Skip to content

පටුනට යන්න

ඔබ දෙවි මෙන් විවේක ගන්නවාද?

ඔබ දෙවි මෙන් විවේක ගන්නවාද?

ඔබ දෙවි මෙන් විවේක ගන්නවාද?

“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙව් 4:12.

1. අද දින දෙවි මෙන් විවේක ගන්න අපට පුළුවන් කොහොමද? දෙවිට කීකරු වීම අභියෝගයක් වන්නේ මොන වගේ අවස්ථාවකදීද?

දෙවි මෙන් විවේක ගැනීමට නම් අප දෙවිට කීකරු වී ඔහුගේ සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතු බව කලින් ලිපියේ සාකච්ඡා කළා. අප දෙවිට කීකරු වීමෙන් පෙන්වන්නේ ඔහුගේ අරමුණ ඉටු වීම අපගේත් ආශාව බවයි. නමුත් සමහර අවස්ථාවලදී දෙවිට කීකරු වීම අභියෝගයක් විය හැකියි. උදාහරණයකට අප ආශාවෙන් කරන දෙයක් දෙවි නතර කරන්න කියා ඉල්ලා සිටින විට එය එකවරම නතර කිරීම පහසු දෙයක් නොවිය හැකියි. එවැනි අවස්ථාවකදී අප දෙවිට ‘කීකරු වීමට සූදානමින්’ සිටින්න ඉගෙනගත යුතුයි. (යාකො. 3:17) අප මෙම ලිපියෙන් සලකා බලන්නේ අප ඇත්තටම දෙවිට කීකරු වීමට සූදානම්ද නැද්ද කියා හෙළි වන අවස්ථාවන් කිහිපයක් ගැනයි.

2, 3. දෙවිව සතුටු කිරීමට අප දිගටම කළ යුත්තේ කුමක්ද?

2 ජීවිතයේ යම් වෙනස්කම් කරගැනීමට අවශ්‍යයි කියා ඔබ බයිබලයෙන් ඉගෙනගන්නා විට ඊට කීකරු වීමට ඔබ සූදානම්ද? මේ ගැන සිතන්න. දෙවි තම සංවිධානය තුළට ‘සියලු ජාතීන්ගේ වටිනා වස්තු’ රැස් කරන බව බයිබලයේ සඳහන් වෙනවා. (හග්. 2:7) ඉන් අදහස් කරන්නේ හරි දේ කිරීමට ආශාවක් දක්වන අයව දෙවි වටිනා අය ලෙස තෝරාගන්නා බවයි. අපෙන් බොහෝදෙනෙක් බයිබලය ගැන ඉගෙනගැනීමට පටන්ගත් කාලයේදී බොහෝ වැරදි කරමින් සිටි බව ඇත්තයි. නමුත් දෙවිට සහ ඔහුගේ පුත්‍රයාට ප්‍රේම කිරීමට පටන්ගත් නිසාත් දෙවිව සතුටු කිරීමට තිබූ ආශාව නිසාත් අපේ සිතුවිලි හා ක්‍රියාවල විශාල වෙනස්කම් අප සිදු කළා. එම වෙනස්කම් කිරීමට දැඩි වෙහෙසක් දැරූ අතර ඒ සඳහා දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කළා. අවසානයේදී අප දෙවිට කැප වී බව්තීස්ම වීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගත්තා.කොලොස්සි 1:9, 10 කියවන්න.

3 කෙසේවෙතත් අප අතින් වැරදි සිදු වෙනවා. ඒ නිසා දෙවි සතුටු වන ආකාරයෙන් ජීවත් වීමට දැඩි වෙහෙසක් දැරිය යුතුයි. එවිට යෙහෝවා දෙවි අපට උපකාර කරන බව පොරොන්දු වී තිබෙනවා.

ජීවිතයේ වෙනස්කම් කිරීමට සිදු වන විට

4. අප ජීවිතයේ යම් වෙනස්කම් කළ යුතු බව පෙන්වා දීමට දෙවි යොදාගන්නා ක්‍රම තුනක් සඳහන් කරන්න.

