Skip to content

පටුනට යන්න

“සදහටම ජීවත් වීමේ” අපේක්ෂාව දැන් මට තියෙනවා

“සදහටම ජීවත් වීමේ” අපේක්ෂාව දැන් මට තියෙනවා

“සදහටම ජීවත් වීමේ” අපේක්ෂාව දැන් මට තියෙනවා

පියාරෝ ගැටී

ශබ්දය ටිකෙන් ටික වැඩි වුණා. ඒත් එක්කම ආරක්ෂිත ස්ථානවලට දුවන්න කියා අනතුරු අඟවන සයිරන් නාදය දසත පැතිරුණා. ඒ සමඟම අපේ කන් අඩි පුපුරන තරම් සද්දයකින් දිගට හරහට බෝම්බ පුපුරන්න පටන්ගත්තා.

එය සිදු වුණේ 1943-1944 කාලයේදී ඉතාලියේ මිලාන් නගරයේයි. තරුණ සොල්දාදුවෙක් ලෙස මගේ රාජකාරියට ගුවනින් හා ගොඩ බිමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් විපතට පත් අයගේ මළ සිරුරු එකතු කිරීමත් අයත් වුණා. සමහර මළ සිරුරු කෑලි කෑලිවලට වෙන් වෙලා තිබුණා. තවත් ඒවා හඳුනාගන්නවත් බැරි තරම් විකෘති වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී මගේ ජීවිතය බේරුණෙත් අනූනවයෙන්. ඒ වගේ වෙලාවට මම දෙවිට යාච්ඤා කරලා පොරොන්දු වුණා මට මේ තත්වයෙන් බේරෙන්න පුළුවන් වුණොත් මම දිගටම දෙවිට සේවය කරනවා කියලා.

මරණ බිය නැති වෙයි

මම හැදී වැඩුණේ ස්විට්සර්ලන්තයේ දේශ සීමාවට කිලෝමීටර් 10ක් පමණ දුරින් තියෙන ඉතාලියේ කොමො නම් ගම්මානයේයි. කුඩා කාලයේදීම මරණය නිසා ඇති වන දුක මම අද්දැක තිබුණු නිසා මරණය ගැන මට ලොකු භයක් දැනුණා. ස්පාඤ්ඤ උණ හැදිලා මගේ අක්කලා දෙන්නෙක් මිය ගියා. මට වයස අවුරුදු හයක් වෙද්දී එනම්, 1930දී මගේ අම්මත් නැති වුණා. කතෝලිකයෙක් ලෙස හැදී වැඩුණු මට මගේ ආගම ගැන ලොකු භක්තියක් තිබුණා. මම හැම සතියේම පූජාවටත් ගියා. ඒත් මරණය ගැන මට තිබුණු භය නැති වුණේ පල්ලියෙන් ලැබුණු ඉගැන්වීමක් නිසා නෙවෙයි බාබර් සාප්පුවකදී මට ලැබුණු පණිවිඩයක් නිසයි.

