Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලැබූ ජයග්‍රහණයක්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලැබූ ජයග්‍රහණයක්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලැබූ ජයග්‍රහණයක්!

වර්ෂ 1991දී සෝවියට් ජනරජය විසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආගමක් ලෙස ලියාපදිංචි කළා. සෝවියට් ජනරජය බිඳ වැටුණු පසු රුසියාවේ ඇති වූ අලුත් රජයද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නීත්‍යනුකූල ආගමක් ලෙස පිළිගත්තා. ඒ වගේම කලින් තිබුණු පාලනය සාක්ෂිකරුවන්ට පීඩා කළ බව අලුත් ආණ්ඩුව පිළිගත්තා. ඊට අමතරව සාක්ෂිකරුවන්ව රුසියානු නීතිපති දෙපාර්තමේන්තුව විසින් 1993දී ‘මොස්කව්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්’ ලෙස ලියාපදිංචි කළා. වර්ෂ 1993දී රුසියානු රජය අලුත් ව්‍යවස්ථාවක් සම්මත කළා. එම ව්‍යවස්ථාවට අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තිබෙනවා. මෙවැනි වෙනස්කම් සිදු වෙන තුරු අපගේ සහෝදර සහෝදරියන් වසර ගණනාවක් බලා සිටියා.

නිදහස ලැබීමත් සමඟම රුසියාවේ සිටින සහෝදර සහෝදරියන් ඔවුන්ගේ සේවය වැඩි කළ අතර එමගින් බොහෝදෙනෙකුට සත්‍යය ඉගෙනගැනීමට අවස්ථාව උදා වුණා. (2 තිමෝ. 4:2) වර්ෂ 1990 සිට 1995 අතරතුර කාලයේදී මොස්කව් නගරයේ සිටි සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 300 සිට 5,000 දක්වා වර්ධනය වුණා. මෙම වර්ධනය සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට විරුද්ධ වන අයට දරාගත නොහැකි වුණ නිසා ඔවුන් සාක්ෂිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කළා.

චෝදනා සොයා බැලීම ඇරඹේ

සාක්ෂිකරුවන්ට විරුද්ධව මුල්ම ප්‍රහාරය ආරම්භ වුණේ 1995 ජූනි මාසයේදියි. රුසියාවේ ඕතඩොක්ස් සභාවට සහයෝගය දැක්වූ පිරිසක් සාක්ෂිකරුවන් දරුණු අපරාධකාරයන් කියා පැමිණිලි කරමින් නඩුවක් ගොනු කළා. වර්ෂ 1996 ජූනි මාසයේදී එම පැමිණිල්ල ගැන සොයා බැලූ බලධාරීන් පැවසුවේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කළ පැමිණිල්ලට කිසිම පදනමක් නැති බවයි. කෙසේවෙතත් එම පිරිස හතර වතාවක්ම ඉහත පැමිණිල්ල ඉදිරිපත් කළා. සෑම අවස්ථාවකදීම ඒ සම්බන්ධයෙන් බලධාරීන් සාක්ෂි සෙව්වත් කිසිම සාක්ෂියක් සොයාගැනීමට හැකි වුණේ නැහැ. අවසානයේදී 1998 අප්‍රියෙල් 13වෙනිදා එම නඩුව අහෝසි කළා.

ඕතඩොක්ස් සභාවට පක්ෂව කතා කළ නීතිඥවරිය පැවසුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපරාධකරුවන් බව ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වුණත් සාක්ෂිකරුවන්ගේ වැඩ නතර කිරීමට ඔවුන්ට විරුද්ධව සිවිල් නඩුවක් දැමිය හැකි බවයි. සිවිල් නඩුවක් ලෙස හඳුන්වන්නේ පොලීසිය විසින් නොව මහජනයා විසින් ගොනු කරන නඩුවකටයි. ඒ අනුව සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩුවක් ගොනු කළා. මොස්කව් නගරයේ දිසා අධිකරණයේ 1998 සැප්තැම්බර් 29වෙනිදා නඩු විභාගය ආරම්භ කළා.