4 ජීවිතයේ වෙනස්කම් කිරීම සඳහා මුලින්ම ඒවා හඳුනාගැනීම අවශ්‍යයි. ඒ සඳහා දෙවි අපට විවිධාකාරවලින් උපකාර කරනවා. අපගේ සිතුවිලි හෝ ක්‍රියාවල කළ යුතු යම් වෙනස්කම් ගැන රැස්වීමකදී අසන්න ලැබෙන කතාවකින් හෝ සඟරාවක පළ වන ලිපියකින් අපට මඟ පෙන්වීම් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රම දෙකෙන් පවා අපට එය අවබෝධ නොවිය හැකියි. එවැනි අවස්ථාවකදී අපව කාරුණිකව නිවැරදි කිරීමට සෙසු ක්‍රිස්තියානියෙකුව පොලඹවන්න යෙහෝවා දෙවිට පුළුවන්.ගලාති 6:1 කියවන්න.

5. කෙනෙක් අපව නිවැරදි කරන විට සමහර අවස්ථාවලදී අප ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? වැඩිමහල්ලන් දිගටම අපට උපකාර කිරීමට උත්සාහ කරන්නේ ඇයි?

5 අප හා සමාන අසම්පූර්ණ කෙනෙක් කාරුණික ලෙස අපව නිවැරදි කිරීමට උත්සාහ කළත් එය පිළිගැනීම සැමවිටම පහසු දෙයක් නොවෙයි. නමුත් අපව ‘මෘදුකමින් නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න’ කියා වැඩිමහල්ලන්ට අණ කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. (ගලා. 6:1) අප ඔවුන්ට කීකරු වෙනවා නම් අප දෙවි ඉදිරියේ පෙරට වඩා “වටිනා” අය බවට පත් වෙයි. අප අතින් බොහෝ වැරදි සිදු වන බව අප දෙවිට පැවසුවත් අප අතින් සිදු වූ වරදක් වැඩිමහල්ලෙකු අපට පෙන්වා දෙන විට සමහරවිට අප ක්‍රියා කරන්නේ ඊට වෙනස් ආකාරයටයි. අප උත්සාහ කරන්නේ සිදු වූ දේට හේතු දැක්වීමට හෝ එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බව පෙන්වීමටයි. එමෙන්ම ඔවුන් අපට උපදෙස් දෙන්නේ අප සමඟ ඇති අමනාපයක් නිසා නැත්නම් උපදෙස් දුන් ආකාරය කාරුණික නැහැ කියා පැවසීමට පෙලඹිය හැකියි. (2 රාජා. 5:11) සමහරවිට අප නිවැරදි කරගැනීමට අකමැති දෙයක් ඔවුන් පෙන්වා දුන්නොත් ඔවුන් සමඟ කෝප වීමට පවා අප පෙලඹෙන්න පුළුවන්. උදාහරණයකට අපේ පවුලේ සාමාජිකයෙකු අඳින පළඳින ආකාරය ගැන හෝ වෙනත් අඩුපාඩුවක් ගැන පෙන්වා දිය හැකියි. එසේ නැත්නම් පිරිසිදුකම අතින් අප තව දියුණු විය යුතුයි කියා හෝ නුසුදුසු විනෝදාංශවලින් වැළකිය යුතු බව පෙන්වා දිය හැකියි. ඒ ගැන අප කෝප වී අකාරුණික ලෙස ඔවුන්ට කතා කිරීමට පෙලඹෙන්න පුළුවන්. එය අපටත් අපට උපකාර කිරීමට පැමිණි සහෝදරයන්ටත් විශාල වේදනාවක්. නමුත් ඔවුන් උපදෙස් දුන්නේ අපගේම ප්‍රයෝජනයට බව කෝපය නිවුණු පසු බොහෝවිට අපට වැටහෙයි.

6. කෙනෙකුගේ ‘සිතේ සිතුවිලිද චේතනාද වටහාගැනීමට’ දෙවිගේ වචනයට පුළුවන් කොහොමද?