වර්ෂ 1944දී දෙවන ලෝක මහා යුද්ධ කාලයේදී දහස් ගණනක් මැරුණා. ඉතාලියේ සොල්දාදුවන් දහස් ගණන් ස්විට්සර්ලන්තයට පලා ගියා. මමත් ඒ අය අතර සිටියා. එහිදී අපිව එක් එක් අනාථ කඳවුරුවල නතර කළා. මම හිටියේ ස්ටිනාක් නගරයට ආසන්නව තිබුණු අනාථ කඳවුරකයි. අපිට එහිදී යම් නිදහසක් ලැබුණා. ඒ නගරයේ තිබුණු බාබර් සාප්පුවේ තාවකාලිකව වැඩ කිරීමට කෙනෙක්ව අවශ්‍ය වුණු නිසා මම බාබර් එක්ක නතර වෙලා මාසයක් විතර වැඩ කළා. ඒ මාසය ඇතුළත මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ඉතාලි ජාතික ඇඩොල්ෆ් ටෙලිනි මේ බාබර් සාප්පුවට නිතර ආ ගිය කෙනෙක්. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. සාක්ෂිකරුවන් ගැන මම මීට කලින් කවදාවත් අහලා තිබුණේ නැහැ. ඒක පුදුමයක් නෙවෙයි. මොකද ඒ වෙනකොට මුළු ඉතාලියේම සාක්ෂිකරුවන් 150දෙනෙකුට වඩා හිටියේ නැහැ. සාමය හා සදාකාල ජීවනය ගැන දී තිබෙන පොරොන්දු ඇඩොල්ෆ් මට බයිබලයෙන් පෙන්නුවා. (යොහ. 10:10; එළි. 21:3, 4) අනාගතයේදී යුද්ධ හා මරණය නැති කාලයක් එන බව ඔහු මට පවසද්දී මම හුඟක් සතුටු වුණා. අනාථ කඳවුරේ සිටි තවත් තරුණ ඉතාලි ජාතිකයෙක් වන ජියුසෙපා ටුබිනිට මම ඒ ගැන කියද්දී ඔහුත් ලොකු උනන්දුවක් පෙන්නුවා. ඇඩොල්ෆ් සහ වෙනත් සාක්ෂිකරුවන්ද කඩින් කඩ අපිව බලන්න කඳවුරට ආවා.

කඳවුරේ සිට කිලෝමීටර් 10ක් ඈතින් තිබුණු ආර්බොන් නගරයේ ඉතාලි භාෂාවෙන් සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන ස්ථානයකට ඇඩොල්ෆ් මාව එක්කගෙන ගියා. ඒ රැස්වීමේදී මම අහපු දේවල් ගැන මට කොච්චර ආශාවක් ඇති වුණාද කියනවා නම් ඊළඟ සතියේ මම එතැනට පයින්ම ගියා. සුරිච්වල තිබුණ සමුළුවකට යන්නත් මට අවස්ථාවක් ලැබුණා. එහිදී ජර්මනියේ කඳවුරුවල සිටි අයව සමූල ඝාතනය කරන පින්තූර පෙළක් අපිට පෙන්නුවා. ජර්මනියේ සිටි සාක්ෂිකරුවන්ට මිය යෑමට සිදු වුණේ ඔවුන් දෙවිට දැක්වූ විශ්වාසවන්තකම නිසා බව මට දැනගන්න ලැබුණා. ඒ තොරතුරු මගේ සිත්ගත්තා. ඒ එක්රැස්වීමේදී මට මරියා පිසාටෝව මුණගැසුණා. ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් ලෙස සේවය කළ නිසා ඇයට ඉතාලියේ මුසොලීනිගේ ඒකාධිපති පාලනය යටතේ අවුරුදු 11ක සිර දඬුවමක් විඳින්න සිදු වී තිබුණා.

යුද්ධය අවසන් වුණු පසු මම ඉතාලියේ කොමො නගරයේ තිබුණු කුඩා සභාවේ රැස්වීම්වලට සහභාගි වුණා. මම කිසි කෙනෙක් සමඟ පිළිවෙළකට බයිබලය පාඩම් කරලා තිබුණේ නැති වුණත් බයිබලයේ සඳහන් මූලික සත්‍යයන් ගැන මට පැහැදිලි අවබෝධයක් තිබුණා. මරියා පිසාටෝ රැස්වීම්වලට ආවෙත් එම ශාලාවටමයි. ක්‍රිස්තියානීන් බව්තීස්ම වෙන්න ඕනේ ඇයි කියලා ඇය මට පැහැදිලි කළා. ඒ වගේම සොන්ඩ්‍රියෝ පළාතේ කැස්ටියෝනේ ඇන්ඩාවෙනෝවල ජීවත් වෙන මාර්සෙලෝ මාර්ටිනෙල්ලිව මුණගැසෙන්න කියා ඇය මට පැවසුවා. ඔහු අභිෂේක ලත් සහෝදරයෙක්. ඔහුව ඒකාධිපති පාලනය යටතේ අවුරුදු 11ක සිරඳඩුවමකට නියම කර තිබුණා. මම ඔහුව මුණගැසීමට කිලෝමීටර් 80ක් බයිසිකලයෙන් ගියා.

