෙවි අපට ලබා දෙන අනතුරු ඇඟවීම් මොනවාද? ඔහු එසේ කරන්නේ ඇයි?

ඔබට ගමනක් යන්න තිබෙනවා කියා සිතන්න. නමුත් යා යුතු නිවැරදි මාර්ගය නිශ්චිතව දන්නේ නැති නිසා ඔබට උපකාරයක් අවශ්‍යයි. එම ස්ථානයට යන ආකාරය දන්නා විශ්වාසවන්ත මිත්‍රයෙක් ඔබට සිටිනවා. ඔහු ඔබට මඟ පෙන්වීම් කිහිපයක් ලබා දෙන අතර මාර්ගයේ තිබෙන අනතුරු කිහිපයක් ගැනද පවසනවා. උදාහරණයකට ඒ මාර්ගයේ අපැහැදිලි මාර්ග සලකුණක් තිබෙන බවත් එය අනුගමනය කළ අය අතරමං වී ඇති බවත් ඔහු ඔබට පවසනවා. ඔබ ඔහුගේ එම උපදෙස පිළිපදින්නේ නැද්ද? අපත් යම් ගමනක් යනවා. ඒ සදාකාල ජීවනයට යන ගමනයි. ඒ සඳහා අපට මඟ පෙන්වන අපගේ මිත්‍රයායෙහෝවා දෙවියි. අප ඔහුගේ අනතුරු ඇඟවීම් නොසලකා හරිනවා නම් අප ඔහුට කීකරු වෙනවා කියා පැවසිය නොහැකියි.—ද්වි. 5:32; යෙසා. 30:21.

2 මෙම ලිපියේ සහ ඊළඟ ලිපියේ දෙවි අපට ලබා දෙන අනතුරු ඇඟවීම් කිහිපයක් ගැන සාකච්ඡා කරනවා. යෙහෝවා දෙවි එසේ කරන්නේ අපට ප්‍රේම කරන නිසයි. ඔහුට අවශ්‍ය අප සදාකාලයටම ජීවත් වෙනවා දකින්නයි. ඒ නිසා කෙනෙක් අඥාන තීරණ ගෙන තමාට සේවය කිරීම නතර කරන විට දෙවි ඒ ගැන දුක් වෙනවා. (එස. 33:11) දෙවි අපට ලබා දෙන අනතුරු ඇඟවීම් තුනක් මේ ලිපියේ සාකච්ඡා කරනවා. ඒවා නම් වැඩිදෙනා කරන දේ කිරීම, අප තුළම ඇති වන ආශාව සහ උපකාර කළ නොහැකි දේවල් කෙරෙහි විශ්වාසය තැබීමයි. ඒවාට හසු වීමේ ඇති භායානකකම ගැනත් ඊට හසු නොවීමට දෙවි අපට උපකාර කරන ආකාරය ගැනත් අප දැන සිටිය යුතුයි. “මම සියලු වැරදි මාර්ගවලට ද්වේෂ කරන්නෙමි” කියා බයිබල් ලේඛකයෙක් පැවසුවා. (ගීතා. 119:128) ඔබගේ අධිෂ්ඨානයත් එයමද? එසේනම් සෑම ‘වැරදි මාර්ගයකින්ම’ වැළකී සිටීමට අපට හැකි ආකාර ගැන අප සලකා බලමු.

‘වැඩිදෙනෙකුගේ කීමට’ අනුව ක්‍රියා නොකරන්න

3. (අ) වැඩිදෙනා යන මාර්ගයේ යෑම අනතුරුදායක වන්නේ ඇයි? (ආ) නික්මයාම 23:2හි ඇති වැදගත් ප්‍රතිපත්තිය කුමක්ද?