6 මෙම ලිපියේ ප්‍රධාන බයිබල් පාඨය වන හෙබ්‍රෙව් 4:12හි දෙවිගේ වදන් “බලවත්” බව සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට බයිබලයට හැකි බවයි. බව්තීස්ම වීමට පෙරත් පසුවත් ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගැනීමට එය අපට උපකාර කළා. දේවවචනයේ ඇති බලය ගැන පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. ‘එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් ඔහුගේ සිතේ සිතුවිලිද චේතනාද වටහාගැනීමටත් ඊට හැකියි.’ (හෙබ්‍රෙ. 4:12) “බාහිර ස්වභාවය” යන්නෙන් අදහස් වන්නේ අන් අය අප ගැන පිටතින් දකින දෙයයි. “සැබෑ ඇතුළාන්ත ස්වභාවය” කීමෙන් අදහස් කරන්නේ අප ඇත්තටම මොන වගේ පුද්ගලයන්ද යන්නයි. ඒ අනුව පාවුල්ගේ වචනවලින් අදහස් වන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ අප දැනගත් පසු අප ක්‍රියා කරන ආකාරයෙන් අප ඇත්තටම මොන වගේ පුද්ගලයන්ද කියා හෙළි වන බවයි. අන් අය අපව පිටතින් දකින ආකාරයට වඩා අපේ ඇතුළාන්ත ස්වභාවය වෙනස් බව අපට දැනෙනවාද? (මතෙව් 23:27, 28 කියවන්න.) දැන් සලකා බලන සිද්ධීන්වලට මුහුණ දීමට ඔබට සිදු වුණා නම් ඔබ කරන්නේ කුමක්ද?

දෙවිගේ සංවිධානය සමඟ ඉදිරියටම යන්න

7, 8. (අ) සමහර හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් නීතියේ සමහර කොටස් පැවැත්වුවේ ඇයි? (ආ) එසේ කිරීම දෙවිගේ අරමුණට විරුද්ධව කටයුතු කිරීමක් වුණේ කොහොමද?

7 “ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි” කියා හිතෝපදේශ 4:18හි සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ ගැන අපේ අවබෝධය ක්‍රමයෙන් වැඩි වන විට ඔහුගේ සිත වැඩි වැඩියෙන් සතුටු කිරීමට අපට හැකි වන බවයි.

8 යේසුස්ගේ ජීවිත පූජාවෙන් පසුවත් බොහෝ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් දෙවි මෝසෙස් මගින් දුන් නීතිය පැවැත්වූ බව අප කලින් ලිපියේ සලකා බැලුවා. (ක්‍රියා 21:20) නමුත් ඔවුන් තවදුරටත් එම නීතිය පවත්වන්න අවශ්‍ය නැති බව පාවුල් ඉතා පැහැදිලිව පවසා තිබියදීත් සමහරුන් එය පිළිගත්තේ නැහැ. (කොලො. 2:13-15) සමහරවිට ඔවුන් එම නීතියේ යම් කොටස් පවත්වන්න ඇත්තේ යුදෙව් ආගමික නායකයන්ගෙන් පැමිණෙන පීඩා මඟහැරීමට විය හැකියි. නමුත් පාවුල් ඔවුන්ට පැහැදිලි කළේ ඔවුන් දිගින් දිගටම දෙවිගේ අරමුණට විරුද්ධව කටයුතු කරනවා නම් දෙවි මෙන් විවේක ගැනීමට ඔවුන්ට නොහැකි බවයි. * (හෙබ්‍රෙ. 4:1, 2, 6; හෙබ්‍රෙව් 4:11 කියවන්න.) ඔවුන් දෙවිගේ අනුමැතිය ලැබීමට නම් දෙවි ඇති කළ අලුත් සැලැස්මට එකඟව නමස්කාර කළ යුතු බව පිළිගැනීමට ඔවුන්ට සිදු වුණා.