බව්තීස්ම වීම සඳහා අවශ්‍ය සුදුසුකම් මාර්සෙලෝ මට බයිබලයෙන් පෙන්නුවා. පසුව අපි එකට යාච්ඤා කළා. ඉන්පසු ඔහු මාව අඩා ගඟේ බව්තීස්ම කළා. එය සිදු වුණේ 1946 සැප්තැම්බර් මාසයේදියි. ඒ දවස මට විශේෂ දවසක්. යෙහෝවා දෙවිට සේවය කරන්න ගත් තීරණය ගැන මම හුඟක් සතුටු වුණා. ඒ වගේම දැන් මට අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් තියෙනවා. මම කොච්චර සතුටෙන් හිටියද කියනවා නම් එදා හැන්දෑව වෙනකොට බයිසිකලයෙන් කිලෝමීටර් 160ක් පැදලා තියෙනවා කියලවත් මට දැනුණේ නැහැ.

යුද්ධයෙන් පසු ඉතාලියේ පළවෙනි එක්රැස්වීම පැවැත්වුණේ 1947 මැයි මාසයේ මිලාන් නගරයේදියි. ඒ එක්රැස්වීමට 700දෙනෙක් පමණ සහභාගි වුණා. එහි පැමිණි බොහෝදෙනෙක් ඒකාධිපති පාලනය යටතේ බොහෝ පීඩාවලට මුහුණ දුන් අයයි. ඒ එක්රැස්වීමේදී අසාමාන්‍ය දෙයක් සිදු වුණා. එහි බව්තීස්ම කතාව දුන්නේ කඳවුරේදී මම සාක්ෂි දැරූ ජියුසෙපා ටුබිනියි. කතාවෙන් පසු ඔහුත් බව්තීස්ම වුණා.

එක්රැස්වීමේදී බෘක්ලින් බෙතෙල් නිවසෙන් පැමිණි සහෝදර නේතන් නෝර්ව මුණගැසීමේ වරප්‍රසාදය මට ලැබුණා. ඔහු ජියුසෙපාටයි මටයි පූර්ණකාලීන සේවය කරන ලෙස උනන්දු කළා. මාසයක් ඇතුළත පූර්ණකාලීන සේවය ආරම්භ කරන්න මම තීරණය කළා. ගෙදර අයට මගේ තීරණය ගැන කියද්දී ඔවුන් මාව අධෛර්යය කළත් මම මගේ තීරණය වෙනස් කළේ නැහැ. ඉන් මාසයකට පසු මම මිලාන්වල බෙතෙල්හි සේවය කරන්න පටන්ගත්තා. ඒ වන විට එහි සිටියේ මිෂනාරිවරුන් හතරදෙනෙක් විතරයි. ජියුසෙපා (ජෝසෆ්) රොමානෝ සහ ඔහුගේ භාර්යාව වන ඇන්ජලිනා, කාලෝ බෙනාන්ටි සහ ඔහුගේ භාර්යාව වන කොස්ටන්සා ඒ හතරදෙනායි. බෙතෙල් පවුලට එකතු වූ පස්වෙනි සාමාජිකයා වුණේ ජියුසෙපා ටුබිනියි. හයවෙනියා මමයි.

මම බෙතෙල්හි සේවය කළේ මාසයයි. පසුව චාරිකා සේවයේ යෙදීමට මට අවස්ථාව ලැබුණා. පළමුවෙනි ඉතාලි ජාතික චාරිකා සේවක වුණේ මමයි. 1946දී ඇමරිකාවෙන් මිෂනාරි සේවය සඳහා පැමිණි ජෝර්ජ් ෆ්‍රෙඩියනලි ඒ වන විටත් චාරිකා සේවයේ යෙදෙමින් සිටියා. ඔහු මුලින්ම ඉතාලියට ආ මිෂනාරිවරයයි. ඔහු මාව සති කිහිපයකට පුහුණු කළා. පසුව මම ඒ සේවය තනියම කළා. මම සේවය කරන්න ගිය පළමු සභාව වන ෆායෙන්සා සභාව මට තාමත් මතකයි. මම ඒ වෙද්දී කිසිම දවසක සභාවක කතාවක් දීලා තිබුණේ නැහැ. එහි යෞවනයන් ඇතුළු පැමිණි සිටි අයව දිරිගන්වන්න මට හැකි වුණා. යෞවනයන්ට පූර්ණකාලීන සේවය කිරීමට මම දිරිගැන්නුවා. පසු කාලයකදී ඒ යෞවනයන් අතරින් කිහිපදෙනෙක් වගකීම් දරන අය බවට පත් වුණා.