3 ඔබ යන්නේ දුර ගමනක් කියා සිතන්න. යම් ස්ථානයකට පැමිණි පසු එතැනින් එහාට යා යුත්තේ කුමන මාර්ගයේද කියා ඔබ දන්නේ නැහැ. නමුත් බොහෝදෙනෙක් එක මාර්ගයක ගමන් කරනවා ඔබ දකිනවා. ඔවුන් පසුපස යෑම පහසු දෙයක් විය හැකියි. නමුත් වැඩිදෙනෙක් යන නිසා ඒ මාර්ගයේ යෑමට තීරණය කිරීම අනතුරුදායකයි. සමහරවිට ඔවුන් යන්නේ ඔබ යා යුතු ස්ථානයට නොවිය හැකියි. එසේත් නැත්නම් ඔවුන්ද පාර සොයාගැනීමට නොහැකිව වැරදි මාර්ගයක යනවා විය හැකියි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් නීතියක ඇති ප්‍රතිපත්තිය තේරුම්ගැනීමට එම උදාහරණය අපට උපකාරවත් වෙනවා. දෙවි එම නීතිය දුන්නේ විනිශ්චයකරුවන්ට සහ සාක්ෂිකරුවන්ටයි. ඔහු අනතුරු ඇඟෙව්වේ බොහෝදෙනාගේ කීම අසා ඔවුන්ව සතුටු කිරීමට වැරදි තීරණ ගන්න එපා කියායි. (නික්මයාම 23:2 කියවන්න.) මිනිසුන් පව්කාරකම උරුම කරගෙන සිටින නිසා එසේ කිරීමට පහසුවෙන්ම පෙලඹෙනවා. කෙසේවෙතත් ‘වැඩිදෙනෙකුගේ කීමට’ අනුව ක්‍රියා නොකරන්න යන ප්‍රතිපත්තිය දෙවි දුන්නේ විනිශ්චකරුවන් සහ සාක්ෂිකරුවන්ට පමණක් නොවෙයි.

4, 5. වැඩිදෙනාගේ කීමට අනුව ක්‍රියා කිරීමට යොෂුවා හා කාලෙබ්ට පීඩනයක් ඇති වුණේ කුමන අවස්ථාවෙදීද? ඔවුන්ට ධෛර්යවත්ව සිටීමට උපකාරවත් වුණේ කුමක්ද?

4 වැඩිදෙනාගේ කීමට අනුව ක්‍රියා කිරීමට පෙලඹීමක් ඕනෑම අවස්ථාවක ඇති විය හැකියි. කෙනෙකුට හදිසියේම එවැනි අවස්ථාවලට මුහුණ දීමටද සිදු විය හැකියි. කොහොමවුණත් වැඩිදෙනා කරන දේ නොකර සිටීම එතරම් පහසු දෙයක් නොවෙයි. යොෂුවා හා කාලෙබ් ගැන සලකා බලන්න. ඔවුන් දෙදෙනා තවත් දහදෙනෙක් සමඟ පොරොන්දු දේශයේ තොරතුරු සොයා බලන්න ගියා. දහදෙනා පැමිණ පැවසූ දේවල් නිසා ඊශ්‍රායෙල්වරුන් භය වුණා. එහි සිටින්නේ නෙෆිලිම්වරුන්ගෙන් පැවත එන යෝධයෝ කියා ඔවුන් පැවසුවා. (උත්. 6:4) එය කොහොමටවත් සිදු විය හැකි දෙයක් නොවෙයි. මන්ද ඊට අවුරුදු සිය ගණනකට කලින් එනම්, නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් නෙෆිලිම්වරුන් ඇතුළු සියලුදෙනාම විනාශ වුණා. නමුත් ඉශ්‍රායෙල්වරුන්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය අඩු වී තිබුණු නිසා ඔවුන් දහදෙනා පැවසූ දේ විශ්වාස කළා. ඉන් පැහැදිලි වන්නේ කෙනෙකුට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය අඩු වන විට මිනිසුන් කියන ඕනෑම දෙයක් විශ්වාස කිරීමට පෙලඹෙන බවයි. දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව පොරොන්දු දේශයට ඇතුල් වීම අනතුරුදායක බව ඊශ්‍රායෙල්වරුන් සිතුවා. නමුත් යොෂුවා හා කාලෙබ් ක්‍රියා කළේ කොහොමද?—ගණන්. 13:25-33.