බයිබලයෙන් සාක්ෂි

මේ නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් කතා කළේ ටට්යානා කොන්ඩ්‍රාට්යාවා යන නීතිඥවරියයි. ඇය සාක්ෂිකරුවන්ට චෝදනා කිරීමට 1997දී ස්ථාපිත කළ රජයේ නීතිය යොදාගත්තා. එම නීතියට අනුව පිළිගත් ආගම් ලෙස සැලකුවේ ඕතඩොක්ස් ක්‍රිස්තියානීන්, ඉස්ලාම්, යුදෙව් ආගම සහ බෞද්ධාගම යන ආගම් පමණයි. එක් පුවත්පතක සඳහන් වුණේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට තිබෙන වුවමනාව නිසා ඉහත නීතිය ගෙන ඒමට ඕතඩොක්ස් පල්ලිය විශාල ප්‍රයත්නයක් දැරූ බවයි. ඔවුන්ට අවශ්‍ය වුණේ රජය විසින් සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරනවා දැකීමටයි. යම් ආගමක් මිනිසුන් අතර වෛරයක් ඇති කරනවා නම් ඉහත කී නීතියට අනුව එම ආගම තහනම් කිරීමට අවසර තිබුණා. නීතිඥවරිය පැවසුවේ සාක්ෂිකරුවන් මිනිසුන් අතර වෛරයක් ඇති කරන නිසාත් පවුල් තුළ ආරවුල් ඇති කරන නිසාත් එම ආගම තහනම් කළ යුතු බවයි.

සාක්ෂිකරුවන්ට පක්ෂව කතා කළ නීතිඥවරයෙක් මෙසේ ඇසුවා. “මොස්කව් නගරයේ තිබෙන සාක්ෂිකරුවන්ගේ සභාවේ නීතියට අකීකරු වන හා මිනිසුන් අතර වෛරයක් ඇති කරන අය කවුද කියා ඔබට කියන්න පුළුවන්ද?” ඇයට කිසි කෙනෙකුගේ නමක් සඳහන් කරන්න හැකි වුණේ නැහැ. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගම පමණක් සත්‍යය ආගම කියා ඔවුන්ගේ පොත් පත්වල උගන්වන නිසා ඔවුන් අන් අය කෙරෙහි වෛරයක් ඇති කරන බවට ඇය චෝදනා කළා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන තවත් නීතිඥවරයෙක් ඇයටයි විනිසුරුවරයාටයි බයිබලයේ පිටපතක් ලබා දුන්නා. ඉන්පසු ඔහු එෆීස 4:5හි සඳහන් මෙම වදන් කියෙව්වා. “සිටින්නේ එක ස්වාමියෙක්ය. අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය. ඇත්තේ එක බව්තීස්මයක්ය.” යොහන් 17:18 සහ යාකොබ් 1:27හි ඇති අදහස්වලටද ඔහු ඔවුන්ගේ අවධානය යොමු කළා. එම බයිබල් පද සලකා බැලීමෙන් පසු විනිසුරු මෙසේ ඇසුවා. “මෙම බයිබල් පද අනිත් ආගම්වල අය කෙරෙහි වෛරයක් ඇති කරනවාද?” එවිට නීතිඥවරිය පැවසුවේ ඇය බයිබල් විශාරදයෙක් නොවන බවයි. ඉන්පසු සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රුසියාවේ ඕතඩොක්ස් සභාවෙන් නිකුත් කර තිබූ ප්‍රකාශනවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කර තිබූ චෝදනා පෙන්වා “මෙම ප්‍රකාශනවල තිබෙන දේවල් නීතියට පටහැනි නැද්ද” කියා ප්‍රශ්න කළා. එවිට එම නීතිඥවරිය නැවතත් ඇය ආගම සම්බන්ධ විශාරදයෙක් නොවන බව පැවසුවා.

පදනම් විරහිත චෝදනා

සාක්ෂිකරුවන් පවුල් කඩාකප්පල් කරන අය බවට චෝදනා කරමින් නීතිඥවරිය ඒ සඳහා උදාහරණයක් ලෙස ගත්තේ ඔවුන් නිවාඩු දින උත්සව නොපැවැත්වීමයි. සාක්ෂිකරුවන් තම දරුවන්ට අවශ්‍ය විවේකය ලබා නොදෙන බවටත් ඔවුන්ගේ සතුට වෙනුවෙන් කිසිවක් නොකරන බවටත් ඇය චෝදනා කළා. නමුත් රුසියානු රජය විසින් නිවාඩු දින උත්සවය පැවැත්වීම අනිවාර්යය කර නැති බව ඇය පසුව පිළිගත්තා. ඇය කිසි දවසක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් සමඟ කතා කර නැති බවත් ඔවුන්ගේ රැස්වීම්වලට සහභාගි වී නැති බවත් ඇය පිළිගත්තා.