සංචාරක සේවකයෙක් ලෙස මම ආරම්භ කළ සේවය මට අලුත්ම අද්දැකීමක් වුණා. මට ජීවිතයේ සකස් කිරීම් කරන්න හා අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. ප්‍රීති වුණ අවස්ථා තිබුණා. ඒ වගේම සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය නොඅඩුව මම අද්දැක්කා.

යුද්ධයෙන් පසු ඉතාලිය

ඒ කාලයේදී ඉතාලියේ තිබුණු වාතාවරණය ඔබට පැහැදිලි කරන්නම්. යුද්ධයෙන් පසු කතෝලික පල්ලියට ලොකු බලයක් තිබුණා. ඒකාධිපති පාලනය අවසන් වී 1948දී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර තිබුණත් සාක්ෂිකරුවන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම තහනම් කර තිබූ නීතිය 1956දී අහෝසි කරන තුරු අපට නිදහසේ සේවය කරන්න හැකි වුණේ නැහැ. පූජකයන්ගේ බලපෑම් නිසා බොහෝ අවස්ථාවල චාරිකා එක්රැස්වීම්වලදී බාධා ඇති වුණා. සමහර අවස්ථාවලදී ඔවුන් ගත් උත්සාහය අසාර්ථක වුණා. වර්ෂ 1948දී මධ්‍යම ඉතාලියේ සුල්මෝනා නම් කුඩා නගරයේ පැවැත්වූ එක්රැස්වීමේදී සිදු වූ දේ ඊට එක් උදාහරණයක්.

එක්රැස්වීම පැවැත්තුවේ ලොකු ශාලාවකයි. ඉරිදා උදෑසන සභාපති ලෙස සේවය කළේ මමයි. ප්‍රසිද්ධ කතාව දුන්නේ ජියුසෙපා රොමානෝයි. ඒ වන විට මුළු රටේම ප්‍රචාරකයන් 500ක්වත් හිටියේ නැති වුණත් එදා එම ශාලාවට 2,000ක් ඇවිල්ලා හිටියා. කතාව අවසානයේදී පිරිස අතරේ සිටි පූජකයෝ දෙදෙනෙකුගේ උසිගැන්වීම නිසා තරුණයෙක් වේදිකාවට කඩාගෙන පැන්නා. එම රැස්වීම කඩාකප්පල් කරන්න ඔහු උස් හඬින් කෑගහන්න පටන්ගත්තා. මම ඒ වෙලාවේම ඔහුට මෙහෙම කිව්වා. “ඔයාට මොනවා හරි කියන්න ඕන නම් ශාලාවක් කුලියට අරගෙන ඔයාට කැමති දෙයක් කියන්න.” පැමිණි සිටි අය ඔහුගේ හැසිරීමට අකමැත්ත පළ කළ නිසා ඔහු එතැනින් ඉවත් වී ගියා.

ඒ දවස්වලදී සභාවලට ගමන් කිරීම පහසු දෙයක් වුණේ නැහැ. මම සමහර අවස්ථාවලදී එක සභාවකින් තව සභාවකට ගියේ ඇවිදගෙනයි. තවත් අවස්ථාවලදී බයිසිකලයෙන් ගියා. ඒ වගේම සෙනඟ පිරිච්ච බස්වල හා කෝච්චිවල ගියා. සමහර අවස්ථාවලදී මම නවාතැන් ගත්තේ සත්ව ගාල්වල හෝ ගබඩා කාමරවලයි. යුද්ධය නතර වී වැඩි කාලයක් ගත වී නැති නිසා බොහෝ ඉතාලි ජාතිකයන් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ වන විට සාක්ෂිකරුවන් සිටියේ ටිකදෙනෙක් පමණයි. ඒ වගේම ඔවුන් එතරම් වත්පොහොසත්කමක් තිබුණු අය නෙවෙයි. නමුත් ඔවුන් යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් විශාල ප්‍රීතියක් ලැබුවා.