5 ඔවුන් දෙදෙනා වැඩිදෙනාගේ කීමට අනුව ක්‍රියා කළේ නැහැ. ඊශ්‍රයෙල්වරුන් අකමැති වුණත් ඔවුන් දෙදෙනා සත්‍යය පැවසීමට බිය වුණේ නැහැ. ඊශ්‍රායෙල්වරුන් ඔවුන් දෙදෙනාව මරන්න උත්සාහ කළත් ඔවුන් හරි දේ කළා. ඔවුන්ට ඒ තරම් ධෛර්යයක් ඇතුව ක්‍රියා කිරීමට හැකි වුණේ දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ නොසැලෙන විශ්වාසය නිසයි. දෙවි කෙරෙහි එවැනි විශ්වාසයක් තිබෙනවා නම් කෙනෙක් පිළිගන්නේ මිනිසුන් පවසන දේ නොව දෙවි පවසන දෙයයි. දෙවි කෙරෙහි යොෂුවාට හා කාලෙබ්ට මොන තරම් විශ්වාසයක් තිබුණාද කියනවා නම් ඔවුන් පසු කාලයකදී පැවසුවේ දෙවි කියන සෑම දෙයක්ම ඔහු ඉටු කරන බවයි. (යොෂුවා 14:6, 8; 23:2, 14 කියවන්න.) ඔවුන් දෙදෙනා යෙහෝවා දෙවිට බොහෝ සේ ප්‍රේම කළ නිසා ඔහුව දුකට පත් කර මිනිසුන්ව සතුටු කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් අපට කදිම ආදර්ශයක්.—ගණන්. 14:1-10.

6. අප අන් අයගේ කීමට අනුව ක්‍රියා කිරීමට පෙලඹිය හැකි අවස්ථා මොනවාද?

6 වැඩිදෙනාගේ කීමට අනුව ක්‍රියා කිරීමට සමහර අවස්ථාවලදී ඔබත් පෙලඹී තිබෙනවාද? වැඩිදෙනෙක් යෙහෝවා දෙවිට ගෞරවය කරන්නේ නැහැ. හරි වැරැද්ද ගැන දෙවි පවසා ඇති දේවල් මෝඩ අදහස් බව ඔවුන් සිතනවා. හරි වැරැද්ද ඔවුන්ම තීරණය කරන අතර ඒවා අපගේ මනසට ඇතුල් කරන්නත් ඔවුන් උත්සාහ කරනවා. උදාහරණයකට අනාචාරය, සැහැසියාව හා භූතවාදය හුවා දක්වන චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් හෝ පරිගණක ක්‍රීඩා වැරදි නැති බව ඔවුන් පවසනවා. (2 තිමෝ. 3:1-5) ඔබ සහ ඔබේ පවුලේ අය විනෝදය සඳහා කරන්නේ කුමක්ද කියා ඔබ තීරණය කරන්නේ කොහොමද? යමක් හරි හෝ වැරදි කියා ඔබ තීරණය කරන්නේ අන් අය හරි හෝ වැරදි කියා ගන්නා තීරණවලට අනුවද? ඔබ එලෙස තීරණ ගන්නා කෙනෙක් නම් ඔබ ක්‍රියා කරන්නේ වැඩිදෙනාගේ කීමට අනුවයි.

7, 8. (අ) “වටහාගැනීමේ හැකියාව” පුහුණු කරගන්නේ කොහොමද? නීති මාලාවක් පිළිපැදීමට වඩා එය ප්‍රයෝජනවත් වන්නේ ඇයි? (ආ) බොහෝ යෞවන ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය ගැන ඔබ ප්‍රීති වන්නේ ඇයි?

7 තීරණ ගැනීමට උපකාරවත් වන වටිනා ත්‍යාගයක් දෙවි අපට දී තිබෙනවා. එය නම් යමක් ගැන හොඳින් සිතා බලා, හරි වැරැද්ද තෝරා බේරා ගැනීමට ඇති හැකියාවයි. “වටහාගැනීමේ හැකියාව” ලෙස එය බයිබලයේ හඳුන්වන අතර එම හැකියාව ‘භාවිත කිරීමෙන්’ හරි වැරැද්ද නිවැරදිව හඳුනාගත හැකි බවත් එහි පවසනවා. (හෙබ්‍රෙ. 5:14) අප සැමවිටම කරන්නේ අන් අය කරන දේ නම් අප කළ යුත්තේ කුමක්ද කියා නිතරම අන් අය අපට පැවසිය යුතු නම් අප වටහාගැනීමේ හැකියාව භාවිත කරනවා කියා පැවසිය නොහැකියි. බොහෝ අවස්ථාවලදී අප තීරණ ගත යුත්තේ අපේ හෘදය සාක්ෂියට එකඟවයි. උදාහරණයකට නුසුදුසු චිත්‍රපට, පොත් පත් සහ අන්තර්ජාල වෙබ් අඩවි මොනවාද කියා ලැයිස්තුවක් කෙනෙක් ලබා දෙයි කියා දෙවිගේ සෙනඟ බලාපොරොත්තු නොවිය යුතුයි. කෙනෙක් එසේ බලාපොරොත්තු වෙනවා නම් නිතරම අලුත් ලැයිස්තු සෑදීමට සිදු විය හැකියි. (1 කොරි. 7:31) අප වෙනුවෙන් අන් අය තීරණ ගැනීම අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව තීරණ ගැනීමට දෙවි දී තිබෙන හැකියාව අප භාවිත කිරීමයි. යෙහෝවා දෙවිට අවශ්‍ය වන්නේ අප බයිබලයේ පවසා ඇති දේ කුමක්ද කියා හොඳින් සිතා බලා, දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කර ඉන්පසු දෙවිව සතුටු වන ආකාරයේ තීරණ ගන්නවා දැකීමටයි.—එෆී. 5:10.