ඉන්පසු ඇය මනෝ වෛද්‍යවරයෙක්ව උසාවියට කැඳෙව්වා. සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවීමෙන් මානසික ගැටලු ඇති වන බව ඔහු පැවසුවා. කෙසේවෙතත් ඔහු උසාවියට ඉදිරිපත් කළ ලියවිල්ලේ ඇති තොරතුරු බොහොමයක් ලබාගත්තේ ඕතඩොක්ස් පල්ලියේ නායකයෙකු ලියූ වාර්තාවකින් බව ඔහු පිළිගත්තා. එමෙන්ම ඔහු කිසිම දවසක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුට ප්‍රතිකාර කර නැති බවත් පිළිගත්තා. පසුව එම ක්ෂේත්‍රයේම තවත් වෛද්‍යවරයෙක් උසාවියට පැවසුවේ තමා මොස්කව් නගරයේ වෙසෙන සාක්ෂිකරුවන් සියදෙනෙකුට වඩා වැඩි පිරිසක්ව අධ්‍යයනය කර තිබෙන බවයි. ඔවුන් හොඳ මානසික තත්වයක සිටින බවත් ඔවුන් සාක්ෂිකරුවන් වූවාට පසු පෙරට වඩා වෙනත් ආගම්වලට ගෞරවය කරන බවත් ඔහු පැවසුවා.

ජයග්‍රහණයක් ලැබුවත් එය අවසන් තීරණය නොවෙයි

වර්ෂ 1999 මාර්තු 12වෙනිදා මොස්කව් නගරයේ විනිසුරුවරියක් උගතුන් පස්දෙනෙකුව සාක්ෂිකරුවන්ගේ පොත් පත් ගැන සොයා බැලීමට පත් කළා. ඒ නිසා නඩුව කල් දැමුවා. නමුත් ඊට කලින් රුසියාවේ අධිකරණ අමාත්‍යංශය විසින්ද සාක්ෂිකරුවන්ගේ පොත් පත් ගැන සොයා බැලීම සඳහා උගත් කණ්ඩායමක් පත් කර තිබුණා. සාක්ෂිකරුවන්ගේ පොත් පත්වල කිසිම වරදක් සොයාගැනීමට නොහැකි බව මෙම කණ්ඩායම 1999 අප්‍රියෙල් 15වෙනිදා පැවසුවා. ඒ අනුව සාක්ෂිකරුවන්ට රුසියාවේ පිළිගත් ආගමක් ලෙස දිගටම ක්‍රියා කළ හැකි බව 1999 අප්‍රියෙල් 29වෙනි දින අධිකරණ අමාත්‍යංශය විසින් ප්‍රකාශ කළා. කෙසේවෙතත් මොස්කව් නගරයේ විනිසුරුවරිය පවසා සිටියේ ඇය පත් කළ පස්දෙනාත් සාක්ෂිකරුවන්ගේ පොත් පත් අධ්‍යයනය කළ යුතු බවයි. මෙය අසාමාන්‍ය දෙයක්. ඊට හේතුව මුළු රටම නියෝජනය කරන රුසියාවේ අධිකරණ අමාත්‍යාංශය විසින් සාක්ෂිකරුවන් නීතියට කීකරු සෙනඟක් ලෙස පිළිගත හැකි බව පැවසුවත් මොස්කව් නගරයේ විනිසුරුවරිය තවමත් ඒ පිළිබඳව තොරතුරු සෙවීමයි. කෙසේවෙතත් සාක්ෂිකරුවන් නීති උල්ලංගනය කරන අය බව අන් අය පැමිණිලි කර තිබෙන නිසා මොස්කව් නීතිපති දෙපාර්තමේන්තුව විසින් දිගටම සාක්ෂිකරුවන් ගැන තොරතුරු සොයමින් සිටියා.