ගිලියද් පුහුණුව

වර්ෂ 1950දී පැවැත්වූ 16වන ගිලියද් පාසැලට සහභාගි වන ලෙස ජියුසෙපා ටුබිනිටයි මටයි ආරාධනාවක් ලැබුණා. නමුත් ඉංග්‍රීසි ඉගෙනගන්න එක අමාරු දෙයක් කියලා මම මුල ඉඳලම දැනගෙන හිටියා. මම උපරිමයෙන් උත්සාහ කළත් ඒක මට ලොකු අභියෝගයක් වුණා. මුළු බයිබලයම ඉංග්‍රීසියෙන් කියවන්න තිබුණා. මම සමහර දවස්වලදී කෑමට යන්නෙත් නැතුව බයිබලය හඬ නඟා කියෙව්වා. අවසානයේදී මගේ කතාව ඉදිරිපත් කරන දවස උදා වුණා. එදා උපදෙස් දුන් සහෝදරයා කියපු දේ මට අද වගේ මතකයි. “ඔයාගේ අභිනය සහ උද්‍යෝගය විශිෂ්ටයි. නමුත් ඔයාගේ ඉංග්‍රීසි නම් පොඩ්ඩක්වත් තේරුණේ නැහැ.” එවැනි අභියෝග මැද පවා මගේ පුහුණුව සාර්ථකව අවසන් කළා. මටයි ජියුසෙපාටයි ආයෙත් ඉතාලියේ සේවය කිරීමට පැවරුම ලැබුණා. වඩාත් හොඳින් සේවය කිරීමට එම පුහුණුව අපිට උපකාරවත් වුණා.

මම ලිදියා සමඟ 1955දී විවාහ වුණා. අවුරුදු හතකට කලින් එයා බව්තීස්ම වෙද්දි බව්තීස්ම කතාව දුන්නේ මමයි. ඇගේ පියා ඩොමැනිකෝ, ඉතා ප්‍රේමණීය සහෝදරයෙක්. බයිබලයේ සඳහන් සත්‍යය තමන්ගේම එකක් කරගන්න ඔහු ඔහුගේ දරුවන් හත්දෙනාට උපකාර කර තිබුණා. ඔහුට ඒක ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඊට හේතුව ඒකාධිපති පාලනය යටතේ ඔහු බොහෝ පීඩාවලට මුහුණ දුන්නා. ඒ වගේම ඔහුව අවුරුදු තුනකට රටින් පිටුවහල් කර තිබුණා. ලිදියාත් සත්‍යය වෙනුවෙන් ස්ථීරව සිටි කෙනෙක්. ගෙයින් ගෙට දේශනා කිරීමට නීතියෙන් සාක්ෂිකරුවන්ට අවසර ලැබීමට පෙර තිබුණු නඩු විභාගවලින් තුනකට ඇය පෙනී සිටියා. අපි විවාහ වී අවුරුදු හයකට පස්සේ අපේ වැඩිමල් පුතා බෙනියාමිනෝ අපේ පවුලට එකතු වුණා. අපේ දෙවෙනි පුතා මාර්කෝ ලැබුණේ 1972දියි. දැන් මගේ පුතාලා දෙන්නත් එයාලගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා දැකීම මට ලොකු සතුටක්.