8 අප බයිබලයට එකඟව තීරණ ගන්නා විට සමහර අය ඊට කැමති නොවිය හැකියි. උදාහරණයකට වැඩිදෙනෙක් කරන දේ කිරීමට පාසැල් යන අපගේ දරුදැරියන්ට අන් අය බල කරනවා. ඒ නිසා ඔවුන් විශාල අභියෝගවලට මුහුණ දෙනවා. (1 පේතෘ. 4:4) නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ඒවා ජය ගෙන තිබෙනවා. බාල මහලු ක්‍රිස්තියානීන් යොෂුවා හා කාලෙබ්ගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් ප්‍රීතියට හේතුවක්ද!

“සිතේ ආශාවන්ට වහල් වෙමින් දකින දකින දේට ආශා” නොකරන්න

9. (අ) යම් මාර්ගයක යෑමට අප ආශා කරන නිසාම එහි ගමන් කිරීම නිෂ්ඵල වන්නේ ඇයි? (ආ) ගණන් කතාව 15:37-39හි ඇති ප්‍රතිපත්තිය ඊශ්‍රායෙල්වරුන්ට වැදගත් වුණේ ඇයි?

9 දෙවිට අකීකරු වීමට සලස්වන දෙවන හේතුව නම් අප තුළම ඇති වන ආශාවයි. ඔබේ ගමනාන්තය දැනගැනීමට ඔබට සිතියමක් තිබෙනවා කියා සිතන්න. නමුත් ඔබ එම සිතියම නොසලකාහැර අලංකාර දර්ශන තිබෙනවා කියා ඔබ සිතන මාර්ගවල ගමන් කරනවා නම් ගමනාන්තයට යන්න ඔබට පුළුවන් වෙයිද? නැහැ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ඉගැන්වූ වැදගත් ප්‍රතිපත්තියක් තේරුම්ගන්න එම උදාහරණය අපට උපකාරවත් වෙනවා. එම ප්‍රතිපත්තිය දෙවි ඔවුන්ට ලබා දුන් නීතියක ඇතුළත් වෙනවා. එම නීතිය ගණන් කතාව 15:37-39හි (කියවන්න.) සඳහන් වී තිබෙනවා. දෙවි ඊශ්‍රායෙල් ජාතියට ඔවුන්ගේ වස්ත්‍රවල වාටිය හා නිල් පටිය ගැන නීතියක් දුන්නේ ඇයි කියා බොහෝදෙනෙකුට තේරුම්ගන්න බැහැ. එය ඔබ තේරුම්ගෙන සිටිනවාද? එම නිතිය ලබා දීමට එක් හේතුවක් වුණේ දෙවිගේ සෙනඟ වෙනස් සෙනඟක් බව පැහැදිලිව හඳුන්වා දීමටයි. ඔවුන්ට ඇත්තටම දෙවිව සතුටු කිරීමට අවශ්‍ය නම් ඔවුන් අනික් ජාතීන්ට වඩා වෙනස් අය විය යුතු වුණා. (ලෙවී. 18:24, 25) නමුත් එම නීතිය දීමට තවත් හේතුවක් තිබෙනවා. ඒ ගැන දැන් අපි සලකා බලමු.

10. මිනිසුන්ගේ සිත පහසුවෙන්ම නොමඟ යා හැකි බව දෙවි දන්නවා කියා පෙන්නුවේ කොහොමද?