9. බයිබලයේ සඳහන් ඉගැන්වීමක් ගැන අපට දී තිබෙන අවබෝධයේ යම් වෙනසක් සිදු කළොත් ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

9 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන අපට කලින් තිබූ අවබෝධයේ යම් වෙනස්කම් සිදු කරන විට අප ඒ ගැන සතුටු විය යුතුයි. ඉන් පැහැදිලි වන්නේ අපට සත්‍යය අවබෝධ කර දීමට යෙහෝවා දෙවි විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව යොදාගන්නා බවයි. බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් ගැන අපට දී තිබෙන අවබෝධයේ යම් නිවැරදි කිරීමක් හෝ වඩා පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියා හැඟෙන විට එම දාසයාව නියෝජනය කරන පාලක මණ්ඩලය අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. එසේ කිරීමට ඔවුන් පසුබසින්නේ නැහැ. සමහරුන් ඒ සම්බන්ධයෙන් තමන්ව විවේචනය කරන බව ඔවුන් දැන සිටියත් ඔවුන්ට වැදගත් වන්නේ නිතරම දෙවිගේ අරමුණට එකඟව කටයුතු කිරීමයි. විශ්වාසවන්ත දාසයා යම් වෙනසක් සිදු කළොත් ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?ලූක් 5:39 කියවන්න.

10, 11. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අලුත් ක්‍රමයක් යොදාගත යුතු බව තේරුම්ගත් විට සමහර බයිබල් ශිෂ්‍යයන් කළේ කුමක්ද? ඉන් අප ඉගෙනගන්නේ කුමක්ද?

10 අපි තවත් උදාහරණයක් සලකා බලමු. අවුරුදු සිය ගණනකට පෙර සිටි දක්ෂ ලෙස කතා ඉදිරිපත් කළ සමහර බයිබල් ශිෂ්‍යයන් සිතුවේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි හොඳම ක්‍රමය වන්නේ ප්‍රසිද්ධියේ කතා ඉදිරිපත් කිරීම බවයි. පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්වුවා. ඔවුන්ගෙන් සමහරුන් කැමති වුණේ අන් අයගේ ප්‍රශංසාව ලැබීමටයි. නමුත් පසු කාලයේදී ඔහුගේ සෙනඟගේ අවබෝධය වැඩි වෙනවාත් සමඟම ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ගෙයින් ගෙට යෑම සහ වෙනත් ක්‍රම යොදාගැනීම දෙවිගේ කැමැත්ත බව දෙවිගේ සෙනඟ තේරුම්ගත්තා. ඒ වුණත් ඔවුන් අතර සිටි දක්ෂ කථිකයන් ඊට කැමති වුණේ නැහැ. ඔවුන්ගේ කතා ඇසූ සමහරුන් සිතුවේ ඔවුන් දෙවිට ප්‍රේම කරන, ඔහුට කීකරු අය කියායි. නමුත් ඔවුන් එසේ නොවන බව ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වුණා. ඔවුන්ට දෙවිගේ අනුමැතිය අහිමි වූ අතර ඔවුන් දෙවිගේ සංවිධානය අත්හැර ගියා.—මතෙ. 10:1-6; ක්‍රියා 5:42; 20:20.

11 බොහෝ බයිබල් ශිෂ්‍යයන්ටත් මුලදී ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීම පහසු වුණේ නැහැ. නමුත් ඔවුන් දිගටම දෙවිගේ සංවිධානය සමඟ විශ්වාසවන්තව කටයුතු කළා. කල් යද්දී ගෙයින් ගෙට සේවය පහසු කාර්යයක් වුණා. යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කළා. දේවසේවයේදී ඔබ කෙදිනකවත් අත්හදා බලා නැති ක්‍රමයක් දාස පන්තිය ඔබට යෝජනා කළොත් ඔබ කරන්නේ කුමක්ද? එය පහසු කාර්යයක් නොවුණත් ඔබ ඊට කීකරු වෙනවාද?

අප ආදරය කරන කෙනෙක් දෙවිගෙන් ඈත් වන විට

12, 13. (අ) “ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න” කියා දෙවි පවසන්නේ ඇයි? (ආ) දෙමාපියන්ට එය අභියෝගයක් වන්නේ ඇයි?

12 දෙවිව සතුටු කිරීමට නම් පවිත්‍රව සිටින්න කියා ඔහු දී තිබෙන අණට අප කීකරු විය යුතුයි. (තීතස් 2:14 කියවන්න.) නමුත් ඊට කීකරු වීම අභියෝගයක් වන අවස්ථාද තිබෙනවා. මේ උදාහරණය බලන්න. දෙවිට විශ්වාසවන්ත යුවළකගේ එකම පුතා දෙවිව අත්හැර යනවා. ඔහු කැමති දෙවි හා දෙමාපියන් සමඟ තිබෙන බැඳීමට වඩා ‘පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳින්නයි.’ ඔහු දෙවිගේ ප්‍රමිතිවලට පටහැනිව කටයුතු කරන නිසා ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරයි.—හෙබ්‍රෙ. 11:25.