වසර දෙකකට පසු මොස්කව් නගරයේදී නැවතත් නඩු විභාගය ආරම්භ වුණා. මොස්කව් නගරයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට කිසිම පදනමක් නැති බව 2001 පෙබරවාරි 23වෙනිදා එහි විනිසුරුවරිය වන යෙලේනා ප්‍රෝහෝරිචාවෙ පැවසුවා. අපගේ සහෝදරයන්ට විරුද්ධව තිබෙන සියලුම චෝදනා බොරු බව උසාවිය තීරණය කළා. නමුත් නීතිඥවරිය එම තීරණයට එකඟ නොවූ නිසා නඩුව නැවත විභාග කරන ලෙස මොස්කව්හි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. මාස තුනකට පසු එනම්, 2001 මැයි 30වනදා විනිසුරුවරිය දුන් තීරණය නිෂ්ප්‍රභ කළා. ඉන්පසු වෙනත් විනිසුරුවරයෙකු යටතේ එම නඩුව විභාග කරන ලෙස උසාවිය විසින් නියෝග කළා. නමුත් නීතිඥවරිය ඇයමයි.

පරාජය වුණත් එය අවසානය නොවෙයි

වර්ෂ 2001 ඔක්තෝබර් 30වනදා නැවතත් නඩු විභාගය ආරම්භ වුණා. එහි විනිසුරුවරිය ලෙස ක්‍රියා කළේ වෙරා ඩුබින්ස්කායේයි. සාක්ෂිකරුවන් අන් අය අතරේ වෛරයක් ඇති කරන බවට නීතිඥවරිය නැවතත් චෝදනා කළා. සාක්ෂිකරුවන්ගේ ආගම තහනම් කළ යුත්තේ ඔවුන්ගේම ආරක්ෂාව සඳහා බව ඇය පැවසුවා. සාක්ෂිකරුවන්ට මෙය සැලවූ වහාම මොස්කව් නගරයේ සිටින සාක්ෂිකරුවන් 10,000දෙනාම නීතිඥවරිය පවසන ආකාරයේ ආරක්ෂාවක් තමන්ට අවශ්‍ය නැති බව සඳහන් කරමින් පෙත්සමක් අත්සන් කර දුන්නා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ ආගම නිසා සෝවියට් සමූහණ්ඩුවේ නිලධාරින් පීඩා කළ බව රුසියානු රජය පිළිගෙන තිබුණේ හරියටම ඊට අවුරුදු 10කට කලින් එනම්, 1991 ඔක්තෝබර් 30වනදා වීම විශේෂත්වයක්.

සාක්ෂිකරුවන් වැරදි දෙයක් කරන බව ඔප්පු කිරීමට ඇයට අවශ්‍ය නැති බව නීතිඥවරිය පැවසුවා. ඔවුන්ට විරුද්ධව නඩුවක් පවරා තිබෙන්නේ ඔවුන්ගේ පොත් පත් හා ඔවුන්ගේ විශ්වාසයන්ට විරුද්ධව මිසක් ඔවුන් කරන දේට විරුද්ධව නොවෙයි කියා ඇය පැවසුවා. ඉන්පසුව ඇය රුසියාවේ ඕතඩොක්ස් පල්ලියේ සාමාජිකයෙකුව උසාවියට ගෙන්නුවා. සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට ඕතඩොක්ස් පල්ලියේ නායකයන්ට අවශ්‍ය වූ බව ඉන් පැහැදිලියි. නැවතත් 2003 මැයි 22වනදා සාක්ෂිකරුවන්ගේ පොත් පත් ගැන සොයා බැලීමට විනිසුරුවරිය ආගම පිළිබඳ විද්වතුන් කණ්ඩායමක් පත් කළා.

එම කණ්ඩායම සොයාගත් තොරතුරු සාකච්ඡා කිරීමට 2004 පෙබරවාරි 17වනදා නැවතත් උසාවිය රැස් වුණා. එම කණ්ඩායමේ අය පැවසුවේ එම පොත් පත්වල තිබෙන්නේ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් හා විවාහ ජීවිතයක් ගත කළ හැකි ආකාරය ගැන තොරතුරු බවයි. අන් අයට වෛර කිරීමට උගන්වන කිසිවක් එහි සඳහන් වී නැති බවත් ඔවුන් පැවසුවා. ආගමික ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකුගෙන් විනිසුරුවරිය මෙසේ ඇසුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරන්නේ ඇයි?” ක්‍රිස්තියානීන් දේශනා කළ යුතු බව බයිබලයේ සඳහන් වෙනවා කියා එම මහාචාර්යවරයා පැවසුවා. සෑමදෙනාටම දේශනා කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අණ කර තිබෙනවා. සාක්ෂිකරුවන්ට පක්ෂව සියලුම සාක්ෂි තිබුණත් විනිසුරුවරිය 2004 මාර්තු 26වනදා සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් වර්ෂ 2004 ජූනි 16වනදා මොස්කව් ශ්‍රේෂ්ඨාධිකරණය කලින් දුන් තීරණය අනුමත කළා. ඒ තීන්දුව නිසා මොස්කව් නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කිරීමට නීතිමය සංවිධානයක් තිබුණේ නැහැ. සාක්ෂිකරුවන්ගේ වැඩ නතර කරන්න තමන්ට හැකි වෙයි කියා විරුද්ධවාදීන් සිතුවා.