10 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ඉහත නීතිය ලබා දීමට හේතුව ඔවුන් “සිතේ ආශාවන්ට වහල් වෙමින් දකින දකින දේට ආශා” කිරීමට ඉඩ තිබීමයි. මිනිසුන්ගේ සිත පහසුවෙන්ම නොමඟ යා හැකි බව දෙවි දන්න නිසා මෙසේ අනතුරු ඇඟෙව්වා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද?” (යෙරෙ. 17:9) දෙවිට සේවය නොකරන ජාතීන්ව දුටු විට ඊශ්‍රායෙල්වරුන්ටත් එම ජාතීන් හා සමාන වීමට සිතිය හැකි බව ඔහු දැන සිටියා. ඔවුන් අඳින පළඳින, සිතන පතන හා ක්‍රියා කරන ආකාරය අනුකරණය කිරීමට ඊශ්‍රායෙල්වරුන් තුළත් පෙලඹීමක් ඇති වීමට ඉඩ තිබුණා.—හිතෝ. 13:20.

11. අපගේ සිතේ ආශාවන්ට අනුව ක්‍රියා කිරීමට අප පෙලඹිය හැක්කේ කුමන අවස්ථාවේදීද?

11 දකින දේට අනුව ක්‍රියා කිරීමට තිබෙන පෙලඹීම එදාට වඩා අද ප්‍රබලයි. අද අප ජීවත් වන්නේ වැරදි ආශාවන් ඉටු කරගැනීමට අපව පොලඹවන සමාජයකයි. එසේනම් ගණන් කතාව 15:39හි ඇති ප්‍රතිපත්තිය අපට උපකාරවත් වන්නේ කුමන අවස්ථාවලදීද? අප අවට සමාජයේ සිටින අය අඳින්නේ අන් අය තුළ ලිංගික හැඟීම් ඇවිස්සෙන ආකාරයටයි. එය පාසැලේ, රැකියා ස්ථානයේ හා අසල්වාසීන් අතර දැකිය හැකියි. නිතර නිතර ඒ වගේ අයව දකින නිසා ඔවුන්ව අනුකරණය කරන්න අප පෙලඹෙන්න පුළුවන්. ඊට ඉඩ දීමෙන් සිදු වන්නේ අප ක්‍රිස්තියානීයෙකුට නොගැළපෙන ආකාරයේ ඇඳුම් අඳින්න පටන්ගැනීමයි.—රෝම 12:1, 2.

12, 13. (අ) නරක දෙයක් දෙස බැලීමට අප තුළ ආශාවක් ඇති වෙනවා නම් කුමක් කළ හැකිද? (ආ) අන් අය තුළ වැරදි ආශාවන් ඇති නොකිරීම සඳහා අප ක්‍රියා කළ යුතු ආකාරය ගැන බයිබලයේ දෙන උපදෙස කුමක්ද?

12 අපගේ ආශාවන් පාලනය කිරීම ඉතා වැදගත්. වැරදි දෙයක් දෙස බැලීමට අප තුළ ආශාවක් ඇති වෙනවා නම් අපි යෝබ්ගේ අධිෂ්ඨානය මතකයට නඟා ගනිමු. ඔහු තම ඇස් සමඟ ගිවිසුමක් ඇති කරගත් බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු විවාහක කෙනෙක්. ඒ නිසා වෙනත් ස්ත්‍රියක් දෙස වැරදි චේතනාවකින් නොබැලීමට ඔහු ස්ථිර අධිෂ්ඨානයක් ගෙන තිබුණා. (යෝබ් 31:1) දාවිත් රජුද ඒ හා සමාන අධිෂ්ඨානයක් ගෙන තිබුණා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.” (ගීතා. 101:3) දාවිත් මෙන් අපත් “කිසි කමකට නැති දේවල්” දෙස නොබලන්න තීරණය කළ යුතුයි. දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට හානි සිදු කරන ඕනෑම දෙයක් “කිසි කමකට නැති” දෙයක් කියා පැවසිය හැකියි. අප බලන කුමන හෝ දෙයක් අපව වරදට පොලඹවනවා නම් එයද ඊට ඇතුළත්.

13 අනික් අතට අන් අය තුළ වැරදි ආශාවන් ඇති වන ආකාරයෙන් අප ඇඳුම් අඳිනවා නම් අපත් “කිසි කමකට නැති” කෙනෙක් විය හැකියි. අප “මනා පිළිවෙළකින්” හා ‘විනීතව’ ඇඳ පැළඳ සිටිය යුතුයි කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (1 තිමෝ. 2:9) අප ‘විනීතව’ ඇඳ පැළඳ සිටිනවා නම් ඉන් පෙන්වන්නේ අප අප ගැන පමණක් නොව අන් අය ගැනත් සිතන බවයි. (රෝම 15:1, 2) ක්‍රිස්තියානි යෞවනයන් බොහෝදෙනක් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඔවුන් දකින දකින දේට ආශා නොවී ක්‍රියා කිරීම ඇත්තෙන්ම සතුටට කරුණක්. ඔවුන් උත්සාහ කරන්නේ සෑම දෙයකදීම දෙවිව සතුටු කිරීමටයි.