13 එය ඔහුගේ දෙමාපියන්ට මොන තරම් වේදනාවක්ද! ඒ වුණත් මේ උපදෙස ගැන ඔවුන් දන්නවා. “යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි. එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි.” ඒ වගේම “ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න” යන ආඥාවද ඔවුන් දන්නවා. (1 කොරි. 5:11, 13) එහි සඳහන් “යම් සහෝදරයෙක්” කියද්දී එකම නිවසේ ජීවත් නොවන පවුලේ සාමාජිකයන්ද ඊට අයත් බව ඔවුන් තේරුම්ගන්නවා. නමුත් ඔවුන් තම දරුවාට එතරම්ම ආදරය කරන නිසා මෙසේ සිතිය හැකියි. “අපි නිතර නිතර එයත් එක්ක කතා කරන්න ඕන. එහෙම කරන්නේ නැතුව යෙහෝවා දෙවි වෙතට හැරෙන්න එයාට උදව් කරන්නේ කොහොමද?” *

14, 15. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දරුවා සමඟ කතා කිරීමේදී දෙමාපියන් මතක තබාගත යුත්තේ කුමක්ද?

14 එම දෙමාපියන් දුකින් සිටිනවා දැකීම අපටත් විශාල දුකක්. ඒ පුතාට අවශ්‍ය නම් ඔහු ගිය වැරදි මාර්ගයෙන් හැරී එන්න අවස්ථාව තිබුණා. නමුත් තම ආදරණීය දෙමාපියන් සහ දෙවිගේ සෙනඟ සමඟ සිටිනවාට වඩා ඔහු ආශා කළේ වැරදි මාර්ගයේ යෑමටයි. දරුවාට උපකාර කිරීමට දෙමාපියන් ආශාවෙන් සිටියත් ඔහුගේ තීරණය වෙනස් කිරීමට ඔවුන්ට බැහැ. ඒ නිසා දෙමාපියන්ට ඔහු ගැන මොන තරම් දුකක් දැනෙනවා ඇද්ද!

15 මේ අවස්ථාවේදී ඔවුන් දෙවි දී තිබෙන ආඥාවට කීකරු වෙයිද? කලාතුරකින් පැනනැඟිය හැකි අත්‍යවශ්‍ය පවුලේ කාරණයකදී ඔහුව හමු වී කතා කිරීමට දෙමාපියන්ට සිදු විය හැකියි. නමුත් ඒ හැර ඔහු සමඟ කතා කිරීමට ඔවුන් තවත් හේතු සොයයිද? ඒ පිළිබඳ තීරණයක් ගැනීමේදී දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ඔවුන් මතක තබාගත යුතුයි. ක්‍රිස්තියානි සභාවෙන් “ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න” කියා දෙවි පැවසුවේ දෙවිගේ සෙනඟ නිතරම පවිත්‍රව සිටීම ඔහු බලාපොරොත්තු වන නිසයි. අනික් අතට වැරදි කළ පුද්ගලයා ඒවා අත්හැර නැවත තමා වෙතට හැරී එනවා දැකීම දෙවිගේ කැමැත්තයි. මෙම සිද්ධියේදී දෙවි හා සමාන ආකල්පයක් ඇතුව සිටීමට එම දෙමාපියන්ට පුළුවන් කොහොමද?