සහෝදරයන් ක්‍රියා කළේ කොහොමද? ඔවුන්ගේ වැඩ නතර කිරීමට ඔවුන් විරුද්ධවාදීන්ට ඉඩහැරියේ නැහැ. ඔවුන් දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළා. (1පේතෘ 4:12, 16) යෙහෝවා දෙවිගේ උපකාරය ඔවුන්ට තිබෙන බවට ඔවුන් තුළ නිසැකකමක් තිබුණා. දෙවිට නමස්කාර කිරීමට තිබෙන අයිතිය රැකගැනීමට ගත් උත්සාහය ඔවුන් අත්හැරියේ නැහැ.

විරුද්ධවාදිකම් වැඩි වෙයි

අපගේ සහෝදරයන් 2004 අගෝස්තු 25වනදා එවකට රුසියාවේ ජනාධිපතිව සිටි ව්ලැඩිමිර් පුටෙන්ට පෙත්සමක් ඉදිරිපත් කළා. තම වැඩ තහනම් කළ පසු සහෝදරයන්ට හැඟුණු ආකාරය එහි සඳහන් කර තිබුණා. එම පෙත්සමට 3,15,000ක් අත්සන් කර තිබූ අතර එය පොත් 76කින් සමන්විත වුණා. රුසියාවේ ඕතඩොක්ස් පල්ලියේ නායකයන් පැවසුවේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි” කියායි.

සාක්ෂිකරුවන්ට විරුද්ධව කළ චෝදනා සැබෑ ඒවා බව පිළිගත් සමහර රුසියානු ජාතිකයන් ඔවුන්ට පීඩා කරන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන් දේශනා කරන විට ඔවුන් සාක්ෂිකරුවන්ට පහර දුන්නා. එක් සහෝදරියක් දේශනා කරමින් සිටින විට එක් පුද්ගලයෙක් විරෝධය පාමින් එම ගොඩනැඟිල්ලෙන් පිට වී යන්න කියා ඇයට බල කළා. ඉන්පසු ඔහු ඇයට පයින් ගැසූ අතර එම පහරින් බිම වැටුණු සහෝදරියගේ හිස තුවාල වුණා. ඒ නිසා ඇයට ප්‍රතිකාර ගැනීමට පවා සිදු වුණා. නමුත් ඔහුට විරුද්ධව පොලීසිය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලීසිය සාක්ෂිකරුවන්ව අපරාධකරුවන් මෙන් සලකා ඔවුන්ව අත්අඩංගුවට ගත්තා, හිරේ දැම්මා. සාක්ෂිකරුවන්ට රැස්වීම් පැවැත්වීමට ශාලා කුලියට දී තිබූ කළමනාකරුවන් ඔවුන්ගේ රැකියා අහිමි වෙයි යන බිය නිසා තවදුරටත් සාක්ෂිකරුවන්ට ඒවා දීමට කැමති වුණේ නැහැ. ඒ නිසා බොහෝ සභාවලට රැස්වීම් පැවැත්වීමට ස්ථානයක් තිබුණේ නැහැ. උදාහරණයකට සභා 40කට රැස්වීම් පැවැත්වීම සඳහා තිබුණේ නමස්කාර මධ්‍යස්ථාන හතරක් පමණයි. එක් සභාවකට ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීමට සිදු වුණේ උදෑසන 7.30ටයි. චාරිකා සේවකයෙක් පැවසුවේ ඔවුන්ට එම රැස්වීමට පැමිණීම සඳහා පාන්දර පහට අවදි වීමට සිදු වුණ බවයි. නමුත් ඔවුන් එසේ කිරීමට කැමති වූ අතර අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඔවුන් එසේ කළා.