“කිසි වැදගැම්මකට නැති” දේවල් පසුපස නොයන්න

14. “කිසි වැදගැම්මකට නැති” දේවල් පසුපස යෑමේ ඇති අනතුර ගැන සාමුවෙල් පැවසුවේ කුමක්ද?

14 ඔබ යන ගමන අතරතුර ඔබට කාන්තාරයක් මැදින් යෑමට සිදු වෙනවා කියා සිතන්න. එක ස්ථානයක ජලය තිබෙන බව ඔබ දුර තියා දකිනවා. නමුත් එය මිරිඟුවක්. ඒ මිරිඟුව පසුපස ගියොත් ඔබට කුමක් සිදු වෙයිද? ඔබට කාන්තාරයේ අතරමං වී මිය යෑමට පවා සිදු විය හැකියි. ඒ හා සමානව අපට උපකාර කළ නොහැකි දෙයක් කෙරෙහි විශ්වාසය තැබීම මොන තරම් අවදානම්ද කියා යෙහෝවා දෙවි දන්නවා. ඒ ගැන ඔහු ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවා තිබුණා. අවට සිටි ජාතීන්ව පාලනය කළේ රජවරුන් නිසා ඊශ්‍රායෙල්වරුන්ටත් රජ කෙනෙක්ව අවශ්‍ය වුණා. ඉන් ඔවුන් පෙන්නුවේ දෙවිව රජ ලෙස ඔවුන් පිළි නොගන්නා බවයි. එය බරපතළ පාපයක්. ඔවුන්ව පාලනය කිරීමට දෙවි රජ කෙනෙකුට ඉඩ දුන්නත් “කිසි වැදගැම්මකට නැති” දේවල් පසුපස යෑමේ ඇති අනතුර ගැන අනාගතවක්තෘ සාමුවෙල් මාර්ගයෙන් ඔවුන්ට දැනුම් දුන්නා.1 සාමුවෙල් 12:21 කියවන්න.

15. ඊශ්‍රායෙල්වරු “කිසි වැදගැම්මකට නැති” දේවල් පසුපස ගියේ කොහොමද?

15 යෙහෝවා දෙවිට වඩා රජ කෙනෙක් කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව ඊශ්‍රායෙල්වරු සිතන්න ඇති. ඔවුන් එසේ සිතුවා නම් ඔවුන් ඇත්තටම විශ්වාස කළේ “කිසි වැදගැම්මකට නැති,” උපකාර කිරීමට හැකියාවක් නැති දෙයක් කෙරෙහියි. ඔවුන් එවැනි දෙයක් කෙරෙහි විශ්වාසය තැබීම සාතන් ඉදිරිපත් කරන තවත් බොහෝ දේවල් කෙරෙහි විශ්වාසය තැබීමට හේතු වුණා. උදාහරණයකට ඔවුන්ව පහසුවෙන්ම රූප නමස්කාරය සඳහා යොමු කිරීමට මිනිස් පාලකයන්ට හැකිකම තිබුණා. එවැනි දේවලට හවුල් වීමෙන් ඔවුන් පෙන්වන්නේ සියල්ලේ නිර්මාතෘ වන දෙවිව විශ්වාස කරනවාට වඩා ලී සහ ගල්වලින් නිම කළ දෙවිවරුන්ව විශ්වාස කරන බවයි. පාවුල් පැවසුවේ දේවතා රූප “කිසි වැඩකට නැති දෙයක්” බවයි. (1 කොරි. 8:4) රූපවලට කිසිවක් පෙනෙන්නේ නැහැ, ඇසෙන්නේ නැහැ, කතා කරන්න බැහැ. ඒවාට ක්‍රියා කරන්නත් බැහැ. රූප දැකීමට හෝ ඇල්ලීමට හැකි නිසා කෙනෙක් ඒවාට නමස්කාර කරනවා නම් ඔහුත් ‘එම රූප හා සමානයි.’—ගීතා. 115:4-8.