දිගටම උද්‍යෝගයෙන් දෙවිට සේවය කරමින්

මම ප්‍රීතියෙන් සේවය කළ කාලය තුළදී මම ලබපු අද්දැකීම් තවමත් මගේ මතකයේ රැඳී තියෙනවා. උදාහරණයකට 1980 මුල්භාගයේදී ඉතාලියේ ඒ වෙනකොට ජනාධිපතිව සිටි සැන්ඩ්‍රෝ පෙටිනිට ලිදියාගේ තාත්තා ලිපියක් යැව්වා. ඉතාලියේ මොසොලීන්ගේ ඒකාධිපති පාලනය යටතේ ඔහුවත් ලිදියාගේ තාත්තවත් සතුරන් ලෙස සලකා වෙන්ටොටෙනි නම් දූපතට පිටුවහල් කර තිබුණා. ජනාධිපතිට සත්‍යය ගැන කතා කිරීමට අවස්ථාවක් උදා කරගැනීම සඳහා ලිදියාගේ තාත්තා ඔහුව හමු වීමට අවසර ඉල්ලා ලිපියක් යැව්වා. ඊට අවසර ලැබුණ නිසා අපි දෙන්නම ඔහුව මුණගැහෙන්න ගියා. ඔහු අපිව සාදරයෙන් පිළිගත්තා. ඔහු තාත්තාව පිළිගත්තේ ආදරයෙන් වැලඳගෙනයි. අපි මීට පෙර එවැනි උසස් නිලතල දරන අයව හමු වෙලා කතා කරලා තිබුණේ නැහැ. අපි ඔහුට අපේ විශ්වාසයන් ගැන කතා කරලා පොත් පත් සඟරා ලබා දුන්නා.

වසර 44ක් පුරා සංචාරක සේවකයෙක් ලෙස සේවය කිරීමෙන් පසු ඊළඟ අවුරුදු හතර මම එක්රැස්වීම් ශාලා සේවක ලෙස සේවය කළා. පසුව මට වැලඳුණු බරපතළ රෝගයක් නිසා මගේ ක්‍රියාකාරකම් අඩු කරන්න සිදු වුණා. නමුත් මට තවමත් පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට හැකි වීම ගැන මම යෙහෝවා දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා. අනික් අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් බයිබලය ගැන උගන්වන්නත් මම මගේ උපරිමය කරනවා. මම දැනට බයිබල් පාඩම් කිහිපයක් පවත්වනවා. මම කතා දෙනකොට මගේ උද්‍යෝගය තවමත් අඩු වී නැති බව සහෝදරයන් මට කියනවා. මහලු වුණත් මගේ උද්‍යෝගය පවත්වාගන්න හැකි වීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.

යෞවනයෙක් ලෙස මම එදා ජීවත් වුණේ මරණ බියෙන්. බයිබලයේ තිබෙන නිවැරදි දැනුම ලබාගැනීමෙන් පසු යේසුස් පැවසූ ලෙස සදාකාල ජීවනයේ බලාපොරොත්තුව දැන් මට තිබෙනවා. (යොහ. 10:10) මම දැන් බලා සිටින්නේ යෙහෝවා දෙවි සාමය, සුරක්ෂිතභාවය හා ප්‍රීතිය උතුරා යන අනාගතයක් ලබා දෙන තුරුයි. දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය දැරීමේ වරප්‍රසාදය අපිට ලැබී තිබෙනවා. සියලුම ගෞරවයත් ප්‍රශංසාවත් අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට හිමි වේවා!—ගීතා. 83:18.

[22, 23වන පිටුවල සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ස්විට්සර්ලන්තය

බර්න්

සුරිච්

ආර්බොන්

ස්ටිනාක්

ඉතාලිය

රෝමය

කොමො

මිලාන්

අඩා ගඟ

කැස්ටියෝනේ ඇන්ඩාවෙනෝ

ෆායෙන්සා

සුල්මෝනා

වන්ටොටෙනි

[22වන පිටුවේ පින්තූරය]

ගිලියද් පුහුණුව සඳහා යමින්

[22වන පිටුවේ පින්තූරය]

ගිලියද් පාසැලේදී ජියුසෙපා සමඟ

[23වන පිටුවේ පින්තූරය]

අපි විවාහ වූ දා

[23වන පිටුවේ පින්තූරය]

මගේ භාර්යාව අවුරුදු 55කට වඩා වැඩි කාලයක් මට සහයෝගය දෙමින් සිටිනවා