නඩු විභාගය මගින් දෙවි ගැන ලැබුණු සාක්ෂිය

සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම නීති විරෝධී බව පෙන්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ නිසා 2004 දෙසැම්බර් මාසයේදී අපගේ නීතිඥයන් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයෙන් පිහිට පැතුවා. සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබූ සියලු චෝදනා සලකා බැලූ පසු ඔවුන් වරදකරුවන් නොවන බව ඉන් වසර හයකට පසු එනම්, 2010 ජූනි 10වනදා එම අධිකරණය තීරණය කළා. අධිකරණය පැවසුවේ සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබෙන සියලු චෝදනා අසත්‍ය බවයි. ඒ වගේම රුසියානු රජය විසින් සාක්ෂිකරුවන්ට පැනවූ තහනම ඉවත් කළ යුතු බවටත් ඔවුන්ට සිදු වූ සියලුම අසාධාරණකම් නැවත නිවැරදි කළ යුතු බවටත් එම අධිකරණය නියෝග කළා. නමුත් රුසියානු රජය එම නඩුව නැවත විභාග කරන ලෙස ඉල්ලා සිටියා. ඒ නිසා යුරෝපීය මානව අයිතිවාසිකම් පිළිබඳ උපරිමාධිකරණයට එම නඩුව ඉදිරිපත් කරන්න කියා යුරෝපීය අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් 2010 නොවැම්බර් 22වනදා උපරිමාධිකරණයේ විනිසුරුවන් පස්දෙනෙක් එම නඩුව නැවත විභාග කිරීම අවශ්‍ය නැති බව තීරණය කළා. ඉන් පැහැදිලි වන්නේ 2010 ජූනි 10වනදා දුන් තීන්දුව අවසාන තීන්දුව බව හා ඊට කීකරු විය යුතු බවයි.—“අධිකරණයේ තීන්දුව” යන 8වන පිටුවේ ඇති කොටුව බලන්න.

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය නීතිය මගින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් ආරක්ෂා කරන බව එම අධිකරණය විසින් පැවසුවා. මෙම තීරණය අදාළ වන්නේ රුසියාවට පමණක් නොවෙයි. යුරෝපා කවුන්සලයට අයත් අනිකුත් සාමාජික රටවල් 47ටත් එම නීතිය අදාළයි. ලොව වටා සිටින විනිසුරුවන්, නීති සම්පාදනය කරන්නන් හා මානව අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යයනය කරන ජනයා එම තීරණය ගැන උනන්දු වෙනවා. ඊට හේතුව එම අධිකරණයේ විනිසුරුවන් එම තීරණය ගත්තේ මීට පෙර සාක්ෂිකරුවන්ට පක්ෂව ගත් තීරණ අටක් සලකා බැලීමෙන් හා ආජන්ටිනාවේ, කැනඩාවේ, ජපානයේ, රුසියාවේ, දකුණු අප්‍රිකාවේ, ස්පාඤ්ඤයේ, එක්සත් රාජධානියේ සහ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව දුන් තීන්දු නවය සලකා බැලීමෙන් අනතුරුවයි. ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නමස්කාර කිරීමේ අයිතිය රැකගැනීමට එම අධිකරණයේ තීරණය ප්‍රයෝජනයට ගත හැකියි.

යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ ජනයා “ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට” ගෙන යන බවයි. එය ‘ඔවුන්ටත් ජාතීන්ටත් මා ගැන සාක්ෂියක්’ වන බව ඔහු පැවසුවා. (මතෙ 10:18) රුසියාවේ අවුරුදු 15ක් පුරා පැවතුණු එම නඩු විභාගය නිසා මොස්කව් නගරයේ ජනයාට පමණක් නොව වෙනත් රටවල සිටින ජනයාටත් මින් පෙර කිසිදාකටත් වඩා යෙහෝවා දෙවි ගැන දැනගැනීමට හැකි වුණා. එම නඩු විභාගයේදී සිදු වූ සියල්ලක්ම “ශුභාරංචියේ දියුණුවට දායක වූ” බව පැහැදිලියි. (ෆිලි 1:12) අප ප්‍රකාශ කරන රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය නවත්වන්න කිසිම කෙනෙකුට බැහැ. රුසියාවේ සිටින අපගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන්ට දිගටම නිර්භීතව සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමු.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රුසියාවට දුන් තීන්දුව ප්‍රංශය සැලකිල්ලට ගත්තේ ඇයි?

මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මතයට තමන් එකඟ බවට 1996 පෙබරවාරි 28වනදා රුසියානු රජය අත්සන් කළා. (එය 1998 මැයි 5වනදා රුසියානු රජය ස්ථිර කළා.) ඒ අනුව එහි වැසියන්ගේ ආගමික නිදහසට පහත සඳහන් කාරණා ඇතුළත් වෙනවා.

‘තමන් කැමති ආගමක් නිවසේදී හෝ ප්‍රසිද්ධියේ ඇදහීමට හෝ තම ආගම වෙනස් කිරීමට ඇති නිදහස.’—9 වගන්තිය.

‘වගකීමකින් යුතුව තමන් සිතන දේ අන් අයට පැවසීමට හෝ ලිවීමට හෝ එම තොරතුරු බෙදාහැරීමට ඇති නිදහස.’—10 වගන්තිය.

‘සාමකාමීව පවත්වන රැස්වීම්වලට සහභාගි වීමේ ඇති නිදහස.’—11 වගන්තිය.

එම ගිවිසුමේ ඇති නීති උල්ලංගනය වන ආකාරයෙන් යම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට විරුද්ධව ක්‍රියා කර තිබෙනවා නම් ඒ පිළිබඳව ප්‍රංශයේ පිහිටි මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයට නඩුවක් ගොනු කළ හැකියි. එම විනිසුරු මඩුල්ල විනිසුරුවන් 47දෙනෙකුගෙන් සමන්විතයි. එය මානව හිමිකම් පිළිබඳ පුරෝපා සම්මතයට එකඟ වී ඇති රටවල් සංඛ්‍යාවට සමානයි. එම අධිකරණයෙන් ලබා දෙන තීන්දු අදාළ සාමාජික රටවල් පිළිගත යුතුයි.

[8වන පිටුවේ කොටුව]

අධිකරණයේ තීන්දුව

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය දුන් තීරණ තුනක අඩංගු සමහර කොටස් පහත සඳහන් වෙයි.

සාක්ෂිකරුවන් පවුල්වල භේද ඇති කරන බවට චෝදනාවක් එල්ල කළා. ඊට කිසිම පදනමක් නැති බව විනිසුරුවන් තීරණය කළා. ඔවුන් පැවසුවේ මෙසේයි.

‘ගැටීම් ඇති වීමට මූලික හේතුව ආගමික භක්තියක් නැති ඥාතීන් ආගම ගැන භක්තියක් ඇති අයගේ ආගමික නිදහස පිළිගැනීමට අපොහොසත් වීම හා එම ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමයි.’—111 වගන්තිය.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන්ගේ මනස් විකෘති කරන බවට කළ චෝදනාව ඔප්පු කිරීම සඳහා කිසිම සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව යුරෝපීය අධිකරණයේ විනිසුරු මඩුල්ල පැවසුවා.

‘තමන්ගේ මනස විකෘති කළ බව පැවසූ කිසිදු පුද්ගලයෙකුගේ නමක් රුසියානු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වුණේ නැහැ. මෙම අධිකරණය එය විශිෂ්ට කරුණක් ලෙස සැලකුවා.’—129 වගන්තිය.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කිරීමෙන් වළකින්න කියා උගන්වන නිසා ඔවුන් ඔවුන්ගේ සාමාජිකයන්ගේ ජීවිත අනතුරේ හෙළන බවට තවත් චෝදනාවක් එල්ල කළා. නමුත් යුරෝපීය අධිකරණයේ විනිසුරු මඩුල්ල එය පිළි නොගත් අතර ඔවුන් මෙසේ පැවසුවා.

‘පුද්ගලයෙකුට නියමිත වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ නොගැනීමට හෝ විකල්ප ක්‍රමයක් භාවිත කිරීමට හෝ ඇති නිදහස ස්වාධීන තීරණ ගැනීමේ නිදහසට ඇතුළත් වෙනවා. තීරණයක් ගැනීමට හැකි වයසක සිටින රෝගියෙකුට ශල්‍යකර්මයක් හෝ වෙනත් ආකාරයක ප්‍රතිකාරයක් ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහසක් තිබෙනවා හා සමානව රුධිරය ශරීරගත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද ඔවුන්ට නිදහස තිබෙනවා.’—136 වගන්තිය.