16, 17. ආරොන් මුහුණ දුන් සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

16 මෝසෙස්ගේ සහෝදරයා වූ ආරොන් ඉතා අසීරු අද්දැකීමකට මුහුණ දුන්නා. ඔහුගේ පුතුන් දෙදෙනා වන නාදාබ් සහ අබිහු දෙවි නියම නොකළ ආකාරයේ පූජාවක් ඔප්පු කළ නිසා දෙවි ඔවුන්ව ගින්නෙන් විනාශ කළා. එය ආරොන්ගේ සිතට මොන තරම් වේදනාවන් ගෙන දෙන්න ඇද්ද! තම දරුවන්ව නැවත දකින්නවත් කතා කරන්නවත් ඔහුට බැහැ. ඊටත් වඩා දුෂ්කර දෙයක් වුණේ ආරොන්වත් ඔහුගේ අනික් දරුවන්වත් සිදු වූ දේ ගැන දුක් වෙනවාට යෙහෝවා දෙවි අකමැති බව මෝසෙස් මාර්ගයෙන් මෙසේ පවසා තිබීමයි. “ඔබේ හිසකෙස් අවුල් කරගන්නවත් ඔබේ ඇඳුම් ඉරාගන්නවත් එපා. ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය ඔබට අහිමි වෙයි. දෙවි මුළු සෙනඟ සමඟද කෝප වෙයි.” (ලෙවී. 10:1-6) එම සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? දෙවිට පිටු පා ක්‍රියා කළ පවුලේ කෙනෙකු කෙරෙහි තිබෙන ප්‍රේමයට වඩා යෙහෝවා දෙවි කෙරෙහි බලවත් ප්‍රේමයක් අපට තිබිය යුතුයි.

17 අද දින තම නීතිවලට අකීකරු වන අයව යෙහෝවා දෙවි ඒ මොහොතේම විනාශ කරන්නේ නැහැ. වැරදි කළ අයට තමා වෙතට හැරී ඒමට දෙවි ප්‍රේමණීය ලෙස අවස්ථාව දී තිබෙනවා. නමුත් සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දරුවෙක් සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන දෙවි දී ඇති ආඥාවලට කීකරු නොවී දෙමාපියන් ඔහු සමඟ කතා කිරීමට හේතු සොයනවා නම් ඒ ගැන දෙවිට කෙසේ හැඟෙයිද?

18, 19. යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමෙන් පවුලේ අනික් සාමාජිකයන් ලබන ප්‍රයෝජන මොනවාද?

18 නැවතත් යෙහෝවා දෙවි වෙතට හැරී ආ බොහෝදෙනෙක් පවසන්නේ තම පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන් තමන්ට වඩා දෙවිට විශ්වාසවන්තව සිටිමින් තමන් සමඟ කතා නොකිරීම දෙවි වෙතට හැරීමට හේතු වූ බවයි. යෞවනියක් වැඩිමහල්ලන්ට පැවසුවේ ඇයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කර තිබූ කාලයේදී ඇගේ වැඩිමල් සහෝදරයා දෙවි දී තිබෙන මඟ පෙන්වීම්වලට දිගටම කීකරු වෙමින් ඇය සමඟ කතා නොකර සිටි බවයි. දෙවි වෙතට හැරී ඒමට එය හේතුවක් වූ බව ඇය පැවසුවා.

19 අපටත් එවැනි දේකට මුහුණ දීමට සිදු වුණොත් අප කරන්නේ කුමක්ද? අප සෑම කාරණයකදීම දෙවිට කීකරු වීම අවශ්‍යයි. අප පව්කාරකම උරුම කරගෙන සිටින නිසා එය සැමවිටම පහසු දෙයක් නොවෙයි. නමුත් දෙවි දී තිබෙන සෑම ආඥාවක්ම අපේම යහපත සඳහා බව අපි කිසිවිටෙකත් අමතක නොකරමු!

“දෙවිගේ වදන් ජීවමානය”

20. හෙබ්‍රෙව් 4:12හි සඳහන් අදහස අපට තේරුම්ගත හැකි ආකාර දෙක කුමක්ද? (පාදසටහන බලන්න.)