16. (අ) සාතන් “කිසි වැදගැම්මකට නැති” දේවල් කෙරෙහි ජනයාව යොමු කරන්නේ කොහොමද? (ආ) අපට සන්තෝෂය හා ආරක්ෂාව ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට පමණක් බව පවසන්න පුළුවන් ඇයි?

16 සාතන් අද දිනත් “කිසි වැදගැම්මකට නැති” දේවල් කෙරෙහි විශ්වාසය තැබීමට ජනයාව පොලඹවමින් සිටිනවා. උදාහරණයකට හොඳ රැකියාවක්, මුදල් හා සුඛෝපභෝගි භාණ්ඩ තිබෙනවා නම් තමන්ට සන්තෝෂය හා ආරක්ෂාව තිබෙන බව විශ්වාස කිරීමට ඔහු මිනිසුන්ව පොලඹවනවා. තම ප්‍රශ්න ගැටලුවලට විසඳුම ඒවායින් ලබාගත හැකි බව ජනයා විශ්වාස කරනවා. නමුත් දරුණු රෝගයකට ගොදුරු වූ විට, ආර්ථිකය බිඳ වැටෙන විට හෝ ස්වාභාවික විපතක් සිදු වන විට ඒවායින් ප්‍රයෝජනයක් තිබෙයිද? තම ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පළිතුරු සෙවීමේදී ඒවායින් ප්‍රයෝජනයක් තිබෙයිද? කෙනෙකුව මරණයෙන් ගලවාගැනීමට ඒවාට හැකිද? එවැනි දේවලට අපට අවශ්‍ය සන්තෝෂය හා ආරක්ෂාව ලබා දීමට නොහැකි නිසා ඒවා ඇත්තටම “කිසි වැදගැම්මකට නැති” දේවල් බව පැහැදිලියි. (හිතෝ. 23:4, 5) අපට සැබෑ සන්තෝෂය හා ආරක්ෂාව ලැබිය හැක්කේ සැබෑ දෙවි වන යෙහෝවා සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් පවත්වාගැනීමෙන් පමණයි. අපගේ සියලු ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දිය හැක්කේ ඔහුට පමණයි. ඒ නිසා අපි යෙහෝවා දෙවිව අත්හැර “කිසි වැදගැම්මකට නැති” දේවල් පසුපස නොයමු.

17. අනතුරු ඇඟවීම් තුන ගැන දැනගැනීමෙන් පසු ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

17 සදාකාල ජීවනයට යන ගමනේදී අපගේ මිත්‍රයා ලෙස යෙහෝවා දෙවි අපට මඟ පෙන්වීම ගැන අප සතුටු වෙනවා. අප ඔහුගේ අනතුරු ඇඟවීම්වලට දිගටම සවන් දෙනවා නම් අපට සදාකල් ජීවත් විය හැකියි. වැඩිදෙනා කරන දේ කිරීම, අප තුළම ඇති වන ආශාව සහ උපකාර කළ නොහැකි දේවල් කෙරෙහි විශ්වාසය තැබීම යන අනතුරු ඇඟවීම් තුන ගැන අප මෙම ලිපියේ සාකච්ඡා කළා. ඊළඟ ලිපියේ තවත් අනතුරු ඇඟවීම් තුනක් ගැන සාකච්ඡා කරනවා. “සියලු වැරදි මාර්ගවලට” ද්වේෂ කරන්නත් ඒවා මඟහරින්නත් යෙහෝවා දෙවි අපට උපකාර කරන ආකාරය ඉන් තේරුම්ගත හැකියි.—ගීතා. 119:128.

ඔබ සිතන්නේ කුමක්ද?

පහත සඳහන් බයිබල් පදවලින් ඉගෙනගත් ප්‍රතිපත්ති ඔබ අදාළ කරගන්නේ කොහොමද?

නික්මයාම 23:2

ගණන් කතාව 15:37-39

1 සාමුවෙල් 12:21

ගීතාවලිය 119:128

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූරය]

වැඩිදෙනා කරන දේ කිරීම ඥානවන්තද?

[13වන පිටුවේ පින්තූරය]

දකින දකින දේට ආශා කිරීම අනතුරුදායක වන්නේ ඇයි?

[14වන පිටුවේ පින්තූරය]

ඔබත් “කිසි වැදගැම්මකට නැති” දේවල් පසුපස යනවාද?