20 “දෙවිගේ වදන් ජීවමානය” කියා පාවුල් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ බයිබලය ගැන නොවෙයි. * (හෙබ්‍රෙ. 4:12) ඉන් අදහස් කළේ දෙවිගේ පොරොන්දු ගැන බව එම පරිච්ඡේදයේ අනික් පදවලින් පැහැදිලි වෙනවා. පාවුල් පැවසුවේ එම පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු වන බවයි. තම පොරොන්දු ගැන යෙහෝවා දෙවි මෙසේ පවසා තිබෙනවා. ‘මාගේ මුවින් නික්මෙන මාගේ වචන කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.’ (යෙසා. 55:11) අපට අවශ්‍ය කාලයේදී දෙවිගේ පොරොන්දු ඉටු නොවුණත් ඒවා ඉටු කිරීම සඳහා ඔහු ක්‍රියා කරමින් සිටින බව ස්ථිරයි. ඊට හේතුව ඔහුගේ අරමුණට ඒවා සම්බන්ධ වීමයි. ඒ නිසා අප ඒ දෙස ඉවසීමෙන් බලා සිටිය යුතුයි.—යොහ. 5:17.

21. මහලු අයට දිගටම දෙවිට සේවය කිරීමට හෙබ්‍රෙව් 4:12 දිරිගැන්වීමක් වන්නේ කොහොමද?

21 ‘මහත් සමූහයට’ අයත් බොහෝදෙනෙක් වසර ගණනාවක් පුරා දෙවිට සේවය කරමින් සිටිනවා. (එළි. 7:9) ඔවුන් මුළු ජීවිත කාලයම මේ දුෂ්ට සමාජය තුළ ගෙවන්න බලාපොරොත්තු නොවන්න ඇති. නමුත් ඔවුන් තවමත් විශ්වාසවන්තව හැකි උපරිමයෙන් දෙවිට සේවය කරනවා. (ගීතා. 92:14) දෙවිගේ වදන් ජීවමාන නිසා ඔහුගේ පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු වන බවත් ඔවුන් දන්නවා. (හෙබ්‍රෙ. 4:12) පොළොව හා මිනිසුන් සම්බන්ධයෙන් තම අරමුණ ඉටු කිරීම වෙනුවෙන් දෙවි කටයුතු කරන බවත් ඔවුන් දන්නවා. ඊට හේතුව එය දෙවිට ඉතා වැදගත් වීමයි. අපත් එය වැදගත්කොට සලකා ඊට දායක වන විට දෙවි ඉතා සතුටු වෙනවා. දෙවි විවේක ගත් හත්වන දවස අතරතුර ඔහුගේ අරමුණ ඉටු වීමට බාධා කරන්න කිසිවෙකුට බැහැ! තම සෙනඟ තම අරමුණ ඉටු කිරීමට දායක වන බව දෙවි දන්නවා. ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ දෙවි මෙන් විවේක ගන්නවාද?

[පාදසටහන්වල]

^ 8 ඡේ. මෝසෙස් මගින් දෙවි දුන් නීතියේ සෑම දෙයක්ම අකුරටම පැවැත්වීමට බොහෝ ආගමික නායකයන් උත්සාහ කළා. නමුත් යේසුස් පොළොවට පැමිණි විට ගැලවුම්කරු ලෙස ඔහුව පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. එසේ කිරීමෙන් ඔවුන් දෙවිගේ අරමුණට විරුද්ධව ක්‍රියා කළා.

^ 13 ඡේ. “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” නමැති පොතේ 237-239 දක්වා පිටු බලන්න.

^ 20 ඡේ. දෙවි අද අපට බයිබලය තුළින් කතා කරනවා. අපේ ජීවිත වෙනස් කරන්නත් ඊට බලය තිබෙනවා. ඒ අනුව හෙබ්‍රෙව් 4:12හි අදහස දේවවචනය වන බයිබලයටද අදාළයි.

ඔබට මතකද?

• දෙවි මෙන් විවේක ගැනීමට අපට පුළුවන් කොහොමද?

• දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ අප බයිබලයෙන් දැනගන්නා විට ඔහුව සතුටු කිරීමට අපට අවශ්‍ය බව පෙන්වන්නේ කොහොමද?

• දෙවිට කීකරු වීම අපට අභියෝගයක් වන්නේ කුමන අවස්ථාවලදීද? එවැනි අවස්ථාවලදී පවා ඔහුට කීකරු වීම වැදගත් ඇයි?

හෙබ්‍රෙව් 4:12හි සඳහන් අදහස අපට තේරුම්ගත හැකි ආකාර දෙක කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[31වන පිටුවේ පින්තූරය]

දෙමාපියන්ට මොන තරම් වේදනාවක්ද!